Wednesday, June 06, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 136

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය!
මේ ආදරයයි!








136
ගෙදර ඇවිත් නිදාගන්න නෑ ඒ පාර කෙල්ලෙක් ගෙදරටම ඇවිල්ලා.
“පොඩ්ඩක් ඉන්න අම්මා මම එන්නම්.”
මම එහෙම කියලා දොර අරිනකොට මාලිකා දොර ලඟ හිටගෙන ඉන්නවා.
“ආ... ඔයා...”
“ඔයා තමයි.... කෝල් එකක් දෙන්න බෑනේ.... මම දෙන කෝල්ස් වලට ආන්සර් කරන්නෙත් නෑ... හරි නරකයි.”
මාලිකා නෝක්කාඩුවක් කියාගෙනම කාමරේට ආවා.
අම්මත් මාර වැඩ කරන්නේ... මෙයාව  එකපාරටම කාමරේට එව්වනේ....
“ඉඳගන්න මාලිකා...” මම පුටුව ‍පෙන්නුවා.
මාලිකා පුටුව තියෙද්දි ඇ‍ඳෙන් ඉඳ ගත්තා. මාලිකා කතා ‍නොකර මගේ මූණ දිහා ම බලාගෙන ඉන්නවා. මූඩ් එක එච්චර හොඳ නැති බව දැක්ක නිසා මමත් ඇ‍ඳේ එයාගේ ළඟින්ම ඉඳ ගත්තා.
“ඇයි ඩාලින්?”
මම එයාගේ අත අල්ල ගත්තා. ඒ අත වෙව්ලනවා, තරහින්ද? දුකින්ද?
“ඇයි බබා මේ... මොකක්ද ප්‍රශ්නේ?”
“මොකුත් නෑ.... ඕන්නෑ ඔයා කතා කරන්න.... මම තරහම තරහයි...” එහෙම කියලා මාලිකා කොට්ටන් මූණ වහගෙන අඬන්න පටන් ගත්තා. මාර වැඩේ.. මේ සීන් එක අම්ම දැක්ක නම් මොනව හිතයිද දන්නෑ....
මම බොහොම හෙමින් මාලිකාගේ මූණට තද කරලා තිබුණ කොට්ටේ අයින් කළා. මම කතා නොකරපු එකට නම් මෙච්චර අප්සට් යන්න විදිහක් නෑ. මොකක් හරි ලොකු කේස් එකක් තියෙනවා.
“ඇයි මාලිකා.... මට කියන්න බැරි දෙයක්ද?”
“මට ඔයාව නැතුව ඉන්න බෑ කාවින්ද?”
“ඉතින් කව්ද කිව්වේ ඔයාට මාව නැති වෙනවා කියලා?”
“අම්මා....”
“අම්මා.... ඒ ඇයි.. මම කියන්නේ අම්මා ඇයි එහෙම කියන්නේ...?”
“එයා කියනවා ඔයාගේ ප්‍රපෝසල් එක අතෑරලා දාන්නලු...”
“ඇයි ඒ....?”
“ඔයා රස්තියාදු කාරයෙක් වගේ පාරේ තැන තැන ගහගෙන, පොලිසි ගාණේ, උසාවි ගාණේ යනකොට මොන අම්මද කැමති වෙන්නේ කාවින්ද ඔයාට එයාගේ දුවව දෙන්න.. අම්මා කියනවා මේ කසාදේ අතෑරලා දාන්නලු... ඔයාගේ අම්මලා හොඳ වුනාට ඔයා කමකට නැතිලු...”
“නෑ..... එහෙම කිව්වද?”
“ඔව් අනේ... මට තරහේ බෑ.... ඒගොල්ලොම මේක කරලා දැන් කියනවා එපාලු. මට තද ‍වෙලා මම අම්මත් එක්ක රණ්ඩු වෙලා ආවේ.”
“මොකක්... රණ්ඩු වෙලා....”
“ඔව්... මම කිව්වා මම ආයෙ ගෙදර එන්නේ එයාල ඔයාට කැමතියි කිව්වට පස්සේ කියලා...”
“අප්පට සිරි.... එතකොට දැන් ඔයා මේ රෑ කොහෙද ඉන්නේ..?”
