Recent Post

Tuesday, August 08, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 68




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



68.

ඔය අතරේ අපේ ඉස්කෝලේ කෝච් කතා කරලා කිව්වා තව මාසයකින් විසිඑකෙන් පහළ තරඟ පටන් ගන්නවා කියලා. සර් බලාපොරොත්තු තියාගෙන හිටියේ මගේ මීටර් හාරසියය ඉසව්වයි, හාරසියය රිලේ එකයි ගැන.

ඒ නිසා මම හැම ටිකක් හරි හිත හැදෙන්න මම කැමති දෙයක් කරන්න හිතා ගත්තා. මම ප්‍රැක්ටිස් පටන් අරන් අදට දවස් පහක් වුනා.

එදා අපේ කෝච් තවත් ඉස්කෝලෙක කීප දෙනෙකුට කෝච් කරන්න පේරාදෙනිය කැම්පස් එකේ පිට්ටනියට ආව නිසා මමත් එතන ප්‍රැක්ටිස් කලා.

දවස් පහක් ප්‍රැක්ටිස් කරනකොට මට සුපුරුදු රිද්මයට එන්න පුළුවන් වුනා. සර්ටත් ඒකට ගොඩක් සතුටුයි.

බලනවා කාවින්ද, තමුසේ නිකං නාස්ති වෙනවා. මාස හයක් ප්‍රැක්ටිස් නැතුව ඉඳලා දවස් පහක් යනකොට තමුසේ රිදම් එකට ආවා. හරියට කළා නම් තමුසෙට නැෂනල් පූල් ගිහිල්ලා මේ අවුරුද්දේ සාෆ් යන්න තිබ්බා ගේමක් නැතුව.”

ඒක නම් හීනයක් තමයි සර්. මට වඩා එවුන් කී දෙනෙක් ඉන්නවද දැන්.”

ඒක තමයි අයිසේ... ඉස්සර හිටියේ නෑ. තමුසේ එදා ඉඳලා ප්‍රැක්ටිස් වල හිටියනම් තමුසේ තමයි අදත් එක. කොහෙද අර කොහෙවත් යන ගෑණියෙක් අල්ලගෙන නටලා නාස්ති වුනා.”

මම හිනා වෙලා පිට්ටනියෙන් එළියට ආවා.

පාරට ඇවිල්ලා බයික් එකේ නැගලා නුවරට ආවා. අපේ උන් ඉන්නවද බලන්න හිතාගෙන බයික් එක අතුරු පාරක දාලා පයින්ම නුවර වැව රවුමේ අපේ සුපුරුදු කඩේ ළඟට ආවා.

හයා හමාරත් වුනා. එකෙක් වත් නෑ.

දැන් හොඳටම කරුවල වැටිලා. මම සිගරට් එකක් අරගෙන පාරට පේන නිසා පොඩ්ඩක් පහලට ආවා.

මෙතන අපේ එවුන්ගේ සුපුරුදු තැන නිසාත්, අපිට නොදැනී කාටවත් මෙතන සෙට් වෙන්න බැරි නිසාත් මම වටපිටාව ගැන ලොකු අවධානයක් කළේ නැහැ.

ඒත් ටිකකින් මට දැනුනා මොකක් හරි වෙනසක්. තත්පරයක් යන්න කළින් හැඩිදැඩි කොල්ලෝ දෙන්නෙක් දෙපැත්තෙන් මට ලංවුනා. තවත් දෙන්නෙක් පඩිපෙල උඩත් තවත් එකෙක් පහලත් හිටියා.

මාව වට කරලා කියලා තේරුම් ගන්න මට මොහොතක් වත් ගියේ නෑ. පැනල දුවන්න තැනක් නෑ. ඇරත් මේ කාවා දහ දෙනෙක් ආවත් දුවන එකෙක් නෙවෙයි.

මම බෑග් එක බිම තියලා ගැහුවොත් ගහන්න ලෑස්ති වුනා.

උඹද කාවින්ද කියන්නේ?”

එකෙක් ඇහුවා.

මම කතා ‍කළේ නැහැ.

ඇයි උඹට කතා කරන්න බැරිද?”

මොකක් හරි මරාලයක්ම තමයි පාත් වෙන්න යන්නේ. ඒ නිසා මම කතා නැතුව හිටියා.

යකෝ කතා කරපං... උඹ නේද කාවින්ද?”

දන්නවනම් ඇයි අහන්නේ?”

අහන්නේ හරියටම ෂුවර් කරගන්න.”

ඇයි තෑග්ගක්වත් දෙන්නද? පොඩ්ඩක් ඈතට වෙයං... උඹ ළඟ ගදයි.”

ඔව් මේ තමයි තෑග්ග.” එහෙම කියලා ඌ කකුල් දෙක අස්සේ හංගගෙන හිටපු යක‍ඩ පොල්ලකින් මගේ කකුලට දෑත බදලා ගැහුවා. මාස දෙකක් හරි කරාටේ පන්ති ගිහිල්ල තිබුණ නිසා ඒ පාර වලක්වන්න මට පුළුවන් වුනා.

ඒත් අනිත් එකා ගහපු පාර වලක්වන්න මට වෙලාව මදි වුනා.

පටස් ගාලා දණහිසට වැදුන පාරෙන් මට දණ ගැහුණා. අනිත් උන් අතේ ටයිමින් චේන්. උන් ගහපු පාරවල් වලින් මම මූණ බේරගන්නකොට ඒ පාරවල් වැදුනේ පිටට. පිටේ හම ගැලවුනා වගේ දැනුනා. ඒත් මම අතෑරියේ නෑ, උන්ගෙන්ම උදුරගත්ත යකඩ පොල්ලෙන් එකෙකුට දුන්න පාරෙන් ඌ ලේ පෙරාගෙන වැටෙනවා මම දැක්කා. තව එකෙකුගේ කකුල් දෙක මැද්දට මම පොල්ලෙන් දුන්නා.  බුදු අම්මෝ කියාගෙන වැටුනා.

එතකොටම මට ඇහුනා කවුරු හරි කෑ ගහනවා.

කව්ද ඩෝ අපේ උන්ට මෙතන වලි දාන්නේ

සචියා කෑ ගහගෙන අනිත් උන් එක්ක දුවගෙන එනවා. මම තව එකෙකුට ගහන්න පොල්ල උස්සනකොට පිටිපස්සේ හිටපු එකෙක් මගෙ ඔළුවට පොල්ලෙන් ගැහුවා.

ඒත් එක්කම උන් වැටිච්ච දෙන්නත් අරගෙන දිව්වා. මට සිහිනැතිවෙන්න ඔන්න මෙන්න කියලා කවුරු හරි මාව අල්ල ගත්තා වගේ මතකයක් මට තිබුණා.

මට ආයෙත් සිහිය එද්දි මම දැක්කේ නර්ස් කෙනෙක් මට බෙහෙතක් විදිනවා.

මිස්මම අමාරුවෙන් කතා කළා.

එයා මගේ තොල් වල ඇඟිල්ල තියලා කතා කරන්න එපා කිව්වා.

හැරෙන්න පෙරලෙන්න නෙවෙයි කතා කරන්නත් එපා දැන්ම. ඔයාට පොඩි ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ. පැය දෙකක් තුනක් යනකම් ඔහොමම ඉන්න.”

මම උත්සහ කළා මොකද  වුනේ කියලා මතක් කරන්න. ඒත් මට මතක තිබුනේ මම වැටෙනවා විතරයි.

මට බය දැනුනේ මගේ කකුල් බෙඩ් ෂීට් එකකින් වහල තියෙනවා දැක්කට පස්සේ.

දකුණු කකුල තනිකරම හිරිවැටිලා. ඒක තියෙනවද නැද්ද කියලා තේරෙන්නේ නෑ. ඔළුව පිටිපස්සේ ගෙඩියක් වගේ දැනෙනවා. මට ඔපරේෂන් එකකුත් කරලලු. ඒ අතරේ සචියා මොනවා කරලද දන්නෑ. අපේ ගෙදරට කියලද? එහෙම වුනොත් නම් ඉවරයි.

අනේ මිස් මාව ගෙනාපු යාළුවට විනාඩියකට කතා කරන්න.”

මම අමාරුවෙන් කිව්වා.

ඉන්න මම කතා කරන්නම්. හැබැයි විනාඩි දෙකෙන් කතාව ඉවර කරන්න.”

නර්ස් එළියට යනකොට සචියා ආවා ඇතුළට.

උඹට මාව අදුරන්න පුළුවන්ද කාවා?”

මූට මේ මොන යකෙක් වැහිලද? යකෝ දැන් ටිකකට කළින් මාව බේරගන්න දුවගෙන ආපු එකා අහනවා ඌව දන්නවද කියලා.

මම කතා නැතුව හිටියා.

සචියා බය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා.

කාවා, උඹට මාව සිරාවටම මතක නැද්ද?”

මට අම්බානකට තද වුනා.

උඹට මොන්ගල්ද හරකෝ. දැන් ටිකකට කළින් මාව බේරගත්ත උඹව දන්නේ නැද්ද කියලා අහන්නේ, තොට මොල් මැලේරියාවද?”

මම ඒක කිව්වා විතරයි ඌ හිනා වුනා.

උඹට අවුලක් නෑ... ඇති යන්තම්.”

ඇයි උඹ මොනවද හිතුවේ?”

නෑ බං.. උඹේ ඔළුවට වැදිලා තිබුණා පාරක් සුපිරියට. මම හිතුව අර මූවීස් වල වගේ උඹට අපිව අමතක වෙලා කියලා.”

විකාර, ඒක නෙවෙයි උඹ දන්නවද උන් කව්ද කියලා.”

ආයෙ අහන්න දෙයක් නෑ බං. ගිහානයාගේ වැඩක්. දැන් දිලිනි කොහොමත් ඌට නැති එකේ ඌ උඹෙන් පලිගන්න බලන්න ඇති.”

ඒත් දිලිනි මගෙන් ඈත් වෙලා සෑහෙන කාලයක්නේ. ඇයි තාමත් ගිහාන් මගේ පස්සේ පන්නන්නේ.”

යකෝ... ඌ එහෙම තමයි. උඹව නැතිකරලා මිසක් ඌ පස්ස බලන එකක් නෑ.”

සචියා අපේ ගෙදරන් සීන් එක දන්නවද?”

නෑ තාම නෑ. උඹේ චූටි අක්කා වෙලාවට වෝඩ් එකේ හිටියා. එයා වැඩේ හැන්ඩ්ල් කරන්නම් කිව්වා.

චූටි අක්කා කියන්නේ මගේ නැන්දගේ දුව. ඉස්සර මගෝඩි වැඩ වලට මම වගේම කප් ගහපු කෙනෙක්. දැන් ඩොක්ටර්.

මට මොකද වුනේ කාවා.”

උඹ පණ පිටින් ඉන්න එකට ඇති යකෝ. මේ සැරේ නම් උන් ගැහුවේ උඹට මැරෙන්නම තමා බං. හොඳ වෙලාවට අපි ආවේ නැත්නම් උඹ ඉවරයි.අපිටම පුදුමයි උඹ කකුලක් කැඩිලා පණ පිටින් ඉන්න එකට.”

අම්ම ගහයි බැට් එකෙන්. ඒ කියන්නේ මගේ කකුල කැඩිලද?”

කැඩිලම නෑ බං. ‍‍ෆ්‍රැක්චර්ස් හත අටත් තියෙනවා කිව්වා. ඒත් කකුළට ආදරයක් තියෙනවනම් මාස දෙක තුනක් එක තැන ඉන්න වෙනවා.

එතකොටම අපේ සෙට් එකේ අනිත් උන් ආවා.

උඹල හොයාගත්තද උන්ව.”

නෑ බං. මම අජාගේ සෙට් එකටත් පණිවිඩයක් යැව්වා ඒ හැඩහුරුකම් තියෙන උන් දැක්කොත් බලන්න කියලා. ඒත් මේ වෙනකම් නතිං, උන් වාෂ්ප වුනා වගේ.”

දිලිප් කිව්වා.

කාවා... කොහොමද බං උඹට?” චතුර ඇහුවා.

මචං..... උඹල දැන් ඕක පස්සේ දුවන්න එපා. උන් මට ගැහුවා. ඒක ඉවරයි.”

එහෙම බෑනේ පුතේ. මේක අපේ වැයික්කිය. අවුරුදු ගාණක් අපි සෙට් වෙන තැන. එතෙනටම ඇවිල්ලා උඹට ගහන්න උන්ට හයියක් කොහෙන්ද? උන්ට මේ වතාවේ සෙල්ලම් දාන්න දුන්නොත් හැමදාම අපිට බලු වෙලා තමයි ඉන්නන වෙන්නේ.”

මචං මේ... උන් නිකං නෙවෙයි ආවේ. වෑන් එකකින්. අනිත් එක අතේ ටයිමින් චේන්, යකඩ පොලු... උන් නිකං ඉස්කෝලේ යන පොඩි උන් සෙට් එකක් නෙවෙයි. පරිස්සම් වෙයං.”

හරි හරි කාවා. උඹත් පරිස්සම් වෙයං.”

ටිකකින් චූටි අක්කා ආව නිසා අපේ උන් යන්න ගියා.

ආ චන්ඩියා කොහොමද?”

මම හිනා වුනා.

මොඩයෙක් වගේ හිනා වෙන්න එපා. වැදිල තියෙන පාරවල් තව ටිකක් එහා මෙහා වුනා නම් මාස ගාණකට නැගිටින්න වෙන්නෑ.”

අනේ අක්කේ.... මට උදව්වක් කරන්න. අපි ඒ කාළේ කරපු මගෝඩි වැඩ ඔක්කොම නාමයෙන් මට මේ උදව්ව කරන්න.”

මොකක්ද?”

අම්මට කිව්වට කමක් නෑ, රණ්ඩුවකට ගිහිල්ලා කියලා කියන්න එපා.”

ඈ මෝඩයා... ඔය විදිහේ තුවාල වැටිලා වුනා කියන්නද. ගුටි කනකොට දුවන්නවත් දන්නේ නැද්ද?”

අක්කේ... ඔයා දන්නවනේ, මම කවදද වලියකදී දිව්වේ?”

ඒක තමයි ගොන් කම. දැන් කාලේ බෙස්ට් ඩිෆෙන්ඩ් රනින් මෙතඩ්.” අක්කා කිව්වා.

එක් නෙවෙයි, මොකද මේ පාරේ ගහගන්න පුරුදු වෙලා. රස්තියාදු කාරයෝ වගේ?”

අනේ නැහැ අක්කේ..... ඇත්තටම මම දන්නෑ උන් කව්ද කියලවත් ඇයි මට ගැහුවේ කියලවත්.”

අනේ යනව හලෝ යන්න. තමුසේ මොකුත් දන්නෑ.... බබා. එහෙම පාරේ හිටං ඉන්නකොට මිනිස්සු තව කෙනෙකුට ගහල යනවද?”

ඇත්තමයි....”

හරි හරි.... මම අම්මට කිව්වා පොඩි තුවාලයක් වෙලා කියලා. බය  නොවී ඉන්න. මම දැන් යනවා. මේ නර්ස් ඉඳියි... ඕනේ වුනොත් එයා මට කතා කරයි.”

අක්කා නර්ස් කෙනෙකුට කතා කරලා මාව බාර දුන්නා.

මේ මගේ මල්ලි. බෙහෙත් නොබී, කරදර කළොත් ටොක්කක් ඇනලා බලා ගන්න හරිද දිලිනි.”

දිලිනි... මම උඩ ගියා...

මම අමාරුවෙන් ඒ පැත්ත බැලුවා. ලස්සනම ලස්සන සුදු චූටි නර්ස් කෙනෙක්.

එයා හිනා වේගන මගේ ළඟට ආවා.

මම දන්නේ නැහැනේ ඩොක්ටර් සඳුනිගේ පවුලේ චන්ඩි ඉන්නවා කියලා.”

ඒ පාර මෙයා මොකාටද එන්න හදන්නේ. ලස්සන වුනාට හැකර කටක් වගේ. ඒ නිසා මම සද්ද නැතුව හිටියා.
දැන් ඔයාව අයිති මට. දැක්කනේ ඩොක්ටර් මට තමයි ඔයාව බාර කරලා ගියේ.”

මොකක්... මාව අයිති ඔයාට...?”

ඔව් ඔව්..... යාළුවෝ හම්බවෙලා කියව කියව ඉඳිම, නැගිටින්න උත්සහ කිරීම තහනම්. දැන් හොඳ ළමයා වගේ නිදාගන්න.”

යකෝ මේකි මගේ අම්ම වගේනේ. එයාට මාව අයිතිලු. ඒව නම්‍ ලේසි වෙන්නේ නෑ කෙල්ලේ.

මම දැන් ඔයාට නින්ද යන්න බෙහෙතක් දෙනවා. හෙට උදේ වෙනකල් නිදා ගන්න. එතකොට අමාරුව හොඳ වෙයි.”

ඒකත් හොඳයි කියල මට හිතුනා. දැනටම ඇඟ තැනින් තැන රිදෙනවා.

ඒ වෙනකොට වෙලාව රෑ දොළහටත් කිට්ටුයි.

විනාඩි කීපයක් ඇතුළත මට නින්ද ගියා.

6 comments:

  1. අදහසක් තියෙනවද? කොහොමද කතාව යන විදිහ....?

    ReplyDelete
  2. අනේ බං මේ කතාව කියවන අපේ ඇඟ රිදෙනවා කාවින්ද ගුටි කන තරමට.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමා ... මොනව කරන්නද? ලබා උපන් හැටි වෙන්න ඇති

      Delete
  3. Mona magulakda dawasata ekak wath dapanko......

    ReplyDelete