Wednesday, October 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 95

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



95.

ඊළඟ දවසේ නොහිතපු විදිහට පොඩි සාදු මාව බලන්න ආවා.
“නර්ස් නෝනා... මේ ලෙඩාට මම කතා කළාට කමක් නැද්ද?“ පොඩි සාදු ඇතුළට ආවේ එහෙම අහගෙන.
“පුළුවන් ස්වාමීන් වහන්ස....“ එහෙම කියලා නර්ස් මට කතා කළා.
“කාවින්ද... ඔයාට මහන්සි දැනුනොත් කතා කරන එක නවත්තන්න....“
පොඩි සාදු ඇඳ ළඟටම ආවා.
“මම කිව්වා නේද පරෙස්සම් වෙන්න කියලා...“
“මම වැරදි දෙයක් කළේ නෑ පොඩි සාදු.... ඒත් මේක හිතාගන්නවත් බැරි දෙයක්.“
“කාවින්ද.... හිත ශක්තිමත්ව තියා ගන්න... ජීවිතේ මේ වගේ ප්‍රශ්ණ, කරදර එනවා... බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ජීවිතේ කියන්නේ ප්‍රශ්ණ කියලනේ. ලෞකික ජීවිතේ කියන්නේ ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන එකයි.“
“මම බය නෑ පොඩි සාදු.. ඒත් මේ විදිහට ඇඳෙන් නැගිටගන්න බැරිව කොහොමද ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නේ... මේ මැෂින් ටිකයි, නර්ස්ලයි, ඩොක්ටර්සලයි, වියදම් කරන්න දිලිනියි, අම්මයි, තාත්තයි නැත්නම් මම මේ වෙනකොටත් මැරිලා.“
“ඔයාව එහෙම ලේසියෙන් මරන්න බෑ කාවින්ද.. ඔයාගේ පණ හයියයි, ඔයාගේ විතරක් නෙවෙයි අර දරුවගෙත් එහෙමයි. මේව ඔයාගේ දෛවයේ ලියවිලා තියෙන දේවල්.... මේ ජීවිතේ ඔය දෙන්නා එකතු වෙනවා... ඒක ඉරහඳ වගේ විශ්වාසයි... හැබැයි ඒ එකතු වීම මේ වගේ බාධක මැදින් තමයි වෙන්නේ... ඒ නිසා ඔයාට වෙන මේ දේවල් වලක්වන්නත් බෑ.... එකම දේ හිත ශක්තිමත්ව ඉන්න.“
“පොඩි සාදු කොහොමද එහෙම හරියටම කියන්නේ?“
“හිතන්න කාවින්ද, ඔය දෙන්නා කවමදාකවත් හම්බවෙන්න හිටපු දෙන්නෙක්ද? ඒ දරුවා ගුරු වෘත්තියට එන්න කවදාවත් නොහිතපු කෙනෙක්, අහම්බෙන් කාවින්ද හිටපු ඉස්කෝලෙටම ආවා. කාවින්ද ඒ ඉස්කෝලේ ඉගෙනගන්න කාලේ දෙන්න හම්බවුනා. ඒක කවදාවත් හිතන්න පුළුවන් විදිහේ දෙයක් නෙවෙයි. ඔය දෙන්නා ඒ අතරේ සම්බන්ධ වුනා. සමාජ ක්‍රමයට විරුද්ධ විදිහේ සම්බන්ධයක්, ඒත් ඔය දෙන්නගේ ආදරේ බොහොම ශක්තිමත් වුනා. කොයි තරම් බාධක ආවද? ඒත් දෙන්නා වෙන් වුනේ නෑ.... ඉතින් හිතන්න කාවින්ද... මේවා මේ අහම්බෙන් වෙන දේවල් නෙවෙයි...“
“මට තේරෙන්නෑ පොඩි සාදු... කමක් නෑ බලමු... මම ලෙඩ වුනා මදිවට දිලිනියි මායි හම්බවෙන එකත් අමාරුයි. අපේ තාත්තා එයාට මගේ හුළඟක්වත් වදින්න දෙන්නේ නෑ. එයා මට වඩා වයසින් වැඩි නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.“
