Wednesday, April 11, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 122




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි






122

මාලිකාව ගත්තට පස්සේ මම වාහනේ හීරැස්සගල පැත්තට හැරෙව්වා.

“මාලිකා... අපි ල කැන්ඩියන් යමු. එතන ලස්සනයි, නිවි සැනසිල්ලේ කතා කරලා ලන්ච් එක ගන්නත් පුළුවන්.”

“ප්‍රශ්ණයක් නෑ කාවින්ද... ඔයා කැමති විදිහක්.”

අපි දෙන්නා හොටෙල් එකට ඇවිත් කෑම වෙලාව එනකම් ගාර්ඩ්න් එකේ තිබුණ පුටු දෙකක ඉඳ ගත්තා.

“ඉතින්.....” මම ඇහුවා...

මේසෙට බරවෙලා, කම්මුලට අත් දෙක තියාගෙන මාලිකා මගේ දිහා බලාගෙන හිටියා.

“කාවින්ද... අපි අඳුරගෙන දැන් මාස දෙකක් වෙනවා... මම තාම ඔයා ගැන දන්නේ බොහොම ටිකයි කාවින්ද... ඔයා කිසිම දවසක ඔයා ඉදිරියේදි කරන්න හිතාගෙන ඉන්නේ මොනවද කියලා මට කියලා නෑ.”

“මේකයි.... මට එහෙම ලොකු ප්ලෑන් එකක් නෑ.. දැනට තියෙන ආසන්නම ප්ලෑන් එක තමයි ලබන මාසේ අපහු ඇමරිකාවට යන එක. මම පී ආර් එක අරගත්ත ගමන්ම නිසා ආපහු ගිහින් ටිකක් ඉන්න ඕනේ.. නැත්නම් ප්‍රශ්ණ වෙන්න ඉඩ තියෙනවා.”

“එතකොට ඔයා ලංකාවට එන්නේ නෑ.”

“එනවා.”

“එතකොට ඔයා ඉගෙනගත්ත දේට ගැලපෙන රස්සාවක් කරන්න ඕනේ නේද? අනිත් එක ඒ කාලේ ඇතුලත ලංකාවට එන්න බෑ නේද?”

“ජොබ් එක ගැන කියනවනම් ඒක ඉෂූ එකක් නෙවෙයි. මම කරන්නේ මට කැමති ජොබ් එක...”

“ඔයා ඇත්තටම මැනේජ්මන්ට් වලට ගැලපෙන ජොබ් එකක් හොයා ගත්තා නම් නරකද?”

“මාලිකා... ඔයා හිතන්නේ ඇමරිකාවේ එහෙම ලේසියෙන් ඒ වගේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියලද? ඒක ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන් අපි වගේ ආසියාවේ අයට ඒක අමාරුයි.”

“ඒ වුනාට කාවින්ද ඔයා ඉගෙන ගත්ත දේ අපරාදෙනේ.”

“මාලිකා... මම ඉගෙන ගත්තේ මැනේජ්මන්ට් සයන්ස්. ඒක ඕනෙම තැනකට අදාලයි. ඇමරිකාවේ මේක කරන්නේ තියරි වලට නෙවෙයි... ප්‍රායෝගිකව... උන් ඒකට කියන්නේ ඇත්තටම ප්‍රැක්ටිකල් මැනේජ්මන්ට් කියලා. ඒ නිසා මම මොන ජොබ් එක කළත් ඒක මට වැදගත් වෙනවා.”

“ඒ කියන්නේ ඔයා ආයෙත් අර පබ් එකේ රස්සාවට යනවද? ඒක වැදගත් රස්සාවක් නෙවෙයිනේ කාවින්ද?”

බලාගෙන ගියාම මාලිකා දිලිනි ගෙන් වෙනස් වෙන්නේ මේ වගේ දේවල් නිසා. දිලිනි කිසිම දාක කිසිම කෙනෙක් ව පහත් කරලා කතා කරලා නෑ. කරන්නෙත් නෑ... ඒත් මෙයා මිනිස්සුන්ගේ රස්සාවත් වැදගත් නොවැදගත් කියලා මනිනවා.

“කොහේද මාලිකා වැදගත් රස්සාවල් කියලයි නොවැදගත් රස්සවල් කියලයි රස්සා වර්ග දෙකක් තියෙන්නේ... මම නම් විශ්වාස කරන විදිහට හැම රස්සාවක්ම වැදගත්. අඩු තරමේ ඇමරිකාවේ එහෙමයි. එහේ කම්පැනි සීඊඕ කෙනෙකුට තියෙන වැදගත් කමම ජැනිටර් (පිරිසිදු කරන සේවකයින්) කෙනෙකුටත් තියෙනවා කියලා මිනිස්සු පිළිගන්නවා. ඒ රටවල ඒ හැමෝම සමානයි. කාගෙවත් රස්සාවක් පහත් කරන්නේ නෑ.”

“ඒ වුනාට ලංකාවේ එහෙම හිතන්නේ නැහැනේ.”

“මම දන්නවා ඔයා කියන දේ මාලිකා. ඔයා ලෝයර් කෙනෙක් විදහට බලන්නේ වෙනම විදිහකට. ඔයාට කියලා නඩුවක් කතා කරගන්න එන දුප්පත් අහිංසක මනුස්සයෙක් ඔයාට කතා කරන්න ඕනේ මැඩම් කියලා, නැත්නම් නෝනා කියලා. නම කියලා කතා කළොත් ඉවරයි... අඩුගානේ මිස් කියන්නවත් බෑ. හැබැයි සල්ලි තියෙන කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි ආවොත් ඔයාලා ඒයාට සර් හරි මැඩම් හරි කියනවා. ඒත් ඒ හැමෝම කස්ටමර්ලා නිසා ඔයා තමා එයාලට සර්, මැඩම්, මෑම්, නැත්නම් මිස් කියන්න ඕනේ. ඒත් එහෙම කියන්න ඔයාගේ හිත නැමෙන්නේ නෑ. නීතීඥකම කියන්නෙ ස්ටේටස් තියෙන රස්සාවක් ඒ නිසා අනිත් මිනිස්සු ඔයාලා ඉස්සරහ ටිකක් බයෙන් ඉන්න ඕනේ... අන්න ඒ වගේ සංකල්පයක් තමා ඔයාලට තියෙන්නේ.”

“හරි... ඔයා කියන්නේ ඕක අනවශ්‍ය දෙයක් කියලද?”

“එකෙන්ම ඔව්.... මගෙන් වැඩක් කරවගන්න එන ඕනෙම කස්ටමර් කෙනෙක්ට මම නම් සලකන්නේ එකම විදිහට. දුප්පත් අහිංසකයෙක් ආවත් මම සර් කියලා පිළිගන්නවා. අපි හැමෝම මිනිස්සු මාලිකා. අපි හැමෝටම මේ ලෝකේ කරදරයක් නැතුව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මට නම් කොයි රස්සාවත් එකයි.”

“මට නම් ඔයාව තේරුම් ගන්න අමාරුයි කාවින්ද... එතකොට ඔයාට මේ ලංකාවේ පිළිගන්න සම්මත කිසිම දෙයක් වැඩක් නැද්ද?”

“පුහු විකාර නම් වැඩක් නෑ... ඔයාම හිතන්න මාලිකා. මම ඇමරිකාවට ගිහින් මොකද කළේ? ඩිග්රි එක කළා. පාර්ට් ටයිම් වැඩ කළා. මුලින්ම මම වැඩ කළේ සුපර් මාකට් එකක ෆෝක් ලිෆ්ට් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට. එතන හවස පහේ ඉඳලා රෑ දොළහ ෂිෆ්ට් එක තමා මම කළේ. ටික කාළයක් ඒක හොඳට කරපු නිසා මට කැෂියර් කෙනෙක් විදිහට උසස් කළා. ඒකත් සුපිරියටම කරපු නිසා මට ආයෙත් උසස්වීමක් දුන්නා සුපර් වයිසර් කෙනෙක් විදිහට. ඒත් ඩිග්රි එක ඉවර කරනකොටම ම ඒ ජොබ් එකටත් ටටා කිව්වා. ඒක මට දිරෙව්වේ නෑ. මම ටිකක් එන්ටර්ටේන්මන්ට් පැත්තට බර නිසා ඒ වැඩ මට හරි ගියේ නෑ.”

“ඉතින්...”

“ඊට  පස්සේ මම නෑෂ්විල් වලට ආවා. මොකද මම දැනගෙන හිටියා ඒක නියම ටවුන් එකක් කියලා. එන්ටර්ටේන්මන්ට් උපරිමයි, ඒත් මම එහෙම ගියාට ජොබ් එකක් තිබුණේ නෑ. මම පොඩි තැනක් රෙන්ට් එකට අරගෙන පදිංචි වුනා. මම එම් එස් සී එකට ආවට පස්සේ එක දවසක් නෑෂ් විල් වල පාරේ ඇවිද ඇවිද ඉන්නකොට පබ් එකක වේකන්සි තියෙන බෝඩ් එකක් දැක්කා. පස්සේ මම එදා රෑ ඒ පබ් එකට ගිහින් බියර් එකක් බොන අතරේ බැලුවා වට පිටාව. ඒක නියම තැනක්.. ඇමරිකාවේ කන්ට්‍රි මියුසික් වල ප්‍රසිද්ධ අය එනවා. පහුවෙනිදම මම ඒ ජොබ් එක හදාගත්තා. මම කරන්නේ මැනේජ්මන්ට නිසා මුලදි උන් රස්සාව දෙන්න බයවුනා... ඒත් මම කොහොමහරි එක හදාගත්තා. එතන තියෙන හැම වැඩක්ම මම කළා. වේටර් වැඩේ, බා ටෙන්ඩර් වැඩේ, කිචන් හෙල්පර් වැඩේ... එය වගේ හැම එකක්ම කළා. මට ඇත්තටම හොඳ ගාණක් ලැබුනා. ලංකාවේ එක්සෙකෙටිව් කෙනෙක් ටයි එකක් දාගෙන, ඔෆිස් එකක ඉඳලා, ප්‍රෙෂර් එක කාගෙන ලක්ෂයක් හම්බ කරන කොට ඒ මොනවත් නැතුව මමත් ඒ ගාණ හම්බ කළා. පඩියට අමතරව ටිප් එකත් ලොකු ගාණක් වුනා. කැම්පස් නැති දවස් වල දවල් වරුව කම්මැලි නිසා මම ගිටාර් එක ඉගෙන ගත්තා. ලංකාවෙදිත් මම ටිකක් දන්න නිසා එහෙදි මට ඒක මාස්ටර් කරන්න පුළුවන් වුනා. ඒත් ටික කාලෙකදි මට ඒක ඇතිවුනා. ඒක නවත්තලා මම දවල් කාළේ සුපර් මාකට් එකක වැඩට ගියා. ඔය රස්සා දෙකෙන් මම ලංකාවේ සුපිරි ජොබ් එකක් කරන කෙනෙක් හොයන ගාණටත් වඩා හම්බකළා.”

“ඒක හරි... ඒත් කාවින්ද දැන්... දැන් ඔයා අනාගතේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?”

“ඕක හරිම සාම්ප්‍රදායික ප්‍රශ්ණයක් මාලිකා.”

“වෙන්න පුළුවන්... ඒත් ඔයා අනාගතේ ගැන හිතල ඇතිනේ? මට දැනගන්න ඕන ඒක.”

“ඔයාගේ ඔය සාම්ප්‍රදායික ප්‍රශ්නෙට උත්තරේ නම් ඔයා බලාපොරොත්තු වෙන එක නෙවෙයි.”

“ඒ කියන්නේ කාවින්ද?”

“මෙහෙමයි, වැඩි දෙනෙක් ඕකට උත්තර දෙන්නේ මෙහෙමයි. මම ඉගෙන ගත්ත දේට හරියට රස්සාවක් කරන්න ඕනේ. ඊට පස්සේ තව ඉගෙනගෙන උසස්වීම් අරගෙන රිටයර් වෙන වයසට එනකොට සෑහෙන ගාණක් ඉතුරු කරලා, විශ්‍රාම කාලේ අඩුපාඩුවක් නැතුව ඉන්න හදාගන්න ඕනේ. ඔය අතරේ අඩුම තරමින් අවුරුදු තිස් පහක් වත් වෙනකොට කසාද බඳින්න ඕනේ.. ඊට පස්සේ දරුවෝ හදන්න ඕනේ. ඒ අයට උගන්නලා හොඳට තියන්න ඕනේ... ඔන්න ඔය වගේ දේවල්.”

“ඉතින් කාවින්ද කෙනෙකුගේ ජීවිතේ තියෙන අරමුණු ඕව තමා.”

“අපෝ... මට නම් නෑ. මම ආස නෑ ජීවිතේ හැම දේකටම කාලසටහන් හදාගෙන ඒවට හිරවෙලා ජීවත් වෙන්න. ඉටු කරගන්න බැරි බලාපොරොත්තු තියාගෙන ඒවට යන්න බැරි වුනාම හිතින් දුක් විඳින්න. මට ඕනේ ජීවිතේ ගලාගෙන යන්න දෙන්න.”

“එතකොට ඔයා හොඳ රස්සාවක් කරන්නෙ නැද්ද? කසාද බඳින්නේ නැද්ද? ඒ දේවල් ඔයා කරන්නේ නැද්ද?”

“මම ඉස්සෙල්ලත් කිව්වේ... මම කරන්නේ මම ආස ජොබ් එක. මට ජීවත් වෙන්න ඇති තරම් හම්බවෙනවනම්, අවුරුද්දකට දෙපාරක් වත් ටිකක් ඇවිදලා නිඩාවුවක් ගන්න වියදම් කරන්න තරම් ගාණක් අතට එනවනම් මට  ඒ ඇති. මම කරන රස්සාව දැන් එකම වුනත්, නැත්නම් සමාජයේ වැදගත් කියන එකක් වුනත් මට ඒක අදාල නෑ. මම හැමදාම උදේ රස්සාවට යන්නේ ආසාවෙන් නම් මට ඒ ඇති. කසාද බඳින එක ගැන කියනවානම්, මම ඒකත් කරනවා.. හැබැයි ඒකට කාල සීමාවක් නෑ. මට හරියන කෙනා නම් මම හෙට වුනත් බඳිනවා.... සමහර විට ඒ කෙනා හම්බවුනේ හතලිහේදිනම් ඒත් මම බඳිනවා.”

“එතකොට කාවින්ද ඔයාට ජීවිතේ ගෝල්ස්, ඉලක්ක නෑ?”

“නෑ...... තියෙනවා... එකම එකයි... මොනව කරත් සතුටින් ජීවත් වීම...”

“එතකොට ජීවත් වෙන්න සල්ලි...”

“ඇයි මම දැන් කරන ජොබ් එක. අනික මම දන්නවා කවදාහරි මට මේ රස්සාව නැති වුනොත් මොනවද කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඒ ගැන වොරි වෙන්නේ නෑ. මට ඕනේ වෙලාවක ඕනේ තැනක ජොබ් එකක් හොයාගන්න බැරි නෑ. එහෙම බැරි වුනොත් මට මගේ ම බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මට මිකැනික් වැඩ පුළුවන් හොඳටම, ඒ විතරක් නෙවෙයි වාහන පේන්ටින් වැඩත් හොඳටම පුළුවන්. වාහන එලවන්න පුළුවන්. ඊට අමතරව මම ඉගෙන ගෙන තියෙනවා මැනේජ්මන්ට් සයන්ස්, මාකටින්. ඒ මොනවත්ම බැරි වුනොත් එරංග අයියා ළඟට ගියාම ඒ හොටෙල් එකේ මගේ තැන තියෙනවා. මම ඉල්ලන්නේ මොන පොසිෂන් එකද ඌ ඒක දෙනවා.”

“ඔයා නම් අමුතුම විදිහට හිතන කෙනෙක් කාවින්ද? එක වෙලාවකට බයත් හිතෙනවා ඔයාගේ ෆිලොසොෆි එකට.... වෙලාවකට ආසා හිතෙනවා.”

“දැන් මම ඔයාට මගේ ගැන කිව්වනේ... තව මොනවද දැනගන්න ඕනේ?”

“විශේෂ දෙයක් නෑ කාවින්ද. මොනව වුනත් මට ආසයි ඔයත් එක්ක හැමදාම වුනත් කතා කරන්න. ඔයාගේ අදහස් ලස්සනයි, විශේෂයි. ගොඩක් පිරිමි ළමයින්ට නැති අදහස් ඔයාට තියෙනවා.”

මාලිකා එහෙම කියලා මගේ දිහා අමුතු විදිහට බැලුවා.

“මොකද කන්න වගේ බලාගෙන ඉන්නේ?” මම ඇහුවා.

“ඔයාව දැක්කහම හරි ලෝබයි කාවින්ද? යන්න දෙන්න හිතෙන්නෙම නෑ.”

ආයෙත් දිලිනිගේ වචන... මාව හම්බවෙන හැම වෙලාවකම දිලිනි අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි ඕක.

“ඇයි කාවින්ද.. මම එහෙම කිව්වහම අප්සෙට් ගියේ... සොරි මම හිතලා කිව්වේ නෑ.”

“නෑ නෑ.... ඒකට මම අප්සෙට් වුනේ නෑ.... මම වෙන දෙයක් කල්පනා කළේ.”

“ඇත්තටමද?”

“ඔව් බබෝ... ඔයා කියපු දේකට මම අප්සෙට් වුනේ නෑ... ඒක නෙවෙයි අපි මොනව හරි කාලා ඉමු. මට බඩගිනියි.”

මම මාලිකාත් එක්ක ලන්ච් එක ගන්න හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකට ආවා.

“කාවින්ද ඔයා කන්න කැමතිම මොනවද?”

“මාර ප්‍රශ්ණයක්නේ... එකක් කියලා කොහොම කියන්නද?”

“ඔයා නම් කපටි නෑ වැඩිය. මම මොන ප්‍රශ්ණේ ඇහුවත් ෂේප් එකේ මග අරිනවා කෙලින් උත්තරයක් නොදී.”

“මම කවදාවත් කෙලින් උත්තර නොදී ඉඳලා නෑ කිසිම දේකට... මම කෙලින් වැඩ කරන කොල්ලෙක්... ප්‍රශ්ණේ තියෙන්නේ ඔයා අහන ප්‍රශ්ණ වලට එක උත්තරයක් දෙන්න බෑ කෙලින්.”

“හරි හරි.. ඒක එපා..” මාලිකා කිව්වා.

එදා දවසම මම මාලිකා එක්ක ගත කළා. හවස් වරුවේ හතරට විතර එයාව ගෙදරින් බස්සලා මම ටික කාලෙක ඉඳලා යන්න හිතාගෙන හිටපු තැනකට යන්න පිටත් වුනා.

දිලිනි මට දීලා ගිය ගෙදරට මම පිටත් වුනා.

මම ගිහින් කාර් එක ඇතුලට ගන්න කොට මගේ ඇස් දෙක පුරුදු දෙයක් දකින්න හෙව්වා. ඉස්සර මම මෙහෙම එනකොට දිලිනි ගේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. ඒත් අද හැම දෙයක්ම පාළුයි. බැරි වෙලා හරි එයා මෙහේ හිටියොත්... එහෙම හිතලා මම විනාඩියක් විතර කාර් එකේ දොර අල්ලගෙන ගේ දිහා බලාගෙන හිටියා. ටිකකින් මම මටම හිනා වුනා. කාවින්ද උඹ නම් මෝඩයෙක්..

හැම සතියකම ක්ලීනින් සර්විස් එකෙන් ගේ පිරිසිදු කරන නිසා අළුත් විදිහටම ගේ තිබුනා.

මම ගේ ඇතුලට ආවා. හැම දෙයක්ම මීට අවුරුදු හතරකට විතර තිබුණා වගේමයි. දිලිනි යනකොට හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට හදලා තියලා තමයි ගිහින් තිබුණේ. කිසිම දේක අඩුපාඩුවක් තිබුණේ නැහැ. අනිත් එක එයා හැම දෙයක්ම පරිස්සමින් තෝරලා හොඳම දේවල් අරන් තියලා තිබුණා.

කාමරේ ඇඳ රෙදි හොඳට ඒවා. ඒ වගේ ඒවා මම ලංකාවේ දැකලා තිබුණේ හොටෙල් වල විතරයි. පොඩි දෙයක් පවා හොඳම වර්ගයේ ඒවා. පාවිච්චි කරන්න තියලා ගිහින් තිබුණ කොට්ට උර, ටවල් පවා හොඳම ඒවා. ඒ වගේ ලස්සනට ජීවත් වෙන කෙනෙක් මගේ ළඟින්ම ඉඳලා නැති වුනාම මට මොනවා වෙනවද කියලා හිතාගන්න බැරිවුනා.

මගේ ජීවිතේදි දිනි, ලයාංගි, එරන්දිකා, මාලිකා වගේ අය මට මොන තරම් ළං වුනාද? ඒත් ඒ කිසිම කෙනෙකුට දිලිනිගේ අඩුව පුරවන්න බෑ.දිලිනි මගේ ජීවිතේට ආවෙත් අහම්බයකින්, ඒ වගේම එයා මාගෙන් ඈත් වෙලා ගියෙත් අහම්බයෙන්. එයා මාත් එක්ක හිටියේ අවුරුදු දෙකක් වගේ බොහොම කෙටි කාලයක්... ඒත් ඒ කෙටි කාළෙට දිලිනි මගේ මුළු හිතම අරන් ගිහින්.

මටත් නොදැනීම නින්ද ආවා. දිලිනි මතකයන් ඇතුලේ තියාගෙනම මට නින්ද ගියා. රෑ මම දිලිනිව හීනෙන් දැක්කා. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මම පුළුවන් තරම් උත්සහ කළා එයා ළඟට යන්න... ඒත් මම මොන තරම් වේගෙන් දිව්වත් එයා ටිකෙන් ටික මගෙන් ඈත් වෙලා නොපෙනී ගියා.

රෑ ඉතුරු ටික මම නින්දක් නැතුව ගත කළා. මගේ හිත අවුල් වෙලා තිබුණේ.

යන්තම් උදේ හත වුනා. බාත් රූම් එකට ගිහින් පැයක් විතර උණු වතුර නෑවා.

වෙන කරන්න ලොකු දෙයක් නොතිබුණ නිසා ඇඳගෙන නවයට විතර මොනව හරි කන්න යන්න පිටත් වුනා. කරන්න වැඩක් නැති නිසා ලොකු කම්මැලිකමකින් මම හිටියේ. ලංකාවේ මම රස්සාවක් කරන්න කැමැත්තක් තිබුණෙත් නෑ.

ඉක්මනටම ආපහු යන්න ඕනෙ කියලා මගේ හිත කිව්වා.

ඔහොම ඉන්න අතරේ දවල් වෙලා එරංග අයියා මට කතා කළා.

“කාවින්ද මල්ලි මොකද කරන්නේ?”

“වැඩක් නැතුව පා වෙවි ඉන්නවා අයියේ.”

“මම කතා කළෙත් ඒකට තමා. උඹට මම කලිනුත් කිව්වා මාත් එක්ක වරඩ කරමු කියලා... උඹ ආවේ නෑ. මේ සැරේනම් බෑ කියන්න එපා.”

“මොකක්ද කරන්න යන්නේ?”

“මේකයි..... කාවින්ද... මචං... මට මේ දෙකම කරන්න අමාරුයි.. අනිත් එක උඹ ඉගෙනගත්ත මොකක් හරි මගුලක් දාලා මේක ගොඩ දාලා දියං...”

“මොකක්ද?”

“හොටෙල් එක බං.”

“ඇයි අයියෝ මොකක්ද අවුල? බිස්නස් අඩුද?”

“එහෙම අවුලක් නෑ බං. බිස්නස් නම් තියෙනවා හොඳට... ඒ වුනාට අපේ ස්ටාෆ් එක ඕවර් ලෝඩ් වෙලා. තව කට්ටිය වැඩි කරන්නත් බෑ. එතකොට වියදම වැඩි වෙනවා.”

“කට්ටිය වැඩි කරන්න නම් ඕනේ නෑ අයියේ. ඔය ඉන්න අය හොඳටම ඇති.”

“ඒකනේ වරෙන්කෝ අද හවස මේ පැත්තේ. රෑට නවතින්නත් එක්කම වරෙන්. අපි පොඩ්ඩක් කතා කරමු.”

“මෙහෙමයි අයියේ... මට පර්මනන්ට් නම් වැඩ බාරගන්න බෑ... ඒත් බලන්නම් හොයලා බලලා උදව්වක් කරන්න.”

“හරි.. ඒ ඇති දැනට... උඹ වරෙන්කෝ හවස. මම සචියටයි අමිලටයි දෙන්නටත් එන්න කියන්නම්.”

“හරි අයියේ... මම ඇවිත් බලන්නම් කෝ. ඒත් වැඩ කරන එක නම් දිගටම කරන්න අමාරුයි අයියේ. මම ආපහු යන්න ඕනේ.”

“හරි ඒක පස්සෙ බලමු. හවස වරෙන්කෝ.”

හවස හය විතර වෙනකොට මම එරංග අයියත් එක්ක කතාවට වැටුනා. සචියයි අමිලයි දෙන්නත් වට වුනා.

“මල්ලි... දැන් සීසන් එක පටන් ගන්නවා.. දැනටම බුකින් ටික ඉවරයි. මම දැන් අළුතින් කෑල්ලක් හදන්නත් පටන් ගත්තා. මේක එකලාසයක් කරමු බං. මට උදව් ගන්න වෙන විශ්වාසවන්ත කෙනෙක් නෑ. මුලින්ම මේක ගොඩදාලා දුන්නෙත් උඹ නිසා මොකද කියන්නේ....? බහිමුද ගේමට.”

“මම හිතාගෙන හිටියේ ආපහු යන්න අයියේ.”

“උඹට දැන් ඕනෙ වෙලාවක යන්න එන්න පුළුවන්නේ. පී ආර් එක තියෙන නිසා එහෙම අවුලක් නෑනේ. උඹ ඔහේ ගිහින් තට්ට තනියම ඉන්නේ නැතුව මාත් එක්ක එකතු වෙලා වැඩ කරමු. උඹට ඕනේ පොසිෂන් එකකුයි, පඩිය ඕනේ ගාණයි කියපං මම දෙන්නම්.

“ඒකනේ කාවා.. උඹ ගිහින් මගුලක් කරන්නයෑ. අපි හතර දෙනාම ඉන්න එකේ වැඩක් කරමු.” සචියා කිව්වා.

මම කල්පනා කරන්න පටන් ගත්තා. මේ වැඩ පටන් ගන්නවනම් ගෙදර ඉන්න බෑ. අම්මා කොයි වෙලෙත් කියවන්නේ කසාද බඳින එක. ඒ නිසා එක්කෝ හොටෙල් එකේම නවතින්න ඕනේ.... නැත්නම් දිලිනිගේ එපාර්ට්මන්ට් එකේ නවතින්න ඕනේ.

“මොනවද මල්ලි කල්පනා කරන්නේ?”

“මම මෙහේ ඉන්න කැමති නෑ අයියේ. අම්මගේ වැඩේ කසාද බඳින එක ගැන කියවන එක. මට එපා වෙලා.”

“හරි... උඹ හොටෙල් එකේ හිටපං. මම හොඳට රූම් එක ලෑස්ති කරලා දෙන්නම්.”

“අයියා ඇත්තටම හිතනවද මට මෙතන ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.”
“උඹට බැරිනම් කාටද බං පුළුවන්.”

“එතකොට මුන් දෙන්න... මම යාළුවෝ දෙන්නව පෙන්නුවා.”

“උඹ උන්ගෙන් වැඩ ගනින්. උන් දෙන්නා උඹට බාරයි. මම රෙස්ටොරන්ට් එකේ වැඩ නිසා මේ පැත්ත බලන්නවත් වෙලා නෑ. උඹ අද ඉඳලා මේ හොටෙල් එකේ එම්. ඩී., උඹ කැමති ගාණක් පඩිය ලියා ගනින්... මම බලන්නෙවත් නෑ. වැඩේ කරලා දීපං.”

එරංග අයියා එහෙම කිව්වම සචියගෙ ඇස් දෙක උඩ ගියා.

“මල්ලි පොඩ්ඩක් හිටපං... මම විනාඩියෙන් එන්නම්.” එහෙම කියලා එරංග අයියා ගියා.

“යකෝ අපේ අයියා කාරයා බලපංකෝ.... මලාට අපිට සත පහක් පඩි වැඩි කරන්නෑ. අපි මැරෙනවා... මූට කැමති ගාණක් ලියා ගන්නලු. අනික මම ආපු දවසේ ඉඳලා මේ කුණු මැනේජර් පොස්ට් එකේ... මූ එක දවසෙන් එම් ඩී. ඒ මදිවට අපි දෙන්නව මූට බාරයිලු.”

සචියට මල පැනලා. මට හිනා ගියා.

“මොකද බං උලමා වගේ හිනාවෙන්නේ? මම ඇත්ත කියන්නේ.... මේක පටන් ගත්ත කාලේ කටු කෑවේ අපි... උඹ රටෙත් නෑ... එහෙම ගොඩ දාපු එකට අපිට සත පහක දෙයක් දුන්නෑ. මූට යකෝ හොටෙල් එකේ තියෙන හොඳම කාමරෙත් දෙන්නම්ලු. අපිට දීලා තියෙන්නේ අර ඒසී නැති මදුරුවෝ කන කාමර.”

“හරි හරි... මම ආවහම උඹලත් මගේ ලක්සරි කාමරේ නිදාගනින්කෝ....”

“එකක් කාවා.. උඹ ආවට කමක් නෑ.. අපිව නම් කඩේ අරින්න හදන්න එපා. අපි වැඩ කරන්නේ අපේ විදහට.”

“තොපේ විදිහට වැඩ කරලා තමා මේ අනාගෙන තියෙන්නේ...”

“මොකක්ද යකෝ අනා ගෙන තියෙන්නේ.. මේ සුපිරියට තියෙන්නේ.”

“එහෙනම් එරංග අයියා කියන්නේ?”

“ඌට පිස්සු!”

එතකොටම එරංග අයියා ආවා.

“මොකද මල්ලි කියන්නේ?”

“කරමු.... හැබැයි මට පඩි එපා. හොටෙල් එකේ ඉන්න වෙලාවට කෑම බීමයි වාහනේට පෙට්‍රලුයි ලැබුණනම් ඇති.”

“එහෙනම් වැඩේ නොකර ඉමු... පඩි නොගෙවා ගන්න වැඩ මගේ ළඟ නෑ.”

“නෑ අයියේ මම කිව්වේ....”

“කාවා උඹට එපා නම් ඒ පඩිය අපි දෙන්නට බෙදලා දීපං.”

අමිල ඉඳලා ඉඳලා හොඳ කතාවක් කිව්වා.

“ඇයි මම උඹල දෙන්නට වැඩියෙනුත් එක්ක දෙන්නේ.” අයියා කිව්වා.

“මොකද මල්ලි කියන්නේ.. උඹ ගන්නේ නැත්නම් මම පඩියක් දෙනවා.” ආයෙත් එරංග අයියා කිව්වා.

“හරි අයියේ ඒක පස්සේ කතා කරගමු කෝ.”

“එතකොට මගෙන් වෙන්න ඕනේ වැඩ වලට සල්ලි දෙන එකනේ. උඹ වැඩ ප්ලෑන් කරලා මට ගාණ කියපං.. එච්චරයි. හොටෙල් එකේ අනිත් හැම ඩිසිෂන් එකක්ම ගන්න උඹට අයිතිය තියෙන විදිහට මම උඹව එම්.ඩී. කරනවා.”

“අනිත් ටික කියන්න කළීන් මට මුළු හොටෙල් එකේම ටිකක ඇවිදලා බලන්න වෙනවා. හෙට උදේම මම ඒක පටන් ගන්නවා. උඹලා දෙන්නත් වරෙන්.”

“එහෙනම් මල්ලි අද මෙහේ ඉඳපං.”

රෑ මම ආයෙත් කල්පනා කළා. ලංකාවේ ඉඳලා... මේ වැඩෙත් කරගෙන මාලිකාවත් බැඳලා අම්මගෙත් හිත දිනාගෙන ඉන්නවද? නැත්නම් කවදාහරි හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන් දිලිනි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවද? එහෙම වුනොත් නම් ලංකාවේ ඉන්න බෑ.  අම්මා මට ඉන්න දෙන්නේ නෑ. ඒත් ඇමරිකාවේ ගියොත් දිලිනි හම්බවෙන්න තියෙන ඉඩ අඩුයි. එක්කෝ මැලේෂියාවේ රස්සාවක් හොයාගෙන යන්න ඕනේ. නැත්නම් මොන ප්‍රශ්ණ ආවත් ලංකාවෙම ඉන්න ඕනේ.

එදා මුළු රෑම මට නින්ද ගියේ නෑ. පාන්දර හතර විතර වෙනකොට මට තීරණයක් ගන්න පුළුවන් වුනා.

මාස තුනක් එරංග අයියා එක්ක වැඩ කරලා බලනවා. ඊට පස්සේ සිටුවේෂන් එක බලලා ඊළඟ තීරණේ ගන්නවා.

එතනින් පස්සේ මට හරියටම පැය දෙකක් නින්ද ගියා. උදේ හයට නැගිටලා මම වැඩ පටන් ගත්තා.

මුලින්ම මම කළේ මුළු හොටෙල් එකේම වැඩ වෙන විදිහ දිහා බලාගෙන හිටපු එක. දවල් දොලහ විතර වෙනකොට මට වැඩේ අල්ලගන්න පුළුවන් වුනා.

මම එරංග අයියට කතා කළා.

“අයියේ.. මම දැන් යනවා. ගෙදර ගිහින් ඇඳුම් ටිකකුත් අරගෙන එනවා. මේක පටන් ගන්න අතරේ ටික කාලයක් මෙහේ නවතින්න වෙනවා. හවස හයට අපි හතර දෙනා හර්ෂටත් එන්න කියලා මීටින් එකක් තියමු. කට්ටියටම කියන්න.”

“එල... මම ඇරෙන්ජ් කරන්නම්. ඉක්මනට වරෙන්.”

මම ගෙදර ගිහින් අම්මට විස්තරේ කිව්වා.

“ලොකු පුතේ... ඔයා කවදත් හරි තීරණයක් ගනී කියලා මම හිතනවා. ලංකාවට වෙලා නිකං ඉන්නවට වඩා නම් ඕක බොහොම හොඳ වැඩක්.”

“අම්මේ.... මේකයි වැඩේ... මම ටික කාලෙකට එහේ නවතිනවා.”

“කමක් නෑ පුතේ. වීක් එන්ඩ් එකට එන්න. මල්ලිත් නැති එකේ දැන් අපි දෙන්නා තනිවෙලා.”

අම්මා කියන එකත් ඇත්ත. මල්ලි ජපානේ රස්සාවට ගියාට පස්සේ අවුරුදු තුනටම එක වතාවයි ආවේ. ගිවිසුමේ විදිහට මිනිහා තව අවුරුදු හතරක් එහේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ වුනත් මිනිහා ලංකාවේ පදිංචියට එයිද කියලා මට සැකයි.

“හරි අම්මා. මම එන්නම්. බය වෙන්න එපා දන්න කියන අය මැද මම ඉන්නේ.”

“මම දන්නවා. එරංග පුතාටත් කියන්න මතක් කළා කියලා. තව දෙයක්.”

“මොකක්ද අම්මේ?”

“අර දරුවවත් අමතක කරන්න එපා. හදිසියක් නෑ.. හෙමීට ඔය වැඩේ කරගෙන යන්න. ඒත් ඒ අතරේ ඒ ළමයත් එක්ක තියෙන දේත් එකලාසයක් කරන්න බලමු.”

“බලමු අම්මේ... ඒක නම් දැන්ම බෑ.”

“ඔයා දැන් යන්නකෝ.. අපි පස්සේ ඒක බලමු.”

මම ඇඳුම් ටික බෑග් එකකට අහුරගෙන ආපහු හොටෙල් එකට ආවා.

ඊට පස්සේ අයියා මට දීපු කාමරේ බඩු ටික තිබ්බා. ඇත්තටම එරංග අයියා කියපු විදිහටම හොටෙල් එකේ තිබුණ ලොකුම සහ හොඳම කාමරේ මට වෙන් කරලා. සචියා දැක්කනම් ඇත්තටම තද වෙයි. උන් දෙන්නටම පහල තට්ටුවේ තියෙන එක පොඩි කාමරයක් තමා දීලා තියෙන්නේ.

මම වොෂ් රූම් එකට යන්න දිලිනි දීලා ගිය සුදු පාට ලොකු ටවල් එකත් කරේ දාගෙන කන්නාඩියෙන් මගේ දිහාම බැලුවා. වෙනදා මම දිලිනිගේ එපාර්ට්මන්ට් එකේ මෙහෙම ඉන්නකොට දිලිනි පිටිපස්සෙන් ඇවිත් බදාගන්නවා. මම ජීවිතේ පලවෙනි වතාවට ස්ථිරයි කියලා කියන්න පුළුවන් රස්සාවක් කරන්න යනවා. අද දිලිනි හිටියනම් කොයි තරම් සතුටු වෙයිද..? ‘අනේ කාවින්ද මට ඉරිසියාවේ බෑ’ කියයි. දිලිනිට මම මොනවා කළත් ඉරිසියාවයි... වෙන කෙල්ලෙක් මගේ දිහා බලයි කියලා. ඒ වුනාට ඒක සීරියස් කියන දෙයක් නෙවෙයි....

මම ආපහු සිහියට ආවේ කාමරේ ෆෝන් එක වදින සද්දෙට. කතා කළේ එරංග අයියා. තේ එවන්නද අහන්න.

මොන කරුමයක්ද මන්දා ඇමරිකාවේ ඉන්නවට වඩා ලංකාවේ ඉන්නකොට දිලිනිව මතක් වෙනවා වැඩී. මොන දේ කරන්න ගියත් හැම තැනකම එයාගේ මතක.

ඔය අතරේ අමිලයි සචියයි කාමරේට කඩාගෙන වැදුනා.

“අම්මට යකෝ... බලපංකෝ මූට තියෙන සැප... අරෙහේ අර කෙල්ලගේ එපාර්ටමන්ට් එක.. ඒක පට්ට් සුපිරි එකක්. දැන් මෙතනත් බලපංකෝ... මේ කාවා අපි දෙන්නම අද ඉඳලා නවතින්නෙත් මේ කාමරේ.”

“සචියා මේ මට මගේ පාඩුවේ ඉන්න දීපං. වැඩ ඉවර වෙලා කාමරේට ඇවිත් නිදහසේ නාලා කාලා නිදාගන්න ඕනේ. තොපි දෙන්නා ආවොත් මේක විකාරයක් කරනවා.”

“ඔව් ඔව්... උඹ නාලා... කාලා... මනෝ පාරක් දාගෙන, අරකි ගැන කල්පනා කර කර ඔලුව අවුල් කරගනින්.”

“මොකීද?”

“යකෝ... දිලිනි... බලපං උඹ මොනව කිව්වත්, මාලිකා එක්ක මොන රවුන් ගැහුවත් තාම ඔලුවේ ඉන්නේ දිලිනි. ඕක හොඳ දෙයක් නෙවෙයි පුතෝ... උඹට ඔහොම ගියොත් පිස්සු හැදෙයි.’

“මේ සචියා දැන් ඇති. නවත්තගනින්...” එහෙම කියලා මම වොෂ් රූම් එකට ගියා.

පැය බාගෙකින් ඇඳුමකුත් දාගෙන මම පහලට ආවා.

හරියටම හයට අපි මීටින් එක පටන් ගත්තා.

එරංග අයියා හොටෙල් එකේ මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරපු හර්ෂටයි, චෙෆ් ටයිටස්ටයි, තව එක්සෙකෙටිව් පෝස්ට් වල ඉන්න කීප දෙනෙකුටයි, මුළු හොටෙල් ස්ටාෆ් එකටමයි එන්න කියලා තිබුණා.

මුලින්ම අයියා කතා කළා.

“මම අද හැමෝටම එන්න කිව්වේ අද ඉඳලා මේ හොටෙල් එකේ වෙනස් කමක් වෙනවා කියන එක කියන්නයි. මෙච්චර කාලෙකට අපි හැමෝම එකා වගේ උනන්දුවෙන් වැඩ කරගෙන ගියා. අපෙන් ගිය එක ගෙස්ට් කෙනෙක් වත් කලකිරිලා ගියේ නෑ. ඒකට ඔය හැමෝම උනන්දු වුනා. ඒත් අපිට ගෙස්ට්ලා වැඩි වැඩි වෙන්න මේක අපිට තනියම කරගන්න අමාරුයි කියලා තේරුනා. ඕගොල්ලෝ හැමෝටම ඒක තේරෙන්න ඇති. මේ ෆ්රන්ට් ඔෆිස් එකේ මනෝශි මට ගිය සතියේ කිව්වා බොස් මේක තනියම කරන්න දැන් අමාරුයි, වැඩ වැඩියි කියලා. ඔය වගේ එක එක ප්‍රශ්ණ අපිට තියෙනවා. ඒ නිසා තමයි මම මගේ මල්ලිවයි, අමිලවයි මෙතෙන්ට ගෙනාවේ. ඒත් ඒ දෙන්නටත් ලොකු අත්දැකීම් නෑ මේ වගේ වැඩ කරලා.”

“ඒ නිසා මම තීරණය කළා අපේ හොටෙල් එකට එම්.ඩී. කෙනෙක් පත් කරන්න. ඒ තමා කාවින්ද! ඔය හැමෝම දන්නවා ඇති කාවින්දව. අපිට මේක පටන් ගන්න කාලේ ලෝකේ රටවල් ගාණකින් ගෙස්ට්ලා එවලා උදව් කළේ කාවින්ද. එයා ඒ දේවල් කළේ මගෙන් එක සතයක්වත් නොගෙන. දැන් කාවින්ද ඇමරිකාවේ ඩිග්රි එකකුයි, එම් එස් සී එකකුයි කරලා ඉන්නේ මැනේජ්මන්ට් සයන්ස් ගැන. ඊට අමතරව ප්‍රොජෙක්ට් එකක් විදිහට ඒ රටේ ලොකු හොටෙල් එකක් සිස්ටමයිස් කරලා තියෙනවා. ඒත් එක්කම ඒ රටේ තැන් කීපයකම වැඩ කරලා අත්දැකීම් තියෙනවා. විශේෂයෙන් කාවින්ද පිටරටවල අයව ආශ්‍රය කරලා ඒ මිනිස්සු හිතන පතන විදිහ දන්නවා. ඒ නිසා මම හිතනවා කාවින්දට අපේ හොටෙල් එකත් සිස්ටම් එකකට ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඔය හැමෝම කාවින්දට උදව් කරන්න ඕනේ. මීට පස්සේ මේ හොටෙල් එකේ හැම තීරණයක්ම ගන්නේ කාවින්ද. කිසිම දෙයක් මගෙන් අහන්න එපා. කාවින්දට කියන දේ එයා මාත් එක්ක කතා කරයි. ඒ වුනත් මම අද ඉඳලා මගෙන් නාහ වුනත් කාවින්දට ඕනෙම තීරණයක් ගන්න බලය දෙනවා.”

“දැන් හර්ෂ ඉඳලා අනිත් අය යන්න. හෙට හරි අනිද්දා හරි කාවින්ද වැඩ බාරගන්න කොට හැමෝටම කතා කරයි.”

එරංග අයියා ඉඳගන්නවත් එක්කම හැමෝම ඇවිත් මට අතට අත දීලා සුබ පැතුවා.

අන්තිමට අපි කීප දෙනා ඉතුරු වුනා.

“කාවින්ද... මොකක්ද ප්ලෑන් එක.” අයියා ඇහුවා.

“හරි මුලින්ම කියන්න තියෙන්නේ කිසිම කෙනෙක් මට සර් කියලා කතා කරන්න එපා. නම කියන්න. මිස්ටර් කෑල්ලවත් එපා. හොටෙල් එකේ පොඩි උන් නම් පුරුදු නෑ වගේ නිසා බොස් කිව්වට කමක් නෑ. එච්චරයි. සර් නෑ, බොස් නෑ, මිස්ට නෑ...” මම ඒ ටික කිව්වේ හර්ෂට.

මම ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

“දැන් මෙහෙමයි. මුලින්ම නම් ලොකු දෙයක් වෙන්න නෑ. අවුලකට තියෙන්නේ හැමෝම හැමෝගෙම වැඩ කරන එක. මුලින්ම අපි කරන්න ඕනේ සෙග්මන්ට් කරලා වැඩ බෙදලා දාන එක. ඒ ඒ සෙක්ෂන් එකට හෙඩ් කෙනෙක් දාලා එයාට ඒ වැඩ වලදි තනියම ඩිසිෂන් ගන්න දීලා බලන්න වෙනවා.”

“කොහොමද ඒක කරන්නේ?”

“අපි මෙහෙම කරමු.” මම පෑනයි කොලෙයි අතට ගත්තා.

“ඕනෙම ඕගනයිසේෂන් එකක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක හරියට අඳුරගන්න එකයි වැදගත්. ජෙනරලි ගත්තොත් මෙහෙමයි.” මම කොලේක සටහන් ඇඳලා කම්පැණි එකක තියෙන සැලැස්ම ඇඳලා පෙන්නුවා. හතර දෙනාම ලොකු උනන්දුවකින් අහගෙන ඉන්නවා.

“මේ හොටෙල් එක ගත්තොත් මම හිතන්නේ හොඳම අපි මෙහෙම කැඩුවොත්.”

“කොහොමද?”

“තාම ලොකු ස්ටාෆ් එකක් නැති නිසා ෆ්රන්ට් ඔෆිස් එකයි හවුස් කීපින් එකයි එකකට දාන්න වෙනවා. සචියා ඒක බලන්න වෙනවා. ඒක තමා හොටෙල් එකේ වැදගත්ම එක. ගෙස්ට්  කෙනෙක් පිළිගන්න එක තමා මිනිහගේ හිතට මුලින්ම වදින්නේ. සර්විස් එකේ අවුලක් තිබුණත් ෆ්රන්ට් ඔෆිස් එකට ඒක හැන්ඩ්ල් කරගන්න පුළුවන් නම් ගෙස්ට්ව ෂේප් කරගන්න පුළුවන්. සචියාට මම හොඳ කෝස් එකක් හොයල දෙන්නම්... ඒකත් කරන්න ඕනේ... රැයක් දවාලක් නෑ. මොන ප්‍රශ්ණේ ආවත් මගෙන්වත් එරංග අයියගෙන්වත් අහ අහ ඉන්න බෑ. තමන් හිතලා තීරණයක් අරන් වැඩේ ගොඩ දාන්න ඕනේ. එකම දේ, ඒකෙන් වෙන සෙක්ෂන් වල අයට කරදර වෙන්න බෑ. තව සෙක්ෂන් එකක කෙනෙක්, ඒ සෙක්ෂන් එකේ හෙඩ් ගෙන් අහන්නේ නැතුව ගන්න බෑ වෙන තැනකට. බැරිම වුනොත් විතරක් මට කියන්න. මම හැන්ඩ්ල් කරන්නම්. සචිත්‍ර.... මේ ඔක්කොම ඔයාගේ වගකීම්. මීට පස්සේ කිසිම වෙලාවක අඩුවක් තියෙන්න බෑ. මොන වෙලාව ආවත් වැඩේ ඉවර කරලා මිසක් ගෙදර යන්න බෑ. වැඩිපුර ඉන්න හැම විනාඩියකටම අපි ඕටී ගෙවනවා. ස්ටාෆ් මදිනම් අපි කතා කරලා තව කෙනෙක් ගමු. මම හිතන්නේ මනෝෂිට තව කෙනෙක් ඕනේ.”

“නියමයි මල්ලි...” එරංග අයියා කිව්වා. මම දැක්කා සචියා මට රවනවා.

“ඊට පස්සේ කිචන් එකයි, රෙස්ටොරන්ට් එකයි, බාර් දෙකයි එක සෙක්ෂන් එකක්., ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කියලා. තාම කිචන් එක වෙන් කරන්න අළුත් වැඩී... ස්ටාෆ් එක මදි. සම්පූර්ණ ඒ කොටස හර්ෂට දෙමු. හර්ෂ ඒ හැම තැනකින්ම එන රික්වෙස්ට් හැන්ඩ්ල් කරන්න ඕනේ. හැමදාම කිචන් එකට ඕනේ කරන බඩු ලිස්ට් එක පර්චේසින් එකට යන්න ඕනේ. අමතර තියෙනවා නම් ඒවත් වෙලාවට යන්න ඕනේ. හැම දෙයක්ම කලින් ප්ලෑන් කරන්න ඕනේ. ගෙස්ට් කෙනෙක් විශේෂයෙන් ඉල්ලන දෙයක් හොටෙල් එකේ නැත්නම් ඒක නෑ කියන්න. ඒ වෙලාවට කඩේ දුවන්න ලෑස්ති වෙන්න එපා.”

“හරි.” හර්ෂ කිව්වා.

“බාර් එකත් එහෙමයි. හරියට වෙලාවට අරින්න වහන්න ඕනේ. ඊට අමතරව හර්ෂට පොඩි තව වගකීමක් තියෙනවා.. සතියේ එක දවසක් ලෝන්ච් බාර් එකේ එන්ටර්ටේන්මන්ට් නයිට් එකක් ලෑස්ති කරන්න ඕනේ. මොකක් හරි විශේෂ කෙනෙක්, දෙයක් එදාට තියෙන්න ඕනේ. අනිත් එක අපි මියුසික් දවස් හතේ තීම් හතක් වදින්න ඕනේ.. ක්ලැසිකල්, හිපොප් ඔය වගේ මොනවා හරි. හැබැයි ඒක ඒ ඒ දවස් වල ඉන්න ගෙස්ලා අනුව ටිකක් වෙනස් කරන්න වෙයි. නාකි සුද්දෝ ඉන්න කාලෙක හිපොප් ගහනවට වඩා, ජෑස් හරි, බ්ලූස් හරි ගහන එක හොඳයි. හර්ෂට පුළුවන්ද ඒ ටික බලන්න?”

“පුළුවන් බොස්... මම ඒක ප්ලෑන් කරන්නම්....”

“එච්චරද?” එරංග අයියා ඇහුවා.

“නෑ.. ඊට පස්සේ පර්චේසින් එක. අපි ස්ටෝස් එකත් ඒකට දාමු. ඒක තමා හොටෙල් එකේ තියෙන වටිනාම සෙක්ෂන් එක. වැඩිම වැලියු එකක් තියෙන අයිටම්ස් තියෙන්නේ මෙතන. වටිනාකම වැඩී. හැබැයි ලේසි නෑ. ඒක අමිලගේ.... හැමදාම කිචන් එකෙන් එන රික්වෙස්ට් එක ඇනලයිස් කරලා බඩු ඕඩර් කරන්න ඕනේ. පුළුවන් තරම් ෆ්‍රෙෂ් බඩු ගන්න බලන්න. අනිවාර්යයෙන් එලවලු, පලතුරු, මස්, මාළු නම් ෆ්‍රෙෂ්ම ගන්න. අපි වගේ නෙවෙයි සුද්දෝ කැමති නෑ ෆ්‍රීසර් දාලා කන්න. ඒ නිසා ඒවා අළුත් වෙන්න ඕනෙමයි. සප්ලයර්සලට ඒක කෙලින්ම කියන්න. පරණ බඩු දුන්නොත් කෙලින්ම නවත්තන්න. ඊට අමතරව අපිට මාකට් යවන්න කෙනෙක් ගන්න වෙනවා. ටිකක් දැනුම් තේරුම් තියෙන කොල්ලෙක්. සප්ලයර්ස්ලගෙන් ගන්න බැරි දේවල් ඒ කෙනා ලවා ගෙන්න ගන්න. නුවර මාකට් එකේ මම දන්න තැන් තියෙනවා, මස්, එළවලු, පලතුරු ගන්න... ඒවා මම සෙට් කරලා දෙන්නම්. අපි බලමු එතනින්ම කෙනෙක් ලව්වා මෙහෙට ගෙන්වාගන්න.”

“කාවින්ද.. අපිට ප්‍රශ්නේ තමයි මාළු. මෙහේ අළුත් මාළු නෑ.”

“ඇයි, ගෙන්න ගන්න පුළුවන් නේ.”

“කොහෙන්ද?”

“මීගමුවෙන්. බැරිනම් මට කියන්න... තාත්තගේ යාළුවෙක් ඉන්නවා.... අපි කතා කරලා කියමු. මෑන් තමා මීගමු මාකට් එකේ වැඩිම බිස්නස් කරන්නේ... කලින් දවසේ ඔඩර් එක දෙන්න, උදේ හය වෙනකොට බඩු ඩිලිවර් කරලා තියෙයි. කිව්වොත් කරන කෙනෙක්... හොර බොරු නෑ.”

“කාවින්ද දන්නේ නැති කෙනෙක් නෑනේ..” හර්ෂ කිව්වා.

“මමත් ටිකක් අඳුරනවා හර්ෂ... ඒත් මේ ගොඩක් ඒවා මගේ තාත්තගේ කන්ටැක්ට්ස්.”

“එහෙම අපි කරමු කාවින්ද.” අමිල කිව්වා.

“කරමු කිව්වට බෑ අමිල, වැඩේට බහින්න වෙනවා. අද මම කියනකම්ම මාළු මීගමුවෙන් ගෙන්න ගන්න ට්‍රයි කරලා නෑනේ... ඇයි ඒ... අදින් පස්සේ මේක තනිකර අමිලගේ වැඩක්.... රෙස්ටොරන්ට් එකේ කෑම නැති වුනොත් උඹව තමයි අපි කන්නේ.... ඉන්න කට්ටිය මැනේජ් කරගෙන වැඩ ගන්න... මම කිව්වා වගේ කඩේ යවන්නයි, තව පොඩි පොඩි වැඩ වලටයි මම හෙල්පර් කෙනෙක් දෙන්නම්.”

මම දැක්කා ඒ පාර අමිලත් මට රවනවා.

“කව්රුත් මේක අමාරු වැඩක් කියලා හිතන්න එපා.. මාස තුනක් කරලා බලන්න... ඊට පස්සේ කිසිම උත්සාහයක් නැතුවම නිකම්ම පුරුද්දට වැඩේ වෙයි. මම අත්දැකීමෙන් කියන්නේ.”

ඔය විදිහට මම එදා වෙනස්කම් කීපයක්ම කළා. එරංග අයියා ඒ හැම එකකටම කැමති වුනා.

මීටින් එකෙන් පස්සේ අපි රෑ කෑම කාලා සිගරට් එකක් ගහන්න එළියට ආවා.

“කාවා... උඹ කරපු වෙනස්කම් නම් හොඳයි... හැබැයි කැත නැතුව අපිව හිර කළා නේද උඹ?”

“මට උඹලා හිර කරන්න ඕනෙ වුනේ නෑ.... අමාරුවෙන් මාස තුනක් දුවලා බලපංකෝ... ඊට පස්සේ උඹලා නැතුවත් වැඩේ වෙයි. මුලදි තමයි ගේම ටිකක් අමාරු.”

“එහෙම වෙනවනම් හොඳයි.... නැත්නම් පුතෝ අපි ගියා... උඹේ වෙනස්කම් උඹම තියාගනින්...”

“උඹලා එහෙමද මට උදව් කරන්නේ...?”

“නෑ නෑ අපි උඹට උදව් කරලම නෑනේ....”

අපි ටික වෙලාවක් ඉඳලා නිදාගන්න ගියා. මට හොඳ කාමරයක් දුන්න වගේම එරංග අයියා සචියටයි අමිලටයි දෙන්නටත් හොඳ කාමරයක් දීලා තිබුණා.

රෑ දහයට විතර කාමරයට ආව මම වොෂ් එකක් දාගෙන නිදාගන්න ලෑස්ති වුනා. ඇමරිකාවේ රෑ එක දෙක වෙනකම් ඇහැරලා ඉඳලා දැන් වුනත් මට අඩුම තරමින් රෑ දොලහවත් පහුවුනේ නැත්නම් නිදිමත එන්නේ නෑ. ඒ නිසා තවත් සිගරට් එකක් පත්තු කරගෙන මම බැල්කනි එකට ආවා.


5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේකේ අවසානය සුඛාන්තයක් වෙන්න ඕන .නැත්නම් දිලිනිටයි කවින්දටයි ලොකු අසාධාරණයක් කරනවා

    ReplyDelete
  3. "මම ගිහින් කාර් එක ඇතුලට ගන්න කොට මගේ ඇස් දෙක පුරුදු දෙයක් දකින්න හෙව්වා. ඉස්සර මම මෙහෙම එනකොට දිලිනි ගේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. ඒත් අද හැම දෙයක්ම පාළුයි. බැරි වෙලා හරි එයා මෙහේ හිටියොත්... එහෙම හිතලා මම විනාඩියක් විතර කාර් එකේ දොර අල්ලගෙන ගේ දිහා බලාගෙන හිටියා " මම තවමත් අවුරුදු විසි අටක් තිස්සේ බලාගෙන ඉන්නවා

    ReplyDelete
  4. දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
    නැවතත් මුණගැසෙනා
    කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා...

    ReplyDelete