“මෙතන, මේ කාමරේ.... මට ගෙදර යන්න බෑ...” මාලිකා හොඳටම තද වෙලා කියනවා.
“මාර සීන් එකනේ ඒක... ඔයා කොහොමද මගේ කාමරේ ඉන්නේ.. අනික අපේ අම්මට මොනවද කියන්නේ...?”
“මම දන්නෑ කාවින්ද ඒක.. ඔයා පිස්සු වැඩ කරලා මේ සිටුවේෂන් එක ඇති කළා නම් ඔයාහ විසඳුමක් දෙන්න... මට නම් ගෙදර යන්න බෑ... අම්මගේ දේශනාව අහලා මට ඇති‍ වෙලා.”
“හරි හරි... දැන් අම්ම දන්නවද ඔයා මෙහේ ආවා කියලා.”
“නෑ.... මම කිව්වේ නෑ...”
මේ කෙල්ලත් ලේසි පහසු කේස් එකක් නෙවෙයි වගේ....
“මාලිකා, බබෝ.. අපි මෙහෙම කරමු.. මුලින් අපි අපේ අම්මට කියමු වුන දේ... ඊට පස්සේ අම්මට කියමු ඔයාලගෙ අම්මට කතා කරලා ඔයා මෙහේ ඉන්නවා කියලා කියන්න කියල. නැත්තං ඔයාව හොයයි හැම තැනම.”
“ඊට පස්සේ...”
“ඊට පස්සේ ඔයාව මම ගෙදර ඇරලවන්නම්.”
“බෑ බෑ... මට ගෙදර යන්න නම් බෑ....”
මේ කෙල්ල මාර මුරණ්ඩුයි නේ... ‍කෝකටත් කියලා මම අම්මට කතා කළා.
ඒ ‍වෙනකොට අම්මටත් තේරිලා තිබුණා මොකක් හරි අප්සෙට් එකක් කියලා. ඒ නිසා මම කතා  කරනකොට ම අම්මා ආවා.
“ඇයි පුතා?”
මාලිකාගේ ඇස් වල කඳුලු දැක්ක ගමන් අම්මට වැඩේ තේරුණා.
“ඇයි දූ.... ඇයි මේ රෑ දුවගෙන ආවේ?” අම්මා ආයෙත් ඇහුවා.
මාලිකා කතාවක් නැතුව නැගිටලා ගිහින් අම්මගේ අත අල්ල ගත්තා.
“බලන්න අම්මා... අපේ අම්මා බොරුවට කලබල වෙලා...”
“මට තේරෙනවා දූ... ඔයා කලබල වෙන්න එපා. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා.. ඔයාගේ අම්මලාට වැරදි කියන්නත් බෑ.. මේ පිස්සා කරන වැඩ වලට කව්ද කැමති ගෑණු දෙන්න. අපි ටිකක් ඉවසලා ඉමු දුවේ... ටික දවසක් යනකොට ඕව හරි යයි.”
“අම්මා... මෙයා ඇවිත් තියෙන්නේ මෙහේ එනවා කියලා නොකියා.” මම කිව්වා.
“කමක් නෑ... මම අම්මට කෝල් කරලා කියන්නම්. ටිකක් ඉඳලා පුතා දුව ගිහින් ඇරලවන්න.”
අම්මා එහෙම කිව්වහම මාලිකා මගේ දිහා බැලුවා.
“මෙයාට යන්න බැරිලු අම්මා.” මම කිව්වා.
“එහෙම හොඳ නෑ දුව.... ලොකු වෙච්ච ගෑණු දරුවෙක් අම්මා එක්ක තරහ වෙලා වෙන තැන් වල රෑ නවතින්නේ නෑ. ටිකක් රෑ වෙනකං ඉන්නකෝ... මමත් එන්නම් ඇරලවන්න. ඒක නෙවෙයි, දුව කාලද ඉන්නේ?”
“නෑ... මට කන්න බෑ අම්මා.”
“එහෙම හොඳ නෑ, දෙන්නම් එන්න පහලට, පුතා නම් කාලා ඉන්නේ.”
අම්මා එහෙම කියලා පහලට ගියා.
“යමු කෑම කන්න.” මම මාලිකා එක්ක පහලට ආවා.
දීපා නැන්දා පුදුම උනන්දුවකින් කෑම ලෑස්ති කරනවා. මම හෙමිහිට කුස්සියට ඔළුව දැම්මා.
“මොකද දීප නැන්දේ හතර වටේ දුවන්නේ....?”
“බබාගේ අනාගත නෝනට කෑම ටිකක් දෙන එක හොඳටම දෙන්න එපැයි... පොඩ්ඩක් ඉන්න බබා, මම තෝර මාළු පෙත්තක් බැදලා ගන්නකං....”
“මොන මාළුද දීප නැන්දේ... මේ චිකන් තියෙන්නේ....”
“අපෝ... ඒ මදි.... විනාඩි දහයක් දෙන්නා කතා කර කර ඉන්න... මම කෑම ලෑස්ති කරනකං.”
දීප නැන්දා මාව කුස්සියෙන් එළියට තල්ලු කළා.
ඒ අතර අම්ම මාලිකාගෙ අම්මට කතා කරලා විස්තරේ කිව්වා.
“ඔයා පිස්සු වැඩනේ කරන්නේ මාලිකා. ඔය වගේ පොඩි දේකට ගෙදර අයත් එක්ක තරහ වෙලා එනවද? ටිකක් ඉවසලා හිටිය නම් ටික දවසකින් අම්ම ෂේප් කරගන්න තිබුණා.”
“නෑ අනේ.. අම්මා කියවනවා ඉවරයක් නෑ.... ඔයාගේ අම්මගේ හොඳ කියනවා, ඔයාට බණිනවා. මට එපා වුනේ අප්පා. ඒ පාර කිව්වා නවත්තගන්න කියලා. ඒත් නෑ. බැරිම තැන මම ආවා. ඒක නෙවෙයි කාවින්ද, ඔයා මොනව හරි බීලද ඉන්නේ?”
“මොනවද?”
“මොනව හරි නරක ජාතියක්.”
“හ්ම්.... බියර් එකක් බිව්වා.”
“ඔයාට මොකද වෙලා තියෙන්නේ අනේ...... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තව ගෙදර එන්නේ බීලා. අපේ අම්ම ඕකත් දැන ගත්ත දවසට මට ඔයා දිහා බලන්නවත් දෙන එකක් නෑ.”
මාත් අවුලෙන් ඉන්න වෙලාවේ මෙයත් ආවනේ කියවන්න. මට හිතුනා.
“කාවින්ද.... ඔයා පොඩ්ඩක් කල්පනා කරලා කරන දෙයක් කරන්න අනේ... ‍මේ විදිහට ගියොත් නම් අපි  දෙන්නට මොනව වෙයිද දන්නෑ.” මාලිකා කවදාවත් නැතුව තරහින් කියවන්න පටන් ගත්තා.
“මාලිකා මේ.... ඔයා අවුලෙන් ඉන්න බව ඇත්ත, එහෙම කියලා මට නීති දාන්න ලෑස්ති වෙන්න එපා. මේක මගේ ජීවිතේ...”
“එතකොට ම‍ට මොකද වෙන්නේ..? ඔයාව මැරි කරන්න තියෙන මගේ බලාපොරොත්තු...?”
“ඒක වෙනම දෙයක්.. එහෙම කියලා මට කෑගහන්න ලෑස්ති වෙන්න එපා.” මමත් කියලා දැම්මා.
ඒත් එක්කම මාලිකා ආයෙත් අඬන්න පටන් ගත්තා.
“මේ.... අනේ ඩාලිං... පොඩ්ඩක් කූල් වෙන්න.... දැන් ඕව අමතක කරලා යමු අපි මොනව හරි කන්න. ඔයා බඩගින්නෙ ඉන්න එපා.”
මම ටිකක් සන්සුන් වෙලා කිව්වා. මොනව වුනත් කෙල්ලට ගෙදර අයගෙන් ලොකු ප්‍රෙෂර් එකක් එන්න ඇති.
කෑම මේසෙට ඉඳගත්තට පස්සේ ඉතින් දීප නැන්දගෙන් ගැලවීමක් නෑ... මම හිතන්නේ දවස් දෙක තුනකට ඇතිවෙන්න මාලිකාට කන්න වුනා දීප නැන්දගේ පෙරැත්තය නිසා. බත් කාලා,. අතුරුපසට අලිගැට පේර සැලඩ් එකකුත් කාලා ඉවර වුනාට පස්සේ තමා දීප නැන්දා මාලිකාට නැගිටින්න දුන්නේ.
“මාලිකා. ඔයා ටිකක් මෙහෙම ඉන්න, අපි බලමු අම්මා මොකද කරන්නෙ කියලා.”
මම කිව්වා.
ගෙදර හැමෝම ඉන්න වෙලාවේ මාලිකා එක්ක කාමරේට යන්න බෑ වගේ... ඒ නිසා මම එයාවත් එක්කගෙන මිදුලට ආවා. ගේ ඉස්සරහ තියෙන ග‍ඟෙන් එන සීතල සුළං එක්ක එන පින්න නිසා හරිම සීතලයි. මිදුලේ අලිගැටපේර ගහ යට තියෙන බංකුවෙ අපි දෙන්න ඉඳා ගත්තා.
මාලිකා කියන්නේ හැම අතින්ම හොඳ කෙල්ලෙක්, මම පරණ දේවල් අමතක කරලා එයාව බැන්දා නම් කිසිම ප්‍රශ්ණයක් නැතුව ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණා. ඒත් ඒ වගේ ඒකාකාරි ජීවිතයකට මගේ තියෙන අකමැත්ත නිසාත්, දිලිනි ව‍ මේ වෙනකම්ම හිතෙන් අයින් කර ගන්න බැරි වීම නිසාත් මගේ හිත එක තැනක රැ‍ඳෙන්නේ නෑ. ඒ මදිවට ටිකක් හරි හිත තැන්පත් කරගන්න කොටම දිනි මොන ලෝකෙ හරි ඉඳලා ඇවිත් මාව අවුස්සනවා. පහුගිය මාස ගාණක් මම මාලිකා එක්ක ගත කරනකො‍ට මග් හිත ටිකක් සන්සුන් වෙලා තිබුණා. ඒත් අන්තිම මොහොතේ දිනි කතා කරලා දිලිනි ගැන කියලා මගේ හිත වෙනස් කළා. මේ ‍කෙල්ල නම් පුදුම කෙල්ලෙක්, මගේ ජීවිතේ තනිකරම රන් කරන්නේ එයා වගේ.
මම කල්පනාවට වැටිලා ඉන්න අතරේ මාලිකා කතා කළා.
“කාවින්ද... මොනවද ඔයා කල්පනා කරන්නේ? මාව ඔයාටත් වදයක් වුනා නේද?”
“නෑ... එහෙම නෑ... මගේ නේ වැරැද්ද... ඔයාගේ අම්මා සාදාරණයි.”
“ඒ වුනාට කාවින්ද, කොල්ලෙක් ඔයා වගේ වෙන්න ඕනේ... මම කියන්නෑ මේ උසාවි යන ප්‍රශ්ණ ඇති කරගන්න ඕනෙ කියලා, ඒත් ඔයා වගේ ඇක්ටිව් වෙන්න ඕනේ... නිකම්ම තැන්පත් වෙලා, රස්සාවක් කරගෙන ඉන්න කෙනෙකුට වඩා ඔයා වගේ කෙනෙක් එක්ක ජීවිතේ ගත කරන්න මම ආසයි.”
“පුදුමයි කෙල්ලෙක් මම ඉන්න විදිහට කැමති වුනා.”
“එහෙම තමයි අනේ... ඔයා එක්ක ඉන්නකොට හරි ඉන්ටරෙස්ටින්. අම්මලාට එක් තේරෙන්නේ නෑ... එයාලට ඕනේ හොඳ රස්සාවක් කරන, පවුල් වගකීමක් ගන්න නැන්පත් වුන කෙනෙක් මට බන්දලා දෙන්න.. මට අප්පිරියාවේ බෑ....”
“දැන් එහෙනම් අම්මා වෙන ප්‍රපෝසල් ගෙනෙයි.” මාලිකාව ටිකක් අවුස්සන්න හිතා‍ගෙන මම කිව්වා
“ගෙනාපුවාවෙකෝ.... මම උන්ට හොඳ දෙකක් කියනවා.. ආයෙත් මගේ දිහා නොබලන්න...”
මාලිකා ට හොඳටම තරහ ගිහින්.
“හරි හරි... දැන් ඔය කතාව නවත්තමු...” මම කිව්වා.
දහයට විතර අම්මා කතා කළා. මාලිකාව  එක්ක යන්න කියලා.
අම්මත් එන්න හැදුවට මාලිකා එන්න එපාම කිව්වා.
මම කාර් එක මාලිකාගේ ගෙදර මිදුලටම අරන් එයාව දොර ළඟටම ඇරලවලා ආපහු යන්න හැරුණා.
“පුතා ටිකක් ඉන්න...”
මාලිකාගේ අම්මා.
“ඇයි ආන්ටි.”
“ඉඳගන්නකෝ....” ආන්ටි පුටුවක් පෙන්නුවා. මාලිකා අම්මට රවනවා මම දැක්කා.
“එයාට යන්න දෙන්න අම්මා... මේ රෑ මොනව කතා කරන්නද?”
මාලිකා තරහින්ම කිව්වා.
“ඔයා ටිකක් කලබල නැතුව ඉන්න දුව.. මට වැඩි වෙලා ගන්නෑ.... ඔයා ඇතුලට ගිහින් ඇඳුම් මාරු කරගන්න.” මාලිකාගේ අම්මා කිව්වා.
“ඉඳගන්න පුතා.”
මම ඉඳ ගත්තා.
“මාලිකා ඇවිත් මොනවද කිව්වේ...?”
“විශේෂ දෙයක් නෑ ආන්ටි... මම කරපු පිස්සු වැඩේ නිසා හැමෝටම කරදර නේද?” මම ඇහුවා.
“ඒ ගැන තමා පුතා මම කතා කරන්නේ... ඔයා මම දන්න කාලෙ ඉඳලා කොච්චර හොඳ දරුවෙක්ද? මොකද මේ ලඟකදි ඉඳන් වෙලා තියෙන්නේ... ඔයාගේ අම්මත් හොඳටම දුක් වෙනවා.”
“මට සමාවෙන්න ආන්ටි.... මාලිකා කිව්වා ආන්ටි කිව්වලු මේ ප්‍රපෝසල් එකට දැන් කැමති නෑ කියලා. මම කිසිම දෙයක් ආන්ටිලාගේ අකමැත්තෙන් කරන්නේ නෑ... ආන්ටි කියන දේකට මම කැමතියි. මගේනේ වැරැද්ද.”
“ඒක මම මාලිකා ට කිව්වා බව ඇත්ත.... නමුත් පුතා මම ඔයාගේ අම්මව දන්නේ ඔයා ඉපදෙන්නත් කළින්. ඔයා වුනත් දැන් මේ මොකක්දෝ වෙලා පිස්සු වැඩ කළාට ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා මම දන්නවා. ඒ නිසා මම ඒ වගේ දරදඬු තීරණයක් ගන්නේ නෑ... හැබැයි දරුවෝ.... මේක අන්තිම අවස්ථාව වෙන්න ඕනේ.... ආයෙත් ඔය වගේ දෙයක් වුනොත් නම් මට වෙන තේරීමක් නැති වෙයි.”
මම සද්ද නැතුව හිටියා.
“මාලිකාත් ඔහොම හිටියට ටිකක් මුරණ්ඩුයි. ඔයාත් එහෙම වුනොත් ජීවිතේ ඉස්සරහදි කරදර වෙයි. මම ඔයා ටික කිව්වා කියලා තමයි මාත් එක්කත් තරහ වෙලා යන්න ගියේ.. ඔයාට තමා පුතා එයාව හදාගන්නත් පුළුවන් කියලා මම හිතුවේ... දැන් බලාගෙන යනකොට දෙන්නම එකයි නේ.”
“සොරි ආන්ටි..... මේක මම හිතලා කරපු දෙයක් නෙවෙයි.... මගේ ඉවසීම නැති වෙන කතාවක් කිව්ව නිසා තමයි එහෙම වුනේ.... කොහොමත් ආයෙත් නම් මම ඔය වගේ වැඩ වලට පැටලෙන්නේ නෑ.”
“ඒක හොඳයි.... දැන් යන්න රෑ වෙන්න කළින්... ඔයාට ඕන වෙලාවක මෙහේ ඇවිත් මාලිකාව බලන්න තහනමක් නෑ පුතා.... දැන් වෙඩින් එකටත් ලෑස්ති වෙන්න ඕනේ නිසා ටිකක් තැන්පත් වෙන්න බලන්න.”
මම හිනා වෙලා එන්න ආවා. මම කාර් එකට නගිනකොට මාලිකා උඩ තට්ටුවේ එයාගේ කාමරේ ඉඳලා මගේ දිහා බලාගෙන හිටියා.
මම නුවර ටවුමට එනකොට වෙලාව එකොළහට කාලයි.
පේරාදෙනිය පාරෙන් වාහනේ හරවනකොටම පැත්තෙන් ආපු ට්‍රේල් බයික් එකක් හෝන් එක ගැහුවා.
මම වාහනේ නවත්තලා බැලුවා.
“කාවින්ද බොසා..... මොකද බං මහ රෑ...” එහෙම අහගෙන අජා කාර් එකට එබුනා.
“පොඩි වැඩකට ආවා අජා... උඹ මොකද මේ වෙලාවේ...”
“අපේ එකෙක්ගේ මල ගෙයක්... ඒකට ගිහින් එන ගමන්... දැන් දවස් දෙකක් එහේ...”
“ඉතින් බං කොහොමද මේ දවස් වල තත්වේ... උඹ මොකද කරන්නේ...?” මම ඇහුවා.
“මොනව කරන්නද බං... බ්‍රෝකර් වැඩ තමා. වාහන, ඉඩම්, ඕන මගුලක්...”
“එහෙනම් සරු ඇති..”
“උඹලට වගේ කොහෙද බං අපිට, උඹලා ලොකු හොටෙල් වල ලොකු ජොබ් කරන්නේ.. නිවාඩුවට ඇමරිකාවේ යන්නේ...”
“බයිලා කියන්න එපා අජා... මම එහෙම කළාට උඹ දන්නවනේ මට උඹල එකෙක්වත් ලොක් පොඩි නෑ කියලා.”
“ඒක මම නොදන්නවද බං... ඒ අතින් අපිට එගේන්ස්ට් ඉන්න කාලෙ වුනත් මම උඹට රෙස්පෙක්ට් කළා. ඒක නෙවෙයි බොසා, අර ගිහාන් කාරයා ආයෙත් සීන් එකක් දැම්මලු නේද?”
“නෑ... බං... මමයි දැම්මේ... මම දුන්නා ඌට අවුරුදු ගාණක ඇරියස් කවර් වෙන්න... අන්න තාම හොස්පිට්ල්...”
“එල එල.... ඒක නෙවෙයි බොසා කෙලින්ම ගෙදර යනවද?”
“උඹ ඒක කියපු විදිහ මට ඇල්ලුවේ නෑ අජා... මොකද? මොනව හරි තියෙනවද?”
“අපි ළඟ කවදද බඩු නැති වුනේ... ඩියුටි ‍ෆ්‍රී ගෙනාපු එකක් තියෙනවා... මොකද කියන්නේ...?”
“යමං...” මම දෙපාරක් නොහිතා කිව්වා.
‘මකාරා’ රෙස්ටොරන්ට් එක කවදාවත් පාන්දර එකෙන් මෙහා වහන්නේ නෑ.
අපි දෙන්නා විනාඩි දහයකදි එතන.
තවත් අජාගේ යාළුවෙකුත් එතන හිටියා.
රෑ දොළහ විතර වෙනකොට අපි යන්න නැගිට්ටා. අජා මාව ගිහින් දාන්න හැදුවත් මම තනියම කාර් එක අරගෙන ගෙදර ආවා.
මම එනකොට අම්මා දොර ළඟ.
“ඇයි රෑ වුනේ...?”
“ටිකක් රෑ වුනා...” එහෙම කියාගෙන මම ඉක්මනින් කාමරේට ගිහින් නිදා ගත්තා.

4 comments:

  1. තව කල්පයක් බලන් ඉන්න වෙයිද දන්නෙ නෑ ඊලඟ එපිසෝඩ් එකට

    ReplyDelete
  2. හොදටම පරක්කුයි තව කොටසක් දාන්න

    ReplyDelete