“ලංකාවේ සංස්කෘතියත් එක්ක වයස ප්‍රශ්ණයක් තමයි... ඒත් දෙන්නගේ අදහස් ගැලපෙනවනම්, දෙන්නට දෙන්න තේරුම් ගන්න පුළුවන්නම් වයස ප්‍රශ්ණයක් නෙවෙයි. ඒ හැකියාව තියෙනවනම් වයස නිසා එන ප්‍රශ්ණ ඕනෙ එකක් ජය ගන්න පුළුවන්. මේ ලෝකේ ආදරේ තමයි හැම දේටම මුල. ලෝකයේ ජීවය උපද්දවන්නේ ආදරේ.... පටන් ගන්නේ අම්මගේ දරුවට තියෙන ආදරයෙන්. මවකගේ ආදරය තමයි ලෝකේ හිරු එළිය... ඊට පස්සේ තමන්ගේ සහකාරියගේ ආදරේ... ඒ ආදරෙත් මවකගේ ආදරේටම අසමාන නෑ... ඒ ආදරේ කාවින්දගේ ජීවිතේ ලියවිලා තියෙන්නේ දිලිනි කියන දරුවා එක්ක. ඒක මම බය නැතුව කියනවා.“
“පොඩි සාදු කියන විදිහට වෙනවනම් හොඳයි....“
“වෙනවනම් නෙවෙයි, ඒක වෙනවා... ඒක නෙවෙයි කාවින්ද... මම ඔයාට පිරිත් කියන්න යන්නේ නෑ... පිරිත් ගැන ඔයාගේ විශ්වාසයක් නෑනේ... ඒ නිසා මම දැන් යන්නම්.... අවශ්‍ය ඕනෙම දේකට මම ඉන්නවා... මට කතා කරන්න ඕනෙම වෙලාවක.“
“හොඳයි පොඩි සාදු. මාව බලන්න ආවට බොහොම ස්තුතියි.“
“තව දෙයක්, මම අර දරුවව හම්බවුනා..... මම දන්නවා ඔය දෙන්නට මුණ ගැහෙන්න බැරි බව... ඒ නිසා මම ඒ දරුවව හම්බවෙලා එයාගේ හිත හැදුවා. මේව සමහර විට භික්ෂුවකට අකැපයි කියලා කෙනෙක් කියයි. නෑ... ගිහියන්ගේ හිත් සුවපත් කරන එකත් අපේ එක වගකීමක්. කාවින්ද ඒ දරුවා ගැන කරදර වෙන්න එපා... මම කිව්වා වගේම එයාට තියෙන්නේ බොහොම තද දරාගැනීමේ ශක්තියක්. ඒ නිසා ඒ දරුවා මෝඩ වැඩක් කරන්නේ නෑ. කාවින්දට තියෙන්නේ ඉක්මනට සනීප වෙන්න.“
“බොහොම ස්තුතියි පොඩි සාදු එයා ගැන බැලුවට. මේ වෙලාවේ තාත්තට ඔය ගැන කතා කරලා වැඩක් නෑ... මට මෙහෙම ඇඳේ ඉඳගෙන කිසි දෙයක් කරන්නත් බෑ... දිලිනි ගැන බලන එක ලොකු දෙයක්.“
“මම දිගටම ඒ ගැන කටයුතු කරන්නම් කාවින්ද.... බය නොවී තමන් සනීප වෙන්න බලන්න... ඊට පස්සේ අපි බලමු...“
“හොඳයි පොඩි සාදු....“
“මතක තියා ගන්න හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්න එපා. මට පේනවා අර දරුවා කාවින්දට වඩා මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. ඒ නිසා එයා ගන්න තීරණ ගැන දෙපාරක් හිතන්න එපා.“
“හොඳයි පොඩි සාදු.“
“එහෙනම් මම යනවා...“
පොඩි සාදු යන්න ගියා. ඇත්තටම පොඩි සාදු මමවත් නොහිතපු වෙලාවක නොහිතපු විදිහට දිලිනිගේ හිත හදන්න කතා කරපු එක ලොකු දෙයක්. නැත්නම් මමත් මේ ඇඳට වෙලා බැහැගන්න බැරිව මොනව කරන්නද?
තවත් සතියක් මම රෝහලේම හිටියා. අන්තිමට මම ගෙදර ආවේ මාසයකටත් වැඩි කාලයක් රෝහලේ ගතකරලා. මේ කාලය ඇතුළත මාව බලන්න නාපු කෙනෙක් නෑ. මගේ ළඟින්ම හිටපු යාළුවෝ ටික, උන්ගේ අම්මලා තාත්තලා, ඉස්කෝලේ හිටපු අනිත් පන්තිවල උන්,  අපේ ඉස්කෝලේ ගුරුවරු, ගුරුවරියෝ, එරංග අයියා, ගරාජ් එකේ ධනුෂ්ක අයියා, පොඩි සාදු, සමාධි, එරන්දිකා, අරුණි, සහ දිනිගේ තව යාළුවෝ හත් අට දෙනෙක්,  හෂිණි අක්කා, වරුණ අයියා, සමාධිගේ දෙමව්පියෝ, අම්මගෙයි තාත්තගෙයි යාළුවෝ, ඩැනී අංකල්, නෑදෑයෝ, ප්‍රොක්සිමා ගෘප් එකේ හර්ෂ ඇතුළුව එකට වැඩ කරපු හැමෝම, වෙන එකක් තියා අපිත් එක්ක හැමදාම රණ්ඩු කරපු අජා, මෙකී නොකී හැමෝම මාව බලන්න ආවා. ඊට අමතරව දිලිනිගේ යාළුවා ශලනි කීප වතාවක් ආවා.
මට ආදරය කරන කී දෙනෙක් මගේ වටේ ඉන්නවද කියලා මට පුදුමත් හිතුනා.
මාව බලාගත්ත නර්ස් කිව්වේ මාව බලන්න ආපු සෙනග දිහා බලපුවාම මට ඡන්දේ ඉල්ලන්න වුනත් පුළුවන් කියලා.
මේ අතරේ දිලිනිට එන්න බැරි වුනත් හැමදාකම උදේ එයා අමතක නොකර මට මල් එව්වා.
එදා චූටි අක්කා ඇවිල්ලා මට කිව්වා, මගේ තත්වේ දැන් ගොඩක් දුරට ස්ථාවර නිසා ඩොක්ටර් නිමල් මාව සිංගප්පූරුවට අරන් යන්න අවසර දුන්නා කියලා. ප්‍රොක්සිමා ගෘප් එකේ හර්ෂ, සචියයි, චූටි අක්කයි එක්ක ඒ හැමදේම ලෑස්ති කරලා තිබුණා. එකම ප්‍රශ්ණයකට තිබුණේ මේ දේවල් කරන්නේ දිලිනිගේ අනුදැනුම ඇතුව කියලා අපේ අම්මටයි තාත්තටයි නොදැනෙන්න කොහොමට මාව අරන් යන්නේ කියන එක.
හොඳ වෙලාවට දිලිනිගේ තාත්තගේ හොටෙල් ටිකයි, ප්‍රසිද්ධ අනිත් ව්‍යාපාරයි තියෙන්නේ මේ නම යටතේ නොවන නිසා තාත්තට සැකයක් හිතුනේ නැහැ.
මට සිංගප්පූරුවට යන්න තිබුණේ නොවැම්බර් දහ වෙනිදා. රෑ එකයි දහයට ලංකාවෙන් පිටත් වෙන ගුවන් යානයේ.
