Friday, September 01, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 86



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



86.

ගෙදර ආවට පස්සේ දිනි මට කෝල් කළා.
“අයියේ... ඔයා හරි නරකයි...”
“මොකද?”
“දිලිනි මට බනිනකොට ඔයා වචනයක්වත් කිව්වේ නෑ. බලන්න එයා කියපු දේ...”
“මොකක්ද නංගා කතාව... මම නම් දැක්කේ ඔයා තමයි දිලිනිට බැන්නේ. එයා කිව්වේ එයා මට බොරුවට ආදරේ කරනවා කියලා ඔයා කරන චෝදනාව ඇත්ත නෙවෙයි කියලා.”
“ඒ කියන්නේ ඔයාත් එයාගේ පැත්ත ගන්නවා.”
“මම කාගෙවත් පැත්තක් ගන්නේ නෑ නංගා... මම හැමදාම ගත්තේ සාධාරණ පැත්ත. අදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි.... ඒ නිසා ‍අසාධාරණ දේකට මගේ උදව් බලාපොරොත්තු වෙන්න එපා.”
“හ්ම්..... කමක් නෑ.... ඒක නෙවෙයි අයියේ හෙට කොළඹ යන්න එනවා‍ නේද?”
“හරි එන්නම්. මම බාරගත්ත වැඩක් නොකර ඉන්නේ නෑ... මොන ප්‍රශ්ණ තිබුණත් කරනවා. ඒ නිසා මම අනිවා හෙට එනවා. අපි උදේ හයට යමු නංගා. මම පහයි හතලිස් පහට ඔයා ඉන්න තැනට එනවා. ලෑස්ති වෙලා ඉන්න..”
“හරි අයියේ... තෑන්ක්ස්...”
අපි දෙන්නා කොළඹ යන එක ගැන විතරක් නෙවෙයි, දිනි මාත් එක්ක ඉන්න හැම වෙලාවකමත් දිලිනි ඉන්නේ බයෙන් සහ අකමැත්තෙන් කියලා මට දැනෙනවා. ඒත් කෙල්ල මොනවත් කියන්න බැරි කමට ඉන්නවා. දිනි නොවී වෙන කෙනෙක් වුනානම් මම කොහොමටවත් මෙහෙම ඉන්නේ නෑ... ඒත් අතීතයේ අපේ ඇඳුනුම්කම් එක්කක බලනකොට මට දිනිට බෑ කියන්න බෑ. එහෙම වුනොත් එක ගුණමකු කමක් වෙනවා.
ඉස්සර දිනි මට උදව් කළේ  එයාගේ හැම වැඩක්ම දෙවෙනි තැනට දාලා. ඒකට එයාට වෙලාවක් තිබුණේ නැහැ. මම මහ රෑ මැද කතා කළත් එයා බෑ කිව්වේ නෑ. එහෙම වුනාට පස්සේ මට මේක මග හරින්න බෑ.අනිත් එක එහෙම කළොත් හැමෝම හිතන්නේ මම දිලිනි නිසා මෙහෙම කළා කියලා. ඒක කෙල්ලට හොඳ නෑ. තවත් එකක්, මේක ගෙදර මිනිස්සුන්ට ලීක් නොවී තියාගන්න නම් දිනිව ෂේප් එකේ තියාගන්නම වෙනවා.
දිනිගේ සැලැස්ම මොකක්ද කියලා මට හරියටම තේරුමක් තිබුණේ නෑ. මේ විදිහට එයා මාත් එක්ක ඉන්න එක හරි.. ඒකෙන් මම දිලිනි එක්ක ඉන්න එක නැති වෙනවා. ඒත් හැමදාම මෙහෙම කරන්න බැහැනේ... එතකොට ඇයි දිනි මෙහෙම කරන්නේ. දවසකට හරි දිලිනිට රිදවන්නද? මම හිතන්නේ නැහැ, දිනි කියන්නේ ඒ වගේ තේරුමක් නැති වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි. මොකක්ම හරි යටින් සැලැස්මක් ඇති මාව දිලිනිගෙන් ඈත් කරන්න. කොහොමද මම ඒක දැනගන්නේ?
කොහොම වුනත් පහුවෙනිදා අපි කොළඹ ගියා. පාස්පෝට් එක අළුත් කරන වැඩේ මාමගේ යාළුවට බාර දීලා අපි උදේ කෑමට ගියා. ඊට පස්සේ එම්බසි එකට ගියා දිනිගේ තවත් වැඩක් කරගන්න. ඉන් පස්සේ කෙලින්ම ෂොපින්.... දිනි කොළඹ තැන් කීපයකට වඩා දැනගෙන හිටියේ නැහැ. ඒත් මම දිලිනි එක්ක ඇවිල්ලා හොඳ ඇඳුම් තියෙන ෂොප් සෑහෙන ප්‍රමාණයක් දැනගෙන තිබුණා. දිනිව මම ඒ තැන්වලටත් එක්කගෙන ගියා.
“ඔයා කොහොමද අයියේ මේ වගේ තැන් ගැන දන්නේ.. අනික මේව ගොඩක් එක්ස්පෙන්සිව් තැන්....”
මම කතා නැතුව ඉන්නකොට එයා මගේ දිහා බලලා හිනා වුනා. “මට ‍තේරෙනවා අයියේ.... දිලිනි නේද? ඔයානම් ගොඩ එන්න බැරි වලක වැටෙන්නේ...”
මම මොනවත් කිව්වේ නැති නිසා කතාව ඉන් එහාට ගියේ නැහැ.
අපි දවල් වෙනකම් ඇවිදලා එකට විතර පාස්පෝට් එක ගත්තා. ඊට පස්සේ දවල් කෑමට ගියා. මේ වෙනකම්ම කිසිම වෙනසක් නෑ. දිනිගේ කිසිම අන්ඩර් වල්ඩ් ප්ලෑන් එකක් පෙනුනෙත් නෑ...
මට තිබුණ ප්‍රශ්නේ දිලිනි අද දවසටම එක කෝල් එකක් වත් නොදුන්න එක. මම එයාට කීප වතාවක්ම කෝල් කළත් එයාගේ ෆෝන් එක ඔෆ් කරලා තිබුණා.
අපි දෙන්නා තවත් ටිකක් ඇවිදලා හවස හතරට විතර ආපහු එන්න පිටත් වුනා.
හත වෙනකොට අපි ගෙදර. මම දිනිව දාලා ගෙදර ආවා.
ගෙදර හිටියේ දීප නැන්දා විතරයි, අම්මයි තාත්තයි දෙන්නම නෑ. දීප නැන්දත් මට වෙනද වගේ මූණ දුන්නේ නෑ.
“කෝ මේ ගෙදර මිනිස්සු දීප නැන්දේ?”
“ඔන්න කොහෙද ගියා බබා.”
“දීප නැන්දා මොකද හොර වැඩක් කරල වගේ අහක බලාගෙන කතා කරන්නේ?”
“මොන හොර වැඩද බබා?”
දීප නැන්ද හදල දුන්න දොඩම් එකත් අරගෙන මම කාමරේ බැල්කනි එකට ආවේ දිලිනිට කෝල් එකක් ගන්න හිතාගෙන.
ඒත් දවල් වගේම තමයි, සද්දයක් නෑ.
අට විතර වෙනකොට අම්මලා ආවා. තවත් විනාඩි කීපයකදී අමිල මට කෝල් කළා.
“කාවා... උඹ ගෙදර ආවද?”
“ඔව් ඇයි?”
“මේකයි.... උඹ අවුල් වෙන්න එපා.... යාළුවෙක් නිසා නොකියා බැරි නිසා කියන්නේ...”
“මොකක්ද?”
“මෙහෙම බෑ... උඹට බැරිද අපේ ගෙදර එන්න...?”
“දැන්...”
“ඔව්...”
“හරි... හිටපං....”
මම පැය බාගයක් ඇතුලත අමිල හොයාගෙන ගියා.
“මොකද අමිලයා...”
“උඹ දිලිනිට කතා කළාද දවල්...?”
“ඔව්.. ඒත් ෆෝන් එක ඕෆ් කරලා...”
“එහෙනම් හරි....”
“මොකක්ද... පිස්සු නැතුව කියපං බං දන්න දෙයක්...”
“අද උඹලගේ අම්මයි, තාත්තයි දිලිනිගේ ගෙදර ගිහිල්ලා තියෙනවා ඩැනී අංකලුත් එක්ක.”
“මොකක්........”
“ඔව්... මම හිතන්නේ ‍දිලිනිගේ තාත්තට කතා කරලා තමයි ගිහින් තියෙන්නේ...”
“මොකටද බං....”
“උඹගේ අම්මලා ට කවුරු හරි කියලා තියෙනවා උඹගෙයි දිලිනිගෙයි සම්බන්දේ ගැන. උඹල දෙන්න යන එන තැන් ගැනත් හරියටම කියලා තියෙනවා. අම්මලා ගිහින් දිලිනිගේ තාත්තා හම්බවෙලා මේ ඔක්කොම කියන්න ඇති. කොහොම හරි දෙගොල්ලෝ පැය තුනක් විතර ගෙදර ඉඳලා තියෙනවා. අන්තිමට දෙන්නා තවත් කොහෙදෝ ගිහින් තියෙනවා....”
“නෑ... එතකොට දිලිනි....”
“ඒ වෙලාවේ කෙල්ල ඔෆිස් ඉඳලා තියෙන්නේ... ඒත් තාත්තා ඒ වෙලාවෙම කෝල් කරලා ගෙන්නගෙන තියෙනවා. කොහොමහරි කෙල්ල එනකොට උඹලගේ අම්මලා එහේ ගිහින් ඉවරයි.”
“එතකොට කෙල්ල ඇයි ෆෝන් එක ඕෆ් කරගෙන?”
“ඒක නම් දන්නෑ කාවා. මොනව වුනත් හතර දෙනාම කෙල්ලට හොඳට අමතන්න ඇති. ආයෙත්නම් උඹේ හුළඟක්වත් වැදෙන්න දෙන එකක් නෑ කෙල්ලට.”
“මගුලක් කියනවා... ඒ මොනව කළාටද?”
“ඇයි යකෝ.. උඹලා දෙන්නා යාළු වුනාට.”
“දැන් කෙල්ල කෝ....? අනික උඹ කොහොමද ඔය විස්තර දැන ගත්තේ?”
“මම දන්නෑ කාවා කෙල්ල ඉන්න තැන. මට ඔය සීන් එක කිව්වේ සචියා.. ඌ උඹට කෙලින් කතා කරන්න අකමැති වුනාට උඹ ගැන ඇහැ ගහගෙන හිටියේ. උඹගේ අම්මලා මේ වැඩේට සෙට් වෙනවා කියලා අද උදේ දැන ගත්ත ගමන් ඌ පැණියත් එක්ක ඔත්තු බලලා තියෙනවා.”
ඒ කියන්නේ මූ අකමැත්තෙන් හරි දිලිනි ගැන බලලා තියෙනවා. මොනවා වුනත් නියම යාළුවෙක්. දිලිනි නැති වුනොත් මම පිස්සු නටයි කියලා හිතල වෙන්න ඇති මූ මේ තරම් සපෝර්ට් එක දෙන්නේ...
“කෝ සචියා දැන්....?”
“ඌ තාමත් දිලිනිගේ ගේ අවට කැරකි කැරකි ඉන්නවා.”
“යමං....” මම කිව්වා.
“උඹ කොහෙද යන්න හදන්නේ.....? දැන් වැඩ‍ නාගන්න එපා. කරන දෙයක් උදේට කරපං...”
“යකෝ... මට දිලිනිට මොකද වුනේ කියලා බලන්න ඕනේ....”
“මේ කාවා... විකාර කරන්න එපා.... වරෙන් අපි සචියට කෝල් එකක් දීලා ඌව ගෙන්නගමු.”
අමිල සචියට කෝල් කළා.
එතකොටම අම්මත් මට කෝල් කළා. හැබැයි ඒ හඬේ කිසිම තරහක්වත් කලබලයක්වත් තිබුනේ නැහැ.
“පුතා ඔයා ආපු ගමන් ආයෙත් කොහෙද ගියේ...?”
“අම්මා කියන්නත් බැරි වුනා.... යාළුවෙකුගේ මළ ගෙදරක්....”
“කොහේද?”
“නුවරම තමා.... හීරැස්සගල...”
“අද එන්නේ නැද්ද?”
“කියන්න බෑ අම්මා. සමහර විට ටිකක් රෑ වෙලා එන්න බලන්නම්.”
මම පොඩි බොරුවක් කියා ගත්තා.
සචියා පැණියත් එක්ක අමිලගේ ගෙදර ආවා.
ඌ මගේ දිහා බලලා අහක බලාගත්තා. ඒත් මම කතා කළා.
“සචියා තෑන්ක්ස් කරපු උදව්වට... අනික මට සමාවෙයන් එදා උඹට ගැහුවට.”
“හොඳම යාළුවට තෑන්ක්ස් කරන්නෑ ඩෝ.... අනික සමාව ඉල්ලන්නෙත් නෑ.” අමිල කිව්වා.
“කාවා... මම හිතාගෙන හිටපු විදිහත් වැරදියි... මටත් සමාවෙයන්.”
“මොකක්ද උඹ හිතාගන හිටපු විදිහ...?”
“දිනි මට කියපු දේවල් ඇත්තද බොරුද දන්නෑ.... ඒත් යාළුවෙකුට අපි කවදාවත් ඔය වගේ ගේම් දෙන්නේ නෑ.”
“කව්ද සචියා ගේම් දුන්නේ....?”
“දිනි... උඹල දෙන්නා කොලඹ ගිය වෙලාවේ මෙහේ ගින්න පත්තු වෙලා. දිනි උඹව මෙහෙන් අරන් ගියේ උඹ හිටියොත්  මැදට පැනලා වැඩේ ෂේප් කරගන්න බව දැනගෙන. කෙල්ල උඹට ඈත් කරලා සමාධි ලව්වා ගින්න පත්තු කළා. දිලිනි නරක ද හොඳද මම දන්නෑ.. ඒත් මේ දිනි කරපු වැඩේ මට දිරෙව්වේ නෑ. ඒ නිසයි මම උඹට උදව් කරන්න හිතුවේ.”
“මට තේරෙන සිංහලෙන් කියපං බං.”
“මේකයි බං වෙලා තියෙන්නේ... දිනි මුල ඉඳලම ප්ලෑන් කරලා තියෙනවා මේක සෙට් කරන්න. ඒත් උඹ ඉන්නකොට බැරි වෙලාවත් උඹ දැනගත්තොත් වැඩේ කරගන්න උඹ ඉඩ දෙන්නේ නෑ. කෙල්ල කලේ උඹත් එක්ක කොළඹ ගිහින් සමාධි ලව්වා උඹේ අම්මට කතාව කියපු එක. ඒ විතරක් නෙවෙයි, උඹලා දෙන්නා ගියපු තැන් ෆොටෝ ගහලා පෙන්නලා. අම්මා කෙලින්ම තාත්තට කියලා දිලිනිගේ තාත්තටත් කෝල් කරලා, ඩැනී අංකලුත් එක්ක ෆුල් වලියක් අදින්න ගිහින් තියෙන්නේ. ඒත් වෙලාවට රණ‍්ඩුවක් වෙලා නෑ.”
“යකෝ මේ කෙල්ල මෙච්චර බලු වැඩක් කරලද? ෆොටෝ ගහලා දීල තියෙන්නේ කොහේ ඒවද?”
“උඹලා දෙන්නා මොලෝ දෙයක් බලන්නේ නැතුව ගිය සතියේ ෆිල්ම් එකක් බලන්න ගිය එකයි, ඊට පස්සේ දිලිනිගේ එපාර්ට්මන්ට් එකට ගිය එකයි, ඊට පස්සේ උඹලා දෙන්නා බැදපු කපල් එකක් වගේ බදාගෙන නුවර කෑම කාපු එකයි ඔක්කොම ලීක් වෙලා... එකක් කියන්නම්, දෙන එක දිනි දීල ‍තියෙනවා උඹට කොර වෙන්නම.”
“උඹ කොහොමද දන්නේ ෆොටෝ ගැන.”
“යකෝ උඹගේ අම්මා අඬ අඬ මට පෙන්නුවා.”
“නෑ......”
“නෑ නෙවෙයි ගොනෝ ඔව්.... මම ඉතින් ෂේප් කළා.... උඹ මේව මේ පර්මනන්ට් කරන දේවල් නෙවෙයි වෙන්න ඇති කියලා.”
“මොකා..... උඹට පිස්සුද?”
“යකෝ... ඒකෙන් තමයි අම්මා ටිකක් කූල් වුනේ. නැතුව උඹ සිරාවට කෙල්ලට ලව් කරනවා කිව්වනම් අම්මා මැරෙයි. ටිකක් මොලේ කල්පනා කරපං කාවා. සිරා ලව් එකක් තමයි හැබැයි ඒක හැමෝටම කියන්න එපා. ටිකක් ටැක්ටිකල් වෙයං.”
“දැන් මම මොකද සචියා කරන්නේ?”
“ඒක අහන හැටි විතරක්... ගොං වැඩ කරලා....”
“කාවා....” අමිල කතා කළා.
“මුලින් අපි කෙල්ලව හොයා ගන්න බලමු. ආයෙත් කලින් වතාවක් වගේ හංගලාද දන්නේ නෑ.”
“නෑ අමිල මම හිතන්නේ නෑ... කෙල්ල දැන් එහෙම බය වෙන්නෑ...  ඒත්........ මට ප්‍රශ්ණේ ඇයි ෆෝන් එක වැඩ නැත්තේ....?”
“ඒක නෙවෙයි සචියා දැන් අන්තිමට අපේ අම්මලයි, දිලිනිගේ අම්මලයි මොකක්ද කරලා තියෙන්නේ.... නැත්නම් මොන තීරණයක්ද අරන් තියෙන්නේ?”
“ඒක නම් මම දන්නෙ නෑ බං. මමයි පැණියයි බයික් එක අරන වටේ කැරකුනා.. ඒත් ගේ ඇතුලේ වුන දේ දන්නේ නෑ....”
“හතර දෙනාම සෙට් වෙලා කෙල්ලට අම්බානක බැන්නද දන්නෑ.. පව් බං...” මට කියවුනා.
“උඹලා හොඳටම දන්නවා කාවා මේක ලේසි වැඩක් නෙවෙයි කියලා.. ඒත් උඹලා පරිස්සම් වුනේ නෑ.. බලපං.. උඹලා ගිය තැන්, කරපු දේවල් ලංකාවෙන් පිට ‍හිටපු දිනිත් දන්නවා. මුළු නුවරම උඹලා දෙන්නා අත් අල්ලගෙන ඇවිද්දේ වෙන මිනිස්සු නෑ වගේ...”
“දැන් නම් මටත් හිතෙනවා ඒක අවුල් කියලා.”
“දැන්ද හිතෙන්නේ.... මම උඹට ඕක කියනකොට උඹ මාත් එක්ක ඇර ගත්තා. ඇස් ඇරලා බැලුවේ නැහැ මොකද වෙන්නේ කියලා.”
“සමාවෙයං සචියා....”
“හරි හරි... දැන් වත් ගොන් වැඩ නොකර හිටපං. උඹගේ අම්මලා උඹට මොනවත් කිව්වේ නෑනේ මේ ගැන. එහෙනම් උඹත් මොනවත් දන්නෑ වගේ හිටපං. ටික දවසකින් දිලිනි කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ බලපං මොකද කරන්න පුළුවන් කියලා. දැනට වැඩ අවුල් කරගන්නේ නැතුව සද්ද වහලා හිටපං.”
“ඒ වුනාට මට දිලිනිව දැන්මම කන්ටැක්ට් කරගන්න ඕනේ බං...”
“ඔන්න ඕකනේ... උඹට කියලා වැඩක් නෑ කියන්නේ.... කෙල්ල මැරිලා නෑනේ... ඒ නිසා බය නැතුව හිටපං ඉවසලා.”

10 comments:

  1. Replies

    1. කෙල්ලෙක් ඉතින් වැඩක් සැලසුම් කලොත් ඉතින්... තිතටම ඇති..!!! හි හි හි... කාවා නම් කෑවා තමයි!! දැන් දුක් විඳපන් බළලෝ කිව්වලු

      Delete
    2. කෙල්ලො ඔහොම්මමයි........

      Delete
  2. Yakoo........thawa ekak demmata kawuruth banine ne................

    ReplyDelete
  3. අනිත් කොටස් දාන්න වෙන්නේ හෙට තමා... මේ දවස් වල ගෙදරින් පිට ලොකු වැඩක්

    ReplyDelete