Friday, April 20, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 126



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි







126

ඊළඟ දවසේ උදේ මම නැගිට්ට ගමන් ප්ලෑන් එකක් කල්පනා කළා.

මොනව කරන්නත් තියෙන්නේ මාසයයි.

එකක් එරංග අයියගේ හොටෙල් එකේ වැඩේ ගොඩ දාලා දෙන්න ඕනේ. ඒක නම් දැනටම ගොඩක් දුරට ඉවරයි. සචියයි අමිලයි එකතු වෙලා මම හදලා දීපු ක්‍රමයට මැනේජ්මන්ට් එක ලස්සනට කරගෙන යනවා.

දෙවෙනි එක දිලිනි ඉන්න තැනක් දැනගන්න එක. එකම ක්‍රමයයි තියෙන්නේ.... ගිහාන්ගෙන් අහන එක. මට සියයට සියයක් විශ්වාසයි ගිහාන් දිලිනි ගැන මොනවම හරි දන්නවා. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ අර සචියා කියනවා වගේ ඌත් මං වගේම කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නැති තමන් හරියි කියලා හිතන දේම කරන මුරණ්ඩු යකෙක්. ඒ නිසා උගෙන් හොඳින් ඇහුවා කියල නම් කිසිම දෙයක් දැනගන්න බෑ. ඒ කියන්නේ වෙන ක්‍රමයක් පාවිච්චි කරලා අහන්න වෙනවා. සචියගෙනුයි අමිලගෙනුයි ඒකට උදව් ගන්න වෙනවා.

ඒ නිසා මම කල්පනා කරන එක පැත්තක තියලා හොටෙල් එකට යන්න ලෑස්ති වුනා.

ඇත්තටම දැන් හොටෙල් එකේ වැඩ ලස්සකට වෙනවා. ඉස්සර වගේ කව්රුත් පීඩනයකින් වැඩ කරන්නේ නෑ. ඒ නිසා හැමෝම සතුටින් වැඩ කරනවා. මටත් ඕන වුනේ ඒක. වැඩ කරන අය සතුටින් වැඩ කරනකොට තමයි නියම සර්විස් එක එන්නේ. මම හදපු ක්‍රමයට නිසා ඒ වැඩේ ලේසි වුනා. ඇත්තට මට තිබුණේ පැත්තකට වෙලා වැඩ යන විදිහ බලාගෙන ඉන්න එක. ඉඳලා හිටලා විශේෂ දෙයක් දැනගන්න ඕනේ වුනොත් මිසක් මාව වැඩක්ම නැති වුනා. ඇත්තටම ඒ ගෞරවය දෙන්න ඕනේ සචියටයි අමිලටයි.

සෑ හෙන කාලෙකට පස්සේ එදා එරංග අයියා හොටෙල් එකට ආවා.

“මල්ලි වැඩේ ලස්සනට වෙනවා නේද... අපේ මල්ලි මට කිව්වා. උඹනම් මාර පොරක් බං....”
“ඇයි අයියේ?”

“නෑ මේ ටික කාලෙට උඹ මේ ඔක්කොම කරපු එකම මදෑ.”

“අයියෝ ඒ ගැන ප්‍රශ්ණයක් නෑ... ඔයාගේ ස්ටාෆ් එක හොඳයි... වැඩේට සම්පූර්ණ සහයෝගය දුන්නා. සචියයි අමිලයි නම් සම්පූර්ණයෙන්ම සපෝට් එක දුන්නා. උන් දෙන්නා දවල් රෑ නැතුව වැඩ කළා. ඉතින් අවුලක් නෑ. මම කළේ පොඩි දෙයක් විතරයි. වැඩ වෙන්න ඕනේ විදිහ පෙන්නලා දීපු එක.”

“ඒක තමා කාවින්ද මල්ලි වටින්නේ... උඹ දිගටම මෙහේ වැඩ කරපං... හොටෙල් එකේ අළුතින් හදපු කාමර ටික අපි ලබන සතියේ ඕපන් කරමු. ඊට පස්සේ මගේ තව අයිඩියා එකක් තියෙනවා අනුරාධපුරේ හොටෙල් එකක් කරන්න. උඹට ඒකත් බාර අරන් කරන්න පුළුවන්. මම දෙකෙන්ම පඩි දෙන්නම්.”

“අනුරාධපුරේ... අයියා මේ ඇති නේද? තව ඒවා අරන් කරන්නේ කොහොමද?”

“අපි කොහොම හරි කරමු බං.... මම මේ ෆීල්ඩ් එකට ආසයි. සල්ලිම නෙවෙයි,... මගේ හීනේ කවදාහරි මේ රට වටේම මගේ හොටෙල් තියෙන එක.”

“අම්මා.... නරක නෑ බිස්නස් අයිඩියා එක.... ඒත් ඔච්චර වැඩ ඔළුවට දාගන්න එපා... ජීවිතේ කිසිම නිදහසක් නැති වෙයි.”

“එහෙම වෙන්නෑ කාවින්ද මල්ලි... මේක සල්ලි වලට වඩා මගේ ආසාව... මගේ හීනේ. ඒකයි මම උඹට කියන්නේ දිගටම මාත් එක්ක ඉන්න කියලා.”

“බලමු අයියේ.. දැනට මම කරගෙන යන්නම්. තාම වෙන දෙයක් කරන්න මගේ අයිඩියා එකක් නෑ. ඒත් මට යන්න හිතෙන දවසට අයියා මට යන්න දෙන්න ඕනේ. ඒ පොරොන්දුව රකිනවානම් මම මට ඇතිවෙනකම් අයියා එක්ක වැඩ කරන්නම්.”

“උඹ නම් මාර අවුල් කේස් එකක් බං... ඒ පාර මොනවද කරන්න හදන්නේ... හරි කමක් නෑ.... උඹගේ කන්ඩිෂන් වලට එකඟයි...”

ඇත්තටම මගේ අදහස වුනේ ටික දවසකින් මේකෙන් අයින්වෙලා දිලිනි හොයන වැඩේ පටන් ගන්න. ඒකට මට ගිහාන්ව හොයාගන්න වෙනවා මුලින්ම. ඌ තව කී කාලයක් ලංකාවේ ඉඳීද දන්නේ නැති නිසා ඉක්මන් වෙන්න වෙනවා. හොටෙල් එකේ වැඩ එක්ක ඒක කරන්න අමාරුයි.

කොහොම වුනත් මම සචියව මේ හැමදේටම පුරුදු කළා. මොන හේතුවකට හරි මට යන්න වුනොත් සචියට පුළුවන් දැන් මගේ වැඩ ටික කරගෙන යන්න.

මේ හැම වැඩක්ම අතරේ මාලිකාත් හැමදාම වගේ මට කෝල් කළා. දවස් කීපයකට වතාවක් අපි හම්බවෙලා කතා කළා.

ඒ අතරේ එක දවසක් මම මාලිකාව දිලිනි මට දුන්න ගෙදරට එක්කගෙන ගියා.

“කාවින්ද.... මේ ගේ කාගෙද?”

“මගේ....”

“මට පැහැදිලි නෑ... ඔයාගේ අම්මා ඔහොම කතාවක් මට කිව්වෙ නෑනේ.”

“මේක මගේ යාළුවෙකුගේ.... එයා ලංකාවෙන් ගියා ආයෙත් නොඑන්නම.. ඉතින් ගේ මට දීලා ගියා.”

“ඒක වෙන්න පුළුවන් දෙයක්ද කාවින්ද... යාළුවෙක් පිටරට යනවා නම් නොඑන්නම් ගේ විකුණලා සල්ලි අරගෙන යයි... ඒත් ඇයි කෙනෙක් එහෙම නොකර මේක ඔයාට දීලා යන්නේ.”

‘අනේ මාලිකා මේ... ඔයා ලෝයර් කෙනෙක් උසාවියේ ප්‍රශ්ණ අහනවා වගේ මගෙන් ප්‍රශ්ණ අහන්න එපා. දැන් මේක මගේ... මම කාවවත් බය කරලා වත් රවට්ටලා වත් නෙවෙයි ගත්තේ. මට තෑග්ගක් හම්බවුන එකක්. ඒ නිසා ප්‍රශ්ණ අහන්නේ නැතුව ඉන්න. ප්ලීස්.”