මම සංගප්පූරුවට යන්න කළින් දවසේ අම්මා මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කළා.
“පුතේ... ඔයාව සනීප කරගන්න අපි ඕනෙම දෙයක් කරනවා... ඒත් ඔයා මතක තියා ගන්න ඔයා ඔය කරන දේ නිසා අන්තිමට ඔයාටමයි දුක් විඳින්න වෙන්නේ.“
“මොක්ක ගැනද අම්මා කියන්නේ?“
“ඔයා අසනීපෙන් ඉන්නකොට මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට දාන්න හොඳ නැති වුනත් ඔයා යන්න කළින් මම මේ දේවල් කියන්නම ඕනේ...“
“මොනවද අම්මේ...?“
“ඔයාගෙයි දිලිනිගෙයි තියෙන ආදර සම්බන්දේ! ඒක හරියන දෙයක් නෙවෙයි මගෙ පුතේ... ඒ දරුවා නරක කෙනෙක් නොවෙන්න පුළුවන්, ඒත් ඔයාට වඩා අවුරුදු තුනක් වයසින් වැඩියි, පවුලේ ගෑණු කෙනා වැඩිමල් වුනාම කොච්චර ප්‍රශ්ණ එන්න පුළුවන්ද.... එකක් දැන් කොච්චර ලස්සන වුනත් ගෑණු අවුරුදු හතලිස් පනිනකොට වැහැරෙනවා... ඒක ස්වභාවිකවම වෙන දෙයක්. ඒත් පිරිමි එහෙම නෑ... ඉතින් ඒ දරුවට ඒ වයස එනකොට ඔයාට තිස් හයයි, තරුණ වයස, ඊට පස්සේ ඔයාට දැනෙයි එයාව නොගැලපෙනවා කියලා.... ඊට පස්සේ පවුල් ප්‍රශ්ණ.“
“නෑ අම්මේ... මම හිතන්නේ නෑ... අපි දෙන්නා තේරුම් අරන් ජීවත් වෙනවනම් ඒ ප්‍රශ්ණ ලොකු දේවල් නෙවෙයි...“
“හරි එහෙමයි කියමුකෝ... ඒත් ඔයා දන්නවද දිලිනිගේ පවුල ගැන... එයාගේ අම්මයි තාත්තයි ගැන දන්න මිනිස්සු කියන කතා. දෙන්නම මුලින් විවාහ වෙලා පස්සේ වෙන් වෙලා... ඊට පස්සේ දෙන්නම වෙන දෙන්නෙක්ව බැඳලා, ඊටත් පස්සේ ඒ පවුල් අතෑරලා දාලා ආයෙත් ඒ දෙන්නා එකතු වෙලා... දිලිනි කියන ඒ දෙන්නගේ දරුවා අවුරුදු ගාණක් හැදිලා තියෙන්නේ අම්මා, තාත්තා නැතුව... එහෙම හැදුන ළමයි ගොඩක් මුරණ්ඩුයි... ඔයාට බැරිවෙයි එයාව කන්ට්‍රෝල් කරන්න...“
“ඒ හැමදේම ඇත්ත වෙන්න ඇති අම්මේ... ඒත් ඒ දේවල් වලට දිලිනි වැරදිකාරියක් නෙවෙයි. දෙමව්පියන්ගේ වැරදි වලට දරුවෝ පලි නෑ... අම්මාමයි මට ඒ කතාව කියලා තියෙන්නේ.“
“එතකොට පුතේ ඔයා කියන්නේ ඔයා ඔය සම්බන්දේ නවත්තන්නෙම නෑ කියලද?“
“නවත්තන්න දෙයක් නෑ අම්මේ... අම්මලා එදා දිලිනිගේ ගෙදර ගිහින් එයාව පොරොන්දු කරවගෙන තිබුණනේ මාව අතාරිනවා කියලා. දැන් එයා ඒ පොරොන්දුව තියලා... අපි දෙන්නා දැන් වෙන් වෙලා. අම්මා කරපු දේ හරි කියලා හිතනවනම් අම්මට පුළුවන් සතුටු වෙන්න...“
“ඒක මම මගේ සතුට වෙනුවෙන් නෙවෙයි ඔයාගේ සතුට වෙනුවෙනුයි කළේ පුතේ.“
“නෑ අම්මේ... මගේ සතුට තමයි දිලිනි.... ඒත් දැන් කරන්න දෙයක් නෑ...“
“මම ඔයාට බල කරන්නේ නෑ පුතේ... ඒත් කල්පනා කරලා තීරණයක් ගන්න.“
අම්මා එහෙම කියලා යන්න ගියා.
පහුවෙනිදා උදේ නර්ස් ඇවිත් කිව්වා අද මම සිංගප්පූරුවට යනවා කියලා.
මේ වෙනකොට මම අසනීප වෙලා මාසයයි දවස් නවයයි, එදා ඉඳලා අද වෙනකං මම දිලිනිව දැක්කේ නැහැ.
ලංකාවෙන් යන දවසෙවත් එයාව බලන්න පුළුවන් වෙයිද?
මම ගුවන් තොටුපලට යනකොට සචියා මට හෙමිහිට කතා කළා.
“මචං.... දිලිනිට උඹව බලන්න ඕනේ කිව්වා. ඒත් මේ සැරේ තාත්තා උඹත් එක්ක යන නිසා එහේදි හම්බවෙන්නෙත් නැහැ කියලා කෙල්ල අද එයාර්පෝට් එනවා කිව්වා.“
“ඒත් බං කොහොමද, අම්මයි තාත්තයි ඉන්නවනේ..... අනිත් එක ඩැනී අංකලුත් වාහනේ ඉන්නවා.“
“ඒක තමයි බං... කෙල්ල ඇවිල්ලා කාටවත් නොපෙනෙන්න ඉඳී... අපි බලමු විනාඩි කීපයකට උඹට වැනිෂ් වෙන්න පුළුවන්ද කියලා. බය වෙන්න එපා... මම කොහොම හරි වැඩේ සෙට් කරන්නම්.“
සචියා ඒක කිව්වා කියන්නේ ඌ කොහොමහරි වැඩේ කරනවා. ඒ නිසා මට පොඩි බලාපොරොත්තුවක් දැනුනා.
රෑ දහය හමාරට මම අම්මයි, තාත්තයි, සචියයි, අමිලයි එක්ක එයාර් පෝර්ට් එකට ආවා. කම්පැණි එක පැත්තෙන් මානව සම්පත් කලමණාකරු විදිහට හිටපු මිස්ටර් වීරසිංහ ආවා.
එකොළහ විතර වෙනකොට අපි කට්ටියම අවශ්‍ය පරීක්ෂා කිරීම් ඉවර කරලා ඇතුළට ගියා.
සචියා කිව්වට දිලිනි එනවා කියලා මම එයාව දැක්කේ නැහැ.
තවත් පැය බාගයක් විතර ඉන්නකොට සචියා මගේ කණට කරලා “උඹ වොෂ්රූම් යන්න ඕනේ කියපං.“ කියලා කිව්වා.
“ඇයි...?“
“ප්‍රශ්ණ නාහා කියපංකෝ....“
මම ඌ කියපු විදිහටම තාත්තට කිව්වා මට වොෂ් රූම් යන්න ඕනේ කියලා.
“අංකල් ඉන්න අපි එක්ක යන්නම්,“ අමිලයි සචියයි නැගිටලා මගේ වීල් චෙයාර් එක වොෂ් රූම් එක පැත්තට අරන් ගියා.
