Monday, October 23, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 99


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


99.

එදා හම්බවුනාට පස්සේ මම ගෙදර ආවේ සචියයි අමිලයි දෙන්නම එක්ක.
ඒත් මම එනකොට ගෙදර මොකක් හරි වෙනසක් දැනුනා. අම්මයි, තාත්තයි දෙන්නම ඇවිත්, ඩැනී අංකලුත් ඇවිත්.
අපි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඩැනී අංකල් මගේ ඉස්සරහට ආවා. පිටිපස්සෙන් අම්මා...
“පුතා.... ඔයා දැන් කරන දේවල් නම් හොඳටම වැඩියි...“ අංකල් කිව්වා
“ඇයි අංකල්....? මම මොකද කළේ?“
අංකල් වෙනුවට අම්මා කතා කළා.
“ලොකු පුතා... ඔයා ඇයි අපිට බොරු කරන්නේ? අර ළමයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියලා ඔයා ඇයි එයා එක්කම ඉන්නේ?“
මලා.... අද ගිය ගමන මාට්ටු වෙලා වගේ... එහෙම වුනොත් අමිලටයි, සචියටයි වුනත් අපේ ගෙදර වීසා කැන්සල් වෙන්න බැරි නෑ.
උන් දෙන්නත් බය වෙලා වගේ ඉන්නවා. නවතින්නත් බෑ මාව දාලා යන්නත් බෑ.
“ඇයි අම්මා... මොනව ගැනද කියන්නේ...?“
“අද තාත්තා නුවර ගිය වෙලාවේ යාළුවෙක් හම්බවෙලා තියෙනවා. මිස්ටර් විජේසුන්දරගේ කම්පැණී එකේ වැඩ කරන... ඔයා සිංගප්පූරුවේ ගියේ අර ළමයගේ සල්ලි වලින් කියලා එයා කියලා තියෙනවා.“
මම මොනවත් කිව්වේ නැහැ. කියන්න දෙයක් නැහැ... හැම දේම අහුවෙලා.
“ඊට පස්සේ අපි අද හොයලා බැලුවා. තව කීප තැනකින් විස්තර හොයා ගත්තා. ඔයා රස්සාව කරන්නෙත් ඒ කම්පැණි එකේම. අපිට කිව්වේ නැහැ. මේ සැරේ ඔයා රට ගියෙත් ඒ සල්ලි වලින්. ලෙඩේට බෙහෙත් කරන අතරේ ඔය දෙන්නා එහේදි හම්බවෙලා තියෙනවා. එයා තනියම ඒ රටට ඇවිත් ඔයා එක්ක ඉඳලා තියෙනවා. ඔයාට ලැජ්ජා නැද්ද? ඔයාට විතරක් නෙවෙයි, ඒ කෙල්ලට ලැජ්ජා නැද්ද?“
බලාගෙන ගියාම අද ගමන දැනගෙන නෑ... ලොකු දෙයක්.
“කතා කරන්න ලොකු පුතා. ඔයාට මේ අපිට වඩා ඔය කෙල්ල ලොකු වුනාද? හැම දෙයක්ම ගැලපුනත් වයස ගැලපෙනවාද? වැඩිමල් ගෑණු කෙනෙක් බඳින්න ඔයාට පිස්සුද? මම නම් මැරුවත් ඕකට කැමති වෙන්නේ නෑ.“
සචියයි අමිලයි මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ‘මොනව හරි කියපං... උන් දෙන්නගේ මූණේ ලියවිලා තියෙනවා.
“ඒ ළමයත් පොරොන්දු වුනා මට මේක නවත්තනවා කියලා. බලාගෙන යනකොට එයත් බොරු කාරියක්.... ඔයා අදම ඕක නවත්තන්න ඕනේ.... නැත්නම් මම අම්මා නෙවෙයි....“
“අම්මා... කෑ ගහන්න එපා..... මම මිනීමැරුවේ නෑ... කෙල්ලෙක් එක්ක යාළු වුනා විතරයි...“
“නෑ... නෑ.... ඕක අදින් ඉවර කරන්න.. ඔයා ඒ රස්සාවට යන්නත් එපා. තාත්තා ඔයාට හොඳ රස්සාවක් අරන් දෙයි.... අනිත් එක ඔයා ඒ කෙල්ල නිසා ඔය කරගත්ත දේවල් මදිද.... හොඳට හිටපු ඔයා අද ඇවිදින්නේ කාගේ හරි වාරුවෙන්... තව කොච්චර කාලෙකට ඔහොම ඉන්න වෙයිද? අනිත් එක ආයෙත් වතාවක් ඔය වගේ ලෙඩ වුනොත්... අම්මා කෙනෙක් විදහට කොහොමද මම මේව දරාගෙන ඉන්නේ... මේ හැමදේම ඔයාට වුනේ අර ළමයා නිසා... මට බෑ ඔයාට මේ කරපු දේවල් වලට එයාට සමාව දීලා ලේලි විදිහට පිළිගන්න...“
“ඇයි බැරි අම්මා... එයා නරක කෙනෙක් නෙවෙයි.“
මම එහෙම කිව්වහම අම්මා අඬන්න පටන් ගත්තා. ඉස්සරහට ආපු තාත්තා අන්තිම වචනේ දුන්නා.
“උඹට කෙල්ලවනම් ඕනේ... මීට පස්සේ මේ ගෙදර බෑ....“
සචියයි අමිලයි හොල්මන් වෙලා බලාගෙන ඉන්න අතරේ මම කාමරේට ගියා. මගේ පස්සෙන් ඩැනී අංකලුත් ආවා.
“පුතා... මේක නවත්තන්න...... ඔයාට මේ අම්මටයි තාත්තටයි වඩා අර කෙල්ල ලොකු වුනාද? දැක්කනේ ඒකිගේ තාත්තගේ පාට්.“
ඩැනී අංකල් මේවට අත දාන එකට මම කැමැත්තෙන් නෙවෙයි හිටියේ... ඒ නිසා ඒ කියපු එකට මට තරහ ගියා.