“සොරි... ඔයාව අවිශ්වාස කළා නෙවෙයි.... ඒත් මේක මට විශ්වාස කරන්න අමාරුයි. මේ තරම් හොඳ ලස්සන ගෙයක් ඔයාට ලැබුණා කිව්වහම. කොහොම වුනත් කමක් නෑ.... ඔයා ගේ නම් ලස්සනට තියාගෙන ඉන්නවා.”

‘මට ලැබෙනකොටත් මේක මෙහෙමම තිබුණේ.... මේ බඩු මුට්ටුත් එක්ක....”

“නියමයිනේ... ඔයා නම් මාර වාසනාවන්තයි.”

මාලිකා එහෙම කිව්වත් හැම දෙයක් දිහාම සැකෙන් බලනවා මම දැක්කා.

“ඒක නෙවෙයි කාවින්ද ඔයාගේ මේ යාළුවා ගෑණූ කෙනෙක් නේද?”

“ඇයි...?”

“නෑ මට ඒක බැලුවාම තේරෙනවා. කොල්ලෙකුට බෑ මේ වගේ ගෙයක් මෙච්චර ලස්සනට තියාගෙන ඉන්න... කෙල්ලෙක් වුනත් එයා හරිම ස්පෙෂල් කෙනෙක් වෙන්න ඇති... නැත්නම් ලංකාවේ මේ කොලිටි එකට ගෙයක් නඩත්තු කරන්න ලේසි නෑ.”

“ඔව්.. එයා විශේෂ කෙනෙක් තමා. මම කලින් යාළු වෙලා හිටපු ගෑණු ළමයා...”

“කව්ද.... අර.... අම්මා කිව්වේ....”

“ඔව්... එයා තමා.... අම්මා නම් ඔයත් එක්ක එයාට බනින්න ඇති දහ අතේ... හැබැයි මේ කාර් එකයි ගේයි දෙකම එයා මගේ නමට ලියලා තමයි ගිහින් තියෙන්නේ. මම කැමැත්තෙන් හිටියේ නෑ මේවා පාවිච්චි කරන්න... ඒත් එයා මට දීපු දෙයක් විකුණන්න අයිතියක් මට නෑ. පාවිච්චි නොකළොත් නාස්ති වෙනවා. ඒ නිසා මම හිතාගත්ත ඒවා පාවිච්චි කරන්න.”

“පුදුම කෙනෙක්.... ඔයා දැන් එයා ගැන මොකද හිතන්නේ කාවින්ද?”

“හිතන්න දෙයක් නෑ... එයා ආයෙත් එන්නේ නෑ.... එනවනම් එන්න කල් හොඳටම ඇති. ඒ නිසා මම දැන් ඒ ගැන වැඩිය හිතන්නේ නෑ.. අනික ආවත් මගේ අම්මා කැමති වෙන්නෙ නෑ මේකට... ඒ නිසා වැඩක් නෑ... අපි අමතක කරලා දාමු.”

“එතකොට අම්මා මේ ගේ ගැන, කාර් එක ගැන දන්නේ නැද්ද?”

“නෑ... ප්ලීස් ඔයත් කියන්න එපා ඒවා කාගෙද කියලා. මේක මම ඔයාට කිව්වේ මට ඔයාව විශ්වාස නිසා.”

හොටෙල් එකේ වැඩයි, මාලිකා එක්ක ගත කරපු දවසුයි නිසා හරියටම මාසයක් ගතවෙන කොටත් මට දිලිනිව හොයන එක ගැන කිසිම දෙයක් කරන්න බැරි වුනා. ලොකුම හේතුව වුනේ ගිහාන් ලංකාවෙන් යන්න ගිහිල්ලා තිබුණ එක.

ඒ සති අන්තයේ සෙනසුරාදා, අම්මා මට කෝල් එකක් දාලා ගෙදර ගෙන්නා ගත්තා.

“පුතා... ලෑස්ති වෙන්න මාලිකා දරුවගේ ගෙදර යන්න... ඔයාගේ තීරණය අපිට දැනගන්න කාලේ දැන් හරි.”

අම්මා එහෙම කිව්වහම මට හිතුනා තවත් මේක ඇදගෙන ගිහින් වැඩක් නෑ කියලා. ඒ නිසා මම කතාබහක් නැතුවම ලෑස්ති වෙලා... කාර් එකට නැගලා අම්මයි තාත්තයි එක්ක පිටත් වුනා.

මාලිකාගේ අම්මා අපිව ආදරයෙන් පිළිගත්තා. අම්මලා කතා කරන අතරේ මම මාලිකාත් එක්ක පැත්තකට වුනා.

“මාලිකා.... මම දැන් මොනවද කියන්න ඕනේ...?”

“ඔයානේ තීරණය කරනවා කිව්වේ... ඔයා කියන්න ඔයා මට කැමතිද නැද්ද කියලා.”

“ඒ වුනාට මට තීරණයක් ගන්න බැරිවුනා මාලිකා.”

“එහෙනම් අදත් මොනවත් නොකියා යන්න.”

“එහෙම නෙවෙයි ඩාලිං.... ඔයාගේ අදහස මොකක්ද අපි දෙන්නා ගැන. අපි දෙන්න ගැලපෙනවද? මැරි කරලා අපිට ජීවිත කාලෙම ආදරෙන් ඉන්න පුළුවන් වෙයිද?”

“ඇයි කාවින්ද ඔයා ඕව මගෙන් අහන්නේ..... ඔයා තමයි තීරණය කරන්න ඕනේ. මොකද ඔය ප්‍රශ්ණ හැම එකකටම මම ඔයාව අඳුරගෙන ටික දවසකින්ම උත්තර හොයා ගත්තා.”

“හරි... හරි.... කියන්නකෝ මොනවද ඒ උත්තර.”

“උත්තරේ හැම එකකටම ඔව් කියන එක.”

“ඔයාට මාව විශ්වාසද මාලිකා....”

“ඔව්.... ඔයා හිතේ එකක් තියාගෙන තව එකක් කරන ජාතියේ කෙනෙක් නොවන බව මම හොඳටම දන්නවා. ඒ නිසා මට ඔයාව විශ්වාසයි. අනිත් එක කාවින්ද.... ඔයාගේ හැම දේකටම මම ආදරය කරන්න පටන් අරන් ගොඩක් කල්.”

මාලිකා ඒක කෙලින්ම කියලා දැම්මා. ඒ කියන්නේ දැන් මම තමා කිසිම තීරණයක් නැතුව වැනෙන එකා. කල්පනා කරපං හිත... කල්පනා කරපං...

අපි කතා කර කර ඉන්න අතරේ මාලිකාගේ නංගි ඇවිත් අපිට තේ බොන්න කතා කළා.
ඒත් එක්කම මාලිකා මගේ අතින් ඇදගෙන ගේ ඇතුලට ආවා.

“ඔන්න උත්තර දෙන්න අපේ අම්මට.... එකක් මතක තියාගන්න... මම ඔයාව දැක්ක පලවෙනි දවසේ ඉඳලාම ඔයාට කැමති වුනා. ඔයාට ආදරේ කළා.”

මාලිකා මගේ කණට කරලා කිව්වා.

මම රූකඩයක් වගේ ඉඳගත්තා. ජීවිතේ කවදාවත් මේ වගේ තත්වෙකට මම පත්වෙලා නෑ. සචියා දැක්කනම් මම ඉන්න විදිහ ඌ කටින් නෙවෙයි අනිත් පැත්තෙනුත් හිනා වෙයි.
“පුතා එන්න තේකක් බොමු...” මාලිකාගේ අම්මා මට ආදරෙන් කතා කළා.

ඒ අතරේ මාලිකාගේ තාත්තා මට කතා කළා.

“පුතා... දැන් මාසයක් ගතවුනා... ඔයාට පුළුවන් වුනාට තීරණයක් ගන්න. නැත්නම් තව කල් ඕනෙද?”

“නෑ එපා අංකල්.... මම කැමතියි මාලිකාව මැරි කරන්න....!!!!!!”


6 comments:

  1. ඔන්න ඔහෙ මාලිකාව බැඳලා සෙට්ල් වෙන්න කාවින්ද. ගුටි කෑවා මදෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිතාගෙන හිටියේ.......
      බලමු මොකද වෙන්නේ කියලා......!!!

      Delete