අපි හිටපු තැන ඉඳලා මීටර් තිහක් විතර තිබුණ වොෂ් රූම් එක ඇතුලට සචියා මාව ගෙනාවා. ටර්මිනල් එකේත් දෙතුන් දෙනෙකුට වඩා නොහිටිය නිසා මේ පැත්ත සම්පූර්ණයෙන්ම පාළුයි.
මම ඇතුලට යනකොටම පිරිමි වොෂ් රූම් එකේ දොර ළඟ කණුවකට මුවා වෙලා දිලිනි හිටියා.
“සුදූ....“
“උඹලා පලයං ඇතුලට.“ එහෙම කියලා සචියා දොර ඇරලා මාව ඇතුලට තල්ලු කළා. “අපි එළියේ ඉන්නම්, කාටවත් එන්න නොදී... විනාඩි පහයි තියෙන්නේ... කතා කරගන්න දෙයක් ඉක්මනට.“
“යකෝ මේක ජෙන්ට්ස් එක.“
“උඹ පලයංකෝ කෙල්ල එක්ක... අපි කාවවත් එවන්නෑ..“
ඌ දිලිනිවත් ඇතුලට තල්ලු කළා.
ඇතුලට ගිය ගමන් දිලිනි මාව බදාගත්තා.
“මම මැරි මැරී හිටියේ කාවින්ද... ඔයා දකින්න නැතුව මට හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ.“
මට කියන්න දෙයක් නැති වුනා. තාමත් මගේ පපුවේ ඔළුව ගහගෙන දිලිනි කතා කළා.
“අපිට මොකද වෙන්නෙ රත්තරන්... ඔයා නැතුව මට ඉන්න බෑ... මැරෙන එක ඊට හොඳයි...“
“අපිට මොනවත් වෙන්නෑ සුදූ.... මම ඉක්මනටම සනීප වෙන්නම්...“
“ඔව් කාවින්ද... ඔයා අනිත් හැමදේම අමතක කරලා සනීප වෙන්න බලන්න. ඕනේ කරන හැම වියදමක්ම මම දෙනවා. එදා සිද්ධියෙන් පස්සේ තාත්තිත් දන්නවා මමයි ඔයාට වියදම් කරන්නේ කියලා. ඊයේ මට කිව්වා හැම දෙයක්ම හොයලා බලලා ඔය කොල්ලව සනීප කරගන්න කියලා. තාත්තිට බය ඇති.“
“ඒ කියන්නේ අපිට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා?“
“තාම කියන්න බෑ කාවින්ද... ඒත් තාත්තිගේ රෙස්පොන්ස් එක පොසිටිව් අපිට.“
“මේ සැරේ ඔය එන්නේ නැද්ද?“
“මම එනවා කාවින්ද... මම එක දවසක් හරි සිංගප්පූරුවට ඇවිත් ඔයාව බලලා යන්නම්. ඔයාගේ තාත්තා දවස් දෙකකින් ආපහු ලංකාවට එනවනේ, එතකොට ඉන්නේ බාප්පා නිසා මට ඔයා එක්ක ටිකක් ඉන්න පුළුවන් වෙයි.“
එතකොටම සචියා දොරට තට්ටු කළා.
“මචං ඉක්මන් කරපං... යන්න ඕනේ ... නැත්තං තාත්තා මේ පැත්තට එයි.“
දිලිනි මගේ දිහා දුකින් බැලුවා. “අපිට යන්න වෙනවා කාවින්ද. මතක තියාගන්න ඔයා මොන තත්වෙන් හිටියත් මට ඕනේ ඔයාව විතරයි.“
“මොනවද මේ කියවන්නේ? මම ඉන්න තත්වේ මොකක්ද?“
“ඒක වැඩක් නෑ කාවින්ද... මේ මම කියන දේ හොඳින් මතක තියාගන්න... ඔයාව සනීප කරන්න ලෝකේ ඕනෙම තැනකට අරන් යන්න මට පුළුවන්... ඕනේ වුනොත් මම ඒක කරනවා. ඒත් ඒ මොනවා කරලවත් ඔයාට සනීප නොවුනත් මම ඔයාගේ විතරයි කාවින්ද... එදා හිටපු ලස්සන හැන්ඩ්සම්, ස්පෝර්ට්ස් කරපු කාවින්දට වගේම අද ඉන්න අසනීප වෙච්ච කාවින්දටත් මම එක වගේ ආදරෙයි... අපිව වෙන් කරන්න කිසිම කෙනෙකුටවත් කිසිම දේකටවත් බෑ.... ඔයාට ජීවිත කාළෙම ඔහොම ඉන්න වුනත් අපිව වෙන් කරන්න කාටවත් බෑ. ආදරේ කියන එක ඇත්ත නම් අපි දෙන්නා එකතු වෙනවාමයි. මම ජීවිතේ කාටවත් මේ තරම් ආදරේ කරලා නෑ කාවින්ද... කිසිම දවසක නෑ.... ඒ නිසා මේ ඇත්ත ආදරේ නැති වෙන්නේ නෑ.“
“මම සනීප නොවුනොත් මාව බාර අරන් ඔයාගේ ලස්සන ජීවිතේ කාලකන්නි කරගන්නේ ඇයි?“
“කට වහන්න... කාලකන්නි මගේ ජීවිතේ ලස්සන කළේ ඔයා.... ඔයා නිසා මම කාලකණ්නි වෙන්නේ නෑ... ඒ නිසා හොඳ බබා වගේ කට වහගෙන මම කියන දේ කරන්න...“
“ඒ වුනාට ඔයා ඇවිදගන්න බැරි මාව බැඳලා මොනවා කරන්නද...?“
“මම කිව්වනේ... කට වහගන්න... ලෙඩ කියලා බලන්නේ නෑ ගහනවා එදා වගේ.“
“සුදූ....“ මම කතා කරන්න කළින් දිලිනි කතා කළා‍.
“කාවින්ද... ආදරේ මොක්කද කියලා මට කියලා දුන්නේ ඔයා. මගේ හිත ලස්සනටම ආදරෙන් පිරෙව්වේ ඔයා.... මම ජීවිතේ වැඩිම සතුටින් හිටියේ ඔයා එක්ක ඉන්න වෙලාවල් වල. ජීවත් වෙන්න ඇඟීමක් ආවේ ඔයාව අඳුරගත්ත වෙලාවේ. එච්චර දේවල් මට දුන්න ඔයා මගේ ජීවිතේටත් වඩා මට වටිනවා.“
දිලිනි එහෙම කිව්වත් එක්කම අපි දෙන්නා කෙළවරක් නැතුව දෙතොල් පටලවා ගත්තා. ඒත් වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ සචිත්‍ර ආයෙත් කතා කළා.
“වරෙන් ඉක්මනට.“
වෙන්වෙන්න බැරි හිතකින් වුනත් අපි දෙන්නා වෙන්වුනා.
අමිල මගේ පුටුව තල්ලු කරගෙන අම්මලා ඉන්න තැනට යන අතරේ සචියා දිලිනිව එක්කගෙන එළියට ගියා.
හරියටම පාන්දර එකයි දහය ෆ්ලයිට් එකෙන් මම තාත්තයි බාප්පයි එක්ක සිංගප්පූරුවට ගියා.


5 comments:

  1. Replies
    1. මොකද බං කොටු දාන්නේ. මොනව හරි ලියපංකෝ....

      Delete
  2. 2 posts, very little comments...... somewhat dissapointed

    ReplyDelete
  3. දැන් නම් කාවින්දගෙ අම්මලට අකමැති වෙන්න බැරි වෙයි. Next episode please.....................

    ReplyDelete
  4. Masekata ekak demmata comment karanna amaruine mama nam comment ekak wath danne ne.

    ReplyDelete