Tuesday, April 25, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 4

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි

4.
මම උදේම දිනිට කෝල් එකක් ගත්තා.

“හලෝ දිනි, ඔයා අද ගෙදර ඉන්නවද?”‍

“ඔව් අයියේ ඇයි.?”

“නෑ මට හිතුනා අද ඔයා ව බලන්න එන්න ඕනේ කියලා”

“අප්පා පුදුමයි.”

“පුදුමයක් නෑ නංගි, ඔයා මට කරන උදව් වලට මම මොනවත්ම කරන්නේ නැහැනේ.”

“මම ඔයාට උදව් කරන්නේ ඔයාගෙන් උදව් බලාපොරොත්තුවෙන් නෙවෙයි අයියේ.”

“මම දන්නවා, ඒත් මට හිතුනා ඔයාව බලන්න.”

“ඉතින් එන්න අම්මත් කියනවා ඔයා දැන් ආඩම්බර වෙලා එන්නේ නැහැලු."

“හරි හරි ඔන්න අම්මට කියන්න අද බඩගිනිකාරයෝ දෙන්නෙක්ම එනවා කියලා.”

“කව්ද ඒ?

“මම සචිත්‍රවත් එක්ක එන්නම්, ඌටත් සෑහෙන කාලෙකින් හොද කෑමක් ලැබිලා නෑ වගේ දිනි.”

“අනේ අනේ පිස්සා, හරි දෙන්නම එන්නකෝ.”

මම දිනිතිගේ ගෙදර යන්න හිතාගෙන මුලින්ම සචිත්‍රගේ ගෙදර ගියා.

මම යනකොට ඌ බර වැඩක්. 

“යකෝ, මොන මගුලක්ද කරන්නේ, මම කිව්ව නේද නවයට ලෑස්ති වෙලා ඉන්න කියල?

“අම්ම පොඩි වැඩක් කරන්න දුන්න බං, අවුරුදු ගානකින් ගෙදර තියෙන කිසි වැඩක් කරලත් නැහැනේ, මේක ඉවර වෙලා තමයි එන්න වෙන්නේ.”

“කොච්චර වෙලා යයිද?

“අඩුගානේ පැය දෙකක් වත්.”

“මගුලක් කරන්නේ නැතුව, වරෙන් යන්න.”

“අඩේ, බෑ බං, අම්මගෙන් කන පුරවලා අහගන්න වෙයි.”

“මම දැන් මොකද කරන්නේ? උඹ ඊයෙම කිව්වනම් ගමන කැන්සල් කරන්න තිබ්බා, දැන් නොගියොත් ඉතින් ඉදලා ඉවරයි.”

“මම කියන්නම් කාවා, උඹ පලයන් හරියටම පැය දෙකකින් මම දිනිලා ගෙදර”

“ෂුවර් ද?

“ආයෙ ඉතින් මේ සචියා කිව්වොත් කිව්වා තමයි.”

“ඒකත් එහෙමද, මම යන්නම්, හැබැයි පුතෝ උඹ නාවොත් නම් ඉතින් හිතාගනින් උඹ ජීවත්වුනා ඇති කියලා.”

“ෂුවර් මම එනවා”

මම තනියම යන්න පිටත් වුනා. දිනිලගේ ගෙදර යනකොට කවුරුවත් පේන්න හිටියේ නැහැ. ‍

ඒත් මගේ බයිසිකලයේ සද්දේ ඇහෙනකොටම දිනි දොර ඇරියා.

“ඇති යන්තම් ආවා, මම නම් හිතුවේ එන එකක් නෑ කියලා.”

“මම එනවා කිව්වොත් එනවා හරිද, පරක්කු වෙලා හරි.”

“හරි හරි එන්න ඇතුලට.”

මම ඇතුලට ගියත් කව්රුවත් පේන්න හිටියේ නැහැ.

“කෝ අම්මා?

“ආ... නුවර ගියා තව ටිකකින් එයි, ඔයා ආවොත් කාල යන්න තියා ගන්න කිව්වා.”

“අක්කා?

“අක්කා ක්ලාස් ගියා, මේ ඔයා ආවේ මාව බලන්නද නැත්නම් අනිත් අය බලන්නද?”

“එහෙම නෙවෙයි, සාමාන්‍යයෙන් අපි එහෙම අහනවනේ.”

“ඉතින් අයියේ තේකක් වත් දෙන්න නම් බෑ මොකද මම හදන තේ බොනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්, ෆ්‍රිජ් එකේ ඇපල් ජූස් එකක් ඇති දෙන්නද?”

“අන්න නියමයි.”

“ඉතින් අයියේ කියන්කෝ ඇයි මේ හදිස්සියේම මාව බලන්න එන්න හිතුනේ, ඊයෙ කියන්න බැරි වුන හරි ඉල්ලගන්න බැරි වුන උදව්වක් තියෙනවද?

“පිස්සුද නංගි, මම ඔයාගෙන් උදව් ඉල්ලන්න නෙවෙයි ආවේ, ඇත්තටම මගේ හොදම නංගිව බලලා යන්න.”

“අනේ මේ බටර් එපා, ඔයාට කවදද මාව මතක් වුනේ?”

“නංගියෝ මතක් නොවුන දවසක් නැහැ.”

“ඔන්න අයියේ ඔයා අපායට යන්න ලකුණු වැඩි කරගන්නවා, බොරු කියල.”

අපි ඔය විදිහට කිසිම තේරුමක් නැති වල් පල කියව කියව සෑහෙන වෙලාවක්, දැන් පැය දෙකක් ගතවෙලා ගියත් දිනි ගේ අම්මවත්, සචිත්‍රවත් ආවෙනම් නැහැ.

“මේ බූරු වහන්සේ මගුලේ යනවද දන්නේ නැහැ' මට එහෙම හිතුනා.”

“දිනි, කෝ අම්මා තාම නැත්තේ මොකද?

“එයා එයි, ඒක නෙවෙයි මම පෙන්නන්නද අපේ පංතියේ ට්‍රිප් එකේ ෆොටෝස්?”

“අන්න නියමයි, බලමු ලස්සන කෙල්ලෙක්වත් ඉන්නවද කියලා සෙට් කර ගන්න.”

“දෙන්නම් සෙට් කරලා ඉන්නවකෝ.”

දිනි මාවත් එක්කගෙන එයාගේ කාමරේ ට යන්න හැදුවා. මම ටිකක් කල්පනා කළා මේ වැඩේ හොදද නැද්ද කියලා. මම මීට කලිනුත් දිනිගේ කාමරේ එයත් එක්ක ඉදලා තියෙනවා, ඒත් සචිත්‍ර ඊයෙ කියපු දෙයක් නිසා මට පොඩි අපහසුවක් දැනුනා.

“ඇයි මාත් එක්ක තනියම ඉන්න බයද මගේ කාමරේ?

“නැහැ, බයකට නෙවෙයි දිනි ඒත් කවුරුහරි දැනගත්තොත් ඔයාටයි හොද නැත්තේ.”

“කවුරු මොනව කිව්වත් මට මොකද, මට ඔයාව විශ්වාසයිනේ අයියේ.”

දිනි එහෙම කියල මට අමුතු හිනාවක් දැම්මා.

එයා මට අර ඡායාරූප පෙන්වන අතරේ ඒ මේසය උඩ තිබිලා මට එයාගේ පරණ ඡායාරූප වගයක් හම්බවුනා.

“මේ මොකද පරන ඒවා එලියට ඇදලා, ඉස්සර කොච්චර ලස්සනද කියලා බලලා දැන් දුක් වෙනවද?

“ඇයි මම දැන් ලස්සන නැද්ද?'

දිනි එකපාරටම ඇහුවා.

ඇත්තටම දිනි ලස්සනයි. එයාගේ තියෙන ලස්සන අමුතුම එකක්. පාට තනිකරම සුදුපාට, කම්මුලක් අතින් ටිකක් තද කරල ඇල්ලුවත් තනිකරම රතු වෙනවා තත්පරයක් ඇතුලත. ඉස්සර පොඩි කාලේ මගේ විනෝදාංශය තමයි එයාව රතු කරලා හිනා වෙන එක.

