Tuesday, November 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 103



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



103.

පැය දොළහකටත් වඩා ගතවුන දීර්ඝ ගමනකින් පස්සේ අපි මොන්ටානා වලට ආවා. කවදාවත් ලංකාවේ අත්විඳලා නැති පුදුම සීතලක් තමා එහේ තිබුණේ.
අපි ගුවන්තොටුපොලෙන් එළියට එනකොටම රැන්ඩි ඇවිත් තිබුණා.
සචිනි ළඟට ආපු රැන්ඩි එයාට හග් කරලා මට කතා කළා.
“අම්මේ කාවා උඹව දැකගන්න තිබුණ අමාරුව. කොහොමද මචං ඉතින්.”
රැන්ඩි බොක්කෙන්ම ආපු හැඟිමකින් මාව බදා ගත්තා.
“අවුලක් නෑ මචං... ලංකා‍ව දාලා එන්න නම් දුකයි.”
“උඹ තාම ඉස්කෝලේ යන කාලේ කරපු චන්ඩි වැඩ අතෑරලා නෑ කියලා ආරංචියි.”
“නෑ බං.... ඒක වලියක් දාගන්න හිතලා කරපු දෙයක් නෙවෙයි..... මොනව කරන්නද?”
“හරි හරි... දැන් ඒව ඉවරයි... අමතක කරලා දාපං... වරෙන් යමු.”
අපි බෑග් ටික කැබ් එකට දාගත්තා.
බලන බලන හැම තැනම තිබුණේ ආගන්තුක පරිසරයක්. හැම දෙයක්ම වෙනස්. පාරවල් පිරිසිදුයි, පිළිවෙළයි. මිනිස්සු බොහොම අඩුයි, වාහනත් එහෙමයි.”
“කාවා අපි සමාධි, අක්කලගේ ගෙදරින් දාගෙන අපේ තැනට යමු.”
“එල.”
සමාධි නතර වුනේ එයාගේ අක්කගේ ගෙදර. දිනක්ෂි අක්කා ආදරයෙන් මාව පිළිගත්තා.
“අනේ කාවින්ද මල්ලි..... ඔයාව දකින්න ලැබුණ එකත් සතුටක්. හිත හොඳ චන්ඩියා.”
මට හිනා ගියා. මාව දන්න කාලේ ඉඳලා අක්කා මට කියන්නේ එහෙමයි.
“අවුරුදු හයකට පස්සේ අක්කේ.”
“ඒකනේ මල්ලි... ඔයානම් තවත් හැන්ඩ්සම් වෙලා. අසනීප වුනාට පස්සේ සුදුත් වෙලා. ඒ ඔයාගේ නියම පාට. අර දවස් වල අව්වේ ඉඳලම කළු වෙලා හිටියනේ.”
“ආයෙත් ලංකාවට යන්නේ නැද්ද අක්කේ?”
“පදිංචියටනම් යන්න අදහසක් නෑ මල්ලි. අයියත් දැන් මෙහේ හොඳ ජොබ් එකක් එක්ක සෙට්ල් වුනා. ඉතින් මාත් දැන් සෙට්ල්....”
“අපි යන්න ඕනේ...” රැන්ඩි කිව්වා.
“යන්න. පැය ගාණක් ෆ්ලයි කරලා මහන්සි ඇති. ගිහින් හොඳට නිදා ගන්න. හෙට උදේට හරියයි.”
“ඔව් අක්කේ හොඳටම අමාරුයි.”
අපි රැන්ඩිගේ නවාතැනට ආවා.
“උඹ එන නිසා මම ටිකක් ලොකු එපාර්ට්මන්ට් එකක් ගත්තා. මේකේ සෙක්ෂන් දෙකක් තියෙනවා. ඇනෙක්ස් දෙකක් වගේ. බෙඩ් රූම් එකයි, පෑන්ට්‍රි එකයි, බාත් එකයි. ඇතිනේ...?”
“අපෝ ඇති බං......”
“මම දැනට අවුරුද්දකට ගෙවලා තියෙන්නේ. දෙවෙනි අවුරුද්දේ අපි ෂෙයා කරගන්න බලමු.”
“උඹ ඔක්කොම ගෙව්වද මටත් එක්ක? කොහොමද බං උඹ මැනේජ් කරගන්නේ පාට් ටයිම් කරලා?”
“ඒක අවුලක් කරගන්න එපා. දැන් වොෂ් එකක් දාලා නිදා ගනින්.”
දිග නින්දකට පස්සේ මම ඇහැරුණා. දවල්ටත් රෑටත් දෙකටම මේ දවස් වල ඉර නැති නිසා වෙලාව හිතාගන්න බෑ.
නැගිටලා බලනකොට වෙලාව පාන්දර පහයි.
ලංකාවේ පුරුද්දට ෂර්ට් එක ගලවලා බැල්කනි එකට ආවා. තත්පර ගානකදි මම ආයෙත් දුවගෙන ගිහින් ඇඳට නැග්ගා. බුදු අම්මේ එහෙම සීතලක්. හීටර් එක නිසා ඇතුලේ රස්නයක් දැනෙන්නේ නෑ.
මම ඇ‍ඳේ ඉඳගෙනම කල්පනා කළේ අද මොනවද කරන්න තියෙන්නේ කියලා. හැම දේටම කළින් දිලිනිට කෝල් එකක් ගන්න තැනක් හොයාගන්න වෙනවා. අපේ ගෙදර අයටනම් සමාධි ඊයෙම කෝල් ‍කරලා කිව්වා අපි ආවා කියලා. දැන් කොහොම හරි දිලිනිට කෝල් කරන්න ඕනේ.
ඊයේ රැන්ඩි මට හදිස්සියේ අතරමං වුනොත් කෝල් කරන්න කියලා මිනිහගේ නම්බර් එකයි ටෙලිෆෝන් බොක්ස් වලට දාන්න කාසි ටිකකුයි දීලා තිබුණා. මම ඉක්මනින් ඇඳගෙන, සීතලට ජැකට් එකත් දාගෙන කාසි ටිකත් අරන් පාරට ආවා.
දැන් කරන්න තියෙන්නේ ටෙලිෆෝන් බොක්ස් එකක් හොයාගන්න එක.
ඒ වෙලාවේ පාරේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ‍මේ සීතල කාලේ මේ රටේ මිනිස්සු මෙච්චර උදෙන් නැගිටින්නේ නැතුව ඇති.
මම ටිකක් ඇවිදගෙන ගියා. මොන ජැකට් දැම්මත් සීතල නම් අඩුවුනේ නෑ.
ටිකක් දුර යද්දි මම දැක්කා ෂොපින් කම්ප්ලෙක්ස් එකක් තියෙන තැනක්. එතනනම් ටෙලිෆෝන් එකක් ඇති කියලා හිතලා බැලුවත් වැඩක් වුනේ නෑ. ඒක ඇතුලට යන්න බෑ වහලා.
එතන කීප දෙනෙක්ම හිටියත් මට බය හිතුනා කතා කරන්න. මුන් මොක්කුද දන්නෑ.
බැරිම තැන මම එතන හිටපු ටිකක් වයසක අංකල් කෙනෙකුට කතා කළා.
“සර්, කැන් යූ ටෙල් මී වෙයා කැන් අයි ෆයින්ඩ් ඒ පේ ‍ෆෝන්.”
මිනිහා මගේ දිහා පුදුම වෙලා වගේ බැලුවා. ඇයි ඉතින් වෙන රටක එකෙක් මේ උදේ පාන්දර ෆෝන් එකක් හොය හොයා සීතලේ ඇවිදිනවා දැක්කහම පුදුම නොහිතෙයිද?
“යෙස්.... යූ ෂුඩ් වෝක් ස්ට්‍රේට් ඇන්ඩ් ටර්න් ලෙෆ්ට් ඇට් ද ෆර්ස්ට් ලේන්. දෙයා යූ විල් ෆයින්ඩ් ඉට්. බයි ද වේ..... යු ආර් නිව් ටු හියර්.”
“යස් සර්..... අයි කේම් යෙස්ටර්ඩේ.”
“ආර් යූ ෆ්‍රොම් බොස්ටන් ඕ ඔහියෝ...”
මිනිහා මාව දැකලා තියෙන්නේ කල්ලෙක් වගේද මන්දා.
“නෝ... අයි ඇම්  ‍ෆ්‍රොම් ශ්‍රී ලංකා.”
“හම්... අයි හර්ඩ් එබවුට් ඉට්. අයි බිලීව් ඉට්ස් එ ‍ස්මෝල් කන්ට්‍රි සවුත් ටු ඉන්ඩියා.”
යකෝ මුන් ලංකාව ගැන දන්නෙම නෑ නේ.
කොහොමහරි මම ෆෝන් එකක් හොයා ගත්තා. දැන් ලංකාවේ වෙලාවෙන් හයට විතර ඇති.
“සුදූ...”
“කාවින්ද!.... මම බලාගෙන හිටියා ඔයා ඊයේ කතා කරයි කියලා.”
“වෙරි සොරි සුදූ... මට පේ ෆෝන් එකක් හොයාගන්න බැරි වුනා.”
“කමක් නෑ.. කොහොමද ඔයාට?”
“අවුලක් නෑ.... ඒ වුනාට සීතල තමයි ඉන්න බැරි. ඇ‍ඳෙන් බහින්න හිතෙන්නෙම නෑ.”
“හරි ෂෝක්... මමත් හිටියනම් අපි දෙන්නට දවසම ඇඳට වෙලා සීතලට ගුලි වෙලා ඉන්න තිබුණා.”
“හොඳට තියෙයි....”
“ඒක නෙවෙයි කාවින්ද...... කොහොමද කට්ටිය?”
“ඔක්කොම ඉන්නවා. දිනි තාම කතා කළේ නෑ. සමාධි ගේ අක්කා එක්ක එයා ඉන්නවා. මම ඉන්නේ රැන්ඩිගේම එපාර්ට්මන්ට් එකේ එක පැත්තක.”
“ඔයාට සෙපරේට් එන්ට්‍රන්ස් තියෙනවද?”
“ඔව්.... බෙඩ් රූම් එකයි, පොඩි හෝල් එකයි පැන්ට්‍රි එකයි, බාත් එකයි.”
“මට ආසයි අනේ...”
මම ෆෝන් එක දිහා බැලුවා. කාසි ඉවර වෙන්න ළඟයි.
“සුදූ... සල්ලි ඉවරයි... මම ආයෙත් හවස කතා කරන්නම්.”
“හොඳයි...... අයි ලව් යූ...” දිලිනි කිව්වා.
“ලව් යූ ටූ.”
මම ෆෝන් එක තියලා ආපහු යන්න හැරුනා.
මම කාමරේට එනකොටම රැන්ඩි තේ එකකුත් හදාගෙන ආවා.
“යකෝ.. උඹ මට තේ අදින්න එපා.”
“උඹ මට ණය නෑ ය‍කෝ... උඹ කරපු උදව්ව බලපුවාම මේවා කරලා මට ගෙවන්න බෑ. මේක බීපං”
“ඒක අමතක කරපන්. මම කෙනෙකුට උදව් කරන්නේ කිසි දෙයක් බලාගෙන නෙවෙයි.”
“වෙලාවකට කාවා උඹ ජෙනුයින් වැඩී.... සිරාවටම... උඹ කරන වැඩ නිසා උඹම අමාරුවේ වැටෙනවා.”
අපි දෙන්නා තේ බිබී කතා කළා.
“ඒක නෙවෙයි කාවා... කොහොමද කෙල්ල...?”
“මොන කෙල්ලද බං...”
“අර දිලිනි කියන උඹේ ලව් එක.”
“මං දන්නෑ බං....”
“උඹ කෙල්ලට සිරාවට ලව් කරා නේද?”
“ඇයි උඹ එහෙම අහන්නේ?”
“මම ෆුල් ස්ටෝරියම දන්නවා පුතා. සමාධි මට කිව්වා. දිනි උඹට මැරීගෙන ලව් කරද්දි, අම්මලා තාත්තලා එපා කියද්දි, පාතාලේ උන් උඹට වට කරගෙන ගහද්දි නවත්තන්නේ නැති ලව් එක මොකක්ද කියලා මට කියලා දෙන්න ඕනේ නෑ බං. සිරා ලව් එක මොකක්ද කියලා මම දන්නවා.”
“උඹ මොනවද දන්නේ?”
“සමාධි මට ඔය ගැන කියනකොටම මම දැනගත්තා දිනි මොන තරම් ට්‍රයි කළත් උඹ ආයෙත් ඒ කෙල්ලට ආදරේ නොකරන බව. මම ඒක සමාධිට කෙලින්ම කිව්වා. ඒත් කෙල්ල කොහොම හරි ට්‍රයි කරන්නේ දිනිට උඹව සෙට් කරන්න.”
“දැන් උඹ මොනවද දන්නේ...?”
“මම දන්න මගුලක් නෑ... මම කියන්නේ උඹ දිලිනි කියන කෙල්ලට සිරාවටම ලව් කියලා විතරයි.”
“ඔව්.. මම ඒ කෙල්ලට ඇත්තටම ආදරෙයි... ඒත් දැන් කරන්න දෙයක් නෑ.... අපේ අම්මා එයාව හම්බවෙලා පොරොන්දු කරවගෙන අපි දෙන්නා වෙන් වෙනවා කියලා. දැන් කරන්න දෙයක් නෑ.”
“උඹ සිරාවටමද කියන්නේ?”
“ඔව් ඇයි.....?”
“මට උඹව ෂුවර් නෑ...”
“ඇත්ත බං..... කෙල්ල මට තාම ආදරෙයි... ඒත් එයා කැමති නෑ අම්මගේ හිත රිද්දන්න.”
රැන්ඩි කියන්නේ සමාධිට කළින් ම  ඉඳලා මගේ යාළුවෙක්. ඌට බොරුවක් කරන්න අමාරුයි. ඒත් මම හිතාගත්තා බාගයක් බොරුව බාගවක් ඇත්ත ඌට කියන්න.
“ඒ කෙල්ල උඹට වඩා වැඩිවයසලු නේද?”
“ඔව් බං... ඒත් කෙල්ල මට හොඳයි.. අනිත් එක අවුරුදු තුනක් විතරයි බං... ඕක මොකක්ද?”
“ඒක නම් ඇත්ත බං. මේ රටවල කොල්ලට වඩා අවුරුදු හත අට උන් බඳින්නේ. ඉතින් දැන් උඹ ඒ ඔක්කොම අතෑරලා ආවා.”
“ඔව් ඇයි...? මට ඕනේ හිත හදාගන්න. සමාධි මාව දිනීට සෙට් කරන්න හැදුවටනම් වැඩක් වෙන්නෑ බං. මට බෑ දිලිනිට ඇර වෙන කෙල්ලෙකුට ලව් කරන්න. ඒ වුනා‍ට මට ලැබුණ චාන්ස් එක නිසා මම ආවා. අනිත් එක ලංකා‍වේ ඉඳලා හිත හදා ගන්න බෑ.”
“උඹ ඔය මොනව කිව්වත් මට හිතෙනවා උඹලා දෙන්නා වෙන්වෙලා නෑ කියලා.”
“ඇයි ඒ....”
“මෙච්චර කට්ටක් කාපු උඹ ඔයා පොඩි හේතුව නිසා ඔය කෙල්ලව අතාරියිද?”
“මම නම් නෑ... ඒත් ඒක කෙල්ලගේ තීරණේ. ඒකට මට බෑ බල කරන්න.”
“උඹ ගාව ෆොටෝ එකක් තියෙනවද?”
මගේ ළඟ තිබුණ ෆොටෝ එක මම රැන්ඩිට පෙන්නුවා.
“නෑ... මේ ඒ කෙල්ලද?”
“ඔව් ඇයි උඹ පුදුම වෙලා!”
“තාරුකා නෙවෙයිද නම.”
“ඔව්.... දිලිනි තාරුකා....”
“යකෝ... ඇයි කළින් නොකිව්වේ...?”
“මොනවද බං...”
“යකෝ... මේ ශලිනිගේ හොඳම යාළුවෙක්....”
ඔව් මම දන්නවා.
“උඹ දන්නවද ශලිනි කියන්නේ කව්ද කියලා?”
“තාරුකාගේ යාළුවෙක්....”
“යකෝ... ශලිනි කියන්නේ මගේ කසීන් කෙනෙක්. ඇත්තටම කසීන් කිව්වට ටිකක් දුර නෑකමක් තියෙන්නේ... බට් අපි දෙන්නා පොඩි කාලේ ගොඩක් ක්ලෝස් යාළුවෝ.”
“එතකොට උඹ තාරුකාව දන්නවා.”
“නැත්තං යකෝ... මම කොච්චර නම් හම්බවෙලා තියෙනවද? සමාධි මට විස්තර කියද්දි මට මීටර් වුනේ නෑනේ බං.... දැන් තමා මතක් වෙන්නේ ඒ කියපු විස්තර තාරුකාට හරියටම ගැලපෙනවා කියලා. මම යකෝ හීනෙකින්වත් හිතුවේ නෑ උඹ යාළු වෙලා ඉන්නේ මේ කෙල්ල එක්ක කියලා.”
“උඹ සිරාවටමද කියන්නේ...?”
“ඔව් බං.... ඒත් තාරුකා ඉස්කෝල ටීචර් කෙනෙක් නෙවෙයි... ඒකයි මට මීටර් නොවුනේ... කෙල්ල කොහොමද ඉස්කෝලෙක උගන්වන් ගියේ?”
“ඒක ලෝන්ග් ස්ටෝරි බං..”
“එනිවේ... උඹ නම් මාර පොරක් කාවා. මේ වගේ ලස්සන කෙල්ලෙක් අතාරිනවද අම්මා කියන නිසා.”
“ලස්සන විතරක් නෙවෙයි බං, කෙල්ල සිරාවටම හොඳයි.”
“යකෝ කාවා... උඹට වඩා මම දන්නවා තාරුකා ගැන. කෙල්ල සිරාවටම නෙවෙයි බොක්කෙන්ම හොඳයි.... හැබැයි එකක්..... අම්බානක සල්ලි.”
“හම්....”
“මොනව වුනත් කාවා... කෙල්ලගේ ලස්සනට හරියන කොල්ලෙක් ඒ කාලෙ ඉඳලම හිටියේ නෑ... කොල්ලෝ කී දෙනෙක් පස්සෙන් ආවද... කෙල්ල හැරිලවත් බැලුවේ නැහැ. ඒත් උඹ දිහා එහෙනම් බලලා. ඒ කාලේ කෙල්ලෝ කෙල්ලෝ අතර තිබුණ ගොසිප් එකක් තමයි තාරුකාගේ ලස්සනට හරියන කොල්ලා ලංකාවේ නෑ කියලා. අන්තිමට ඒ කොල්ලා උඹ වුනා.”
“ඇයි අපි දෙන්නා ගැලපෙන්නේ නැද්ද?”
“නැත්තේ මොකද බං... කෙල්ල සිරාවටම උඹට ගැලපෙනවා. අනිත් එක මාර හොඳ කෙල්ලෙක්... ෂිහ් මම දැනගෙන හිටියේ නෑනේ...”
“ඇයි...?”
“නෑ අන්තිමට මමත් නොදැනුවත්වම ඒ වගේ හොඳ කෙල්ලෙකුට ගේමක් දෙන්න ගෑවිලා. ෂික් බං මේ සමාධිලානම් කොල්ලන්ට ගිනි දෙන්නම ඉපදුන උන්. දිනි තමා ලීඩර්.”
රැන්ඩි කියවනවා.
“කාවා... උඹ මේ ලව් එක සිරාවටම අතෑරලානම් තියෙන්නේ උඹ කරන්නේ පට්ට ගොන් වැඩක්. මේ වගේ හොඳ කෙල්ලෙක් උඹට ආයෙ හම්බවෙන්නේ නෑ. දිනි ලා එක්ක තියද්දි ඩයමන්ඩ් එකක්.”
“දැන් වැඩක් නෑ බං....”


0 comments:

Post a Comment