Thursday, October 12, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 96

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



96.

සිංගප්පූරුවේදී ඩොක්ටර් යුවා මාත් එක්ක පැය ගාණක් කතා කළා.
මම ලංකාවට ගිය දවසේ ඉඳලා මගේ ඇඟට දැනුන වෙනස්කම් එකින් එක ඇහුවා. ඒ හැම දෙයක්ම සටහන් කර ගත්තා.
ඊට පස්සේ එක එක මැෂින් වලට දාලා මගේ මුළු ඇඟම ස්කෑන් කළා. ලේ ගත්තා, මොලේ ස්කෑන් කරන එකනම් මම හිතන්නේ හතර පස් පාරක් කළා.
ඒ අතරේ ප්‍රතිකාර කීපයක් පටන් ගත්තා.
“මිස්ටර් කාවින්ද... සෝ සොරි අබවුට් යුවර් රේස්.. යූ හැඩ් ලොස්ට් ද චාන්ස ටු රෙප්රෙසන්ට් යුවර් කන්ට්‍රි බිකෝස් ඔෆ් මී.“
“නෝ... වයි බිකෝස් ඔෆ් යූ?“
“බිකොස්, ලාස් ටයිම් අයි ඩිඩ්න්ට් කන්සිඩර් යුවර් කන්ඩිෂන් වෙල් ඇන්ඩ් ලෙට් යූ ගෝ බිෆෝ යූ රිකවර්ඩ් හන්ඩ්‍රඩ් පරසෙන්ට්. අයි තෝට් යූ විල් රිකවර් වෙල්... බට් අයි වස් රෝන්ග්..“
“නෝ වොරීස් ඩොක්ටර්.... ඉට් වස් මයි මිස්ටේක් ඉන් ද ෆර්ස්ට් ප්ලේස් බිකෝස් අයි ගොට් ඉන් ටූ දිස් ක්ලෑෂ්.“
ඩොක්ටර් කියපු විදිහට රණ්ඩුවේදී මගේ බෙල්ලේ කනට පිටිපස්සේ තියෙන එක නහරයකට පාරක් වැදිලා තියෙනවා. ඒ නහරය අන්තිම සංවේදී එකක්. ඒ පාර නිසා ඒ නහරේ තද වෙලා හිර වෙලා... ඒක නිසා මොලේට පීඩනය වැඩි වෙලා, මොලේ නහරයක් පිපිරිලා මොලේට ලේ ගලලා. නමුත් ඒ වෙලාවේ එක බොහොම පොඩිවට වෙලා. ඒත් දෙවෙනි පාර ඒක වෙනකොට හානිය වැඩිවෙලා. තුන්වෙනි පාර දවස් දහයක්ම සිහිය තිබුණේ නෑ. ඩොක්ටර්ට තියෙන බය තවත් පාරක්  ඒක හැදුනොත් කලින් තුන් වතාවටම වඩා දරුණු වෙයි කියලා.
ඩොක්ටර් කියන විදිහට ඒ නහරයට පීඩනය නොඑන විදිහට ඉන්න වෙනවා. මහන්සි වෙන්න හොඳ නෑ... එක දිගට මහන්සි වෙන වැඩ හොඳම නෑ. අනිත් එක බෙල්ල හරවන කොට බොහොම පරිස්සමින් කරන්න ඕනේ.
කකුල් වලට බලපාලා තියෙන්නෙත් ඒකමයි. ඒත් ඒකනම් බොහොම තාවකාලිකයි කියලා ඩොක්ටර් කිව්වා.
ඩොක්ටර් යුවා පොරොන්දු වුනා මේ වතාවේ නම් මාව සම්පූර්ණයෙන්ම හොඳ කරලා මිසක් යන්න දෙන්නේ නෑ කියලා. ඒ වගේම කළීන් හිටපු නිරෝගී තත්වෙටම මාව ගේනවා කියලා එයා පොරොන්දු වුනා.
එකම ප්‍රශ්ණයකට තියෙන්නේ මට ජීවිත කාලයම අවදානයෙන් ඉන්න වෙනවා. පොඩි හරි වෙනස්වීමක්, නොනවතින ඉසරදයක් වගේ තියෙනවනම් ඒක අනිවාර්යයෙන් බලන්න ඕනේ.
මම සතියක් එක දිගට ප්‍රතිකාර ගත්තා. ඒ සතියේ අන්තිම දවසේ, ඉරිදා දිලිනි සිංගප්පූරුවට ආවා.
එයා ඇවිත් දවස් තුනක් මාත් එක්ක හිටියා. ඒත් අපේ අනාගතේ වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න මම උත්සහ කරපු හැම වෙලාවකම එයා ඒක පස්සට දැම්මා.
ඔය විදිහට සති දෙකක් ගතවුනා. එක දිගට බෙහෙත් කළා. ඊට පස්සේ දවස් කීපයක විවේකයක්... ආයෙත් සති දෙකක් එක දිගට ප්‍රතිකාර.
සිංගප්පූරුවට ඇවිල්ලා මාසෙකට පස්සේත් මට ඇවිදින්න පුළුවන් වුනේ නෑ. යන්තම් ක්ලචර්ස් අල්ලගෙන අඩියක් දෙකක් යන්න පුළුවන්. ඒත් සම්පූර්ණයෙන්ම කකුල් වල දැනීම ඇවිල්ලා තිබුණා.
එක දිගට කකුල් වලට සති තුනක් ව්‍යායාම කරලා ඉවර වෙනකොට මට වාරුවක් නැතුව යන්තම් ඇවිදින්න පුළුවන් වුනා. ඒත් බොහොම පොඩි දුරක්.
මම තනියම නැගිටපු පලවෙනි දවසේ ඩොක්ටර් යුවා මාව ලොකු කණ්නාඩියක් තියෙන කාමරේකට එක්කගෙන ගිහිල්ලා පෙන්නුවා. එදා දිලිනිත් මාව බලන්න ඇවිත් තිබුණා.
“සී.... යුවර් ප්‍රෝග්‍රස්...“
ඩොක්ටර්ට ඒක සතුටක් වුනත් මට නම් ඇස් අදහා ගන්න බැරි වුනා. මීට මාස කීපයකට කළින් යකඩ වගේ තිබුණ මගේ අතපය, දැන් නිකං පඬරැල් වගේ.... කකුල් දෙක අතක් තරම් මහත විතරයි. මූණ අතපය හැම දෙයකම මස් ක්ෂය වෙලා ගිහිල්ලා ඇට විතරක් ඉතුරු වෙලා වගේ.
මම කල්පනා කරනවා දැකපු දිලිනි සෑහෙන වෙලාවක් මාව බදාගෙන ඇඬුවා.
“මම ඔයාගේ ජීවිතේට ආයෙත් හදන්න බැරි හානියක් කරලා ඉවරයි කාවින්ද.. අනේ මම ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ.. ඔයාව මෙහෙම දැක්කහම මට මැරෙන තරමටම දුකයි.... කියන්න මම ඔයා වෙනුවෙන් තව මොනවද කරන්න ඕනේ?“
“මේක ඔයාගේ වැරැද්ද නෙවෙයි සුදූ.... අනික ඔයා මේ කරන දේ හොඳටම ඇති. මගේ අම්මටයි තාත්තටයි මාව මෙහෙම ගෙනත් බෙහෙත් කරන්න වත්කමක් නෑ... ඔයා ඒ හැමදේම කරනවා. තව මොනවා කරන්නද...?“
“ඒ වුනාට මගේ හිතේ දුක නැතිවෙන්නෑ කාවින්ද... මම නිසා තමයි මේ දේ වුනේ. මම ඔයාව සම්බන්ධ නොකරගෙන හිටියනම් මගේ ප්‍රශ්න වලට ඔයා අදත් හොඳින් ඉන්නවා. බලන්න කාවින්ද ඔයාට වෙලා තියෙන දේ... ඔයාව දැක්කහම පුදුමයි... වෙනස් වෙලා තියෙන තරම...“
“කමක් නෑ සුදූ... මට දැන් හොඳ වෙනවනේ..... ටික කාලයක් යනකොට හිටියා වගේම සයිස් එකට එයි.“
මම එහෙම කිව්වහම දිලිනි යන්තම් හිනා වුනා.
“ඔව් ඔව්... ඔයා සනීප වෙලා එන්නකෝ... මම ඔයාට තියෙන හොඳම කෑම ජාති ඔක්කොම කවනවා, මහත් වෙලා ලස්සන වෙලා එන්න.“
එදා දවසම ගත කරලා දිලිනි ආයෙත් ලංකාවට ගියා. ඒ යනකොට දිලිනි මට ෆෝන් එකක් දීලා ගියා. ඉන්ටර්නැෂනල් කෝල්ස් ගන්න පුළුවන් එකක්.
මම මුලින්ම කළේ අම්මට කතා කරපු එක.
මට දැන් යන්තමට හරි ඇවිදින්න පුළුවන් කියලා අහපු අම්මා පුදුම සතුටු වුනා. බාප්පා මගේ ළඟ ඉන්න නිසා අම්මා එයාටත් කතා කළා.
ඊට පස්සේ මම සචියට ගත්තා.
“අම්මේ කාවා... දිලිනි කිව්වා උඹට හොඳයි කියලා....“
“ඔව් බං... දැන් මම ඇවිල්ලා මාසයකුත් සති දෙකක් වෙනවා. අද වෙනකම් කිසිම දවසක අර වගේ ආයෙත් වුනේ නෑ.“
“එල එල... ඉක්මනට ඇවිදපං... ආයෙත් පුරුදු බජාර් එකට සෙට් වෙන්න. උඹ නැ.තුව පාළුයි බං... වලියක් වත් දාගන්න හිතෙන්නේ නෑ... අපේ කොල්ලොත් සී සී කඩ විසිවෙලා... අපේ ලේක් ෆ්‍රන්ට් එකේ පොට් එක දැන් රන් කරන්නේ මේ ඊයේ පෙරේදා ආපු චූ කොල්ලෝ...“
“නෑ..... ඇයි බං... කෝ අමිලයා.. ඌවත් නැද්ද ඕව බලා කියා ගන්න.“
“මේ ඉන්නේ.... ඌ මොන බජාර්ද... උඹට වුන වැඩෙන් පස්සේ අපේ අම්මලා තාත්තලා අපිට යකෝ තනියම කඩේකටවත් යන්න දෙන්නෑ... බොරුනම් අහපං... අමිලයා ඉන්නවා.“
සචියා අමිලට ෆෝන් එක දුන්නා.
“ඔව් කාවා. මට විතරක් නෙවෙයි අපේ එකෙකුටවත් ගෙවල් වලින් එළියට බහින්න දෙන්නෑ ගාඩ් එක නැතුව, හරියට කෙල්ලෙකුට වගේ පස්සෙන් අම්මා එනවා... විලි ලැජ්ජාවේ පණ යනවා ඩෝ... ඒ නිසා අපි දැන් එළියට බහින්නෙම නෑ...“
“උඹල ළඟදි සෙට් වුනේ නැද්ද බියර් එකකටවත්?“
“මොන....? පිස්සුද යකෝ... ටොයිලට් එකේ වැඩි වෙලාවක් හිටියත් අම්මා දොරට ගහලා අහනවා මොකද කියලා... මෙහෙම විලි ලැජ්ජාවක් නම් සම්මජ්ජාතියකට හතුරෙකුටවත් වෙන්න එපා යකෝ...“
අමිල කියන දේවල් වලට හිටගෙන හිනා යනවා. ඒ කියන්නේ මගේ සීන් එක කට්ටියටම ආරංචි වෙලා...
“ඒක නෙවෙයි සචියා අපේ ගෙදර තත්වේ කොහොමද?“
“උඹ ලංකාවෙන් ගිය මුල් දවස් වලනම් ඩැනී අංකල් නිතර නිතර උඹලගේ ගෙදර ආවා ගියා. මම කිව්වේ ඌ ගිහාන්ටත් ගේමක් දීලා කියලා. උගේ කකුල තුන් පොළකින් කැඩිලා... තාම ක්ලචර්ස් නැතුව ඇවිදින්න බෑ.“
“උන් පොලිසි ගිහින් නැද්ද?“
“හොස්පිට්ල් එකෙන් පොලිසිය එනවනේ... කට උත්තර අරන් උන්ගෙන්.... ඒත් ගැහුවේ කව්ද කියලා හොයන්න බෑ... උඹ දන්නවනේ ඩැනී අංකල් වැඩක් දුන්නොත්.“
“එතකොට සීන් එක දැන් ෂේප්...“
“නෑ..... ගිහාන්ගේ යාළුවෝ වගයක් දවසක් උඹලගේ තාත්තව වට කරලා පොඩි පාට් එකක් දාන්න.... ඒත් අවුලක් වෙලා නෑ... තාත්තා ෂේප් වෙලා ඇවිල්ලා. ඒත් දවස් කීපයකට පස්සේ උන් ඉන්න තැනටම ගිහින් කව්දෝ එකෙක් වෙඩි තියලා ඇවිත්...“
“මොකා.... කාටද වෙඩි තියලා තියෙන්නේ...?“
“කාටවත් ඒම් කරලා නෑ බං... අහකට වෙඩි තියලා තියෙන්නේ... මම හිතන්නේ බය කරන්න.. ඩැනී අංකල්ගේ වැඩක්.“
“දැන් ඕක කොතනින්ද බං නවතින්නේ...? අපේ තාත්තත් වැඩ වවාගන්නවනේ... ඌ මට ගැහුවා... දැන් ඌටත් ගහලා... තවත් මොනවද?“
“මම දන්නෑ කාවා.. හැබැයි ගිහානයා දැන්වත් කට වහගෙන නොඉඳ ආයෙත් උඹලගේ තාත්තට හරි ඩැනි අංකල්ට හරි ගේම ඉල්ලන්න ආවොත් ඌ මැරුම් කනවා. ඒක ෂුවර්.“
“දැන් ඌ දිලිනිට කරදර කරන්නේ නැද්ද?“
“මම හිතන්නේ දිලිනිගේ තාත්තා තාවකාලිකව ඌ එන එක නවත්තලා තියෙන්නේ.“
“ඇයි බං ගිහානයා ගොනා වගේ අපේ තාත්තයි, ඩැනී අංකලුයි එක්ක හැප්පෙන්න යන්නේ...?
“ඌත් උඹ වගේ තව එකෙක්, කියන දෙයක් අහන්නැති එකෙක්.. ඒකයි... මොනවා නැති වුනත් උඹලා දෙන්නම සිරාවට ඒකෙන් නම් ගැලපෙනවා. උඹටත් යමක් කිව්වට මළාට අහන්නෙ නෑනේ. ගිහානයත් ඒ වගේම තමා...“
 “යකෝ... ගිහාන්ට ගැහුවා කියලා ප්‍රශ්ණ විසඳෙන්නෑ... අපේ තාත්තා ඒක දන්නැද්ද?“
“උඹලා තාත්තා ඒක හොඳට දන්නවා... ඒ නිසා තමයි ගිහානයා තාම යහතින් ඉන්නේ...“
මම සෑහෙන වෙලාවක් කතා කරලා ෆෝන් එක තිබ්බා. සති හයක් මේක ඇතුළටම වෙලා ඉඳලා දැන් මට ඇති වෙලා.
ඒ නිසා මම ඩොක්ටර් යුවාගෙන් ඇහුවා.. “වෙන් කැන් අයි ගෝ අවුට්?“ කියලා.
“නොට් ඉමීඩියට්ලි... ඇට් ලීස්ට් එනද වන් මන්ත්.. යූ හැව්ටු ස්ටේ ඉන්.“
මළා... ඒ කියන්නේ තව මාසයක් මම මේක ඇතුලේ ඉන්න ඕනේද? දැන් නම් මට පිස්සු හැදෙන්න ළඟයි. ඒත් මොනව කරන්නද, ඩොක්ටර් කියන දේ නාහා වුන දේ නිසා දැන්නම් අහන්නම වෙනවා.
මාස දෙක හමාරකට පස්සේ තමයි මට ගෙදර යන්න පුළුවන් වුනේ. ඒකත් දවස් දෙකකට වතාවක් ඩොක්ටර් ළඟට එන්න ඕනේ ප්‍රතිකාර වලට.
ඒ නිසා තවත් මාසයක් ම මට සිංගප්පූරුවේ ඉන්න වෙනවා
සචියා කියපු විදිහට මේ වෙනකොට මගේ වැඩ වලට ලක්ෂ විසිපහක් විතර ගිහින් තියෙනවා. ඒ හැම සතයක්ම දිලිනි වියදම් කරපුවා. තව මාසයක් ඉන්නවා කියන්නේ තවත් ලක්ෂ විස්සක් විතර යයි. වෙලාවකට බයත් හිතෙනවා...
කොහොම වුනත් දිලිනි මට ඒ ගැන වචනයක්වත් කතා කරන්න දුන්නේ නෑ. ඒ නිසා තවත් මාස දෙකක් මම බෙහෙත් ගත්තා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මාස තුන හමාරක් මම සිංගප්පූරුවේ ගත කරලා.
තාමත් මට හොඳටම ඇවිදින්න බෑ. ඇස් වල පෙනීමයි, කන්වල ඇසීමයි නම් හොඳටම සනීප වුනා. කකුලේ හිරි වැටීම, ඔළුවේ කැක්කුම, ඒ කිසි දෙයක් අන්තිම මාස දෙක හමාර පුරාවටම ආවේ නෑ.
අන්තිමට මට ලංකාවට යන්න අවසර දුන්නේ ආයෙත් මාසයකින් ඩොක්ටර්ට පෙන්වනවා කියන පොරොන්දුව උඩ.

Wednesday, October 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 95

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



95.

ඊළඟ දවසේ නොහිතපු විදිහට පොඩි සාදු මාව බලන්න ආවා.
“නර්ස් නෝනා... මේ ලෙඩාට මම කතා කළාට කමක් නැද්ද?“ පොඩි සාදු ඇතුළට ආවේ එහෙම අහගෙන.
“පුළුවන් ස්වාමීන් වහන්ස....“ එහෙම කියලා නර්ස් මට කතා කළා.
“කාවින්ද... ඔයාට මහන්සි දැනුනොත් කතා කරන එක නවත්තන්න....“
පොඩි සාදු ඇඳ ළඟටම ආවා.
“මම කිව්වා නේද පරෙස්සම් වෙන්න කියලා...“
“මම වැරදි දෙයක් කළේ නෑ පොඩි සාදු.... ඒත් මේක හිතාගන්නවත් බැරි දෙයක්.“
“කාවින්ද.... හිත ශක්තිමත්ව තියා ගන්න... ජීවිතේ මේ වගේ ප්‍රශ්ණ, කරදර එනවා... බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ජීවිතේ කියන්නේ ප්‍රශ්ණ කියලනේ. ලෞකික ජීවිතේ කියන්නේ ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන එකයි.“
“මම බය නෑ පොඩි සාදු.. ඒත් මේ විදිහට ඇඳෙන් නැගිටගන්න බැරිව කොහොමද ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නේ... මේ මැෂින් ටිකයි, නර්ස්ලයි, ඩොක්ටර්සලයි, වියදම් කරන්න දිලිනියි, අම්මයි, තාත්තයි නැත්නම් මම මේ වෙනකොටත් මැරිලා.“
“ඔයාව එහෙම ලේසියෙන් මරන්න බෑ කාවින්ද.. ඔයාගේ පණ හයියයි, ඔයාගේ විතරක් නෙවෙයි අර දරුවගෙත් එහෙමයි. මේව ඔයාගේ දෛවයේ ලියවිලා තියෙන දේවල්.... මේ ජීවිතේ ඔය දෙන්නා එකතු වෙනවා... ඒක ඉරහඳ වගේ විශ්වාසයි... හැබැයි ඒ එකතු වීම මේ වගේ බාධක මැදින් තමයි වෙන්නේ... ඒ නිසා ඔයාට වෙන මේ දේවල් වලක්වන්නත් බෑ.... එකම දේ හිත ශක්තිමත්ව ඉන්න.“
“පොඩි සාදු කොහොමද එහෙම හරියටම කියන්නේ?“
“හිතන්න කාවින්ද, ඔය දෙන්නා කවමදාකවත් හම්බවෙන්න හිටපු දෙන්නෙක්ද? ඒ දරුවා ගුරු වෘත්තියට එන්න කවදාවත් නොහිතපු කෙනෙක්, අහම්බෙන් කාවින්ද හිටපු ඉස්කෝලෙටම ආවා. කාවින්ද ඒ ඉස්කෝලේ ඉගෙනගන්න කාලේ දෙන්න හම්බවුනා. ඒක කවදාවත් හිතන්න පුළුවන් විදිහේ දෙයක් නෙවෙයි. ඔය දෙන්නා ඒ අතරේ සම්බන්ධ වුනා. සමාජ ක්‍රමයට විරුද්ධ විදිහේ සම්බන්ධයක්, ඒත් ඔය දෙන්නගේ ආදරේ බොහොම ශක්තිමත් වුනා. කොයි තරම් බාධක ආවද? ඒත් දෙන්නා වෙන් වුනේ නෑ.... ඉතින් හිතන්න කාවින්ද... මේවා මේ අහම්බෙන් වෙන දේවල් නෙවෙයි...“
“මට තේරෙන්නෑ පොඩි සාදු... කමක් නෑ බලමු... මම ලෙඩ වුනා මදිවට දිලිනියි මායි හම්බවෙන එකත් අමාරුයි. අපේ තාත්තා එයාට මගේ හුළඟක්වත් වදින්න දෙන්නේ නෑ. එයා මට වඩා වයසින් වැඩි නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.“
“ලංකාවේ සංස්කෘතියත් එක්ක වයස ප්‍රශ්ණයක් තමයි... ඒත් දෙන්නගේ අදහස් ගැලපෙනවනම්, දෙන්නට දෙන්න තේරුම් ගන්න පුළුවන්නම් වයස ප්‍රශ්ණයක් නෙවෙයි. ඒ හැකියාව තියෙනවනම් වයස නිසා එන ප්‍රශ්ණ ඕනෙ එකක් ජය ගන්න පුළුවන්. මේ ලෝකේ ආදරේ තමයි හැම දේටම මුල. ලෝකයේ ජීවය උපද්දවන්නේ ආදරේ.... පටන් ගන්නේ අම්මගේ දරුවට තියෙන ආදරයෙන්. මවකගේ ආදරය තමයි ලෝකේ හිරු එළිය... ඊට පස්සේ තමන්ගේ සහකාරියගේ ආදරේ... ඒ ආදරෙත් මවකගේ ආදරේටම අසමාන නෑ... ඒ ආදරේ කාවින්දගේ ජීවිතේ ලියවිලා තියෙන්නේ දිලිනි කියන දරුවා එක්ක. ඒක මම බය නැතුව කියනවා.“
“පොඩි සාදු කියන විදිහට වෙනවනම් හොඳයි....“
“වෙනවනම් නෙවෙයි, ඒක වෙනවා... ඒක නෙවෙයි කාවින්ද... මම ඔයාට පිරිත් කියන්න යන්නේ නෑ... පිරිත් ගැන ඔයාගේ විශ්වාසයක් නෑනේ... ඒ නිසා මම දැන් යන්නම්.... අවශ්‍ය ඕනෙම දේකට මම ඉන්නවා... මට කතා කරන්න ඕනෙම වෙලාවක.“
“හොඳයි පොඩි සාදු. මාව බලන්න ආවට බොහොම ස්තුතියි.“
“තව දෙයක්, මම අර දරුවව හම්බවුනා..... මම දන්නවා ඔය දෙන්නට මුණ ගැහෙන්න බැරි බව... ඒ නිසා මම ඒ දරුවව හම්බවෙලා එයාගේ හිත හැදුවා. මේව සමහර විට භික්ෂුවකට අකැපයි කියලා කෙනෙක් කියයි. නෑ... ගිහියන්ගේ හිත් සුවපත් කරන එකත් අපේ එක වගකීමක්. කාවින්ද ඒ දරුවා ගැන කරදර වෙන්න එපා... මම කිව්වා වගේම එයාට තියෙන්නේ බොහොම තද දරාගැනීමේ ශක්තියක්. ඒ නිසා ඒ දරුවා මෝඩ වැඩක් කරන්නේ නෑ. කාවින්දට තියෙන්නේ ඉක්මනට සනීප වෙන්න.“
“බොහොම ස්තුතියි පොඩි සාදු එයා ගැන බැලුවට. මේ වෙලාවේ තාත්තට ඔය ගැන කතා කරලා වැඩක් නෑ... මට මෙහෙම ඇඳේ ඉඳගෙන කිසි දෙයක් කරන්නත් බෑ... දිලිනි ගැන බලන එක ලොකු දෙයක්.“
“මම දිගටම ඒ ගැන කටයුතු කරන්නම් කාවින්ද.... බය නොවී තමන් සනීප වෙන්න බලන්න... ඊට පස්සේ අපි බලමු...“
“හොඳයි පොඩි සාදු....“
“මතක තියා ගන්න හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්න එපා. මට පේනවා අර දරුවා කාවින්දට වඩා මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. ඒ නිසා එයා ගන්න තීරණ ගැන දෙපාරක් හිතන්න එපා.“
“හොඳයි පොඩි සාදු.“
“එහෙනම් මම යනවා...“
පොඩි සාදු යන්න ගියා. ඇත්තටම පොඩි සාදු මමවත් නොහිතපු වෙලාවක නොහිතපු විදිහට දිලිනිගේ හිත හදන්න කතා කරපු එක ලොකු දෙයක්. නැත්නම් මමත් මේ ඇඳට වෙලා බැහැගන්න බැරිව මොනව කරන්නද?
තවත් සතියක් මම රෝහලේම හිටියා. අන්තිමට මම ගෙදර ආවේ මාසයකටත් වැඩි කාලයක් රෝහලේ ගතකරලා. මේ කාලය ඇතුළත මාව බලන්න නාපු කෙනෙක් නෑ. මගේ ළඟින්ම හිටපු යාළුවෝ ටික, උන්ගේ අම්මලා තාත්තලා, ඉස්කෝලේ හිටපු අනිත් පන්තිවල උන්,  අපේ ඉස්කෝලේ ගුරුවරු, ගුරුවරියෝ, එරංග අයියා, ගරාජ් එකේ ධනුෂ්ක අයියා, පොඩි සාදු, සමාධි, එරන්දිකා, අරුණි, සහ දිනිගේ තව යාළුවෝ හත් අට දෙනෙක්,  හෂිණි අක්කා, වරුණ අයියා, සමාධිගේ දෙමව්පියෝ, අම්මගෙයි තාත්තගෙයි යාළුවෝ, ඩැනී අංකල්, නෑදෑයෝ, ප්‍රොක්සිමා ගෘප් එකේ හර්ෂ ඇතුළුව එකට වැඩ කරපු හැමෝම, වෙන එකක් තියා අපිත් එක්ක හැමදාම රණ්ඩු කරපු අජා, මෙකී නොකී හැමෝම මාව බලන්න ආවා. ඊට අමතරව දිලිනිගේ යාළුවා ශලනි කීප වතාවක් ආවා.
මට ආදරය කරන කී දෙනෙක් මගේ වටේ ඉන්නවද කියලා මට පුදුමත් හිතුනා.
මාව බලාගත්ත නර්ස් කිව්වේ මාව බලන්න ආපු සෙනග දිහා බලපුවාම මට ඡන්දේ ඉල්ලන්න වුනත් පුළුවන් කියලා.
මේ අතරේ දිලිනිට එන්න බැරි වුනත් හැමදාකම උදේ එයා අමතක නොකර මට මල් එව්වා.
එදා චූටි අක්කා ඇවිල්ලා මට කිව්වා, මගේ තත්වේ දැන් ගොඩක් දුරට ස්ථාවර නිසා ඩොක්ටර් නිමල් මාව සිංගප්පූරුවට අරන් යන්න අවසර දුන්නා කියලා. ප්‍රොක්සිමා ගෘප් එකේ හර්ෂ, සචියයි, චූටි අක්කයි එක්ක ඒ හැමදේම ලෑස්ති කරලා තිබුණා. එකම ප්‍රශ්ණයකට තිබුණේ මේ දේවල් කරන්නේ දිලිනිගේ අනුදැනුම ඇතුව කියලා අපේ අම්මටයි තාත්තටයි නොදැනෙන්න කොහොමට මාව අරන් යන්නේ කියන එක.
හොඳ වෙලාවට දිලිනිගේ තාත්තගේ හොටෙල් ටිකයි, ප්‍රසිද්ධ අනිත් ව්‍යාපාරයි තියෙන්නේ මේ නම යටතේ නොවන නිසා තාත්තට සැකයක් හිතුනේ නැහැ.
මට සිංගප්පූරුවට යන්න තිබුණේ නොවැම්බර් දහ වෙනිදා. රෑ එකයි දහයට ලංකාවෙන් පිටත් වෙන ගුවන් යානයේ.
මම සංගප්පූරුවට යන්න කළින් දවසේ අම්මා මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කළා.
“පුතේ... ඔයාව සනීප කරගන්න අපි ඕනෙම දෙයක් කරනවා... ඒත් ඔයා මතක තියා ගන්න ඔයා ඔය කරන දේ නිසා අන්තිමට ඔයාටමයි දුක් විඳින්න වෙන්නේ.“
“මොක්ක ගැනද අම්මා කියන්නේ?“
“ඔයා අසනීපෙන් ඉන්නකොට මේ වගේ දේවල් ඔයාගේ ඔළුවට දාන්න හොඳ නැති වුනත් ඔයා යන්න කළින් මම මේ දේවල් කියන්නම ඕනේ...“
“මොනවද අම්මේ...?“
“ඔයාගෙයි දිලිනිගෙයි තියෙන ආදර සම්බන්දේ! ඒක හරියන දෙයක් නෙවෙයි මගෙ පුතේ... ඒ දරුවා නරක කෙනෙක් නොවෙන්න පුළුවන්, ඒත් ඔයාට වඩා අවුරුදු තුනක් වයසින් වැඩියි, පවුලේ ගෑණු කෙනා වැඩිමල් වුනාම කොච්චර ප්‍රශ්ණ එන්න පුළුවන්ද.... එකක් දැන් කොච්චර ලස්සන වුනත් ගෑණු අවුරුදු හතලිස් පනිනකොට වැහැරෙනවා... ඒක ස්වභාවිකවම වෙන දෙයක්. ඒත් පිරිමි එහෙම නෑ... ඉතින් ඒ දරුවට ඒ වයස එනකොට ඔයාට තිස් හයයි, තරුණ වයස, ඊට පස්සේ ඔයාට දැනෙයි එයාව නොගැලපෙනවා කියලා.... ඊට පස්සේ පවුල් ප්‍රශ්ණ.“
“නෑ අම්මේ... මම හිතන්නේ නෑ... අපි දෙන්නා තේරුම් අරන් ජීවත් වෙනවනම් ඒ ප්‍රශ්ණ ලොකු දේවල් නෙවෙයි...“
“හරි එහෙමයි කියමුකෝ... ඒත් ඔයා දන්නවද දිලිනිගේ පවුල ගැන... එයාගේ අම්මයි තාත්තයි ගැන දන්න මිනිස්සු කියන කතා. දෙන්නම මුලින් විවාහ වෙලා පස්සේ වෙන් වෙලා... ඊට පස්සේ දෙන්නම වෙන දෙන්නෙක්ව බැඳලා, ඊටත් පස්සේ ඒ පවුල් අතෑරලා දාලා ආයෙත් ඒ දෙන්නා එකතු වෙලා... දිලිනි කියන ඒ දෙන්නගේ දරුවා අවුරුදු ගාණක් හැදිලා තියෙන්නේ අම්මා, තාත්තා නැතුව... එහෙම හැදුන ළමයි ගොඩක් මුරණ්ඩුයි... ඔයාට බැරිවෙයි එයාව කන්ට්‍රෝල් කරන්න...“
“ඒ හැමදේම ඇත්ත වෙන්න ඇති අම්මේ... ඒත් ඒ දේවල් වලට දිලිනි වැරදිකාරියක් නෙවෙයි. දෙමව්පියන්ගේ වැරදි වලට දරුවෝ පලි නෑ... අම්මාමයි මට ඒ කතාව කියලා තියෙන්නේ.“
“එතකොට පුතේ ඔයා කියන්නේ ඔයා ඔය සම්බන්දේ නවත්තන්නෙම නෑ කියලද?“
“නවත්තන්න දෙයක් නෑ අම්මේ... අම්මලා එදා දිලිනිගේ ගෙදර ගිහින් එයාව පොරොන්දු කරවගෙන තිබුණනේ මාව අතාරිනවා කියලා. දැන් එයා ඒ පොරොන්දුව තියලා... අපි දෙන්නා දැන් වෙන් වෙලා. අම්මා කරපු දේ හරි කියලා හිතනවනම් අම්මට පුළුවන් සතුටු වෙන්න...“
“ඒක මම මගේ සතුට වෙනුවෙන් නෙවෙයි ඔයාගේ සතුට වෙනුවෙනුයි කළේ පුතේ.“
“නෑ අම්මේ... මගේ සතුට තමයි දිලිනි.... ඒත් දැන් කරන්න දෙයක් නෑ...“
“මම ඔයාට බල කරන්නේ නෑ පුතේ... ඒත් කල්පනා කරලා තීරණයක් ගන්න.“
අම්මා එහෙම කියලා යන්න ගියා.
පහුවෙනිදා උදේ නර්ස් ඇවිත් කිව්වා අද මම සිංගප්පූරුවට යනවා කියලා.
මේ වෙනකොට මම අසනීප වෙලා මාසයයි දවස් නවයයි, එදා ඉඳලා අද වෙනකං මම දිලිනිව දැක්කේ නැහැ.
ලංකාවෙන් යන දවසෙවත් එයාව බලන්න පුළුවන් වෙයිද?
මම ගුවන් තොටුපලට යනකොට සචියා මට හෙමිහිට කතා කළා.
