Monday, October 02, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 92



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



92.

එදා රෑ දොලහට විතර මම නින්දට ගියා.
රෑ මැද මට ඇහැරුනා. ඒත් එක්කම දකුණු කකුල දණහිස ළගින් රිදෙනවා වගේ මට දැනුනා.
මම ඇඳේ ඉඳගෙන ඉඳලා නැගිටින්න යනකොට අර හවස තිබුණ බැලන්ස් නැති ගතිට ආයෙත් දැනිලා මම වැටුනා. මම එහෙමම ටිකක් ඉඳලා විනාඩි කීපයකින් නැගිටින්න හැදුවත් දකුණු කකුල සම්පූර්ණයෙන්ම හිටි වැටිලා.
මම අමාරුවෙන් ඇඳට නැගලා ඉඳ ගත්තා. ඒත් ප්‍රශ්ණේ තිබුණේ වේදනාවක් නොතිබුණ එක. මම සංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න කළින් තිබුණේ ලොකු වේදනාවක්... ඒත් දැන් එහෙම එකක් නෑ...
ටිකකින් මට ආයෙත් නින්ද ගියා.
උදේ ඇහැරෙන කොටත් ප්‍රශ්ණයක් තිබුනේ නෑ. කකුලේ හිරිවැටුන එකත් නැතිවෙලා. කිසිම ප්‍රශ්ණයක් නැතුව ඇවිදින්න පුළුවන් වුනා. ඒ නිසා මම ඒක දෙවෙනි වතාවටත් අමතක කරලා දැම්මා.
උදේ දහයට විතර මම දිලිනි ව හම්බවෙන්න හිතාගෙන නුවර ගියා....
ධනසිරි එකේ කාර් පාක් එකේ දිලිනි වාහනේ නවත්තගෙන හිටියා. මම බයික් එක දාලා ගිහින් කාර් එකට නැග්ගා.
“කාවින්ද.... මට සමාවෙන්න මාස තුනක්ම ඔයාව බලන්න ආවේ නැතුවට... මට හිත හදාගන්න බැරි වුනා.“
“ඒක ඉවරයි... දැන් අපි හම්බවුනානේ... කොහද යන්නේ?“
“නුවර නම් ඉන්න බෑ කාවින්ද... අපි කොහේ හරි ටිකක් දුරකට යමු.“
“නුවරඑළියේ...“
“අපෝ බෑ කාවින්ද.. ගොඩක් වෙලා යයිනේ..“
“දැන් වෙලාව දහයයි... මේ කාර් එකේ ගියොත් පැය එක හමාරෙන් යන්න පුළුවන්...“
“මට බයයි..“
“බය වෙන්න එපා යමුකෝ.... ඒක නෙවෙයි ඔයා කොහේ යනවා කියලද ආවේ..?“
“මම ආවේ නම් ඔයා එක්ක අද දවසම ඉන්න හිතාගෙන කාවින්ද... ඒ නිසා මම අද ශලනිගේ ගෙදර නවතිනවා කියලාමයි ආවේ...“
“එහෙනම් ඇයි බයවෙන්නේ.... අපි හතරට විතර එහෙන් එමු. එතකොට හය හමාරට කළින් නුවර.“
අපි දෙන්නා පැය දෙකකදි නුවරඑළියට ආවා. ඒත් කොහේ යන්නද කියලා අදහසක් තිබුණේ නෑ.... ඒ නිසා මම ග්‍රෙගරි වැව ලඟ කාර් එක නැවැත්තුවා.
“අපෝ කාවින්ද හොඳටම සීතලයි...... අපි මෙහේ එන්න ලෑස්ති වුනේ නෑනේ.. ඒ නිසා ස්වෙටර් එකක්වත් නෑ...“
“යමු... අපි කඩේකින් ගමු.“
ග්‍රෙගරි වැව ළඟ ස්වෙටර් විකුණන වෙලෙන්දෝ කීප දෙනෙක්ම හිටියා. දිලිනි ලස්සන රතුපාට එකක් ගත්තා.
