Thursday, December 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 110




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





110.

එදා රණ්ඩුවෙන් පස්සේ කිසිම විශේෂ දෙයක් වුනේ නෑ. ගිහාන් පොලිසියට ගිහින් තිබුණෙත් නෑ.. අපිට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ආවේ නෑ.
කෝකටත් කියලා පහුවෙනිදා අපි හැමෝම ගෙවල් වලට වෙලා හිටියා. කව්රුත් එලියට ආවේ නෑ.
දෙවෙනි දවසේ මම බයික් එකත් අරගෙන අමිලවත් දාගෙන සචියගේ ගෙදර ගියා.
අපි යනකොට මූ කල්පනා කර කර ඉන්නවා.
“මොකද යකෝ... කල්පනා කරන්නේ... ගෑණි මැරිලා වගේ?”
“එහෙම වුනානම් එකක්... අපේ වලි තාත්තට ආරන්චි වෙලා... මට ගෙදරින් එළියට අඩියක්වත් තියන්න තහනම්...”
“කමක් නෑ... අපි ආවනේ.... ඒක නෙවෙයි බං... අරූ සද්දයක් නෑ වගේ නේද?”
“හ්ම්.... මට පුදුමයි.... එදා අර වගේ ගුටි කාලා ගිහින් ඌ සද්ද නැතුව ඉන්නේ බයට වෙන්න බෑ.”
“මටත් සැකයි කාවා. මොනව වුනත් උඹ පරෙස්සම් වෙයං...”
අපි දවල් වෙනකම් කතා කර කර හිටියා.
එකොළහට විතර මම දිලිනිව බලන්න යන්න ලෑස්ති වුනා.
“කාවා.. පරෙස්සමෙන්...” දෙන්නම කිව්වා.
මම එනවා කිව්වේ දොළහට වුනත් යනකොට දොලහයි කාළයි. දිලිනි තරහ මූණක් පෙන්නගෙන හිටියා.
“මොකද තරූ...?”
“මොකද තමා.. වෙලාවට එන්න බැරිද.....?”
“අයියෝ... විනාඩි දහයනේ පරක්කු වුනේ...“
“ඒ වුනාට මට ඔයාව හම්බවෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නවා... ඒ මදිවට මෙයා පරක්කු වෙනවා. මට තරහේ බෑ....”
“සොරි සොරි...... දැන් ඉතින් හිනා වෙන්න.”
“බෑ.... මට හොඳ ලන්ච් එකක් අරන් දෙනකං මම තරහයි.”
“ආ... ඒක මොකක්ද... දෙන්නම්කෝ බඩ පැලෙන්න... කොහෙද යන්න ඕනේ...?”
“අනේ කාවින්ද... පෙරේදා වැඩෙන් පස්සේ මට බයයි. අපි ටිකක් ඈතට යමු.”
“මම කියන්නද? අපි........ පොඩි සාදු බලන්න යමු... යන ගමන් කඩුගන්නාවේ නියම හොටෙල් එකක් තියෙනවා, එතනින් කමු.”
“ම්..... යමු...”
අපි දෙන්නා පිටත් වුනා. අපි එනවා පොඩි සාදු ඈතදීම දැක්කා.
“එන්න එන්න..... කාවින්දට ගොඩක් කාලෙකින් මාව මතක් වෙලා තියෙන්නේ....”
“එහෙම එකක් නෑ පොඩි සාදු.... ටිකක් වැඩ තිබුණා... අනිත් එක සෑහෙන කාලෙකින් ගෙදර ආවා නිසා අම්මා කැමති නෑ කොහේවත් යනවට.”
දිලිනි පොඩි සාදුට වැන්දා.
“සුවපත් වේවා.. පුංචි නෝනා දකින්න ලැබීමත් සතුටක්... කොහොමද සැප සනීප.”
“හොඳින් එන්නවා සාදු....”
“පහුගිය කාලේ කාවින්දට මම කියපු විදිහේ දේවල් වුනා නේද...?”
“ඔව් සාදු.... ඒත් පොඩි සාදු මට කතා කරපු නිසා මම බයවුනේ නෑ...”
දිලිනි කිව්වා.
“කවදද පොඩි සාදු කතා කළේ.... ඔයා මට කිව්වේ නෑනේ?” මම ඇහුවා.
“ඔයා අසනීපෙන් ඉන්න මුළු කාලෙම පොඩි සාදු මට කතා කරලා මගේ හිත හැදුවා කාවින්ද... පොඩි සාදු තමයි මට බය නැතුව ඉන්න කියලා දුන්නේ...”
“ඔව් කාවින්ද.... මම මුලින්ම කිව්වා වගේ කාවින්දගේ ඉරණම් කාරි මේ පුංචි නෝනාම තමයි කියලා මම විශ්වාස කළා. ඒ නිසා කාවින්ද අසනීපෙන් ඉන්නකොට මම මේ දරුවගේ හිත හැදුවා. එයාගේ හිත ශක්තිමත් කළා. මේ දෙන්නගේ කතාව අතරමග නවතිනවා දකින්න මට ඕනේ වුනේ නෑ.”
“පොඩි සාදු කරපු දේ නම් හොඳයි... ඒත් මට හිතාගන්නවත් බැරි විදිහට අසනීප වුනේ. අර වගේ පොඩි රණ්ඩුවකින් වැදුන පොඩි පාරක් නිසා මෙහෙම වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද?”
“ඒවා එහෙම තමයි කාවින්ද..... අපි නොහිතන බොහොම පොඩි දේකින් ජීවිතේම වෙනස් වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ....”
මම අහගෙන හිටියා.
“මේවා අනුමාන කරලා කියන අනාවැකි නෙවෙයි කාවින්ද ළමයෝ.... මම කියන දේවල් ඇත්ත. මම එදත් කිව්වා... ඔය දරුවෝ දෙන්නගේ ජීවිත එක් වෙනවා... ඒක ස්ථිරයි.... ඉර හඳ වගේ සිථිරයි.....”
“පොඩි සාදු හැමදාම අන්තිමට ඔය දේ කියනවනේ.... එහෙනම් කියන්න බලන්න අපේ දෙමව්පියෝ මේ ගැන මොන විදිහටද වැඩ කරන්නේ කියලා. අන්තිමට ඒ අයත් කැමති වෙනවද?”
මම එහෙම ඇහුවම පොඩි සාදු හයියෙන් හිනා වුනා.
“අන්න කාවින්ද මගේ ගැන වැරදියට හිතලා... මම පේන කියන්නෙක්වත්, ජෝතිශ්‍යෙව්දියෙක්වත් නෙවෙයි... ඔය වගේ අනාවැකි කියලා මිනිස්සුන්ගේ හිත් වශී කරලා සල්ලි හොයන අයයි මමයි වෙනස්... මට ඔය වගේ අනාවැකි කියන්න බෑ.”
එහෙම කියලා පොඩි සාදු දිලිනිට කතා කළා.
“පුංචි නෝනා... දෙන්නත් එක්ක එන්න තේ ටිකක් බොන්න.”
අපි ඇතුළට ගියා.
“කාවින්ද, කොහොමද ඇමරිකාවේ ජීවිතේ....?”
“වරදක් නෑ පොඩි සාදු... ඒත් ඉතින් තනියම..... අනිත් එක අවුරුද්දේ වැඩි කාලයක් සීතල...”
“එහෙම තමයි ඒ රටවල්... අපේ මේ පොඩි රටේ අගේ දැනෙන්න නම් පිටරට යන්නම ඕනේ නේද?”
“ඒකනම් ඇත්ත පොඩි සාදු.... මට වෙලාවකට එපා වෙනවා.”
“හරි දැන් කියමු බලන්නේ දෙන්නගේ අනාගත සැලසුම් මොනවද කියලා. මම හිතන්නේ දෙන්නා දැන් මොනවා හරි සැලසුම් කරලා ඇති නේද?”
“පොඩි සාදු....” මම කතාව පටන් ගත්තා.
“අපි ලොකු දෙයක් හිතලා නෑ... මට ඩිග්රි එක ගන්න තව අවුරුදු දෙකක් තියෙනවා... මගේ අන්තිම අවුරුද්දේ අපි හිතාගෙන ඉන්නේ මැරි කරලා එහේම පදිංචි වෙන්න... ලංකාවේ ඉන්න තරම් තත්වයක් අපිට තියෙයි කියලා හිතන්න බෑ.”
“පුංචි නෝනා..... එතකොට දැන් කරගෙන යන වැඩ...?” පොඩි සාදු දිලිනිගෙන් ඇහුවා.
“මට තේරෙන්නේ නෑ සාදු.... මම එකම දරුවා.... තාත්තගේ හැම දෙයක්ම අයිති වෙන්නේ මට. ඒත් අපි මැරි කළොත් තාත්ති ඒවා මට නොදී ඉඳයිද කියලා හිතෙනවා. එහෙම වුනත් ප්‍රශ්ණයක් නෑ අපි ජීවිතේ අළුතින්ම පටන් ගන්නවා.”
“දෙන්නා දැන් තදින්ම තීරණය කරගෙනද ඉන්නේ...?”
“ඔව් පොඩි සාදු... මොන දේ වුනත් අපි වෙන් වෙන්නේ නෑ... අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්න බෑ...”
“ලැබෙන්න තියෙන දේවල් අවශ්‍ය වෙලාවට ලැබෙයි... කිසිම දෙයක් බලෙන් ලබාගන්න යන්න එපා... හිතාගෙන ඉන්න විදිහ හොඳයි... .තව අවුරුදු දෙකක් ඇතුළත දෙන්නා විවාහ වෙන්න.... හැම දෙයක්ම හරියයි.”
“පොඩි සාදු ඇත්තටමද කියන්නේ...?” මම ඇහුවා.
පොඩි සාදු මොනවත් නොකියා හිනා වෙවී ඇතුළට ගිහින් අපිට තේ දෙකක් ගෙනාවා.
“බොන්න....”
අපි තේ දෙක අරගත්තා.
“මම කවදාවත් බොරු කියලා නෑ.. කියන්නෙත් නෑ....”
ඔය විදිහට අපි සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා. වැඩි වෙලාවක් පොඩි සාදු දිලිනි එක්ක කතා කරන එක තමයි කළේ. මම දෙන්නට කතා කරගන්න දීලා එළියට වෙලා හිටියා. අන්තිමට පහට විතර අපි ගෙදර යන්න පිටත් වුනා.
“මොනවද තරූ පොඩි සාදු එක්ක ඔච්චර වෙලා කතා කළේ?”
“ඒක ඔයාට වැඩක් නෑ...”
“ඒක නම් මාරයි ආ.... මමයි පොඩි සාදුව අඳන්නලා දුන්නේ... දැන් දෙන්නා එකතු වෙලා මාව හලලා.”
“නෑ කාවින්ද... ඒ දේවල් ඔයාට කියලා වැඩක් නෑ... ඔයා විශ්වාස කරන්නේ නෑනේ”
“දැන් එතකොට ඔයා ඔය විකාර විශ්වාස කරනවද....?”
“ඔව්.... ඒවා විකාර නෙවෙයි කාවින්ද.. පොඩි සාදු කියපු හැම දෙයක්ම වුනේ නැද්ද...?”
“මම කිව්වා ඔයාට.... පොඩි සාදු ඔය වැඩේ කරයි කියලා..... ප්ලීස් මේ.... මාත් එක්ක ඉන්නවනම් ඔය විකාර ඔළුවෙන් අයින් කරන්න.....”
“හරි හරි බබා.... මම ඒවා එක්ක එල්ලිලා ඉන්නේ නෑ....”

0 comments:

Post a Comment