Wednesday, February 14, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 113




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි






113.

මම දවස් දෙකකදි ගෙදර ගියා.
තුන්වෙනි දවසේ මම කොහොම හරි ඇවිදින්න පටන් ගත්තා. තුවාලේ ටිකක් රිදුනත් අවුලක් නැතුව ඇවිදින්න මට පුළුවන් වුනා.
අම්මා දීප නැන්දත් එක්ක මට අවශ්‍ය කරන දේවල් කරලා දුන්නා. ඒත් කන්නේ බොන්නේ මොනවද අහනවා වගේ සාමාන්‍ය දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් අම්මා මාත් එක්ක කතා කළේ නැහැ.
බැරිම තැන මම අම්මට කතා කළා.
අම්මා.... මට සමාවෙන්න..“
ඇයි...? මොකටද?“
මම අම්මට බොරු කළා!“
ඔයා කලින් අච්චර දෙයක් වෙලත් ඔය සම්බන්දේ නැවැත්තුවේ නැති එකේ... මට කියන්න මොනවත් ඉතුරු වෙලා නෑ... ඒ කෙල්ලවත් මට වුන පොරොන්දුව තියයි කියලා මම හිතුවා.“
එයා එහෙම කළා අම්මා.... මමයි එයාට බල කළේ ඒක කරන්න එපා කියලා. එයාට ඕනේ වුනේ නෑ අම්මගේ හිත රිද්දන්න... ඒ නිසා එයා මගෙන් ඈත් වුනා... මමයි ආයෙත් ඒක පටන් ගත්තේ.“
ඔයාට තේරුණේ නැද්ද ඕක නොගැලපෙන සම්බන්ධයක් කියලා. ඇයි මේ රටේ වෙන කෙල්ලෝ නැද්ද?“ අම්මා ඇහුවා.
මේක තවදුරටත් අම්මා එක්ක වාද කරලා වැඩක් නැති නිසා මම කට වහගත්තා.
අපි තව දුරටත් ඔයාට මේ ගැන කියන්නේ නැහැ... ඔයා දැන් වැඩිහිටියෙක්... කල්පනා කරලා මොකක්ද ඔයාට හොඳ කියලා හිතලා තීරණයක් ගන්න. හැබැයි මොන දේ කළත් පරෙස්සමෙන්... ඔයා හැප්පෙන්නේ සල්ලි වලින් ඔළුව උදුම්මගත්ත මෝඩයෝ එක්ක. උන්ට සල්ලි නිසා මිනිහෙක් මරනවා කියන්නෙත් පොඩි දෙයක්...“
අම්මා මම කවදාවත් නොහිතපු විදිහේ කතාවක් කිව්වේ...
මම මෙහේ ඉන්නේ නෑ අම්මා... ලබන සතියේ මම ආපහු යනවා.“
ඒක හොඳයි... ටික කාලයක් යනකං මෙහේ එන්න එපා.“
වටෙන් වටෙන් ආවත් මට තාමත් අවශ්‍ය දේ කියාගන්න බැරිවුනා. ඒ නිසා මම සම්පූර්ණ ධෛර්යය දාලා ආයෙත් අම්මට කතා කළා.
අම්මා...“
ඇයි....?“
මට අම්මට දෙයක් කියන්න තියෙනවා....“
මොකක්ද?“
අම්ම කවදාවත් දිලිනිට කැමති වෙන්නේ නැද්ද?“
ඇයි එහෙම අහන්නේ...?“
අම්මා... මම කියන දේ අහන්න.... අපි දෙන්නා ආදරේ කරනවා... ඇත්තටම අපිට වෙන් වෙන්න බෑ..... ප්ලීස් අම්මා..... එයා මගෙන් මොනවත් ප්‍රයෝජනයක් ගන්නවා නෙවෙයි... එයා ඇත්තටම මට ආදරෙයි...“
අම්මා කතා කළේ නැහැ.
අම්මා... කියන්නකෝ.... ඔයාලා ඔය හිතන විදිහේ වැරදි දේවල් කිසි දෙයක් එයාගේ නැහැ. එකම දේ එයාට සල්ලි තියෙනවා.... ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි. මගේ කකුලට බෙහෙත් කරන්න මාව සිංගප්පූරුවේ යැව්වේ එයාගේ සල්ලි වලින්... දෙවෙනි පාරත් එහෙමයි..... එයා මට ඇත්තටම ආදරේ නැත්නම් ඒ වෙලාවේ මාව අතෑරලා දාලා ඉන්න තිබුණා.“
ඔය දෙන්නා සිංගප්පූරුවේදි හම්බ වුනාද?“
ඔව්..“
අම්මට බොරු කියන්න මට හිත දුන්නේ නැහැ. ඒ නිසා මම ඇත්තම කිව්වා.
