සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
98.
මම යනකොට දිලිනි ඇවිත් නැහැ.
එරංග අයියා මම අමිලගේ වාරුවෙන් එනවා දැකලා දුවගෙන
ආවා.
“උඹට මේක කරපු උන්ට නම් හෙන ගහනවා බං. කොහොම හිටපු
එකෙක්ද බං උඹ.”
මම හිනා වුනා.
“නෑ නෙ අයියේ.... මේක මූ ඉල්ලගෙන කාපු එකක්නේ. අපි
හැමෝම දැක්කා මේක වෙනවා කියලා. මූට කොච්චර කිව්වත් මද කිපිච්ච අලියා වගේ කියන
දෙයක් අහන්නෙම නෑනේ.”
“ඔව් යකෝ... අපිත් ලව් කරලා තියෙනවා... ඒත් උඹ වගේ
ගුටි කාගෙන, මේ වගේ කටු කාගෙන, ගෙවල් වලින් එන ප්‍රශ්ණ වලට මූණ දීගෙන ලව් කරන්න
නම් අපිට ගටක් නෑ.... සිරාවටම, උඹට වගේ වුනොත් මම නම් ගිව්අප් කරලා. උඹ තමා බං
සිරාවටම පොර.” එරංග අයියා බොක්කෙන්ම කිව්වා.
ටික වෙලාවකින් දිලිනි ආවා. එයා නම් වෙනස් වෙලා නෑ...
සුරංගනාවියක් වගේ ලස්සනයි, ලස්සන සුදු පාට කාර් එකෙන් බැහැලා, තනියම එන කෙල්ල
දැක්කහම මට හිතුනේ දිලිනිගේ මේ ස්වාධීන ගතියට මම ආදරේ කරනවා කියලා. මේ වයසේ වෙන
කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරමට එයා තනියම වැඩ කරගන්නවා. ඒත් මාත් එක්ක
ඉන්නකොට එයා හැමදෙයක්ම කරන්නේ මාත් එක්ක. එතකොට එයා සම්පූර්ණයෙන් ඩිපෙන්ඩ් වෙන්නේ
මගෙන්. ඇත්තටම කෙල්ලෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම දේ ඒක.
එයා ආපු ගමන් මගේ අත අල්ල ගත්තා.
“ඉතින්....!”
මම එයාගේ අත තදින් අල්ල ගත්තා.
“ඔයා අද තවත් අළුත් කාර් එකක!”
“නෑ කාවින්ද... මේක පරණ එකක්... ඔයා දැකලා නැතුව ඇති.”
“ලස්සනයි....”
“මමද?”
“නෑ.... කාර් එක!”
“නරකයි.... හරිම නරකයි....”
අපි දෙන්නා සැහැල්ලුවෙන් කතා කළා. දෙන්නටම තිබුණ ප්‍රශ්ණ
එකක්වත් මතක් වුනේ නෑ. අපි දෙන්නට ඕනේ වුනේ අපේම ලෝකෙක තනිවෙන්න.
“කාවින්ද... මට ඔයාව බදාගෙන කිස් එකක් දෙන්න ඕනේ...”
“අපෝ... මෙතන බෑ.. මේ සිංගප්පූරුව නෙවෙයි. නෝ
පබ්ලික් කිසින්.”
“අපි සිංගප්පූරුවේ පදිංචි වෙමු අනේ. එතකොට මට ඔයාට
කිස් එකක් දෙන්න හිතුන හැම වෙලාවෙම පුළුවන්.”
“මේ විකාර කියවන්න එපා තාරුකා.”
මම තාරුකා කිව්වහම දිලිනි මගේ කම්මුලට හාදුවක්
දුන්නා.
“ඔයා හරි හොඳයි.. මම ආසම නම කියනවා. මට මතකයි ඉස්සර
ඔයා මට මිස් මිස් කියලා, දිලිනි කියන එක පුරුදු වෙන්න අමාරු වුන තරම. අන්තිමට මම
තරහ වෙනවා කිව්වහම තමා ඔයා මිස් කෑල්ල නවත්තගත්තේ.”