“මචං.... දිලිනිට උඹව බලන්න ඕනේ කිව්වා. ඒත් මේ සැරේ තාත්තා උඹත් එක්ක යන නිසා එහේදි හම්බවෙන්නෙත් නැහැ කියලා කෙල්ල අද එයාර්පෝට් එනවා කිව්වා.“
“ඒත් බං කොහොමද, අම්මයි තාත්තයි ඉන්නවනේ..... අනිත් එක ඩැනී අංකලුත් වාහනේ ඉන්නවා.“
“ඒක තමයි බං... කෙල්ල ඇවිල්ලා කාටවත් නොපෙනෙන්න ඉඳී... අපි බලමු විනාඩි කීපයකට උඹට වැනිෂ් වෙන්න පුළුවන්ද කියලා. බය වෙන්න එපා... මම කොහොම හරි වැඩේ සෙට් කරන්නම්.“
සචියා ඒක කිව්වා කියන්නේ ඌ කොහොමහරි වැඩේ කරනවා. ඒ නිසා මට පොඩි බලාපොරොත්තුවක් දැනුනා.
රෑ දහය හමාරට මම අම්මයි, තාත්තයි, සචියයි, අමිලයි එක්ක එයාර් පෝර්ට් එකට ආවා. කම්පැණි එක පැත්තෙන් මානව සම්පත් කලමණාකරු විදිහට හිටපු මිස්ටර් වීරසිංහ ආවා.
එකොළහ විතර වෙනකොට අපි කට්ටියම අවශ්‍ය පරීක්ෂා කිරීම් ඉවර කරලා ඇතුළට ගියා.
සචියා කිව්වට දිලිනි එනවා කියලා මම එයාව දැක්කේ නැහැ.
තවත් පැය බාගයක් විතර ඉන්නකොට සචියා මගේ කණට කරලා “උඹ වොෂ්රූම් යන්න ඕනේ කියපං.“ කියලා කිව්වා.
“ඇයි...?“
“ප්‍රශ්ණ නාහා කියපංකෝ....“
මම ඌ කියපු විදිහටම තාත්තට කිව්වා මට වොෂ් රූම් යන්න ඕනේ කියලා.
“අංකල් ඉන්න අපි එක්ක යන්නම්,“ අමිලයි සචියයි නැගිටලා මගේ වීල් චෙයාර් එක වොෂ් රූම් එක පැත්තට අරන් ගියා.
අපි හිටපු තැන ඉඳලා මීටර් තිහක් විතර තිබුණ වොෂ් රූම් එක ඇතුලට සචියා මාව ගෙනාවා. ටර්මිනල් එකේත් දෙතුන් දෙනෙකුට වඩා නොහිටිය නිසා මේ පැත්ත සම්පූර්ණයෙන්ම පාළුයි.
මම ඇතුලට යනකොටම පිරිමි වොෂ් රූම් එකේ දොර ළඟ කණුවකට මුවා වෙලා දිලිනි හිටියා.
“සුදූ....“
“උඹලා පලයං ඇතුලට.“ එහෙම කියලා සචියා දොර ඇරලා මාව ඇතුලට තල්ලු කළා. “අපි එළියේ ඉන්නම්, කාටවත් එන්න නොදී... විනාඩි පහයි තියෙන්නේ... කතා කරගන්න දෙයක් ඉක්මනට.“
“යකෝ මේක ජෙන්ට්ස් එක.“
“උඹ පලයංකෝ කෙල්ල එක්ක... අපි කාවවත් එවන්නෑ..“
ඌ දිලිනිවත් ඇතුලට තල්ලු කළා.
ඇතුලට ගිය ගමන් දිලිනි මාව බදාගත්තා.
“මම මැරි මැරී හිටියේ කාවින්ද... ඔයා දකින්න නැතුව මට හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ.“
මට කියන්න දෙයක් නැති වුනා. තාමත් මගේ පපුවේ ඔළුව ගහගෙන දිලිනි කතා කළා.
“අපිට මොකද වෙන්නෙ රත්තරන්... ඔයා නැතුව මට ඉන්න බෑ... මැරෙන එක ඊට හොඳයි...“
“අපිට මොනවත් වෙන්නෑ සුදූ.... මම ඉක්මනටම සනීප වෙන්නම්...“
“ඔව් කාවින්ද... ඔයා අනිත් හැමදේම අමතක කරලා සනීප වෙන්න බලන්න. ඕනේ කරන හැම වියදමක්ම මම දෙනවා. එදා සිද්ධියෙන් පස්සේ තාත්තිත් දන්නවා මමයි ඔයාට වියදම් කරන්නේ කියලා. ඊයේ මට කිව්වා හැම දෙයක්ම හොයලා බලලා ඔය කොල්ලව සනීප කරගන්න කියලා. තාත්තිට බය ඇති.“
“ඒ කියන්නේ අපිට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා?“
“තාම කියන්න බෑ කාවින්ද... ඒත් තාත්තිගේ රෙස්පොන්ස් එක පොසිටිව් අපිට.“
“මේ සැරේ ඔය එන්නේ නැද්ද?“
“මම එනවා කාවින්ද... මම එක දවසක් හරි සිංගප්පූරුවට ඇවිත් ඔයාව බලලා යන්නම්. ඔයාගේ තාත්තා දවස් දෙකකින් ආපහු ලංකාවට එනවනේ, එතකොට ඉන්නේ බාප්පා නිසා මට ඔයා එක්ක ටිකක් ඉන්න පුළුවන් වෙයි.“
එතකොටම සචියා දොරට තට්ටු කළා.
“මචං ඉක්මන් කරපං... යන්න ඕනේ ... නැත්තං තාත්තා මේ පැත්තට එයි.“
දිලිනි මගේ දිහා දුකින් බැලුවා. “අපිට යන්න වෙනවා කාවින්ද. මතක තියාගන්න ඔයා මොන තත්වෙන් හිටියත් මට ඕනේ ඔයාව විතරයි.“
“මොනවද මේ කියවන්නේ? මම ඉන්න තත්වේ මොකක්ද?“
“ඒක වැඩක් නෑ කාවින්ද... මේ මම කියන දේ හොඳින් මතක තියාගන්න... ඔයාව සනීප කරන්න ලෝකේ ඕනෙම තැනකට අරන් යන්න මට පුළුවන්... ඕනේ වුනොත් මම ඒක කරනවා. ඒත් ඒ මොනවා කරලවත් ඔයාට සනීප නොවුනත් මම ඔයාගේ විතරයි කාවින්ද... එදා හිටපු ලස්සන හැන්ඩ්සම්, ස්පෝර්ට්ස් කරපු කාවින්දට වගේම අද ඉන්න අසනීප වෙච්ච කාවින්දටත් මම එක වගේ ආදරෙයි... අපිව වෙන් කරන්න කිසිම කෙනෙකුටවත් කිසිම දේකටවත් බෑ.... ඔයාට ජීවිත කාළෙම ඔහොම ඉන්න වුනත් අපිව වෙන් කරන්න කාටවත් බෑ. ආදරේ කියන එක ඇත්ත නම් අපි දෙන්නා එකතු වෙනවාමයි. මම ජීවිතේ කාටවත් මේ තරම් ආදරේ කරලා නෑ කාවින්ද... කිසිම දවසක නෑ.... ඒ නිසා මේ ඇත්ත ආදරේ නැති වෙන්නේ නෑ.“
“මම සනීප නොවුනොත් මාව බාර අරන් ඔයාගේ ලස්සන ජීවිතේ කාලකන්නි කරගන්නේ ඇයි?“
“කට වහන්න... කාලකන්නි මගේ ජීවිතේ ලස්සන කළේ ඔයා.... ඔයා නිසා මම කාලකණ්නි වෙන්නේ නෑ... ඒ නිසා හොඳ බබා වගේ කට වහගෙන මම කියන දේ කරන්න...“
“ඒ වුනාට ඔයා ඇවිදගන්න බැරි මාව බැඳලා මොනවා කරන්නද...?“
“මම කිව්වනේ... කට වහගන්න... ලෙඩ කියලා බලන්නේ නෑ ගහනවා එදා වගේ.“
“සුදූ....“ මම කතා කරන්න කළින් දිලිනි කතා කළා‍.
“කාවින්ද... ආදරේ මොක්කද කියලා මට කියලා දුන්නේ ඔයා. මගේ හිත ලස්සනටම ආදරෙන් පිරෙව්වේ ඔයා.... මම ජීවිතේ වැඩිම සතුටින් හිටියේ ඔයා එක්ක ඉන්න වෙලාවල් වල. ජීවත් වෙන්න ඇඟීමක් ආවේ ඔයාව අඳුරගත්ත වෙලාවේ. එච්චර දේවල් මට දුන්න ඔයා මගේ ජීවිතේටත් වඩා මට වටිනවා.“
දිලිනි එහෙම කිව්වත් එක්කම අපි දෙන්නා කෙළවරක් නැතුව දෙතොල් පටලවා ගත්තා. ඒත් වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ සචිත්‍ර ආයෙත් කතා කළා.
“වරෙන් ඉක්මනට.“
වෙන්වෙන්න බැරි හිතකින් වුනත් අපි දෙන්නා වෙන්වුනා.
අමිල මගේ පුටුව තල්ලු කරගෙන අම්මලා ඉන්න තැනට යන අතරේ සචියා දිලිනිව එක්කගෙන එළියට ගියා.
හරියටම පාන්දර එකයි දහය ෆ්ලයිට් එකෙන් මම තාත්තයි බාප්පයි එක්ක සිංගප්පූරුවට ගියා.


Monday, October 09, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 94



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



94.

එදා හවස සචියා මාව බලන්න ආවා.
“මචං... මාරි සීන් එක බං... එදා අපි ඉන්නකොටමයි උඹ හොස්පිට්ල් එකේදි ෆේන්ට් වුනේ... උඹ නිකං ෆිට් එක හැදිලා වගේ සිහිය නැතිවුනා. අපේ සෙට් එකට මාර අප්සෙට්....“
“දැන් සෑහෙන්න හොඳයි බං..... කවදද දන්නෑ ගෙදර යන්න පුළුවන්.“
“පිස්සුද උඹට.... සම්පූර්ණයෙන් හොඳ වෙනකං උඹට යන්න බෑ...“
“හරි සචියා, මට උඹෙන් උදව් දෙකක් ඕනේ... පලවෙනි එක කෝ මගේ ෆෝන් එක... දෙවෙනි එක, උඹ දිලිනි ව හම්බවෙලා එයා ළඟ තියෙන මගේ මෙඩිකල් රිපෝට්ස් ටික අරගෙන එන්න ඕනේ.“
“එළකිරි... මම දැන්මම යන්නම්..“
සචියා ගියාට පස්සේ මම කල්පනා කළේ දිලිනි ගැන. මගේ ෆෝන් එක දවස් ගාණක් ඕෆ් කරලා, මම ඉන්න තැනක් දන්නෙත් නෑ.... කෙල්ල මොනව කළාද දන්නේ නෑ.
පැයක් ඇතුළත සචියා ආවා.
“මාර සීන් එක කාවා...“
“ඇයි මොකද?“
“මචං... දිලිනි දවස් ගාණක් උඹව කන්ටැක්ට් කරන්න බලලා, මටත් කෝල් කරලා තිබුණා ගෙදරට... ඒත් මම හිටියේ නැහැනේ...“
“ඉතින්... කියපං බං වටේ යන්නේ නැතුව..“
“ඉඳා... උඹට ලියුමක් තියලා. ගෙදර සර්වන්ට් දුන්නේ... “
මේ මොන හෙනගෙඩියක්ද කියලා හිතාගන්න බැරුව මම ලියුම දිගහැරියා.
ආදරණීය කාවින්ද;
මම දවස් ගාණක් ඔයාට කතා කළා. ඒත් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා. සචිත්‍රට ගත්තා, ඒත් එයත් ගෙදර නැහැ. මම ඔයාගේ ගෙදරටත් ගත්තා, ඒත් අම්මා කතා කරපු නිසා මම කට් කළා. මම හිතුවා ඔයා ප්‍රැක්ටිස් වලට කොළඹ යන්න ඇති කියලා.
මට හදිස්සියේ බිස්නස් වැඩකට තාත්ති එක්ක ස්විඩන් වලට යන්න වෙලා... මට ඕනේ වුනේ ඔයාට ඒක කියන්නයි. මේ ගමනෙන් අපි දෙන්නගේ අනාගතේට වැඩ පිළිවෙලක් යොදා ගන්නත් මගේ අදහසක් තියෙනවා. අපිට කවදා හරි තාත්ති හිටියා වගේ ස්විඩන් වල සෙට්ල් වෙන්න පුළුවන් නම් ටික කාලෙකට මේ හැම දේකින්ම ඈත් වෙන්න පුළුවන්.
බය වෙන්න එපා මම ඉක්මනට එනවා. දවස් විස්සක ගමනක්... එන ගමන් බැන්කොක් වලටයි, සිංගප්පූරුවටයි යනවා. ඒ එන ගමන් මම අර ඩොක්ටර්ටත් කතා කරලා එන්නම්. කොහොමත් මාසයක් යන්න කළින් අපි එනවා.
යන්න කළින් ඔයාගේ මූණ බලලා යන්න බැරි වුන දුක තාම මගේ හිතේ තියෙනවා. මම පුළුවන් තරම් ට්‍රයි කරන්නම් ඔයාට ආයෙත් කෝල් කරන්න... ඒත් මේ රටේ මොබයිල් එකක් නැති නිසා කෝල් කරන්න අමාරුයි. මම කෝල් නොකරත් බය වෙන්න එපා... මම හැමදාමත් ඔයාගේ... මේ සැරේ මම එන්නේ අපි දෙන්නගේ අනාගතේට හොඳ වැඩ පිළිවෙලක් හදාගෙන. ඒක ඔයයි මමයි විතරක් දන්න රහසක්.
ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න. මම එනකොට මේ සැරේ ලංකාවේ දෙවෙනියා නොවී පලවෙනියා වෙන්න... ඔයාට සාෆ් ගෝල්ඩ් මෙඩ්ල් එකක් ෂුවර්...
ඉතින්.. ඔයා ළඟ නැති හැම තත්පරයක්ම මට පිස්සු වගේ... මම පුළුවන් ඉක්මනට එනවා. මං වෙනුවෙන් පරිස්සම් වෙන්න.
මේ ඔයාගේ ආදරණිය තාරුකා...
කෙලියා නේද තාප්පෙට... මට හිතුනා.... දැන් කොහොමද මගේ රිපෝට්ස් ටික ඉල්ලගන්නේ.. කෙල්ල කෝල් කරනකං ඉන්න වෙනවා.
“සචියා.... කෝ ෆෝන් එක....“
“ඉඳා... ඒක නෙවෙයි කෙල්ල ලංකාවෙන් පිටවෙලා නේද... කොහොමද යකෝ උඹේ රිපෝට්ස් ටික ඉල්ලගන්නේ.“
“ෆෝන් එක ඔන් කරලා තියාගමු... එයා ඉක්මනටම කෝල් කරයි... එහෙම වුනොත් ඒවා ගෙදර තියෙන තැන අහගෙන කොහොම හරි අම්මගෙන්වත් ඉල්ලගමු. වෙන කරන්න දෙයක් නෑ.“
“කවදා කෝල් කරයිද බං... මෙහේ ඩොක්ටර්ස්ල ඒවා පුළුවන් තරම් ඉක්මනට ඉල්ලනවා. අපි උඹලගේ තාත්තට කියමුද.. එතකොට දිලිනිගේ ගෙදර ගිහින් හරි එයාගේ අම්මගෙන් අහලා හොයලා බලයිනේ...“
“එපා යකෝ.... එතකොට ඒ හැම දෙයක්ම එළි වෙනවා.“
“එහෙනම් ඔය මගුල ඕන් කරලම තියා ගනින්.“
ෂික් අම්මපා... මේ කෙල්ලත් මේ අස්සෙම ගියානේ... මට හිතුනා.
කොච්චර බලන් හිටියත් දවස් දෙකක් ගතවෙලත් දිලිනි කෝල් කළේ නැහැ.
මේ අතරේ ඩොක්ටර්ස්ල කීප දෙනෙක්ම මාව බැලුවා. චූටි අක්කගේ ලෙක්චරර් කෙනෙක් වුන මහාචාර්යය කෙනෙකුත් එයා ගෙන්නුවා. එයා නම් මගෙනුයි, අම්මගෙනුයි තාත්තගෙනුයි තුන්දෙනාගෙන්ම ගොඩක් ප්‍රශ්ණ ඇහුවා. පවුගේ විස්තර, පරම්පරා ගාණක් පස්සට යනකං හිටපු අයගේ ලෙඩ ගැන විස්තර, තව මෙකී නොකී ගොඩක් ප්‍රශ්ණ ඇහුවා.
මට දැන් හොඳ වෙලා තියෙද්දි මෙච්චර දේවල් හොයන්නේ මොකටද? මම පස්සේ චූටි අක්කගෙන් ඇහුවා.
එයා කියපු විදිහට මගේ මේ පෙන්නපු රෝග ලක්ෂණ බොහොම දුර්ලභ ඒවා නිසා හරියටම මොකක්ද ලෙඩේ කියලා හොයාගන්නකං මට යන්න දෙන්නේ නෑ කියලා.
තවත් දවස් දෙකක් ගතවෙලා ගියා. ඒ දවස් දෙකේ මම නැගිටලා සචියගේ උදව්වෙන් ටිකක් ඇවිද්දා. දකුණු කකුල තාම හරියට වාරු නැහැ. අඩි දහයක් වගේ ඇවිදිනකොට මට ලොකු මහන්සියක් දැනුනා. නර්ස් කිව්වේ සති දෙකක් විතරම සේලයින් වලින් විතරක් හිටපු නිසා එහෙම වෙන බව.
එදා රෑ මට ආයෙත් අමාරු වුනා. කොන්දේ වේදනාවයි, කකුලේ හිරිවැටීමයි දෙකට අමතරව ඉවසන්න බැරි හිසේ වේදනාවකුත් ආවා. ඔළුව ඇතුලේ මොනවහරි පිරිලා, ඉඩ නැතුව පිපිරිලා යන්න හදනවා වගේ දැනුනා. මම ජීවිතේටම ඒ වගේ වේදනාවක් අත්විඳලා තිබුණේ නැහැ. ඊට පස්සේ මට යාන්තමට වගේ මතක මම නර්ස්ට කෑ ගහලා කතා කරනවයි, කට්ටියම එකතු වෙලා මාව ට්‍රොලි එකක තියාගෙන එළියට ගෙනියනවයි විතරයි. තත්පර ගාණකදී හැම දෙයක්ම අඳුරු වෙලා ගියා.
ඒ වතාවේ මට ආපහු සිහිය එනකොට මම ආයෙත් හිටියේ දැඩි සත්කාර ඒකකයේ.
සිහිය ඇවිල්ලත් සතියක් විතර යනකං මට කිසිම දෙයක් ඇහුනේවත්, දැනුනේ වත් නැහැ. අඩුම ගාණේ ඇඟේ එක ඇඟිල්ලක්වත් හොල්ලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පුළුවන් වුන එකම දේ ඇස්පිය ගහන්න විතරයි. ඒ හැම දවසකම චූටි අක්කා එක එක ඩොක්ටර්ස්ල එක්ක මාව බලන්න ආවා.
මට යන්තමට කතා කරන්න පුළුවන් වුන ගමන් එයා මට කතා කළා.
“කාවා..... දැන් කොහොමද?“
“ටිකක් විතර හොඳයි හලෝ.... මම දවස් කීයක් මෙහෙම හිටියද?“
“ඔයාට සිහිය එන්න මේ සැරේ දවස් දහතුනක් ගියා කාවින්ද... තවත් සතියක් ඔයා හැඟීමක් දැනීමක් නැතුව හිටියා.“
“මොකක්ද චූටි අක්කේ මට වෙන්නේ....?“
“අපි බලනවා.“
“මේ...... මම බයවෙයි කියලා නොකිය ඉන්න එපා. මොනව වුනත් මට දැනගන්න ඕනේ.... කියනවා...  මොකද වෙන්නේ... මට ආයෙ කවදාවත් ඇවිදින්න බැරිවෙයිද?“
“විකාර කියවන්න එපා කාවා... තමුසෙට දැන් හොඳ වෙයි.“
“ගිය සැරෙත් ඕකනේ කිව්වේ... ඇත්ත කියනවා හලෝ.... මට කෙලවෙලාද ඉන්නේ...?“
“ඇත්තට කියන්නම්කෝ... මම දන්නවා තමුසෙගේ හිත හයියයි කියලා...“
“අන්න එහෙම ඇත්ත කියනවා...“
“ඔයාට මොනවද වෙන්නේ කියලා අපි තාම හරියටම දන්නේ නෑ... ඒත් අන්තිමට ඔයාගේ ඔළුව ඇතුලේ බ්ලීඩින්ග් එකක් වුනා. ඒකෙන් මොලේ ගොඩක් තෙරපිලා තියෙන්නේ... ඒ නිසා ඔයාට සමහර දේවල් ගැන දැනීම අඩුවෙලා. ඇස් පෙනීමත් අඩුවෙලා... ඔයාට ඒක දැනෙනවද?“
“ඔව්... මට දැන් අර බිත්තියේ තියෙන ලොකු අකුරක්වත් කියවන්න බෑ... තාම ඔළුව හිරිවැටිලා වගේ තමා. අනිත් එක මට වම් පැත්තේ ඇහෙන් පේන්නේ හරි කෙලින් ඉස්සරහ විතරයි. වම් පැත්තේ තියෙන කිසි දෙයක් පේන්නේ නෑ.“
“ඊළඟ කේස් එක, ඒත් එක්කම සපයිනල් කෝඩ් එක පැත්තකින් තදවෙලා ටෙම්පරරිලි කකුල් දෙකම පණ නැති වෙලා.“
ඒක කිව්ව විතරයි මට ෆුල් අප්සෙට් ගියා.... ඇත්ත තමා.. කකුල් තියෙනවද කියලවත් තේරෙන්නේ නැහැ.“
“ඔයාට ටික කාලයක් වීල් චෙයාර් එකක ඉන්න වෙනවා. ඒ අතරේ ටිකෙන් ටික ෆිසියෝතෙරපි කරලා බලමු. ඕක සියයට අනූ නවයක්ම ටෙම්පරි දෙයක්. මාස කීපයකින් හරි යනවා. හිත හයිය කරගන්න.“
චූටි අක්කා කිව්ව දේවල්වලින් මට තේරුණේ වැඩේ ටිකක් බරපතලයි කියලා.
සචියත් එදා ආවා.
“කාවා.... උඹ කෝමා එකේ ඉන්න කොට මම ෆෝන් එක ගත්තා. දැන් සති දෙකකට උඩදි දිලිනි කතා කළා.“
“ඉතින්...“
“මම සීන් එක කියලා අර රිපෝට්ස් ඕනේ කිව්වා.“
“ඉතින්...“
“කෙල්ල අඬන්න ගත්තා. කෙල්ල කියනවා එයා ඕක දැනගෙන හිටියලු. ඒත් ඔයාට ඔච්චර සිංගප්පූරුවේ යන්න කියද්දි බෑ කිව්වලු.“
“මොකක්... කෙල්ල කොහොමද මේක වෙන බව දැනගෙන තිබුණේ..“
“මම දන්නෑ බං... සංගප්පූරුවේ ඩොක්ටර්ස්ලා ඔය ගැන කියලා තිබුණලු. එදා වලි සීන් එකේදි වුන මොකක් හරි දෙයක් නිසා කාලයක් යද්දි ඔහොම වෙයි කියලා කිව්වලු.“
“දැන් කෝ කෙල්ල.“
“කෙල්ල දවස් දෙකකට පස්සේ ඒ වැඩ ඔක්කොම දාලා ලංකාවට ආවා. ඉන්නම බැරි තැන දවසක් උඹව බලන්නත් ආවා... අයි සී යූ එකේ ඉන්නකොට... ඒත් උඹේ තාත්තට මාට්ටු වෙලා බැනලා එලවා ගත්තා. තවත් උඹේ ජීවිතේ විනාස නොකර යන්න කියලා වලියක් දැම්මා.“
“නෑ.. ඉතින් කෙල්ල ගියාද?“
“නෑ... කොහොමහරි උඹ ළඟට ආවා. ඒත් පහුවෙනිදා උඹේ තාත්තා කෙල්ලගේ තාත්තාට කියලා කෙල්ලව එවන්න එපා කියලා. උඹව නැති කරලා දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න කියලා... ඩෑනී අයියත් පාට් දාලා තියෙනවා. දැන් මම හිතන්නේ කෙල්ලගේ ජීවිතේ ගැන බයේ කෙල්ලගේ තාත්තා එයාව කොහෙවත් යවන්නේ නෑ.“
“යකෝ ඒක මාර වැඩක්නේ... කෙල්ලනේ මාව ගොඩ දැම්මේ, සිංගප්පුරුවේ අරන් ගිහිල්ලා.“
“ඒක ඇත්ත... ඒත් බං උඹ ගුටි කාලා ඔය ටික කරගත්තේ කෙල්ල නිසානේ... තව දෙයක්.... ඩැනී අයියා ගිහානයාට දීලා තියෙනවා කකුල් කැඩෙන්න... ඌට විතරක් නෙවෙයි උගේ යාළුවෝ දෙන්නෙකුටත් එක්ක.. අන්න උන් තුන් දෙනා තාම හොස්පිට්ල්....“
“යකෝ... මං නැති ටිකට මාර සීන් නේ වෙලා තියෙන්නේ...“
“ඔව් ඔව්.... මෙහේ ගේම හින්දි ෆිල්ම් පරාදයි... ගිහානයා එක පාරක් දුවලා බේරිලා... දෙවෙනි පාර නම් ඩැනී අයියා කොටු කරලා.. දීලා දීමනක්....“
“හරි එතකොට දැන් ඩොක්ටර්ස්ලා මොනවද කියන්නේ.... කෝ දිලිනි ළඟ තිබුණ රිපෝට්ස්..?“
“කෙල්ල ඒවා දුන්නා.... මෙහේ ඩොක්ටර්ස්ලා බලනවා.... මං හිතන්නේ උඹව ආපහු සිංගප්පූරු අරන් යයි. ඒ හිටපු චයිනීස් ඩොක්ටර් උඹව ගෙනාවොත් සනීප කරන්න පුළුවන් කියලා. දිලිනි ඔච්චර බැණුම් අහගෙනත් ඒවා කොහොමහරි කළා. උඹගේ අම්මයි තාත්තයි නම් කෙල්ල කියපු දේවල් පිළිගන්නේ නෑ.. ඒත් චූටි අක්කයි මායි දිලිනිව හම්බවෙන්න ගිහින් රිපෝර්ට්ස් ටිකත් අරගෙන, එයා ලව්වම සිංගප්පූරු ඩොකාටත් කතා කරලා ආවා. මොනවා වුනත් කෙල්ල සිරා බං... දිනිට වඩා සිරාවටම හොඳයි... උඹට පට්ට ලව් බං.... මම ඒ ගැන නම් දැන් ගැරන්ට් කරලා කියනවා.“
“මාව සිංගප්පූරු ගෙනියන්න සල්ලි කෝ බං...“
“ඒකත් මම හිතන්නේ කළින් වගේම දිලිනි කම්පැණි එකෙන් සෙට් කරලා... හර්ෂ ඇවිත් ගියා... උඹලගේ ගෙදර මිනිස්සු මේ ගැන දන්නෑ... දන්නේ චූටි අක්කයි මමයි විතරයි...“
“මං දන්නෑ බං... මම නිසා හැමෝටම කරදර... උඹලා වුනත් බලපං බං..“
“විකාර කියන්න එපා කාවා... ඒක තමයි යාළුකම කියන්නේ.. උඹට මෙහෙම වුන දවසේ ඉඳලා අපේ සෙට් එකේ එකෙක්වත් හිනාවෙලා කතා කළේ නෑ... උන්ට උන්ගෙම සහෝදරයෙක් ට වුනා වගේ දුකයි.“
“මම දන්නවා බං... ඒත් මට කවදා නැගිටින්න පුළුවන් වෙයිද කියලා කවුරුවත් දන්නෑ.... මෙහේ ඉන්න ඩොකාලා මෙලෝ හසරක් නැතුව කරුවලේ අත පත ගානවා වගේ ඉන්නේ....“
“උඹ කවදා හරි නැගිටිනකම් අපි ඉන්නවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි උඹව ගොඩ දාලම තමයි නවතින්නේ.“
ඒ අතරේ සචියා මට ෆෝන් එක දුන්නා. කතා කළේ දිලිනි.
“අපිට මොකද වුනේ බබා.... මට මැරෙන තරමට දුකයි...... ඔයා සිහියක් නැතුව ඇඳේ ඉන්නවා බලලා ගියාට පස්සේ මම දවස් ගාණක් ඇඬුවා...“
“දැන් අවුලක් නෑනේ සුදූ.... මට හොඳ වෙයි...“
“මට ඔයාව බලන්න ඕනේ කාවින්ද... ඒත් එන්න විදිහක් නෑ, ඔයාගේ තාත්තගේ යාළුවා හොඳට බලාගෙන ඉන්නේ... මට හොස්පිට්ල් එකට අඩියක්වත් තියන්න දෙන්නෑ... මම මොනවද කරන්නේ කාවින්ද?“
“මොනවත් කරන්න එපා... මම කොහොමහරි විදිහක් කල්පනා කරන්නම් ඔයාව ගෙන්න ගන්න.“
“අනේ කාවින්ද... මං වෙනුවෙන් සනීප වෙන්න..... මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ... ඔයා ඒක දන්නවා නේද?“
“දන්නවා...... බය වෙන්න එපා... මම ඉක්මනටම නැගිටිනවා. අපිට වෙන් කරන්න මේ කිසිම දේකට බෑ සුදූ...“
“ඔයාට සිංගප්පූ යන්න වෙනවා බබා... මම හැම දෙයක්ම ලෑස්ති කරනවා... ඔයාට වුන දේ කිව්වහම මගේ තාත්තිත් කැමති වුනා මේ වැඩේ  කරන්න. එයාටත් බය හිතිලා.... එදා ගිහාන් ඔයාට ගහපු එකෙන් මේක වුන බව එයත් දැන් දන්නවා.“
“ඒ කේස් එකෙන් මෙච්චර දෙයක් වෙන්නේ කොහොමද දිලිනි... එදා නිකං ඇඟ තැලුනා විතරනේ...“
“නෑ බබා... එදා පිටින් ලොකු ඩැමේජ් එකක් නොපෙනුනාට, ඔයාගේ නරකම තැනකට, සෙන්සිටිව්ම තැනකට පාරක් වැදිලා.... ඒකෙන් ඔයාගේ නර්ව් එකක් ප්‍රෙෂර් වෙලා.... ඒක එදා ලංකාවේ ඩොක්ටර්ස්ලට අහුවෙලා නෑ... ඒත් ඩොක්ට යුවා ඔයාට ට්‍රීට් කරනකොට ඒක දැකලා... මට කිව්වා.“
“මට නොකිව්වේ ඇයි...“
“ඩොක්ටර් යුවා කිව්වේ ඒකේ ඉෆෙක්ට් එක හෙට එන්නත් පුළුවන්, මාස ගාණකින් එන්නත් පුළුවන්, අවුරුදු ගාණකින් එන්නත් පුළුවන් සමහර විට නොඑන්නමත් පුළුවන් කියලා... ඒ නිසා ඔයාව අනවශය විදිහට බය කරවන්න මට ඕනේ වුනේ නෑ..“
 “අනිත් එක කාවින්ද.. ඔයාට මෙහෙම වුනා කිව්ලා දැනගෙන පොඩි සාදු මාව හම්බවුනා.“
“මේ කඩුගන්නාවේ රජ මහා විහාරේ පොඩි සාදු!“
“ඔව්... මට නුවරට එන්න කිව්වා... මමත් ගියා.“
“මොකද කිව්වේ..?“
“මතකද සුදු නෝනා මම මේක කලින්ම කිව්වා.. ඒත් බයවෙන්න එපා කාවින්දට මොනවත් වෙන්නෑ කිව්වා.... තාම මගේ කේන්දරේ බලවත් කිව්වා... ඒ නිසා පුළුවන් තරම් ඔයා ළඟින් ඉන්න කිව්වා... මේ මොන දේ වුනත් අපි දෙන්නව වෙන් කරන්න කිසිම දේකටවත්, කිසිම කෙනෙකුටවත් බෑ කිව්වා. ඒත් ඉස්සරහට තව කීප අවුරුද්දක් මීටත් වඩා බාධක එයි කිව්වා.“
“පිස්සු... මීටත් වඩා මොනව වෙන්නද සුදූ....“
“පිස්සු නෙවේ කාවින්ද... එයා කියපු හැම දේම ඒ විදිහටම වුනා.... අපි දෙන්නාටම ලොකු බරපතල දේවල් වලට මූණ දෙන්න වෙයි කිව්වා. අපි නිසා පවුල් දෙක අතරේ ලොකු කලබලයක් ඇති වෙයි කිව්වා.... ඒ හැමදේම වුනා. ඒ නිසා මීටත් වඩා ලොකු කරදර එයි කිව්ව එක ගැන නම් මට බයයි.“
“පිස්සු...“ මම කිව්වා.
“ඒක නෙවෙයි සුදූ.... ඔයා ලස්සන ලියුමක් ලියලා තිබුණා. ඇයි ඔයා තාරුකා කියලා ලිව්වේ...“
දිලිනි හිනා වුනා... “හැමෝම මට කියන්නේ දිලිනි කියලා .... ඒත් ඉස්කෝලේ මට කිව්වේ තාරුකා කියලා... මං ආසයි ඔයත් එහෙම කියනවනම්...“
“මම අද ඉඳලා එහෙම කියන්නම්... මාත් ආසයි ඔයාට තාරුකා කියන්න.... ඔයාටම ගැලපෙනවා.“
දිලිනිව කොහොමහරි මාව බලන්න ගෙන්නගන්න පොරොන්දු වුනාට පස්සේ අපි දුරකථනය තිබ්බා.