Monday, October 02, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 93



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



93.

එදා රෑත් පාන්දර එකට විතර මම ඇහැරුණා.
ඒ වෙලාවේ කකුලේ වේදනාවක් වෙනුවට කොන්දේ වේදනාවක් තිබුණා. මම හිතුවේ නිදාගෙන හිටපු විදිහට කියලා. මගේ පපුව උඩ ඔළුව තියාගෙන නිදාගෙන හිටපු දිලිනිව පරිස්සමින් අයින් කරලා මම නැගිටින්න හැදුවා.
ඒත් කොන්දේ පහළින් ආව වේදනාව නිසා මට කෙඳිරි ගෑවුනා. ඒත් එක්කම දිලිනි නැගිට්ටා.
මම හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නවා දැකපු දිලිනි බෙඩ් සයිඩ් ලෑම්ප් එක දැම්මා.
“ඇයි කාවින්ද?“
“කොන්ද රිදෙනවා සුදූ...“ මම අමාරුවෙන් කියාගත්තා.
“ඇයි කාවින්ද... අමාරුද....?“
“නෑ.... මම හිතන්නේ එකම විදිහට නිදාගෙන හිටිය නිසා  වෙන්න ඇති.“
මම දිලිනිගේ අත අල්ලගෙන නැගිට්ටා.
“කාවින්ද... ඔයාගේ කකුල ප්‍රශ්ණයක් නෑ නේද...?
“ම්... නෑ.. කකුල රිදෙන්නේ නෑ... ඒත් එදා රේස් එක ඉවර වෙලා අන්බැලන්ස් ගතියක් තිබුණා.“
“ඉතින් බලන්නකෝ. ඔයාට ඩොක්ටර් කිව්වා නේද පොඩි හරි වෙනසක් තියෙනවනම් එයාට කතා කරන්න කියලා. ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ... පහුගිය දවස් වල මහන්සි වුනා වැඩී.“
“බලමුකෝ.... මේක නම් නිකම්ම කොන්දේ අමාරුවක් වෙන්න ඇති.“
“ඉන්න මම අර ජෙල් එක ගාන්නම්....“
දිලිනි එහෙම කියලා ජෙල් එක මගේ කොන්දේ ගෑවා. ටිකකින් වේදනාව නැතිවෙලා ගිය නිසා මම ආයෙත් නින්දට ගියා.
“කාවින්ද... අපි හෙටම ඩොක්ටර්ට කෝල් කරමු.... ඕනෙ වුනොත් අපි ආයෙත් සිංගප්පූරුවට ගිහින් එමු.“
“ආයෙත් ලොකු වියදම් කරන්න එපා.... මම නිසා දැන් සල්ලි නාස්ති කළා ඇති සුදූ...“
“විකාර කියන්න එපා.... ඔයාගේ  ජීවිතේ තමා වටින්නේ හැම දේටම වඩා...“
“ජීවිතේ..... මොකක්ද ඒ කතාවේ තේරුම.... මගේ කැඩුනේ කකල විතරයි...“
“ඔන්න කාවින්ද නරක ළමයෙක් නොවී හෙටම වැඩේ කරන්න ඕනේ...“
විනාඩි කීපයකින් වේදනාව සම්පූර්ණයෙන්ම නැතිවුනා. ඒක පුදුම දෙයක්... ඊයේ කකුල රිදෙනකොටත්, ඒක විනාඩි කීපයකදී හොඳ වුනා... අද කොන්දේ වේදනාවත් විනාඩි ගාණකදී හොඳ වුනා.
පහුවෙනිදා උදේ මම ඇහැරෙනකොට කිසිම වෙනසක් තිබුණේ නැහැ.
අපි දෙන්නා උදේම නුවර එන්න පිටත් වුනා.
නවය වෙනකොට මම දිලිනිව යවලා, මමත් සචියගේ ගෙදර ගියා.
“ආ.... උඹ ආවද.... උඹනම් හදන්න බෑ බං... අර කෙල්ල එක්ක ඔහොම ඉන්න එපා බං.... කවුරුහරි දැක්කොත් උඹල දෙන්නටම හොඳ නෑ...“
“නෑ බං... අපි නුවරඑළියේ ගියේ හවසම ආපහු එන්න... ඒත් පට්ට වැස්සක් වැස්සා. එන්න පාරක් පේන්නේ නෑ.. ඉතින් ඉන්න වුනා.“
“ඕනේ මගුලක්...... ටිකක් කල්පනාවෙන් වැඩ කරපං... උඹලගේ අම්මා උඹව හොයනවා වෙනදට වඩා.“
“දන්නවා බං..... මම ෂේප් එකේ ඉන්නම්...“
එදා ඉඳලා හැමදවසකම දිලිනි මට කෝල් කරන්න අමතක කළේ නැහැ. අපි දෙන්නා හම්බවෙන එකනම් ගොඩක් සීමා වෙලා තිබුණා. ඒත් අපි හැමදාම කතා කළා. ආදරේ අඩුවක් වුනේ නෑ.
දවස් දෙකකට පස්සේ හර්ෂ මට කතා කළා.
“කාවින්ද ඔයා නියමෙට රේස් එක කළා. ඔයා දැන් දිගටම ප්‍රැක්ටිස් හරියටම කරන්න. ඒත් එක්කම අපි හිතුවා ඔයාගේ කෝච්ව ඔයාට දිගටම තියාගන්න පුළුවන් වෙන්න එයාටත් අපි ගාණේ එලවන්ස් එකක් දෙන්න.“
“ඒක නම් හොඳයි හර්ෂ.... සර් මේ ඔක්කොම කළේ එයාගේ වියදමින්... එයා මගේ ඉස්කෝලේ කෝච් වුනාට මෙහෙම කරන්න බැඳිමක් එයාට නෑ.. ඒත් එයා ඒක කළා.“
“ඔව් කාවින්ද.... මම ඒක කෝච් එක්ක කතාකරන්නම්. ඔයා ප්‍රැක්ටිස් පටන් ගන්න.“
පහුවෙනිදා මම සර්ට කතා කරලා ග්‍රවුන්ඩ් එකට ගියා.
“කාවින්ද.... අපි ඉක්මනටම පටන් ගමු... ඔයාට කොයි වෙලාවේ පූල් එකට කතා කරයිද දන්නෑ...“
“සර්... මම පූල් එකට ගියත් සර් ඉන්නවනම් තමා හොඳ?“
“මම දිගටම ඉන්නවා කාවින්ද... ඔයාගේ කම්පැණී එකෙන් මටත් වියදම් දෙන්න කතා කළා. එහෙම නැතිවුනත් මම ඉන්නවා. ඒත් සාෆ් පූල් එකට ගියොත් ඔයාට ප්‍රයිවට් කෝච් කෙනෙක් තියාගන්න බැරි වෙයි..“
“නෑ සර්... මම ඒක කතා කරගන්නම්. අඩු ගානේ සතියට දවස් දෙකක්වත් මම සර් ලඟට එනවා.“
මේ අතරේ දිලිනි සිංගප්පූරුවේ ඩොක්ටර්ට කතා කරලා තිබුණා. එයා කියලා තිබුණේ පුළුවන් ඉක්මනට එහේ එන්න කියලා. ඒත් සාෆ් පූල් එකට කොයි වෙලාවේ කතා කරයිද දන්නේ නැති නිසා මම ලංකාවේ හිටියා.
එදා නුවරඑළියේදි වුනාට පස්සේ වෙන කිසිම වෙනසක් නැති වුන නිසා ඒක එහෙමම මට අමතක වෙලා ගියා. ඒත් දිලිනි නම් මට සිංගප්පූරුවට යන්න හැමදාම මතක් කළා.
දවස් දෙක තුනකින් මට සාෆ් පූල් එකට කතා කළා. සතියක් එක දිගට කොළඹ පුහුණුවීම් තිබුණා. මුලින්ම ලොකු දේවල් තිබුණේ නෑ... ඇත්තටම පලවෙනි දවසේ කළේ ඩොක්ටර් කෙනෙක් එක්ක ඇපොයින්ට්මන්ට් එකක් දෙන එක. මගේ උස, බර, බලලා, සම්පූර්ණ රිපෝට් අරගෙන ඩයට් ප්ලෑන් එකක් දුන්නා.
ට්‍රේනර් කෙනෙක් එක්ක ජිම් එකට යන්න දුන්නා.
ඒ සති අන්තයේ මම ගෙදර ආවා. ආයෙත් කොළඹ යන්න තියෙන්නේ සතියකට පස්සේ.
ඊළඟ සතියේ සඳුදා සර් එක්ක මම ප්‍රැක්ටිස් පටන් ගත්තා.
“කාවින්ද අපි අද දෙසීයේ දෙකක් දුවමු. එකපාරට ගොඩක් කරන්න එපා.“
සර් කියපු විදිහට මම මීටර් දෙසීය ලකුණු කරලා ලෑස්ති වුනා.
දුවන්න පටන් ගන්න පාත් වෙනකොට එක මොහොතකට මගේ කකුල බැලන්ස් නැති ගතිය දැනිලා නැතිවෙලා ගියා.
“ඇයි කාවින්ද?“ මගේ වෙනස දැකලා සර් ඇහුවා.
“නෑ සර්... අවුලක් නෑ.. දුවමු.“
මට මීටර් සියක් දුවන්න වුනේ නෑ..... දකුණු කකුල හිරිවැටුනා... ඒත් එක්කම කොන්දේ පහල කොටසේ වේදනාවක් ආවා. හිතන්නවත් වෙලාවක් නැති තරමේ ඉක්මනට මම ට්‍රැක් එකේ ඇදගෙන වැටුනා.
එතනින් පස්සේ මට කිසිම දෙයක් මතක තිබුණේ නෑ.
මට සිහිය එනකොට හිටියේ රෝහලක කාමරයක.
මට කතා කරන්න ඕනේ වුනත් ශබ්දයක් පිටවුනේ නෑ.
මම එහෙමම බලාගෙන ඉන්නකොට නර්ස් කෙනෙක් ආවා. මම ඇස් ඇරලා ඉන්නවා දැකලා එයා කතා කළා.
“ඔයා කතා කරන්න එපා.... දැන් තමා ඔයාට සිහිය ආවේ...” එයා එහෙම කිව්වා.
ඊට පස්සේ නර්ස් මට බොන්න දෙයක් දුන්නා.
“ඔයාට මාව පේනවද?”
නර්ස් කියපු දේ මට ඇහුනේ යාන්තමට. මම ඔව් කිව්වත් ආයෙත් ශබ්දයක් පිටවුනේ නෑ.
“බය වෙන්න එපා... දැන් හරියයි. ඔයා ගොඩක් අමාරුවෙන් හිටියේ... තව ටිකකින් කතා කරන්න පුළුවන් වෙයි. මම ඩොක්ටර්ට කතා කරන්නම්. එතකං මොනවත් කරන්න ට්‍රයි කරන්න එපා.”
නර්ස් එළියට ගිහිල්ලා, ඩොක්ටර් එක්ක ආවා. ඒත් එක්කම චූටි අක්කයි අම්මයි ආවා.
“කාවා...” අක්කා කතා කළා.
“ඔයාට බය වෙන්න දෙයක් නෑ.. දැන් ඉක්මනට සනිප වෙයි.”
මට ඕනේ වුනේ මට මොකද වුනේ කියලා දැනගන්න, ඒත් අහන්නේ කොහොමද කතා කරන්න බැරුව.
මම අතින් චූටි අක්කට කතා කළා. එයා මගේ ළඟටම ඇවිත් කතා කළා.
“ඇයි කාවා...?”
“අක්කේ....” මම කිව්වා... ඒ පාර නම් ටිකක් සද්දේ පිටවුනා.
“මට මොකද වුනේ...? උදේ මම වැටුනා...”
“උදේ නෙවෙයි ළමයෝ... දැන් දවස් හයක් වෙනවා... ඔයා දවස් හයක්ම සිහි නැතුව හිටියේ... දැන් හොඳයි... තව ටිකකින් හොඳටම හොඳ වෙයි.”
චූටි අක්කා එහෙම කිව්වත් ඒ කටහ‍ඬේ මොකක්දෝ අවිශ්වාසයක් තිබුණා.
“මට මොකද වුනේ...?”
“තාම දන්නෙ නෑ... ඉන්නකෝ අපි බලමු. දැනට නම් ලොකු ප්‍රශ්ණයක් පේන්න නෑ.. ඔයාට සිහිය එන්න ලොකු කාලයක් ගිය එක තමයි පොඩි කන්සර්න් එකකට තියෙන්නේ... අපි බලමු... ඔයා ඔහොම රෙස්ට් කරන්න.”
ඊට පස්සේ අම්මා ළඟට ඇවිත් මගේ අතින් අල්ලගත්තා.
“ලොකු පුතේ... දැන් හොඳයි නේද?”
“හොඳයි... බය වෙන්න එපා අම්මේ... ලොකු අවුලක් නෑ...”
නර්ස් ඇවිල්ලා චූටි අක්කට කතා කළාට පස්සේ අක්කා අම්මත් එක්ක එළියට යන්න ලෑස්ති වුනා.
“කාවින්ද රෙස්ට් කරන්න... අපි එළියේ ඉන්නවා.”
නර්ස් ඇවිත් එන්නතක් දුන්නා.
“ඔයා දැන් පැය කීපයක් රෙස්ට් කරන්න... ගෙදර අයටවත් කතා කරන්න එපා.. ඒක හොඳ නෑ...”
“මිස්, මට නින්ද යන්න බෙහෙතක්ද දුන්නේ....?”
“නින්ද යන්න... ළමයෝ දැන් ඔයා එක දිගට දවස් හයක් නිදා ගත්තා.. කවදා නැගිටීද කියලා අපි බලාගෙන හිටියේ.... තවත් මොන නින්දක්ද...?” එයා හිනා වෙලා කිව්වා.
පැයක් විතර යනකොට මට ආයෙත් නින්ද ගියා.
මම ඇහැරෙනකොට සචියා, අමිල, චතුර, දිලිප් ඇතුලු කොල්ලෝ සෙට් එකම හිටියා.
මම ඇස් අරිනවා දැකලා සචියා කතා කළා.
“කාවා... යකෝ උඹ නම් අපිට දුන්න ගින්නක්... දවස් ගාණක් අපි නොකා නොබී හිටියේ.....”
මම අමාරුවෙන් හිනා වුනා... තාම ඇඟට කිසිම හයියක් නෑ.. අතක් උස්සන්නවත් බෑ වගේ කම්මැලියි.
“ඔව් යකෝ... මාර නින්දක් තමයි උඹත් දැම්මේ...” අමිල කිව්වා.
ඒත් විනාඩි කීපයක් යනකොට මට ආයෙත් නින්ද යන්න වගේ ආවා. අපේ උන් කියන දේවල් මට හීනෙන් වගේ ඇහුනා....
විනාඩි කීපයකදී මට ආයෙත් සිහිය නැතිවුනා.
ඊළඟ සැරේ ආයෙත් මට සිහිය එනකොට මම හිටියේ දැඩි සත්කාර ඒකකයේ... මගේ ඇඟ හැමතැනම බට හයිකරලා, වයර් හයිකරලා... නහයට ඔක්සිජන් මාස්ක් එකක් දාලා...
මට පුළුවන් වුනේ ඇස් දෙක අරින්න විතරයි.
මොකද මට වෙලා තියෙන්නේ...? මට කල්පනා කරන්නවත් ශක්තියක් නෑ වගේ... මට මතක එකම දේ මම දුවනකොට ඇදගෙන වැටුන එක විතරයි.
මට කතා කරන්නවත්, අතක් පයක් හොල්ලන්වත් බැරිවුනා. පැය ගාණක්ම නර්ස්ලයි, ඩොක්ටර්ස්ලයි මගේ වටේට ඉඳලා එක එක දේවල් බැලුවා. ඒ අතරේ චූටි අක්කත් ඉන්නවා මම දැක්කා.
පැය දෙක තුනකට පස්සේ ඇඳ පිටින්ම මාව ස්කෑන් කරන තැනකට අරන් ගියා.
ඊට පස්සෙ ආයෙත් හිටපු තැනට. ආයෙත් සේලයින් එක්ක ඉන්ජක්ෂන් තොගයක්ම දුන්නා....
මම හිතන්නේ පැය ගාණකට පස්සේ අම්මයි තාත්තයි මාව බලන්න ආවා. ඒත් මට පුළුවන් වුනේ ඇස් අරින්න විතරයි. අම්මා සෑහෙන වෙලාවක් මගේ අත අල්ලගෙන හිටියා.
අම්ම කෙනෙකුගේ ස්පර්ශයත් එක්ක දැනෙන උණුසුම මට දැනුනා. අම්මා මගේ අත අල්ලගත්ත වෙලාවේ, දවස් ගාණක් නැති ආරක්ෂාවක් මට දැනුනා.
“පුතේ ඔයා කතා කරන්න එපා.. බය වෙන්න එපා අපි ලඟ ඉන්නවා. අපිට වැඩි වෙලා මෙතන ඉන්න බෑ... අපි දැන් යනවා. ඔයා බය නොවී ඉන්න... ඔයාගේ යාළුවෝ ඔක්කොමත් එළියේ ඉන්නවා. අයිසී යූ එක නිසා කාටවත් එන්න බෑ.”
අම්මා එහෙම කියලා තාත්තත් එක්ක එළියට ගියා.
ටිකෙන් ටික මට හොඳටම සිහිය එන්න පටන් ගත්තා.
තවත් දවස් කීපයකට පස්සේ මාව ආයෙත් කාමරයකට දැම්මා. ඒත් මේ සැරේ ඔක්සිජන් මාස්ක් එකක්, අනිත් ඒවයි කීපයක් එහෙමම තියෙන්න ඇරියා.
එදාම සර් මාව බලන්න ආවා.
ඒ වෙනකොට මට සෑහෙන්න හොඳ බවක් දැනුනා.
“කාවින්ද... කොහොමද දැන්....?”
“හොඳයි වගේ සර්.... එදා මට මොකද වුනේ?”
“ඔයා එදා ට්‍රැක් එක මැද ඇදගෙන වැටුනා. අපි ඇවිත් බලනකොට ඔයාට සිහිය නෑ... අපි කෙලින්ම ඔයා‍ගේ තාත්තට කතා කරලා ඔයාව අරන් ආවා.”
“මම දන්නෑ සර් මොනව වුනාද කියලා.. දුවනකොට කකුල හිරි වැටුනා, කොන්දේ කැක්කුමක් ආවා. එච්චරයි මට මතක.”
“මම ඩොක්ටර්ස්ලටත් කතා කළා. ඒත් ඔයාගේ මෙඩිකල් හිස්ටරි එක බැලුවහම මේකට හේතුවක් හොයාගන්න අමාරුයිලු. එකම දේ ඔයාගේ සිංගප්පූරුවේ ට්‍රීට්මන්ට්ස් වල විස්තර අපි ළඟ නෑ.. ඒව තිබුණනම් මොනව හරි හොයාගන්න පුළුවන් කියලා ඩොක්ටර් හිතනවා.“
එතකොට මට මතක් වුනේ ඒවා මම සිංගප්පූරුවේ ගිහින් ආවට පස්සේ ප්‍රැක්ටිස් පටන් ගන්න කළින් දිලිනි ඉල්ල ගත්තා, ඩොක්ටර්ට කතා කරන්න ඕනේ කියලා.
“ඇයි සර්. ඒව ඕනෙමයි කියනවද? මේක සීරියස් කේස් එකක්ද?“
“මේක සීරියස්ද නැද්ද කියලා ඩොක්ටර්ස්ලට හිතාගන්න බෑ... තව ගොඩක් ටෙස්ට් කරන්න වෙයි. අර රිපෝට්ස් තියෙනවා නම් වැඩේ ගොඩක් ලේසි වෙයි.“
“ඒව තියෙනවා සර්... මම සචිත්‍ර යවලා ගෙනත් දෙන්නම්.“
“නියමයි.... මම සචිත්‍රට කියන්නම් එන්න කියලා.“
“සාෆ් හීනේ නම් ඉවරයි නේද සර්.“
“ගණන් ගන්න එපා... අපි ඊළඟ පාර ට්‍රයි කරමු. මම පූල් එකට දැන්නුවා ඔයාට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා.“
අපි කතා කර කර ඉන්න අතරේ චූටි අක්කා ආවා.
“අක්කේ... මොකද මට වෙලා තියෙන්නේ...“
“හලෝ මේ.. ඒක නෙවෙයි කෝ සංගප්පූ වල රිපෝට්ස්... ඒව ඕනෙමයි...“
“මම ඒව අද ගෙන්නල දෙන්නම්.. ඒක නෙවෙයි චූටි.... මට මොකද වෙලා තියෙන්නේ කියනවකෝ...“
“කෙටියෙන් කියනවනම් ඔයාගේ සපයින් එක ඒ කියන්නේ පිටකොන්දේ වෙනසක් වෙලා තියෙනවා... ඒ නිසා තමයි කොන්දේ අමාරුවයි කකුලේ අමාරුවයි වැඩි වෙලා තියෙන්නේ... ඒක ට්‍රීට්මන්ට්ස් වලින් ඉක්මනට හොඳ කරගන්න පුළුවන්.... ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ෆේන්ට් වෙලා තියෙන්නේ ඒ නිසා නෙවෙයි.“
“එහෙනම්...?“
“ෆේන්ට් වෙලා තියෙන්නේ ඔයාට ෆිට් එකක් වගේ ඇවිල්ලා. ඒත් එම් ආර් අයි එකේ විදිහට පොඩි ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තියෙනවා ස්කල් එකේ... ඒක ඇත්තටම ෆිට් එකක්ද නැත්නම් බ්ලීඩින් එක නිසා වුන එකක් ද කියලා තාම හිතාගන්න බෑ.“
“ඇයි ඒ....?“
“ඒ දෙකම එකපාර වෙන්න බෑ... ඒක ගොඩක් රෙයාර්... අනිත් එක සුසුම්නාවේ කේස් එකත් එක්ක තුනම එකට ආවේ කොහොමද කියන එක මිස්ටරි එකක්. මට පේන විදිහට සිංගප්පූ වලදි ඔයාට ට්‍රීට් කරලා තියෙන්නේ කකුල කැඩුන එකට විතරක් නෙවෙයි. අපිට ඒ රිපෝට්ස් අනිවාර්යයෙන්ම ඕනේ.“
“මගේ කකුල කැඩුනේ අර වලියෙදිනේ...“
“ඔව් මතකයි... මේ එදා තමුසෙගේ ඔළුවට පොලු පාරක් එහෙම වැදුනේ නෑ නේද?“
“මතක නෑ... ඒත් වැදුනනම් ඔළුව පැලෙන්න එපැයි... එහෙම වෙලා තිබුණේ නෑනේ...“
“නෑ... සමහර විට පාර වැදිලා ඉන්ටර්නල් මොනව හරි වුනා වෙන්න පුළුවන්. ඒක එළියට විසිබල් නෑ.“
“ඒ කියන්නේ මට නැගිටින්නම බැරි වෙයිද?“
“බය වෙන්න එපා... තමුසේ එච්චරටම අවාසනාවන්ත නෑ... ඒත් ඉක්මනටම මේක හොයාගෙන ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න වෙනවා. 

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 92



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



92.

එදා රෑ දොලහට විතර මම නින්දට ගියා.
රෑ මැද මට ඇහැරුනා. ඒත් එක්කම දකුණු කකුල දණහිස ළගින් රිදෙනවා වගේ මට දැනුනා.
මම ඇඳේ ඉඳගෙන ඉඳලා නැගිටින්න යනකොට අර හවස තිබුණ බැලන්ස් නැති ගතිට ආයෙත් දැනිලා මම වැටුනා. මම එහෙමම ටිකක් ඉඳලා විනාඩි කීපයකින් නැගිටින්න හැදුවත් දකුණු කකුල සම්පූර්ණයෙන්ම හිටි වැටිලා.
මම අමාරුවෙන් ඇඳට නැගලා ඉඳ ගත්තා. ඒත් ප්‍රශ්ණේ තිබුණේ වේදනාවක් නොතිබුණ එක. මම සංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න කළින් තිබුණේ ලොකු වේදනාවක්... ඒත් දැන් එහෙම එකක් නෑ...
ටිකකින් මට ආයෙත් නින්ද ගියා.
උදේ ඇහැරෙන කොටත් ප්‍රශ්ණයක් තිබුනේ නෑ. කකුලේ හිරිවැටුන එකත් නැතිවෙලා. කිසිම ප්‍රශ්ණයක් නැතුව ඇවිදින්න පුළුවන් වුනා. ඒ නිසා මම ඒක දෙවෙනි වතාවටත් අමතක කරලා දැම්මා.
උදේ දහයට විතර මම දිලිනි ව හම්බවෙන්න හිතාගෙන නුවර ගියා....
ධනසිරි එකේ කාර් පාක් එකේ දිලිනි වාහනේ නවත්තගෙන හිටියා. මම බයික් එක දාලා ගිහින් කාර් එකට නැග්ගා.
“කාවින්ද.... මට සමාවෙන්න මාස තුනක්ම ඔයාව බලන්න ආවේ නැතුවට... මට හිත හදාගන්න බැරි වුනා.“
“ඒක ඉවරයි... දැන් අපි හම්බවුනානේ... කොහද යන්නේ?“
“නුවර නම් ඉන්න බෑ කාවින්ද... අපි කොහේ හරි ටිකක් දුරකට යමු.“
“නුවරඑළියේ...“
“අපෝ බෑ කාවින්ද.. ගොඩක් වෙලා යයිනේ..“
“දැන් වෙලාව දහයයි... මේ කාර් එකේ ගියොත් පැය එක හමාරෙන් යන්න පුළුවන්...“
“මට බයයි..“
“බය වෙන්න එපා යමුකෝ.... ඒක නෙවෙයි ඔයා කොහේ යනවා කියලද ආවේ..?“
“මම ආවේ නම් ඔයා එක්ක අද දවසම ඉන්න හිතාගෙන කාවින්ද... ඒ නිසා මම අද ශලනිගේ ගෙදර නවතිනවා කියලාමයි ආවේ...“
“එහෙනම් ඇයි බයවෙන්නේ.... අපි හතරට විතර එහෙන් එමු. එතකොට හය හමාරට කළින් නුවර.“
අපි දෙන්නා පැය දෙකකදි නුවරඑළියට ආවා. ඒත් කොහේ යන්නද කියලා අදහසක් තිබුණේ නෑ.... ඒ නිසා මම ග්‍රෙගරි වැව ලඟ කාර් එක නැවැත්තුවා.
“අපෝ කාවින්ද හොඳටම සීතලයි...... අපි මෙහේ එන්න ලෑස්ති වුනේ නෑනේ.. ඒ නිසා ස්වෙටර් එකක්වත් නෑ...“
“යමු... අපි කඩේකින් ගමු.“
ග්‍රෙගරි වැව ළඟ ස්වෙටර් විකුණන වෙලෙන්දෝ කීප දෙනෙක්ම හිටියා. දිලිනි ලස්සන රතුපාට එකක් ගත්තා.
“කාවින්ද ඔයාට එකක්....“
“මට එපා සුදූ... මට සීතල දැනෙන්නේ නෑ.. පුරුදුයි..“
වෙලාව දොළහ පහුවෙලා නිසා අපි දෙන්න කෑම කන්න තැනක් කල්පනා කළා.
“මම නම් දන්නේ සයිවර් කඩ විතරයි සුදූ... ඔයාට ඒවා හරියන්නේ නෑනේ.“
“අනේ... මෙච්චර දුර ඇවිත් සයිවර් කඩ වලින් කන්නේ කව්ද...? අපි යමු ග්‍රෑන්ඩ් හොටෙල් එකට...“
“ග්‍රෑන්ඩ් එකේ ලන්ච් ගන්න බෑ සුදූ... ලොකු ගාණක් යයි....“
“කමක් නෑ කාවින්ද... අපි යමු... එතකොට අපිට ටිකක් රිලැක්ස් එකේ ඇවිදලා... ටිකකින් ලන්ච් ගන්න පුළුවන්. මෙහෙම පාරේ ඉන්න බෑනේ.“
දිලිනිගේ කීම නිසා අපි දෙන්නා ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගියා.
වට පිටාව හරිම ලස්සනයි... මීදුම පැතිරිලා... තුනී අවු රැල්ලකුත් වැටෙන්න පටන් අරන්.
අපි දෙන්නා අත් අල්ලගෙන හොටෙල් එකේ ගාඩ්න් එක් ඇවිද්දා.
“කාවින්ද.. අපි අර ගහ යටින් ඉඳගමු...“
අපි දෙන්නා ගහ යට තිබුණ බංකුවේ ඉඳ ගත්තා. දිලිනි මට තුරුල් වෙලා....
“ඔයා මගෙන් ඈත් වෙන්න ඕනේ කිව්වනේ මාස තුනකට කළින්... දැන් ඒක නැද්ද?“
“නෑ..... මට ඕනේ වුනේ ඔයා හොදින් ඉන්න.... මම ඉන්න නිසා ඔයා විනාශ වෙනවා කියන කතාව නවත්තන්න. දැන් ඒක වුනා...“
“එතකොට සුදූ දැන් ඔයාගේ ප්ලෑන් එක මොකක්ද?“
“මොනවත් නෑ.. ඔයා ඔයාගේ වැඩ කරන්න... දියුණු වෙන්න.... ඔයාගේ ජොබ් ට්‍රේනින් එක ඉවර වෙයි තව මාසෙකින්... ඊට පස්සේ හර්ෂ ඔයාව පර්මනන්ට් කරයි. ඊට පස්සේ ඔයා මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරන්න. මම සල්ලි දෙන්නම්.... සමහර විට ඔයාට දෙවෙනි අවුරුද්දට කෙලින්ම යන්න පුළුවන් වෙයි. එහෙම වුනොත් තවත් ලේසියි... ස්පෝර්ට්ස් කරන එකත් නවත්තන්න එපා.“
“ඒ ඔක්කොම හරි කියමුකෝ... මම ඇහුවේ එතකොට ඔයා...“
“මම ඔයාගේ පිටිපස්සේ ඉන්නවා කාවින්ද.... හැබැයි අපේ සම්බන්දේ රහසක් විදිහට තියාගන්න ඕනේ ඔයාගේ ඩිග්රි එක ඉවර වෙනකම්ම... ඊට පස්සේ අපි තීරණයක් ගමු.“
“තීරණයක් කිව්වේ...“
“ඔයාට කැමති තීරණයක් ඊට පස්සේ ගන්න කාවින්ද.“
“මම තීරණයක් දැන්මම අරන් තියෙන්නේ... මම ඔයාව බඳිනවා..“
“අනේ කාවින්ද... ඒක තමයි මගෙත් හීනේ....“
බලාගෙන යනකොට දිලිනි කියන්නේ පුදුම කෙල්ලෙක්... හැම දෙයක්ම ලස්සනට සැලසුම් කරනවා. හදිස්සි වෙලා වැඩ පටලවගන්නේ නැතුව අවුරුදු දෙක තුනකදි අපි ඉන්න ඕනේ කොතනද කියන එක එයා දන්නවා.
දිලිනි මගේ ලඟ ඉන්නවනම් තව අවුරුදු දෙක තුනක් ඉවසන එක ලොකු දෙයක් නෙවෙයි. මම හොඳට හිටියොත් සමහර විට ඒ වෙනකොට මට දෙමව්පියන්ගේ කැමැත්ත වුනත් ගන්න පුළුවන් වෙයි.
අපි දෙන්නා දවල් කෑම ඉවර වෙලා හග්ගල මල් වත්ත බලන්න යන්න හිතා ගත්තා. මම මීට කළින් කවදාවත් ගිහින් තිබුණේ නෑ හග්ගල.
මල්වත්තේ ඇවිදලා කාර් එකට එනකොට නොදැනීම වෙලාව ගතවෙලා... හවස හතරයි...
“අනේ කාවින්ද හතරත් පහුවෙලා.. බඩත් ගිනියි.“
“මම කියන්නද සුදූ... අපි දෙන්නා ටවුන් එකෙන් මොනවා හරි බඩට ඇනගෙන ටක් ගාලා නුවර අදිමු.“
“බඩට ඇනගෙන... මොනවද..?“
“නෑ හලෝ... මම කිව්වේ මොනවා හරි කමු කියලා...“
“ඒකට බඩට ඇනගෙන කියනවද... මෙයා නම් හරියට නරක් වෙලා... රස්තියාදු කතා කියන්නේ...“
“කාවින්ද අපි ආපහු ග්‍රෑන්ඩ් එකට ගිහින් එකේ පේස්ට්‍රි ෂොප් එකෙන් පේස්ට්‍රි කමු.“
“දුවද්දි පේස්ට්‍රි කන්න හොඳ නෑ... තෙල්...“
“අනේ සොරි.... මට අමතක වුනා... එතන ස්වීට්ස් තියෙනවා.. අපි ඒව කාලා තේ බොමු.“
අපි තේ බීලා ඉවර වෙනකොට හිතුවට වඩා වෙලාව ගියා. කරුවල වැටිලා..
“කාවින්ද... වෙලාව හය හමාරයි.... අද නම් රෑ වෙයි.“
“මට නම් දැන් ආපහු යන්න කම්මැලියි.“
“එතකොට...“ දිලිනි මගේ දිහා බැලුවා... මගේ හිතේ තිබුණ දේ දැනගෙන වගේ.
“මෙයා නම් හරිම කට්ටයි... හිතලම නේද පරක්කු කළේ...“
“හිතල පරක්කු කළේ නෑ... ඒ වුනාට මේ රෑ වංගු පාරේ පල්ලමට ඩ්‍රයිව් කරන්න අමාරුයි... දැනටම කරුවල වැටිලා...“
“අනේ කාවින්ද... ඔයාට ඕනේනම් ඉන්න.... මටනම් බෑ... මම තනියම හරි යනවා.“
“පුළුවන්ද මේ කරුවලේ තනියම ඩ්‍රයිව් කරන්න...?“
“බෑ තමා... ඔයා මාව බස් එකකට දාන්න...“
“මේ හලෝ විකාර කියවන්න එපා. මම ආවේ ඔයා එක්කනම් යන්නෙත් ඔයා එක්ක.“
“එහෙනම් දැන් යමු.“
අපි හොටෙල් එකෙන් එළියට එනකොට ලොකු වැස්සකුත් වැටුනා.
අපි වැස්සෙම යනවා දැකලා උදේ ඉඳලා අපිට හිතවත් වෙලා හිටපු බෙල් බෝයි මට කතා කළා.
“සර් නුවර නේද... මේ වැස්සෙනම් යන්න එපා.... ඒක ටිකක් ඩේන්ජරස්.... ඊයෙත් මේ වගේම වැස්සා... නුවර පාරේ ගිය කීප දෙනෙක්ම යන්න බැරුව හරවගෙන ආවා. මේ මීදුමත් එක්ක වැස්ස වැටුනාම අඩියකට වඩා දුර පේන්නෑ සර්....“
ඒක ඇහුනාම දිලිනි බයෙන් මගේ අත අල්ලගත්තා.
“අනේ කාවින්ද... අපි මොකද කරන්නේ..?“
“ඔයාට යන්නම ඕනෙනේ... අපි හෙමීට යමු.“
මම එහෙම කිව්වත් වැස්ස තවත් වැඩි වුනා. මීදුමත් එක්ක වැස්ස නිසා අපි හිටපු තැන ඉඳලා අඩි දෙකක් වත් ඉස්සරහට පෙනුනේ නෑ.
මොනව වුනත් මට දිලිනිව අප්සෙට් කරවන්න ඕනේ වුනේ නෑ... ඒ නිසා අපි දුවලා කාර් එකට ඇවිත් යන්න පිටත් වුනා.
අපි ටවුමට වාහනේ හරවනකොට වැස්ස නිසා කිසිම දෙයක් පෙනුනේ නෑ. හතරමං හන්දියෙන් මොන පාරේ යන්න ඕනෙද කියලවත් පෙනුනේ නෑ. පැයට කිලෝ මීටර් විස්සක, තිහක වේගයකින් වත් යන්න බයයි.
“අනේ කාවින්ද අපි මොකද කරන්නේ?“
“දන්නෑ..... ඔයා කියන දෙයක්....“
“අපිට යන්න බෑ කාවින්ද...“
“හ්ම්... ඒත් ඔයා නොගියොත් ලෙඩක් වෙයිද?“
දිලිනි ටිකක් වෙලා කල්පනා කළා.
“අපි ආපහු යමු කාවින්ද...“
“ඊට පස්සේ...“
“අපි අද ඉමු... වෙන කරන්න දෙයක් නෑ...“
“කොහෙද ඉන්නේ...?“
“ග්‍රෑන්ඩ් එකටම යමු. මේ වැස්සේ වෙන තැන් හොයන්නත් බෑ.“
කරන්නම දෙයක් නැති නිසා අපි දෙන්නා ආපහු හොටෙල් එකට ගියා.
අපි එනවා දැකලා කලින් කතා කරපු බෙල් බෝයි දුවගෙන ආවා.
“මම කිව්වා නේද සර්... මේ වෙලාවේ යන්න බෑ.... මේ දවස් ටිකේම හයෙන් පස්සේ මේ වගේ වහිනවා.“
“ඔව්... අපිට ඩබල් රූම් එකක් ගන්න පුළුවන්ද?“
“එන්න සර්... ලොබි එකේ ඉඳගන්න... මම එවන්නම් කෙනෙක්.“
“අපේ තාත්තා අද මාව හොයන එකක් නම් නෑ කාවින්ද... මම ශලනිගේ ගෙදර යනවා කියපු නිසා... ඒත් ශලනිට කෝල් කරන්න වෙනවා.“
එහෙම කියලා දිලිනි කෝල් එකක් ගත්තා.
ඒ අතරේ මමත් අම්මට කතා කරලා කිව්වා මම අද එන්නෙ නෑ සචියගේ ගෙදර ඉන්නවා කියලා. අනිත් පැත්තට සචියට කෝල් කරලා මම කතාව කිව්වා. ඌ බැන බැන වුනත් වැඩේ බාරගත්තා.
දිලිනි කාමරේ ජනේලේ ලඟට ගිහින් වැස්ස දිහා බලාගෙන ඉන්නවා. මම පිටිපස්සෙන් ගිහින් එයාගේ ඉන වටේ අත දාලා එයාට තුරුල් වුනා.
“මොනවද සුදූ කල්පනා කරන්නේ...?“
“අපි දෙන්නට හැමදාම මේ වගේ ඉන්න පුළුවන් කාලයක් එන්න තව කොච්චර කාලයක් යයිද කාවින්ද? මට ආසයි හැමදාම මේ වගේ ඔයාට තුරුල් වෙලා ඉන්න. ඔයාව බදාගෙන නිදාගන්න... උදේට නැගිටිනකොට ඔයාට තේ හදලා දෙන්න...“
“අප්පා මෙයා කල්පනා කරලා තියෙන දුර... අනිත් එක පොඩි අප්සෙට් එකක් තියෙනවා.“
“මොකක්ද...?“
“මම තේ බොන්නේ නෑ..... උදේටනම් කොහොමත් නෑ.... අනිත් වෙලාවටත් ප්ලේන් ටී හරි බ්ලැක් කොෆී හරි විතරයි. කිරි නම් බොන්නෙම නෑ.“
“අයියෝ.... එතකොට මට තේ දෙපාරට හදන්න වෙනවා. මට නම් කිරි එකක් නැතුවම බෑ. අනේ මට නම් බෑ උදේ පාන්දර දෙපාරක් තේ හදන්න...“
“හලෝ මේ... තාම අපි පටන් ගත්තා විතරයි... මෙයා මේ උදේට නැගිටලා තේ හදන විදිහත් කල්පනා කරනවා.“
“කෙල්ලෝ එහෙම තමා කාවින්ද.. කෙල්ලෝ ආදරේ කරන්න පටන් ගත්තහම ඒ තරම් දුරට හිතනවා.“
මම තව ටිකක් දිලිනිට තුරුල් වුනා. හැමදාම වගේ දිලිනිගේ කොන්ඩෙන් එන සුවඳ මාව වෙනම ලෝකයකට අරන් යනවා. මම හෙමිහිට එයාගේ බෙල්ල සිප ගත්තා.
“එපා...“ එයා රහසින් වගේ කිව්වා.
“ඇයි....?“ මම ඇහුවා.
“එහෙම කරන්න එපා කාවින්ද... මට ඉන්න බැරි වෙනවා.....“ දිලිනි එහෙම කිව්වත් මම ආයෙත් එයාගේ බෙල්ලට මගේ දෙතොල් තිබ්බා.
දිලිනි කරන්ට් එකක් වැදුනා වගේ ගැස්සිලා මගේ පැත්තට හැරුනා. තත්පරයක් යන්න කලින් එයා මාව තදින් බදාගෙන නැවතීමක් නැතුවම සිප ගන්න පටන් ගත්තා.
“මට ඔයාව නැතුව එක දවසක්වත් ඉන්න බෑ රත්තරන්....“ සිප ගන්න එක මොහොතකට නවත්තලා දිලිනි කිව්වා.
“මටත් එහෙම තමා සුදූ.. ඒත් ඔයාමනේ නීති දාගන්නේ...“
“ඔයා ලග ඉන්නකොට මට මාවම පාලනය කරගන්න බෑ කාවින්ද... මොනව කරන්නද කියලා හිතාගන්න බෑ... මට දැන්ම ඔයාව මැරි කරලා මගේ කරගන්න හිතෙනවා....“
දිලිනි ඇස් දෙක වහගෙන කිව්වා.
“මැරි කරත් නැතත් මම ඔයාගේ තමයි සුදූ....“
“මාව තව ලංකරගන්න...“ දිලිනි ඉඩ තියෙන හැම තැනකින්ම මට ලංවුනා.
මම දිලිනිව අත්දෙකට වඩාගෙන අරගත්තා. ඊට පස්සේ එයාව අරන් ගිහින් ඇඳෙන් තිබ්බා. දිලිනි මාව එයාගේ ඇඟ උඩට ඇදලා ගත්තේ ඒත් එක්කම.