Monday, October 09, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 94



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



94.

එදා හවස සචියා මාව බලන්න ආවා.
“මචං... මාරි සීන් එක බං... එදා අපි ඉන්නකොටමයි උඹ හොස්පිට්ල් එකේදි ෆේන්ට් වුනේ... උඹ නිකං ෆිට් එක හැදිලා වගේ සිහිය නැතිවුනා. අපේ සෙට් එකට මාර අප්සෙට්....“
“දැන් සෑහෙන්න හොඳයි බං..... කවදද දන්නෑ ගෙදර යන්න පුළුවන්.“
“පිස්සුද උඹට.... සම්පූර්ණයෙන් හොඳ වෙනකං උඹට යන්න බෑ...“
“හරි සචියා, මට උඹෙන් උදව් දෙකක් ඕනේ... පලවෙනි එක කෝ මගේ ෆෝන් එක... දෙවෙනි එක, උඹ දිලිනි ව හම්බවෙලා එයා ළඟ තියෙන මගේ මෙඩිකල් රිපෝට්ස් ටික අරගෙන එන්න ඕනේ.“
“එළකිරි... මම දැන්මම යන්නම්..“
සචියා ගියාට පස්සේ මම කල්පනා කළේ දිලිනි ගැන. මගේ ෆෝන් එක දවස් ගාණක් ඕෆ් කරලා, මම ඉන්න තැනක් දන්නෙත් නෑ.... කෙල්ල මොනව කළාද දන්නේ නෑ.
පැයක් ඇතුළත සචියා ආවා.
“මාර සීන් එක කාවා...“
“ඇයි මොකද?“
“මචං... දිලිනි දවස් ගාණක් උඹව කන්ටැක්ට් කරන්න බලලා, මටත් කෝල් කරලා තිබුණා ගෙදරට... ඒත් මම හිටියේ නැහැනේ...“
“ඉතින්... කියපං බං වටේ යන්නේ නැතුව..“
“ඉඳා... උඹට ලියුමක් තියලා. ගෙදර සර්වන්ට් දුන්නේ... “
මේ මොන හෙනගෙඩියක්ද කියලා හිතාගන්න බැරුව මම ලියුම දිගහැරියා.
ආදරණීය කාවින්ද;
මම දවස් ගාණක් ඔයාට කතා කළා. ඒත් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා. සචිත්‍රට ගත්තා, ඒත් එයත් ගෙදර නැහැ. මම ඔයාගේ ගෙදරටත් ගත්තා, ඒත් අම්මා කතා කරපු නිසා මම කට් කළා. මම හිතුවා ඔයා ප්‍රැක්ටිස් වලට කොළඹ යන්න ඇති කියලා.
මට හදිස්සියේ බිස්නස් වැඩකට තාත්ති එක්ක ස්විඩන් වලට යන්න වෙලා... මට ඕනේ වුනේ ඔයාට ඒක කියන්නයි. මේ ගමනෙන් අපි දෙන්නගේ අනාගතේට වැඩ පිළිවෙලක් යොදා ගන්නත් මගේ අදහසක් තියෙනවා. අපිට කවදා හරි තාත්ති හිටියා වගේ ස්විඩන් වල සෙට්ල් වෙන්න පුළුවන් නම් ටික කාලෙකට මේ හැම දේකින්ම ඈත් වෙන්න පුළුවන්.
බය වෙන්න එපා මම ඉක්මනට එනවා. දවස් විස්සක ගමනක්... එන ගමන් බැන්කොක් වලටයි, සිංගප්පූරුවටයි යනවා. ඒ එන ගමන් මම අර ඩොක්ටර්ටත් කතා කරලා එන්නම්. කොහොමත් මාසයක් යන්න කළින් අපි එනවා.
යන්න කළින් ඔයාගේ මූණ බලලා යන්න බැරි වුන දුක තාම මගේ හිතේ තියෙනවා. මම පුළුවන් තරම් ට්‍රයි කරන්නම් ඔයාට ආයෙත් කෝල් කරන්න... ඒත් මේ රටේ මොබයිල් එකක් නැති නිසා කෝල් කරන්න අමාරුයි. මම කෝල් නොකරත් බය වෙන්න එපා... මම හැමදාමත් ඔයාගේ... මේ සැරේ මම එන්නේ අපි දෙන්නගේ අනාගතේට හොඳ වැඩ පිළිවෙලක් හදාගෙන. ඒක ඔයයි මමයි විතරක් දන්න රහසක්.
ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න. මම එනකොට මේ සැරේ ලංකාවේ දෙවෙනියා නොවී පලවෙනියා වෙන්න... ඔයාට සාෆ් ගෝල්ඩ් මෙඩ්ල් එකක් ෂුවර්...
ඉතින්.. ඔයා ළඟ නැති හැම තත්පරයක්ම මට පිස්සු වගේ... මම පුළුවන් ඉක්මනට එනවා. මං වෙනුවෙන් පරිස්සම් වෙන්න.
මේ ඔයාගේ ආදරණිය තාරුකා...
කෙලියා නේද තාප්පෙට... මට හිතුනා.... දැන් කොහොමද මගේ රිපෝට්ස් ටික ඉල්ලගන්නේ.. කෙල්ල කෝල් කරනකං ඉන්න වෙනවා.
“සචියා.... කෝ ෆෝන් එක....“
“ඉඳා... ඒක නෙවෙයි කෙල්ල ලංකාවෙන් පිටවෙලා නේද... කොහොමද යකෝ උඹේ රිපෝට්ස් ටික ඉල්ලගන්නේ.“
“ෆෝන් එක ඔන් කරලා තියාගමු... එයා ඉක්මනටම කෝල් කරයි... එහෙම වුනොත් ඒවා ගෙදර තියෙන තැන අහගෙන කොහොම හරි අම්මගෙන්වත් ඉල්ලගමු. වෙන කරන්න දෙයක් නෑ.“
“කවදා කෝල් කරයිද බං... මෙහේ ඩොක්ටර්ස්ල ඒවා පුළුවන් තරම් ඉක්මනට ඉල්ලනවා. අපි උඹලගේ තාත්තට කියමුද.. එතකොට දිලිනිගේ ගෙදර ගිහින් හරි එයාගේ අම්මගෙන් අහලා හොයලා බලයිනේ...“
“එපා යකෝ.... එතකොට ඒ හැම දෙයක්ම එළි වෙනවා.“
“එහෙනම් ඔය මගුල ඕන් කරලම තියා ගනින්.“
ෂික් අම්මපා... මේ කෙල්ලත් මේ අස්සෙම ගියානේ... මට හිතුනා.
කොච්චර බලන් හිටියත් දවස් දෙකක් ගතවෙලත් දිලිනි කෝල් කළේ නැහැ.
මේ අතරේ ඩොක්ටර්ස්ල කීප දෙනෙක්ම මාව බැලුවා. චූටි අක්කගේ ලෙක්චරර් කෙනෙක් වුන මහාචාර්යය කෙනෙකුත් එයා ගෙන්නුවා. එයා නම් මගෙනුයි, අම්මගෙනුයි තාත්තගෙනුයි තුන්දෙනාගෙන්ම ගොඩක් ප්‍රශ්ණ ඇහුවා. පවුගේ විස්තර, පරම්පරා ගාණක් පස්සට යනකං හිටපු අයගේ ලෙඩ ගැන විස්තර, තව මෙකී නොකී ගොඩක් ප්‍රශ්ණ ඇහුවා.
මට දැන් හොඳ වෙලා තියෙද්දි මෙච්චර දේවල් හොයන්නේ මොකටද? මම පස්සේ චූටි අක්කගෙන් ඇහුවා.
එයා කියපු විදිහට මගේ මේ පෙන්නපු රෝග ලක්ෂණ බොහොම දුර්ලභ ඒවා නිසා හරියටම මොකක්ද ලෙඩේ කියලා හොයාගන්නකං මට යන්න දෙන්නේ නෑ කියලා.
තවත් දවස් දෙකක් ගතවෙලා ගියා. ඒ දවස් දෙකේ මම නැගිටලා සචියගේ උදව්වෙන් ටිකක් ඇවිද්දා. දකුණු කකුල තාම හරියට වාරු නැහැ. අඩි දහයක් වගේ ඇවිදිනකොට මට ලොකු මහන්සියක් දැනුනා. නර්ස් කිව්වේ සති දෙකක් විතරම සේලයින් වලින් විතරක් හිටපු නිසා එහෙම වෙන බව.
එදා රෑ මට ආයෙත් අමාරු වුනා. කොන්දේ වේදනාවයි, කකුලේ හිරිවැටීමයි දෙකට අමතරව ඉවසන්න බැරි හිසේ වේදනාවකුත් ආවා. ඔළුව ඇතුලේ මොනවහරි පිරිලා, ඉඩ නැතුව පිපිරිලා යන්න හදනවා වගේ දැනුනා. මම ජීවිතේටම ඒ වගේ වේදනාවක් අත්විඳලා තිබුණේ නැහැ. ඊට පස්සේ මට යාන්තමට වගේ මතක මම නර්ස්ට කෑ ගහලා කතා කරනවයි, කට්ටියම එකතු වෙලා මාව ට්‍රොලි එකක තියාගෙන එළියට ගෙනියනවයි විතරයි. තත්පර ගාණකදී හැම දෙයක්ම අඳුරු වෙලා ගියා.
ඒ වතාවේ මට ආපහු සිහිය එනකොට මම ආයෙත් හිටියේ දැඩි සත්කාර ඒකකයේ.
සිහිය ඇවිල්ලත් සතියක් විතර යනකං මට කිසිම දෙයක් ඇහුනේවත්, දැනුනේ වත් නැහැ. අඩුම ගාණේ ඇඟේ එක ඇඟිල්ලක්වත් හොල්ලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පුළුවන් වුන එකම දේ ඇස්පිය ගහන්න විතරයි. ඒ හැම දවසකම චූටි අක්කා එක එක ඩොක්ටර්ස්ල එක්ක මාව බලන්න ආවා.
මට යන්තමට කතා කරන්න පුළුවන් වුන ගමන් එයා මට කතා කළා.
“කාවා..... දැන් කොහොමද?“
“ටිකක් විතර හොඳයි හලෝ.... මම දවස් කීයක් මෙහෙම හිටියද?“
“ඔයාට සිහිය එන්න මේ සැරේ දවස් දහතුනක් ගියා කාවින්ද... තවත් සතියක් ඔයා හැඟීමක් දැනීමක් නැතුව හිටියා.“
“මොකක්ද චූටි අක්කේ මට වෙන්නේ....?“
“අපි බලනවා.“
“මේ...... මම බයවෙයි කියලා නොකිය ඉන්න එපා. මොනව වුනත් මට දැනගන්න ඕනේ.... කියනවා...  මොකද වෙන්නේ... මට ආයෙ කවදාවත් ඇවිදින්න බැරිවෙයිද?“
“විකාර කියවන්න එපා කාවා... තමුසෙට දැන් හොඳ වෙයි.“
“ගිය සැරෙත් ඕකනේ කිව්වේ... ඇත්ත කියනවා හලෝ.... මට කෙලවෙලාද ඉන්නේ...?“
“ඇත්තට කියන්නම්කෝ... මම දන්නවා තමුසෙගේ හිත හයියයි කියලා...“
“අන්න එහෙම ඇත්ත කියනවා...“
“ඔයාට මොනවද වෙන්නේ කියලා අපි තාම හරියටම දන්නේ නෑ... ඒත් අන්තිමට ඔයාගේ ඔළුව ඇතුලේ බ්ලීඩින්ග් එකක් වුනා. ඒකෙන් මොලේ ගොඩක් තෙරපිලා තියෙන්නේ... ඒ නිසා ඔයාට සමහර දේවල් ගැන දැනීම අඩුවෙලා. ඇස් පෙනීමත් අඩුවෙලා... ඔයාට ඒක දැනෙනවද?“
“ඔව්... මට දැන් අර බිත්තියේ තියෙන ලොකු අකුරක්වත් කියවන්න බෑ... තාම ඔළුව හිරිවැටිලා වගේ තමා. අනිත් එක මට වම් පැත්තේ ඇහෙන් පේන්නේ හරි කෙලින් ඉස්සරහ විතරයි. වම් පැත්තේ තියෙන කිසි දෙයක් පේන්නේ නෑ.“
“ඊළඟ කේස් එක, ඒත් එක්කම සපයිනල් කෝඩ් එක පැත්තකින් තදවෙලා ටෙම්පරරිලි කකුල් දෙකම පණ නැති වෙලා.“
ඒක කිව්ව විතරයි මට ෆුල් අප්සෙට් ගියා.... ඇත්ත තමා.. කකුල් තියෙනවද කියලවත් තේරෙන්නේ නැහැ.“
“ඔයාට ටික කාලයක් වීල් චෙයාර් එකක ඉන්න වෙනවා. ඒ අතරේ ටිකෙන් ටික ෆිසියෝතෙරපි කරලා බලමු. ඕක සියයට අනූ නවයක්ම ටෙම්පරි දෙයක්. මාස කීපයකින් හරි යනවා. හිත හයිය කරගන්න.“
චූටි අක්කා කිව්ව දේවල්වලින් මට තේරුණේ වැඩේ ටිකක් බරපතලයි කියලා.
සචියත් එදා ආවා.
“කාවා.... උඹ කෝමා එකේ ඉන්න කොට මම ෆෝන් එක ගත්තා. දැන් සති දෙකකට උඩදි දිලිනි කතා කළා.“
“ඉතින්...“
“මම සීන් එක කියලා අර රිපෝට්ස් ඕනේ කිව්වා.“
“ඉතින්...“
“කෙල්ල අඬන්න ගත්තා. කෙල්ල කියනවා එයා ඕක දැනගෙන හිටියලු. ඒත් ඔයාට ඔච්චර සිංගප්පූරුවේ යන්න කියද්දි බෑ කිව්වලු.“
“මොකක්... කෙල්ල කොහොමද මේක වෙන බව දැනගෙන තිබුණේ..“
“මම දන්නෑ බං... සංගප්පූරුවේ ඩොක්ටර්ස්ලා ඔය ගැන කියලා තිබුණලු. එදා වලි සීන් එකේදි වුන මොකක් හරි දෙයක් නිසා කාලයක් යද්දි ඔහොම වෙයි කියලා කිව්වලු.“
“දැන් කෝ කෙල්ල.“
“කෙල්ල දවස් දෙකකට පස්සේ ඒ වැඩ ඔක්කොම දාලා ලංකාවට ආවා. ඉන්නම බැරි තැන දවසක් උඹව බලන්නත් ආවා... අයි සී යූ එකේ ඉන්නකොට... ඒත් උඹේ තාත්තට මාට්ටු වෙලා බැනලා එලවා ගත්තා. තවත් උඹේ ජීවිතේ විනාස නොකර යන්න කියලා වලියක් දැම්මා.“
“නෑ.. ඉතින් කෙල්ල ගියාද?“
“නෑ... කොහොමහරි උඹ ළඟට ආවා. ඒත් පහුවෙනිදා උඹේ තාත්තා කෙල්ලගේ තාත්තාට කියලා කෙල්ලව එවන්න එපා කියලා. උඹව නැති කරලා දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න කියලා... ඩෑනී අයියත් පාට් දාලා තියෙනවා. දැන් මම හිතන්නේ කෙල්ලගේ ජීවිතේ ගැන බයේ කෙල්ලගේ තාත්තා එයාව කොහෙවත් යවන්නේ නෑ.“
“යකෝ ඒක මාර වැඩක්නේ... කෙල්ලනේ මාව ගොඩ දැම්මේ, සිංගප්පුරුවේ අරන් ගිහිල්ලා.“
“ඒක ඇත්ත... ඒත් බං උඹ ගුටි කාලා ඔය ටික කරගත්තේ කෙල්ල නිසානේ... තව දෙයක්.... ඩැනී අයියා ගිහානයාට දීලා තියෙනවා කකුල් කැඩෙන්න... ඌට විතරක් නෙවෙයි උගේ යාළුවෝ දෙන්නෙකුටත් එක්ක.. අන්න උන් තුන් දෙනා තාම හොස්පිට්ල්....“
“යකෝ... මං නැති ටිකට මාර සීන් නේ වෙලා තියෙන්නේ...“
“ඔව් ඔව්.... මෙහේ ගේම හින්දි ෆිල්ම් පරාදයි... ගිහානයා එක පාරක් දුවලා බේරිලා... දෙවෙනි පාර නම් ඩැනී අයියා කොටු කරලා.. දීලා දීමනක්....“
“හරි එතකොට දැන් ඩොක්ටර්ස්ලා මොනවද කියන්නේ.... කෝ දිලිනි ළඟ තිබුණ රිපෝට්ස්..?“
“කෙල්ල ඒවා දුන්නා.... මෙහේ ඩොක්ටර්ස්ලා බලනවා.... මං හිතන්නේ උඹව ආපහු සිංගප්පූරු අරන් යයි. ඒ හිටපු චයිනීස් ඩොක්ටර් උඹව ගෙනාවොත් සනීප කරන්න පුළුවන් කියලා. දිලිනි ඔච්චර බැණුම් අහගෙනත් ඒවා කොහොමහරි කළා. උඹගේ අම්මයි තාත්තයි නම් කෙල්ල කියපු දේවල් පිළිගන්නේ නෑ.. ඒත් චූටි අක්කයි මායි දිලිනිව හම්බවෙන්න ගිහින් රිපෝර්ට්ස් ටිකත් අරගෙන, එයා ලව්වම සිංගප්පූරු ඩොකාටත් කතා කරලා ආවා. මොනවා වුනත් කෙල්ල සිරා බං... දිනිට වඩා සිරාවටම හොඳයි... උඹට පට්ට ලව් බං.... මම ඒ ගැන නම් දැන් ගැරන්ට් කරලා කියනවා.“
“මාව සිංගප්පූරු ගෙනියන්න සල්ලි කෝ බං...“
“ඒකත් මම හිතන්නේ කළින් වගේම දිලිනි කම්පැණි එකෙන් සෙට් කරලා... හර්ෂ ඇවිත් ගියා... උඹලගේ ගෙදර මිනිස්සු මේ ගැන දන්නෑ... දන්නේ චූටි අක්කයි මමයි විතරයි...“
“මං දන්නෑ බං... මම නිසා හැමෝටම කරදර... උඹලා වුනත් බලපං බං..“
“විකාර කියන්න එපා කාවා... ඒක තමයි යාළුකම කියන්නේ.. උඹට මෙහෙම වුන දවසේ ඉඳලා අපේ සෙට් එකේ එකෙක්වත් හිනාවෙලා කතා කළේ නෑ... උන්ට උන්ගෙම සහෝදරයෙක් ට වුනා වගේ දුකයි.“
“මම දන්නවා බං... ඒත් මට කවදා නැගිටින්න පුළුවන් වෙයිද කියලා කවුරුවත් දන්නෑ.... මෙහේ ඉන්න ඩොකාලා මෙලෝ හසරක් නැතුව කරුවලේ අත පත ගානවා වගේ ඉන්නේ....“
“උඹ කවදා හරි නැගිටිනකම් අපි ඉන්නවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි උඹව ගොඩ දාලම තමයි නවතින්නේ.“
ඒ අතරේ සචියා මට ෆෝන් එක දුන්නා. කතා කළේ දිලිනි.
“අපිට මොකද වුනේ බබා.... මට මැරෙන තරමට දුකයි...... ඔයා සිහියක් නැතුව ඇඳේ ඉන්නවා බලලා ගියාට පස්සේ මම දවස් ගාණක් ඇඬුවා...“
“දැන් අවුලක් නෑනේ සුදූ.... මට හොඳ වෙයි...“
“මට ඔයාව බලන්න ඕනේ කාවින්ද... ඒත් එන්න විදිහක් නෑ, ඔයාගේ තාත්තගේ යාළුවා හොඳට බලාගෙන ඉන්නේ... මට හොස්පිට්ල් එකට අඩියක්වත් තියන්න දෙන්නෑ... මම මොනවද කරන්නේ කාවින්ද?“
“මොනවත් කරන්න එපා... මම කොහොමහරි විදිහක් කල්පනා කරන්නම් ඔයාව ගෙන්න ගන්න.“
“අනේ කාවින්ද... මං වෙනුවෙන් සනීප වෙන්න..... මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ... ඔයා ඒක දන්නවා නේද?“
“දන්නවා...... බය වෙන්න එපා... මම ඉක්මනටම නැගිටිනවා. අපිට වෙන් කරන්න මේ කිසිම දේකට බෑ සුදූ...“
“ඔයාට සිංගප්පූ යන්න වෙනවා බබා... මම හැම දෙයක්ම ලෑස්ති කරනවා... ඔයාට වුන දේ කිව්වහම මගේ තාත්තිත් කැමති වුනා මේ වැඩේ  කරන්න. එයාටත් බය හිතිලා.... එදා ගිහාන් ඔයාට ගහපු එකෙන් මේක වුන බව එයත් දැන් දන්නවා.“