“කාවින්ද ඔයාට එකක්....“
“මට එපා සුදූ... මට සීතල දැනෙන්නේ නෑ.. පුරුදුයි..“
වෙලාව දොළහ පහුවෙලා නිසා අපි දෙන්න කෑම කන්න තැනක් කල්පනා කළා.
“මම නම් දන්නේ සයිවර් කඩ විතරයි සුදූ... ඔයාට ඒවා හරියන්නේ නෑනේ.“
“අනේ... මෙච්චර දුර ඇවිත් සයිවර් කඩ වලින් කන්නේ කව්ද...? අපි යමු ග්‍රෑන්ඩ් හොටෙල් එකට...“
“ග්‍රෑන්ඩ් එකේ ලන්ච් ගන්න බෑ සුදූ... ලොකු ගාණක් යයි....“
“කමක් නෑ කාවින්ද... අපි යමු... එතකොට අපිට ටිකක් රිලැක්ස් එකේ ඇවිදලා... ටිකකින් ලන්ච් ගන්න පුළුවන්. මෙහෙම පාරේ ඉන්න බෑනේ.“
දිලිනිගේ කීම නිසා අපි දෙන්නා ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගියා.
වට පිටාව හරිම ලස්සනයි... මීදුම පැතිරිලා... තුනී අවු රැල්ලකුත් වැටෙන්න පටන් අරන්.
අපි දෙන්නා අත් අල්ලගෙන හොටෙල් එකේ ගාඩ්න් එක් ඇවිද්දා.
“කාවින්ද.. අපි අර ගහ යටින් ඉඳගමු...“
අපි දෙන්නා ගහ යට තිබුණ බංකුවේ ඉඳ ගත්තා. දිලිනි මට තුරුල් වෙලා....
“ඔයා මගෙන් ඈත් වෙන්න ඕනේ කිව්වනේ මාස තුනකට කළින්... දැන් ඒක නැද්ද?“
“නෑ..... මට ඕනේ වුනේ ඔයා හොදින් ඉන්න.... මම ඉන්න නිසා ඔයා විනාශ වෙනවා කියන කතාව නවත්තන්න. දැන් ඒක වුනා...“
“එතකොට සුදූ දැන් ඔයාගේ ප්ලෑන් එක මොකක්ද?“
“මොනවත් නෑ.. ඔයා ඔයාගේ වැඩ කරන්න... දියුණු වෙන්න.... ඔයාගේ ජොබ් ට්‍රේනින් එක ඉවර වෙයි තව මාසෙකින්... ඊට පස්සේ හර්ෂ ඔයාව පර්මනන්ට් කරයි. ඊට පස්සේ ඔයා මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරන්න. මම සල්ලි දෙන්නම්.... සමහර විට ඔයාට දෙවෙනි අවුරුද්දට කෙලින්ම යන්න පුළුවන් වෙයි. එහෙම වුනොත් තවත් ලේසියි... ස්පෝර්ට්ස් කරන එකත් නවත්තන්න එපා.“
“ඒ ඔක්කොම හරි කියමුකෝ... මම ඇහුවේ එතකොට ඔයා...“
“මම ඔයාගේ පිටිපස්සේ ඉන්නවා කාවින්ද.... හැබැයි අපේ සම්බන්දේ රහසක් විදිහට තියාගන්න ඕනේ ඔයාගේ ඩිග්රි එක ඉවර වෙනකම්ම... ඊට පස්සේ අපි තීරණයක් ගමු.“
“තීරණයක් කිව්වේ...“
“ඔයාට කැමති තීරණයක් ඊට පස්සේ ගන්න කාවින්ද.“
“මම තීරණයක් දැන්මම අරන් තියෙන්නේ... මම ඔයාව බඳිනවා..“
“අනේ කාවින්ද... ඒක තමයි මගෙත් හීනේ....“
බලාගෙන යනකොට දිලිනි කියන්නේ පුදුම කෙල්ලෙක්... හැම දෙයක්ම ලස්සනට සැලසුම් කරනවා. හදිස්සි වෙලා වැඩ පටලවගන්නේ නැතුව අවුරුදු දෙක තුනකදි අපි ඉන්න ඕනේ කොතනද කියන එක එයා දන්නවා.
දිලිනි මගේ ලඟ ඉන්නවනම් තව අවුරුදු දෙක තුනක් ඉවසන එක ලොකු දෙයක් නෙවෙයි. මම හොඳට හිටියොත් සමහර විට ඒ වෙනකොට මට දෙමව්පියන්ගේ කැමැත්ත වුනත් ගන්න පුළුවන් වෙයි.
අපි දෙන්නා දවල් කෑම ඉවර වෙලා හග්ගල මල් වත්ත බලන්න යන්න හිතා ගත්තා. මම මීට කළින් කවදාවත් ගිහින් තිබුණේ නෑ හග්ගල.
මල්වත්තේ ඇවිදලා කාර් එකට එනකොට නොදැනීම වෙලාව ගතවෙලා... හවස හතරයි...
“අනේ කාවින්ද හතරත් පහුවෙලා.. බඩත් ගිනියි.“
“මම කියන්නද සුදූ... අපි දෙන්නා ටවුන් එකෙන් මොනවා හරි බඩට ඇනගෙන ටක් ගාලා නුවර අදිමු.“
“බඩට ඇනගෙන... මොනවද..?“
“නෑ හලෝ... මම කිව්වේ මොනවා හරි කමු කියලා...“
“ඒකට බඩට ඇනගෙන කියනවද... මෙයා නම් හරියට නරක් වෙලා... රස්තියාදු කතා කියන්නේ...“
“කාවින්ද අපි ආපහු ග්‍රෑන්ඩ් එකට ගිහින් එකේ පේස්ට්‍රි ෂොප් එකෙන් පේස්ට්‍රි කමු.“
“දුවද්දි පේස්ට්‍රි කන්න හොඳ නෑ... තෙල්...“
“අනේ සොරි.... මට අමතක වුනා... එතන ස්වීට්ස් තියෙනවා.. අපි ඒව කාලා තේ බොමු.“
අපි තේ බීලා ඉවර වෙනකොට හිතුවට වඩා වෙලාව ගියා. කරුවල වැටිලා..
“කාවින්ද... වෙලාව හය හමාරයි.... අද නම් රෑ වෙයි.“
“මට නම් දැන් ආපහු යන්න කම්මැලියි.“
“එතකොට...“ දිලිනි මගේ දිහා බැලුවා... මගේ හිතේ තිබුණ දේ දැනගෙන වගේ.
“මෙයා නම් හරිම කට්ටයි... හිතලම නේද පරක්කු කළේ...“
“හිතල පරක්කු කළේ නෑ... ඒ වුනාට මේ රෑ වංගු පාරේ පල්ලමට ඩ්‍රයිව් කරන්න අමාරුයි... දැනටම කරුවල වැටිලා...“
“අනේ කාවින්ද... ඔයාට ඕනේනම් ඉන්න.... මටනම් බෑ... මම තනියම හරි යනවා.“
“පුළුවන්ද මේ කරුවලේ තනියම ඩ්‍රයිව් කරන්න...?“
“බෑ තමා... ඔයා මාව බස් එකකට දාන්න...“
“මේ හලෝ විකාර කියවන්න එපා. මම ආවේ ඔයා එක්කනම් යන්නෙත් ඔයා එක්ක.“
“එහෙනම් දැන් යමු.“
අපි හොටෙල් එකෙන් එළියට එනකොට ලොකු වැස්සකුත් වැටුනා.
අපි වැස්සෙම යනවා දැකලා උදේ ඉඳලා අපිට හිතවත් වෙලා හිටපු බෙල් බෝයි මට කතා කළා.
