Monday, September 18, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 89



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



89.

හෂිනි අක්කා දැනගෙන හිටියා මම කාටවත් නොකියා එයා හොයාගෙන ආවේ ලොකු ප්‍රශ්ණයක් නිසා කියලා.
ඒත් දිලිනි කියපු කතාව ඇහුවාම එයා පුදුම වුනේ නෑ.
“මම දැනගෙන හිටියා දිලිනි ඔහොම වෙයි කියලා කාවින්ද... එයා මෙහේ හිටපු ටික දවසට මම දැක්කා එයාගේ හිත කලබලයි කියලා.“
“මට තේරෙන්නේ නෑ...“
“මොනවා වුනත් කෙල්ල ඔයාට පණ වගේ ආදරෙයි මල්ලි... ඒත් කෙල්ල දන්නවා ඔයා එක්ක ඉන්නවා කියන්නේ එයාට අනිත් හැම දේම නැතිවෙනවා කියලා. කෙල්ල සල්ලි උඩ පීනපු කෙල්ලෙක්... ඉතින් ඒ හැම සැප සම්පතක්ම නැති වෙනවා කියලා දැනුනාම එයා කලබල වෙලා. එයාට තීරණය කරන්න බැරිව හිටියේ මොකක්ද තෝර ගන්නේ කියලා.“
“අක්කා කියන්නේ එයා චාන්ස් එක ආව වෙලාවේ මගෙන් අයින් වුනා කියලද?“
“මට එහෙමම කියන්න බෑ මල්ලි... ඒත් මොකක් හෝ නිසා කෙල්ලගේ හිතේ ඩවුට් එකක් තිබුණා ඔය දෙන්නාගේ එක්වීම සාර්ථක වෙන එකක් නෑ කියලා... ඔයා කියන විදිහට ඔයාගේ අම්මත් එයා ළඟට ගිහින් අඬලා කිව්වට පස්සේ කෙල්ලගේ හිත තවත් අවුල් වුනා. කෙල්ල හිතන්න ඇති මේ තරම් ප්‍රශ්ණ තියෙන දේක පැටලිලා ඔයාවත් අවුල් කරනවට වඩා දැන්මම අයින් වෙන එක හොඳයි කියලා.“
“වෙන්න පුළුවන් දෙයක්ද අක්කේ...?“
“සමහර විට ඔයාගේ අම්මා හරි තාත්තා හරි ගිහිල්ලා කෑ ගහලා දිලිනිට තරවටු කරලා තිබුණා නම් ඕක නොවෙන්න තිබුණා. කෙල්ල ඒවට බය කෙනෙක් නෙවෙයි, ඒත් හොඳින් කතා කරනකොට උණු වෙන හිතක් කෙල්ලට තියෙන්නේ.“
“ඔව් අක්කේ... එයාගේ හිත උණු වෙනවා වැඩියි... ඒකයි ප්‍රශ්ණේ...“
“මොනවා වුනත් දාහකින් හොයාගන්න බැරි හොඳ සෙන්සිටිව් කෙල්ලෙක් මල්ලි... අපරාදේ, දෙන්නගේ වයසවත් ගැලපෙනවා නම්.“
“අක්කා කියන්නේ දිලිනි ආයෙත් කවදාවත් එන එකක් නෑ කියලද?“
“හ්ම්..... ඒව කියන්න බෑ... දෙන්නටම දෙන්න නැතුව බෑනේ. ඒ නිසා දවස් දෙක තුනකින් උඹට කතා කරයි, බොහෝ විට....“
අක්කා මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා.
******************************************************************
නුවර වෙන්නේ මොනවද කියලා නොදැන මම දවස් තුනක් තලවකැලේ හිටියා.
හෂිනි අක්කා කොච්චර කිව්වත් කිසිම කෙනෙකුට කෝල් එකක්වත් දාලා මම ඉන්නවා කියලා කියන්නවත් මට හිතුනේ නෑ.
ඒ අතරේ හෂිනි අක්කා මගේ අම්මටයි, සචියටයි කෝල් කරලා මම මෙහේ ඉන්නවා කියලා කියලා තිබුණා.
සති දෙකකට පස්සේ මම නුවර යන්න හිත හදා ගත්තා. එකක් තමයි කොලඹ පන්තියට යන එක නවත්තන්න බැරි වීම.. මොනවා වුනත් දිලිනි බලාපොරොත්තු වුනේ මම ඒ සහතිකය ගන්න එක. ඒ වැඩ පාඩු වෙන නිසා මම නුවර එන්න පිටත් වුනා.
නුවරට අඩිය තිබ්බ ගමන් මට හම්බවුනේ සචියයි, චතුරයි...
“කාවා කොහොමද... හිත හදාගත්තද?“
“මොන හිතක්ද බං... මගේ පලවෙනි නියම ආදරේ නැති වුනාට පස්සේ මොන හිතක්ද බං...“
“ගණන් ගන්න එපා බං... නගුට පිටින් අලි මැරෙන්නේ...“
අපි ඉන්න තැනට ඈත ඉඳන් එන ගමන් අමිලයා කිව්වා. ඌ කොහොමත් ඔය වගේ විකාර කතා තමයි කියන්නේ.
“දැන් කාවා දිලිනි නැති එකේ දෙයියනේ කියලා මොකද දිනිටවත් ලව් කරන්න පටන් ගත්තොත්, නමේ මැද අකුරේ අඩුව විතරයි තියෙන්නේ..“
“බම්බුව තමා..... මතක් කරන්න එපා දිනිව, ඕකි තමයි මේ හැමදේම කළේ....“
“යකෝ... එහෙම කතා කරන්න එපා.. මොනව වුනත උඹලා අඹ යාළුවෝ නේද?“
“අනේ මේ අමිලයා.... මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපං...“
“හරි කාවා කියපං උඹ දැන් මොකක්ද කරන්න යන්නේ..?“
“දන්නේ නෑ... මුලින්ව දිලිනිව කන්ටැක්ට කරගන්න ඕනේ... එයාට එහෙම යන්න දෙන්න බෑ බං...“
“අනේ මම දන්නෑ බං... උඹලා දෙන්න නම්... යාළු වෙනවා, තරහ වෙනවා, ආයෙත් යාළු වෙනවා ඊට පස්සේ ආයෙමත් තරහ වෙනවා. එක්කෝ ලව් කරලා ඉක්මනට කසාදයක් බැදපං...“
දවස් කීපයක්ම මම දිලිනිට කතා කරන්න බැලුවත් එයා එයාගේ ස්ථාවරයේම හිටියා.
මොනව නැතත් මගේ අම්මා දිලිනිට වදින්න ඕනේ තැනටම දීලා තියෙනවා.
මේ හැම දෙයක්ම වුනත් මම මගේ අනිත් වැඩ අතපසු කළෙත් නැහැ. මොකද මම දැනගෙන හිටියා දිලිනි කවදාහරි මගේ ළඟට ආවොත් එයාව බාරගන්න මම හොඳ තැනක ඉන්න ඕනේ කියලා. NIBM එකේ මැනේජ්මන්ට් කෝස් එකේ අන්තිම විභාගේ මම හොඳටම කළා. පරිඝණක පන්තියත් ඉවර කළා.
ඒ අතරේ ප්‍රැක්ටිස් කරන එකත් කළා. සර් මගේ දියුණුව ගැන ගොඩක් සතුටින් හිටියේ. මේ අතරේ මට ප්‍රොක්සිමා ගෘප් එකේ හර්ෂ ෆර්නෑන්ඩෝ මාව හම්බවෙලා ඒ කම්පැනි එකේ රස්සාවක් දෙන්න කැමැත්ත පල කළා. මම මැනේජ්මන්ට් කෝස් එක ඉවර කරපු නිසා මට මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක් විදිහට මාව ගන්න කතා කළා. ඒත් එක්කම ඉස්සරහට තියෙන මලල ක්‍රීඩා තරඟ වලදි ප්‍රොක්සිමා ගෘප් එක නියෝජනය කරන එක රස්සාවේ එක කොන්දේසියක් වුනා. පුහුණුවීම් වලට වෙලාව දෙන්නත් කැමති වුනා.
ප්‍රොක්සිමා ගෘප් එක දිලිනිගේ තාත්තගේ කම්පැනි එක. ඒ නිසා මේ හැම දෙයක්ම යට ඉන්නේ දිලිනි කියලා මට විශ්වාසයි. ඒත් මාත් එක්ක නයි වෛරයෙන් ඉන්න තාත්තට නොදැනී එයාගෙම කම්පැනි එකේ රස්සාවක් මට දෙන්නේ කොහොමද කියලා මට සැකයක් තිබුණා. ඒත් මේ වගේ වැඩ වලට එයාගේ තාත්තා අත නොදාන බවත් ඒ ග්‍රෘප් එකේ රස්සාවලට ගන්න නොගන්න අය ගැන එයාට වැඩක් නැති බවත්, ඒවා කරන්නේ මානව සම්පත් අංශයේ තීරණයෙන් බවත් හර්ෂ මට කිව්ව නිසා මම කැමති වුනා.
ප්‍රැක්ටිස් කරන්න පහසුවෙන්න, මට රස්සාව දුන්නේ කොළඹ ඔෆිස් එකක නෙවෙයි, නුවර එකක.
අම්මගේ කීමට දිලිනි මගෙන් ඈත් වෙලා වුනත්, මගේ අනාගතය ගැන බලන එක දිලිනි අමතක කරලා තිබුණේ නැහැ.
“කාවා එහෙනම් උඹට සිරාම රස්සාවකුත් හම්බවුනා.“
සචියා කිව්වා.
“ඔව් සචියා... කැම්පස් තාම නෑ.. ඒක බලන් ඉඳලා අපි නාකි වෙයි බං... මේ ලැබුණ එක හොඳයි... මම යනවා. ඊට පස්සේ මොකක් හරි ප්‍රයිවට් ඩිග්රි එකක් කරනවා.“
“උඹ සිරාවට දියුණු වෙනවා බං.. අපි තමා අපතයෝ වගේ බලාන ඉන්නේ...“
අමිල කිව්වා.
“නෑ බං.. උඹලා කැම්පස් ෂුවර් නේ... ඉතින් අවුලක් නෑ... මම කට උඩනේ බං.. ඒ නිසා මට මේක වටිනවා.“
මට රස්සාවක් ලැබුණ බව අම්මට කිව්වත් කොහේද කියලා මම කිව්වේ නෑ... ප්‍රොක්සිමා ගෘප් එක දිලිනිගේ තාත්තගේ කියලා දන්නවා ඇති කියලා මම වෙන නමක් කිව්වේ.... ඒක ඇත්තටම ඒ කම්පැනි එකේ නම.. ගෘප් එකේ නම නෙවෙයි. ඒ නිසා අම්මා සැක හිතුවේ නැහැ.
අගෝස්තු පලවෙනිදා මම මුලින්ම රස්සාවට ගියා.
හරියටම නවයට හර්ෂ මාව පිළිඅරගෙන කෙලින්ම එයාගේ කාමරේට එක්කගෙන ගියා.
“කාවින්ද.... නයිස්ටු හැව් යූ ඔන් බෝර්ඩ්...“
“තෑන්ක්යූ සර්...“
“ඩෝන්ට් සේ සර්... ජස්ට් හර්ෂ... මම ඔයාව ගත්තේ මිස් දිලිනි රෙකමන්ඩ් කරපු නිසා. එයා කිව්වා කොහොමහරි ඔයාට ජොබ් එක දීලා ට්‍රේනින් කරලා ගන්න කියලා.“
“මම දන්නවා මිස්ටර් හර්ෂ. එනිවේ තෑන්ක්ස් එ ලොට්.“
“නෝ වොරීස්... ඉට්ස් හර් කම්පැනි ඇන්ඩ් ඉට්ස් හර් ඩිසිෂන්.“
“එතකොට හර්ෂ මට එක ප්‍රශ්ණයක් තියෙනවා.“
“මොකක්ද?“
“මිස් දිලිනිගේ තාත්තා මාව දන්නවා..  ඒ වගේම කවදාවත් මට ජොබ් එකකුත් දෙන එකක් නෑ... එයා මාව ගත්ත බව දැනගත්තොත් ප්‍රශ්ණයක් වෙන්නේ නැද්ද?“
“මම ඔය දෙන්නා ගැන දන්නවා කාවින්ද. දිලිනි මගේ වයිෆ්ගේ හොඳම යාළුවෙක්. එයා දවසක් ඔයා ගැන විස්තර ඔක්කොම මට කිව්වා. ඔයාට සිංගප්පු යන්න ලෑස්ති කළෙත් මමනේ... ඉතින් මම මේ හැම දෙයක්ම කරන්නේ දිලිනිගේ කීමට... දිලිනිගේ තාත්තා, ඒ කියන්නේ අපේ චෙයාර්මන් කවදාවත් මේ වගේ වැඩ ගැන හොයන්නෑ. කව්ද වැඩ කරන්නේ කියන එක එයාට අදාල නෑ. එයාට ඕනේ ප්‍රතිපල. ඒ නිසා ඔයා සද්ද නැතුව වැඩ කරගෙන ගියොත් අවුරුදු දහයක් ගියත් ඔයා මෙතන ඉන්නවා කියලා එයා දැනගන්නේ නෑ. එකම දේ දිලිනි කිව්වා එයා මේ ඔෆිස්  එකට එන වෙලාවල් වලට ඔයාට එළියට එන්නේ නැතුව ඉන්න කියලා. එච්චරයි.“
“හොඳයි.“
“ඔයාගේ ෆස්ට් ප්‍රෙයෝරිටි එක වෙන්න ඕනේ ඇත්ලටික්ස්... අපේ කම්පැනි එක ගොඩක් එහෙම අයට ස්පොන්සර් කරනවා. ඒ නිසා ඔයාට ඒ දේවල් වලට අපි වෙලාව දීලා තියෙනවා. රස්සාව කියන්නේ ඇත්තටම පුහුණුවක්.. ඒක දවස් පහේම නෑ... ඔයාට මාස තුනකින් එක් ඉවර කරලා අපේ පර්මනන්ට් රස්සාවක් ලැබෙනවා.“
“ඕකේ හර්ෂ.“
හර්ෂ ඒ වෙලාවේ මානව සම්පත් අංශයේ තව කෙනෙකුට කතා කරලා මාව බාර දුන්නා.
“සමීර... මේ කාවින්ද... එයාව වැඩ වලට සෙට් කරන්න...“
මම සමීර පස්සෙන් වැටුනා.
මට ඇත්තටම ලොකු දෙයක් තිබුණේ නැහැ. කම්පැණි එකේ හැම දෙයක් ගැනම මට පුහුණුවක් ලැබුනා. පුහුණුවීම් තිබුණ හැම දවසකම හර්ෂ මට කතා කරලා ප්‍රගතිය ගැන ඇහුවා. ෂුවර් එකටම දිලිනි කියන්න ඇති අහන්න කියලා.
මේ අතරේ මම දිනි ගැනත් ඇහැ ගහගෙන හිටියේ... මෙයා ඊළඟට මොන ගේම් එකක් දෙයිද දන්නේ නෑනේ.
ඒ හැම දෙයක්ම වුනාට පස්සෙත් දිනි වෙනසක් නොපෙන්නා මට කතා කළා. එයාව තැන් තැන් වලට එක්ක යන්න කතා කළා. ඒත් මම ගියේ නෑ. කොහොම වුනත් එයා කරපු වැඩේ ගැන කෙලින්ම අහන්නත් මට හිතේ හයියක් තිබුනේ නැහැ. මොනව වුනත් පොඩි කාලේ ඉඳලම මගේ ලඟ හිටපු කෙල්ල කියලා මම ඉවසුවා.
මාසයක් ලංකාවේ ඉඳලා දිනි ආපහු ගියා. ඒ යනකොටත් සමාධිත් එක්ක ඇවිල්ලා කියලා ගියේ ඩිග්රි එක කරන්න ඇමරිකාවට එන්න කියලා. ඒ කියන්නේ මුන් දෙන්නා තාම ගේම් එක අතහැරලා නෑ.
දිනි ගියාට පස්සෙත් දවස් දෙක තුනකට වතාවක් මට කෝල් කරලා විස්තර ඇහුවා. මමත් ඕනවට එපාවට වගේ උත්තර දීලා ගැලවුනා.

1 comment: