සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
97.
මම ලංකාවෙන් ගිහිල්ලා හරියටම මාස තුන හමාරකට පස්සේ
මම නැවතත් ලංකාවට ආවා.
එයාර් පෝට් එකට අම්මයි තාත්තයි, කොල්ලෝ සෙට් එකමයි
ඇවිත් හිටියා.
ලංකාවෙන් ගිය කාවින්දගෙන් කාලක් විතර සයිස් කාවින්ද
කෙනෙක් ආපහු ලංකාවට එනවා දැකපු කාටවත් අදහාගන්න බැරිවුන බව උන්ගේ ඇස් වලින් මම
දැක්කා. ඇත්තටම එන්නේ මේ කාවින්දමද කියන ප්‍රශ්ණාර්තේ උන්ගේ ඇස්වල මම දැක්කා.
කොල්ලෝ සෙට් එකම මාව වටකරගත්තේ අම්මටයි, තාත්තටයිවත්
ඉඩක් නොදී.
“කාවා... උඹ ආව එක ලොකු දෙයක්... ඒත් බං උඹව
අඳුරන්නවත් බෑ.... හිටියයිං බාගයක්වත් නෑ බං.... යකෝ.... බලාගෙන ඉන්න
බෑ බං උඹ දිහා....“ අමිල ඇත්තටම දුකෙන් කිව්වා.
“ගණන් ගන්න එපා බං... ඒව හරියයි....“
එදා හැමෝම අපේ ගෙදර ආවා. ගොඩක් රෑ වුන නිසා අමිලයි,
සචියයි, අපේ ගෙදරම නැවතුනා. අනිත් උන් ටික තැන් තැන් වලින් බස්සගෙන ආව නිසා ප්‍රශ්ණයක්
වුනේ නෑ.
පහුවෙනිදා උදේ නැගිට්ට ගමන් මට පුදුම සනීපයක්
දැනුනා. මොන තරම් පහසුකම් තිබුණත් කොහේ ගියත් ගෙදර මගේ කාමරේ වගේ නෑ. මට හිතුනා.
ඊට පස්සේ මගේ ඔළුවට ආවේ දිලිනි. මට ටික වෙලාවකට දිලිනි
එක්ක තනි වෙන්න ලොකු ඕනේ කමක් තිබුණා. කතා කරලා විසඳගන්න ගොඩක් දේවල් තියෙනවා.
“මොකද කාවා ඉඳගෙන කල්පනා කරන්නේ?“ සචියගේ ප්‍රශ්ණෙන්
මම පියවි ලෝකෙට ආවා.
“ම්... මම කල්පනා කළේ ඉස්සරට මොනවද කරන්නේ කියලා.“
“මොනව කල්පනා කරන්නද, දිලිනි උඹට ජොබක් සෙට් කරලා
දෙයි. අනික ඇත්තටම නම් උඹට ජොබ් එකක් ඕනේ නෑ... කොහොමත් ඒ දේවල් උඹටනේ.“
“මගුලක් කියවන්න එපා බං.... ඒව මට වැඩක් නෑ... මම
කල්පනා කළේ ඒවා නෙවෙයි...“
“එහෙනම්.?“
“අම්මා මේ ගැන කිසිම බුරුලක් දෙන්නෑ බං.....“
“ඔව්... ඒක ෂුවර්.... ඉතින්...“
“මට දිලිනි නැති කරගන්න බෑ... අම්මා නැති කරගන්නත්
බෑ.....“
“යකෝ.... ටික කාලයක් සයිලන්ට් හිටපං....... සනීප
වෙයං.... ඊට පස්සේ ජොබ් එකට ගිහින් සෙට්ල් වෙයං.... ඊටත් පස්සේ බලපං කෙල්ලව ගේන්නේ
කොහොමද කියලා.“
එක අතකට සචියා කියන එකත් හරි.... දැන්ම හදිස්සි නොවී
හිටියනම් හරි...
මම නැගිටලා දිලිනිට කෝල් එකක් ගත්තා.
“හලෝ.... මිස් තාරුකා ප්ලීස්...“
“යස්... ස්පීකින්..“
“සුදූ මම“
“මම දන්නවා අනේ... ඔයාගේ එක වචනයක් ඇහුනත් මම දන්නවා
ඒ ඔයා කියලා. ඒක නෙවෙයි කාවින්ද... ඔයා දිගටම මට තාරුකා කියන්න.... මම මැරෙන තරමට
ආසයි.....“
“අපෝ එහෙනම් බෑ.... ඔයා මැරුණොත්?“
“නෑ.... නෑ..... අනේ....“
“හරි හරි සුදූ.... අද ඉඳලා ඔයා මගේ තාරුකා.“
“ඒක නෙවෙයි කාවින්ද... දැන් කොහොමට ඇඟට...“
“නියමයි...... මාර ෆිට් එකක් තියෙනවා... අනිත් එක
මාරාන්තික බඩගින්නක් තියෙනවා හැම වෙලාවෙම...“
“නැතුව තියෙයිද? ඔයා මාස දෙකක්ම ගත්තේ සේලයින්
විතරනේ... ඊට පස්සෙත් මාසයක් විතර පොඩි පොඩි දේවල් විතරයි.“
“ඔව්.... ෆීලින්ග් ෆ්‍රෙෂ්... ඒත් මාර වීක් ගතියක්
තියෙනවා.“
“ඔයා හොඳට කාලා බීලා ඉන්න... ඩොක්ටර් කිව්වෙත් ඒකනේ.
අනේ ඔයාගේ ගෙදරින් මාව පිළිගත්තනම් මම හැම සතියකම ඔයාට චීස්, බටර්, හැම්, බේකන්, බීෆ්,
පෝක්, චිකන්, කිරි, බිත්තර, සොසේජස්, විතරක් නෙවෙයි චොක්ලටුත් මල්ලක්ම ගේනවා. කවලම
ඔයාව මහත් කරනවා.“
එහෙම කියලා දිලිනි සද්ද නැතිවුනා.
“ඇයි සුදූ.. තව ගේන්න දෙයක් කල්පනා කරනවද?“
“නෑ කාවින්ද... මම දුකයි... මට එහෙම කරන්න බැරි
එකට.“
“බය වෙන්න එපා... මගේ අම්මයි, තාත්තයි මට කන්න දෙනවා.“
“ඒක මම දන්නවා... ඒ වුනාට මේක මගේ ආසාව.... මට දුක
ඒකයි. මම පණටත් වඩා ආදරේ කරන ඔයා මේ වගේ ඉන්නකොට මට බලන්න එන්න බෑනේ.“
“අපි වෙන විදිහකට හම්බවෙමු.“
“මට එක අතකට හිතයි කාවින්ද ඕනෙ දෙයක් වෙන්න කියලා
ඔයාව බලන්න එන්න. බැනලා එලවගත්තත් මට එහෙම කරන්න හිතෙනවා.“
“මේ පිස්සු වැඩ කරන්න එපා. මම සචියට කියලා මොකක් හරි
චාන්ස් එකක් ගන්න බලන්නම්. අපි කොහොම හරි හෙට හරි අනිද්ද හරි හම්බ වෙමු.“
“අනේ ඔව් කාවින්ද... මට ඔයාව දකින්නේ නැතුව ඉන්න නම්
බෑ...“
“බලමු සුදූ...... මම මොනව හරි කරන්නම්.“
මම ෆෝන් එක තියනකොටම යාළුවෝ දෙන්නා කාමරේට ආවා.
“උඹ නම් බෙල්ල ගහලා ගියත් ලව් එක නම් කරනවා නේද? යකෝ
පුදුම ලවක් බං ඒක.... දිලිනි මිස් ටීචර් කියලා නෑ උඹට බොක්කටම ලව් නේද....“
“ඇයි තොට ඉරිසියද?“
“අනේ නෑ... උඹට හරියනවා කියන්නේ අපිටත් හරි යනවා වගේ
තමා. උඹ ඕවල අයිතිකාරයා වුනාම ඔය කොම්පැණි වල අපිටත් ජොබක් සෙට් කරලා දෙයිනේ....“
“උඹලට නම් පිස්සු බං.... නොලැබෙන දේවල් ගැන මම
හිතන්නේ නෑ...“
“මොන නොලැබෙනද..? දිලිනි පවුලේ එකම කෙල්ල.... තාත්තට
කෝටි ගාණක් බිස්නස් තියෙනවා.... උඹ ඒකිව බැන්දොත් ඒව උඹට තමා... තරහ තිබුණට තාත්ත
කෙනෙක් ඔය හැම දේම කෙල්ලට නොදී වෙන එවුන්ට දෙන්නෑ.... උඹේ ගොන් මොලේට ඕක තේරෙන්නේ
නැද්ද?“
“මට ඒව
ඕන්නෑ...“
“අනේ පලයං යකෝ යන්න ගොන් කතා නොකියා... දෙන දෙයියෝ
කටටම දෙනකොට ඒව එපා කියලා ජොබ් කර කර කටු කන්න තොට පිස්සුද? යකෝ, මිනිහෙකුට
දෙයක් ලැබෙන්න තියෙනවනම් ඒක ගනින් ගොනා වෙන්නේ නැතුව.“
“යකෝ... උඹල දෙන්න මට බණිනවනේ....“
“නැතුව බං..... උඹ කෙල්ලට ලව් කරලා, රෑ දවල් නැතුව
කෙල්ලව ආරක්ෂා කරලා, කෙල්ල ප්‍රශ්ණ වල ඉද්දි බෙල්ල කඩාගෙන උදව් කරලා, අරූ ගෙන් ගුටි කාලා අබ්බගාත වුනාට
පස්සෙත් තාමත් උඹ කියනවද ඒ කිසි දෙයක් එපා කියලා. උඹ ගෙවපු දේවල් ඒවට හිලව් වෙයි
යකෝ.. උඹ කාපු කටුවල රිසල්ට් එක තමා ඒවා.“ සචියා කිව්වා.
“ඔව් කාවා... ඇත්ත කියන්නම්, මේ තරම් දේවල් වෙනකොට
මම නම් මේක අතෑරලා ගොඩක් කල්.. උඹ ඒ අතින් මේ හැම කට්ටක්ම කාගෙන හිටියා... දැන් ඒක
උඹට පේ බැක් කරනකොට එපා කියන්න එපා.“ අමිලයත් අද උපදෙස් දෙනවා.
“එතකොට උඹලා දෙන්නම දැන් කියන්නේ මම දිලිනිව
බඳිනවනම් එයාගේ දේපලත් ගන්න ඕනේ කියලද?“
“ඒක තමයි බූරු පුතේ මෙච්චර වෙලා අපි කිව්වේ....
තාත්තා නොදුන්නත් උඹලා දෙන්නා එකතු වෙලා ෆයිට් කරලා ඒවා ගනින්... ඒවා දිලිනිගේ
අයිතිය... අනිත් එක උඹ මෙච්චර කටු කාලා, එක එකාගෙන් ගුටි කාලා, කෝමා එකක ඉඳලා,
මාස ගාණක් හොස්පිට්ල් වල ලැගලා දුක් විඳලා, ලැබෙන්න තියෙන දේපල එපා කියලා ඩබල
ආයෙත් දුක් විඳින්නද යන්නේ...? උඹලා දෙන්නම වෙලාවකට ගොන් බං... දිලිනිත් උඹට
හපන්.....“
සචියා කිව්වා.
“ඔව් කාවා... මමත් කියන්නේ ඒක තමයි. උඹ දිලිනිව
බඳිනවනම් කෙල්ලට කියපං ඒ දේවල් වලටත් ලෑස්ති වෙන්න කියලා. නැත්නම් උඹලගේ ජීවිතේ
ආයෙත් සල්ලි හොයන්න දුක් විඳන්න වෙයි.“
අමිල කිව්වා.
“යකෝ... හැමදාම වල්පල කියෙව්වට උඹලත් යමක් කල්පනා
කරලා වැඩ කරනවා නේද....? බලමුකෝ උඹලා කියන දේවල් කරන්න පුළුවන්ද කියලා.“
“බලන්න දෙයක් නෑ කාවා..... කෙල්ල පැනලා ගියත් හිස්
අතින් එන්නෑ... ඒක ෂුවර්... කෙල්ලට උඹට වඩා මොලේ තියෙනවා.“
එදා උන් දෙන්නා ගියේ හොඳටම හවස් වෙලා.
ඇත්තටම මට දැන්ම කාමරෙන් එළියට බහින්න බැරි නිසා මේ
විදිහට උන් දෙන්නා එනවනම් ලොකු දෙයක්.. නැත්නම් පිස්සු හැදෙයි.
පහුවෙනිදා කොහොමහරි මාව ගෙදරින් එළියට අරන් දිලිනිව
මුණගස්සන්න පොරොන්දු වෙලා තමයි උන් දෙන්නා ගියේ.
ඊළඟ දවසේ උදේ ඇහැරුණ ගමන් මම කල්පනා කළේ සචියා මොන
ගැටයක් ගහලා ඇද්ද මාව එලියට ගන්න කියන එක.
හරියටම නවට වෙනකොට සචියා අපේ ගෙදර ආවා. අම්මයි
තාත්තයි දෙන්නම වැඩට ගිහිල්ලා. දීප නැන්දා විතරයි හිටියේ.
“ආ දීප නැන්දේ... කන්න දෙයක් නැද්ද.....?”
ආපු ගමන්
සචියයි අමිලයි කෑම හොයනවා.
“අනේ ඉන්න.... මම විනාඩි දහයෙන් හදලා දෙන්නම්,
කාවින්ද මහත්තයත් තාම කාලා නෑ.”
උන් දෙන්නා පඩිපෙල නැගගෙන උඩට ආවා.
“සචියා.... මොකද කරන්නේ?”
“උඹ බය නැතුව හිටපං.... මම උදේම උඹේ තාත්තට කතා කළා.
උඹ කම්මැලි කමේ ඉන්න නිසා අයියගේ රෙස්ටොරන්ට් එකට එක්ක යන්නද ඇහුවා.”
“ඉතින්....”
“මට ෆුල් වගකීම දීලා ඕකේ එක දුන්නා. බලපං... මම සිරා
වැදගත් පොරක් නේ... උඹේ වගකීම මට දුන්නේ.”
“මොකක් හරි කමක් නෑ... අපි කීයටද යන්නේ... මම
දිලිනිට එන වෙලාව කියන්නම්.”
“පිස්සු කෙලින්න එපා. පොඩ්ඩක් හිටපං... දීප නැන්දගේ
බීෆ් කරි එකත් එක්ක ඉඳි ආප්ප පහහක්වත් නොකා ගිහින් වැඩක් නෑ.”
“යකෝ... ඉඳිආප්ප උඹට පණහයි අරූට පනහයි සීයක් හදන්න
දීප නැන්දට පැයක්වත් යයි. ඔන්න ඔය තියෙන දෙයක් කාලා වරෙන් බං....”
“බෑ බෑ.... මොනවට හදිස්සි වෙනවද? බඩ කොර වෙන්නම කාලා
යමු බං.”
මුන් දෙන්නා කන්න සෙට් වුනොත් ගින්නක් ආවත්
නැගිට්ටවනවා බොරු. ඒ නිසා මමත් මේසෙට ඉඳගත්තා.
“මෙන්න ළමයි... කන්න ඇති තරම්.”
දීප නැන්දා ඉඳිආප්ප සීයක් විතර එක පාර අරන් ආවා.
“දීප නැන්ද කොහොමද අප්පේ මේ විනාඩි පහට ඉඳිආප්ප
මෙච්චර ගොඩක් තැම්බුවේ.” අමිලයා කොර වෙලා ඇහුවා.
“මම උදේම තම්බලා තිබුණේ... ලොකු මහත්තයා කිව්වා.
කාවින්ද මහත්තයාව එක්ක යන්න මේ දෙන්නා එනවා කියලා. ඉතින් මම දන්නවනේ දෙන්නා එන්නේ
බඩගින්නේ කියලා. ඉතින් මම කලින්ම හදලා තිබුණා.”
දීප නැන්ද ඒක කිව්වේ නෝන්ඩියටද නැද්ද කියලා හිතා
ගන්න බැරුව උන් දෙන්නා උඩ බිම බලනවා.
මම සචියගේ කණට කරලා කතා කළා.
“ඕක තමයි තොපිට කියන්නේ මල පෙරේතයෝ වගේ කන්න එපා
කියලා. කොහොමද නෝන්ඩිය... අහගත්තා නේද...?”
අමිලයත් අපි දෙන්නා ලඟට නැමුනා.
“අඩෝ මේ... දීප නැන්දා ඒක නම් කිව්වා කාපුවා
එකපාරින්ම දිරවන්න. ෂික්... නෝන්ඩියේ බෑ. වනේ වන හතුරෙකුටවත් මේ වගේ නව නිංගිරාවක්
වෙන්න එපා දෙයියනේ..”
අමිලයා කියවනවා.
ගොඩක් ලොකු බලාපොරොත්තුවකින් මම එරංග අයියගේ
රෙස්ටොරන්ට් එකට ගියා.
#####
ReplyDeleteදැන් නම් කතාව දාන ස්පීඩ් එක හොඳටම මදි හරිද. අඩු ගානෙ දවසට දෙකක් තුනක් වත් දාන්න අප්පා. මුලදි වගේම තමයි කතාවෙ රසේ අඩුවක් නෑ.
ReplyDelete