Monday, July 24, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 61




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි








61.

පහුවෙනිදා දිලිනි ආපහු තලවකැළේට ගියේ කෝච්චියේ. යන්න කළින් මම ස්ටේෂන් එකේදි එයාව හම්බවුනා. කෙල්ල පුදුම සතුටින් හිටියේ.

එයා ගියාට පස්සේ මමයි සචියයි ගරාජ් එකට ආවා.

ඒ එනකොට ගරාජ් එකේ කලබලයක්. ධනුෂ්ක අයියා එක්ක පොලිසියේ රාලහාමි කෙනෙක් ලොකු කතාවක්. අනිත් අයත් වට වෙලා.

කාවා.... මොකක්ද සීන් එක?“ සචියා ඇහුවා.

ධනුෂ්ක අයියා මොකක් හරි කොක්කක් දාගෙන වගේ... බලමු.

එහෙම කියලා මම ළඟට ගියා.

මාව දැකපු ගමන් ධනුෂ්ක අයියා හොල්මන් වෙලා වගේ බලාගෙන හිටියා.

ඇයි අයියේ?

නෑ බං.... පොලිසියෙන් ඇවිත් තියෙන්නේ පැමිණිල්ලක් විභාග කරන්න.

මොකක්ද ප්‍රශ්ණේ.....?

උඹට විරුද්ධව.“

මට මොකක් ගැනද කියලා අහන්න වෙලාවක් තිබුණේ නැහැ. පොලිස් රාළහාමිලා දෙන්නෙක් මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.

මේ කාවින්ද නේද? අපිත් එක්ක යං පොලිසියට... අපිට පැමිණිල්ලක් තියෙනවා කට උත්තරයක් ගන්න වෙනවා.

ඒ ඇයි?

ඒක දැනගන්න නම් යං පොලිසියට.

කට උත්තතරයක් දෙන්න නම් ප්‍රශ්ණයක් නෑ.... මම එන්නම්.. හැබැයි මගේ වාහනේ. ඔය දෙන්නා යන්න අපි පස්සෙන් එන්නම්.

නෑ....  ඒක කරන්න බෑ.. එහෙම වුනොත් අපිට කාවින්ද මහත්තයාව අත්අඩංගුවට ගන්න වෙනවා.

මාව ඇරේස්ට් කරන්න. වොරන්ට් එකක් තියෙනවද?

මේ... මේ.... වැරදි කරලා තව පන්ඩිතයා වගේ කියවන්නත් එනවද? නගිනවා ජීප් එකට.

ඔෆිසර්... කරුණාකරලා මාව ඇරෙස්ට් කරන්න වොරන්ට් එකක් නැත්නම් ආපහු යන්න. කට උත්තරයක් දෙන්න මම දැන්මම එන්නම්.

මම වීරරත්න අංකල්ගෙන් ඉගෙන ගෙන තිබ්බ දේවල් බය නැතුව කියලා දැම්මා.

සචියත් මගේ අත අල්ලගත්තා. “උඹ බය නැතුව හිටපං කාවා. උඹට අරන් යන්න අපි දෙන්නේ නෑ.

යං කාවින්ද මල්ලි මගේ වාහනේ.... රාලහාමි යං අපි පස්සෙන් එනවා.

ධනුෂ්ක අයියා කිව්වා. ඒ මොනවා කිව්වත් පොලිස් ඔෆිසර්ට ඕන කරලා තිබ්බේ මාව ඇරෙස්ට් කරලා අරන් යන්න. ඒත් අපි කෙලින් හිටපු නිසා මිනිහා ජීප් එකට නැග්ගා..

අපි විනාඩි දහයකින් පොලිසියට ආවා. මම කරපු පලවෙනි වැඩේ තාත්තා අඳුරන පොලිසියේ කවුරු හරි ඉන්නවද කියලා බලන එක. වෙලාව කියන්නේ සාජන්ට්ලා දෙතුන් දෙනෙක් ඇර වෙන කවුරුවත් නෑ.

ඉඳගන්නවා. මාව අරන් ආපු සාජන්ට් බංකුවක් පෙන්නලා මට කිව්වා.

ධනුෂ්ක අයියේ.. ඔයා යන්න... සචියා ඉන්නවනේ. පුළුවන් නම් යන ගමන් අපේ තාත්තට කියාගෙන යන්න.
හරි මල්ලි... මම මේ දැන්මම තාත්ත හම්බ වෙන්නම්.

එහෙම කියලා ධනුෂ්ක අයියා ගියා.

අපි පැය බාගයක් විතර හිටියත් කිසිම පොලිස් නිලධාරියෙක් මගෙන් කටඋත්තරයක් ගත්තේ නෑ.

ඒ වෙනකොට පොලිසියේ ක්‍රයිම් සෙක්ෂන් එකේ ඕ අයි සී ආවා.

මිනිහා මාව බලලා තව පීසී කෙනෙකුට කතා කළා.

මොකද මේ යකා එළියේ.. දානවා කූඩුවට.

සර්... මේ අර උදේ ආපු පැමිණිල්ලට ගෙනාපු කාවින්ද.... මිනිහව ඇතුලට දාන්න බෑ.

ඇයි?

මිනිහා කියනවා ඇරෙස්ට් වොරන්ට් එකක් නැතුව ඇතුලට දාන්න බෑලු.

ඕ අයි සී මගේ ළඟට ආවා.

ආ තමුසෙ අපිට පොලිස් රාජකාරි උගන්වන්න එනවද? වොරන්ට් ඇතත් නැතත් මට එකයි. තමුසේ ඊයේ රෑ හොරකමක් කරලා තියෙනවා. අපිට සාක්ෂි තියෙනවා. දානවා මූව ඇ.තුලට.

හොරකමක්. ඊයේ මුළු රෑම මම හිටියේ ගෙදර... මොන හොරකමක්ද?

ඒව වැඩක් නෑ... මම තමුසෙව කෙලින්ම උසාවි දානවා.

මට ඊට කලින් තාත්තට කතා කරන්න ඕනේ.

කාටවත් කතා කරන්න බෑ. යනවා ඇතුලට.

පොලිසිය ඇතුලේ මට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මම කූඩුව ඇතුලට ගියා.

සචියා මගෙන් මොනවද අහන්න හදනවා. ඊයේ උන් කරපු දේ නිසාද කියලා වෙන්න ඇති. ඒත් මේ වෙලාවේ ඒක කතා කරන එක අවදානම්. මම කටට ඇඟිල්ල තියලා සචියව නැවැත්තුවා.

සචියා... උඹ කෙලින්ම අපේ තාත්තව හොයගෙන කියපං. මට අවුලක් නෑ.

ඒ වුනාට මුන් උඹට ගහයිද?

නෑ බං.... ගහන්න හේතුවක් නෑනේ....

පරිස්සමින්... කෝකටත් මම තාත්තව එක්ක එනකං කට ගහන්න යන්න එපා උඹ.

හරි... උඹ පලයං.

සචියා ගිය අතරේ මට කල්පනා වුනේ මොකක්ද මේ වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඊයේ කරපු සීන් එක මාට්ටු වෙලා... දිලිනිගේ තාත්තා මට විරුද්ධව පැමිණිල්ලක් දාලා ඇති. ඒත් පොලිසිය මේ තරම් තදින් ඉන්නේ ඇයි?

ටිකකින් ආයෙත් මාව ඕ අයි සී ගේ කාමරේට අරන් ගියා.

තමුසේ කාවින්ද නේද?

ඔව්.

අයිසේ කතා කරන්න දන්නේ නැද්ද? මම ඕ අයි සී...

ඉතින්... මම බය නැතුව ඇහුවා. මූට ඕනේ මට කියලා සර් කියවගන්න.

හරි ඒකෙන් කමක් නෑ... කව්ද දිලිනි කියන්නේ?

මොකක්ද දෙන උත්තරේ... දන්නේ නෑ කියන්නද? ඒත් ඒක බොරුවක් කියලා අහුවෙනවා. ෂිහ්... වීරරත්න අංකල් මේ වගේ වෙලාවක කියන්න ඕනේ දේවල් කිව්වේ නෑනේ.

මොකද අයිසේ කල්පනා කරන්නේ. බොරු කරන්න හදන්න එපා... කියනවා කව්ද දිලිනි කියන්නේ?

මගේ යාළුවෙක් කෙනෙක්.

තමුසෙගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් නෙවෙයිද?

ඔව්.....

එහෙමනම් යාළුවෙක් කියලා කිව්වේ?

එයා ඉස්කෝලේ ටීචර් කෙනෙක් තමයි... ඒ වගේම මගේ යාළුවෙක්.

තමුසෙගේ ලව් එක නෙවෙයිද?

නෑ..... එයා මගේ හොඳ යාළුවෙක්.

කෝ දැන් එයා.

මම දන්නේ නෑ.

තමුසේ නෙවෙයිනම් මමද අයිසේ දන්නේ. කෙල්ලව පන්නගෙන ගිහිල්ලා... හංගලා දැන් බබා වෙන්න හදනවා.“

මම දන්නේ නෑ. මේ ගැන මම කලිනුත් පොලිසියේ කට උත්තරයක් දීලා ඇති. ඇයි මේ ආයෙත් එකම අහන්නේ?

හරි ඉන්න තැන දන්නේ නැත්නම්... තමුසේ මොකටද ඒ කෙල්ලගේ ගෙට පැනලා සල්ලි හොරකම් කළේ?

ගෙට පැනලා... කවදද?

බබා වෙන්න එපා.... තමුසේ ඇත්ත කිව්වේ නැත්නම් මම දෙකක් ඇනලා අහගන්න විදිහ දන්නවා.

ඇනලා නෙවෙයි, මරලා දැම්මත් මට කියන්න තියෙන්නේ මම කරපු දෙයක් නෑ කියලා තමයි.

සාක්ෂි තියෙනවා තමුසේ කළා කියලා ඔප්පු කරන්න.

එහෙමනම් උසාවි දාන්න.. මම ඊයේ රෑ හිටියේ ගෙදර කියලා මම ඔප්පු කරලා පෙන්වන්නම්.

 මම බය නැතුව කිව්වා.

ඕ අයි සී කාරයා මගෙන් ඒ තරම් තද උත්තරයක් බලාපොරොත්තු වුනේ නැති බව පෙනුනේ මිනිහගේ මූණෙන්.

තමුසේ එහෙනම් කියන්නේ නෑ.

මම දන්නේ නෑ.... මම කළේ නෑ...

හොඳයි... තමුසේ මේක පිළිගත්තොත් ගොඩින් බේරගන්න පුළුවන්... නැත්නම් උසාවි ගිහින් අන්තිමට අවුරුදු ගාණක් හිරේ...

කමක් නෑ.... මම නොකරපු දෙයක් පිළිගන්න බෑ.

තමුසෙගේ කට වැඩී අයිසේ..... තමුසේ හිතාගෙන ඉන්නේ හැම දේම දන්නවා කියලද? ලොකු ඉස්කෝලෙකට ගියා කියලා යන්තම් අවුරුදු විස්සක් වෙනකොට අපිවත් කටින් මට්ටු කරන්න හදනවා.

මම කට වහගෙන හිටියා.

පී සී.. දානවා අයිසේ මේකව ඇතුලට..... කිසි කෙනෙකුට කතා කරන්න දෙන්න එපා.

මාව ඇරෙස්ට කරන්න වොරන්ට් එකක් නැත්නම් මම කූඩුවට යන්නෑ.

සර්... මුගේ කට වැඩී... දෙන්නට දෙකක් දතක් ගලවලා යන්න... ඊට පස්සේ බල්ලා වගේ යයි කූඩුවට.
පී සී කිව්වා.

නෑ නෑ.... මිනිහට අත තියන්න එපා. ලෙඩක් වෙයි.

සර් අපි ඇයි බලාගෙන ඉන්නේ. මහ මිනිහා ඇවිල්ලා අරන් යනකන්ද?

නෑ අයිසේ.... බලමු.... මිනිහට ඔහොම ඉන්න දෙනවකෝ.

පැයක් විතර ගියා. පොලිසියේ රාළහාමිලා බැලුවෙම මගේ කටින් වචනයක් ගන්න, මම ඊයේ රෑ ගෙදර හිටියේ නෑ කියලා.

තවත් විනාඩි කීපයක් ගතවෙනකොට සචියා මගේ තාත්තත් එක්ක ආවා.

තාත්තා මගේ දිහා බලලා කෙලින්ම ඕ අයි සී ගේ කාමරේට ගියා. විනාඩි පහක් විතර ගියාට පස්සේ දෙන්නම එළියට ආවා.

නෑ මිස්ටර්.... මට මේ ළමයව එළියට දෙන්න බෑ... පැමිණිල්ලක් නිසා ගෙනාවේ.

ඒ වුනාට වොරන්ට් එකක් නෑ.... කොහොමද ළමයෙක්ව ඇරෙස්ට් කරන්නේ එහෙම?

මෙයා මේ වැඩේ කරනවා ඇසින් දුටු සාක්ෂි තියෙනවා.

හරි එහෙමනම් මෙයාට ඇප දෙන්න. මම ගන්නම්.

ඒකට උසාවි දාන්න වෙනවා.

හරි.... මම ලෝයර් එක්ක ඒක කතා කරලා එන්නම්. එතකං ළමයට අතක් හරි තියල තිබ්බොත් මම නරක මිනිහා කියන්න එපා.

තාත්තා පොලිසියේදිම පොලිස් ඕ අයි සී ට පාට් එක දානවා. මටත් පුදුමයි තාත්තට මේ තරම් හයියක් කොහෙන්ද කියලා. සාමාන්‍යෙයන් මගේ තාත්තා අසාධාරණයට විරුද්ධව බය නැතුව කතා කරනවා වුනත් කවදාවත් එයාගේ බලය, ඇඳුනුම්කම් අයුතු විදිහට පාවිච්චි කළේ නෑ. සාධාරණය වෙනුවෙන් තමයි ඒ හැමදේම පාවිච්චි කළේ.

මිස්ටර්..... බය වෙන්න එපා.. අපි කිසිම සැකකාරයෙකුට ගහන්නේ නෑ. ගිහින් පුළුවන් දෙයක් කරන්න. මම මෙයාව උසාව දානවා.

හොඳයි....

තාත්තා එහෙම කියලා මගේ ළඟට ආවා.

තමුසේ ඊයේ නිදාගන්න ගියාට පස්සේ හොරෙන් පැනලා ගියේ නෑ නේද?

නෑ තාත්තා. මම නිදාගත්තා.

හරි... බය වෙන්න එපා... අබේකෝන් දැන් එනවා. ඇප දෙන්න ඩොකියුමන්ට්ස් එක්ක. පැයක් හරි දෙකක් හරි යයි. තමුසේ බය නැතුව ඉන්නවා. හැබැයි පොලිසියත් එක්ක කට ගහන්න යන්න එපා. ඒක අපිට අවාසියි. මමයි තමුසෙගේ යාළුවයි එළියේ ඉන්නවා.

මම බය නෑ තාත්තා.. මම වැරැද්දක් කරලා නෑ.

හරි.... එහෙනම් ඉන්නවා. වීරරත්න අද අනුරාධපුරේ.. මම තාම ඒ මනුස්සයාට මේක කිව්වේ නෑ... වැඩ නිසා කරදර කරන්න බෑ... මේක අබේකෝන්ටයි මටයි බේරගන්න බැරි වුනොත් අපි වසන්තට ඩි සොයිසට කියමු. මිනිහා ජජ් කෙනෙක් නිසා ඇප ගන්න පුළුවන්. බැරිම වුනොත් මම වීරරත්නට කියන්නම්.

අබේකෝන් අංකල් කියන්නේ තාත්තගේ බැජ් මේට් කෙනෙක්. දැන් නුවර ඉන්න හොඳම ලෝයර් කෙනෙක්. වසන්ත අංකල් කියන්නේ සුප්‍රීම් කෝට් ජජ් කෙනෙක්. ඒත් තාත්තගේ කැම්පස් එකේ සමකාලීනයෙක්. ඒ නිසා මගේ හිතේ තිබ්බ අන්තිම බයත් නැතිවෙලා ගියා. එහෙනම් තද තැනකින් මගේ කේස් එකට අත තියලා. ඒ නිසා තමයි ඕ අයි සී වුනත් බලු කුක්කා වගේ හිටියේ තාත්තා ඉස්සරහ.

සචියා මගේ ළඟට ආවා.

කාවා... උඹ බයවෙන්න එපා.... දැන් උඹට අතක්වත් තියන්නෑ කිසිම කෙනෙක්.... තාත්තා අබේකෝන් අංකල්ටයි, වසන්ත අංකල්ටයි දෙන්නටම කතා කලා. මම හිතන්නේ වසන්ත අංකල් පොලිසියට කෝල් එකක් දුන්නා එයාගේ කෙනෙක් ගෙනත් තියෙනවා කියලා කියන්න.

ඒත් එයා මේකට අත දාන එකක් නෑ. එයාට පොලිසියට බලපෑම් කරන්න බෑ.

ඔව් ඔව්... ඒත් අංකල් කිව්වා එයාගේ කෙනෙක් ගෙනත් තියෙනවා, සාක්ෂි තියෙනවා නම් හරි විදිහට උසාවි දාන්න කියලා. එහෙම කළේ උඹට ඇතුලෙදි වලියක් සෙට් වෙන එක නවත්තන්න. උඹ වසන්ත අංකල්ගේ කෙනෙක් කිව්වහම මොන පොලිස් කාරයද බං උඹට අත තියලා කෙලවගන්න කැමති.

බලාගෙන ගියාම තාත්තා නීතියට පිටින් නොයා කරන්න පුළුවන් හැමදේම කරලා.

අපි යන්නම්  ලොකු පුතා. බය නැතුව ඉන්නවා. මම තාම අම්මට කිව්වේ නෑ... කියන්නත් එපා... එයා මෙතන අඬන්න ගත්තහම මොනවත් කරගන්න බෑ.

එහෙම කියලා තාත්තයි සචියයි ගියා.

5 comments:

  1. දැන් නම් ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ. ඇත්තටම මේවා සිද්ද වෙච්ච දේවල්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වුනාද නැද්ද කියලා නොහිතා කතාව රසවිඳින්න. මට ඕනේ හොඳ කතාවක් ගොඩනගා ගන්න කියවන ‍හැමෝගෙන්ම උදව්වක්. හොඳ නැති තැන් තියෙනවනම් හරි කතාව ඇදෙනවා වැඩි කියලා හිතෙන තැන් තියෙනවනම් හැමෝම කියන්න ඒ තැන් මොනවද කියලා.

      Delete
    2. අනිත් එක ඒ කාලේ කොල්ලෙක් පොලිසියත් එක්ක ලෙඩ දාගෙන දවසකට කූඩුවේ ඉන්නවා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි.

      Delete