“ඩැනී අංකල්... ඒක මගේ වැඩක්... ඩැනී අංකල් තාත්තට නම් වැඩ කරන්නේ ඒ විදිහට ඉන්න... මගේ දේවල් වලට අත දාන්න අංකල්ට කිසිම අයිතියක් නෑ.. මම වයස දහ අටට වැඩී, ඒ කියන්නේ මට තනියම තීරණයක් ගන්න පුළුවන්... ඒ නිසා කරුණාකරලා ඩැනී අංකල් මගේ පස්සෙන් හරි දිලිනිගේ පස්සෙන් හරි එන එක නවත්තන්න....“
“ඒ වුනාට පුතා ඔයා දන්නවනේ මේ වෙන දේවල්... ඒ කෙල්ල ඔයාට ගැලපෙන්නේ නෑ... අනික ඒ තාත්තත් නාහෙට අහන්නේ නැති කෙනෙක්.... මේ නිසා ඔයාගේ තාත්තට ප්‍රශ්ණයක් වුනොත් නම් මම ඔය එකෙක් වත් යහතින් තියන්නෑ... ඔයාටත් එක්ක මම කියන්නේ.... ඒ මිනිස්සුන්ගේ පැත්ත ගන්න ගිහිල්ලා නිකං අනාථ වෙන්න එපා... තමන්ගේ දෙමව්පියෝ කියන දේ අහන්න....“
“අංකල් මේ... මම බය නෑ චන්ඩින්ට..... අංකල් දන්නවනේ ඒක... මම යකාටවත් බය නැති එකෙක්... කව්රු හරි මට එකක් ගැහුවොත් මම ඌට දහයක් ගහනවා.... මාත් එක්ක හැප්පිලා දිනන්න කිසිම චන්ඩියෙකුට බෑ... ඒ නිසා මම කියන්නේ දිලිනිට හරි එයාගේ ගෙදර කෙනෙකුට හරි නිකරුනේ කරදර කරලා තිබුණොත් ඩැනී අංකල්ගේ චන්ඩින්ව මම පොලිසියට අල්ලලා දෙනවා. මම ඔය එකෙකුටවත් බය නෑ... මල පැන්නොත් මමත් යකෙක් තමයි.“
“කමක් නැ තව ටිකක් කල්පනා කරන්න...“
එහෙම කියපු ඩැනී අංකල් පල්ලම් බැස්සා.
“කාවා... උඹ නම් සිරා පොරක් බං... මුළු නුවරම බය ඩැනී අංකල්ගේ සෙට් එකත් එක්ක උඹ ගේම ඉල්ලන්නේ උඹට පිස්සුද බං?“
මම කතා කළේ නෑ... ඒ වෙනුවට මම බෑග් දෙකක් අරගෙන මගේ ඇඳම් අහුරන්න පටන් ගත්තා.
“කාවා... මොකද යකෝ කරන්නේ?“ අමිල ඇහුවා.
“මම යනවා.... උඹලට ඇහුනනේ.. තාත්තා කිව්වා දිලිනි ඕනේ නම් මේ ගෙදර ඉන්න බෑ කියලා... මම යනවා.“
“යකෝ... තොට පිස්සුද? කොහේ යන්නද?“
“මට තනියම ජීවත් වෙන්න පුළුවන් බං... මට රස්සාවක් තියෙනවා... ඒක නැතිවුනොත් ගැරේජ් වැඩ දන්නවා... වාහනයක් තියෙනවා... මොකටද බං බය වෙන්නේ...?“
ඇත්තටම තව මොහොතක්වත් මට ගෙදර ඉන්න හිත දුන්නේ නෑ.. දිලිනිගේ අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවනම් මට ඉවසන්න පුළුවන්... ඒත් හැම අතින්ම හොඳ දිලිනි වගේ කෙනෙකුට කිසිම හේතුවක් නැතුව අකමැති වෙන එකට මට තේරුම් ගන්න බැරිවුනා.
විනාඩි ගණනකදී ඇඳුම් බෑග් දෙක ලෑස්ති කරලා සචියගේ උදව්වෙන් මම ජීප් එකට දාගත්තා.
“යකෝ උඹට ඩ්‍රයිව් කරන්න බෑ...“
“නෑ මට පුළුවන්... උඹ හිටපං.... වරෙන් මම උඹල දෙන්නවත් ගෙදරින් දාගෙන යන්නම්.“
අම්මයි තාත්තයි වචනයක්වත් මට කිව්වේ නෑ... මම අම්මට යනවා කියලා වාහනේට නැංගා.
“උඹ පලයං.... අපි එන්නම්....“ සචියයි අමිලයි කිව්වා.
මම ටිකක් දුර ඇවිල්ලා දිලිනිට කෝල් එකක් ගත්තා.
“සුදූ.... අම්මා අපි ගැන හැම දේම දැනගෙන... මට කිව්වා එක්කෝ ඔයා නැත්නම් ‍ගෙදර කියලා. මම ඔයාව තොරගත්තා.“
“අනේ කාවින්ද....“
“ඔව් සුදු.... මම තලවකැලේ යනවා... හෂිනි අක්කා ළඟට....“
“එපා කාවින්ද...ඔයාට බෑ ඔය අසනීපෙ තියාගෙන එච්චර දුර යන්න.. අනිත් එක බෙහෙත් කරන්න හොස්පිට්ල් යන්නේ කොහොමද?“
“මට යන්න වෙන තැනක් නෑ...“
“ඔයා මම හිටපු එපාර්ට්මන්ට් එකට යන්න... මම යතුර එවන්නම්.... දැන් කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නෑ... මම පෙරේදත් අප්පු යවලා ඒක ක්ලීන් කළා. එහේ හැම දෙයක්ම ඇති. අදට ඔයා එහේ ඉන්න... ඒත් ඔයා අම්මගේ තරහ නිවුනම ගෙදර යන්න... දිගටම තරහ වෙලා ඉන්න එපා... ඒ ඔයාගේ අම්මා කාවින්ද?“
“මට බෑ ආපහු යන්න.....“
“හරි හරි... දැන් ඔයා මගේ තැනට යන්නකෝ... මම දැන්ම යතුරු එවන්නම්.“
මම අසනීප වුනාට පස්සේ පළවෙනි වතාවට තමා වාහනයක් එලවන්න ගත්තේ. මාස ගාණකින් නිසා පොඩි නුපුරුදු බවක් දැනුනා. අනිත් එක ජීප් එක එලවන එකත් ලේසි නෑනේ.
මම යනකොට දිලිනි කෙනෙක් අතේ යතුරු එවලා තිබුණා.
යට තට්ටුවේ පොඩි ලිවින් හෝල් එකක් එක්ක ලස්සන පොඩි පෑන්ට්‍රි එකකුයි, ස්ටඩි වලට පොඩි කාමරයකුයි, බාත් රූම් එකකුයි තියෙනවා... දෙවෙනි තට්ටුවේ නිදන කාමර දෙකකුයි, ඒකටම අල්ලපු ලොකු බැල්කනි එකකුයි එක්ක ලස්සන ගෙයක්. දිලිනි ඒක ක්ලීන් කරලා සුදුවට දිලිසෙනවා හරියට ලංකාවේ ගෙයකට වඩා පිටරට ගෙයක් වගේ.
මම බෑග් දෙක තියලා ලොකු නිදන කාමරේ කබඩ් එක ඇරලා බැලුවා. එක පැත්තක දිලිනිගේ ඇඳුම් පුරවලා, අනිත් පැත්තේ ඇඳ ඇතිරිලි, පොරවන ඒවා, කොට්ට ගොඩක් එක්ක ටවල් පුරවලා.
මම එහෙමම ඇඳේ ඉඳගෙන දිලිනිට කතා කළා.
“සුදූ.... මම ආවා.....“
“කාවින්ද.... ඔයා මගේ කාමරේ ගන්න... පොඩි කාමරේ පොඩි ඇඳක් තියෙන්නේ.. අනික ඒක ඒසී කරලා නෑ.... කබඩ් එකේ ඇති ඇඳට දාන රෙදි... ඒවා අරන් දාගන්න.... එතන කොට්ටයි, කොට්ට උරයි ඇති. තව ටවල් ඇති. මම පාවිච්චි කරපු ටවල් තුනක් ඇති,  ඒවා අයින් කරලා අළුතෙන් තියෙන ඒවා ගන්න.“
“අයියෝ සුදූ... මට ඔය අස්කිරිලි නම් බෑ.... මේ ඇඳේ තියෙන එක හොඳයි. මම එහෙමම නිදාගන්නම්.“
“අනේ කාවින්ද... ඒකේ දූවිලි, කම්මැලියා නොවී අස් කරගන්න.“
“බෑ අනේ... ඇත්තටම කම්මැලියි... ඔයාට බැරිද ඇවිත් කරලා දීලා යන්න.“
“අන්න කපටියා... මාව ගෙන්න ගන්න නේද බොරු කියන්නේ...?“
“නෑ.... ඇත්තටම මට ඔය වැඩ බෑ...“
“මම එන්නම්... හැබැයි ඔන්න නරක වැඩ නම් බෑ... මම ඇවිත් වැඩ ටික කරලා දීලා යන්නම්...“
“හා... දැන්ම එන්න...“
“හැබැයි නරක වැඩ බෑ හරිද... පොරොන්දු වෙන්න...“
“හරි... ප්‍රොමිස්...“
දිලිනි එන අතරේ මම සචියට කෝල් එකක් ගත්තා.
“උඹ තාම අපේ ගෙදරද?“
“ඔව්....“
“අම්මට කියපං මම එරංග අයියගේ රෙස්ට් එකේ ඉන්නේ කියලා. බය වෙන්න එපා කියපං.“
“උඹ මාර පොරක් බං... උඹ ඇත්තටම කොහේද ඉන්නේ.?“
“ඒක පස්සේ කියන්නම්... දැනට අම්මව ෂේප් කරපංකෝ.. මම උඹට රෑ වෙලා කෝල් එකක් දෙන්නම්.“
පැයක් විතර යනකොට දිලිනි ආවා.
එයා කෙලින්ම දුවගෙන ඇවිත් මගේ පපුවට තුරුල් වුනා.
“අන්තිමට මම නිසා ඔයාට ගෙදරත් නැති වුනා කාවින්ද... මම මහා කාලකන්නි කෙල්ලෙක්..... දේවල් අහිමි වෙන්නේ මට විතරක් නෙවෙයි, මට සම්බන්ධ වෙන අයටත් ඒ අය ආදරේ කරන දේවල් නැති වෙනවා.“
“පිස්සු කතා කියන්න එපා... ඔයා එහෙම නෑ...“
මම දිලිනිගේ මූණට එබුනා. කිස් එකක් දෙන්න ආසාවේ බෑ... ඒත් එයා මගේ අත් යටින් රිංගලා අහකට දිව්වා.
“ඔන්න ආපු ගමන් පොරොන්දු කඩන්න යනවා....“
“සොරි සොරි....“
“ඔන්න ඔයා ඉඳගෙන මහන්සි නොවී ඉන්න... මම මේක කරන්නම්.“
දිලිනි ලස්සනට ඇඳට රෙදි දාලා, කොට්ට ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ අළුත්ම ටවල් දෙකක් අරගෙන දුන්නා මට පාවිච්චි කරන්න.
ගැහැණු අත් දෙකකින් ගෙයක් ‍කොච්චර ලස්සන කරන්න පුළුවන්ද... පිරිමි අපි ඔය වැඩේ කලා නම් කිසිම පිළිවෙලක් නැති වෙනවා. දිලිනි අස් කරන දිහා මම ආසාවෙන් බලාගෙන හිටියා. අපි දෙන්නා කවදා හරි එක ගෙදරක පදිංචියට ගිය දවසක මේ වගේ ලස්සන දේවල්
“ඔන්න දැන් ලස්සනයි.... අද ඉඳලා මේක ඔයාගේ.... දවස් දෙකකට සැරයක් ක්ලීන් කරන්න කෙනෙක් එයි... ඒ අතරේ නම් ඔයාට ටිකක් අතුගාලා ගන්න වෙනවා.“
“ඔයාගේ තාත්තා ආවොත්....?“
“නෑ... මම කියන්නම් මේක මම මගේ යාළුවෙකුට දීල තියෙන්නේ කියලා. එතකොට එයා එන්නේ නෑ.“
“ආ අමතක වුනා.“ එහෙම කියලා දිලිනි ආයෙත් එයාගේ කාර් එකට දිව්වා.
ටිකකින් එයා බඩු මළු හතර පහක් උස්සගෙන ඇතුලට ආවා.
“මේ මොනවද?“
“ඔයාට කන්න බොන්න දේවල්.... මම කිව්වේ මම ආසයි ඔයාට මේ දේවල් අරන් දෙන්න කියලා... හොඳ විදිහට නොවුනත් මගේ ඒ ආසාව අද ඉෂ්ඨ වුනා.“
“මොනවද සුදූ මේ....? මට උයන්න බෑ...“
“උයන දේවල් නෑ බබා... මම දන්නවනේ මගේ හස්බන්ඩ් ට උයන්න බෑ කියලා. ඉතින් මම උයන දේවල් ගෙනාවේ නෑ. ඇත්තටම කාවින්ද ඔයා කොහොමද කෑම ගන්නේ... උයා ගන්න බෑනේ....“
“කඩෙන් තමයි...“
“අයියෝ... කඩේ ඒවා කෑවොත් නම් ලෙඩ වෙනවා... මම ඔයාට කෑම එවන්නම්..“
“හැමදාම?“
“ඔව්... ප්‍රශ්ණයක් නෑ... උදේට විතරක් ඔයාට මොනව හරි හදාගන්න වෙයි.... අනිත් දෙවේලම මම කෑම එවන්නම්.. අනික ටික දවසකටනේ... ඔයා ඉක්මනටම ගෙදර යනවනේ...“
“හ්ම් බලමුකෝ...“
මම එදා ගෙදර ගියේ නෑ. අම්මා කතා කළෙත් නැහැ. සචියා නම් කෝල් කරලා කිව්වා ගෙදර ප්‍රශ්ණයක් නෑ කියලා. තාත්තගේ තරහ අඩු වුනාම ගෙදර යන්න කියලා තමයි ඌත් කිව්වේ.

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 98




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


98.

මම යනකොට දිලිනි ඇවිත් නැහැ.
එරංග අයියා මම අමිලගේ වාරුවෙන් එනවා දැකලා දුවගෙන ආවා.
“උඹට මේක කරපු උන්ට නම් හෙන ගහනවා බං. කොහොම හිටපු එකෙක්ද බං උඹ.”
මම හිනා වුනා.
“නෑ නෙ අයියේ.... මේක මූ ඉල්ලගෙන කාපු එකක්නේ. අපි හැමෝම දැක්කා මේක වෙනවා කියලා. මූට කොච්චර කිව්වත් මද කිපිච්ච අලියා වගේ කියන දෙයක් අහන්නෙම නෑනේ.”
“ඔව් යකෝ... අපිත් ලව් කරලා තියෙනවා... ඒත් උඹ වගේ ගුටි කාගෙන, මේ වගේ කටු කාගෙන, ගෙවල් වලින් එන ප්‍රශ්ණ වලට මූණ දීගෙන ලව් කරන්න නම් අපිට ගටක් නෑ.... සිරාවටම, ‍උඹට වගේ වුනොත් මම නම් ගිව්අප් කරලා. උඹ තමා බං සිරාවටම පොර.” එරංග අයියා බොක්කෙන්ම කිව්වා.
ටික වෙලාවකින් දිලිනි ආවා. එයා නම් වෙනස් වෙලා නෑ... සුරංගනාවියක් ව‍ගේ ලස්සනයි, ලස්සන සුදු පාට‍ කාර් එකෙන් බැහැලා, තනියම එන කෙල්ල දැක්කහම මට හිතුනේ දිලිනිගේ මේ ස්වාධීන ගතියට මම ආද‍රේ කරනවා කියලා. මේ වයසේ වෙන කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරමට එයා තනියම වැඩ කරගන්නවා. ඒත් මාත් එක්ක ඉන්නකොට එයා හැමදෙයක්ම කරන්නේ මාත් එක්ක. එතකොට එයා සම්පූර්ණයෙන් ඩිපෙන්ඩ් වෙන්නේ මගෙන්. ඇත්තටම කෙල්ලෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම දේ ඒක.
එයා ආපු ගමන් මගේ අත අල්ල ගත්තා.
“ඉතින්....!”
මම එයාගේ අත තදින් අල්ල ගත්තා.
“ඔයා අද තවත් අළුත් කාර් එකක!”
“නෑ කාවින්ද... මේක පරණ එකක්... ඔයා දැකලා නැතුව ඇති.”
“ලස්සනයි....”
“මමද?”
“නෑ.... කාර් එක!”
“නරකයි.... හරිම නරකයි....”
අපි දෙන්නා සැහැල්ලුවෙන් කතා කළා. දෙන්නටම තිබුණ ප්‍රශ්ණ එකක්වත් මතක් වුනේ නෑ. අපි දෙන්නට ඕනේ වුනේ අපේම ලෝකෙක තනිවෙන්න.
“කාවින්ද... මට ඔයාව බදාගෙන කිස් එකක් දෙන්න ඕනේ...”
“අපෝ... මෙතන බෑ.. මේ සිංගප්පූරුව නෙවෙයි. නෝ පබ්ලික් කිසින්.”
“අපි සිංගප්පූරුවේ පදිංචි වෙමු අනේ. එතකොට මට ඔයාට කිස් එකක් දෙන්න හිතුන හැම වෙලාවෙම පුළුවන්.”
“මේ විකා‍ර කියවන්න එපා තාරුකා.”
මම තාරුකා කිව්වහම දිලිනි මගේ කම්මුලට හාදුවක් දුන්නා.
“ඔයා හරි හොඳයි.. මම ආසම නම කියනවා. මට මතකයි ඉස්සර ඔයා මට මිස් මිස් කියලා, දිලිනි කියන එක පුරුදු වෙන්න අමාරු වුන තරම. අන්තිමට මම තරහ වෙනවා කිව්වහම තමා ඔයා මිස් කෑල්ල නවත්තගත්තේ.”
“ඔව් ඔව්.... මට මතකයි මමයි සචියයි ලයිබ්‍රරි එකට ආපු වෙලාවේ ඔයා කිව්ව ලොකු කතා. කාලෙ නාස්ති කරන්න ලයිබ්‍රරරි එන්න එපා.... ඉගෙනගන්න වැදගත් දෙයක් කියවන්න. නවකතා කියවලා වැඩක් නෑ... කියලා මාර කතා කිව්වේ.”
“අනේ... ඒව කියන්න එපා... මට ලැජ්ජයි.”
එතකොටම සචියයි, අමිලයයි ආවා.
“සොරි ඩබලට ඩිස්ටර්බ් කරනවට. ඒත් අපිට සහ සුද්දෙන්ම දැනගන්න දෙයක් තියෙනවා දෙන්නගෙන්ම.”
“මොකක්ද බං....?”
“සොරි දිලිනි මිස්.... ඒත් අපිට දැනගන්න ඕනේ දැන් දෙන්නා මොනවද කරන්න යන්නේ කියලා.”
“මුලින්ම අමිල, මට මිස් කියන එක නවත්තන්න. මම තවදුරටත් ටීචර් කෙනෙක්වත්, ඔය දෙන්නගේ මිස් කෙනෙක්වත් නෙවෙයි. මම ඔය දෙන්න‍ගේ හොඳම යාළුවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මට නම කියන්න. ප්ලීස්. ඔයාලා යාළුවට කතා කරන විදිහටම මටත් කතා කරනවනම් මම කැමතියි.”
“අපෝ දිලිනි... අපි මූට කතා කරන්නේ බූරුවා, ගොනා, මැට්ටා කියලා. ඔයත් කැමතිද?”
“ඇයි කාවින්දට බූරුවා, මෝඩයා කියන්නේ?” දිලිනි කොරවෙන ප්‍රශ්ණයක් ඇහුවා.
කවදත් කට හින්දා ඇදගෙන නාන අමිලගේ කට ආයෙත් ඉස්සර වුනා.
“මේකයි දිලිනි, මෙච්චර ප්‍රශ්ණ වෙද්දිත් අපි කියන දේවල කනකට ගන්නේ නැතුව ලව් කරන නිසා අපි ඌට එහෙම කියන්නේ.”
“ඇයි, ලව් කරන එක වැරැද්දක්ද?” අද නම් දිලිනි අමිලට දෙයි වගේ ඇ‍ඬෙන්න.
“නෑ... ඒත් මූ ලව් කරන විදිහ පිස්සුවක්... කෙල්ලෙක් නිසා ඔයා තරම් ගොන් වැඩ කරන්න හොඳ නෑ....”
“ඔයාල කාට හරි කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරලා තියෙනවද?” දිලිනිගෙන් උන් දෙන්නටම ලැජ්ජා හිතෙන ප්‍රශ්ණයක්.
“නෑ දිලිනි.. ඇත්තටම අපිට කෙල්ලෝ නෑ....”
“එහෙනම් එහෙම කරන දවසක මගෙන් ඔය ප්‍රශ්ණේ අහන්න. තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. .තමන්ට මොනව වුනත් ආදරේ කරන කෙනා හොඳින් ඉන්න ඕනේ කියන එක තමයි නියම ආදරේ කියන්නේ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් තමන්ගේ හැම දේම කැප කරන්නේ ආදරේදි විතරයි.”
දිලිනි උන් දෙන්නගෙම කටවල් වහලා දැම්මා.
සචියා උඩ බලාගෙන ඉන්නවා මොනව කියන්නද නොදැන.
“හරි ඒක නෙවෙයි සචිත්‍ර... ඔය දෙන්නා කතා කරන්න ඕනේ කිව්වේ මොනව ගැනද?”
ඌ මගේ දිහා බලලා කතා කළා.
“මේකයි කාවා.... දැන් උඹල දෙන්න ආදරේ කරනවනේ.. ඒක ඇත්තක්. ඒත් ඉන් පස්සේ?”
“අපි බඳිනවා..” මම කිව්වා.
“කවදද?”
“දන්නෑ... පුළුවන් ‍වුන පලවෙනි දවසේ අපි බඳිනවා.”
“කවදද බං උඹලට පුළුවන් වෙන්නේ....? මම මේ අහන්නේ අපිත් මේකේ තේරුම දැනගන්න ඕනේ නිසා. අපිත් උඹල දෙන්නගෙම දෙමව්පියන්ට හොරෙන් උඹලට උදව් කරනවා. ඒත් මේව කවදා වෙනකම් කරන්නද? ආයෙත් ගෙවල් වලින් දැනගත්ත දවසට....?”
‍”මේකයි සචිත්‍ර. මමයි කාවින්දයි ආදරේ කරන එක ඇත්ත. ඒත් අපිට බෑ කිසිම කෙනෙකුගේ හිත රිදවලා බඳින්න. ඒකට අපිට බලා ඉන්න වෙනවා. මුලින්ම කාවින්ද සනීප වෙන්න ඕනේ. ඊට පස්සේ එයා රස්සාවක් කරන්න ඕනේ... නැත්නම බිස්නස් එකක්.... සල්ලි ටිකක් හොයාගන්න ඕනේ... ඊට පස්සේ ආයෙත් අම්මලාට කතා කරලා බලන්න ඕනේ. ඒකට ටික කාලයක් යයි.” දිලිනි කිව්වා.
“දිලිනි... ඔයාගේ විෂන් එක නම් හොඳයි.... ඒත් ඔය තරම් කාලයක් කොහොමද මේක ඔය ‍දෙන්නා හංගගෙන ඉන්නේ?” අමිල කිව්වා.
“ඒත් අමිල, කොච්චර කාලයක් හරි බලා ඉන්න වෙනවා. අපි කරන ‍දේ හරියටම කරන්න ඕනේ. මගේ තාත්ත‍ගේ දේපල වලට එකම අයිතිය තියෙන්නේ මට. මට සහෝදර සහොදරියෝ නෑ. ඒ නිසා ඒ හැම දෙයක්ම මගේ. හදිස්සි වෙලා ඒවා නැතිකරගන්නවට වඩා පරිස්සමින් බලා ඉඳලා ප්‍රශ්ණ විසඳගන්නයි මට ඕනේ.”
“අන්න කාවා... දිලිනිගේ කතාවනම් නියමයි. ඒක තමයි වෙන්න ඕනේ.... බැඳලා උඹලා ජීවත් වෙන්න ඕනේ... එතකොට මෙ දිලිනිට අයිති දේපල වෙන උන්ට දෙන්න එපා.”
“කාවා... අපි පොඩ්ඩක් ටවුම පැත්තට යනවා. හරියටම පැය දෙකකින් එනවා.“
එහෙම කියලා උන් දෙන්නා ගියා.
මමයි දිලිනියි ආයෙත් තනි වුනා.
“කාවින්ද, දැන් අපි මොකද කරන්නේ...?“
“මටත් හිතාගන්න බෑ සුදූ.... මට හොඳ වෙන්න කොච්චර කාලයක් යයිද කියන එක උඩ හැමදේම තීරණය වෙනවා.“
“කාවින්ද... ඔයාට තව මාස දෙකක් විතර යනකොට තනියම ඇවිදින්න, ඩ්‍රයිව් කරන්න වගේ දේවල් පුළුවන් වෙනවා කියලා ඩොක්ට යුවා කිව්වා. හැබැයි ඔයා දවසක්වත් මිස් නොකර ෆිසියෝ කරන්න වෙනවා.“
“ඒත් සුදූ..... මට කලින් වගේ දුවන්න බැරි වෙයි.“
“නෑ.... අවුරුද්දක් යනකොට ඔයාට හිටියා වගේම හොඳවෙන බව ඩොක්ට යුවා කිව්වා මතක නැද්ද? ඔයා ස්පෝර්ට්ස් වලට ආස නිසා එහෙමනම් ක්‍රිකට් කරන්න. අපේ කම්පැණි එක මර්කන්ටයිල් ක්‍රිකට් ටූනමන්ට් එක සෙල්ලම් කරනවා කියලා හර්ෂ කිව්වා. ඔයා ඒකට ජොයින් වෙන්න.“
“මම ආසවුනේ ෆුල් ටයිම් ස්පෝර්ට්ස් කරන්න.... අපරාදේ දැන් ඒක හරියන්නේ නෑ. ඩොක්ට මොනව කිව්වත් මට තාම අඩිය තියනකොට බයයි. ආයෙ කවදාවත් ඒ බය නැති වෙන එකක් නෑ.“
“ඔයා මාස දෙකකින් විතර ආයෙත් ජොබ් එකට යන්න. මම ඔයාට ඒක හදලා දෙන්නම්. ඔයා වැඩ හැම දෙයක්ම ඉගෙන ගන්න. අපි හෙමිහිට මේ බිස්නස් ටික ටේක් ඕවර් කරමු. තාත්ති වුනත් දැන් ඉස්සර තරම් තද නෑ.“
“ඔයා හදන්නේ ඇත්තටම මේ බිස්නස් ඔක්කොම අරගන්නද? තාත්තා දෙයිද?“
“එයාට දැන් මේවා වල ආසාවක් නෑ කාවින්ද? එයාට ඉන්න එකම දරුවා මම. මම දැන් මේ වැඩ බලන්න පටන් ගත්තට පස්සේ තාත්ති ඒවා වලින් ටිකෙන් ටික ඈත් වෙනවා. දැන් ඇත්තටම ගෘප් එකේ වැඩ වලින් සියයට හැටක් විතර බලන්නේ මම. මට වැඩ වැඩි නිසා මම ශලනිගේ හස්බන්වත් ගත්තා. එයා හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්.“
“එතකොට..“
“දැන් තාත්ති මට කියලා තියෙන්නේ මගේම මැනේජ්මන්ට් ටීම් එකකුත් හදාගන්න කියලා. තාත්තගේ මිනිස්සු තුන් දෙනෙක් මේ අවුරුද්දේ රිටයර් වෙනවා. ඒ වේකන්සි වලට දැන්මම මගේ කට්ටිය හදාගන්න කියලා තාත්ති අවසර දුන්නා.“
“ඔයා මොකද කරන්න යන්නේ?“
“මම මගේ ටීම් එක හදාගන්නවා කාවින්ද... ඒකෙ ඔයත් ඉන්නවා. ඒකයි මම ඔයාට කිව්වේ එක්පීරියන්ස් ගන්න කියලා. කොහෙද අර කෙල්ලෙක් පස්සේ ගිහිල්ලා කකුල කඩා ගත්තනේ.“
“කව්ද දන්නෑ පස්සෙන් ආවේ... මට ගෙදරට වෙලා ඉන්න නොදී, කාවින්ද මට අරෙහෙ යන්න තියෙනවා, මෙහේ යන්න තියෙනවා, මාව එක්ක යන්න බැරිද කිය කිය මාව ගෙන්නගෙන....“
“අනේ කාවින්ද මතක් වෙනකොටත් දුකයි. ඇත්තටම මම ඔයාට පුදුම විදිහට වද දුන්නා නේද?“
“අප්පා..... නැතුව... එහෙම වදයක්... මට පැයක් ගෙදරට වෙලා ඉන්න නෑ..... මොකක් හරි බොරුවක් කියලා ගෙන්න ගන්නවා.“
“ඇත්ත... ඒත් ඒ කාලේ මම හරිම සැහැල්ලුවෙන් හිටියා කාවින්ද. ඔයා ළඟ ඉන්නකොට මම පුදුම සතුටකින් හිටියේ.... ඒත් දැන් මගේ හිත බයවෙලා. ඒ මට ඔයා නැති වෙයිද කියන බය.“
“බය වෙන්න එපා.... එහෙම වෙන්නේ නැහැ. අපි දෙන්නා පුළුවන් තරම් ඉවසලා හැම දෙයක්ම කූල් ඩවුන් වෙන්න දෙමු. දැන් හැම දේම ඇවිස්සිලා තියෙන්නේ... ඒක ටිකක් යට යනකං අපි ඉමු.“
“ඔයා කියන ඕනෙම දේකට මම කැමතියි කාවින්ද.... අපි, අපි දෙන්නට හොඳම දේ කරමු.“

Wednesday, October 18, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 97



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



97.

මම ලංකාවෙන් ගිහිල්ලා හරියටම මාස තුන හමාරකට පස්සේ මම නැවතත් ලංකාවට ආවා.
එයාර් පෝට් එකට අම්මයි තාත්තයි, කොල්ලෝ සෙට් එකමයි ඇවිත් හිටියා.
ලංකාවෙන් ගිය කාවින්දගෙන් කාලක් විතර සයිස් කාවින්ද කෙනෙක් ආපහු ලංකාවට එනවා දැකපු කාටවත් අදහාගන්න බැරිවුන බව උන්ගේ ඇස් වලින් මම දැක්කා. ඇත්තටම එන්නේ මේ කාවින්දමද කියන ප්‍රශ්ණාර්තේ උන්ගේ ඇස්වල මම දැක්කා.
කොල්ලෝ සෙට් එකම මාව වටකරගත්තේ අම්මටයි, තාත්තටයිවත් ඉඩක් නොදී.
“කාවා... උඹ ආව එක ලොකු දෙයක්... ඒත් බං උඹව අඳුරන්නවත් බෑ.... හිටියයිං බාගයක්වත් නෑ බං.... යකෝ.... බලාගෙන ඉන්න බෑ බං උඹ දිහා....“ අමිල ඇත්තටම දුකෙන් කිව්වා.
“ගණන් ගන්න එපා බං... ඒව හරියයි....“
එදා හැමෝම අපේ ගෙදර ආවා. ගොඩක් රෑ වුන නිසා අමිලයි, සචියයි, අපේ ගෙදරම නැවතුනා. අනිත් උන් ටික තැන් තැන් වලින් බස්සගෙන ආව නිසා ප්‍රශ්ණයක් වුනේ නෑ.
පහුවෙනිදා උදේ නැගිට්ට ගමන් මට පුදුම සනීපයක් දැනුනා. මොන තරම් පහසුකම් තිබුණත් කොහේ ගියත් ගෙදර මගේ කාමරේ වගේ නෑ. මට හිතුනා.
ඊට පස්සේ මගේ ඔළුවට ආවේ දිලිනි. මට ටික වෙලාවකට දිලිනි එක්ක තනි වෙන්න ලොකු ඕනේ කමක් තිබුණා. කතා කරලා විසඳගන්න ගොඩක් දේවල් තියෙනවා.
“මොකද කාවා ඉඳගෙන කල්පනා කරන්නේ?“ සචියගේ ප්‍රශ්ණෙන් මම පියවි ලෝකෙට ආවා.
“ම්... මම කල්පනා කළේ ඉස්සරට මොනවද කරන්නේ කියලා.“
“මොනව කල්පනා කරන්නද, දිලිනි උඹට ජොබක් සෙට් කරලා දෙයි. අනික ඇත්තටම නම් උඹට ජොබ් එකක් ඕනේ නෑ... කොහොමත් ඒ දේවල් උඹටනේ.“
“මගුලක් කියවන්න එපා බං.... ඒව මට වැඩක් නෑ... මම කල්පනා කළේ ඒවා නෙවෙයි...“
“එහෙනම්.?“
“අම්මා මේ ගැන කිසිම බුරුලක් දෙන්නෑ බං.....“
“ඔව්... ඒක ෂුවර්.... ඉතින්...“
“මට දිලිනි නැති කරගන්න බෑ... අම්මා නැති කරගන්නත් බෑ.....“
“යකෝ.... ටික කාලයක් සයිලන්ට් හිටපං....... සනීප වෙයං.... ඊට පස්සේ ජොබ් එකට ගිහින් සෙට්ල් වෙයං.... ඊටත් පස්සේ බලපං කෙල්ලව ගේන්නේ කොහොමද කියලා.“
එක අතකට සචියා කියන එකත් හරි.... දැන්ම හදිස්සි නොවී හිටියනම් හරි...
මම නැගිටලා දිලිනිට කෝල් එකක් ගත්තා.
“හලෝ.... මිස් තාරුකා ප්ලීස්...“
“යස්... ස්පීකින්..“
“සුදූ මම“
“මම දන්නවා අනේ... ඔයාගේ එක වචනයක් ඇහුනත් මම දන්නවා ඒ ඔයා කියලා. ඒක නෙවෙයි කාවින්ද... ඔයා දිගටම මට තාරුකා කියන්න.... මම මැරෙන තරමට ආසයි.....“
“අපෝ එහෙනම් බෑ.... ඔයා මැරුණොත්?“
“නෑ.... නෑ..... අනේ....“
“හරි හරි සුදූ.... අද ඉඳලා ඔයා මගේ තාරුකා.“
“ඒක නෙවෙයි කාවින්ද... දැන් කොහොමට ඇඟට...“
“නියමයි...... මාර ෆිට් එකක් තියෙනවා... අනිත් එක මාරාන්තික බඩගින්නක් තියෙනවා හැම වෙලාවෙම...“
“නැතුව තියෙයිද? ඔයා මාස දෙකක්ම ගත්තේ සේලයින් විතරනේ... ඊට පස්සෙත් මාසයක් විතර පොඩි පොඩි දේවල් විතරයි.“
“ඔව්.... ෆීලින්ග් ෆ්‍රෙෂ්... ඒත් මාර වීක් ගතියක් තියෙනවා.“
“ඔයා හොඳට කාලා බීලා ඉන්න... ඩොක්ටර් කිව්වෙත් ඒකනේ. අනේ ඔයාගේ ගෙදරින් මාව පිළිගත්තනම් මම හැම සතියකම ඔයාට චීස්, බටර්, හැම්, බේකන්, බීෆ්, පෝක්, චිකන්, කිරි, බිත්තර, සොසේජස්, විතරක් නෙවෙයි චොක්ලටුත් මල්ලක්ම ගේනවා. කවලම ඔයාව මහත් කරනවා.“
එහෙම කියලා දිලිනි සද්ද නැතිවුනා.
“ඇයි සුදූ.. තව ගේන්න දෙයක් කල්පනා කරනවද?“
“නෑ කාවින්ද... මම දුකයි... මට එහෙම කරන්න බැරි එකට.“
“බය වෙන්න එපා... මගේ අම්මයි, තාත්තයි මට කන්න දෙනවා.“
“ඒක මම දන්නවා... ඒ වුනාට මේක මගේ ආසාව.... මට දුක ඒකයි. මම පණටත් වඩා ආදරේ කරන ඔයා මේ වගේ ඉන්නකොට මට බලන්න එන්න බෑනේ.“
“අපි වෙන විදිහකට හම්බවෙමු.“
“මට එක අතකට හිතයි කාවින්ද ඕනෙ දෙයක් වෙන්න කියලා ඔයාව බලන්න එන්න. බැනලා එලවගත්තත් මට එහෙම කරන්න හිතෙනවා.“
“මේ පිස්සු වැඩ කරන්න එපා. මම සචියට කියලා මොකක් හරි චාන්ස් එකක් ගන්න බලන්නම්. අපි කොහොම හරි හෙට හරි අනිද්ද හරි හම්බ වෙමු.“
“අනේ ඔව් කාවින්ද... මට ඔයාව දකින්නේ නැතුව ඉන්න නම් බෑ...“
“බලමු සුදූ...... මම මොනව හරි කරන්නම්.“
මම ෆෝන් එක තියනකොටම යාළුවෝ දෙන්නා කාමරේට ආවා.
“උඹ නම් බෙල්ල ගහලා ගියත් ලව් එක නම් කරනවා නේද? යකෝ පුදුම ලවක් බං ඒක.... දිලිනි මිස් ටීචර් කියලා නෑ උඹට බොක්කටම ලව් නේද....“
“ඇයි තොට ඉරිසියද?“
“අනේ නෑ... උඹට හරියනවා කියන්නේ අපිටත් හරි යනවා වගේ තමා. උඹ ඕවල අයිතිකාරයා වුනාම ඔය කොම්පැණි වල අපිටත් ජොබක් සෙට් කරලා දෙයිනේ....“
“උඹලට නම් පිස්සු බං.... නොලැබෙන දේවල් ගැන මම හිතන්නේ නෑ...“
“මොන නොලැබෙනද..? දිලිනි පවුලේ එකම කෙල්ල.... තාත්තට කෝටි ගාණක් බිස්නස් තියෙනවා.... උඹ ඒකිව බැන්දොත් ඒව උඹට තමා... තරහ තිබුණට තාත්ත කෙනෙක් ඔය හැම දේම කෙල්ලට නොදී වෙන එවුන්ට දෙන්නෑ.... උඹේ ගොන් මොලේට ඕක තේරෙන්නේ නැද්ද?“
“මට  ඒව ඕන්නෑ...“
“අනේ පලයං යකෝ යන්න ගොන් කතා නොකියා... දෙන දෙයියෝ කටටම දෙනකොට ඒව එපා කියලා ජොබ් කර කර කටු කන්න තොට පිස්සුද? යකෝ, මිනිහෙකුට දෙයක් ලැබෙන්න තියෙනවනම් ඒක ගනින් ගොනා වෙන්නේ නැතුව.“
“යකෝ... උඹල දෙන්න මට බණිනවනේ....“
“නැතුව බං..... උඹ කෙල්ලට ලව් කරලා, රෑ දවල් නැතුව කෙල්ලව ආරක්ෂා කරලා, කෙල්ල ප්‍රශ්ණ වල ඉද්දි බෙල්ල කඩාගෙන උදව් කරලා, අරූ                ගෙන් ගුටි කාලා අබ්බගාත වුනාට පස්සෙත් තාමත් උඹ කියනවද ඒ කිසි දෙයක් එපා කියලා. උඹ ගෙවපු දේවල් ඒවට හිලව් වෙයි යකෝ.. උඹ කාපු කටුවල රිසල්ට් එක තමා ඒවා.“ සචියා කිව්වා.
“ඔව් කාවා... ඇත්ත කියන්නම්, මේ තරම් දේවල් වෙනකොට මම නම් මේක අතෑරලා ගොඩක් කල්.. උඹ ඒ අතින් මේ හැම කට්ටක්ම කාගෙන හිටියා... දැන් ඒක උඹට පේ බැක් කරනකොට එපා කියන්න එපා.“ අමිලයත් අද උපදෙස් දෙනවා.
“එතකොට උඹලා දෙන්නම දැන් කියන්නේ මම දිලිනිව බඳිනවනම් එයාගේ දේපලත් ගන්න ඕනේ කියලද?“
“ඒක තමයි බූරු පුතේ මෙච්චර වෙලා අපි කිව්වේ.... තාත්තා නොදුන්නත් උඹලා දෙන්නා එකතු වෙලා ෆයිට් කරලා ඒවා ගනින්... ඒවා දිලිනිගේ අයිතිය... අනිත් එක උඹ මෙච්චර කටු කාලා, එක එකාගෙන් ගුටි කාලා, කෝමා එකක ඉඳලා, මාස ගාණක් හොස්පිට්ල් වල ලැගලා දුක් විඳලා, ලැබෙන්න තියෙන දේපල එපා කියලා ඩබල ආයෙත් දුක් විඳින්නද යන්නේ...? උඹලා දෙන්නම වෙලාවකට ගොන් බං... දිලිනිත් උඹට හපන්.....“
සචියා කිව්වා.
“ඔව් කාවා... මමත් කියන්නේ ඒක තමයි. උඹ දිලිනිව බඳිනවනම් කෙල්ලට කියපං ඒ දේවල් වලටත් ලෑස්ති වෙන්න කියලා. නැත්නම් උඹලගේ ජීවිතේ ආයෙත් සල්ලි හොයන්න දුක් විඳන්න වෙයි.“
අමිල කිව්වා.
“යකෝ... හැමදාම වල්පල කියෙව්වට උඹලත් යමක් කල්පනා කරලා වැඩ කරනවා නේද....? බලමුකෝ උඹලා කියන දේවල් කරන්න පුළුවන්ද කියලා.“
“බලන්න දෙයක් නෑ කාවා..... කෙල්ල පැනලා ගියත් හිස් අතින් එන්නෑ... ඒක ෂුවර්... කෙල්ලට උඹට වඩා මොලේ තියෙනවා.“
එදා උන් දෙන්නා ගියේ හොඳටම හවස් වෙලා.
ඇත්තටම මට දැන්ම කාමරෙන් එළියට බහින්න බැරි නිසා මේ විදිහට උන් දෙන්නා එනවනම් ලොකු දෙයක්.. නැත්නම් පිස්සු හැදෙයි.
පහුවෙනිදා කොහොමහරි මාව ගෙදරින් එළියට අරන් දිලිනිව මුණගස්සන්න පොරොන්දු වෙලා තමයි උන් දෙන්නා ගියේ.
ඊළඟ දවසේ උදේ ඇහැරුණ ගමන් මම කල්පනා කළේ සචියා මොන ගැටයක් ගහලා ඇද්ද මාව එලියට ගන්න කියන එක.
හරියටම නවට වෙනකොට සචියා අපේ ගෙදර ආවා. අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගිහිල්ලා. දීප නැන්දා විතරයි හිටියේ.
“ආ දීප නැන්දේ... කන්න දෙයක් නැද්ද.....?”
 ආපු ගමන් සචියයි අමිලයි කෑම හොයනවා.
“අනේ ඉන්න.... මම විනාඩි දහයෙන් හදලා දෙන්නම්, කාවින්ද මහත්තයත් තාම කාලා නෑ.”
උන් දෙන්නා පඩිපෙල නැගගෙන උඩට ආවා.
“සචියා.... මොකද කරන්නේ?”
“උඹ බය නැතුව හිටපං.... මම උදේම උඹේ තාත්තට කතා කළා. උඹ කම්මැලි කමේ ඉන්න නිසා අයියගේ රෙස්ටොරන්ට් එකට එක්ක යන්නද ඇහුවා.”
“ඉතින්....”
“මට ෆුල් වගකීම දීලා ඕකේ එක දුන්නා. බලපං... මම සිරා වැදගත් පොරක් නේ... උඹේ වගකීම මට දුන්නේ.”
“මොකක් හරි කමක් නෑ... අපි කීයටද යන්නේ... මම දිලිනිට එන වෙලාව කියන්නම්.”
“පිස්සු කෙලින්න එපා. පොඩ්ඩක් හිටපං... දීප නැන්දගේ බීෆ් කරි එකත් එක්ක ඉඳි ආප්ප පහහක්වත් නොකා ගිහින් වැඩක් නෑ.”
“යකෝ... ඉඳිආප්ප උඹට පණහයි අරූට පනහයි සීයක් හදන්න දීප නැන්දට පැයක්වත් යයි. ඔන්න ඔය තියෙන දෙයක් කාලා වරෙන් බං....”‍
“බෑ බෑ.... මොනවට හදිස්සි වෙනවද? බඩ කොර වෙන්නම කාලා යමු බං.”
මුන් දෙන්නා කන්න සෙට් වුනොත් ගින්නක් ආවත් නැගිට්ටවනවා බොරු. ඒ නිසා මමත් මේසෙට ඉඳගත්තා.
“මෙන්න ළමයි... කන්න ඇති තරම්.”
දීප නැන්දා ඉඳිආප්ප සීයක් විතර එක පාර අරන් ආවා.
“දීප නැන්ද කොහොමද අප්පේ මේ විනාඩි පහට ඉඳිආප්ප මෙච්චර ගොඩක් තැම්බුවේ.” අමිලයා කොර වෙලා ඇහුවා.
“මම උදේම තම්බලා තිබුණේ... ලොකු මහත්තයා කිව්වා. කාවින්ද මහත්තයාව එක්ක යන්න මේ දෙන්නා එනවා කියලා. ඉතින් මම දන්නවනේ දෙන්නා එන්නේ බඩගින්නේ කියලා. ඉතින් මම කලින්ම හදලා තිබුණා.”
දීප නැන්ද ඒක කිව්වේ නෝන්ඩියටද නැද්ද කියලා හිතා ගන්න බැරුව උන් දෙන්නා උඩ බිම බලනවා.
මම සචියගේ කණට කරලා කතා කළා.
“ඕක තමයි තොපිට කියන්නේ මල පෙරේ‍තයෝ වගේ කන්න එපා කියලා. කොහොමද නෝන්ඩිය... අහගත්තා නේද...?”
අමිලයත් අපි දෙන්නා ලඟට නැමුනා.
“අඩෝ මේ... දීප නැන්දා ඒක නම් කිව්වා කාපුවා එකපාරින්ම දිරවන්න. ෂික්... නෝන්ඩියේ බෑ. වනේ වන හතුරෙකුටවත් මේ වගේ නව නිංගිරාවක් වෙන්න එපා දෙයියනේ..”
අමිලයා කියවනවා.
ගොඩක් ලොකු බලාපොරොත්තුවකින් මම එරංග අයියගේ රෙස්ටොරන්ට් එකට ගියා.