“සර් නුවර නේද... මේ වැස්සෙනම් යන්න එපා.... ඒක ටිකක් ඩේන්ජරස්.... ඊයෙත් මේ වගේම වැස්සා... නුවර පාරේ ගිය කීප දෙනෙක්ම යන්න බැරුව හරවගෙන ආවා. මේ මීදුමත් එක්ක වැස්ස වැටුනාම අඩියකට වඩා දුර පේන්නෑ සර්....“
ඒක ඇහුනාම දිලිනි බයෙන් මගේ අත අල්ලගත්තා.
“අනේ කාවින්ද... අපි මොකද කරන්නේ..?“
“ඔයාට යන්නම ඕනෙනේ... අපි හෙමීට යමු.“
මම එහෙම කිව්වත් වැස්ස තවත් වැඩි වුනා. මීදුමත් එක්ක වැස්ස නිසා අපි හිටපු තැන ඉඳලා අඩි දෙකක් වත් ඉස්සරහට පෙනුනේ නෑ.
මොනව වුනත් මට දිලිනිව අප්සෙට් කරවන්න ඕනේ වුනේ නෑ... ඒ නිසා අපි දුවලා කාර් එකට ඇවිත් යන්න පිටත් වුනා.
අපි ටවුමට වාහනේ හරවනකොට වැස්ස නිසා කිසිම දෙයක් පෙනුනේ නෑ. හතරමං හන්දියෙන් මොන පාරේ යන්න ඕනෙද කියලවත් පෙනුනේ නෑ. පැයට කිලෝ මීටර් විස්සක, තිහක වේගයකින් වත් යන්න බයයි.
“අනේ කාවින්ද අපි මොකද කරන්නේ?“
“දන්නෑ..... ඔයා කියන දෙයක්....“
“අපිට යන්න බෑ කාවින්ද...“
“හ්ම්... ඒත් ඔයා නොගියොත් ලෙඩක් වෙයිද?“
දිලිනි ටිකක් වෙලා කල්පනා කළා.
“අපි ආපහු යමු කාවින්ද...“
“ඊට පස්සේ...“
“අපි අද ඉමු... වෙන කරන්න දෙයක් නෑ...“
“කොහෙද ඉන්නේ...?“
“ග්‍රෑන්ඩ් එකටම යමු. මේ වැස්සේ වෙන තැන් හොයන්නත් බෑ.“
කරන්නම දෙයක් නැති නිසා අපි දෙන්නා ආපහු හොටෙල් එකට ගියා.
අපි එනවා දැකලා කලින් කතා කරපු බෙල් බෝයි දුවගෙන ආවා.
“මම කිව්වා නේද සර්... මේ වෙලාවේ යන්න බෑ.... මේ දවස් ටිකේම හයෙන් පස්සේ මේ වගේ වහිනවා.“
“ඔව්... අපිට ඩබල් රූම් එකක් ගන්න පුළුවන්ද?“
“එන්න සර්... ලොබි එකේ ඉඳගන්න... මම එවන්නම් කෙනෙක්.“
“අපේ තාත්තා අද මාව හොයන එකක් නම් නෑ කාවින්ද... මම ශලනිගේ ගෙදර යනවා කියපු නිසා... ඒත් ශලනිට කෝල් කරන්න වෙනවා.“
එහෙම කියලා දිලිනි කෝල් එකක් ගත්තා.
ඒ අතරේ මමත් අම්මට කතා කරලා කිව්වා මම අද එන්නෙ නෑ සචියගේ ගෙදර ඉන්නවා කියලා. අනිත් පැත්තට සචියට කෝල් කරලා මම කතාව කිව්වා. ඌ බැන බැන වුනත් වැඩේ බාරගත්තා.
දිලිනි කාමරේ ජනේලේ ලඟට ගිහින් වැස්ස දිහා බලාගෙන ඉන්නවා. මම පිටිපස්සෙන් ගිහින් එයාගේ ඉන වටේ අත දාලා එයාට තුරුල් වුනා.
“මොනවද සුදූ කල්පනා කරන්නේ...?“
“අපි දෙන්නට හැමදාම මේ වගේ ඉන්න පුළුවන් කාලයක් එන්න තව කොච්චර කාලයක් යයිද කාවින්ද? මට ආසයි හැමදාම මේ වගේ ඔයාට තුරුල් වෙලා ඉන්න. ඔයාව බදාගෙන නිදාගන්න... උදේට නැගිටිනකොට ඔයාට තේ හදලා දෙන්න...“
“අප්පා මෙයා කල්පනා කරලා තියෙන දුර... අනිත් එක පොඩි අප්සෙට් එකක් තියෙනවා.“
“මොකක්ද...?“
“මම තේ බොන්නේ නෑ..... උදේටනම් කොහොමත් නෑ.... අනිත් වෙලාවටත් ප්ලේන් ටී හරි බ්ලැක් කොෆී හරි විතරයි. කිරි නම් බොන්නෙම නෑ.“
“අයියෝ.... එතකොට මට තේ දෙපාරට හදන්න වෙනවා. මට නම් කිරි එකක් නැතුවම බෑ. අනේ මට නම් බෑ උදේ පාන්දර දෙපාරක් තේ හදන්න...“
“හලෝ මේ... තාම අපි පටන් ගත්තා විතරයි... මෙයා මේ උදේට නැගිටලා තේ හදන විදිහත් කල්පනා කරනවා.“
“කෙල්ලෝ එහෙම තමා කාවින්ද.. කෙල්ලෝ ආදරේ කරන්න පටන් ගත්තහම ඒ තරම් දුරට හිතනවා.“
මම තව ටිකක් දිලිනිට තුරුල් වුනා. හැමදාම වගේ දිලිනිගේ කොන්ඩෙන් එන සුවඳ මාව වෙනම ලෝකයකට අරන් යනවා. මම හෙමිහිට එයාගේ බෙල්ල සිප ගත්තා.
“එපා...“ එයා රහසින් වගේ කිව්වා.
“ඇයි....?“ මම ඇහුවා.
“එහෙම කරන්න එපා කාවින්ද... මට ඉන්න බැරි වෙනවා.....“ දිලිනි එහෙම කිව්වත් මම ආයෙත් එයාගේ බෙල්ලට මගේ දෙතොල් තිබ්බා.
දිලිනි කරන්ට් එකක් වැදුනා වගේ ගැස්සිලා මගේ පැත්තට හැරුනා. තත්පරයක් යන්න කලින් එයා මාව තදින් බදාගෙන නැවතීමක් නැතුවම සිප ගන්න පටන් ගත්තා.
“මට ඔයාව නැතුව එක දවසක්වත් ඉන්න බෑ රත්තරන්....“ සිප ගන්න එක මොහොතකට නවත්තලා දිලිනි කිව්වා.
“මටත් එහෙම තමා සුදූ.. ඒත් ඔයාමනේ නීති දාගන්නේ...“
“ඔයා ලග ඉන්නකොට මට මාවම පාලනය කරගන්න බෑ කාවින්ද... මොනව කරන්නද කියලා හිතාගන්න බෑ... මට දැන්ම ඔයාව මැරි කරලා මගේ කරගන්න හිතෙනවා....“
දිලිනි ඇස් දෙක වහගෙන කිව්වා.
“මැරි කරත් නැතත් මම ඔයාගේ තමයි සුදූ....“
“මාව තව ලංකරගන්න...“ දිලිනි ඉඩ තියෙන හැම තැනකින්ම මට ලංවුනා.
මම දිලිනිව අත්දෙකට වඩාගෙන අරගත්තා. ඊට පස්සේ එයාව අරන් ගිහින් ඇඳෙන් තිබ්බා. දිලිනි මාව එයාගේ ඇඟ උඩට ඇදලා ගත්තේ ඒත් එක්කම.

1 comment:

  1. ඇති යන්තම්.... ඉන්න බලන්න

    ReplyDelete