Thursday, August 10, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 70



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



70.

මට තේරෙන්නේ නෑ දිලිනි ඔයා කරන වැඩ.”

දැන්ම කිසි දෙයක් තේරුම් ගන්න උත්සහ කරන්න එපා කාවින්ද. මම කියන විදිහට කරන්න. ඔයාට කිසිම කරදරයක් නොවෙන්න මම බලාගන්නම්. ඊයේ ඔයාට මේක වෙයි කියලත් මම දැනගෙන හිටියා.... ඒත් ඒත්........ මම ඇත්තටම හිතුවේ නෑහැ ගිහාන් මෙච්චර ඉක්මන් වෙයි කියලා. මට සමාවෙන්න කාවින්ද මට ඔයාව බේරගන්න බැරි වුනා.”

දැන් ඔයා මොනවද කරන්න හදන්නේ? ඔයා එදා මාව බැණලා එලවගත්තේ බොරුවට නම් මොකක්ද ඔයාගේ හිතේ තියෙන්නේ. එදා තලවකැලේ ඉඳලා ආවට පස්සේ මොකක්ද ඔයාට වුනේ. කොහෙද ඔයා හිටියේ?”

ඒ හැම දෙයක්ම මම පස්සේ කියන්නම් කාවින්ද. දැන් ඔයා සනීප වෙන්න බලන්න.”

හම්... මාස දෙක තුනක් යයි ඒකට නම්.”

මම ඔයාව බලාගන්නම් කාවින්ද...”

පිස්සුද...?”

කාවින්ද මම කියන දේ අහන්න. එදා තලවකැළේ ඉඳලා ආපු දවසේ ඉඳලා මාස ගාණක් මම මටම බොරු කරගත්තා. ඔයා නැතුව මට ඉන්න පුළුවන් කියලා මම හිත හදාගන්න බැලුවා. ඒත් මම හැම තත්පරේකම හිටියේ හිත ඇතුලෙන් පිච්චි පිච්චි. මේ මාස දෙකේදි මම දැනගත්තා මට ඔයා නැතුව තව එක මොහොතක්වත් ඉන්න බෑ කියලා.”

මම කතා නැතුව හිටියා.

දිලිනි තවත් මට ලං වුනා.

කාවින්ද... එදා මම ඔයාට බැන්න දවසේ ඔයා කිව්ව නේද මට කියන්න දෙයක් තියෙනවා කියලා.”

ම්..... මට මතක නෑ...”

අනේ ..... බොරු කියන්න එපා...”

හරි හරි මතකයි... ඉතින්...”

ඒක මට දැන් කියන්න.”

එයාගේ මූණ ආදරයෙන් පිරිලා.

දිලිනි... මම කියන්න හිටියේ....” මම කතාව ටිකක නැවැත්තුවා.

ඒ වෙලාවේ දිනි මගේ කටට අත තියලා මාව නවත්තලා එතන ඉඳලා දිලිනි පටන් ගත්තා.
කාවින්ද.”

එයා රහසින් වගේ කතා කලා.

ඇයි?”

මම දන්නවා මම කරන්නේ වැරැද්දක් කියලා... ඒත් මට දැන් ආයෙත් හැරෙන්න බැහැ. ඔයා කියන්න ගිය දේ මම කියන්නද?”

මොකක්ද?”

මම ඔයාට ආදරෙයි කාවින්ද.” එහෙම කියලා දිලිනි අඬන්න පටන් ගත්තා.

දෙයියනේ.... මට මේ ටික කියාගන්න මොනතරම් කාලයක් බලා ඉන්න වුනාද? මම හිතුවා මම පැලිලා මැරෙයි කියලා. මේ තරම් ආදරයක් මගේ හිත ඇතු‍ළේ විතරක් හිර කරලා හංගලා තියාගෙන ඉඳලා මම පුපුරලා මැරෙන්න වගේ හිටියේ කාවින්ද. ඔයා වෙනුවෙන් මට මැරෙන්න වුනත් පුළුවන්... ඒ නිසා තමයි මම හැම දෙයක්ම විස‍ඳෙයි කියලා හිතලා නිශ්ශබ්ද වුනේ. ඒත් ප්‍රශ්ණ වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ.”

මම දිලිනිව තද කරලා තුරුලු කරගත්තා.

එයා මගේ පපුවට ඔළුව ගහගෙන නොනවත්වා අඩන්න ගත්තා.

මොන හිතකින්ද කාවින්ද ඔයා මම ආදරේ ගැන කතා කරන්න හදපු හැම වෙලාවෙම මග ඇරලා ගියේ. මම තලවකැලේ ඉන්න කාලේ, මම පිටරට යන්න හදනකොට, ආයෙත් කවදා එන්න වෙයිද කියලා නොදැන යන්න හදනකොට ඔයා හිතක් පපුවක් නැති කෙනෙක් වගේ මට යන්න කියලා කිව්වා. කොහොමද කාවින්ද ඔයා එහෙම කළේ.”

කියන්න කාවින්ද ඔයා මට ආදරේ කළේ නැද්ද.....?”

මට කියාගන්න දෙයක් නැති වුනා. බලාගෙන යනකොට මම බූරුවෙක් වගේ තමා වැඩ කරලා තියෙන්නේ.

මතකද කාවින්ද මම දවසක් කිව්වා ඔයා වගේ කෙනෙක් ලබාගන්න කෙල්ලෙකුට කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒක මම කිව්වේ ඇත්තටමයි කාවින්ද. ඔයාව ලබා ගන්න බැරි වුනත් ඔයාගේ ආදරේ ලබලා එක දවසක් හරි ජීවත් වෙන්න මට ඕනේ.”

දිලිනි.”

මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ කවදා ඉඳලද කියල මම දන්නේ නෑ කාවින්ද... ඒත් මම මුළු හදවතින්ම ඔයාට ආදරේ කළා. ඔයාව අඳුරගත්ත දවසේ ඉඳලා මගේ හිතේ පිරිලා හිටියේ ඔයා විතරයි. ඒත් දිනි නිසා මම ඔයාට ආදරේ ගැන කියන්න බයවුනා. අනිත් එක මම හිටපු තත්වේ එක්ක කෙලින්ම ඒ ගැන කියන්න මම බයවුනා. ඔයාට වඩා වයසින් වැඩි මම ඔයාට ආදරේ කියන්න බයවුනා. ඒත් ඒ නිසා මම හිතින් නොවිදිනා දුක් වින්දා.”

දිලිනි මට ආදරේ කරනවාවත්ද කියන සැකය මගේ හිතේ ගොඩක් කාලයක ඉඳලා තිබුණා. ඒත් ඒක හරියටම දැනගන්න විදිහක් මට තිබුණේ නෑහැ. මගේ හිතෙත් දිලිනි ගැන වෙනස්ම හැඟීමක් තිබුණා. ඒක ආදරේ කියලා පිළිගන්න මට බොහොම ළඟක් වෙනකම් බැරි වුනා.

බලාගෙන ගියාම දෙන්නම දෙන්නට ආදරේ කරලාඒත් දිලිනි ඒක කියන්න බය වෙලා.... මම ඒක පිළිගන්න බය වෙලා.

ඒත් ඔයා මට පොඩි හින්ට් එකක් හරි දුන්නනම් මගේ හිතේ තිබුණ ආදරේ කියන්න මමත් බය වෙන්නේ නෑ.”

අනේ දෙයියනේ මම කොයි තරම් ඔයාට ඇඟෙව්වද මම ඔයාට ආදරේ කරනවා කියලා. මම රෑ තිස්සේ ඔයා එක්ක ඇවිදිනකොට... හැම දවසකම ඔයාව බලන්න එන කොට, නැත්නම් ඔයාව මගේ ගෙදර එක්කගෙන ගිහිල්ලා ඔයා ළඟටම වෙලා ඉන්නකොට ඔයාට තේරුනේ නැද්ද කාවින්ද... ඊට වඩා කොහොමද මම ආදරේ අඟවන්නේ?“