“ඔව් ඔව්.... මට මතකයි මමයි සචියයි ලයිබ්‍රරි එකට
ආපු වෙලාවේ ඔයා කිව්ව ලොකු කතා. කාලෙ නාස්ති කරන්න ලයිබ්‍රරරි එන්න එපා....
ඉගෙනගන්න වැදගත් දෙයක් කියවන්න. නවකතා කියවලා වැඩක් නෑ... කියලා මාර කතා කිව්වේ.”
“අනේ... ඒව කියන්න එපා... මට ලැජ්ජයි.”
එතකොටම සචියයි, අමිලයයි ආවා.
“සොරි ඩබලට ඩිස්ටර්බ් කරනවට. ඒත් අපිට සහ සුද්දෙන්ම
දැනගන්න දෙයක් තියෙනවා දෙන්නගෙන්ම.”
“මොකක්ද බං....?”
“සොරි දිලිනි මිස්.... ඒත් අපිට දැනගන්න ඕනේ දැන්
දෙන්නා මොනවද කරන්න යන්නේ කියලා.”
“මුලින්ම අමිල, මට මිස් කියන එක නවත්තන්න. මම
තවදුරටත් ටීචර් කෙනෙක්වත්, ඔය දෙන්නගේ මිස් කෙනෙක්වත් නෙවෙයි. මම ඔය දෙන්නගේ හොඳම
යාළුවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මට නම කියන්න. ප්ලීස්. ඔයාලා යාළුවට කතා කරන විදිහටම
මටත් කතා කරනවනම් මම කැමතියි.”
“අපෝ දිලිනි... අපි මූට කතා කරන්නේ බූරුවා, ගොනා,
මැට්ටා කියලා. ඔයත් කැමතිද?”
“ඇයි කාවින්දට බූරුවා, මෝඩයා කියන්නේ?” දිලිනි
කොරවෙන ප්‍රශ්ණයක් ඇහුවා.
කවදත් කට හින්දා ඇදගෙන නාන අමිලගේ කට ආයෙත් ඉස්සර වුනා.
“මේකයි දිලිනි, මෙච්චර ප්‍රශ්ණ වෙද්දිත් අපි කියන
දේවල කනකට ගන්නේ නැතුව ලව් කරන නිසා අපි ඌට එහෙම කියන්නේ.”
“ඇයි, ලව් කරන එක වැරැද්දක්ද?” අද නම් දිලිනි අමිලට
දෙයි වගේ ඇඬෙන්න.
“නෑ... ඒත් මූ ලව් කරන විදිහ පිස්සුවක්...
කෙල්ලෙක් නිසා ඔයා තරම් ගොන් වැඩ කරන්න හොඳ නෑ....”
“ඔයාල කාට හරි කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරලා තියෙනවද?”
දිලිනිගෙන් උන් දෙන්නටම ලැජ්ජා හිතෙන ප්‍රශ්ණයක්.
“නෑ දිලිනි.. ඇත්තටම අපිට කෙල්ලෝ නෑ....”
“එහෙනම් එහෙම කරන දවසක මගෙන් ඔය ප්‍රශ්ණේ අහන්න.
තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. .තමන්ට මොනව වුනත් ආදරේ
කරන කෙනා හොඳින් ඉන්න ඕනේ කියන එක තමයි නියම ආදරේ කියන්නේ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.
තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් තමන්ගේ හැම දේම කැප කරන්නේ ආදරේදි විතරයි.”
දිලිනි උන් දෙන්නගෙම කටවල් වහලා දැම්මා.
සචියා උඩ බලාගෙන ඉන්නවා මොනව කියන්නද නොදැන.
“හරි ඒක නෙවෙයි සචිත්‍ර... ඔය දෙන්නා කතා කරන්න ඕනේ
කිව්වේ මොනව ගැනද?”
ඌ මගේ දිහා බලලා කතා කළා.
“මේකයි කාවා.... දැන් උඹල දෙන්න ආදරේ කරනවනේ.. ඒක
ඇත්තක්. ඒත් ඉන් පස්සේ?”
“අපි බඳිනවා..” මම කිව්වා.
“කවදද?”
“දන්නෑ... පුළුවන් වුන පලවෙනි දවසේ අපි බඳිනවා.”
