Monday, November 13, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 105 & 106



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



105.

මගේ අළුත් ජීවිතය පටන් ගත්තා...

මම ඇවිල්ලා දවස් දහයකට පස්සේ කැම්පස් පටන් ගත්තා. පලවෙනි දවසේ රෙජිස්ටර් වුන හැම අළුත් ළමයෙකුටම කැම්පස් එකේම කළින් හිටප ළමයෙක් මග පෙන්වන්නෙක් වුනා. ලංකාවේ අපි අහලා තිබුණ නවක වදය වගේ දේවල් පේන්නවත් නෑ.

දවල් කෑම, කැම්පස් එකේම කැෆටේරියා එකෙන් නොමිලේ. ලංකාවේ වගේ ඔතපු බත් එකක් නෙවෙයි, පලතුරු,, කිරි, මස් වර්ගයක්, සොසේජස් හෝ බේකන්, පැස්ටා නැත්නම් මැකරෝනි, එක්කේ සැන්ඩ්විචස්, සැලඩ් එකක් වගේ හොඳ කෑම වේලක් තමයි ලැබුණේ.

කැම්පස් එකේ ඇමරිකාවේ ළමයි වගේම පිටරට ළමයිනුත් සෑහෙන්න හිටියා. ආසියාවේ විතරක් නෙවෙයි සමහර යුරෝපයේ ළමයිනුත් හිටියා.

සති දෙක තුනක් ඇතුළත කීප දෙනෙක්ම මට ගොඩක් හිතවත් වුනා. සමාධි මුලින්ම කියපු පිලිපින ගෑනු ළමයා තමයි මුලින්ම මාත් එක්ක හිතවත් වුනේ. ඊට පස්සේ තව පිලිපින් කොල්ලෙකුයි, ඇමරිකාවේ ලස් වේගාස්වලින් ආපු කොල්ලෙකුයි, කෙල්ලෙකුයි, මොන්ටානා වලම කොල්ලෝ දෙන්නෙකුයි, කෙල්ලෙකුයි, ඉන්දියන් කාරයෙකුයි, ඔස්ට්‍රියා කියන රටෙන් ආපු කෙල්ලෝ දෙන්නෙකුයි, අන්තිමට බ්‍රසීලයෙන් ආපු කොල්ලෙකුයි, කෙල්ලෙකුයි මට සෙට් වුනා.

ලංකාවේ අපේ සෙට් එක වගේ නෙවෙයි මේක මල්ටි කල්චරල් සෙට් එකක්. සති තුනක් යනකොට අපි ලෙක්චර්ස් යන එකේ ඉඳලා කෑම කන එක දක්වාම එකටම කණ්ඩායමක් වගේ කරන්න පුරුදු වුනා. අපි සෙට් එකට කැම්පස් එකේ අනිත් අය නමකුත් දාලා තිබුණා. ‘වර්ල්ඩ් ගැන්‘. රට, පළාත පුරුදු නැති නිසා මුලින්ම අපේ සෙට් එකේ ලීඩර් වුනේ මොන්ටානා වලම කොල්ලෙක්. ඒත් පුසුරුදු විදිහට මාසයක් යනකොට මම නිතරඟයෙන්ම ලීඩර් වුනා.

මාස කීපයක් ඇතුළත අපි එකතු වෙලා නොකරපු දෙයක් නෑ. ට්‍රිප් ගියා, අවුටින් ගියා, ක්ලබ් ගියා, හවුස් පාටිස් වලට ගියා. පිස්සු නැටුවා. සමහර වෙලාවට රැන්ඩිත් මට කිව්වා මේ විදිහට පිස්සු නටන්නේ නැතුව ඉගෙනගන්න එක හරියට කරන්න මොකද වැඩ අමාරුයි කියලා. ඒත් මොන විශේෂයක්ද මන්දා මට නම් ඉගෙන ගන්න දේවල් කොහෙත්ම අමාරු වුනේ නෑ. මොන පිස්සු නැටුවත් මම කවදාවත් කිසිම පැවරුමක් අතපසු කළේ නෑ. දවස් දෙකකට සැරයක් ලයිබ්‍රි ගිහින් අමතර දේවල් කියෙව්වා, සටහන් කර ගත්තා.

මේ හැම දෙයක්ම වුනේ දිලිනිගේ පෙලඹවීම නිසා. අඩුම තරමේ දවස් දෙකකට සැරයක්වත් දිලිනි මට කතා කළා. ඒ හැම වෙලාවකම මට කිව්වේ පාඩම් වැඩ කරන්න කියලා. ඒ නිසා මම සතියේ දවස් තුනක් යාළුවෝ  එක්ක එළියට ගියොත් ඉතුරු දවස් තුනේ පැය දහය ගාණේ වත් පාඩම් වැඩ වලටම වෙන් කළා. එක දවසක් තියා ගත්තා ගෙදර අස් පස් කරන වැඩ වලටත්, ෂොපින් යන්නත්. ඒකත් මට පුරුදු කළේ දිලිනි.

ඇත්තටම දිලිනි කියන්නේ මට මැණිකක් වුනා. කිසිම වෙලාවක මගේ නිදහස සීමා කරන්න බැලුවේ නැහැ. යාළුවෝ එක්ක එළියට ගියොත් පහුවෙනිදා එයා කියන්නේ පාඩම් කරන්න කියලා. මම කිව්වොත් හෙට මම පාටි එකකට යනවා කියලා කවදාවත් එපා කිව්වේ නැහැ. ‘එහෙනම් අද පාඩම් කරලා හෙට පාටි එකට යන්න‘ එහෙමයි දිලිනි කිව්වේ.

ඇත්තටම ලංකාවේ හිටියට වඩා ලස්සන, හොඳ ජීවිතයක් මම ගත කළා. එකම අඩුවකට තිබුණේ දිලිනි ළඟ නැති එක. ඒත් නොවරදවාම දවසකට හෝ දෙකකට වරක් එන කෝල් එක නිසා මට දැනුනේ එයාත් ළඟින්ම ඉන්නවා වගේ.

කොහොම වුනත් මම මගේ අන්තිම ඉලක්කය අමතක කළේ නෑ. මට ඕනේ වුනේ හැම වාරයක්ම හොඳින්ම පාස් වෙලා එම් එස් සී එකට ශිෂ්‍යත්වයක් ගන්න. එහෙම වුනොත් මට ලේසියෙන්ම හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. දිලිනිවත් ගෙන්නගෙන මෙහේ ජීවත් වෙන්න පුළුවන්.

මොන තරම් ගෑණු ළමයි ආශ්‍රය කළත් දිලිනි ගැන මගේ හිතේ තිබුණ ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වුනේ නෑ. ලස් වේගාස් වලින් ආපු කෙල්ල මට ලං වෙන්න සෑහෙන්න උත්සහ ගත්තා. ඒත් මගේ හිත වෙනස් වුනේ නෑ. පිලිපින් වලින් ආපු ෆැනී, දවස් කීපයක් මාත් එක්ක රෑ එළි වෙනකම් හිටියා... ක්ලබ් ගිහින් ඩාන්ස් කළා. ඒත් මගේ හිතේ හිටියේ දිලිනි විතරයි.

පලවෙනි වාරයේ මට හොඳම සාමාර්ථයක් ලැබුණා. දෙවෙනි එකෙත් එහෙමයි. පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ඩිප්ලෝමා ලෙවල් එකේ මුළු කැම්පස් එකේම පළවෙනියා වුනේ මම.

ඒ අවුරුද්ද ඉවර වෙලා නිවාඩුව පටන් ගන්න කොට විශේෂ දෙයක් වුනා.

නිවාඩුවේ පළවෙනි දවස් මම උදේම නැගිටලා සුපුරුදු විදිහට ව්‍යායාම වලට ටිකක් දුවන්න ඇඳගෙන එළියට එන්න දොර අරිනකොට දොර ලඟ හිටගෙන හිටියේ නොහිතපු කෙනෙක්!

“දිනි!“

මට ඇස් අදහාගන්න බැරිවුනා.

“දිනි.... ඔයා කිව්වෙවත් නෑ එනවා කියලා. සමාධිවත් කිව්වේ නෑ.“

“මට ඕනේ වුනේ ඔයාව සප්‍රයිස් කරන්න අයියේ... කෝ ඉතින් මාව බදාගන්නේ නැද්ද ඉස්සර වගේ.“

වෙනදා කවුරුවත් නොකියාම සිද්ධ වෙන දේ මෙදා දිනි මතක් කරනකං මට අමතක වුනා. මම එයාව ලං කරගෙන හාදුවක් දුන්නා කම්මුලට.

“අනේ අයියේ... මේ ටිකට ඔයා හොඳටම සුදු වෙලා, ලස්සන වෙලා... ලංකාවේ හිටියට වඩා ලස්සනයි.“

“ඇති ඇති බටර්... ඒක නෙවෙයි මේ සීතලේ ඉන්නේ නැතුව යමු ඇතුළට.“

“ඔයා කොහෙද යන්න ගියේ?“

“මම මේ දුවන්න යන්න.“

“අපරාදේ මම ඩිස්ටර්බ් කළා.“

“නෑ නෑ... අවුලක් නෑ... මට හවසට ජිම් යන්න පුළුවන්. යං ඇතුළට.“

මම දිනිව එක්කගෙන ඇතුළට ආවා.

“අයියේ ඔයා දන්නවද මට කොච්චර හැපීද කියලා ඔයා පරණ දේවල් අමතක කරලා අළුත් ජීවිතයක් පටන් ගන්න ආවට.“

“මටත් එහෙම තමයි නංගා. ඇත්තටම ලංකාවේ ඉන්නවට වඩා හොඳයි. ප්‍රශ්ණ අඩුයි... පාඩුවේ ඉගෙනගන්නත් පුළුවන්.“

“ඔයාට මම ඕක කලින්ම කිව්වා... ඔයා ඇහුවේ නෑනේ අයියේ...“

“දැන් මම ඇහුවනේ... ඉතින් කියන්නකෝ... කවදද ස්විඩන් ඉඳලා ආවේ.“

“ඊයේ රෑ... ඇවිත් නිදාගත්තා.. පාන්දරම ඔයාව තමා බලන්න ආවේ.“

“තෑන්ක්ස් මතක් වුනාට.“

“මට ඔයාව අමතක වෙලා නෑ අනිත් අයට වගේ...“

දිනි ලස්සනට මට පොඩි හින්ට් එකක් පාස් කළා. කෙල්ල හිතාගන ඉන්නේ දිලිනි මාව දාලා ගියා කියලනේ.

“කාටද මාව අමතක වෙලා තියෙන්නේ?“

“ඒක දැන් වැඩක් නෑ අයියේ... මම ආවනේ ඔයාව බලන්න.“

“හරි... ඉන්න මම කෝපි එකක් හදල දෙන්නම්... හැබැයි බ්ලැක් කොෆී... ඔයා දන්නවනේ මම කිරි බොන්නේ නෑ.“

“අනේ.. ඔයාට දැන් තනියම තේ හදන්නත් පුළුවන් නේ..“

“නෑ.... උයන්නත් පුළුවන්. හෙට අනිද්ද එන්නකෝ මම නියම ඩිනර් එකක් හදලා දෙන්නම්.“
“අනිවාර්යයෙන්ම එනවා අයියේ..“

“හරි... කොෆි දෙන්නද?“

“අපෝ.... මේ උදේ පාන්දර බ්ලැක් කොෆී බීලා හරියන්නෑ.... ඔයා ගාව ෆ්‍රෙෂ් ක්‍රීම්වත් නැද්ද?“
“ආ ඇත්ත තමයි... බඩු ඇති ඉන්න දාලා දෙන්නම්.“

මම දිනිට ක්‍රිම් දාලා කෝපි එකක් හදලා දුන්නා.

“ෂා අයියේ නියම රසයි...“

“ම්... එහෙම තමයි... මම වැඩක් කළොත් ඒක හරියටම කරනවා.... ඔයා දන්නවනේ..“

“ඔයා එග්සෑම් ටොප් කරාලු නේද....? සුබපැතුම්... මම දැනගෙන හිටියා ඔයාට පුළුවන් බව.“

“ඔව් නංගා... පොඩ්ඩක් පිස්සු නැටුවට මම ස්කෙඩුල් එකකට පාඩම් කළා...“

“ඉතුරු අවුරුදු දෙකත් ඔය විදිහට ඇදගෙන ගියානම් අයියේ ඔයාට ජොබ් එක නතිං... ඒ වගේම තමා එම් එස් සී එකට ෆුල් ස්කොල් එකක්.... ඒ කියන්නේ ඔයාට කිසිම මහන්සියක් නැතුව පී ආර් එක දාලා සෙට්ල් වෙන්න පුළුවන්“

“මෙහේ දිගටම ඉන්න නම් අදහසක් නෑ නංගා. ටික කාලයක් වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන පදිංචි වෙනවනම් ලංකාවේ තමයි...“

“අයියේ ඇයි ඒ.... ලංකාවේ මොනවද තියෙන්නෙ අයියේ....හිත් රිදෙන එකයි කලකිරීමයි විතරයි.... හැමෝම බලන් ඉන්නේ අනිත් මිනිහට වරදිනකං... හිනා වෙන්න....“

“ඒක නම් එහෙම තමයි නංගා..“

දිනි මොනවත් නොවුන ගාණට කොහොමද මට මූණ දෙන්නේ කියලා මටම පුදුමයි.

ඒ අතරේ වෙනදා වගේම දිලිනි මට කෝල් කළා.

“කාවින්ද.... කොහොමද?“

“හොඳීන්.... ඒක නෙවෙයි ඔයාගේ යාළුවෙක් ඇවිත් ඉන්නවා මෙහේ.“

“මගේ යාළුවෙක් කව්ද?“

“මේ දැන් මගේ එපාර්ට්මන්ට් එකට ආවේ.“

“කව්ද අනේ..“

“දිනි...“

මම එහෙම කිව්ව ගමන් දිලිනි නිහඬ වුනා.

“සුදූ... ඇයි කතා නැත්තේ...?“

“මම කැමති නෑ... ඔයා ළඟට කව්රු ආවත් මට ප්‍රශ්ණයක් නෑ... ඒත් දිනි එන එකටනම් මම කැමති නෑ.“

“ඇයි..?“

“එයා ඔයාව මගෙන් උදුරගනී...“

“ඔයාට පිස්සුද සුදූ..... මාව විශ්වාස නැද්ද?“

“මට ඔයාව විශ්වාසයි කාවින්ද... ඒත් දිනිව විශ්වාස නෑ... එයා කොයි මොහොතේ මොන වගේ වැඩක් කරයිද කියලා හිතන්නවත් බෑ.“

“ඔයා බය වෙන්න එපා... මාව අයිති ඔයාට විතරයි සුදූ... කෙල්ල උදේම ආවහම යවන්න බෑනේ..“

“එයා ඔච්චර දෙයක් කරලා.... කොහොමද ලැජ්ජා නැතුව ඔයාව හොයාගෙන ආවේ කාවින්ද...“

“ඒක නම් එහෙම තමයි... එනිවේ..... මම තියන්නම්.... රෑට කතා කරන්න සුදූ. මට කියන්න ගොඩක් දේවල් තියෙනවා.“

“හොඳයි කාවින්ද.... ලව් යූ...“

“මී ටූ..“

“කව්ද කාවින්ද අයියේ... ලංකාවෙන්ද?“

මම ෆෝන් එක තිබ්බ ගමන් දිනි ඇහුවා.

“ඔව්.... යාළුවෙක්....“

“ගෑණූ ළමයෙක් වෙන්න ඇති...“

“හම්....“

“ඒක තමයි...“

“නංගා... දැන් ඔයා කොහෙද යන්නේ... මම අහන්නේ මේ උදේම..“

“මම සමාධිගේ අක්කගේ ගෙදර තමයි මේ ටිකේ ඉන්නේ.... මම උදේම ආවේ ඔයාව බලන්න.... දැන් ඒක හරි....“

“එහෙනම් අපි යමු එළියට.... බ්‍රෙක් ෆස්ට් ගන්න...“

“හරි... මම ගිහින් ඇඳගෙන එන්නම්..... ඔයත් ලෑස්ති වෙන්න...“

එහෙම කියලා දිනි ගියා.

බලාගෙන යනකොට මෙයාගේ වැකේෂන් එකම මෙහේ ගෙවයි වගේ. එහෙම වුනොත් මගේ ප්ලෑන් අවුල් වෙනවා. මම හිතාගෙන හිටියේ තව දවස් දෙකකින් සිංගප්පූරුවට යන්න... දිලිනිත් ගෙන්න ගෙන එහේ දවස් කීපයක් ඉන්න... මෙයා මෙහේ පාක් වුනොත් වැඩේ අවුල්...

මම කරපු පාට් ටයිම් ජොබ් එකෙන් මම සෑහෙන ගාණක් ඉතුරු කරගෙන තිබුණා. ඒකෙන් මම මේ අවුරුද්දට එපාර්ට්මන්ට් එකේ මගේ ගාණ රැන්ඩිට දුන්නා. අනිත් සල්ලි වලින් මම සිංගප්පූරු යන්න ටිකට් අරගෙන තිබුණේ.

හරියටම පැයකින් දිනි ආවා. අපි දෙන්නා පාරට බැහැලා ඇවිදගෙන ගියා. අපි පිටින් කෑම කන ගොඩක් වෙලාවට යන රෙස්ටොරන්ට් එක තිබුණේ මම ඉන්න තැන ඉඳලා කිලෝමීටරයක් විතර දුරින්. අපි ඇවිදගෙනම එතනට ආවා.

“අයියේ මම ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. ප්ලීස් මට ඇත්තට කියන්න.“

“දන්න දෙයක්නම් කියන්නම්.“

“ඔයා දිලිනිට තාම ආදරේ කරනවද?“

“ඇයි එහෙම ඇහුවේ...?“

“නෑ... මට ඒක ඔයාගේ ඇස් වලින් පේනවා. එයා ඔයාව දාලා ගියත්... ඔයා ලංකාවෙන් හැතැප්ම දාස් ගාණක් ඈත් වුනත්, ඔයාගේ ඇස්වල මට පේනවා..“

“මම දන්නෑ නංගා... ඔයා දන්නවනේ.. මම ඇත්තටම ආදරේ කළේ දිලිනිට විතරයි. එයා මගේ අම්මට වුන පොරොන්දුවක් නිසා නෙවෙයි නම් මාව දාලා යන්නේ නෑ.... ඒ නිසා මම දිලිනි එක්ක තරහ නෑ...“

“මම ඇහුවේ තරහද කියලා නෙවෙයි... ඔයා එයාට තාම ආදරේද කියලා.“

“ඇත්තම කියන්නද.... මම හිත හදාගන්න මෙහේ ඇවිත් අවුරුද්දක් ගත වුනත් වැඩක් වෙලා නෑ... මට තාමත් දිලිනිව හිතෙන් අයින් කරන්න බැරිවුනා.

“ඒ කියන්නේ ඔයාට මගේ ගැන ආදරයක් නෑ...“

“මම මොනව කියන්නද නංගා....“

“මොකුත් කියන්න එපා... ඒත් ඔයා හිතනවද ආයෙත් ඔයාට දිලිනිව ලැබෙයි කියලා.“

“දන්නෑ නංගා... බොහෝවිට නොලැබෙන්න පුළුවන් ... ඒත් මම මොනව කරන්නද.... හිත හදාගන්න බැරිනම්.“

“ඇයි අයියේ විහින් නාස්ති වෙන්නේ... මේ ලෝකේ කොල්ලෝ කෙල්ලෝ කොච්චර යාළු වෙනවද, වෙන් වෙනවද, ආයෙත් තව කෙනෙක් එක්ක යාළු වෙනවා.. අන්තිමට වෙනම කෙනෙක්ව මැරි කරනවා. ඇයි ඔයා එකක් මත්තෙම හැපෙන්නේ..?“

“මට ඒකටත් උත්තරයක් නෑ නංගා.... ඒක මම හිතල කරන දෙයක් නෙවෙයි...“

“ඔයාවනම් හදන්න බෑ අයියේ... අර පොඩි කාලේ හිටපු මුරණ්ඩු කාවින්දමයි තාම ඉන්නේ... පාඩමක් නම් ඉගෙනගෙන නෑ.“

“වෙන්න ඇති... ඒ මගේ හැටි.“

“මම ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කළා. ඔයාගේ ජීවිතේ නාස්ති වෙයි කියන බයට සමාධිට කියලා ඔයාව මෙහේ ගෙන්නුවා... ඒත් ඔයා තාමත් ඔයාව දාලා ගිය කෙනෙක් ගැන කියවනවා.“

“අපි ඔය ගැන කතා කරන එක නවත්තමු දිනි... තේරුමක් නැති දෙයක් ඔයා ආයෙත් ආයෙත් අහන්නේ.....“

“ඔයා කියන්නේ ඔයා කවදාවත් මට ආදරේ කරන එකක් නැද්ද..? කවදාවත් දිලිනි නොලැබුණත්, සමහර විට එයා වෙන කෙනෙක් මැරි කළත් ඔයාගේ හිත වෙනස් වෙලා මට ආදරේ කරන එකක් නැද්ද...“

“ඒක් කියන්න බෑ නංගා... ඒක තමා ආදරේ කියන්නේ... සමහර විට මට දිලිනි ලැබෙයි... නැත්නම් මම වෙන කෙනෙකුට ආදරේ කරයි... ඒ ඔයාද, වෙනම කෙනෙක්ද කියලා දන්නේ නෑ...“

“මොකක්ද අයියේ. ඔයා හැමදාම මගේ හිතට බලාපොරොත්තු දීලා ආයෙත් ඒවා නැති කරනවා... ඇයි ඔයාට කෙලින් කියන්න බැරි...“

“ඒක තමයි නංගා ආදරේ කියන්නේ.. ආදරේ කියන එක කොයි වෙලාවේ ඇතිවෙයිද, කොයි වෙලාවේ නැති වෙයිද කියලා දින කියන්න බෑ.... ඒකට ඩෙඩ්ලයින් දෙන්න බෑ... කවුරු ගැන කවදා ආදරයක් ඇති වෙයිද කියලා කලින් කියන්න බෑ... ඒ නිසා තමයි ආදරේ මේ තරම් ලස්සන.“

“මට තේරෙන්නේ නෑ අයියේ..... මම දන්න එකම දේ මම පිස්සියක් වගේ ඔයාට ආදරේ කරනවා කියන එක. ලංකාවෙදි මම ඒක කියන්න බය වුනා... ඔයාගේ තාත්තා නිසා.....“

“මම දන්නවා... ඔයාලා ලංකාවෙන් ගියෙත් ඒ නිසානේ... ඒත් නොකිව්වත් මම ඒක දැනගෙන හිටියා.... මට සමාවෙන්න නංගා..... දැනටනම් මට කිසිම කෙනෙකුට ආදරේ කරන්න හිතක් නෑ...“

“ඔයා හරි අන්ප්‍රෙඩික්ටබල් අයියේ.....“

“වෙන දේවල් වලදී නම් මම එහෙම නෑ... ඒත් ඔව්... ආදරේදි මම එහෙම තමා.“

එදා අපි දෙන්නගේ කතාව ඒ විදිහට ඉවර වුනා.

දිනි හිටියත් නැතත් මම සිංගප්පූරු ගමනට ලෑස්ති වුනා... මට දවසකට හරි දිලිනිව දකිනකම් ඉවසුමක් තිබුණේ නෑ.


106.

පහුවෙනිදා දිනක්ෂි අක්කාගේ ගෙදර පාටි එකක් ලෑස්ති කරලා තිබුණා. ඒක කරලා තිබුණේ දිනි.... මට බෑ කියන්න පුළුවන් කමක් නැති නිසා මම ගියා.

“කාවින්ද.... ඔන්න දිනි ඔයා වෙනුවෙන් මේ පාටි එක ඕගනයිස් කරලා තියෙන්නේ....”

“මං වෙනුවෙන්.... ඒ මොකටද?”

“ඇයි ඔයා මෙහේ ආව එකට.” සමාධි කිව්වා.

“මෙහේ ආවේ මම අවුරුද්දකට කළින්නේ....”

“හරි...... ඒ වුනාට දිනි අදනේ ආවේ...... කොහොම හරි කමක් නෑ අපි පාටි එකක් දැම්මනේ...”

ඩිලන් අයියා අද නම් බියර් වෙනුවට ගෝල්ඩ් ලේබල් එකක්ම ලෑස්ති කරලා.... එකක් නෙවෙයි දෙකක්ම.... බලාගෙන ගියාම ඒකට වග කියන්න ඉන්නේ තුන් දෙනයි.... ෆැනීත් ඇවිල්ලා තිබුණ නිසා හතර දෙනයි....
මට ඇත්තටම තිබුනේ මේ පාටි එක ගැන ආසාවක් නෙවෙයි... එපා වීමක්... ඒ නිසා අද නම් ටිකක් වැඩ වෙන්න දාලා විකාරයක් වෙන්න ඕනේ කියලා මම හිතුවා.

මම හිතපු දේ තේරුණා වගේ රැන්ඩි කතා කලා.

“උඹට බෝරින් වගේ නේද?”

“නෑ බං.... ඒ වුනාට මගේ හිතට හරි නෑ... දිනි මොකාට ද එන්න හදන්නේ කියලා මට හිතාගන්න බෑ.”

“උඹ අවුලක් කරගන්න එපා... උන්ගේ ආසාවනේ... අපි අදට ඉමු.... ඔන්න උඹ කුණුවෙන්න දාලා වාත වෙන්න නම් හිතාගෙන ඉන්නේ.... අපි කළින්ම යනවා.”

“ඇයි උඹ එහෙම කියන්නේ.... උඹට කොහොමද එහෙම හිතුනේ...?”

“නෑ..... උඹගේ මූණ දැක්කහම මට හිතුනා..”

“බම්බුවක් කතා කරන්න එපා බං.... මම අද බොන්නෑ...”

එහෙම කිව්වත් මම එපා කියපු දේම කළා.

පැයක් විකර යනකොට මම සෑහෙන ප්‍රමාණයකට වග කිව්වා. මුළු කාලෙම දිනි මගේ ළඟට වෙලා හිටියා. සැරෙන් සැරේ මගේ කණට කරලා දැන් ඇති කිව්වා.... දිනි එහෙම කියපු හැම වෙලාවකම මම තවත් එකක් ගත්තා. මම දැක්කා දිනිගේ මූණ අප්සෙට් වෙනවා...

“අයියේ ... ඇයි ඔයා ඔහොම බොන්නේ... අද අපි  දෙන්නට කොච්චර දේවල් කතා කරන්න තිබ්බද.. අපිට මුළු දවසක එකට ඉන්න තිබුණා... ඔයා දැන් හොඳටම බීලා..”

“මට වැඩි නෑ... අනිත් එක අපිට තව මොනවද නංගා කතා කරන්න තියෙන්නේ...?” මම ටිකක් සද්දෙන් ඇහුවා.

“අනේ අයියේ කෑ ගහන්න එපා..... අනිත් අය අපිට හිනා වෙයි.”

“මොනවට හිනා වෙන්නද නංගා.... මම ඔයාට මගේම නංගිට වගේ ආදරේ කළා.... ඔයා මොනවද කළේ.....? ඔයා මාව වරදවා තේරුම් ගත්තා.“

“කාවින්ද අයියේ.... මම එහෙම කළේ නෑ... ඔයා තමා අන්ධයෙක් වගේ මම කරන කියන කිසි දෙයක් තේරුම් ගත්තේ නැත්තේ...“ දිනි කිව්වා.

“නංගා මේ.... ඔයා මට ඔච්චර දේවල් කරලත්, තවත් පිළිගන්නේ නැද්ද ඔයා වැරදි කළා කියලා?“

“මොකක්ද අයියේ මම කරපු වැරැද්ද....? මම කිසිම දෙයක් කළේ නෑ.... දිලිනි ඔයාව දාලා ගියාම පලවෙනි වතාවෙම මම කිව්වා ලංකාවෙන් යන්න, ඒකට මම උදව් කරන්නම් කියලා... ඔයා ඇහුවේ නෑ.... අර කෙල්ල මත්තෙම හිටියා... දැන් ඔය දෙන්නගේ එෆෙයාර් එක දෙවෙනි වතාවටත් ගෙදර අයට අහුවුනාම එයා ඔයාව දාලා ගියා... ඔයා අප්සෙට් එකේ ඉන්නකොට මමයි ඔයාට උදව් කළේ... ඇයි අයියේ.... ඔයා තවත් කියන්නේ....“

“ඇති දිනි... ඇති... දෙවෙනි පාර අපි දෙන්නගේ කතාව ගෙවල් වලින් දැනගත්තේ කොහොමද.... ඔයාට ඒක කියන්න අමතක වුනාද?“

“මොකක්ද..... ඒක කොහොම වුනාද කියලා මම දන්නේ නෑ.......“

“බොරු කියන්න එපා නංගා.... එතකොට අර ජරා විදිහට ෆොටෝ ගහලා අපේ අම්මට දුන්නේ කව්ද..... මම දන්නෑ කියලා හිතුවද?“

“ඔයා කියන්නේ මම ඒක කළා කියලද අයියේ.... අනේ ඇයි මාව සැක කරන්නේ....?“

“දිනි.... ඔයා පොඩි බබා වෙන්න එපා..... මම ඒවා හැම එකක්ම දන්නවා.... ඒත් පොඩි කාළේ ඉඳලා එකට හිටපු නංගි නිසා මම ඒවා අමතක කළා.... ඒත් ඔයා දැන් ආයෙත් බොරුවට ඒකම කියනකොට මට ඉවසගෙන ඉන්න බෑ...“

අපි දෙන්නගේ රණ්ඩුව මැද්දට සමාධි ආවේ නෑ..... රැන්ඩි ආවෙත් නෑ... සමාධි දන්නවා එයා මේකට මැදිහත් වුනොත් මට තවත් තරහ යනවා කියලා....

ඒත් දිනක්ෂි අක්කා ඇවිත් මගේ අතින් අල්ල ගත්තා...

“මල්ලි, දැන් ඕකට ඔය දෙන්නා රණ්ඩු වෙන්න එපා.....  ඒක කවුරු කළත් දැන් වෙලා ඉවරයි... ඇයි රණ්ඩු වෙන්නේ...?“

“මම එහෙම නෑ අක්කේ.... ඒත් දිනි කියන කතා අසාධාරණයි.... මම එයාට අදත් මගේ නංගිට වගේ ආදරෙයි.... ඒත් එයා කරපු දේවල් නම් මට හරියි කියන්න බෑ.... මාවයි, දිලිනිවයි අම්මලාට අහු කරලා දීලා එයා මොනවද බලාපොරොත්තු වුනේ...?“

මම එහෙම කිව්වහම දිලිනිත් අතහැරියේ නෑ.... එයත් දිගටම මම කියන දේවල් වලට උත්තර දුන්නා...

“මල්ලි... ප්ලීස්... ඕක වෙන වෙලාවක කතා කරමු... ඔයා දැන් ඩ්‍රින්ක්ස් අරන් ඉන්නේ...“

“ඒකට කමක් නෑ අක්කේ...... මම දිනිට වඩා සිහියෙන් ඉන්නේ... එයා තමා අව සිහියෙන් වගේ මේ මෝඩ වැඩ කළේ..... එයා මොනවද බලාපොරොත්තු වුනේ මට එහෙම කරලා... මට ඒකට උත්තරයක් ඕනේ...“ මම කිව්වා...

“අයියේ.... මම දෙන්නම් උත්තරයක්....“

“ඔව් කියන්න.... මම ආසයි ඔයාගේ ජස්ටිෆිකේෂන් එක අහන්න...“

“දිලිනි කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි.... මම එදත් කිව්වා, අදත් කියනවා... එයා එයාගේ ප්‍රශ්ණ වලින් ගොඩ එන්න ඔයාව යූස් කළා.... දැනුත් කරන්නේ ඒකයි... ඔයාගේ හිත හොඳ නිසා තමයි ඒවට අහු උනේ... ඒත් මම දන්නවා දිලිනි කව්ද කියලා... කපටි ගෑණියෙක්... එයා ඔයාව අල්ල ගන්න ඕනෙම දෙයක් දෙයි කියලා මම මුලින්ම ඔයාට කිව්වා... ඒක වුනා නේද?“

“වැරදියි දිනි... දිලිනි කියන්නේ හොඳ කෙනෙක් තමයි... නැත්තං මට මෙච්චර ආදරේ කරයිද... ගෙදර කට්ටිය කොයි තරම් ප්‍රශ්ණ දැම්මත්, බය නැතුව මට ආදරේ කළේ ඒ නිසා තමයි... අනිත් එක එයා මාව යූස් කළේ නෑ... එයා එපා කියද්දිත් මමයි ගිහාන් එක්ක හැප්පුනේ... දිලිනි නරක කෙනෙක් නම් මගේ ලෙඩේට සිංගප්පූරුවේ අරන් ගිහින් ලක්ෂ ගාණක් වියදම් කරයිද එයාගේ සල්ලි වලින්...“

“අයියේ....“

“ඉන්න, මම කියලා ඉවර නෑ... දිලිනි නරක කෙනෙක් නම් ඇයි මට ඒ තරම් වියදම් කළේ... එහෙම කරලත් අම්මා කිව්ව නිසා, අම්ම කෙනෙකුගේ හිත රිද්දන්න බෑ කියලා අයින් වුනේ... මම කොච්චර අමාරුවෙන්ද එයාට තේරුම් කරලා දුන්නේ මට කොහොම හරි අම්මලාගේ කැමැත්ත ගන්නම් කියලා.“

මෙච්චර කාලයක් හිතේ හිරවෙලා කියාගන්න බැරුව තිබුණ දේ මම කියාගත්තා. හැම දෙනාම පුදුම වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා... දිනක්ෂි අක්කා තාම මගෙ අත අල්ලගෙන.

“කාවින්ද අයියේ... කියල ඉවරද... මමත් කියන්නම්... දිලිනි ඔයාව රවට්ටන්නේ නැත්නම් ඇයි ඔයාට එයාගේ අතීතය ගැන කිව්වේ නැත්තේ... එයා ඉස්කෝලේ උගන්වන්න කළින් මොනවද කළේ කියලා ඔයා දැනගෙන හිටියද? එයා නිකං ඉස්කෝල ටීචර් කෙනෙක් නෙවෙයි, කෝටි ගාණක සල්ලි තියෙන තාත්ත කෙනෙකුගේ දුවෙක් කියලා ඔයාට හැංගුවේ ඇයි... සිංගප්පූරුවේ එයා අවුරුදු කීපයක් පදිංචි වෙලා හිටියා කියලා, එහේ එයාටම ගෙයක් තියෙනවා කියන එක ඔයාට හැංගුවේ ඇයි....? ප්‍රොක්සිමා ගෘප් එකේ එයා ඩිරෙක්ටර් කෙනෙක් කියන එක ඔයාට කිව්වේ නැත්තේ ඇයි...? කෝටි ගාණක් වටින කාර් තුනක් එයාටම කියලා තියාගෙන බොරුවට ඔයාගේ බයික් එකේ නැගලා ගියේ ඇයි කියලා ඔයාට කිව්වද...? ඒ දේවල් ඔයාට හැංගුවේ ඇයි...?“

“නංගා... ඒ කිසි දෙයක් එයා මට හැංගුවේ නෑ... වෙලාව ආවාම එයා ඒ හැම දෙයක්ම මට කිව්වා.... එයාට ඕනේ වුනේ නෑ මම එයාගේ සල්ලි වලට ආදරේ කරනවා බලන්න... ඒ නිසා තමයි එයා එයාගේ ඇත්ත තත්වය හැංගුවේ...“

“ඕව හොඳයි හින්දි ෆිල්ම් වලට අයියේ... ඔයත් ඕවට රැවටෙනවනේ...?“

“නෑ.... රැවටෙන්නේ නෑ.... මට එයාව විශ්වාසයි... එච්චරයි....“

ආයෙත් දිනක්ෂි අක්කා කතා කළා.

“දැන් උඹල දෙන්නගේ වලිය ඉවරද... එහෙනම් යමු කන්න...“

දිනි මොන තරම් වෙනස් වෙලාද? ඉස්සර හිටපු අහිංසක කෙල්ල දැන් නැහැ. දිලිනි එක්ක බලද්දි මොන තරම් වෙනසක්ද? දිනි ආදරේ කියන එක තේරුම් අරන් තියෙන විදිහයි, දිලිනි ඒක තේරුම් අරන් තියෙන විදිහයි මොන තරම් වෙනස්ද?

මම කවදාවත් දිනි එක්ක මේ වගේ කතා කරලා නැහැ. ඒත් අද.....! මට හැම දෙයක්ම එපා වුනා... මට උවමනා වුනේ පුළුවන් තරම් ඉක්මනට මෙතනින් යන්න...

රැන්ඩි මාව සන්සුන් කරන්න උත්සහ කළා. ඒත් මට කෑම කන්නවත් වෙන කිසිම දෙයකටවත් උවමනාවක් ඇතිවුනේ නෑ.... රැන්ඩි මාව වාහනේ දාගෙන අපේ නවාතැනට ආවා.

“මොකද කාවා උඹට වුනේ?“

“මොනවත් නෑ බං..... ඔක්කොම කරලා දිනි බබා වගේ මට පාට් දානකොට මට මල පැන්නා බං....“

“දිනි වැරදි බව මම පිළිගන්නවා... ඒත් උඹ කවදාවත් කෙල්ලෙක් එක්ක ඔහොම වලි දාගන්නවා මම දැකලා නෑ...“

“මචං.... දිලිනි කියන්නේ මගේ ජීවිතේ... ඒ කෙල්ල මගෙන් ඈත් වුනාට පස්සේ මට වෙන මොනව තිබුණත් වැඩක් නෑ.... අනිත් එක දිලිනි කවදාවත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ... ඒකයි මට තද වුනේ...“

“දැන් කමක් නෑ.... උඹ දිලිනිට ෆුල් ලව් කියලා මම දන්නවා..... කොල්ලෙක් තව කොල්ලෙකුට කරන උදව්වක් විදිහට මම උඹට උදව් කරන්නම්.... උඹ අවුල් නොවී කරන්න ආපු වැඩේ කරපං.... උඹලා දෙන්නා සිරා ලව් නම් කවදාහරි එකතුවෙයි...“

රැන්ඩි ගියාට පස්සේ මම දිලිනිට රින්ග් කළා. එයා ඒ වෙලාවෙම මට ගත්තා.

“ඇයි බබා....?“

“මගේ හිතට හරි නෑ සුදූ...“

“ඇයි... මොකද වුනේ රත්තරන්.. ඔයාගේ කටහඬත් වෙනස් වෙලා...“

“නෑ ලොකු දෙයක් නෑ....“

“අනේ කියන්න... ඔයාට ප්‍රශ්ණයක්ද?“

“මම දිනි එක්ක රණ්ඩු වුනා. මම එයාට බැන්නා...“

“නෑ...... ඇයි ඔයා එහෙම කළේ.... මොනවද කිව්වේ?“

මම සම්පූර්ණ විස්තරය දිලිනිට කිව්වා.

“අනේ කාවින්ද... ඔයාට එහෙම නොකර ඉන්නයි තිබුණේ.... මොනව වුනත් දිනිට බණින්න එපා... ඒක හරි නෑ...“

“ඒ වුනාට සුදූ, කවදාවත් නැතුව මට තද වුනා... අපි දෙන්නට මෙහෙම රටවල් දෙකක් තනිවෙන්න වුනේ එයා නිසා... ඒ මොකුත් දන්නෑ වගේ කතා කරනවා.“

“ඒක ඇත්ත බබා... ඒ වුනාට දිනිට කෑ ගහන්න එපා... හෙට උදේ ඔයා ගිහින් සමාව ගන්න.“

“මට බෑ...“

“ඔන්න ඔයා නරක ළමයෙක් වෙන්න යනවා..... මම කියන නිසා කරන්න... ඔයා හරි පොලයිට් කෙනෙක්... මම කැමති නෑ මොන ප්‍රශ්ණේ ආවත් ඔයාගේ ඒ කොලිටිස් වෙනස් වෙනවා දකින්න.“

“මම දන්නෑ සුදූ... මට ඔයා නැතුව පාළුයි... ගිය සතියේ ඔයාව බලන්න සිංගප්පූ එන්න හිටියේ... මේ පිස්සු මගුල නිසා ඒකත් කරන්න බැරිව ගියා... මට එපා වෙලා තියෙන්නේ...“

“රිලැක්ස් වෙන්න කාවින්ද... මම ඔයාට ඉන්නවනේ.... දිනි මොනව කළත් මම නැති වෙලා නෑනේ... ඒ නිසා තරහ ගන්න එපා.... මම හැමදාම ඔයාගේ...“

“මට ඔයා නැතුව පාළුයි බබා... මට ගෙදර අය නැතුව පාළුයි... ඒ හැම දෙයක්ම නැති වුනේ අර කෙල්ල නිසා...“

“මම කිව්වනේ... ඕක අමතක කරන්න... ඔයා ලබන සතියේ මාව හම්බවෙනවනේ... ඔයාට ලංකාවට යන්න මම සල්ලි දෙන්නම්... මාසයක් විතර ලංකාවෙත් ඉඳලා එන්න... එතකොට ඔයාගේ ස්ට්‍රෙස් එක අඩුවෙයි. අනිත් එක අපිට හොරෙන් හරි ලංකාවෙදිත් හම්බවෙන්න පුළුවන්.“



1 comment: