Monday, September 18, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 91




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



91.

කොහොම හරි මට දිලිනිව බලන්න පුළුවන් වුන නිසා පහුවෙනිදා මීට් එකට මම ගියේ සැහැල්ලු හිතින්....
ජාතික මට්ටමේ ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා වුනත් මට සාෆ් කොලිෆයි වෙන්න පුළුවන් කියලා මට හිතුනා.
මීටර් හාරසියය මට තිබුණ ලොකුම ප්‍රශ්ණේ සුදම් රත්නායක, රංග දිසානායක. මේ දෙන්නාම නැගගෙන එන කාලේ මේ. සුදම්ගෙත්, රංගගෙත් මගෙත් තුන් දෙනාගෙම පලවෙනි සාෆ් කොලිෆිකේෂන් මීට් එක. මීට කලින් හැම තරඟයකදීම මේ දෙන්නා එක දෙක වුනා. මම ඒ එකකටවත් දිව්වේ නෑ, තුවාලේ නිසා.
සර් මාත් එක්කම ආවා.
“කාවින්ද... වැඩේ කරමු නේද..?“
“සර්... මගේ ටයිමින් වලට වඩා අර දෙන්නගෙම හොඳයි...“
“ඔව් මම දන්නවා.. ඒත් මේක වෙනස්.. මොනව වෙයිද කියලා කලින් කියන්න එපා. ඔයා හිතන්න ඔයාගේ ඇබිලිටි එක ගැන විතරක්. පුළුවන් උපරිමෙන් කරන්න.“
“බලමු සර්....“
“හරි... මෙහෙම හිතමු.. වර්ස්ට් කේස් ඔයා තුන, හතර නැත්නම් පහ වුනා කියලා ෆයිනල් එකේ... ඒත් ඔයාට රිලේ ටීම් එකේ චාන්ස් එකක් තියෙනවා.“
පලවෙනි දවසේ තිබුණේ පලවෙනි වටයේ තරඟ.
මම ඒකෙන් පලවෙනියා වුනා. මගේ රේස් එකට සුදම් වත්, රංගවත් හිටියේ නෑ... ඒ දෙන්නගේ රේස් දෙකෙනුත් දෙන්නා පලවෙනියා වුනා.
දවස ඉවර වෙලා මම සර් එක්ක කොළඹ අපි නැවතිලා හිටපු කොල්ලුපිටියේ හොටෙල් එකට ආවා. මේක බුක් කරලා දුන්නෙත් කම්පැණි එකෙන්.
මුලින්ම කතා කළේ දිලිනි... එයා සතුටින් උඩ පැන්නා.. ඊට පස්සේ අම්මා... එයාටත් සතුටුයි. මම හර්ෂටත් කෝල් කරලා මේ ගැන කිව්වා.
සචියා කෝල් කලේ ඊළඟට.
“කාවා ෆයිනල් එක බදාදා නේද... අපි එනවා.. ඩෝ... උඹට චියර් කරන්න..“
“කව්ද එන්නේ...?“
“අපේ සෙට් එකම, මම, පැණියා, චතුර, දිලිප්, අමිල, ප්‍රදියා, මීයා, කොටා, විනෝද්, බඩා, වැද්දා, සෙට් එකම එනවා. ආ... තව මේ අජාගේ සෙට් එකත් එනවා... මොනවා උනත් උන් දැන් උඹට ෆුල් භක්තිය....“
“යකෝ... උඹලා ඔක්කොම එන්නේ කොහොමද.? මොකේද...?“
“ඒක නෝ ප්‍රස්න... වෙනදා වගේම අයියගෙන් වෑන් එක ඉල්ල ගත්තා. උඹගේ රේස් එක කිව්වාම මෑන් පැනලා දුන්නා.“
වරෙන් වරෙන්.. මටත් පාළුයි තමා. සර් ඇරුණාම අඳුරන එක බල්ලෙක් නෑ බං.“
“ෆිට් තමා.. අපි එනවා.. හැබැයි පුතෝ උඹ දිනන්න ඕනේ... නැත්තං ඉතින් වස ලැජ්ජාව...“
“වරෙන්කෝ ඉස්සෙල්ලා...“
මම කෝල් එක කට් කරනකොට සර් කතා කළා.
“කාවින්ද... යාළුවෝ එනවා කිව්වා නේද...? ඒක හොඳයි ඔයාට ටිකක් සුපුරුදු පරිසරේ හැදුනාමත් හිතට හොඳයිනේ...“
“මොනවා වුනත් මේ කොළඹ හීට් එක තමයි සර් කාලා ඉන්න බැරි... වෝම් අප් කරනකොටත් දිව ගිලෙන්න යනවා.“
“වතුර බොන්න... ඒක අනිවාර්යයයි. කොහොමත් කදුකර ඉන්න අපිට මෙහේ ඇඩ්වාන්ටේජ් එක වැඩී... සුදම් පේන්නේ නැද්ද... කඟවේනා වගේ දුවන්නේ... ඌත් නුවර එළිට පැත්තේ කොල්ලෙක්නේ.“
“ඒ කොහොමද සර් අපිට හොඳ වෙන්නේ... කොලඹ උන්ටනේ මේහේ පුරුදු.“
“නෑ... කදුකරයේ අවට වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය සාපේක්ෂව පහත් බිම් වලට වඩා අඩුයි.. ඒ නිසා එක හුස්මකින් අපේ පෙනහළු වලට යන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒ නිසා ස්වභාවිකවම අපේ පෙනහළු වල ගර්ථ ලොකුයි.. මොකද ඇඟට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය හරියට ගන්න නම් එක වරකදි පෙනහළු වගට ගන්න වායු ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ.“
“එතකොට ඒක මෙහෙදි ඇඩ්වාන්ටේජ් එකක් වෙන්නේ ඇයි?“
“මේ පැතිවල වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය අපේ පැති වලට වඩා වැඩී. එතකොට අපි ස්වභාවිකවම වැඩි වායු ප්‍රමාණයක් ඇතුලට ගන්න නිසා මෙහෙදි අපිට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය කඳුකරයේදිටත් වඩා වැඩියි.. මොකද අපේ පෙනහළු ලොකු නිසා... එතකොට මෙහෙදි මෙහෙ අයට වඩා ඔක්සිජන් අපිට ලැබෙනවා. ඒ නිසා මෙහෙදි අපේ දරාගැනීමේ ශක්තිය වැඩි වෙනවා.“
සර් මට ඒක පැහැදිලි කරලා දුන්නාම තමයි මටත් මතක් වුනේ නුවරදි සීතල දවසක දුවනකොට වඩා මෙහේ රස්නේ දිව්වත් හති වැටෙන එක අඩුයි කියලා.
ඊළඟ දවසේ දෙවෙනි වටයේ තරඟ තිබුණා.. දෙවෙනි වටයේ තරඟ හතරයි... ඒ කියන්නේ බොහෝ දුරට එක රේස් එකකින් දෙන්නා ගාණේ තමයි අවසන් තරඟෙට යන්නේ... ඒකේ අනිත් තේරුම තමයි දෙවෙනි වටේ වුනාට උපරිමෙන් දුවන්න ඕනේ කියන එක.
දෙවෙනි තරඟයේ නම් ටික කියනකොට මම රත් වුනා. සුදම් හිටියෙත් ඒ ලිස්ට් එකේ.... ඒ කියන්නේ උපරිමේ දෙන්නම වෙනවා...
සුදම් කියන්නේ ඌට ඉස්සරහින් කවුරු හරි දුවනවා දකින්න අකමැති එකෙක්... එහෙම වුනොත් කොහොමහරි පන්නලා අල්ලනවා.
සර් මට කිව්වේ සුදම් ගැන හිතන්න තාම කල් වැඩී, ඒක ෆයිනල් එකට තියාගෙන මේක උපරිමෙන් කරන්න කියලා.
තරඟේ පටන් ගන්න නම් කතා කරද්දි මගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහුනා. සුදම් ගැන කතා වුනාට මිනිහා එක්ක එක රේස් එකේ දුවන පලවෙනි වතාව. ඒත් සර් කියපු විදිහට මම මිනිහව අමතක කරලා ලෑස්ති වුනා.
අපි ලයිනප් වෙනකොට මම ලේන් හතර, සුදම් පහ....
ලයිනප් එකේදි සුදම් මට කතා කළා.
“මම උඹ ගැන අහලා තියෙනවා... කාවින්ද නේද...?“
“ඔව් මචං..... උඹ ගැනත් අහල තිබුණට අදයි දැක්කේ...“
එතකොටම අපේ නම් කතා කළා.
අපි දෙන්නා අතට අත දුන්නා..