“ඒ කේස් එකෙන් මෙච්චර දෙයක් වෙන්නේ කොහොමද දිලිනි... එදා නිකං ඇඟ තැලුනා විතරනේ...“
“නෑ බබා... එදා පිටින් ලොකු ඩැමේජ් එකක් නොපෙනුනාට, ඔයාගේ නරකම තැනකට, සෙන්සිටිව්ම තැනකට පාරක් වැදිලා.... ඒකෙන් ඔයාගේ නර්ව් එකක් ප්‍රෙෂර් වෙලා.... ඒක එදා ලංකාවේ ඩොක්ටර්ස්ලට අහුවෙලා නෑ... ඒත් ඩොක්ට යුවා ඔයාට ට්‍රීට් කරනකොට ඒක දැකලා... මට කිව්වා.“
“මට නොකිව්වේ ඇයි...“
“ඩොක්ටර් යුවා කිව්වේ ඒකේ ඉෆෙක්ට් එක හෙට එන්නත් පුළුවන්, මාස ගාණකින් එන්නත් පුළුවන්, අවුරුදු ගාණකින් එන්නත් පුළුවන් සමහර විට නොඑන්නමත් පුළුවන් කියලා... ඒ නිසා ඔයාව අනවශය විදිහට බය කරවන්න මට ඕනේ වුනේ නෑ..“
 “අනිත් එක කාවින්ද.. ඔයාට මෙහෙම වුනා කිව්ලා දැනගෙන පොඩි සාදු මාව හම්බවුනා.“
“මේ කඩුගන්නාවේ රජ මහා විහාරේ පොඩි සාදු!“
“ඔව්... මට නුවරට එන්න කිව්වා... මමත් ගියා.“
“මොකද කිව්වේ..?“
“මතකද සුදු නෝනා මම මේක කලින්ම කිව්වා.. ඒත් බයවෙන්න එපා කාවින්දට මොනවත් වෙන්නෑ කිව්වා.... තාම මගේ කේන්දරේ බලවත් කිව්වා... ඒ නිසා පුළුවන් තරම් ඔයා ළඟින් ඉන්න කිව්වා... මේ මොන දේ වුනත් අපි දෙන්නව වෙන් කරන්න කිසිම දේකටවත්, කිසිම කෙනෙකුටවත් බෑ කිව්වා. ඒත් ඉස්සරහට තව කීප අවුරුද්දක් මීටත් වඩා බාධක එයි කිව්වා.“
“පිස්සු... මීටත් වඩා මොනව වෙන්නද සුදූ....“
“පිස්සු නෙවේ කාවින්ද... එයා කියපු හැම දේම ඒ විදිහටම වුනා.... අපි දෙන්නාටම ලොකු බරපතල දේවල් වලට මූණ දෙන්න වෙයි කිව්වා. අපි නිසා පවුල් දෙක අතරේ ලොකු කලබලයක් ඇති වෙයි කිව්වා.... ඒ හැමදේම වුනා. ඒ නිසා මීටත් වඩා ලොකු කරදර එයි කිව්ව එක ගැන නම් මට බයයි.“
“පිස්සු...“ මම කිව්වා.
“ඒක නෙවෙයි සුදූ.... ඔයා ලස්සන ලියුමක් ලියලා තිබුණා. ඇයි ඔයා තාරුකා කියලා ලිව්වේ...“
දිලිනි හිනා වුනා... “හැමෝම මට කියන්නේ දිලිනි කියලා .... ඒත් ඉස්කෝලේ මට කිව්වේ තාරුකා කියලා... මං ආසයි ඔයත් එහෙම කියනවනම්...“
“මම අද ඉඳලා එහෙම කියන්නම්... මාත් ආසයි ඔයාට තාරුකා කියන්න.... ඔයාටම ගැලපෙනවා.“
දිලිනිව කොහොමහරි මාව බලන්න ගෙන්නගන්න පොරොන්දු වුනාට පස්සේ අපි දුරකථනය තිබ්බා.

2 comments: