Monday, September 18, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 90



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



90.

ඒ මාස තුනක කාලය ගතවෙලා ගියේ නොදැනීම.
ඒ මුළු කාලය පුරාම මම එක දවසක්වත් දිලිනිව දැක්කේ නෑ. එයා මට කීප වතාවක් කෝල් කරලා විස්තර ඇහුවා... ඒත් අපි දෙන්නා හම්බවුනේ නෑ.
මම හැම දෙයක්ම කළා. ඒත් හිතේ දිලිනි නැති අඩුව ලොකුවටම තිබුණා. දිලිනිගේ අකමැත්තෙන් එයාව හම්බවෙන්න මම උත්සහ කළෙත් නෑ. අපි දෙන්නගේ ආදරේ බොරුවක් නොවන නිසා කවදහරි අපි දෙන්නා එකතු වෙයි කියල විශ්වාසයක් මගේ තිබුණා. ඒ නිසා ඒ හැම දෙයක්ම කාලයට ඉඩ දීලා මම මගේ වැඩ කරගෙන ගියා.
ඔක්තෝබර් මාසේ සාෆ් ගේම්ස් වලට තෝරාගැනීමේ තරග සැලසුම් කරලා තිබුණා. සර් නම් ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ඒත් මගේ ඉවෙන්ට් එකට තරඟ කළේ සුදම් රත්නායක, රංග දිසානායක වගේ ලංකාවේ නමක් තිබුණ අය. මම ඔය ගැන මතක් කරපු හැම වෙලාවෙම සර් කිව්වේ අනිත් ලේන් වල දුවන්නේ කව්ද කියන එක අමතක කරලා මගේ ලේන් එක දුවන්න කියලා.
ප්‍රොක්සිමා ගෘප් එකෙන් මට අවශ්‍ය හැම දෙයක්ම දුන්නා. ඇඳුම් පැලදුම්, සපත්තු, කෑම බීම වලට සල්ලි, මේ හැම දෙයක්ම මට විතරක් නෙවෙයි සර්ටත් ලැබුණා.
තරඟ පැවැත්වෙන්න නියම වෙලා තිබුණේ නොවැම්බර් මාසේ දහවෙනිදා. ඒ වෙනුවෙන් කම්පැනි එකෙන් මට සති දෙකක් නිවාඩු දුන්නා.
හරියටම නව වෙනිදා දිලිනි මට කතා කළා.
“ගුඩ් ලක් කාවින්ද.... ඔයාට පුළුවන්...“
“තෑන්ක්ස් සුදූ.. ඒත් මට ලොකු අඩුවක් තියෙනවා. ඒ අඩුව තියාගෙනම මීට් එකට ගියොත් මට සීයට සීයක්ම දෙන්න බැරි වෙයි.“
“මොක්කද අඩුව...?“
“ඔයාව දකින්න නැති එක සුදූ... හරියටම මාස තුනක්.... ලේසි වැඩක් නෙවෙයි සුදූ...“
“කාවින්ද මම කිව්වනේ... අපිට ලං වෙන්න බෑ... ඔයාගේ අම්මට මම වෙච්ච පොරොන්දුව කඩලා නරක කෙල්ලෙක් වෙන්න මට බෑ.“
“එතකොට ඔයා මට වුන පොරොන්දුව, කවදාවත් අපි දෙන්න වෙන් වෙන්නේ නෑ කියලා වුන එක?“
“අනේ කාවින්ද.. අපි ඔයා කතාව නවත්තමු.“
“ඒකත් ඇත්ත... ඔයා මට වඩා හොඳ කෙනෙක් හොයාගෙන ඇතිනේ. සොරි..“
“මොනවද කියන්නේ.. ලඟ හිටියනම් ගහනවා කටට...“
“ඇයි... මම කිව්වේ බොරුද?“
“බොරු තමා... ඔයාගෙන් පස්සේ මම අද වෙනකං කොල්ලෙක් දිහා බලලාවත් නෑ කාවින්ද... ඔයා නැත්නම් මම වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නෑ..“
“ඒක තමා සුදූ කියන්නේ... මට ඔයා නැතුව ඉන්න බෑ... මගේ ජීවිතේ එකම ආදරේ ඔයා... ඇයි මෙහෙම කරන්නේ..? මට මීට් එකට කළින් ඔයාව බලන්න ඕනේ.“
“අනේ කාවින්ද... අපි හම්බවුනොත් හිත් වේදනාවල් ආයෙත් අලුත් වෙයි.“
“නෑ... එහෙම වෙන්නේ නෑ... හැම දේකටම විසඳුම් තියෙනවා. වෙන් වෙන  එක නෙවෙයි එකම විසඳුම.“
“හරි මම මේ වතාවට විතරක් එන්නම්... හැබැයි ඔයා මාව අමතක කරලා අම්මට කීකරු වෙලා ඔයාගේ ගමන යනවා කියලා පොරොන්දු වෙන්න.“
“බෑ... ඒක කරන්න බෑ.. ඔයා නැතුව මට ගමනක් නෑ... ඒ නිසා කරුණාකරලා අද මාව බලන්න එන්න...“
“හරි... කොහේටද?“
“ඔයා කැමති ඕනෙම තැනක් කියන්න සුදූ..“
“අපිට පේන්න ඉන්න බෑ කාවින්ද.. ඔයාට පුළුවන්ද ‘ල කැන්ඩියන්‘ එකට එන්න දවල් එකට විතර. අපි ලන්ච් ගමු.“
“මම එන්නම්..“
දිලිනි එන්නම් කිව්වට පස්සේ මාස ගාණක් හිතේ තිබුණ ප්‍රශ්න හැම එකක්ම නැතුව ගියා.
මගෙන් වෙන් වුනත් දිලිනි ඉන්නේ කැමැත්තකින් නෙවෙයි කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා මට ඕනේ වුනේ එයාව එක පාරක් හරි දකින්න.
හරියටම එකට මම හොටෙල් එකට ගියා. සචියා මාව දාලා බයික් එක අරන් ගියා මාව ආපහු ගන්න එන්න පොරොන්දු වෙලා.
මම යනකොටත් දිලිනි ඇවිල්ලා. හැමදාම වගේ කෙල්ල පුදුම ලස්සනක්... මාස තුනක් තිස්සේ මගේ හිතේ යටපත් වෙලා තිබුණ හැඟිම් එයාව දැක්ක ගමන් එළියට ආවා.
වෙනදා වගේම දිලිනි දුවගෙන ඇවිත් මගේ අතෙන් අල්ල ගත්තා.
“කාවින්ද....... මම අත ඇල්ලුවා... කමක් නැද්ද..?“ එයා දඟකාර විදිහට ඇහුවා.
“මේ අත ඔයාගේ තමයි සුදූ... ඒක අල්ලන්න අහන්න ඕනේ නෑ...“
“අනේ කාවින්ද... හිත රිදෙන කතා කියන්න එපා... ඔයාගේ අත මට අයිති නෑ... ඔයාගේ අම්මා පැහැදිලිවම මට ඒක කිව්වා. අපි ලං වෙන එකෙන් වෙන්නේ අපි දෙන්නම තවත් දුකට වැටෙන එක.“
“සුදූ... දැන් ඔයා කතා ඇති... අපි වෙන දෙයක් කතා කරමු.“
“හරි... ඉතින් කාවින්ද... කොහොමද ට්‍රේනින් වල තත්වේ? හෙට මීට් එක දිනන්න පුළුවන් නේද?“
“අනේ මේ... සුදම් රත්නායකයි, රංගයයි ඉන්නවා. වාසනාවක් තිබුනොත් උන් දෙන්නා එක දෙක වෙලා මම තුන වෙයි... ඒකත් ෂුවර් නෑ අප්පා.“
“අයියෝ... මොකක්ද... ඔයා මෙච්චර ප්‍රැක්ටිස් වෙලා... ඔය කතාවද කියන්නේ.. ඔයා හෙට කොහොම හරි සාෆ් කොලිෆයි වෙන්න ඕනේ..“
“හරි මැඩම්, මම ට්‍රයි කරන්නම්කෝ... ඒක නෙවෙයි ... අපි අර පැත්තට යමුද?“
මම කව්රුවත් නැති තැනකට දිලිනිවත් එක්ක ගියා.
අපි දෙන්නාම එකම බංකුවක ඉඳ ගත්තා. මම දිලිනිට ලං වෙනකොට එයා ටිකක් ඈත් වුනා.
“ඔහොම ඈත් වුනා කියලා ඔයාට මගේ හිතෙන් ඔයාව ඈත් කරන්න නම් බැරිවෙයි සුදූ..“ මම කිව්වා.
දිලිනි ලොකු හුස්මක් හෙලලා මගේ අත අල්ලා ගත්තා.
“කාවින්ද... අනේ අපි හම්බනොවී ඉමු. මට මෙහෙම ඉන්න බෑ... ඔයාගේ ලඟට එන්න හිතෙනවා... ඒත් ඒක කරන්න බෑ“
“ලඟට එන්න හිතෙනවා නම් එන්න....“
“බෑ බෑ... මට බෑ පොරොන්දු කඩන්න...“
“විකාර පොරොන්දු...“ එහෙම කියලා මම දිලිනිගේ අතින් ඇදලා අරන් මට තුරුල් කරගත්තා.
දිලිනිත් කිසිම කතාවක් නැතුව එයාගේ මූණ මගේ පපුවේ හංගාගත්තා.
“අනේ කාවින්ද.... මට ඉන්න බෑ බබා... ඔයා මම අමාරුවෙන් හදාගත්ත හිත ආයෙත් අවුල් කරනවා.“
“මොන හිත හදාගැනිල්ලක්ද... ඔයා මාස තුනක් හිත හදාගත්තා කියලා ඔයාටම බොරු කරගත්තා. ඔයාට පුළුවන්ද මාව අමතක කරලා ජීවත් වෙන්න?“
“බෑ.. දෙවියනේ... බෑ... මට ඔයා නැතුව ඉන්න එක දවසක් ගෙවාගන්න පුදුම අමාරුවකි තියෙන්නේ...“
“හිතට බොරු කරගන්න එක දැන්වත් නවත්තන්න සුදූ...“
“මම හොඳටම අවුල් වෙලා කාවින්ද.. එක පැත්තකින් ඔයාගේ අම්මා.. අනිත් පැත්තෙන් මගේ තාත්තා... ගිහාන්... සමාධි, දිනි... හැමෝම මාව වටකරගෙන... මම දන්නෑ මොනවා කරන්නද කියලා. වෙලාවකට මට මැරෙන්න හිතෙනවා කාවින්ද.. එතකොට ඔය හැම දෙනෙකුටම ප්‍රශ්ණ නැති වෙයි.“
“මෝඩ කතා කියන්න එපා.. ඔයාගේ හදවත කියන දේ කරන්න. ආදරේට ඉඩ දෙන්න සුදූ...“
“මට බයයි...“ එහෙම කියලා දිලිනි තවත් මට ලං වුනා.
“ඔයා බයවෙන්න එපා. අපි දෙන්නා වෙන් නොවී හිටියොත් මේ හැමදේටම විසඳුම් හොයාගන්න පුළුවන්... ඒත් අපි දෙන්නා වෙන් වුනොත් ආයෙත් කවදාවත් එකතුවෙන්න බැරිවෙයි.“
“මගේ හිත දන්නවා ඔයා නැතිවුනොත් මගේ ජීවිතේ කවදාවත් සම්පූර්ණ නොවෙන බව කාවින්ද... ඒත් වට පිටාව හැදිල තියෙන විදිහට මට ඒ හැම දෙයක්ම ගණන් නොගෙන ඔයාට ලංවෙන්න බෑ.... එහෙම වුනොත් අපි දෙන්නා තනි වෙයි. හැම දේම බිංදුවේ ඉඳලා පටන් ගන්න වෙයි... මටත් වඩා ඔයාට ගොඩක් දුක් විඳින්න වෙයි...“
“ඉතින් අපි එහෙම කරමු. මට දුක් විඳලා පුරුදුයි... මම කොහොම හරි ඔයාට ඕනේ හැම දෙයක්ම දෙන්නම්... මට වැඩ කරන්න පුළුවන්...“
මම එහෙම කියනකොට දිලිනි මගේ කට වැහුවා.
“ඔයා දුක් විඳලා මට ඕනේ දේවල් දෙන්න එපා... අපි දෙන්නම මහන්සි වෙලා අපේ දේවල් හදාගමු.“
“ඒකනේ කියන්නේ සුදූ... අන්න එහෙම කතා කරන්න... අපිට මේක පුළුවන්. ඔයාගේ තාත්තගෙනුත් සත පහක දෙයක් අපිට එපා... අපේ ගෙදරින් අකමැතිනම් ඒ අයගෙනුත් එපා. අපි දෙන්නා තනියම පටන් ගමු. මට ෂුවර් අපිට දිනන්න පුළුවන්.“
“හරි... ඒක එහෙමයි කියමුකෝ කාවින්ද.. ඒත් ඔයාගේ අම්මගේ හිත හදන්නේ කොහොමද....?“
“ඒක අමාරු වෙන එකක් නෑ... ඔයා නරක කෙනෙක් නෙවෙයිනේ.. අම්මගේ හිතේ තියෙන්නේ ඔයා මාව රවට්ටගෙන... පස්සේ මට ඔයා නිසා දුක් වෙන්න වෙයි කියලා. ඒත් අපි දෙන්නා ප්‍රශ්ණයක් නැතුව ලස්සන ජීවිතයක් අරන් ගියොත් එයාට දුක් වෙන්න හේතුවක් නෑ...“
“ඒක අපි හිතන තරම් සිම්පල් වෙන එකක් නෑ කාවින්ද... අපි කොච්චර හොඳන් හිටියත් ඔයාගේ අම්මා හේතුවක් හොයා ගනියි මම හොඳ නෑ කියන්න...“
“ඔය හැම දේම හිතන්න ගියොත් අපිට මේක කවදාවත් කරන්න වෙන්නේ නෑ...“
“ඒ වුනාට මට තාම බයයි... මට තව ටික කාලයක් දෙන්න කාවින්ද... අපි මෙහෙම දුරින් ඉමු... තත්වේ ටිකක් හොඳ වුනොත් අපි එකතු වෙමු...“
“නැත්තං....“
“නැත්තං අපි වෙන්වෙමු කාවින්ද... දෙමව්පියන්ගේ හිත් රිදවලා කරන දේවල් හරි යන්නේ නෑ කියලා මට හිතෙනවා.“
“ඔයාට එහෙම හොඳනම් එහෙම කරමු... ඒත් අපි දෙන්නා වෙන් වුනොත් මම කවදාවත් තවත්  කෙනෙකුට ආදරේ කරන එකක් නෑ...“
“හිත රිදෙන කතා කියන්න එපා කාවින්ද.. මම නැතිවුනා කියලා ඔයාට හොඳ කෙනෙක් හම්බවෙයි... ඔයා එයාට ආදරේ කරයි...“
“ඒ කියන්නේ අපි තාම තීරණයක් ගත්තේ නෑ...?“
“නෑ බබා.... අපි ටිකක් ඉමු....“

3 comments:

  1. Replies
    1. Complected? which part?
      If you know the this kind of young love with so much pressure from parents, yes its complected for them

      Delete
  2. මේ කතාවෙ තියනව වගේම මටත් වෙලා තියනවනෙ බොලව්..... හැබැයි මේකෙ අනිත් පැත්ත

    ReplyDelete