“ගුඩ් ලක්..“
“ගුඩ් ලක්..“
රේස් එක පටන් ගත්තා.... සුදම් අඩු වේගෙකින් තමයි දුවන්නේ.... ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න හිතලා මම වේගේ වැඩි කළා. පලවෙනි මීටර් එකසිය පනහා යනකොට මම සුදම්ව පහු කළා... මීටර් දෙසීයක් යනකොට මම පළවෙනියා... සුදම් හිටියේ මට වඩා මීටර් දහයක් විතර පස්සේ... ඒ කියන්නේ ඌට දෙන්න පුළුවන්...
ඒත් මීටර් දෙසිය පණහක් වෙනකොට සුදම් වේගේ වැඩි කළා. මීටර් තුන්සීයට ලංවෙනකොට සුදම් හිටියේ මට අඩි කීපයක් පස්සේ... මීටර් තුන්සීය පහුකරනකොට සුදම් මගේ ළඟ. අන්තිම මීටර් පහහා මිනිහා දිව්වා දිවිල්ලක් මට හිතාගන්නවත් බැරි වේගෙන්.. සුදම් රේස් එක ඉවර කළේ මට වඩා මීටර් පහලොවක් විතර ඉස්සරහින්... මම දෙවෙනියා වුනා. සුදම් දුවපු විදිහ දැක්කහම මාව නිකං කරකවලා අතෑරියා වගේ... මූට කොහෙන් ආපු ශක්තියක්ද?
සර් මට කතා කළා
“ගුඩ් රේස් කාවින්ද.“
මම හිනා වුනා. “කොහොමද සර් අරූ දුවපු දිවිල්ල... කිට්ටු කරන්නවත් බෑ.. අනිත් එක මේ සෙකෙන්ඩ් රවුන්ඩ්... ෆයිනල් කොහොම දුවයිද..?“
“හරි අපි ඒක බලමු... දැන් අපි දැක්කනේ මිනිහගේ මිස්ටේක්ස්... අපි බලමු අපිට ඒවයින් චාන්ස එකක් ගන්න. හෙට නිවාඩු නිසා අපි ටිකක් කල්පනා කරමු.“
එදා හවස් වෙනකොට අපේ ස්ටෑන්ඩින්ග්ස් අනුව, ඒ කියන්නේ දුවපු කාලේ ගත්තහම සුදම් එක, රංග දෙක, තවත් කවුද දෙන්නෙක් තුන සහ හතර, මම පහ.
“බය වෙන්න එපා කාවින්ද... ඔයා තාම හොඳ තැනක ඉන්නේ... තුන, හතර පහ ගැප් එක තියෙන්නේ දශම පහකින්....“
සර් කිව්වා.
ෆයිනල් එකට සර්ගේ ප්ලෑන් එක වුනේ රේස් එක පටන් ගත්ත ගමන් සුදම්ව පහු කරන්නේ නැතුව එයත් එක්ක ඒ වේගෙන්ම දුවන්න. ඒකෙන් මගේ ශක්තිය ඉතුරු වෙනවා. රංගගේ උපාය වෙන්නෙත් එක කියලා හිතන්න පුළුවන්. අනිත් එක මිනිහට ඉස්සරහින් කවුරුත් නැති වුනාම මොනවද කරන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ විදහට ශක්තිය ඉතුරු කරගෙන අන්තිම මීටර් සීයේ උපරිමෙන් දුවන්න. හැබැයි කිසිම වෙලාවක කිසිම කෙනෙකුට මීටර් දහයකට වඩා ඉස්සර කරන්න ඉඩ දෙන්න නරකයි... එහෙම වුනොත් අයෙත් අල්ලන්න බැරි වෙනවා.
බදාදා මම පිට්ටනියට ආවේ ඒ සැලසුම් ඔක්කොම ඔළුවේ තියාගෙන... අපි එන්නත් කළින් සචියා සෙට් එකත් අරගෙන ඇවිත්...
මාව දැකපු ගමන් උන් සෙට් එකට ඇවිත් මට විෂ් කළා. ඇත්තටම ඒ වැඩෙන් මගේ හිතට ලොකු හයියක් ආවා.
“කාවා, උඹ අරූට නෙලන්නම ඕනේ... ඕකගේ අලි ඔළුව...“
“කව්ද බං...?“
“අර සුගතයා.“
“මොකා...?“
“සුදම් රත්නායක බං... ඌ හිතන් ඉන්නේ ඌට වඩා දුවන්න පුළුවන් එකෙක් මේ ලොකෙත් නෑ කියලා...“
“ජරා කතා කියන්න එපා බං... ඌ හොඳ එකා... මට කීප සැරයක්ම කතා කලා.“
“අනේ පලයං යන්න.. උඹ අද දිනලා මිසක් එන්න එපා.“
මම ටික වෙලාවක් යාළුවෝ එක්ක ඉඳලා සුපුරුදු විදිහට තනියම පැත්තකට වුනා. සාමාන්‍යෙයන් රේස් එකකට කලින් පැයක් විතර මම තනියම ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඒක මගේ පුරුද්දක්. ඒ වෙලාවට මම කිසිම දෙයක් නොහිතා ඔළුව නිදහසේ තියාගන්නවා.
හරියටම හවස තුනයි තිහට රේස් එකට කතා කළා.
ටයිමින් වලින් පහ නිසා මට හම්බවුනේ ටිකක් අයිනට වෙන්න ලේන් එකක්.
අපි බ්ලොක් එකේ ලෑස්ති වෙනකොට මට ඇහුනා අපේ උන් සෙට් එක කෑගහනවා.
රේස් එක පටන් ගත්තා. පටන් ගත්ත වෙලාවේ ඉදලා සුදම් එකම වේගෙන් දුවනවා. මීටර් සීයක් යනකොට මම ඒ එක්කම ගියා. රංග පස්සෙන් එනවා. දෙවෙනි මීටර් සීයට එනකොට මට හිතුනා ප්ලෑන් එකෙන් පිට ගිහින් ටිකක් හයියෙන් දුවන්න....
දෙවෙනි මීටර් සීය ඉවර වෙනකොට මට සුදම්ව පහු කළා... තවත් මීටර් පනහක් යනකොට සුදම් තවත් පහුවුනා. ඒත් අන්තිම මීටර් එකසිය පනහ තමා තීරණාත්මක.
මම ඇස් කොනින් දැක්කා සුදම් වේගේ වැඩ කරලා එනවා. රංගත් අනිත් එවුනුත් පේන්න හිටියේ නෑ.... මම තියෙන ශක්තිය ඔක්කොම දාලා අන්තිම මීටර් සීයය දිව්වත් ඉවර වෙන්න මීටර් විස්සක් විතර තියලා සුදම් මාව පහු කළා. මේ මගේ උපරිමේ කියලා මට දැනුනා. වේගේ වැඩි කරන්න හැදුවත් කකුල් දෙක ඒකට කීකරු වුනේ නෑ... සුදම් හිටියේ මට මීටර්යකටත් අඩු දුරකින්... ඒ නිසා අන්තිම අඩි කීපයේ මම පුළුවන් තරම් උත්සහ කළා. ඒත් මම දෙවෙනියා....
රේස් එක ඉවර වුන ගමන් සුදම් කතා කළා.
“කාවින්ද. ගුඩ් රේස් මචං...“
“තෑන්ක්ස්...“ මම හති දාන ගමන් කිව්වා.
මගේ ජීවිතේ මේ තරම් වේගෙන් ගිය රේස් එකක් කවදාවත් තිබුනේ නෑ... ඒ වගේම මමත් මේ තරම් වේගෙන් දුවලා තිබුණේ නෑ.
සර් ටයිමින් අරගෙන ආවා. ඒක අනුව මගේ හොඳට කාලය.
මම ඇඳුම් මාරු කරනකොට අපේ සෙට් එකම දුවගෙන ආවා.
“කාවා... ඒක නම් සිරා... සුදම් කාරයා දිනුවත් ඌ හොල්මන් වුනා... රංගයාට නම ඇඩ්‍රස් නෑ...“ අමිල කිව්වා.
“මචං... උඹ එච්චර වේගෙන් දුවනවා මම කවදාවත් දැකලා නැහැ බං... අනිවා උඹ සාෆ් යනවා... එල කොල්ලෙක්නේ උඹ...“ සචියා මාව බදාගෙන කිව්වා.
සර්ටත් සතුට දරාගන්න බෑ... ඒත් මම කරපු මෝඩ වැඩේ ට සර්ට තද වෙලා.
“කාවින්ද ඔයා ප්ලෑන් එකට දිව්වේ නෑ... ඇයි මැදදි ස්ප්‍රින්ට් කළේ... මම කිව්වේ සුදම් එක්කම ඉන්න කියලා.... ඔයා එහෙම කළා නම් සුදම්ටත් ගහනවා... ඔයාට වුනේ අන්තිමට ෆිට්නස් මදි වුනා ෆිනිෂ් කරන්න. අපරාදේ.. පන්ඩිතයා වුනානේ“
“සොරි සර්... මට දුවනකොට හිතුනා ඒක... අපරාදේ...“
“කමක් නෑ... මීට පස්සෙවත් හරියට දුවනවා, ප්ලෑන් එකට.“
පැය බාගයකින් විතර මම වොෂ් එකක් දාගන්න යන්න ටවල් එක ඇඳගත්තා... බිම තිබුණ සපත්තු දෙක ගන්න නැමෙනකොට මට දණහිස ළඟින් පොඩි වෙනසක් දැනුනා. වේදනාවක් නෙවෙයි.... ඒත් බැලන්ස් නැති ගතියක්... ටිකකින් ඒක හරිගිය නිසා මම ගණන් ගන්නේ නැතුව නාලා, ඇඳගෙන එළියට ආවා.
ඒත් එක්කම සර්ගේ ළඟ තිබුණ මගේ ෆෝන් එක රිංග් වුනා.
“මෙන්න කාවින්ද ...“
කතා කළේ දිලිනි...
“කාවින්ද.... මොකද වුනේ...?“
“මම දෙක.. සුදම් එක...“
“නියමයිනේ... මගේ සුබ පැතුම්... එහෙනම් මගේ හීනේ ඇත්ත වුනා... අපේ මහන්සිය අපතේ ගියේ නෑ...“
“ඇයි...?“
“ඔයාට සාෆ් යන්න පුළුවන්නේ කාවින්ද... මට ඕන වුනේ ඒක.... හැමෝම කිව්වා මම නිසා ඔයා විනාස වෙනවා කියලා... මම හැම කැපකිරීමක්ම කළේ එහෙම නෑ කියලා පෙන්වන්න... ඔයා ඒක කළා කාවින්ද...“
“ඔයාගේ මහන්සිය තමා වැඩියෙන් සුදූ... ඊටත් වඩා ඔයාගේ සල්ලි නිසා... සිංගප්පූරුවේ නොගියනම් ජීවිතේට මට දිනන්න තියා දුවන්නවත් පුළුවන් වෙන එකක් නෑ...“
“මම කළේ පොඩි දෙයක් කාවින්ද.. සල්ලි කියන්නේ මොනවද... අනික ඒක මගේ යුතුකම... ඔයාගේ මහන්සිය තමා වැඩිපුරම... සර්ටත් ක්‍රෙඩිට් එක යන්න ඕනේ කාවින්ද.. එයා මුල ඉඳලට විශ්වාස කළා ඔයාට පුළුවන් කියලා.“
“ඒක නම් ඇත්ත. සර්ගේ කටේ කොයි වෙලෙත් තිබුණේ මට පුළුවන් කියන එක... ඇත්තටම මමත් මුලින් විශ්වාස කළේ නෑ.. ඒත් සර් විශ්වාස කළා.“
“එහෙනම් කාවින්ද පරිස්සමෙන් එන්න.... ඔයා ඩ්‍රයිව් කරන්න එපා... සර්ට දෙන්න....“
“හොඳයි සුදූ.... ඔන්න මම පොරොන්දුව ඉෂ්ඨ කළා. දැන් ඔයාගේ වාරේ... ඔයා හෙටම මාව බලන්න එන්න ඕනේ...“
“මම එනවා කාවින්ද... ලොකුම ලොකු තෑග්ගකුත් එක්ක...“
“මොන තෑගිද සුදූ... ඔයා ඔයාගේ ජීවිතේ ලොකුම තෑග්ග මට දීග තියෙන්නේ...“
“බායි...“
මම ෆෝන් එක තිබ්බා.
එදා මග දිගට පිස්සු නට නට අපි නුවරට එනකොට රෑ නවය විතර වුනා.
මම ගෙදර එනකම්ම අම්මයි තාත්තයි ඇහැරගෙන ඉඳලා.. ආරංචිය කළින් ලැබිලා නිසා දෙන්නම මාව බදාගත්තා.... කාලෙකට පස්සේ අපේ ගෙදර අය මාත් එක්ක තියෙන ප්‍රශ්ණ අමතක කරලා එදා රෑ සතුටු වුනා.


4 comments: