Tuesday, November 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 104



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



104.

මෙච්චර කාලයක් ගෙදරට වෙලා දීප නැන්දා හදලා දීපුවා කාලා බීලා, ගෙදර කිසි දෙයක් නොකර හිටපු මට දැන් හැම දෙයක්ම තනියම කරගන්න වෙලා.

ඉස්සර තනියම ඉන්න කොට තේ එකක්වත් හදාගෙන බොන්න කම්මැලි කමට නුවරට යනවා තේකක් බීලා එන්න. දැන් නම් ඒවා ඔක්කොම පුරුදු වෙන්න වෙනවා.

ලංකා‍වෙන් කිලෝමීටර් දාස් ගාණක් ඈතට ඇවිල්ල හිතාගෙන ආපු දේවල් කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් හැම දෙයක්ම වැරදිලා අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැරි වෙයිද?

“කාවා... අපි දහයට විතර ෂොපින් පාරක් යන්න වෙනවා. උඹට ඕන සප්ලයර්ස් ගන්න ඕනේ.”

රැන්ඩි ඔළුව දාලා කිව්වා.

“හරි... මම ලෑස්ති වෙන්නම්.”

එහෙම කිව්ව මම ආයෙත් ඇඳ උඩට වෙලා කල්පනා කලා. ගතවෙන හැම තත්පරේකම දිලිනි නැති අඩුව වැඩි වැඩියෙන් දැනුනා. ලංකාවේ ඉන්නකොට නම් කිලෝ මීටර් කීපයක් දුරින් නිසා ඒ හැඟිම දැනුනේ නැහැ.
උදේ දහයට විතර රැන්ඩියි මමයි පිටත් වුනා.

හැම දෙයක්ම වෙනස්.... බොහොම නිස්කලංක පැත්තක්. ලොකු වුනත් වැඩිය සද්ද බද්ද නැති පාරවල්. රැන්ඩි කියපු විදිහට මේ පැත්තේ ගොඩක් ඉන්නේ යුනිවර්සිටි කොලෙජ් යන ළමයි... ඒ නිසා වැඩිපුර මිනිස්සු නැති පැත්තක්.

අපි සුපර් මාකට් එකකට ගියා. ඒක ඇත්තටම ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක් වගේ ලොකු එකක්. හැම දෙයක්ම තියෙනවා.

මොනව කරන්නත් මගේ අතේ තිබුණේ සීමිත මුදල් ගණනක්. අම්මා දුන්න සල්ලි වලින් ඩොලර් දෙදාහක් විතර අතේ තිබුණා. ඊට අමතරව දිලිනි මට ඩොලර් පන්දාහක් දුන්නා. ඒ වුනාට මේ සල්ලි වලින් මාස දෙකක්වත් ජීවත් වෙන්න වෙනවා. නැත්නම් බැංකුවෙන් තව සල්ලි ගන්න ගියොත් අවුරුදු තුනක් නෙවෙයි අවුරුදු එක හමාරක්වත් ඉන්න බැරිවෙයි.

මම අවශ්‍යම කරන බඩු ගත්තා. රැන්ඩි කියපු විදිහට මුලින්ම ‍කන්න බොන්න ඕනේ කරන දේවල්... ඊට පස්සේ ගෙදරට අවශය කරන පොඩි‍ පොඩි දේවල්. ක්ලීනින් වලට ඕනේ කරන දේවල්..... අන්තිමට සීතලට ඔරොත්තු දෙන විදිහේ සපත්තු ජෝඩු දෙකක්.

අන්තිමට මම රැන්ඩි එක්ක ගිහින් මොබයිල් ෆෝන් එකක් ගත්තා. මගේ ස්ටුඩන්ට් කාඩ් එක නිසා ඒ රටේ සිම් එකක් එක්ක ෆෝන් එකක් ගත්තා. මට වැඩියෙන්ම ඹ්නේ කරලා තිබුනේ ඒක. මොකද දිලිනිට කතා කරන්න වෙන විදිහක් නෑ. දැන් එයා මට කෝල් එක ගනියි.

මම ලංකාවෙන් එනකොටම දිලිනි මට ඇඳුම් වගේ දේවල් අරන් දුන්න නිසා ඒ දේවල් ආයෙත් ගන්න අවශ්‍ය වුනේ නෑ.

ඒ වුනත් වියදම් වැඩී කියලා පලවෙනි දවසේම මට තේරුණා.

 පුළුවන් තරම් ඉක්මනට මට පාර්ට් ටයිම් රස්සාවක් හොයල දෙන්න කියලා රැන්ඩිට කියන්න ඕනේ.

ඔය අතරේ සමාධිත් අක්කා එක්ක අපි හිටපු තැනට ආවා.

“කොල්ලෝ දෙන්නා මොනවද මුලින්ම ගත්තේ, බියර් නේද?” අක්කා ඇහුවා.

“නෑ අක්කේ... අපි මේ ගත්තා...... එක එක දේවල්.”

“දැන් කාවින්ද කන්න හිතාගෙන ඉන්නේ කොහොමද?”

“ඒ කියන්නේ?”

“ළමයෝ... ඔයා උ‍දේ, දවල්, රෑ කෑම ගන්නේ කොහොමද?”

“කඩෙන් තමා.”

“හොඳට තියෙයි... මෙහේ කඩෙන් කන්න ගියොත් ඔයා විකිණෙයි. ලාබෙට කන්න තියෙන එකම තැන් තමයි මැක්ඩොනල්ඩ්ස් වගේ ෆාස්ට් ෆුඩ්... ඒවා ෆැට් ෆුඩ්. එක දිගට ඒවා කෑවොත් ඉතින් ෂුගර්, හාට් කේස් තමා.”
“එතකොට...?”

“ඔයා පුළුවන් විදිහට උයා ගන්න පුරුදු වෙන්න. අඩුම ගානේ උදේටයි රෑටයිවත් මොනවහරි හදාගන්න. දවල්ටනම් කැම්පස් යනකොට එතනින් කන්න පුළුවන්.”

“මලා.... ගෙදර ඉන්නකොට ‍තේකක්වත් හදාගත්තේ නෑ අක්කේ....”

“දැන් එහෙම බෑ.... එන්න යන්න මම කෑම ජාති ගන්න විදහ කියලා දෙන්න. ඊට පස්සේ මමයි සමාධියි මාරුවෙන් මාරුවට ඔයාට උයන විදිහ කියලා දෙන්නම්. තව යාළුවෙකුත් ඉන්නවා කෑම හදන්න දන්න... එයාවත් එක්ක එන්නම්.”

“කව්ද ඒ?”

“කෙල්ලෙක්... අපිත් එක්කම කැම්පස් යන්නේ.... මම කොලෙජ් හිටපු මාස හයේ අඳුරගත්තා. හරිම හොඳ කෙල්ලෙක්.”

“ලංකාවේද?”

“නෑ... පිලිපීනෝ...”

“කෙල්ල ලස්සනද?”

“ඒක තමයි නේද උඹට මුලින්ම අහන්න තියෙන්නේ... ගුටිකාලත් මනමාල කම නැතිවෙලා නෑ...”

“නෑ නිකං ඇහුවේ....”

“පිලිපිනෝ කෙල්ලෝ ලස්සනද කියලා සැක කරන ‍මෝඩයෙක් දැක්කමයි.”

“ඇයි අක්කේ..?”

“තමුසේ ඇත්තටම පිලිපින් කෙල්ලෙක් දැකලා නැද්ද?”

“නෑ.....”

“එහෙනම් ආවහම බලාගන්නවකෝ පිස්සා...”

“ලස්සනද කියන්නකෝ....”

“හලෝ මේ...... පිලිපින් කෙල්ලෝ තමයි ලස්සනම, උන්ට මෙහේ ලෝකල්ස්ලත් පිස්සු වැටිලා ඉන්නේ.. මෙහේ ඉගෙන ගන්න එන පිලිපින් කෙල්ලන්ගෙන් සියයට හැත්තෑවක්ම මෙහේ උන් බඳිනවා.”

“නෑ... එච්චර ලස්සනද?”

“කාවා මේ... උඹට ඔය බෝලයක් බස්සන්නේ... අහුවෙන්න එපා...” ඒ අස්සේ රැන්ඩි කිව්වා.

අපි එදා හවස් වෙනකම්ම ඇවිද්දා. රැන්ඩි මාව එක්ක ගිහිල්ලා, හැම දෙයක්ම පෙන්නුවා. බස් වල කෝච්චි වල යන්න අවශ්‍ය කරන ගෙවීම කරන කාඩ් මගේ නමට අරන් දුන්නා. කැම්පස් යන්න පටන් ගන්න කොට පොත් එහෙම ගන්න ඕනේ වෙන නිසා ඒ තැනුත් පෙන්නුවා.

හවස් වෙලා අපි හැමෝම දිනක්ෂි අක්කගේ ගෙදර ගියා. ඩිලන් අයියා අපිට පාටි එකක් ලෑස්ති කරලා.

ඒ හැම දෙයක්ම ලෑස්ති වෙන අතරේ මම පැත්තකට වෙලා මගේ නම්බර් එක දිලිනිට යැව්වා.

විනාඩි පහක් ඇතුලත එයා මට කෝල් කළා.

“කාවින්ද..... ඔයා ෆෝන් එකක් ගත්තද?”

“ඔව්....”

“නියමයි.... දැන් මට ඕනෙ වෙලාවක ඔයාට කතා කරන්න පුළුවන්. ඔයා මට කතා කරන්න එපා කාවින්ද... ලොකු බිලක් එයි... මට කතා කරන්න ඕනේ වෙන වෙලාවට මට කෝල් කරලා කට් කරන්න... මම ගන්නම්.”

“එතකොට ඔයාගේ බිල...”

“ඒක මම බලාගන්නම්. ඒක නෙවෙයි කාවින්ද.... මට ඉන්න බෑ..... පාළුයි අප්පා.”

“කොච්චර පාලුද?”

“මම ඔයා එක්ක තරහ වෙලා ඉන්න කාලෙවත් මෙච්චර පාළුවක් දැනිලා නෑ... තරහ වුනත් කිලෝමීටර් කීපයක් දුරින් ඉන්නවා කියලා දන්නවනේ මාව ආරක්ෂා කරන්න... දැන් කව්රුහරි මාව උස්සගෙන ගියත් ඔයාට බෑ බලන්න.”

“කව්රුත් ඔයාව උස්සන් යන්නෑ...”

“ඇයි ඒ...”

“හැමෝටම කළින් මම ඔයාව උස්සලානේ තියෙන්නේ....”

“ඒ කියන්නේ?”

“ඇයි ඉතින් මම ඔයාව අත් දෙකට අරන් උස්සලා බර බලලා තියෙනවනේ..... ග්‍රොස් වේට් එකයි, නෙට් වේට් එකයි දෙකම බලලා තියෙනවා.”

“ඒ මොකක්ද.... මොකක්ද අනේ මගේ ග්‍රොස් වේට් එකයි, නෙට් වේට් එකයි කියන්නේ....?”

“ඇයි සුදූ, පැකින් එක්ක බරයි, පැකින් නැතුව බරයි... මම කිව්වේ..... ඇඳුම් එකක් බරයි අනිත් විදිහටයි දෙකටම මම බලලා තියෙනවනේ....”

“ඊයා... එන්න එපා කැත කතා කියන්න මට.... ඔයා මහ වල් වෙලා අප්පා..... කිව්වොත් කියන්නේ ඔය වගේ කතාවක්.. ලැජ්ජාවේ පණ යනවා වෙන කෙනෙකුට ඇහුනනම්.....”

මම හිනා වුනා....

“හිනා වෙන්න එපා මෝඩයා වගේ.... ඔයා හරි නරකයි කාවින්ද.... මට ලැජ්ජයි අනේ....”

“ඇයි කැමති නැද්ද එහෙම කරනවට... අනික ඔයා එපා කිව්වේ නෑනේ..... ඒ කියන්නේ කැමතියි.”

“කෙහෙල්මල්... ඔයානේ මාව අවුස්සන්නේ...”

“ඒක නේ...... අදත් හිටියනම් අවුස්සන්න තිබ්බා.... එතකොට, අනේ කාවින්ද, මට ඔයා එක්ක තනි වෙන්න ඕනේ... අරක කරන්න ඕනේ ... මේක ඕනේ කියනවා බලන්න තිබ්බා.”

“යනව යන්න, වල් කතා නොකියා....”

“ඇයි බොරුද?”

“ඇත්ත.. ඒත් මං බෑ කියද්දි නේ ඒ වැරදි වැඩේ කළේ...”

“අන්න බොරු කියනවා... කව්ද දන්නෑ මට ඉන්න බෑ මාව ලං කරගන්න කියලා කිව්වේ.”

“අනේ.... ඒවා මතක් කරන්න එපා.. මට ඉන්න බෑ..”

“අන්න දැක්කද... දැනුත් කියවුනා.”

“අනේ ඇත්තටමයි කාවින්ද... මට ඉන්න බෑ ඔයා නැතුව. අපරාදේ මට ඔයාව සිංගප්පූරුවේ වගේ ළඟ තැනකට යවන්න තිබුණේ... එතකොට මට ඔයාව බලන්න වුනත් එන්න පුළුවන්... දැන් මොනව කරන්නද...”

“ඉතින් ඔයත් එන්නකෝ... අප දෙන්නා මැරි කරමු...”

“බෑ අනේ.... දැන්ම ඒක කරන්න අමාරුනේ කාවින්ද... ඒක නෙවෙයි ඔයා ඉන්නේ කාමරේද?”

“නෑ... අද සමාධිගේ අක්කා අපිට ඩිනර් ලෑස්ති කරලා... ඩිනර් විත් බාබකියු.”

“ඔයා බොනවද?”

“නෑ.... මම කිව්වේ ටිකක්...”

“ගොඩක් බොන්න එපා කාවින්ද....?”

“ඔයා කැමති නැද්ද මම පොඩ්ඩක්වත් බොනවට.”

“නෑ... එහෙම දෙයක් නෑ... ‍ඔයා කොල්ලෙක්නේ.. ඉතින් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට මම වදවෙන්නෑ.... ඒ වුනාට බේබද්දෙක් වගේ බොන්න නම් එපා.”

“නෑ සුදූ... මම එහෙම නෑනේ... ඔයා දන්නවනේ...”

“එහෙනම් දැන් යන්න... කට්ටිය බලයි ඔයා මොකද කියලා.”

“ඒක නෙවෙයි සුදූ... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා.”

“මොකක්ද?”

“ඔයා රැන්ඩිව දන්නවද?”

“සමාධිගේ බෝයි ෆ්‍රෙන්ඩ්ද?”

“ඔව්....”

“දන්නවා.“

“ඔයා මට කියලා නෑනේ...”

“අවශ්‍යතාවක් වුනේ නෑනේ කාවින්ද... එයා ශලිනිගේ රිලේෂන් කෙනෙක්.... පොඩි කාලේ ඉඳලා අපි ටිකක් අඳුරනවා. ඒත රැන්ඩි ඒ ලෙවල් වලින් පස්සේ ඇමරිකා ගිය නිසා අපි හම්බවෙලාවත් කතා කරලවත් නෑ අවුරුදු ගාණකින්.”

“ඔයා මට ඔය කතා කියලා නෑනේ... අනික රැන්ඩි දන්නෙත් නෑ මේ ඔයාමද කියලා. සමාධි දන්නේ ඔයාගේ දිලිනි කියන නමනේ.”

“ආ ඔව්... ශලනි, රැන්ඩි හැමෝම මට කතා කරන්නේ තාරුකා කියලා.”

“ඒක තමා.... අද මම ඌට ඔයාගේ ෆොටෝ එක පෙන්නුවාම මෑන් හොල්මන් වුනා.”

“මොකද කිව්වේ..?”

“ඔයාව අතෑරපු එක මගේ මෝඩ කමක් කිව්වා. සමාධි කොච්චර දැඟලුවත් දිනිට මාව සෙට් කරන්න, ඔයා වගේ හොඳ කෙනෙක් නම් වෙන්න දිනිට බෑ කිව්වා.”

“තව...”

“අපි දෙන්නට උදව් කරන්නම් කිව්වා.”

“සමහර විට එයා එහෙම කරයි කාවින්ද... රැන්ඩි ගොඩක් හොඳ කෙනෙක්.... ඒත් ඔයා සම්පූර්ණ ඇත්ත කියන්න එපා. අපි කතා වුන විදිහට ඔයාගේ අම්මට මම දුන්න පොරොන්දුව නිසා මම ඔයාව ඩම්ප් කළා කියන්න.”

“මම එහෙම තමා කිව්වේ... ඒ වුනාට ඇයි සුදූ ඔයා රැන්ඩි ගැන මට කිව්වේ නැත්තේ.”

“ඇත්තටම මට හිතුනා ඒක ඔයා දැනගත්තා කියලා වැඩක් වෙන්නෑ කියලා. අනික රැන්ඩි මගේ ‍යාළුවෙක් නෙවෙයි. අපි අඳුරගෙන හිටියා... එච්චරයි.”

“කමක් නෑ.... බලමු..”

“ඔයා දැන් යන්න බබා... මම හෙටත් කතා කරන්නම්.”

2 comments:

  1. අම්මෝ ඇති යන්තම් දාලා. දිනිත් දැන් එහෙද ඉන්නෙ. ඇයි එයා කාවින්ද බලන්න ආවෙ නැත්තෙ?

    ReplyDelete