දෙන්නා එකටද හිටියේ... ඔයාගෙන් ඒ ළමයට වරදක් වුනාද?“
මට සමාවෙන්න අම්මා.... මම වැරැද්දක් කළේ...“
මට තේරෙන්නේ නැහැ... ඔය දෙන්නම වැරදියි... දෙන්නා දුර ගිහින් වැඩියි.... ඔය දේවල් කරන්න කළින් හිතන්න කොච්චර දේවල් තියෙනවද ලොකු පුතා.“
අම්මා.... මම කියන දේ අහන්න... ඔයා කියන ඕනෙ දේකට කැමති වෙන්නම්.... ඒත් අපි දෙන්නට වෙන් වෙන්න කියන්න එපා.“
මම කලිනුත් කිව්වනේ ලොකු පුතා. ඔයා දැන් වැඩිහිටියෙක්.... ඔයා හිතලා තීරණයක් ගන්න... මගෙන් බාධාවක් නැහැ... ඒත් ඔය සම්බන්ධයට නම් මගෙන් ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ.“
අම්මා අවසන් තීරණය දුන්නා.
බලාගෙන ගියාම කෙලින්ම එපා නොකියා, මම හිතලා තීරණයක් ගන්න කියලා අම්මා මාව නියම අමාරුවක දැම්මේ...
එදා ඒ කතාව ඒ විදිහට ඉවර වුනා.
මම ලංකාවේ ඉන්න තිබුණ දවසුත් ගෙවිලා ගියා. අපි මොන තරම් උත්සහ කළත් දිලිනි ගැන කිසිම හෝඩුවාවක් දැනගන්න බැරි වුනා.
කාවා කෙල්ල හොල්මනක් වගේ අතුරුදහන් වෙලා. අපි ගිහානයා පස්සේ පැන්නුවා, දිලිනිගේ තාත්තා, අම්මා නැන්දා, හැමෝම පස්සෙන් ගියා... වෙන එකක් තියා යකෝ පැණියා ගෙදර වැඩ කාරයා පස්සෙනුත් ගියා... ඒත් වැඩක් නෑ බං... කෙල්ල වාෂ්ප වෙලා වගේ...“
එහෙම වෙන්න බෑනේ බං...“
ඒ වුනාට වෙලානේ යකෝ....“
මම යන්නත් ඕනේ.. තව සතියකින් කැම්පස් පටන් ගන්නවා... ඊට කළීන් මේ කෙල්ල ඉන්න තැනක් දැනගන්න බැරි වුනොත් මට යන්න වෙන්නේ නෑ...“
අම්මා තාත්තා දෙන්නත් අවුලක් නැතුව ඉන්නවා කියන්නේ කෙල්ලත් කොහේ හරි අවුලක් නැතුව ඇති බං.“
දන්නෑනේ බං ඒක හරියටම..... මට පිස්සු වගේ....“
අපර් ලේක් එකේ ගල් බැම්ම උඩ ඉඳගෙන අමිල පාර දිහාම බලාගෙන හිටියා.
“එක වෙලාවකට මට හිතෙනවා කාවා උඹ මේ කරන්නේ හරියන දෙයක් නෙවෙයි කියලා.“ ඌ කිව්වා
“ඒ පාර උඹත් පටන් ගත්තද අපේ අම්මා වගේ....“
“නෑ කාවා.... බලපං.... එක සැරයක් කෙල්ල තනි කැමැත්තට අතුරුදහන් වුනා... උඹට පුළුවන් වුනාද අඩු ගාණේ මොකද වුනේ කියලවත් හොයා ගන්න... කෙල්ලම ආපහු ආව නිසා හොඳයි.... දැන් දෙවෙනි පාරටත් කෙල්ල නෑ.... අපි දන්නෑ මොනවා වුනාද කියලා... අඩුගාණේ අපිට හිතාගන්නවත් බෑ..“
“හරි... උඹ මොනවද කියන්න හදන්නේ...?“
“මම කියන්නේ බං කෙල්ල ගැන විස්තර මොනවත් උඹ දන්නෑ... කෙල්ල ඒවා කියන්නෙත් නෑ... කෙල්ල උඹට කෝල නොකළොත් කෙල්ල කොහේ ඉන්නවද මොනව කරනවද කියලා උඹට කිසිම අදහසක් නෑ.......“
“තාමත් මට උඹ කියන දේ පැහැදිලි නෑ...“
“මම කියන්නේ කාවා... කෙල්ල ගැන උඹට සැකයක් හිතෙන්නේ නැද්ද....? කෙල්ල ගෙදර නැත්නම් කොහේ ඉන්නවද කියලා උඹ දන්නෑ... කෙල්ලගේ නෑ‍දෑයෙක්, යාළුවෙක් කිසි කෙනෙක් කෙල්ල උඹට අඳුන්වලා දෙන්නෙත් නෑ.... අඩු ගානේ උඹට කිසිම කෙනෙක්ගේ නමක්වත් කියලා තියෙනවද?“
“ඉතින්....“
“යකෝ... කෙල්ල උඹට සිරවට ලව් නම්... හංගන්න දෙයක් නැත්නම් ඇයි මේ විදිහට විස්තර හංගන්නේ.... මම නම් කියන්නේ කෙල්ල ජෙනුයින් නෑ..... .තරහ වෙන්න එපා කාවා.... මට නම් සැකයි....“
“හරි උඹ කියන නිසා අපි එහෙම හිතමුකෝ... ඒත් කෙල්ල මට බොරු කියලා මොනව ගන්නද.....? මොකක්ද බොරු කියලා, මාව ලං කරලා තියාගන්න තරම් මගේ තියෙන විශේෂත්වය.... මට සල්ලි නෑ... සුපර් පවර් එකක් නෑ.... මහලොකු වලව් කුල නෑ.... පොලිටිකල් පවර් එකක් නෑ... ඉතින් ඇයි බං ඒකි මාව රවට්ටලා තියාගෙන ඉන්නේ...“
“ඒකටනම් කාවා කියන්න තියෙන්නේ දන්නෑ කියලා... ඒ වුනාට පරෙස්සමෙන් වැඩ කරපං.... කෙල්ලෝ හිතන විදිහ හරි අමුතුයි බං... උන් හෙන කම්ප්ලිකේටඩ්.... සංකීර්ණයි....“
“මට තේරෙනවා... මෙච්චර ළඟින් ඉඳලා මට දිනිව තේරුම් ගන්න බැරිවුනා... සමහර වෙලාවට දිලිනි හිතන විදිහත් තේරුම් ගන්න අමාරුයි... ඒත් ඒ මොනව වුනත්, මාව රවට්ටලා තියාගන්න තරම් හේතුවක් මට හොයාගන්න බෑ... ඒ නිසා මම හිතන්නේ කෙල්ල ජෙනුයින්..“
හවස කරුවල වැටෙනකම් අපි අපර් ලේක් ගල් බැම්ම උඩ කතා කර කර හිටියා.
“කාවා... දැන් යමං ගෙදර... මේ දවස් වල උඹට කරුවල වැටෙනකොට අපලයි... අහක යන ඒවත් උඹට සෙට් වෙනවා... අනිත් එක මේ විදිහට ඉන්න එක සේෆ් නෑ.“
“යකෝ මේක මාර සීන් එකක් වුනානේ.. ඉපදුන දවසේ ඉඳලා හිටපු නුවර ඉන්න දැන් මට බෑ.....“
“හ්ම්..... අපි බලමුකෝ කාවා.. හැමදාම උන්ට රජ වෙන්න බෑනේ.. දවසක් එයි එක්කෝ උන් නැත්නම් අපි. මම නම් දැන් මැරුණත් මේ ගේම් එක අතාරින්නේ නෑ.“
සචියා කිව්වා.
“මට නම් කාත් එක්කවත් ගේමක් නෑ බං. මට ඕනේ කෙල්ලත් එක්ක පාඩුවේ ඉන්න. මට ගිහාන් හිටියත් එකයි නැතත් එකයි. අපිට කරදරයක් නොකර ඉන්නවනම් මට ප්‍රශ්ණයක් නෑ.“
“මොකද කාවා උඹ.... නිකං දියාරු වෙලා... උඹ ඌට බයද?“
“බය නෑ බං... ඒ වුනාට මේවා අපි ඉස්කෝලේ යන කාලේ වලි වගේ නෙවෙයි බං... මේවා සිරා කේස්... ඒ කාලෙ නම් අපි වලිය දාගත්තා, ගැහුවා මාරු වුනා. උන් අපිට ගැහුවොත් දිව්වා... වැඩිම වුනොත් පස්සේ දවසක රැකලා ඉඳලා ගහයි. හැබැයි ටික දවසකින් ඒවා ඉවරයි... ඒත් මේවා එහෙම නෑ බං... මේවා ඇදි ඇදි ගියොත් නවතින්නේ දෙතුන් දෙනෙකුට සුදු කොඩි දාලා. ගිහානයා ඉස්සර වුනොත් අපිට සුදු කොඩි... නැත්තං ඌට... දන්නවනේ.... සීන් එකට ඩැනී අංකල් එන්ටර් වුනොත් එන්ටර් ද ඩ්‍රැගන් තමා...“
“උඹ කියන දේ මට තේරෙනවා කාවා... ඒත් අපිට බයේ ඉන්න බෑ... අපි මේකට මොනව හරි කරන්න ඕනේ...“ අමිල කිව්වා.
මොනව කරන්නත් කලින් මම කෙල්ලව හොයාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ආපහු යන එක ගැන හිතන්න වෙන්නේ. ඒත් හරියට දිනේට කැම්පස් යන්න බැරි වුනොත් මෙඩිකල් දෙන්නයි, හේතු කියන්නයි, ලොකු වැඩක්.
මේක අපේ ගෙදර අයගේ වැඩක් වත්ද? ඩැනී අංකල් කියන්නේ තාත්තා කිව්වොත් ඒ වගේ වැඩක් වුනත් කරන්න බැරි කෙනෙක් නෙවෙයි... ඒත් එහෙම නම් මට වදින්න වෙඩි තියයිද? නෑ වෙන්න බෑ.
ඔය වගේ උත්තර නැති ප්‍රශ්ණ සිය ගාණක් මගේ හිතේ තිබුණා.



2 comments: