Monday, February 26, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 116




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි







116


සෑහෙන කාලයක් යනකම් යටපත් වෙලා තිබුණ හැඟීම් ආයෙත් මතුවුනා. යාළුවෝ දෙන්නා නිසා ඒ ලස්සන කාලේ ආයෙත් මතක් වෙනවා... ඒත් එක්කම අමතක කරන්න බැරි විදිහට දිලිනි ඉන්නවා. දිලිනි මගේ තරූ... මම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුට ආදරේ කරපු කෙල්ල... දැන් ආගිය අතක් නැහැ.

අමිලටයි, සචියටයි නිදාගන්න දීලා මම එළියට ආවා. ළඟම තිබුණ පොඩි රෙස්ටෝරන්ට් එකට වෙලා කෝපි එකක් බිබී සිගරට් එකක් ගහන ගමන් මම කල්පනා කළේ ජීවිතේ ඉස්සරහට කරන්නේ මොනවද කියලා.

තව දුරටත් දිලිනි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවද? දැන් අවුරුදු තුනකට කිට්ටු වුනා.. කිසිම තොරතුරක් නෑ... මෙච්චර කාලයක් ආපු නැති කෙල්ල ගැන බලාපොරොත්තු තව දුරටත් තියාගන්න එක වැඩක් වෙයිද?

ඒ කොහොම වුනත් මොන කරුමෙකටද මම දන්නේ නෑ මට වෙන කෙල්ලෙකුට ආදරේ කරන්න හැඟිමක් එන්නෙම නෑ... මොන්ටානා වල හිටපු ෆැනී කියන පිලිපීන් කෙල්ල මට ලං වෙන්න සෑහෙන්න උත්සහ කළා. ඒ කෙල්ල පුදුම ලස්සනයි, ඒත් මට කිසිම වෙලාවක එයාට ආදරේ කරන්නවත්, ලංවෙන්නවත් හිතුනේ නෑ... ඊට අමතරව කැම්පස් එකේ හිටපු නිල් ඇස් තියෙන බෝනික්කියක් වගේ නතාලියා, රුසියානු කෙල්ල... සතියකට දවස් දෙකක්වත් රෑ ගත කළේ මගේ නවාතැනේ... ඒත් මට දිලිනි ගැන වගේ හැඟිමක් දැනුනේ නෑ.

සචියා කියනවා වගේ මම ගව් ගානක් දුරින් තියෙන නොලැබෙන දේකට හීන මවනවාද? දිලිනි කියන්නේ මට ලංවෙන්න බැරි තරම් දුරින් තියෙන තරුවක්ද?

තාරුකා, පොළවේ ජීවත් වෙන අපිට ලං වෙන්න බැරි තරම් ආලෝක වර්ෂ ගාණක් දුරින් තියෙන තරුවක්ම වෙලා වගේ.

පැය තුනකට විතර පස්සේ මම ආපහු නවාතැනට එන්න පිටත් වුනා.

ඇමරිකාවේ හිටපු අවුරුදු ගාණටම නොදැනුණ තනිකමක් හදිසියේම මට දැනුනා.

මගේ වෙනස දැකලා වගේ ඇහැරිලා හිටපු අමිල කතා කළා.

“මොකද කාවා.. උඹට වුනේ... උදේ තිබුණ මූණ නෙවෙයි දැන්.“

“මං දන්නෑ බං.. උඹලා දෙන්නා දැක්කහම මට මතක් වුනේ දිලිනිව. මහා භයානක විදිහට මගේ හිත දිලිනිට ආදරේ කරනවා බං. මෙච්චර අවුරුදු ගාණක් ගතවෙලත් තාම මට එයාව අමතක කරගන්න බැරිවුනා. එයා ආපහු නාවොත් මට මොනව වෙයිද බං.“

මම ඒක කියපු විදිහටද කොහේදෝ අමිල මගේ අත තද කරලා අල්ලා ගත්තා.

“උඹ බය වෙන්න එපා කාවා.... අපි ඕකට විසඳුමක් හොයමු... එදා වගේම අදත් අපි උඹ ළඟ ඉන්නවා...“

“මම ඒක දන්නවා බං.. ඒත් මට ජීවිතේ ලොකු හිස් බවක් දැනෙනවා.“

“උඹ හැමදේම අමතක කරලා හොඳ කෙල්ලෙක්ව බැඳපං බං... එතකොට ඕක හරියයි. පුළුවන් නම් ලංකාවේ කෙල්ලෙක් නෙවෙයි පිටරට කෙල්ලෙක්ව බැඳපං... එතකොට උඹය වැඩිය ලංකාවට යන්න ඕනෙත් නෑ.. පරණ දේවල් මතක් වෙන එකකුත් නෑ.“

එතකොටම සචියත් ආවා.

“අමිලයා කියන එක හරි බං... උඹ අර රෂියන් කෙල්ලව බැඳපං... ඒකි සිරාවටම උඹට ලව් කියලා උඹමනේ කියලා එව්වේ... තාම ඉන්නවා නේද ඒ කෙල්ල.“

“ඉන්නවා ... ඉන්නවා... ඒත් බං ඒකිව බැඳලා කොහොමද ගෙදර යන්නේ.. අම්මා මැරෙයි... දිලිනි තව එකක්.“

“උඹ ගෙදර නොයා මෙහේ හිටපං... පිටරට කෙල්ලෙක්නේ... බැඳලා හොඳනම් ලංකාවට එක්ක පලයං... නැත්තං අතෑරලා දාපං... උන්ට ඕවා එච්චර ගාණක් නෑ..“

අමිල කිව්වා.

“යකෝ... කසාද බඳිනවා කියන්නේ එහෙම එක්පෙරිමන්ට් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.... ඒකි සිරාවටම මට ලව්... එහෙම එකේ බැන්දට පස්සේ හරියන්නේ නෑ කියලා හිතලා ලේසියෙන් අතාරින්න ඒකි දෙයිද? මට වෙන්නේ අනාථ වෙන්න.“

“කතාවෙන් කතාවෙන් රෑ වුනා. වරෙන් අපි ලෑස්ති වෙමු. ඒක නෙවෙයි කාවා උඹ ගේ සෙට් එක අද අපිට හම්බ වෙනවා නේද?“

“හම්... නතාලියා, ටීනා, ෆැනී, ඔන්න කෙල්ලෝ තුන්දෙන්.. පුළුවන් දෙයක් කරගනින්....“
මම කිව්වා.

අපි හතට විතර පිටත් වුනා.

මම මුලින්ම ගියේ අපේ කැම්පස් එකේ යාළුවෝ සෙට් වෙන කොෆී ෂොප් එකට.. මුන් දෙන්නට බඩගිනි ඇති. අනිත් එක නතාලියා හැමදාම මේ වෙලාවට මෙතන ඉන්නවා මම එනකම්.

අපි යනකොට නතාලියා හිටියා, ටීනාත් එක්ක.

“හලෝ කාවින්ද... දීස් මස්ට් බී යුවර් ෆ්‍රෙන්ඩ්ස්...“

මම දෙන්නට දෙන්නා අඳුන්නලා දුන්නා. ඒත් එක්කම අමිලා මට රහසින් කතා කළා.
ඒත් ඌ කියන කිසි දෙයක් මට ඇහුනේ නෑ.

“යකෝ.. රහස් කියන්න දෙයක් නෑ.. මුන්ට සිංහල තේරෙන්නේ නෑ.. බය නැතුව කියපං.‘ මම කිව්වා.

“ෂුවර් නෑනේ කාවා.. උඹ උන්ටත් සිංහල උගන්නලාද කියලා.... මොකද උඹට කෙල්ලෙක් අහුවුනොත් ඉතින් ලේසියෙන් ගැලවෙන්නේ නෑනේ.“

“කියපංකෝ මොකක්ද කිව්වේ කියලා.“

ඒ පාර අමිල සද්දෙන්ම කතාව පටන් ගත්තා.

“මචං... ලංකාවේ ඉන්නේ මොක්කුද බං මුන් එක්ක බලනකොට.... අර කෙල්ල නේද උඹ කිව්වේ... යකෝ මේකි එක්ක බලනකොට දිලිනි කියන්නේ කව්ද බං.. මොන තරුවක්ද... මෙලෝ රහක් නෑනේ.. බලපංකෝ මේ  කෙල්ල.. මට සිරාවටම හිතෙනවා කැමතිනම් අදම බැඳ ගන්න... සිරාවටම බෝනික්කෙක් වගේ... මට අල්ලලා බලන්න අත දුන්න නිසා මිසක් නැත්නම් මට විශ්වාස කරන්න බෑ බං... යකෝ... අර මගුල පැත්තක දාලා මේ වගේ කෙල්ලෙක් බැඳ ගනින්කෝ...“

එදා රෑ අපි ලොකු දෙයක් නොකර ආපහු ගෙවල් වලට ආවා.

ඒත් ඊළඟ දවස් කීපයම ගතවුනේ එක එක තැන්වල ඇවිදින්න. අපි තුන්දෙනා එක්ක ටීනා, නතාලියා, ෆැනී තුන්දෙනත් එකතු වුනා. අපි එල් ඒ ගියා, නෑෂ්විල් ගියා. තව ඇවිදින්න පුළුවන් හැම තැනකම ගියා.

ඒ හැම ගමනකදිම නතාලියා හිටියේ මගේ ළඟටම වෙලා. සචියයි, අමිලයි පුළුවන් තරම් ඒ කෙල්ලව ඇවිස්සුවා, මම ඒ කෙල්ලට කැමතියි කියලා.

හරියටහ සති දෙකක් ඉඳලා යාළුවෝ දෙන්නා ලංකාවට පිටත් වුනා.

කැම්පස් පටන් ගන්න තව කල් තියෙන නිසා මමත් හිතුවා ආයෙත් ලංකාවට ගිහින් ටික දවසක් එහේ ගත කරලා එන්න. අමිල දිගින් දිගටම කිව්වේ එනවනම් නතාලියාවත් එක්කගෙන එන්න කියලා.

අන්තිමට උන් ගිහිල්ලා සතියකට පස්සේ මමත් ලංකාවට යන්න පිටත් වුනා. තනියම නෙවෙයි... නතාලියාත් එක්ක. මම මේ ගත්ත තීරණය අනාගතේට කොහොම බලපායිද කියලා මම ලොකුවට හිතුවේ නෑ.

මේ වෙනකොට දිලිනි කියන්නේ තව දුරටත් ජීවිතේ බලාපොරොත්තු තියාගන්න හැකියාවක් නැති කෙනෙක් කියලා මම හිතන්න පටන් අරන් තිබුණා. ඇත්තටම වුනේ සචියයි, අමිලයි මගේ ඔළුවට ඒ හැඟිම කවලා තමා ඇමරිකාවෙන් ගියේ. ඒ නිසා මගේ ගොඩක් බලාපොරොත්තු ටිකෙන් ටික අඩුවෙලා යන්න පටන් ගත්තා. මගේ ජීවිතේ ඒ හිස්වුන තැන පුරවන්න දිනි උත්සහ කළත් බැරිවුනා. ඒත් අන්තිමට ඒ අඩුව පුරවන්න මට ළංවුනේ නතාලියා. කවදාවත් නොහිතපු කෙනෙක්.

ඇත්තටම නතාලියා මුල ඉඳලම මට කැමැත්තෙන් හිටියා. අපි දෙන්නා එකට ඉගෙන ගත්ත මුළු කාලෙම එයා හිටියේ මගේ ළඟමයි. ඇත්තටම නතාලියා යාළුවෙක් විදිහටත් හරිම හොඳ කෙනෙක් වුනා. ඒත් මොන කරුමයක්ද දන්නේ නෑ මට ලංවෙන හැම කෙල්ලම අන්තිමට මට ආදරේ කරන්න පටන් ගන්නවා.

කාලය  ගත වෙලා ගියේ මටත් නොදැනීම.

1 comment:

  1. Tak gala danna broo meka search karanawa dawakat sarayak wath....

    ReplyDelete