“කවදද බං උඹලට පුළුවන් වෙන්නේ....? මම මේ අහන්නේ
අපිත් මේකේ තේරුම දැනගන්න ඕනේ නිසා. අපිත් උඹල දෙන්නගෙම දෙමව්පියන්ට හොරෙන් උඹලට
උදව් කරනවා. ඒත් මේව කවදා වෙනකම් කරන්නද? ආයෙත් ගෙවල් වලින් දැනගත්ත දවසට....?”
”මේකයි සචිත්‍ර. මමයි කාවින්දයි ආදරේ කරන එක ඇත්ත.
ඒත් අපිට බෑ කිසිම කෙනෙකුගේ හිත රිදවලා බඳින්න. ඒකට අපිට බලා ඉන්න වෙනවා. මුලින්ම
කාවින්ද සනීප වෙන්න ඕනේ. ඊට පස්සේ එයා රස්සාවක් කරන්න ඕනේ... නැත්නම බිස්නස්
එකක්.... සල්ලි ටිකක් හොයාගන්න ඕනේ... ඊට පස්සේ ආයෙත් අම්මලාට කතා කරලා බලන්න ඕනේ.
ඒකට ටික කාලයක් යයි.” දිලිනි කිව්වා.
“දිලිනි... ඔයාගේ විෂන් එක නම් හොඳයි.... ඒත් ඔය
තරම් කාලයක් කොහොමද මේක ඔය දෙන්නා හංගගෙන ඉන්නේ?” අමිල කිව්වා.
“ඒත් අමිල, කොච්චර කාලයක් හරි බලා ඉන්න වෙනවා. අපි
කරන දේ හරියටම කරන්න ඕනේ. මගේ තාත්තගේ දේපල වලට එකම අයිතිය තියෙන්නේ මට. මට
සහෝදර සහොදරියෝ නෑ. ඒ නිසා ඒ හැම දෙයක්ම මගේ. හදිස්සි වෙලා ඒවා නැතිකරගන්නවට වඩා
පරිස්සමින් බලා ඉඳලා ප්‍රශ්ණ විසඳගන්නයි මට ඕනේ.”
“අන්න කාවා... දිලිනිගේ කතාවනම් නියමයි. ඒක තමයි
වෙන්න ඕනේ.... බැඳලා උඹලා ජීවත් වෙන්න ඕනේ... එතකොට මෙ දිලිනිට අයිති දේපල වෙන
උන්ට දෙන්න එපා.”
“කාවා... අපි පොඩ්ඩක් ටවුම පැත්තට යනවා. හරියටම පැය
දෙකකින් එනවා.“
එහෙම කියලා උන් දෙන්නා ගියා.
මමයි දිලිනියි ආයෙත් තනි වුනා.
“කාවින්ද, දැන් අපි මොකද කරන්නේ...?“
“මටත් හිතාගන්න බෑ සුදූ.... මට හොඳ වෙන්න කොච්චර
කාලයක් යයිද කියන එක උඩ හැමදේම තීරණය වෙනවා.“
“කාවින්ද... ඔයාට තව මාස දෙකක් විතර යනකොට තනියම
ඇවිදින්න, ඩ්‍රයිව් කරන්න වගේ දේවල් පුළුවන් වෙනවා කියලා ඩොක්ට යුවා කිව්වා.
හැබැයි ඔයා දවසක්වත් මිස් නොකර ෆිසියෝ කරන්න වෙනවා.“
“ඒත් සුදූ..... මට කලින් වගේ දුවන්න බැරි වෙයි.“
“නෑ.... අවුරුද්දක් යනකොට ඔයාට හිටියා වගේම හොඳවෙන
බව ඩොක්ට යුවා කිව්වා මතක නැද්ද? ඔයා ස්පෝර්ට්ස් වලට ආස නිසා එහෙමනම් ක්‍රිකට්
කරන්න. අපේ කම්පැණි එක මර්කන්ටයිල් ක්‍රිකට් ටූනමන්ට් එක සෙල්ලම් කරනවා කියලා හර්ෂ
කිව්වා. ඔයා ඒකට ජොයින් වෙන්න.“
“මම ආසවුනේ ෆුල් ටයිම් ස්පෝර්ට්ස් කරන්න.... අපරාදේ
දැන් ඒක හරියන්නේ නෑ. ඩොක්ට මොනව කිව්වත් මට තාම අඩිය තියනකොට බයයි. ආයෙ කවදාවත් ඒ
බය නැති වෙන එකක් නෑ.“
“ඔයා මාස දෙකකින් විතර ආයෙත් ජොබ් එකට යන්න. මම ඔයාට
ඒක හදලා දෙන්නම්. ඔයා වැඩ හැම දෙයක්ම ඉගෙන ගන්න. අපි හෙමිහිට මේ බිස්නස් ටික ටේක්
ඕවර් කරමු. තාත්ති වුනත් දැන් ඉස්සර තරම් තද නෑ.“
“ඔයා හදන්නේ ඇත්තටම මේ බිස්නස් ඔක්කොම අරගන්නද?
තාත්තා දෙයිද?“
“එයාට දැන් මේවා වල ආසාවක් නෑ කාවින්ද? එයාට ඉන්න
එකම දරුවා මම. මම දැන් මේ වැඩ බලන්න පටන් ගත්තට පස්සේ තාත්ති ඒවා වලින් ටිකෙන් ටික
ඈත් වෙනවා. දැන් ඇත්තටම ගෘප් එකේ වැඩ වලින් සියයට හැටක් විතර බලන්නේ මම. මට වැඩ
වැඩි නිසා මම ශලනිගේ හස්බන්වත් ගත්තා. එයා හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්.“
“එතකොට..“
“දැන් තාත්ති මට කියලා තියෙන්නේ මගේම මැනේජ්මන්ට්
ටීම් එකකුත් හදාගන්න කියලා. තාත්තගේ මිනිස්සු තුන් දෙනෙක් මේ අවුරුද්දේ රිටයර්
වෙනවා. ඒ වේකන්සි වලට දැන්මම මගේ කට්ටිය හදාගන්න කියලා තාත්ති අවසර දුන්නා.“
“ඔයා මොකද කරන්න යන්නේ?“
“මම මගේ ටීම් එක හදාගන්නවා කාවින්ද... ඒකෙ ඔයත්
ඉන්නවා. ඒකයි මම ඔයාට කිව්වේ එක්පීරියන්ස් ගන්න කියලා. කොහෙද අර කෙල්ලෙක් පස්සේ
ගිහිල්ලා කකුල කඩා ගත්තනේ.“
“කව්ද දන්නෑ පස්සෙන් ආවේ... මට ගෙදරට වෙලා ඉන්න
නොදී, කාවින්ද මට අරෙහෙ යන්න තියෙනවා, මෙහේ යන්න තියෙනවා, මාව එක්ක යන්න බැරිද කිය
කිය මාව ගෙන්නගෙන....“
“අනේ කාවින්ද මතක් වෙනකොටත් දුකයි. ඇත්තටම මම ඔයාට
පුදුම විදිහට වද දුන්නා නේද?“
“අප්පා..... නැතුව... එහෙම වදයක්... මට පැයක් ගෙදරට
වෙලා ඉන්න නෑ..... මොකක් හරි බොරුවක් කියලා ගෙන්න ගන්නවා.“
“ඇත්ත...
ඒත් ඒ කාලේ මම හරිම සැහැල්ලුවෙන් හිටියා කාවින්ද. ඔයා ළඟ ඉන්නකොට මම පුදුම
සතුටකින් හිටියේ.... ඒත් දැන් මගේ හිත බයවෙලා. ඒ මට ඔයා නැති වෙයිද කියන බය.“
“බය
වෙන්න එපා.... එහෙම වෙන්නේ නැහැ. අපි දෙන්නා පුළුවන් තරම් ඉවසලා හැම දෙයක්ම කූල්
ඩවුන් වෙන්න දෙමු. දැන් හැම දේම ඇවිස්සිලා තියෙන්නේ... ඒක ටිකක් යට යනකං අපි ඉමු.“
“ඔයා
කියන ඕනෙම දේකට මම කැමතියි කාවින්ද.... අපි, අපි දෙන්නට හොඳම දේ කරමු.“
+++++++++
ReplyDelete