“මොකද කල්පනා කරන්නේ, මම ලස්සනයි නේද?

“ඔව්, ඔයා ඕනවටත් වඩා ලස්සනයි, ඒකම තමා මට තියෙන බය.”

මම එහෙම කියලා ආයෙත් දිනි දිහා බැලුවා.

“ඒ පාර මොකද, කන්න වගේ බලා ඉන්නේ?”

මම හිනා වුනා.

“අයියේ මේ ඔය විදිහට කැත බැල්මෙන් මා දිහා බලන්න එපා හොදද.”

මම බැලුව විදිහ මෙයාට පෙනිලා තියෙන්නේ වල් විදිහටද කියලා මට බය හිතුනා.

“පිස්සුද හලෝ, මොන කැත විදිහටද?

“අනේ දන්නෙම නැහැ. ඉන්නවකෝ මම කියන්න.”

“හරි කියනවකෝ මම මොන අදහසකින්ද බැලුවේ කියලා?”

“ඒක හයියෙන් කියන්නත් ලැජ්ජයි, කන ලංකරන්න කියන්න.”

දිනි එහෙම කියලා මට ලං වුනා.

මමත් එයාට ලංවුනා මොනවද කියන්නේ කියල අහගන්න. මම කණ එයාගේ මූණට ලංකරලා බලාගෙන හිටියා මොනවද කියන්නේ කියලා. ඒත් තත්පර කීපයක් ගතවුනත් කිසිම දෙයක් කිව්වේ නැහැ. 

දැන් මට එයා ආශ්වාස කරන සද්දේ හොදට ඇහෙනවා. දිනි කිසිම දෙයක් කියන්නේ නැතුව එහෙමම හිටියා. ටිකෙන් ටික එයාගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවෙනවා.

මේ වෙලාවේ කොල්ලෙකුට තවත් ආරාධනාවක් අවශ්‍ය නැති බව කියන්න ඕනේ. මම එකපාරටම එයාගේ නිකට අල්ලලා මූණ මගේ පැත්තට හැරෙව්වා, එයා කිසිම කතාවක් නැතුව ඇස්දෙක පියාගෙන ඉන්නවා.

මම මොනවද කරන්න ඕනේ කියලා නොදැනම වගේ එකපාරටම එයාගේ දෙතොල් සිප ගත්තා.

දිනිත් කිසිම විරුද්ධත්වයක් පෙන්නුවේ නැහැ. එයාගේ දිග නියපොතු මගේ අතේ වදිනවා මට දැනුනා.

මම හිතන්නේ අපි විනාඩියක් විතර එහෙම ඉන්න ඇති. දිනි එකපාරටම පිටිපස්සට පැන්නා. 

“මෝඩයා, මොකක්ද ඒ කළේ...........?

මම මොහොතකට ගොළු වුනා......

මමත් ගැස්සුනා ඇත්තටම මම මොකක්ද ඒ කළේ?

දිනිගේ ඇස්වල කඳුලු. එයා දැන් අඬන්න ඔන්න මෙන්න.

අනේ නංගියා අඬන්නම් එපා. මට සමාවෙන්න.

මම එහෙම කියලා එයාව ළගට ගත්තා.

“අනේ නංගා, මම හිතලා කළ දෙයක් නෙවෙයි. මම දන්නෑ මට මොනවා වුනාද කියලා. මට සමාවෙන්න රත්තරනේ.

දිනි කිසිම දෙයක් කියන්නේ නැතුව මට අතින් කාමරේ දොර පෙන්නුවා.

“අයියේ මට කරදර නොකර දැන් යන්න.

“දිනි මම යන්නද?”

“හ්ම්.”

“පස්සේ වෙලාවක ඔයාට කතා කරන්නම්."

“එපා‍.

“ප්ලීස් නංගියා, මම කිව්වනේ මේක හිතල ඔයාව අපහසුවට පත් කරන්න හිතල කරපු දෙයක් නොවන බව, ඉතින් තරහ වෙන්න එපා.”

එයා තරහ වුනොත් මට මොනව කරන්නද කියල හිතා ගන්න බැහැ.

“මම තරහ නැහැ, ඒත් මට දැන් තනියම ඉන්න දීල යන්න. මම පස්සේ ඔයාට කතා කරන්නම් අයියේ.”

ගෙදර එන්න පිටත් වුනත් මට ගෙදර යන්න හිතක් තිබුනේ නැහැ.

දැන් මම මොකද කරන්නේ?

මම බයික් එක ගේට්ටුවෙන් එලියට ගන්නවත් එක්කම සචිත්‍ර ආවා.

“බූරුවෝ, තෝ දැන්ද එන්නේ?”

“පොඩ්ඩක් පරක්කු වුනා බං.”

“හොඳ පොඩ්ඩ, උඹ ආවනම් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ.”

“ඇයි මොකද වුනේ? ඇයි මේ හදිස්සියේ යන්න හදන්නේ?

“මොකද වුනේ තමයි, ඈ මී හරකෝ තොට එන්න කියපු වෙලාවට ආවෙ නැත්තේ?

“හරි හරි මම කොහොමහරි ආවනේ, කියපංකෝ මොකද වුනේ කියලා.”

“මොකුත් නෑ.”

මේක සචිත්‍රට වුනත් කියන එක හොඳ නෑ කියල මට හිතුනා.

ඒත් දැන් කට ඉස්සර වුන නිසා මූට දෙන උත්තරේ මොකක්ද?

“සචියා, නැගපංකෝ බයික් එකට මම ගිහිල්ලම කියන්න වුන දේ.”

මම නුවරට එන අතරේ සචිත්‍රයාගේ කටට නිවනක් නැහැ, මොකද වුනේ කියලා අහනවා.

මම කෙලින්ම ගියේ එරංග අයියගේ රෙස්ට් එකට.

“ඒ පාර මොකද මේ  බං, අයියා බලයි අපි මොකද මෙහේ කඩාගෙන ආවෙ කියල."

“උඹ කට වහගෙන හිටපං, මම වැඩේ බැලන්ස් කරන්නම්.”‍

කෙලින්ම ගියේ එරංග අයියා ළගට.

“අයියේ අදනම් හොදටම බඩගිනියි, අපේ ගෙදර කව්රුත් ඇත්තෙත් නැහැ, අතේ සතෙත් නැහැ. අපි දෙන්නටම ලන්ච් ඕනේ.”

“උඹටනම් දෙන්නම්, ඒත් මේ අපේ එකාට ගෙදර කෑම තියෙද්දි මෙහේ මොකද?”

“පව්නේ අයියේ. ඌ හිගන්න වගේ මගෙත් එක්ක ඇවිල්ල ඌටත් කන්න නෑ.”

මම නොසෑහෙන සයිස් බොරුවක් ඇදල ඇරියා. හොඳ වෙලාවට අයිය වැඩි විස්තරයක් අහන්න ගියේ නැහැ.

“අනේ උඹල කරන පාඩම්, කොහේ හරි වල් වැඩකට සෙට්වෙලා අනාගෙන වෙන්න ඇති, හරි කමක් නැහැ උඹල එතන හිටපල්ලා මම කෑම එවන්නම්.”

“මචං උඹලගේ අයියා හරි හොදයි බං, අපි කියන් බොරු ඔක්කොම බොරු බව දැනගෙනත් ඒවටම අහුවෙනවා.”

“පිස්සු කියන්න එපා යකෝ, මම තමයි බිල්ලට යන්නේ.”

“දැන් කට කියවන්නේ නැතුව කාපන්.”‍

“උඹේ කට තම කට බං, කොහෙන්ද ඔච්චර බොරු එන්නේ, කිසිම ගානක් නැතුව උඹ බොරු කියනවා නිකං ඇත්ත වගේ කට ඇරියොත් කියන්නේ බොරුවක්නේ.”


“ඒකටත් හැකියාව තියෙන්න ඕන බං.”‍

මම කෑම කන අතරේ කල්පනා කළා මොකක්ද සචිත්රට කියන්නේ කියලා.

“සචියා, උඹ මොකද හිතන්නේ දිනි ගැන?’

කෙල්ල හොදයි, මාර පාර, සෑහෙන බර, හොද දෑවැද්දකුත් හම්බවෙයි ලක්ෂ පනහක් විතර.”

“ඒ මගුලක් ගැන නෙවෙයි බං, මං අහන්නේ කෙල්ල මං ගැන හිතන විදිහ ලගදි ඉදලා වෙනස් වෙලා කියලා උඹට හිතෙනව?”

“මේ කාවා, කෙල්ල උඹ ගැන හිතන විදිහ වෙනස් වෙලා තියෙන්නේ ලගදි ඉදලා නෙවෙයි, දැන් අවුරුදු දෙක තුනක ඉදලම එහෙමයි.”

“ඒ කියන්නේ?”‍

“ඇයි යකෝ ඒකි උඹ දිහා බලන විදිහ, ඇස්වල තියෙන බැල්ම පිට එකෙකුට දැක්කහම හිතෙන දේ වත් උඹට පේන්නේ නැද්ද?”

“මොකක්ද බං?”

“ඇයි ගොනෝ, පොට්ටයෙකුට ඇර ඕන එකෙකුට පේනවා, ඒ කෙල්ල උඹ දිහා බලන්නේ තනිකරම ආදරෙන් කියලා. ඒත් කියන්න බැරුව හිරකරගෙන ඉන්නවා.”

“උඹ කොහොමද එහෙම කියන්නේ?

“ඒකි උඹට කතා කරන වෙලාවට පොඩ්ඩක් ඇස්දෙක දිහා බලපං, දරේ කියන එක ඒකෙන්ම පේනවා, යකෝ ඒ කෙල්ල මැරෙන තරමට උඹට ආදරෙයි, ඒකයි උඹ ලයාංගි ගැන කියද්දිත් මම කිව්වේ ඒකට දිනිගෙන් උදව් ගන්න එපා කියලා.”

“මමද? උඹමනේ ඒකිට කියලා තියෙන්නේ.”

“මම කිව්වා තමයි, ඒත් එදා කෙල්ල කියපු එක දෙයක් මම උඹට කිව්වේ නැහැ.”‍

“මොකක්ද?”

“මම ලයාංගි ගැනයි, උඹ ඒකි ගැන හිතනවා කියලයි කිව්වහම දිනි මට කියනවා මම උදව් කරන්නම් අයියේ හැබැයි, ලයාංගි මේක කරන්නේ බොරුවටනම් මම ඒකත් බලාගන්නම් කියලා!, පස්සේ මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා, කෙල්ල කියනවා, කාවින්ද අයියා වෙනුවෙන් මැරෙන්න වුනත් පුළුවන් කෙල්ලෙක් ඉන්දැද්දි, මෙයා බොරු කරනවානම් හොඳක් වෙන්නේ නැහැ කියලා.”

“මොකක්?”

“ඔව් බං, මම ඇහුවා මැරෙන්න වුනත් කැමති කෙල්ල කව්ද කියල?”

“ඉතින්?”

“කෙල්ල කියනවා, සොරි අයියේ වැරදිලා කියවුන දෙයක් කියලා.”

“උඹ බොරු නේද කියන්නේ?”

“නැහැ බං, ඒකෙන් තමයි මම හරියටම තේරුම් ගත්තේ දිනි ගැන.”‍

“ඉතින් උඹ මට කිව්වේ නැහැ.”‍

“කිව්වට වැඩක් තියෙනවද, උඹට ඕනෙ එක මිසක් වෙන කිසිම දෙයක් උඹ කරන්නේ නැහැනේ.”

“අනේ යකෝ තෝ වගේ හරකෙක්.”

“ඇයි දැන් මට බනින්නේ, අද මොකද වුනේ?”

“යකෝ ටිකක් කට වහගෙන හිටපං, එකම දේ ආයෙ ආයෙ අහන්න එපා බං පිස්සෙක් වගේ.”

මම ඒක කිව්වහම සචිත්‍ර‍ කට වහගත්තා.

“සචියා, මොකද සද්ද නැත්තේ උඔ තරහ වුනාද?

“උඹත් එක්ක මොකද තරහ වෙන්නද?”‍

“මේ ඒක නෙවෙයි, අද ඉරිදනේ හෙටත් පෝය නිසා ඉස්කෝලෙ නෑ, අපි අද ටිකක් රෑ වෙලා පොඩ්ඩක් සෙට් වෙමුද?

“අන්න එහෙම බ්‍රයිට් අයිඩියා එකක් වත් දීපංකෝ හොල්මන් වෙලා වගේ ඉන්නේ නැතුව, හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මගේ ළග සල්ලි නෑ.”

“උඹ ගාව කවදද  සල්ලි තිබුනේ? හිඟන්නෝ හොඳයි බං. වෙනද වගේ අයියගෙන් ඉල්ල ගනින්.”

“බෑ බං දැන් දවල්ටත් ඌ ගානෙ කාල තව සල්ලිත් ඉල්ලන්න ගියොත් කුණුහරප තමා අහගන්න වෙන්නේ.”

“හරි සල්ලි ප්‍රශ්නේ මම බලාගන්නම්, සෙට් වෙන්නේ කොහෙද කියල හිතපං”

“අපර් ලේක් යං.”

“උඹටත් බොන්න කිව්වහම නම් නියම අයිඩියා එනව නේද?”

“එහෙනම් අපි දැන් යමු ගෙදර, ගිහිල්ලා අම්මට පේන්න ටිකක් පාඩම් කරලා රෑ හතට විතර සෙට් වෙමු.”‍

“සචියා මේ, ‍චතුරවත් සෙට් කර ගනින්.”

“එල.”

චතුර කියන්නේ මම ආශ්‍රය කරපු මගේ තවත් හොදම යාළුවෙක්. පොඩි කාලෙ ඉදලම දන්නවා. මමයි, සචිත්‍රයි, චතුරයි තමයි ඕනෙම පිස්සු වැඩකට එදා ඉදලම එකතු වුනේ.

අපි දෙන්නා සචිත්‍රගේ ගෙදර ගිහිල්ලා අම්මගෙන් අවසර අරගෙන පාඩම් කරන්න අපේ ගෙදර ගියා. චතුර කිව්වා හත හමාර වෙනකොට ටවුන් එකට එන්නම් කියල.

අපි දෙන්නා ටිකක් ඉදලා හතට විතර බොරු ගොඩක් කියලා කොහොමහරි අම්මගෙන් අවසර ගත්තා.

************************************************************************************************

ප්‍රකාශකගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් කුමන ආකාරයකින් හෝ කුමන ක්‍රමයකින් ඉලෙක්ට්‍රොනිකව, යාන්ත්‍රිකව, ඡායා පිටපත් මගින් සම්ප්‍රේෂණය සහ භාවිතය පිණිස කිසියම් පද්ධතියක සටහන් කිරීම හා ගබඩා කර තැබීම සපුරා තහනම්ය.

3 comments:

  1. සෑහෙන කාලෙකට කලින් මාත් බ්ලොග් එක ලියන කාලෙ මම කියවපු ලස්සනම කතාවක් මේක. ඒක අතරමග නවත්තලා දාපුවාම අපි වගේ පාඨකයො අනාත වුණා. ආයෙත් මෙක ලියන්න පටන් ගත්තු එක නම් ලොකු දෙයක්. ගිය පාර වගේ නොවී මේ පාර දිගටම ලියන්න හොදේ අවසානය වෙනකල්ම. එක හුස්මට කියවගෙන යන්න පුලුවන් කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මේ සැරේ කතාව මම සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ. Finishing Touches දාන්න විකරයි තියෙන්නේ. ඒක කරන ගමන්සම්පූර්ණ කතාවම දාන්න පුළුවන් ඉක්මනට.

      Delete