කියන්න තිබ්බනේ.“

කොහොමද කාවින්ද මම කියන්නේ. මොන පැත්තෙන් බැලුවත් මේක අසම්මත ආදර කතාවක්. මම ඔයාට වඩා වයස වැඩියිඅනිත් එක මම ඔයාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් වෙලා හිටියා.‍ ලොකුම කාරණය තමයි දිනි. එයා ඔයා හිතන තරම් අහිංසක නෑ... එයා එයාගේ යාළුවෝ කීප දෙනෙක්ම එවලා මට කිව්වා ඔයත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. එයා කිව්වා මම එහෙම කළේ නැත්නම් එයා සියදිවි නැතිකරගෙන ඒකට මාව අල්ලන්න ලියුමක් ලියලා තියනවා කියලා. දිනිට ඔයා ඔයාගෙම නංගිට වගේ  ආදරේ කරන නිසා මම බයවුනා. මේ ‍දේවල් ඔයාට කිව්වට ඔයා විශ්වස නොකරන බව මම දැනගෙන හිටියා.”

"ඇයි දිනි මේ තරම් දේවල් කරලත් ඔයා මට කිව්වේ නැත්තේ?"

"මට ඕනේ වුනේ නෑ, අවුරුදු ගාණක් ළඟින් හිටපු ඔය දෙන්නා මම නිසා තරහ වෙනවා දකින්න. දිනි ගැන ඔයාගේ හිතේ තිබුණ ලස්සන රූපය නැති කරලා දාන්න මට දුක හිතුනා. ම‍ොනවා වුනත් තවත් කෙනෙකේ ගැන කේලම් කියලා ඔයාගේ හිත මට හරවගන්න මට ඕනේ වුනේ නෑ."

"පිස්සු කෙල්ලෙක්... ඔයා හැම කරදරයක්ම ඔයා තනියම විඳ ගත්තා."

"ඔව් කාවින්ද... ඔයා වෙනුවෙන් මට ඒක අමාරු වුනේ නෑ..."

දිලිනි... අඬන්න එපා.”

බලාගෙන යනකොට දිනි මාර ගේමක්නේ දීල තියෙන්නේ. දිලිනිව හම්බවෙලා මේ වගේ දෙයක් කරන්න තරම් එයාට හයියක් කොහෙන් ආවද.

ඔයා හිතන්නේ දිනි ඒ හැම දේම කළා කියලද?“

ඉන්න කාවින්ද, මට කතා කරන්න දෙන්න. ආයෙත් කවදාවත් මට මේ ටික කියාගන්න හිතට හයිය නැතිවෙයි.”

මම බලාගෙන හිටියා.

කාවින්ද, ඊට පස්සේ මට ඔයා නොදැක එක දවසක්වත් ඉන්න බැරිවුනා. මම මොනව හරි හේතුවක් හදාගෙන ඔයාව හම්බවුනා. ඒ හැම දවසකම මම හිතුවා ඔයාට මගෙ ආදරේ ගැන කියන්න. ඒත් මගේ හිත කිව්වා ඉවසන්න කියලා.”

අන්තිමට අපි මිල්ටන්ගේ ෂෝ එක බලන්න ගිය දවසේ මට දැනුනා මේ ලෝකේ මම ආදරේ කරන්නේ ඔයාට විතරමයි කියලා. මට ඔයාට යන්න දෙන්න හිතුනේම නැහැ. ඒ නිසා මම ඔයාව ගෙදර එක්කරගෙන ගියා.”

ඒ වෙනකොට මට ගිහාන්ව බඳින්න කියලා ලොකු බලපෑමක් තිබුණා. ගිහාන් දැනගෙන හිටියා මම එයාට කැමති නැහැ කියලා. ඒ නිසා එයා හිතුවා මගේ ගෑණු කම ගත්තොත් මාව නම්මගන්න පුළුවන් වෙයි කියලා. එයා හැමවෙලාවෙම බැලුවේ මාව තනිකරගන්න. ඒත් මම ඒවට බය වුනේ නෑ. ඒත් එන්න එන්නම තත්වේ දරුණු වුනා. මාව කොයි  වෙලාවේ ගිහාන් අතින් අපිරිසිදු වෙයිද කියලා මට බය හිතුනා.”

ඉතින්....”

එදා මම ඔයාව ගෙදර එක්කරගෙන ගියේ මාව ඔයාට දෙන්න හිතාගෙන.. අවුරුදු ගාණක් ආදරෙන් රැකගත්ත දේ ආදරේ නොකරන කෙනෙක් බලෙන් ගන්න කළින් මම වැඩියෙන්ම ආදරේ කරපු ඔයාට දෙන්න මට ඕනේ වුනා. ඊට පස්සේ ගිහාන් මාව බලෙන් බැන්දත් කමක් නෑ කියලා මම හිතුවා.”

මොකක්....?”

ඔව් කාවින්ද, ගිහාන් වගේ නරුමයෙකුට නැතුව ඔයාට මාව දෙන්න මම එදා රෑ තීරණය කරලා තිබුනේ. ඒත් එදා රෑ ඔයා නියම පිරිමියෙක් වගේ... කෙල්ලෙක්ගේ ආදරේ වටිනාකම දන්න නියම කොල්ලෙක් වගේ මගේ දුර්වල තැනින් ප්‍රයෝජන ගත්තේ නෑ. ඒකෙන් මගේ ආදරේ තවත් වැඩි වුනා. මට පිස්සු නොහැදුනා පුදුමයි.”

දිලිනි කියාගෙන ආපු කතාව නැවැත්තුවා.

දිලිනි, ඔයා හිතන්නේ මම ඔයාට ආදරේ කලේ නෑ කියලද?”

මම දන්නේ නෑ කාවින්ද. ඔයා දිහා බලලා මට ඒක හිතාගන්න බැරිවුනා. කමක් නෑ.... මොනව වුනත් මගේ හිතේ තිබුණ දේ මම අද කියාගත්තා. ඔයා මට බැන්නත් දැන් මම තරහ නෑ. ඒක මට සැනසීමක්.”

ඔයා හිතන්නේ මම ඔයා‍ට ආදරේ නෑ කියලද?”

මම දන්නෑ කාවින්ද. ගෑණු ළමයි ඉස්සරහ ඔයා ඕනෙවටත් වඩා හොඳයි. ඒක වෙලාවකට තේරුම් ගන්න බැරි දෙයක්.එක වෙලාවක ඔයා මගේ ළඟටම වෙලා, මාව අල්ලගෙන ඉන්නවා. පිරිමියෙක් එහෙම කරන්නේ හේතු දෙකකට, එකක් එයා ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට, නැත්නම් සෙක්ස් වලට. ඒත් ඔයා පෙන්නපු ඉවසීම, සංවර කම නිසා මට දෙවෙනි එක ගැන හිතන්නවත් බැරි වුනා. ඒත් දෙයියනේ, ඔයා මට ආදරේ කරනවා කියලා හිතන්නත් බැරි වුනා.”

ඇයි ඔයා හිතුවේ මම ඔයාට ආදරේ කරන්නේ නෑ කියලා?”

මම ආදරේ ගැන කතා කරන හැම වෙලාවෙම ඔයා කිසිම දෙයක් කෙලින් කිව්වේ නැහැ. ඉතින් මම කොහොම දැනගන්නද ඔයාගේ හිතේ තියෙන දේ?”

මම දිලිනිව තවත් මගේ  ළඟට ගත්තා.

දිලිනි.... ඔයා මට හම්බවුන මුල්ම දවසේ ඉඳලා මගේ හිත වෙනස් වුනා. ඔයාගේ ඔය තරුකැට වගේ ඇස්වලින් මගේ ඇස් වලට එබෙනකොට මට මගේ ඇස් අහකට ගන්න බැරිවුනා. මම ඔයාට කාන්දමක් වගේ බැඳිලා තිබුණා.”

කාවින්ද.....”

ඔව්..... මම මීට කළීන් කාටවත් ආදරේ කරලා තිබුණේ නැහැ. ඒ නිසා මගේ ආදරේ මටම තේරුම් ගන්න බැරිවුනා.”

දිලිනිගේ ඇස් බලාපොරොත්තුවලින් තවත් දිලිසුනා.

කියන්න කාවින්ද... ඔයා මට ආදරේ කරනවද?”

ඔයා මගේ විතරයි සුදූ.... තවත් මට වද දෙන්න එපා.”

මම එහෙම කිව්ව ගමන් දිලිනි මාව කිස් කරගෙන කරගෙන ගියා. අපි දෙන්නගේ දෙතොල් පැටලිලා කොච්චර වෙලාවක් තිබුණද කියලා දැනුනේ අපි ‍දෙන්නටම තව දුරටත් හුස්ම ගන්න බැරිවුන නිසා.

ඒත් එක්කම දොර ළඟින් සද්දයක් ඇහුනා.

මම දැක්කා කාමරේ දොර ඇරෙනවා. ඒත් එක්කම දිලිනි ඔළුව ඉස්සුවා. මම දැක්කා සචියා බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.

මම එළියෙන් ඉන්නම්...” මට රහසින් එහෙම කියාගෙන කදුලුත් පිහදාගෙන දිලිනි එළියට ගියා.

සචියා මගේ ළඟට ආවා.

උඹලා දෙන්නා අපිටත් බොරු කියලා ආයෙත් ලව් කරනවද? මොකක්ද කාවා මේකේ තේරුම. අර බැල්ලිත් ලජ්ජා නැතුව ආයෙත් එනවා.”

සචියා.... එයාට බනින්න එපා. ප්ලීස්..”

“”එහෙනම් කියපං ඇයි ඒයා ඔච්චර අඬන්නේ. ඔය තරම් අමාරුවක් තියෙනවනම් එදා උඹව අර විදිහට දාලා ගිහිල්ලා මාස ගාණක් ඉන්නවද මැරිලද කියලා නොබලා ඉන්න පුළුවන්ද. උඹ තාමත් ගොනා වගේ කෙල්ලෙක්ගේ කඳුළු වලට අහුවෙනවා.”

අනුන්ගේ ලව් වලට අත දාන එක දැන්වත් නවත්තපං කාවා. ඊළඟ පාර නම් උඹ ෂුවර් එකටම මැරුම් කනවා.”

මට ඒ කෙල්ල වෙනුවෙන් ඒකත් කරන්න පුළුවන්.”

කාවා මේ... මට පිස්සු හදවන්නේ නැතුව කියපං දැන් මොකක්ද මෙතන වුනේ කියලා.”

මොකුත් නෑ... අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා.”

සචියා මහ දවල් හොල්මනක් දැක්කා වගේ කට ඇරගෙන ඇස් දෙකත් එළියට නෙරලා බලාගෙන හිටියා.

යකෝ... පොඩ්ඩක් හුස්ම ගණින්. ඇයි බං කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්නේ නැද්ද?”

කරනවා කරනවා. ඒත් මෙහෙම ගුටි කාගෙන, අඬ අඬා කරන ආදරයක් නම් මම දැක්කමයි.”

සචියා... කාටවත් කිසිම දෙයක් කියන්න එපා. මට උඹත් එක්ක ලොකු කතාවක් තියෙනවා පස්සේ.”

මචං මම උඹේ ඕනේ දේකට උදව් කරන්නම්.... ඒත් මට මේකි විශ්වාස නෑ. උඹව යූස් කරනවා විතරයි කියලා මට හිතෙනවා.“

නෑ බං... දිලිනි එහෙම නෑ.“

මම එහෙනම් දැන් යනවා. පරිස්සමින් ඉඳපං කාවා.”

එහෙම කියලා සචියා යන්න ගියා.

7 comments:

  1. කෝ කට්ටිය... මෙච්චර ලස්සන කතාවක් දාලත් කිසිම අදහසක් කියලා නෑ

    ReplyDelete
  2. Moko katha neththe kattiya tharaha wela..kathawa parakku nisa......

    ReplyDelete
  3. Tak gala ithuru tikath dannako.....plz........

    ReplyDelete
  4. හම්මේ ඇති යන්තම් හිතේ තියෙන දේ කියා ගත්තා.

    ReplyDelete