Tuesday, November 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 104



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



104.

මෙච්චර කාලයක් ගෙදරට වෙලා දීප නැන්දා හදලා දීපුවා කාලා බීලා, ගෙදර කිසි දෙයක් නොකර හිටපු මට දැන් හැම දෙයක්ම තනියම කරගන්න වෙලා.

ඉස්සර තනියම ඉන්න කොට තේ එකක්වත් හදාගෙන බොන්න කම්මැලි කමට නුවරට යනවා තේකක් බීලා එන්න. දැන් නම් ඒවා ඔක්කොම පුරුදු වෙන්න වෙනවා.

ලංකා‍වෙන් කිලෝමීටර් දාස් ගාණක් ඈතට ඇවිල්ල හිතාගෙන ආපු දේවල් කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් හැම දෙයක්ම වැරදිලා අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැරි වෙයිද?

“කාවා... අපි දහයට විතර ෂොපින් පාරක් යන්න වෙනවා. උඹට ඕන සප්ලයර්ස් ගන්න ඕනේ.”

රැන්ඩි ඔළුව දාලා කිව්වා.

“හරි... මම ලෑස්ති වෙන්නම්.”

එහෙම කිව්ව මම ආයෙත් ඇඳ උඩට වෙලා කල්පනා කලා. ගතවෙන හැම තත්පරේකම දිලිනි නැති අඩුව වැඩි වැඩියෙන් දැනුනා. ලංකාවේ ඉන්නකොට නම් කිලෝ මීටර් කීපයක් දුරින් නිසා ඒ හැඟිම දැනුනේ නැහැ.
උදේ දහයට විතර රැන්ඩියි මමයි පිටත් වුනා.

හැම දෙයක්ම වෙනස්.... බොහොම නිස්කලංක පැත්තක්. ලොකු වුනත් වැඩිය සද්ද බද්ද නැති පාරවල්. රැන්ඩි කියපු විදිහට මේ පැත්තේ ගොඩක් ඉන්නේ යුනිවර්සිටි කොලෙජ් යන ළමයි... ඒ නිසා වැඩිපුර මිනිස්සු නැති පැත්තක්.

අපි සුපර් මාකට් එකකට ගියා. ඒක ඇත්තටම ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක් වගේ ලොකු එකක්. හැම දෙයක්ම තියෙනවා.

මොනව කරන්නත් මගේ අතේ තිබුණේ සීමිත මුදල් ගණනක්. අම්මා දුන්න සල්ලි වලින් ඩොලර් දෙදාහක් විතර අතේ තිබුණා. ඊට අමතරව දිලිනි මට ඩොලර් පන්දාහක් දුන්නා. ඒ වුනාට මේ සල්ලි වලින් මාස දෙකක්වත් ජීවත් වෙන්න වෙනවා. නැත්නම් බැංකුවෙන් තව සල්ලි ගන්න ගියොත් අවුරුදු තුනක් නෙවෙයි අවුරුදු එක හමාරක්වත් ඉන්න බැරිවෙයි.

මම අවශ්‍යම කරන බඩු ගත්තා. රැන්ඩි කියපු විදිහට මුලින්ම ‍කන්න බොන්න ඕනේ කරන දේවල්... ඊට පස්සේ ගෙදරට අවශය කරන පොඩි‍ පොඩි දේවල්. ක්ලීනින් වලට ඕනේ කරන දේවල්..... අන්තිමට සීතලට ඔරොත්තු දෙන විදිහේ සපත්තු ජෝඩු දෙකක්.

අන්තිමට මම රැන්ඩි එක්ක ගිහින් මොබයිල් ෆෝන් එකක් ගත්තා. මගේ ස්ටුඩන්ට් කාඩ් එක නිසා ඒ රටේ සිම් එකක් එක්ක ෆෝන් එකක් ගත්තා. මට වැඩියෙන්ම ඹ්නේ කරලා තිබුනේ ඒක. මොකද දිලිනිට කතා කරන්න වෙන විදිහක් නෑ. දැන් එයා මට කෝල් එක ගනියි.

මම ලංකාවෙන් එනකොටම දිලිනි මට ඇඳුම් වගේ දේවල් අරන් දුන්න නිසා ඒ දේවල් ආයෙත් ගන්න අවශ්‍ය වුනේ නෑ.

ඒ වුනත් වියදම් වැඩී කියලා පලවෙනි දවසේම මට තේරුණා.

 පුළුවන් තරම් ඉක්මනට මට පාර්ට් ටයිම් රස්සාවක් හොයල දෙන්න කියලා රැන්ඩිට කියන්න ඕනේ.

ඔය අතරේ සමාධිත් අක්කා එක්ක අපි හිටපු තැනට ආවා.

“කොල්ලෝ දෙන්නා මොනවද මුලින්ම ගත්තේ, බියර් නේද?” අක්කා ඇහුවා.

“නෑ අක්කේ... අපි මේ ගත්තා...... එක එක දේවල්.”

“දැන් කාවින්ද කන්න හිතාගෙන ඉන්නේ කොහොමද?”

“ඒ කියන්නේ?”

“ළමයෝ... ඔයා උ‍දේ, දවල්, රෑ කෑම ගන්නේ කොහොමද?”

“කඩෙන් තමා.”

“හොඳට තියෙයි... මෙහේ කඩෙන් කන්න ගියොත් ඔයා විකිණෙයි. ලාබෙට කන්න තියෙන එකම තැන් තමයි මැක්ඩොනල්ඩ්ස් වගේ ෆාස්ට් ෆුඩ්... ඒවා ෆැට් ෆුඩ්. එක දිගට ඒවා කෑවොත් ඉතින් ෂුගර්, හාට් කේස් තමා.”
“එතකොට...?”

“ඔයා පුළුවන් විදිහට උයා ගන්න පුරුදු වෙන්න. අඩුම ගානේ උදේටයි රෑටයිවත් මොනවහරි හදාගන්න. දවල්ටනම් කැම්පස් යනකොට එතනින් කන්න පුළුවන්.”

“මලා.... ගෙදර ඉන්නකොට ‍තේකක්වත් හදාගත්තේ නෑ අක්කේ....”

“දැන් එහෙම බෑ.... එන්න යන්න මම කෑම ජාති ගන්න විදහ කියලා දෙන්න. ඊට පස්සේ මමයි සමාධියි මාරුවෙන් මාරුවට ඔයාට උයන විදිහ කියලා දෙන්නම්. තව යාළුවෙකුත් ඉන්නවා කෑම හදන්න දන්න... එයාවත් එක්ක එන්නම්.”

“කව්ද ඒ?”

“කෙල්ලෙක්... අපිත් එක්කම කැම්පස් යන්නේ.... මම කොලෙජ් හිටපු මාස හයේ අඳුරගත්තා. හරිම හොඳ කෙල්ලෙක්.”

“ලංකාවේද?”

“නෑ... පිලිපීනෝ...”

“කෙල්ල ලස්සනද?”

“ඒක තමයි නේද උඹට මුලින්ම අහන්න තියෙන්නේ... ගුටිකාලත් මනමාල කම නැතිවෙලා නෑ...”

“නෑ නිකං ඇහුවේ....”

“පිලිපිනෝ කෙල්ලෝ ලස්සනද කියලා සැක කරන ‍මෝඩයෙක් දැක්කමයි.”

“ඇයි අක්කේ..?”

“තමුසේ ඇත්තටම පිලිපින් කෙල්ලෙක් දැකලා නැද්ද?”

“නෑ.....”

“එහෙනම් ආවහම බලාගන්නවකෝ පිස්සා...”

“ලස්සනද කියන්නකෝ....”

“හලෝ මේ...... පිලිපින් කෙල්ලෝ තමයි ලස්සනම, උන්ට මෙහේ ලෝකල්ස්ලත් පිස්සු වැටිලා ඉන්නේ.. මෙහේ ඉගෙන ගන්න එන පිලිපින් කෙල්ලන්ගෙන් සියයට හැත්තෑවක්ම මෙහේ උන් බඳිනවා.”

“නෑ... එච්චර ලස්සනද?”

“කාවා මේ... උඹට ඔය බෝලයක් බස්සන්නේ... අහුවෙන්න එපා...” ඒ අස්සේ රැන්ඩි කිව්වා.

අපි එදා හවස් වෙනකම්ම ඇවිද්දා. රැන්ඩි මාව එක්ක ගිහිල්ලා, හැම දෙයක්ම පෙන්නුවා. බස් වල කෝච්චි වල යන්න අවශ්‍ය කරන ගෙවීම කරන කාඩ් මගේ නමට අරන් දුන්නා. කැම්පස් යන්න පටන් ගන්න කොට පොත් එහෙම ගන්න ඕනේ වෙන නිසා ඒ තැනුත් පෙන්නුවා.

හවස් වෙලා අපි හැමෝම දිනක්ෂි අක්කගේ ගෙදර ගියා. ඩිලන් අයියා අපිට පාටි එකක් ලෑස්ති කරලා.

ඒ හැම දෙයක්ම ලෑස්ති වෙන අතරේ මම පැත්තකට වෙලා මගේ නම්බර් එක දිලිනිට යැව්වා.

විනාඩි පහක් ඇතුලත එයා මට කෝල් කළා.

“කාවින්ද..... ඔයා ෆෝන් එකක් ගත්තද?”

“ඔව්....”

“නියමයි.... දැන් මට ඕනෙ වෙලාවක ඔයාට කතා කරන්න පුළුවන්. ඔයා මට කතා කරන්න එපා කාවින්ද... ලොකු බිලක් එයි... මට කතා කරන්න ඕනේ වෙන වෙලාවට මට කෝල් කරලා කට් කරන්න... මම ගන්නම්.”

“එතකොට ඔයාගේ බිල...”

“ඒක මම බලාගන්නම්. ඒක නෙවෙයි කාවින්ද.... මට ඉන්න බෑ..... පාළුයි අප්පා.”

“කොච්චර පාලුද?”

“මම ඔයා එක්ක තරහ වෙලා ඉන්න කාලෙවත් මෙච්චර පාළුවක් දැනිලා නෑ... තරහ වුනත් කිලෝමීටර් කීපයක් දුරින් ඉන්නවා කියලා දන්නවනේ මාව ආරක්ෂා කරන්න... දැන් කව්රුහරි මාව උස්සගෙන ගියත් ඔයාට බෑ බලන්න.”

“කව්රුත් ඔයාව උස්සන් යන්නෑ...”

“ඇයි ඒ...”

“හැමෝටම කළින් මම ඔයාව උස්සලානේ තියෙන්නේ....”

“ඒ කියන්නේ?”

“ඇයි ඉතින් මම ඔයාව අත් දෙකට අරන් උස්සලා බර බලලා තියෙනවනේ..... ග්‍රොස් වේට් එකයි, නෙට් වේට් එකයි දෙකම බලලා තියෙනවා.”

“ඒ මොකක්ද.... මොකක්ද අනේ මගේ ග්‍රොස් වේට් එකයි, නෙට් වේට් එකයි කියන්නේ....?”

“ඇයි සුදූ, පැකින් එක්ක බරයි, පැකින් නැතුව බරයි... මම කිව්වේ..... ඇඳුම් එකක් බරයි අනිත් විදිහටයි දෙකටම මම බලලා තියෙනවනේ....”

“ඊයා... එන්න එපා කැත කතා කියන්න මට.... ඔයා මහ වල් වෙලා අප්පා..... කිව්වොත් කියන්නේ ඔය වගේ කතාවක්.. ලැජ්ජාවේ පණ යනවා වෙන කෙනෙකුට ඇහුනනම්.....”

මම හිනා වුනා....

“හිනා වෙන්න එපා මෝඩයා වගේ.... ඔයා හරි නරකයි කාවින්ද.... මට ලැජ්ජයි අනේ....”

“ඇයි කැමති නැද්ද එහෙම කරනවට... අනික ඔයා එපා කිව්වේ නෑනේ..... ඒ කියන්නේ කැමතියි.”

“කෙහෙල්මල්... ඔයානේ මාව අවුස්සන්නේ...”

“ඒක නේ...... අදත් හිටියනම් අවුස්සන්න තිබ්බා.... එතකොට, අනේ කාවින්ද, මට ඔයා එක්ක තනි වෙන්න ඕනේ... අරක කරන්න ඕනේ ... මේක ඕනේ කියනවා බලන්න තිබ්බා.”

“යනව යන්න, වල් කතා නොකියා....”

“ඇයි බොරුද?”

“ඇත්ත.. ඒත් මං බෑ කියද්දි නේ ඒ වැරදි වැඩේ කළේ...”

“අන්න බොරු කියනවා... කව්ද දන්නෑ මට ඉන්න බෑ මාව ලං කරගන්න කියලා කිව්වේ.”

“අනේ.... ඒවා මතක් කරන්න එපා.. මට ඉන්න බෑ..”

“අන්න දැක්කද... දැනුත් කියවුනා.”

“අනේ ඇත්තටමයි කාවින්ද... මට ඉන්න බෑ ඔයා නැතුව. අපරාදේ මට ඔයාව සිංගප්පූරුවේ වගේ ළඟ තැනකට යවන්න තිබුණේ... එතකොට මට ඔයාව බලන්න වුනත් එන්න පුළුවන්... දැන් මොනව කරන්නද...”

“ඉතින් ඔයත් එන්නකෝ... අප දෙන්නා මැරි කරමු...”

“බෑ අනේ.... දැන්ම ඒක කරන්න අමාරුනේ කාවින්ද... ඒක නෙවෙයි ඔයා ඉන්නේ කාමරේද?”

“නෑ... අද සමාධිගේ අක්කා අපිට ඩිනර් ලෑස්ති කරලා... ඩිනර් විත් බාබකියු.”

“ඔයා බොනවද?”

“නෑ.... මම කිව්වේ ටිකක්...”

“ගොඩක් බොන්න එපා කාවින්ද....?”

“ඔයා කැමති නැද්ද මම පොඩ්ඩක්වත් බොනවට.”

“නෑ... එහෙම දෙයක් නෑ... ‍ඔයා කොල්ලෙක්නේ.. ඉතින් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට මම වදවෙන්නෑ.... ඒ වුනාට බේබද්දෙක් වගේ බොන්න නම් එපා.”

“නෑ සුදූ... මම එහෙම නෑනේ... ඔයා දන්නවනේ...”

“එහෙනම් දැන් යන්න... කට්ටිය බලයි ඔයා මොකද කියලා.”

“ඒක නෙවෙයි සුදූ... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා.”

“මොකක්ද?”

“ඔයා රැන්ඩිව දන්නවද?”

“සමාධිගේ බෝයි ෆ්‍රෙන්ඩ්ද?”

“ඔව්....”

“දන්නවා.“

“ඔයා මට කියලා නෑනේ...”

“අවශ්‍යතාවක් වුනේ නෑනේ කාවින්ද... එයා ශලිනිගේ රිලේෂන් කෙනෙක්.... පොඩි කාලේ ඉඳලා අපි ටිකක් අඳුරනවා. ඒත රැන්ඩි ඒ ලෙවල් වලින් පස්සේ ඇමරිකා ගිය නිසා අපි හම්බවෙලාවත් කතා කරලවත් නෑ අවුරුදු ගාණකින්.”

“ඔයා මට ඔය කතා කියලා නෑනේ... අනික රැන්ඩි දන්නෙත් නෑ මේ ඔයාමද කියලා. සමාධි දන්නේ ඔයාගේ දිලිනි කියන නමනේ.”

“ආ ඔව්... ශලනි, රැන්ඩි හැමෝම මට කතා කරන්නේ තාරුකා කියලා.”

“ඒක තමා.... අද මම ඌට ඔයාගේ ෆොටෝ එක පෙන්නුවාම මෑන් හොල්මන් වුනා.”

“මොකද කිව්වේ..?”

“ඔයාව අතෑරපු එක මගේ මෝඩ කමක් කිව්වා. සමාධි කොච්චර දැඟලුවත් දිනිට මාව සෙට් කරන්න, ඔයා වගේ හොඳ කෙනෙක් නම් වෙන්න දිනිට බෑ කිව්වා.”

“තව...”

“අපි දෙන්නට උදව් කරන්නම් කිව්වා.”

“සමහර විට එයා එහෙම කරයි කාවින්ද... රැන්ඩි ගොඩක් හොඳ කෙනෙක්.... ඒත් ඔයා සම්පූර්ණ ඇත්ත කියන්න එපා. අපි කතා වුන විදිහට ඔයාගේ අම්මට මම දුන්න පොරොන්දුව නිසා මම ඔයාව ඩම්ප් කළා කියන්න.”

“මම එහෙම තමා කිව්වේ... ඒ වුනාට ඇයි සුදූ ඔයා රැන්ඩි ගැන මට කිව්වේ නැත්තේ.”

“ඇත්තටම මට හිතුනා ඒක ඔයා දැනගත්තා කියලා වැඩක් වෙන්නෑ කියලා. අනික රැන්ඩි මගේ ‍යාළුවෙක් නෙවෙයි. අපි අඳුරගෙන හිටියා... එච්චරයි.”

“කමක් නෑ.... බලමු..”

“ඔයා දැන් යන්න බබා... මම හෙටත් කතා කරන්නම්.”

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 103



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



103.

පැය දොළහකටත් වඩා ගතවුන දීර්ඝ ගමනකින් පස්සේ අපි මොන්ටානා වලට ආවා. කවදාවත් ලංකාවේ අත්විඳලා නැති පුදුම සීතලක් තමා එහේ තිබුණේ.
අපි ගුවන්තොටුපොලෙන් එළියට එනකොටම රැන්ඩි ඇවිත් තිබුණා.
සචිනි ළඟට ආපු රැන්ඩි එයාට හග් කරලා මට කතා කළා.
“අම්මේ කාවා උඹව දැකගන්න තිබුණ අමාරුව. කොහොමද මචං ඉතින්.”
රැන්ඩි බොක්කෙන්ම ආපු හැඟිමකින් මාව බදා ගත්තා.
“අවුලක් නෑ මචං... ලංකා‍ව දාලා එන්න නම් දුකයි.”
“උඹ තාම ඉස්කෝලේ යන කාලේ කරපු චන්ඩි වැඩ අතෑරලා නෑ කියලා ආරංචියි.”
“නෑ බං.... ඒක වලියක් දාගන්න හිතලා කරපු දෙයක් නෙවෙයි..... මොනව කරන්නද?”
“හරි හරි... දැන් ඒව ඉවරයි... අමතක කරලා දාපං... වරෙන් යමු.”
අපි බෑග් ටික කැබ් එකට දාගත්තා.
බලන බලන හැම තැනම තිබුණේ ආගන්තුක පරිසරයක්. හැම දෙයක්ම වෙනස්. පාරවල් පිරිසිදුයි, පිළිවෙළයි. මිනිස්සු බොහොම අඩුයි, වාහනත් එහෙමයි.”
“කාවා අපි සමාධි, අක්කලගේ ගෙදරින් දාගෙන අපේ තැනට යමු.”
“එල.”
සමාධි නතර වුනේ එයාගේ අක්කගේ ගෙදර. දිනක්ෂි අක්කා ආදරයෙන් මාව පිළිගත්තා.
“අනේ කාවින්ද මල්ලි..... ඔයාව දකින්න ලැබුණ එකත් සතුටක්. හිත හොඳ චන්ඩියා.”
මට හිනා ගියා. මාව දන්න කාලේ ඉඳලා අක්කා මට කියන්නේ එහෙමයි.
“අවුරුදු හයකට පස්සේ අක්කේ.”
“ඒකනේ මල්ලි... ඔයානම් තවත් හැන්ඩ්සම් වෙලා. අසනීප වුනාට පස්සේ සුදුත් වෙලා. ඒ ඔයාගේ නියම පාට. අර දවස් වල අව්වේ ඉඳලම කළු වෙලා හිටියනේ.”
“ආයෙත් ලංකාවට යන්නේ නැද්ද අක්කේ?”
“පදිංචියටනම් යන්න අදහසක් නෑ මල්ලි. අයියත් දැන් මෙහේ හොඳ ජොබ් එකක් එක්ක සෙට්ල් වුනා. ඉතින් මාත් දැන් සෙට්ල්....”
“අපි යන්න ඕනේ...” රැන්ඩි කිව්වා.
“යන්න. පැය ගාණක් ෆ්ලයි කරලා මහන්සි ඇති. ගිහින් හොඳට නිදා ගන්න. හෙට උදේට හරියයි.”
“ඔව් අක්කේ හොඳටම අමාරුයි.”
අපි රැන්ඩිගේ නවාතැනට ආවා.
“උඹ එන නිසා මම ටිකක් ලොකු එපාර්ට්මන්ට් එකක් ගත්තා. මේකේ සෙක්ෂන් දෙකක් තියෙනවා. ඇනෙක්ස් දෙකක් වගේ. බෙඩ් රූම් එකයි, පෑන්ට්‍රි එකයි, බාත් එකයි. ඇතිනේ...?”
“අපෝ ඇති බං......”
“මම දැනට අවුරුද්දකට ගෙවලා තියෙන්නේ. දෙවෙනි අවුරුද්දේ අපි ෂෙයා කරගන්න බලමු.”
“උඹ ඔක්කොම ගෙව්වද මටත් එක්ක? කොහොමද බං උඹ මැනේජ් කරගන්නේ පාට් ටයිම් කරලා?”
“ඒක අවුලක් කරගන්න එපා. දැන් වොෂ් එකක් දාලා නිදා ගනින්.”
දිග නින්දකට පස්සේ මම ඇහැරුණා. දවල්ටත් රෑටත් දෙකටම මේ දවස් වල ඉර නැති නිසා වෙලාව හිතාගන්න බෑ.
නැගිටලා බලනකොට වෙලාව පාන්දර පහයි.
ලංකාවේ පුරුද්දට ෂර්ට් එක ගලවලා බැල්කනි එකට ආවා. තත්පර ගානකදි මම ආයෙත් දුවගෙන ගිහින් ඇඳට නැග්ගා. බුදු අම්මේ එහෙම සීතලක්. හීටර් එක නිසා ඇතුලේ රස්නයක් දැනෙන්නේ නෑ.
මම ඇ‍ඳේ ඉඳගෙනම කල්පනා කළේ අද මොනවද කරන්න තියෙන්නේ කියලා. හැම දේටම කළින් දිලිනිට කෝල් එකක් ගන්න තැනක් හොයාගන්න වෙනවා. අපේ ගෙදර අයටනම් සමාධි ඊයෙම කෝල් ‍කරලා කිව්වා අපි ආවා කියලා. දැන් කොහොම හරි දිලිනිට කෝල් කරන්න ඕනේ.
ඊයේ රැන්ඩි මට හදිස්සියේ අතරමං වුනොත් කෝල් කරන්න කියලා මිනිහගේ නම්බර් එකයි ටෙලිෆෝන් බොක්ස් වලට දාන්න කාසි ටිකකුයි දීලා තිබුණා. මම ඉක්මනින් ඇඳගෙන, සීතලට ජැකට් එකත් දාගෙන කාසි ටිකත් අරන් පාරට ආවා.
දැන් කරන්න තියෙන්නේ ටෙලිෆෝන් බොක්ස් එකක් හොයාගන්න එක.
ඒ වෙලාවේ පාරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ‍මේ සීතල කාලේ මේ රටේ මිනිස්සු මෙච්චර උදෙන් නැගිටින්නේ නැතුව ඇති.
මම ටිකක් ඇවිදගෙන ගියා. මොන ජැකට් දැම්මත් සීතල නම් අඩුවුනේ නෑ.
ටිකක් දුර යද්දි මම දැක්කා ෂොපින් කම්ප්ලෙක්ස් එකක් තියෙන තැනක්. එතනනම් ටෙලිෆෝන් එකක් ඇති කියලා හිතලා බැලුවත් වැඩක් වුනේ නෑ. ඒක ඇතුලට යන්න බෑ වහලා.
එතන කීප දෙනෙක්ම හිටියත් මට බය හිතුනා කතා කරන්න. මුන් මොක්කුද දන්නෑ.
බැරිම තැන මම එතන හිටපු ටිකක් වයසක අංකල් කෙනෙකුට කතා කළා.
“සර්, කැන් යූ ටෙල් මී වෙයා කැන් අයි ෆයින්ඩ් ඒ පේ ‍ෆෝන්.”
මිනිහා මගේ දිහා පුදුම වෙලා වගේ බැලුවා. ඇයි ඉතින් වෙන රටක එකෙක් මේ උදේ පාන්දර ෆෝන් එකක් හොය හොයා සීතලේ ඇවිදිනවා දැක්කහම පුදුම නොහිතෙයිද?
“යෙස්.... යූ ෂුඩ් වෝක් ස්ට්‍රේට් ඇන්ඩ් ටර්න් ලෙෆ්ට් ඇට් ද ෆර්ස්ට් ලේන්. දෙයා යූ විල් ෆයින්ඩ් ඉට්. බයි ද වේ..... යු ආර් නිව් ටු හියර්.”
“යස් සර්..... අයි කේම් යෙස්ටර්ඩේ.”
“ආර් යූ ෆ්‍රොම් බොස්ටන් ඕ ඔහියෝ...”
මිනිහා මාව දැකලා තියෙන්නේ කල්ලෙක් වගේද මන්දා.
“නෝ... අයි ඇම්  ‍ෆ්‍රොම් ශ්‍රී ලංකා.”
“හම්... අයි හර්ඩ් එබවුට් ඉට්. අයි බිලීව් ඉට්ස් එ ‍ස්මෝල් කන්ට්‍රි සවුත් ටු ඉන්ඩියා.”
යකෝ මුන් ලංකාව ගැන දන්නෙම නෑ නේ.
කොහොමහරි මම ෆෝන් එකක් හොයා ගත්තා. දැන් ලංකාවේ වෙලාවෙන් හයට විතර ඇති.
“සුදූ...”
“කාවින්ද!.... මම බලාගෙන හිටියා ඔයා ඊයේ කතා කරයි කියලා.”
“වෙරි සොරි සුදූ... මට පේ ෆෝන් එකක් හොයාගන්න බැරි වුනා.”
“කමක් නෑ.. කොහොමද ඔයාට?”
“අවුලක් නෑ.... ඒ වුනාට සීතල තමයි ඉන්න බැරි. ඇ‍ඳෙන් බහින්න හිතෙන්නෙම නෑ.”
“හරි ෂෝක්... මමත් හිටියනම් අපි දෙන්නට දවසම ඇඳට වෙලා සීතලට ගුලි වෙලා ඉන්න තිබුණා.”
“හොඳට තියෙයි....”
“ඒක නෙවෙයි කාවින්ද...... කොහොමද කට්ටිය?”
“ඔක්කොම ඉන්නවා. දිනි තාම කතා කළේ නෑ. සමාධි ගේ අක්කා එක්ක එයා ඉන්නවා. මම ඉන්නේ රැන්ඩිගේම එපාර්ට්මන්ට් එකේ එක පැත්තක.”
“ඔයාට සෙපරේට් එන්ට්‍රන්ස් තියෙනවද?”
“ඔව්.... බෙඩ් රූම් එකයි, පොඩි හෝල් එකයි පැන්ට්‍රි එකයි, බාත් එකයි.”
“මට ආසයි අනේ...”
මම ෆෝන් එක දිහා බැලුවා. කාසි ඉවර වෙන්න ළඟයි.
“සුදූ... සල්ලි ඉවරයි... මම ආයෙත් හවස කතා කරන්නම්.”
“හොඳයි...... අයි ලව් යූ...” දිලිනි කිව්වා.
“ලව් යූ ටූ.”
මම ෆෝන් එක තියලා ආපහු යන්න හැරුනා.
මම කාමරේට එනකොටම රැන්ඩි තේ එකකුත් හදාගෙන ආවා.
“යකෝ.. උඹ මට තේ අදින්න එපා.”
“උඹ මට ණය නෑ ය‍කෝ... උඹ කරපු උදව්ව බලපුවාම මේවා කරලා මට ගෙවන්න බෑ. මේක බීපං”
“ඒක අමතක කරපන්. මම කෙනෙකුට උදව් කරන්නේ කිසි දෙයක් බලාගෙන නෙවෙයි.”
“වෙලාවකට කාවා උඹ ජෙනුයින් වැඩී.... සිරාවටම... උඹ කරන වැඩ නිසා උඹම අමාරුවේ වැටෙනවා.”
අපි දෙන්නා තේ බිබී කතා කළා.
“ඒක නෙවෙයි කාවා... කොහොමද කෙල්ල...?”
“මොන කෙල්ලද බං...”
“අර දිලිනි කියන උඹේ ලව් එක.”
“මං දන්නෑ බං....”
“උඹ කෙල්ලට සිරාවට ලව් කරා නේද?”
“ඇයි උඹ එහෙම අහන්නේ?”
“මම ෆුල් ස්ටෝරියම දන්නවා පුතා. සමාධි මට කිව්වා. දිනි උඹට මැරීගෙන ලව් කරද්දි, අම්මලා තාත්තලා එපා කියද්දි, පාතාලේ උන් උඹට වට කරගෙන ගහද්දි නවත්තන්නේ නැති ලව් එක මොකක්ද කියලා මට කියලා දෙන්න ඕනේ නෑ බං. සිරා ලව් එක මොකක්ද කියලා මම දන්නවා.”
“උඹ මොනවද දන්නේ?”
“සමාධි මට ඔය ගැන කියනකොටම මම දැනගත්තා දිනි මොන තරම් ට්‍රයි කළත් උඹ ආයෙත් ඒ කෙල්ලට ආදරේ නොකරන බව. මම ඒක සමාධිට කෙලින්ම කිව්වා. ඒත් කෙල්ල කොහොම හරි ට්‍රයි කරන්නේ දිනිට උඹව සෙට් කරන්න.”
“දැන් උඹ මොනවද දන්නේ...?”
“මම දන්න මගුලක් නෑ... මම කියන්නේ උඹ දිලිනි කියන කෙල්ලට සිරාවටම ලව් කියලා විතරයි.”
“ඔව්.. මම ඒ කෙල්ලට ඇත්තටම ආදරෙයි... ඒත් දැන් කරන්න දෙයක් නෑ.... අපේ අම්මා එයාව හම්බවෙලා පොරොන්දු කරවගෙන අපි දෙන්නා වෙන් වෙනවා කියලා. දැන් කරන්න දෙයක් නෑ.”
“උඹ සිරාවටමද කියන්නේ?”
“ඔව් ඇයි.....?”
“මට උඹව ෂුවර් නෑ...”
“ඇත්ත බං..... කෙල්ල මට තාම ආදරෙයි... ඒත් එයා කැමති නෑ අම්මගේ හිත රිද්දන්න.”
රැන්ඩි කියන්නේ සමාධිට කළින් ම  ඉඳලා මගේ යාළුවෙක්. ඌට බොරුවක් කරන්න අමාරුයි. ඒත් මම හිතාගත්තා බාගයක් බොරුව බාගවක් ඇත්ත ඌට කියන්න.
“ඒ කෙල්ල උඹට වඩා වැඩිවයසලු නේද?”
“ඔව් බං... ඒත් කෙල්ල මට හොඳයි.. අනිත් එක අවුරුදු තුනක් විතරයි බං... ඕක මොකක්ද?”
“ඒක නම් ඇත්ත බං. මේ රටවල කොල්ලට වඩා අවුරුදු හත අට උන් බඳින්නේ. ඉතින් දැන් උඹ ඒ ඔක්කොම අතෑරලා ආවා.”
“ඔව් ඇයි...? මට ඕනේ හිත හදාගන්න. සමාධි මාව දිනීට සෙට් කරන්න හැදුවටනම් වැඩක් වෙන්නෑ බං. මට බෑ දිලිනිට ඇර වෙන කෙල්ලෙකුට ලව් කරන්න. ඒ වුනා‍ට මට ලැබුණ චාන්ස් එක නිසා මම ආවා. අනිත් එක ලංකා‍වේ ඉඳලා හිත හදා ගන්න බෑ.”
“උඹ ඔය මොනව කිව්වත් මට හිතෙනවා උඹලා දෙන්නා වෙන්වෙලා නෑ කියලා.”
“ඇයි ඒ....”
“මෙච්චර කට්ටක් කාපු උඹ ඔයා පොඩි හේතුව නිසා ඔය කෙල්ලව අතාරියිද?”
“මම නම් නෑ... ඒත් ඒක කෙල්ලගේ තීරණේ. ඒකට මට බෑ බල කරන්න.”
“උඹ ගාව ෆොටෝ එකක් තියෙනවද?”
මගේ ළඟ තිබුණ ෆොටෝ එක මම රැන්ඩිට පෙන්නුවා.
“නෑ... මේ ඒ කෙල්ලද?”
“ඔව් ඇයි උඹ පුදුම වෙලා!”
“තාරුකා නෙවෙයිද නම.”
“ඔව්.... දිලිනි තාරුකා....”
“යකෝ... ඇයි කළින් නොකිව්වේ...?”
“මොනවද බං...”
“යකෝ... මේ ශලිනිගේ හොඳම යාළුවෙක්....”
ඔව් මම දන්නවා.
“උඹ දන්නවද ශලිනි කියන්නේ කව්ද කියලා?”
“තාරුකාගේ යාළුවෙක්....”
“යකෝ... ශලිනි කියන්නේ මගේ කසීන් කෙනෙක්. ඇත්තටම කසීන් කිව්වට ටිකක් දුර නෑකමක් තියෙන්නේ... බට් අපි දෙන්නා පොඩි කාලේ ගොඩක් ක්ලෝස් යාළුවෝ.”
“එතකොට උඹ තාරුකාව දන්නවා.”
“නැත්තං යකෝ... මම කොච්චර නම් හම්බවෙලා තියෙනවද? සමාධි මට විස්තර කියද්දි මට මීටර් වුනේ නෑනේ බං.... දැන් තමා මතක් වෙන්නේ ඒ කියපු විස්තර තාරුකාට හරියටම ගැලපෙනවා කියලා. මම යකෝ හීනෙකින්වත් හිතුවේ නෑ උඹ යාළු වෙලා ඉන්නේ මේ කෙල්ල එක්ක කියලා.”
“උඹ සිරාවටමද කියන්නේ...?”
“ඔව් බං.... ඒත් තාරුකා ඉස්කෝල ටීචර් කෙනෙක් නෙවෙයි... ඒකයි මට මීටර් නොවුනේ... කෙල්ල කොහොමද ඉස්කෝලෙක උගන්වන් ගියේ?”
“ඒක ලෝන්ග් ස්ටෝරි බං..”
“එනිවේ... උඹ නම් මාර පොරක් කාවා. මේ වගේ ලස්සන කෙල්ලෙක් අතාරිනවද අම්මා කියන නිසා.”
“ලස්සන විතරක් නෙවෙයි බං, කෙල්ල සිරාවටම හොඳයි.”
“යකෝ කාවා... උඹට වඩා මම දන්නවා තාරුකා ගැන. කෙල්ල සිරාවටම නෙවෙයි බොක්කෙන්ම හොඳයි.... හැබැයි එකක්..... අම්බානක සල්ලි.”
“හම්....”
“මොනව වුනත් කාවා... කෙල්ලගේ ලස්සනට හරියන කොල්ලෙක් ඒ කාලෙ ඉඳලම හිටියේ නෑ... කොල්ලෝ කී දෙනෙක් පස්සෙන් ආවද... කෙල්ල හැරිලවත් බැලුවේ නැහැ. ඒත් උඹ දිහා එහෙනම් බලලා. ඒ කාලේ කෙල්ලෝ කෙල්ලෝ අතර තිබුණ ගොසිප් එකක් තමයි තාරුකාගේ ලස්සනට හරියන කොල්ලා ලංකාවේ නෑ කියලා. අන්තිමට ඒ කොල්ලා උඹ වුනා.”
“ඇයි අපි දෙන්නා ගැලපෙන්නේ නැද්ද?”
“නැත්තේ මොකද බං... කෙල්ල සිරාවටම උඹට ගැලපෙනවා. අනිත් එක මාර හොඳ කෙල්ලෙක්... ෂිහ් මම දැනගෙන හිටියේ නෑනේ...”
“ඇයි...?”
“නෑ අන්තිමට මමත් නොදැනුවත්වම ඒ වගේ හොඳ කෙල්ලෙකුට ගේමක් දෙන්න ගෑවිලා. ෂික් බං මේ සමාධිලානම් කොල්ලන්ට ගිනි දෙන්නම ඉපදුන උන්. දිනි තමා ලීඩර්.”
රැන්ඩි කියවනවා.
“කාවා... උඹ මේ ලව් එක සිරාවටම අතෑරලානම් තියෙන්නේ උඹ කරන්නේ පට්ට ගොන් වැඩක්. මේ වගේ හොඳ කෙල්ලෙක් උඹට ආයෙ හම්බවෙන්නේ නෑ. දිනි ලා එක්ක තියද්දි ඩයමන්ඩ් එකක්.”
“දැන් වැඩක් නෑ බං....”


Wednesday, November 01, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 102



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



102.

මම පිටත් වෙන්න නියමිත වෙලා තිබ්බේ අගෝස්තු දහවෙනිදා පාන්දර එකයි දහයට පිටත් වෙන ගුවන් යානයේ.
හවස තුන වෙනකොට සමාධි අපේ ගෙදර ආවා එයාගේ අම්මයි තාත්තයි එක්ක. සමාධිත් මාත් එක්ක යන නිසා එයාලගේ වෑන් එකේම යන්න කතා කරගෙන තිබුණා.
සමාධිගේ තාත්තා රන්ජිත් අංකල් මට කතා කළා.
“සන්, පහුගිය කාලේ වෙච්චි අවුල් මට අහන්න ලැබුණා. ඩෝන්ට් වොරි, දැන් ඒව අමතක කරලා අළුත් ජීවිතයක් ගැන හිතන්න. සමාධි මට ඔය ගැන කියනකොට මමත් කිව්වේ මේක තමා ඔයාට තියෙන හොඳම සොලියුෂන් එක කියලා. මටත් ඔය වගේ කාලයක් තිබුණා. මම අවුරුදු පහකට ලංකාවෙන් ගියා.  එතනින් තමා මමත් මගේ ජීවිතේ ගොඩ ගත්තේ.”
මම හිනා වුනා.
“හිනා වෙන්න දෙයක් නෑ කාවින්ද. ඔයා ගොඩක් ස්කිල්ස් තියෙන ළමයෙක්. කොලෙජ් එකේ ඉන්න කාළේ ඔයා මොනවයින්ද ලීඩ් කළේ නැත්තේ. ඒත් ඔයා කොලෙජ් එකෙන් අවුට් වුනාට පස්සේ ලයිෆ් එක ඔහේ යන්න දීලා වරද්ද ගත්තා. ඔයාගේ ස්කිල්ස් අපරාදේ අපතේ ගියා. තාම ඔයා පරක්කු වැ‍ඩි නෑ. මේ ගමනෙන් වත් ඔයා ඒව පොලිෂ් කරල ගන්න බලන්න.එහෙම වුනොත් ඔයාට‍ යන්න බැරි දුරක් නෑ. ඒක මේ කෙල්ලෙක් නිසා නාස්ති කරගන්න ඕන දෙයක් නෙවෙයි.”
“ඕකේ අංකල්.”
“දෙමව්පියන්ගේ සල්ලි, මහන්සිය දෙකම නාස්ති නොකර ඔයා වගේ පුතෙක් හැදුවට ඒ අයට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කරන්න අඩුම ගාණේ අද ඉඳලා. අපේ දුවලා දෙන්නම ඔයාට උදව් කරයි. ඒ දෙන්නා පුදුම විදිහට ඔයා‍ට ආදරෙයි.”
“මම දන්නවා අංකල්. සමාධි මේ මං වෙනුවෙන් කරන දේවල් මට කවදාවත් අමතක වෙන්නෑ.”
“අපිටයි ඔයා කරපු උදව්ව අමතක වෙන්නේ නැත්තේ. ඒක සමාධිගේ ජීවිතේ බේරගැනීමක්. ඒක මේ කිසි දේකට හිලව් කරන්න බෑ පුතා. ඒ නිසා මේ හැම දෙයක්ම කිසිම වටිනාකමක් නැති දේවල් ඔයා කරපු දේ එක්ක බලපුවහම.”
අංකල් මට ගොඩක් කාලෙකට කළින් වුන දෙයක් මතක් කළා.
“නෑ අංකල්.... ඒක ලොකු දෙයක් නෙවෙයි... මම ඒ වෙලාවේ කරන්න ඕනේ දේ කළා. සමාධි වෙනුවෙන් ඒක ම‍ට කරන්න බැරිනම් මම යාළුවෙක් නෙවෙයි.”
“හැම කොල්ලම ඔහොම හිතන්නෑ පුතා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ ඔයාගේ වැලියු එක අන්ඩඑස්ටිමේට් කරන්න එපා කියලා.”
“තේරුණා අංකල්. අපි එයා පෝට් එකට යන්න ඕනේ කීයටද?” මම ඇහුවා.
“පුතා, ෆලයිට් එක පාන්දර එකයි දහයට.අපි රෑ දහය හමාරට නැත්නම් එකොළහට විතර එතන හිටියනම් ඇති.”
“ඉතින් අපි මෙච්චර කළින් යන්නේ ඇයි අංකල්?”
“මේක ලොකු ගමනක්. පැය ගාණක් යනවා. ඒ නිසා ඔය දෙන්නා ‍නුවර ඉඳලා කොළඹට ගිහිල්ලා එක දිගටම ෆලයි කරන්න ගියොත් ටයර්ඩ් වෙනවා. ඒ නිසා මම ටැමරින් ට්‍රීස් හොටෙල් එක බුක් කළා. අපි දැන් ගිහිල්ලා එතන රෙස්ට් කරලා රෑ එතනින් පිටත් වුනාම ටයර්ඩ් නෑ.”
අපි හවස තුන හමාරට නුවරින් පිටත් වුනා. හරියටම හය හමාර වෙනකොට හොටෙල් එකට ආවා. අංකල් කාමර දෙකක් වෙනුවට සම්පූර්ණ එපාර්ට්මන්ට් දෙකක්ම වෙන් කරලා. ඒ එකක කාමරයට අමතරව සාලෙකුයි, පොඩි පෑන්ට්‍රි එකකුයි, වැරැන්ඩ එකකුයි තියෙනවා.
මම අම්මයි තාත්තයි එක්ක ඇතුලට ආවා. ඒ දෙන්නට පොඩ්ඩක් ඇදේ ඇලවෙන්න ඇරලා මම එළියට ආවා. මට මහන්සියක් තිබ්බේ නෑ.
එතකොටම සචියා කෝල් කළා.
“කාවා... උඹ කොහෙද බං ඉන්නේ. කොහෙද හොටෙල් එක තියෙන්නේ?”
“ඇයි බං....?”
“කියපංකෝ... අපි මේ හොටෙල් එක හොයාගන්න බැරුව ඉන්නේ.”
“මොකක්... උඹලා මෙහේ කොහෙද?”
“අපි උඹව ඇරලවන්න ආවා.”
මුන්ටනම් පිස්සු එකේ හොඳම එක.
මම පාර කිව්වා. විනාඩි දහයක් යනකොට වෑන් එකක් ආවා. එරංග අයියගේ වෑන් එක. සචියා වාහනේ ‍ඩ්‍රයිව් කරනවා.
සචියා විතරක් නෙවෙයි, අමිල, දිලිප්, චතුර, පැණියා, සෙට් එකම ඇවිත්.
“උඹල මොකද බං කරන්නේ?”
“යකෝ... අපිත් එක්ක අවුරුදු ගාණක් එකට ඉඳලා, එක ප්ලේන්ටියයි සිගරට් එකයි බෙදාගෙන බීල හිටපු උඹට එහෙම ලේසියෙන් යන්න දෙයි කියල හිතුවද අපි.”
චතුර කිව්වා.
“කොහොමද බං ආවේ?” මම සචිත්‍ර ගෙන් ඇහුවා.
“ඇයි..? සිම්පල් නේ... අයියගෙන් වෑන් එක ඉල්ලගත්තා උඹට එන්න වාහනයක් නෑ කියලා. ඌ හොඳ එකා ෆුල් ටෑන්ක් ගහලම දුන්නා. පව් බං. තව මොනවද, අපි නුවරින් සෙට් වුනා. උඹ පිටත් වෙන වෙලාවටම පස්සෙන් ආවා.”
“යකෝ... උඹල ඒ ටිකටත් මාව විකුණලා වාහනේ ඉල්ලගත්තද? අනිත් එක පස්සෙන් ආවනම් තැන හොයාගන්න බැරි වුනේ?”
“කොහෙද බං... මේ අමිලයාට දියවැඩියාවනේ බං. මග දිගට ලඳු කැලෑ හොය හොයා දුවනවා. ඒකෙන් උඹලව මිස් වුනා. අනිත් එක අංකල්ගේ වාහනේ එක්ක මේ කබල් වෑන් එකට රේස් යන්න බෑ බං.”
මුන් ටික නම් පිස්සෝ සෙට් එකක්.
අම්මයි තාත්තයි කාමරේ නිදි අතරේ අපි වැරැන්ඩා එකට පුටු දාගත්තා.
“උඹල ගෙවල් වලට බොරු කියලා ඇවිල්ලා මොනවද බං කරන්නේ?”
“අවුලක් නෑ කාවා. අවුරුදු ගාණකට ආයෙ උඹව දකින්නේ නැති එකේ අන්තිම මොහොතේ පො‍ඩි ෆන් එකක් දාන්න හිතුනා.”
අපි කතා කර කර ඉන්නකොට නොදැනීම වෙලාව ගතවුනා. රෑ කෑම මොනවද ගන්නේ කියලා අහන්න සමාධිත් එක්ක තාත්තා අපි ඉන්න පැත්තට ආවා.
“ආ.... මේ කට්ටියම ඇවිල්ලා ඉන්නේ... එනවා කියලා අපිට කළින් කිව්වනම් අපිත් එක්කම එන්න තිබුණනේ.”
සමාධිගේ තාත්තා කිව්වා.
“නෑ අංකල්... එකපාරටම තමා හිතුනේ.. ඉතින් අයියගේ වාහනේ ඉල්ලගෙන අපි ආවා.”
“පුතාලා රෑ කෑමට මොනවද ගන්නේ?”
“ආ ඒ ගැන ප්‍රශ්ණයක් නෑ අංකල්... අපි යන ගමන් මොනව හරි කන්නම්.”
“දැන් වෙලාව අටත් වෙලා... මොන යන ගමන්ද? ඉන්න මම ඕඩර් කරන්නම්. හැමෝටම ෆ්‍රයිඩ් රයිස් හොඳද නැත්නම් නූඩ්ල්ස් වගේ දෙයක්ද?”
“කාවා.. කරදරයක් නැති විදිහට උඹ බලලා ඕඩර් කරපං.”
සචියා මගේ කනට කරලා කිව්වා. මුන් ලොකු කතා කිව්වට මම දන්නවා යන ගමන්වත් කන්න මුන් ළඟ සල්ලි නෑ කියලා. ඒ නිසා මම කෑම ඕඩර් කළා.
“කාවා.... මොනව වුනත් සමාධිගේ තාත්තා සිරා බොක්කක් බං උඹට තියෙන්නේ. බලපං මේ හැ‍ම දේම කරලා අපි ආවහම අපිටත් එක්ක කෑම බීම.”
“එහෙම තමයි බං අංකල් කවදත්. මතකද සචියා එක දවසක් අපි දිනි, එරන්දිකා, සමාධි තුන් දෙනා එක්ක පික්නික් එකක් ගිහිල්ලා... කාපු කෑමට දවසක් විතර නැගිටගන්න බැරි වුනා.” මම කිව්වා.
“ඒකනම් ඇත්ත බං...”
අපි කෑම කන අතරේ කතා කළා.
හැම කෙනෙක්ම කිව්වේ මම නැතුව උන්ට පාළුයි කියලා. කාටවත් ඕනකමක් තිබුණේ නැහැ මම යනවා කියල හිතන්න.
අපි හොටෙල් එකෙන් රෑ දහය හමාරට පිටත් වුනා. ළඟ නිසා විනාඩි පහළවක් යනකොට අපි ගුවන් තොටුපලට ආවා.
අපිත් එක්ක ආපු හැමෝම අමුත්තන්ගේ ලොබි එකට ආවා.
අම්මගේ සුපුරුදු අවවාද වලට කන් දීලා තාත්තට කතා කරලා, මමයි සමාධියි ඇතුලට යන්න මොහොතක් තියෙද්දි සචියා කතා කළා. උගේ ඇස් වල කඳුලු. දුකේදි සැපේදි දෙකේදිම මාත් එක්කම හිටපු ඌට මම යනවා කියන එක දරා ගන්න අමාරු ඇති.
“මම උඹට කෝල් කරන්නම් සචියා.”
“උඹට කවදාවක් වරදින්නේ නෑ. යන තැනක හොඳට හිටපං.”
“හරි මචං.... අපි අවුරුදු පහළවක් විතර එකට හිටියා, මට උඹ නැතුව පාළු තියෙයි බං. මුලින් දිනි ගියා, දැන් උඹ.”
“අපි ආයෙත් අවුරුදු තුනකින් අනිවා හම්බවෙනවා. ගණන් ගන්න එපා බං.”
මම සචියා බදාගත්තා. මොනවා වුනත් ඌ තමයි මගේ ම සහෝදරයෙක් වගේ මගේ දුකට සැපට හිටපු එකම එකා.
මම හැමෝටම අත වනලා සමාධිගේ අත අල්ලගෙන ඇතුළට ගියා.
එදා මම පාන්දර එකයි  දහයට ලංකාවෙන් පිටත් වුනේ තවත් අවුරුදු තුනකට ලංකාවට නොඑන බලාපොරොත්තුවෙන්