Thursday, May 17, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 131




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි






131
රෑ පාරේ වාහන නැති නිසා බොහොම පොඩි කාලයක් ඇතුලත මම නයිට් ක්ලබ් එකේ කාර් පාක් එකට වාහනේ දැම්මා.

මම උදේ දැනගත්ත දුරකථන අංකයකට වාහනේ ඇතුලේ ඉඳලම කෝල් එකක් ගත්තා.

“කාර් පාක් එකට තනියම වරෙන්.” මම කිව්වා.

“කව්ද මේ....? එහා පැත්තෙන් ඇහුවා.

“උඹේ පරණ යාළුවෙක්... අවුරුදු හතරකට පස්සේ ආවේ උඹව හම්බවෙන්න.” මම එහෙම කියලා ෆෝන් එක තිබ්බා.

ටික වෙලාවක් යනකොට ගිහාන් තනියම කාර් පාක් එක පැත්තට ආවා. වාහනේට හේත්තු වෙලා ඉන්න මාව දැක්ක ගමන් මිනිහා ටිකකට නැවතුනා. ඌ හිතන්න නැතුව ඇති ඒ කතා කළේ මම කියලා. අනිත් එක අවුරුදු හතරකට පස්සේ මම මේ විදිහට එයි කියලා නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

ඌ ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නකොට මම කතා කළා.

“ගිහාන් වරෙන් මෙහාට.... බය වෙන්න එපා...”

“මම උඹට බය නෑ යකෝ...” එහෙම කියාගෙන ගිහාන් මගේ ළඟට ආවා.

අද දවසේ දෙකෙන් එකක් ඉවර කරගන්නවා කියලා හිතලයි මම මේ ගමන ආවේ. දිලිනි ඉන්න තැන දන්න එකම එකා ගිහාන් වෙන්න පුළුවන්. එක්කෝ මම  ඒක අද දැනගන්නවා නැත්නම් ගිහාන් ඒක මට කිව්වේ නැත්නම් ගිහාන්ගේ ඇඟේ ඇටකටු එකින් එක කඩලා හරි මම ඒක අහගන්නවා.

“මොකද කාවා උඹ ගෑණියෙක් වගේ මගේ පස්සෙන් එන්නේ?” ගිහාන් ඇහුවා.

“මම උඹේ පස්සෙන් ආවේ නෑ ගිහාන්... උඹ තමා එදා ඉඳලම මගේ පස්සෙන් අඬ අඬා ආවෙ උඹට අයිති නැති කෙල්ල ව මට අයිති කරගන්න එපා කියලා.”

කියන්න ඕනේ දේ මම රිදෙන්නම කියලා දැම්මා. මම දැක්කා ගිහාන්ගේ ඇස් රතු වෙලා තරහින් දිලිසෙනවා. ඌව උපරිමේටම තරහ ගස්සන්න පුළුවන් නම් ඒක තමයි මගේ ටාගට් එක. මොකද මූ එහෙම වෙලාවට කියන්න ඕනේ දේයි එපා දේයි හැම එකම කියනවා.

“උඔ අවුරුදු හතරකට පස්සේ ආවේ මට ඔය ටික කියන්නද?”

“නෑ ගිහාන්... මට උඹත් එක්ක ඉවර නැති දෙයක් තියෙනවා විසඳගන්න.”

“මොකක්ද... කියපං... මම ඕනේ දේකට ලෑස්තියි.”

“ඇයි උඹ එදා මට වෙඩි තිබ්බ දවසේ මාව මැරුවේ නැත්තේ? උඹලා මට වෙඩි තිබ්බේ කකුලට.”

“උඹව මැරුවොත් සිය දිවි හානි කරගන්න තව බැල්ලියෙක් මෙහේ හිටියා... ඒකයි උඹව මැරුවේ නැත්තේ. හැබැයි මම අදත් දුක් වෙනවා ඒක නොකරපු එකට.”

ඒ කියන්නේ දිලිනි ඒ තරම් තදට ගිහාන්ව කන්ට්‍රෝල් කරලා. මොනව වුනත් ගිහානයා වුනත් දිලිනිට බයෙන් ඉඳලා තියෙන්නේ. එතකොට එදත් මගේ ජීවිතේ බේරිලා තියෙන්නේ දිලිනි නිසා.

“ඒකනම් ඇත්ත. උඹට එදා මාව මරණ්න තිබුණේ ගිහාන්.... මොකද උඹට අද ඉඳලා මගෙන් ගැලවෙන්න නම් බෑ. එදා මාව නොමරපු එකට උඹට ගොඩක් පසුතැවෙන්න වෙයි.”

“ඇයි උඹ මොනව කරන්නද.. මම ඉන්නේ ලංකාවේ නෙවෙයි. උඹට බෑ මට මොනවත් කරන්න.”

“මම දන්නවා උඹ ඉන්නේ සිඩ්නි වල කියලා.. ඕනේ වුනොත් මට එහෙට එන්න බැරිකමකුත් නෑ...”

“දැන් උඹ මේ රිටර්න් එක දෙන්න හදන්නේ ඒකටද?” ගිහාන් ඇහුවා.

“නෑ... ඒකට නෙවෙයි... උඹ තාරුකාට කරපු දේට.”

“මම මොනවත් කළේ නෑ යකෝ.. ඒකි මටත් පාට් එක දාලා, මගේ කණට ගහලා යන්න ගියා. මම ඔච්චර කැප කරපු ඒකි මට බල්ලෙකුට වගේ සලකලා යන්න ගියා.”

“බොරු කියන්න එපා ගිහාන්.... කෙල්ල මට මැසේජ් එකක් එවලා තියෙනවා උඹ නිසා එයාට එන්න විදහක් නෑ කියලා. මම මේ උඹට දෙන අන්තිම චාන්ස් එක... කෙල්ලව අතෑරපං. උඹට බෑ බොරු කරන්න මට... කෙල්ල මට මැසේජ් එකක් එවලා තිබුණා.”

“මගුලක් කතා කරන්න එපා යකෝ... ඒ බැල්ලි මගේ ජීවිතේ කෑවා. මම අර තරම් ආදරේ කරද්දි ඒකි උඹට මැරෙන්න හැදුවා. මම උඹට එදත් කිව්වා... මම ඒකිව මට අයිති කරගන්න බැරි නම් උඹට අයිති කරගන්න දෙන්නෙත් නෑ කියලා... දැන් පේනවා නේද මම කියපු දේ කරපු බව.”

“මම හොඳින් කියන්නේ... කෙල්ලව අතෑරපං.” මම කිව්වා.

“අහම්බෙන් හරි නැතුව හරි මම කියපු දේ වුනා. පව් කාවින්ද කෙල්ල නැතුව අඬනවා මට බලන්න බැරි වුනානේ. යකෝ ඕකට තමයි කියන්නේ තොගේ ගොන් කම කියලා. උඹ හිතුවද මාත් එක්ක හැප්පෙන්න”

“ගිහාන්.... උඹ මගෙන් කන්නයි ඔය හදන්නේ.....”

“මම උඹෙන් කන්නෑ.. උඹයි මගෙන් ඉල්ලගෙන කන්නේ... අනික උඹ දන්නවද ඔය බැල්ලි මාත් එක්ක මැරේජ් එක රෙජිස්ටර් කරපු බව. එතනත් මම දිනුම්. ඒකිගේ අම්මයි තාත්තයි මං ගැන කැමැත්තෙන් කොහොම හරි බලෙන් හරි එක් කරලා දුන්නා. ඒත් කෙල්ල මට ලැබෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි උඹ බූරුවෙක් වගේ මැදින් පැනලා මගේ මුළු ජීවිතේම නාස්ති කළා. තොට හොඳක් වෙන්නෑ කාවින්ද.”

ගිහාන් එහෙම කියද්දි මට දැනුනා ඌ ටිකක් සෙන්ටමෙන්ටල් වෙලා කියලා. බෑ බෑ.. මූට මෙහෙම වෙන්න දෙන්න බෑ. මූගේ තරහ වැඩි කරන තරමට තමා මට වාසි.

“උඹට ගෑණියෙක් තියාගෙන ඉන්න බැරි එක මගේ වැරැද්දක්ද... ඒක උඹේ බැරිකම... කොල්ලෙක් වෙයං.. උඹේ ගෑණි මගේ ළඟට ආව එකට මම මොනව කරන්නද?”

“ඔව් ඇත්ත... හැබැයි මම ඒකිව අන්තිමට මගේ ලඟ දණගැස්සුවා. උඹ වෙඩි කාලා හොස්පිට්ල් එකේ ඉන්නකොට ඒකි ඇවිල්ලා මට වැඳ වැටුනා ඩිවෝස් එක දෙන්න ඉල්ලන ඕනේ දෙයක් දෙන්නම් කියලා. ඒත් මම දුන්නේ නෑ. ඒ බැල්ලි මට කරපු දේවල් වලට මම එහෙම ලේසියෙන් යන්න දෙන්නෑ. මම මනමාලි කරලා කැන්දගෙන යන්න හිටපු එකීව උඹ නැති කළා. අවුරුදු ගාණක් මට අතවත් තියන්න දුන්නේ නැති ඒකිගේ ඇඟට උඹ අත තිබ්බා. ඒ බැල්ලිත් ඒකට ඉඩ දුන්නා. මගේ කෙල්ලගේ වර්ජිනිට එක උඹ ගත්තා. ඒකට මම උඹව මැරුවත් මදි.”

“ගිහාන් මේ බූරුවෙක් වගේ කතා කරන්න එපා. බලෙන් කසාද බැන්දුවට ඒක කසාදයක් වෙන්නෑ... තාරුකා උඹට කැමති නෑ.. ඒක් එදත් එහෙමයි... අදත් එහෙමයි.”

“වෙන්න පුළුවන්.. ඒ වුනාට නීතියෙන් ඒකි මගේ... මම දිනුම්... දෙවෙනි එක ඒකි මට වඳිනවා ඩිවෝස් එක ඉල්ලලා. මාව පයට පෑගෙන සෙරෙප්පු දෙකක් තරම් වත් ගණන් ගත්තේ නැති එකී දැන් මට වඳිනවා.”

“පිරිමියෙක් නම් ඩිවෝස් එක දීපං.”

“උඹ හිතුවද මං ඒ වගේ ගොනෙක් කියලා.. ඊට පස්සේ උඹලා දෙන්න බැඳලා ආතල් එකේ ඉන්න.... උඹට වැරදිලා. මම කිව්වා ඩිවෝස් එක දෙන්නම් එක කොන්දේසියකට කියලා... මොකක්ද දන්නවද කාවින්ද?”

මම කතා නොකර හිටියා.

“ඒකි මගේ ළඟට ආවහම මම කිව්වා ඩිවෝස් එක දෙන්න නම් එක දවසක්... එක රැයක් ඒකිට මාත් එක්ක ඉන්න කියලා.. පාරේ ඉන්න වේස ගෑණියෙක් වගේ මගේ ළඟට ආවොත් විතරක් මම ඒකිට උඹ ලගට යන්න දෙන්නම් කිව්වා.”

ගිහාන් එහෙම කිව්වහම මගේ මුළු ඇඟම තරහෙන් වෙවුලුවා. ගිහාන්ව තරහ ගස්සන්න ආපු මමයි අන්තිමට තරහා ගිහින් ඉන්නේ.

“ඇයි තද වුනාද..? කරන්න දෙයක් නෑ කාවින්ද... මට ඒකි ඕනේ... එක දවසකට හරි... මම ඒක කිව්වා. උඹ දන්නවද ඒ බැල්ලි කරපු දේ... මගේ මූණට කෙල ගහලා ගියා. මැරුණත් මාත් එක්ක එක විනාඩියක්වත් ඉන්නෑ කියලා ගියා. මාව නැතිකරනවා කියලා තර්ජනය කළා. ඊට පස්සේ ඒකි මැලේෂියා ගියා ගියාමයි ආයෙත් ආවේ නෑ. උඹට හම්බවුනොත් කියපං එක රෑයක් මාත් එක්ක ඇඳේ ඉන්න කියලා.. මම යන්න දෙන්නම්.”

ගිහාන් ඒ ටික කියලා ඉවර කරන්න කළින් මම උගේ ඉස්සරහ.

“තව එක සැරයක් කියපං බලන්න ඒ කෙල්ල ගැන ඔය විදිහට.” මම කිව්වා.

“මම බය නෑ යකෝ කාටවත්... මම ඒකිව ගණිකාවක් කරලා තමා උඹට දෙන්නේ.”

ගිහාන්ට ඒ ටික කියලා ඉවර කරගන්න මම ඉඩ දුන්නේ නෑ. ගිහාන්ගේ දණහිසට මගේ කකුලෙන් වැදුන පාරට ඌ දණ ගහගත්තා. නැමෙනවත් එක්කම මම නහය ඉලක්ක කරලා මූණ මැදටම පන්ච් එකක් දුන්නා. නහය කඩාගෙන ලේ එද්දි මම තවත් දෙපාරක් මූණටම ගැහුවා. ගිහාන්ගේ ඉල ඇට ඉලක්ක කරලා පපුවට ගහලා යටි බඩට තවත් එකක් දුන්නා. ලේ පෙරාගෙන ඌ වැටෙද්දි තත්පර දෙක තුනක් ඇතුළත මම වාහනේට නැගලා උපරිම වේගෙන් එපාර්ට්මන්ට් එකට ආවා.

කෙලින්ම බාත් රෑම් එකට ගිය මම ඇඳුම් ඔක්කොම අයින් කරලා වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ ටවල් එකක් විතරක් ඇඳගෙන එළියට ඇවිත් ලේ ගෑවුණ ඇඳුම් ඔක්කොම වොෂින් මෑෂින් එකට දාලා, යාළුවෝ දෙන්නා ඉන්න කාමරේට එබුනා... උන් දෙන්නා තාම ගොරව ගොරව නිදි. ටවල් එක පැත්තකට දාලා කලිසමක් ඇඳගත්ත මම ඇඳට වැටුනා. අවුරුදු ගාණකට පස්සේ හිතට නිදහසක් දැනුනා ගිහාන්ට ලැබෙන්න තිබුණ නියම දේ දුන්න සතුටට. ඒ නිසාම මට එක හුස්මට එළි වෙනකම්ම නින්ද ගියා.

මම උදේ නැගිටිනකොට නවයත් පහුවෙලා. අමිලයි සචියයි දෙන්නම නැගිටලා උදේට කෑම හදනවා. මුන් දෙන්නා බිත්තර බැදලා, ලූණූ කපලා මොකක්ද විකාරයක් කරනවා.

“ගුඩ් මෝනින් කාවා. අඩෝ ගෙදරට වඩා මෙතන සැප බං.... ඒක නෙවෙයි උඹ තරම් හොඳට අපිට උයන්නනම් බෑ... ඒත් අපි බ්‍රෙක්ෆස්ට් එකක් හැදුවා. ඊයේ රෑත් බිත්තර රොටි විතරක් කාලා දැන් පට්ට බඩගිනියි.”

“මොනවද උඹල හැදුවේ...?”

“සැන්විච්.”

“කමු කමු... මටත් ඉඩගිනියි.”

මම මේසෙට ඉඳගත්තා. එතකොටම තාත්තගෙන් මට කෝල් එකක් ආවා.

“ඇයි තාත්තා?”

“කොහෙද ඉන්නේ...? ඊයේ රෑ ගෙදර නෑවිත් කොහෙද ගියේ?”

“අපි මේ යාළුවෙකුගේ ගෙදර ඉන්නේ....”

“කව්ද අපි කියන්නේ...?”

“ආ... තාත්තා, මමයි අමිලයි සචිත්‍රයි ඉන්නවා.”

“දෙනවා සචිත්‍රට ෆෝන් එක.”

මම ෆෝන් එක සචිත්‍රට දුන්නා.

තාත්තා කතාකරන අතරේ සචියගේ කට ඇරුණා. ඇස් දෙක එළියට පනින්න වගේ ලොකු වුනා.

මම සද්ද නොකර ‘මොකද යකෝ’ කියලා ඇහුවා.

තාත්තා කතා කරලා ඉවර වුනාම ඌ එහෙම්මම ඉඳගත්තා.

“මොකද සචියා...?”

“මචං කාවා... උඹ ඊයේ රෑ කොහෙද හිටියේ..?”

“මොකක්... තොට තාම ඩෝප්ද? ඇයි යකෝ අපි තුන්දෙනා ඊයේ රෑ මෙතන නිදාගත්තා මතක නැද්ද? අනික උදේ මම නැගිටිනකොටත් උඹලා නැගිටලා...”

“හොඳටම ෂුවර්ද කාවා උඹ ඊයේ රෑ නින්දෙන්වත් කොහේ හරි ගියේ නෑ කියලා.”

“මේ පිස්සු විකාර නැතුව කියපං මොකද වෙලා තියෙන්නේ කියලා...” අමිල කිව්වා.

“ඊයේ රෑ ගිහාන්ට කව්රු හරි එකෙක් ගහලා.”

“ඉතින් යකෝ ඒකට කාවාගේ තියෙන සම්බන්දේ මොකක්ද? ඌ හිටියේ අපිත් එක්කනේ. අනික කාවාගේ තාත්තා ඇයි කලබල වෙලා.” අමිල කිව්වා.

“ඔව් බං... මම මොනව කරන්නද?”

“යකෝ... ඊයේ රෑ ගිහානයාට කවුදෝ එකෙක් ගහලා මූණ චප්ප වෙන්නම. ඊයේ රෑ නියිට් ක්ලබ් එකේ කාර් පාක් එකේ වැටිලා ඉඳලා කව්දෝ එකෙක් හොස්පිට්ල් ගෙනිහින්. ටිකක් අමාරුයි කියලා තාම ටිකට් කපලවත් නෑ. දෙන එක ඌට දීලා තියෙනවා ඇඬෙන්නම.”

මම රත්වුනා. නොහිතා ගහපු විදිහට වැරදි තැනකට වැදිලා වගේ.... කොහෙද තලපතා වගේ හිටියට ඌ අතින් පාරක් කවර් කරන්නවත් දන්න එකෙක්යෑ.. මම ගහපු හැම පාරක්ම උගේ වදින්න ඕනේ තැන්වලට හරියටම වැදුනා.

“මොකද කාවා කතා නැත්තේ?”

නෑ බං... මම කල්පනා කළේ මම ඇර වෙන කව්ද ඌට ගහන්නේ..?”

“ඒක තමා යකෝ අපිටත් තියෙන ප්‍රශ්ණේ.... ඇත්ත කියපං උඹ කාව හරි දාලා ගැස්සුවා නෙවෙයි නේද?”

“පිස්සුද බං... ඌට ගහන්න ඕනෙ නම් මම තනියම යනවා මිසක් සෙට් දාලා ගස්සන දෙකයි පහනේ වැඩ මගේ ළඟ නෑ කියලා උඹ දන්නවනේ.”

“ඒ වුනාට උඹ එදත් කිව්වා ගිහාන්ව උස්සන්න  ඕනේ කියලා...”

“සචියා මේ උඹට මාව සැක වුනාට මට කරන්න දෙයක් නෑ... උඹල හොදටම දන්නවා මම ඊයේ මොකද කළේ කියලා. ඒක නෙවෙයි දැන් මොකද සීන් එක.. කව්රු හරි පොලිසි ගිහින්ද?”

“ගිහාන්ගේ මාමා පොලිසි ගිහින්... පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒත් උඹව සැකයි කියලා නැහැ. වීරරත්න අංකල්ට ආරංචි වෙලා තමා උඹලටගේ තාත්තට කියලා තියෙන්නේ. තාත්තා බය වෙලා තියෙන්නේ අපි තුන් දෙනා සෙට් වෙලා දුන්න ගේමක් කියලා.”

“පිස්සුද යකෝ... අපි තුන්දෙනා ඊයේ මෙතන කුණු වෙන්න ගහලා වැටිලා නිදි... උඹ ඒක කිව්වේ නැද්ද තාත්තට.”

“කිව්වා. ඊට පස්සේ තමා තාත්තා ෂේප් වුනේ. ඒ වුනාට යකෝ ජීවිතේ පලවෙනි වතාවට උඹලගේ තාත්තට කියන්න වුනා අපි බීලා හිටියා කියලා.”

“මගුලක් කතා කරනවා. බීල හරි නැතුව හරි අපි ගියේ නෑනේ බං.” මම කිව්වා.

“ඒ වුනාට කාවා උඹ පරෙස්සමෙන්... ගිහානයා විතරක් නෙවෙයි මාමා කාරයත් නයා වගේ පොර.. උඹ නොකරපු දෙයක් වුනත් උඹේ පිටින් යන්න පුළුවන්.”

සචියා කිව්වා. මුන්ට බොරු කියන්න වුන එකත් එක අතකට දුකයි. ඒත් වෙන කරන්න දෙයක් නෑ.. මේ වෙලාවේ මාව අහු නොවෙන්නනම් මුන් දෙන්නා දිගටම මේ බොරුව විශ්වාස කරන්න ඕනේ.

එතකොටම තාත්තා ආයෙත් කතා කළා.

“කාවින්ද... තමුසේ බොරු නේද කියන්නේ... ඩැනී මට කිව්වා තමුසේ ඊයේ ඔය කියන වෙලාවේ ඔය ගිහාන් කියන එකා එක්ක හිටියා කියලා.” තාත්තා කියපු දෙයින් මට හැම දේම පැහැදිලි වුනා. නෑ නෑ කිව්වට මේ මුළු කාලෙම මගේ පස්සෙන් ඩැනී අංකල්ගේ ගෝලයෝ එවලා තියෙනවා.

මම කතා නැතුව හිටියා.

“කාවින්ද... මගේ යකා අවුස්සගන්නේ නැතුව දැන්ම එනවා ගෙදර.... තමුසෙගේ යාළුවෝ දෙන්නා නැතුව.”
තාත්තා කියපු දෙයින් මටත් තද වුනා.

“තාත්තා... මේක මගේ වැඩක්... ඒක මම බලාගන්නම්. ගිහාන් තාම මගේ නම කියලා නෑනේ.... ඒ නිසා මට බයක් නෑ... නැතත් මම බය නෑ.”

“කාවින්ද.... විකාර කියවන්න එපා මිනිහෝ... තමුසේ හිතන්නේ මේක ලේසි වැඩක් කියලද? ඔය ගිහාන් කියල එකා පාතාලෙටත් ගෑවිච්චි එකෙක්. අනික තමුසේ අර වැඩකට නැති කෙල්ල නිසා තාමත් මරාගන්න යනවා... මොකක්ද අයිසේ වෙලා තියෙන්නේ. වගකීමකින් හැසිරෙන්න පුරුදු වෙනවා. දැන් ගෙදර එනවා.”

“මොකක්ද තාත්තා මම කළේ...?”

“තමුසේ හිතන්නේ මම කිසි දෙයක් දන්නෑ කියලද....? අර කෙල්ල ගැන අපි ඔච්චර කියලත් තමුසෙට ඒ ගැන හිතින් අයින් කරන්න බැරි වුනා. මොකක්ද අයිසේ වෙලා තියෙන්නේ. බලනවා දැන් කරගත්ත දේ... මිනිස්සු අපිට හිනා වෙනවා.... ඒ නිසා තමුසේ අද ඉදලා අපි කියන දේ කරනවා.”

“නෑ තාත්තා... මම ඒක බලාගන්නම්... අනික මම දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා... කරුණාකරලා මගේ ප්‍රශ්ණ වලට අත දාන්න එපා.”

“තමුසේ එහෙනම් ඕනෙ මගුලක් කරගන්නවා. අරූට මොනව හරි වුනොත් හිරේ යන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.”

තාත්තා ෆෝන් එක තිබ්බා.

මම කතාකරනවා අහගෙන හිටපු අමිලයි සචියයි හොල්මන් වෙලා.

“මොකද කාවා උඹට වුනේ...?”

“නැ බං.... හැමදාම මට ඔය බණ අහගෙන ඉඳලා එපා වෙලා. මම වැඩ කරන්න ඕනේ එයාලා කියන විදිහට විතරයි..... බඳින්න ඕනේ එයාලා කැමති කෙනෙක්. ඒක අසාධාරණයිනේ බං. දරුවෝ හදලා ලොකු කරපු බව ඇත්ත. එහෙම කියලා දරුවෝ ණය ගෙවන්න වගේ දෙමව්පියෝම කියන දේවල් කරන්න ඕනෙද?”

“අම්මෝ කාවා... අපි නම් දන්නෑ ඔය සීන්. උඹට සියයට සියයක්ම ස්වාධින වෙන්න පුළුවන් වුනාට අපිට නම් බෑ. ඒ නිසා ප්ලීස් මචං... ඔය සීන් වලට නම් අපිව ගාන ගන්න එපා.” සචියා කිව්වා.

“ඒක නෙවෙයි කාවා... දැන් උඹ මොකක්ද කරන්නේ?” අමිල ඇහුවා.

“මම ගෙදර ගියොත්නේ එයාලට ප්‍රශ්ණ. ඒ නිසා මම අද ඉඳලා මෙහේ ඉන්නවා. මටත් කරදර නෑ.”

“උඹ එක පාරකුත් ඔය වගේ පිස්සු වැඩක් කළා. අන්තිමට බල්ලා මාක් එකෙන් ගෙදර ගියා.”

“ඒ කාලේ එහෙම තමා... ඒ වුනාට මේ සැරේ මම දන්නවා කරන්න ඕනේ දේ.”

“කාවා... ගිහානයාට ගැහුවේ උඹද? ඇත්ත කියපං.”

“උත්තර දුන්නට පස්සෙත් එකම ප්‍රශ්නේ ආයෙ ආයෙ අහන්න එපා බං... මල පනිනවා.”

5 comments:

  1. ආයිත් වටයක් කැරකිලා මුලටම ඇවිල්ලා .

    ReplyDelete
  2. ඔතරම්ම කොලේ අත්සන ගැන වදවෙන්නේ මොකෝ? දෙන්නා එක්ක ජිවත් වෙනවා මිසක්. සුරංගනා සිද්ධියක් වෙනවා නැතිනම්.

    ReplyDelete
  3. Meka නම් ඉවර වෙන මඟුලක නෙමෙයි ....

    ReplyDelete
  4. මෙහෙම ගියොත් මේකත් දෙවැනි ඉනිම වගේ වෙයි මම කැමති විදිහට ලියන්න කියනවා නොවේ නමුත් මෙතරම් කාලයක් ගලාගෙන ආපු කතාව මෙහෙම ගියහම සුරංගනා කථාවක් වෙනවා

    ReplyDelete