Thursday, December 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 108



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





108.

අපි සතියක්ම සිංගප්පූරුවේ අපේම ලෝකෙක තනි වෙලා හිටියා.

දිලිනිගේ පෙරැත්තය නිසාම ඊට පස්සේ මම ලංකාවට යන්න ටිකට් එකක් ගත්තා.

මම අම්මට කෝල් කරලා මම එනවා කිව්වම අම්මා පුදුම විදිහට සතුටු වුනා.

මාව ගන්න එයාපෝර්ට් එකට සචියව ගෙන්න ගන්න මම ඌට කතා කළා.

“අම්මෝ ඇති උඹට අපිට මතක් වුනා...”

“වැකේෂන් බං......”

“නෑ... එල නේ... උඹ දැන් මොකද කරන්නේ...?”

“අපි ඉන්නේ සිංගප්පූරුවේ...”

“උඹ කෙහෛන්ද බං සිංගප්පූරුවට පාත් වුනේ....”

“පාත් වුනේ නෑ යකෝ... ප්ලේන් එකෙන් ආවා...”

“එතකොට උඹ ඉස්සෙල්ල, අපි කියලා කිව්වේ කාටද?”

“අම්මට යකෝ... උඹට ඒකත් නෝට් වුනාද...?”

“කියපං... උඹ අපිටත් කොලේ වහලා තව කෙල්ලෙක් එක්ක නටනවද?”

“නෑ බං... මම ඉන්නේ දිලිනි එක්ක...”

“නෑ,.. උඹලා දෙන්නා තනියමද ඉන්නේ...?”

“නැත්තං.... අම්මලා තාත්තලා එක්ක ආවා කියලා උඹ හිතුවද?”

“යකෝ... උඹලා හෙට අනිද්දම බැඳපං... උඹලා දැන්මම ගෑණියි මිනිහයි වගේ ඉන්න එකේ... ඒක ඉක්මනට කරලා දාපං... නැත්තං උඹලා බඳින්න කළින් ළමයි හම්බවෙයි.”

“කුණුහරප කියන්න එපා යකෝ.... මම කතා කළේ අපි අනිද්දා ලංකාවට එනවා කියන්න... උඹ අමිලයත් එක්ක වරෙන් අපිව ගන්න.”

“යකෝ... එලනේ... උඹ කොච්චර කල් ඉන්නවද?”

“මාසයක්....”

“මරු... අපිට ආයෙත් ගිහානයා එක්ක වලියක් දාගන්න පුළුවන්... මේ ළඟදි ඉඳන් ඌ ආයෙත් නටනවා...”

“ඇයි...?”

“ඌ අමිලයාටත් පාට් එකක් දාලා තිබුණා... උඹ ඌට බයේ ලංකාවෙන් ගියාලු... අපිටත් පරිස්සම් වෙලා ඉන්නලු...”

“එහෙනම් මේ සැරේ ඌ පැටලෙන්න ආවොත් නැතිම වෙන්න දෙමු.”

“අන්න.... අපේ කාවා.... දෙමු මචං කොහොමද කියන්නේ අම්ම මුත්ත සිහිවෙන්න. එනිවේ... අපි අනිද්දා එන්නම්.. වෙලාව කීයද?”

“උදේ හය...”

“එල...”

********************************

අපි දෙන්නා කටනායක ගුවන්තොටුපළින් එළියට එනකොට සචියයි, අමිලයි ඇවිත් හිටියා.

“කාවා...... යකෝ උඹ වෙනස් වෙලා තියෙන තරම.... මේ අවුරුද්දට උඹේ ඇඟ දාලනේ යකෝ...”

මම උන් දෙන්නව බදා ගත්තා.

“දිලිනි... ඔයත් වෙල්කම්.... තෑන්ක්ස් අපේ කාවා බලාගත්තට..” සචියා කිව්වා.

“ඉතින් බං.... මොකද කියන්නේ යන ගමන්ම ගිහානයාට ගේමක් කෝල් කරමුද... උඹ එනකං ඉවසිල්ලක් නැතුව හිටියේ...” අමිලා කිව්වා.

“අනේ අමිල මේ..... එක පාරක් කාවින්දට වුන දේ මතකනේ...... ඔය රණ්ඩු නම් එපා.....” දිලිනි කිව්වා.

“සොරි මැඩම්.... දැන් කාවා අපේ නෙවෙයි, ඔයාගෙනේ... සොරි අමතක වුනා.”

“අනේ නෑ... මම එයාව ඔයාලගෙන් උදුරගත්තේ නෑ....”

“වරෙව් දෙන්නම... මම අයියගේ වෑන් එක ඉල්ලගෙන ආවා.”

මම අතේ තිබුණ බෑග් එකක් ඌට දුන්නා.

“අම්ම ගහයි... කාවා බෝතල් නේද... මොනවද බං ගෙනාවේ... විස්කිද?”


“හ්ම්.... වෙලාවක සෙට් වෙමු.”

අපි එකට පේරාදෙනියට ආවා. ඒත් එයා එතනින් වෙන් වුනා.

“අරකි ඉන්න නිසා නිදහසේ කතා කරන්නවත් බැරුව හිටියේ බං....” අමිලයා කිව්වා.

“ඉතින් කාවා.... උඹ සිරාවටම ලස්සන වෙලා යකෝ..... සුදු වෙලා...”

“සුදු නොවී තියෙයිද බං... අවුරුද්දේ වැඩි හරියක් ගල් ගැහෙන සීතල..... ඉර අව්වක් දකින්න නෑ මාස ගාණකට..... හැම දෙයක්ම අළු පාටයි සුදු පාටයි විතරයි.... වෙලාවකට මල පනිනවා බං....”

“දැන් මොකද කරන්නේ කාවා... කෙලින්ම ගෙදර යනවද?”

“ඔව් ඔව්..... අම්මා බලාගෙන ඇති.... උඹලා අද මාව දාලා ගිහින් හෙට උදේම වරෙන්.... පොඩ්ඩක් සෙට් වෙමු.... සචියා මේ චොක්ලට් ටික නංගිටයි අම්මලටයි දීපං... අමිලයා උඹත් මේක දීපං... අනිත් ඒව හෙට දෙන්නම්...”

“එල එල....”

උන් දෙන්නා මාව ගෙදරින් දැම්මා.

මාව දැකපු අම්මට සතුට දරා ගන්න බෑ... දීප නැන්දා අඬනවා... එයා කරන්න දන්නේ එච්චරයි... වෙන එකක් තියා මල්ලියි. තාත්තයි දෙන්නත් ගෙදර හිටියා.

දවල් කෑමට අම්මා කෑම ජාති දහයක් විතර හදලා තිබුණා. ඇත්තටම මේ කෑම කනකොට තමයි තේරුණේ මොන්ටානා වල මොනවද කාලා තියෙන්නේ කියලා.

“අප්පේ කාවින්ද බබා සුදු වෙලා, ලස්සන වෙලා... ඒ වුනාට කෙට්ටු වෙලා... කෑම බීම හරියට නැතුව ඇති.” දීප නැන්දා කිව්වා.

“ඒ මොකද දීප නැන්දේ... ඇයි ඇමරිකාවේ කෑම නෑ කියලා හිතුවද?”

“කෑම තියෙනවා තමා බබා... ඒත් ඔය සුද්දන්ගේ කෑම අපිට අල්ලන්නේ නෑ.... බලන්නකෝ බබා නිකං ඇට ගැහිලා, බඩත් පොත්තට ඇලිලා.”

දීප නැන්දා කියන විකාර අහලා අම්මට මල පැන්නා.

“දීපා මේ විකාර කියවන්නැතුව ඒ ළමයට කන්න දෙන්න.... එයාගේ බඩ ඇලිලා තියෙන්නේ කන්න නැතුව නෙවෙයි.... ඒ ළමයා එහේ හිටියා කියලා නෑ... කම්මැලි නැතුව ව්‍යායාම කරනවා ඇති... ඒකයි...”

“අප්පේ... ඒ මොන ව්‍යායාමද... පිරිමියෙක් වුනාට පොඩ්ඩක් බඩ දාලා තියෙන්න එපැයි.”

“දීපා නැන්දේ.. අපේ රටේ උන් කාලා කාලා කම්මැලි කමට නිදාගත්තම බඩ එනවා... සුද්දෝ එහෙම නෑ... උන් ගාණට කාලා ඉන්නවා.”

අම්මා තව සැරයක් දීප නැන්දට රැව්වා...

“ඔන්න මම කට වහගත්තා... බබා කන්න....”

ප්ලේන් එකේ පැය තුනකුයි... කටුනායක ඉඳලා ගෙදරට තව පැය තුනකුයි ඇවිල්ලා මට හොඳටම මහන්සි දැනුනා. ඒ නිසා දවල්ට කාලා... නාලා මම නිදා ගන්න ගියා.

ඇඳට නගිනකොටම දිලිනි කෝල් කලා.

“ඔයා නැතුව පාළුයි බබා..... සතියක් ඔයා එක්ක ඉඳලා දැන් නැතිවුනාම මට පිස්සු වගේ...”

“මම එන්නද සුදූ....?”

“ඔයා දැන් මොකද කරන්නේ...?”

“කාලා... පොඩ්ඩක් නිදාගන්න ලෑස්ති වුනා.”

“එහෙනම් එන්න එපා... ඔයා නිදාගන්න...”

“නෑ... මට මහන්සි නෑ.... මම එන්නම්...”

“එපා එපා... ඒක හොඳ නෑ... ඔයා නිදා ගන්න... ඔන්න මම තිබ්බා.”

මහන්සියටත් එක්ක වෙන්න ඇති මට හොඳටම නින්ද ගියා.

මට  හවස හයට විතර ඇහැරුනා.

පහළට ඇවිත් අම්මා එක්ක කතාවක් දාගෙන ඉන්න අතරේ මම බැලුවේ දිලිනි ගැන මොනව හරි අම්මට ආරංචි වෙලාද කියලා දැනගන්න. ඒත් එහෙම පාටක් පෙනුනේ නෑ.

“කාවින්ද බබා.... රෑට මොනවද කන්නේ...? ඔන්න දැම්ම කියන්න.... හොද දෙයක් හදලා දෙන්නම්.... ආපහු යන්න කළින් මම බබාව මහත් කරලා ගන්නම්කෝ...”

“දීප නැන්දේ.... මට අද නෙවෙයි, හෙට ඕනේ හොඳ කෑමක්.... යාළුවෝ අට දෙනෙක් විතර එනවා...”

“අප්පා බබාගේ අර කෑමදාසලා ටිකද...?”

“දීපා...... ඒ බබාගේ යාළුවෝ.... ඔය කතා ඇහෙන්න කියනවා එහෙම නෙවෙයි... කොල්ලෝ වුනාම එහෙම තමයි... හොඳට කන්න පුළුවන්...” අම්මා දීප නැන්දට සැරයක් දැම්මා.

“දීප නැන්දේ... මට ඕනේ හොඳ කරි චිකන් කරි එකකුයි, පරිප්පුයි, මාළු පෙති බැදලා, පොල් සම්බෝල හදලා, බෝන්චි උයලා කොළ පාටට, තව...... අර ඔයා නියමෙට හදන රෝල්ස් හදලා... සැලඩ් එකක් එක්ක... සුපිරි කෑමක්.... හෙට රෑට”

 “දෙන්නම්. හරියටම කී දෙනෙක් එනවද බබා.”

“ම්....... යාළුවෝ අට දෙනයි.... අපේ ගෙදර අයයි...”

“ගෑණු ළමයිනුත් එනවද..?”

“දීප නැන්දා ඒක ඇහුවේ අම්මා දිහා බලන ගමන්.”

“මට ගෑණු ළමයි නෑනේ නැන්දේ.....”

මම දැක්කා අම්මා අහක බලා ගන්නවා.

“ඇයි අප්පේ... බබා ලංකාවේ ඉන්නකොට පිරිමි අයට වඩා ගෑණු දරුවෝ යාළුවෝනේ හිටියේ.. මොනව වුනාද ඒ අයට?”

“ඉන්නවා ඉන්නවා... උන් මෙහේ ගෙන්නලා කෑම දෙන්න, මට පිස්සුද?”

“ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ විතරද එන්නේ පුතා.”

“ටික දෙනයි අම්මා. සචිත්‍ර, අමිල, දිලිප්, ඇන්ඩි, පැණියා, කුලා, ධනුෂ්ක අයියා, එරංග අයියා... එච්චරයි.”

ඊළඟ දවසේ උදේ ඉඳලම අම්මයි, දීප නැන්දයි ලෑස්ති වුනා රෑ කෑම හදන්න. මම කියපු අට දෙනාට අමතරව අම්මා සමාධිගේ අම්මටයි, තාත්තටයි දෙන්නටත්, තව වීරරත්න අංකල්ටත්, ඩැනී අංකල්ටත්, අබේකෝන් අංකල්ටත්, ඒ අයගේ ෆැමිලි වලටත් එන්න කිව්වා. ධනුෂ්ක අයියාගෙත් අම්මයි තාත්තයි දෙන්නත් අම්මගේ යාළුවෝ නිසා ඒ දෙන්නටත් එන්න කිව්වා. බලාගෙන ගියාම මේක හිතුවට වඩා ලොකු පාටි එකක් වෙනවා. අර මිනිස්සු ඉස්සරහ අපේ බූත සෙට් එක මොන විකාරයක් කරයිද දන්නෑ.

හවස හය වෙනකොට අපේ උන් සෙට් එක ආවා.

“මොකද බං මෙච්චර කළින්... මම තොපිට එන්න කිව්වේ රෑ කෑමට, නැතුව හවස තේ බීලා, රෑ කෑමත් කාලා යන්න නෙවෙයි...”

එතකොටම අම්මා ආවා...

“අනේ පුතාලා එන්න... මෙයාට පිස්සු.... අපි තේකක් බොමු...”

“ඒක තමයි ආන්ටි.... මූ ඇමරිකාවේ ගියාට පස්සේ කුණු ලෝබයා වෙලා. ඇයි අපිට තේකක් දුන්නහම බංකොලොත් වෙනවද?”

අම්මා හිනා වෙවී, කොල්ලෝ ටික තේ මේසෙට එක්කගෙන ගියා.

“කාවා...... කෝ බං ගෙනාපුවා...?”

“මොන....?”

“ඇයි බං අපිට තෑගි....” අමිල ඇහුවා.

තොපිට මොන තෑගිද..... යකෝ මම අමාරුවෙන් පාට් ටයිම් ජොබක් කරලා සල්ලි හොයන්නේ... උඹලට තෑගි ගේන්න සල්ලි නෑ..”

“උඹනම් සිරාවටම කුණා වෙලා ඩෝ.... ෂික්... කැතේ බෑ..”

“හිටපං හිටපං ටිකක් රෑ වෙනකං.. ගෙනාපුවා දෙන්න.... උඹල කවදාවත් බකාඩි බීලා තියෙනවද?”

“බකාඩි... මොනවද බං ඒ.... නිකං ෆෘට් ජූස් වගේ එකක්ද?” දිලිප් ඇහුවා.

“නෑ යකෝ.... ඒක රම් එකක්... අපේ අරක්කු වගේ... ඊට වඩා සුපිරි....”

“සුපිරි කියන්නේ... ගහපු ගමන් වැටෙනවද?”

“නෑ බං..... අපේ ඒවා, වල් පැන්ටා වගේ අවුල් නෑ..”

“ඕනෙ මගුලක්.....”

“දැන් මෙන්න මේව කාලා තේ බීපං.... මම අම්මා හදපු වැලිතලප දුන්නා.”

“උඹලා අම්මයි, දීප නැන්දයි නම් ලබන ආත්මේ උපදින්නේ කෑම නැවක බං...”

“ඇයි ඒ...?”

“නෑ ඉතින්... අපි හයේ පන්තියේ ඉන්න කාලේ ඉඳලනේ උඹලා ගෙදර එන්න පුරුදු වුනේ.... ඒ කාලේ ඉඳලම අම්මා අපිට පුදුම කෑමක්නේ බං කන්න දුන්නේ... දීප නැන්දා ඊට හපන්.... මේ කරන පිනම ඇති බං තව ආත්ම ගාණකට කෑම නැවකම උපදින්න.”

අමිලයා කියනවා.

“ඒක නෙවෙයි සචියා... චතුරට කොහොමද?”

“ඌ මාමා ළඟ.... එංගලන්තේ..... මට මතක විදිහට කෙන්ට් වල.”

“ඌ මොන මගුලක් කරනවද බං එහේ....?”

“යකෝ... ඌ ක්‍රිකටර්නේ.... මෑන් එහේ ඉගෙන ගන්න ගමන් ක්‍රිකට් ගහනවා.”

“සිරානේ... අපරාදේ බං මට මිස් වුනානේ...” මම කිව්වා.

“උඹට නම් මාර අවුලක් තමා යකෝ වුනේ..... සුදම් කාරයාටත් ගේමක් දීලා සාෆ් සිලෙක්ට් වුනාට පස්සෙත් වැඩක් නැති වුනා.... උඹ ගියා නම් මෙඩ්ල් එකක් ෂුවර් බං... කොහෙද වලි දාගත්තා මේ වගේ වලියක් දාගත්තේ නෑනේ....”

“උඹලා එකෙක්වත් ඕනේ වෙලාවට හිටියේ නෑනේ බං....” මම කිව්වා.

“කොහේ ඉන්නද බං..... උඹට ඒ කාලේ කොච්චර කිව්වද තනියම යන්න එපා කියලා. කොහෙද කියන දෙයක් ඇහුවෙම නෑනේ...” සචියා කියවන්න ගත්තා.

“මචං මේ කට වහගනින්... අම්මට ඇහුනොත් අපි ඔක්කෝම ඉවරයි...”

මම එහෙම කිව්වේ මූ කියවන්න ගියාම මොනවා කියයිද දන්නේ නැති නිසා.

හත හමාර විතර වෙනකොට හැමෝම ආවා. අම්මටයි තාත්තටයි ගොඩක් සතුටුයි. විශේෂයෙන් මම පලවෙනි අවුරුද්දේ විභාගේ හොඳින්ම පාස් වුනාට ඒ දෙන්නා ලොකු ආසාවකින් හිටියේ.

එදා රෑ දොළහ විතර වෙනකම් හැමෝම හිටියා. අපේ උන් සින්දු කිව්වා, නැටුවා, පුළුවන් තරම් පිස්සු නැටුවා.
ඒත් කිසිම කෙනෙක් කිසිම වෙලාවක දිලිනි ගැන මතක් කළේ නෑ. ඒක මට එක අතකට පුදුමයක්, ඒත් එක අතකට නිදහසක්.

0 comments:

Post a Comment