Friday, May 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 30


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



30.

දිලිනිව හම්බවෙන්න යන්න ඕනේ තුනට විතර... ඒවෙනකම් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒ ලස්සන ඇස් දෙක තවත් වතාවත් බලන්න මට පුදුම ආසාවක් ඇතිවුනා. මම මොනවා කල්පනා කළත් මටත් නොදැනීම මම කෙල්ලට ආදරේ කරනවා වත්ද?

හරියටම තුනට මම අස්ගිරියේ පොලිස් ග්‍රවුන්ඩ් එක ළඟට ආවා. දිලිනි ඇවිල්ලා හිටියේ නැහැ.

ටික වෙලාවක් ඉන්නකොට මම දැක්කා කෙල්ල එනවා.... මේ කෙල්ල දවසින් දවස ලස්සන වෙනවද දන්නෑ අප්පා. මම එදා දැක්කට වඩා අද ලස්සනයි....

මාව දැක්කහම ඒ මූණේ ලස්සන මලක් වගේ හිනාවත් පිපුනා.

දිලිනි කෙලින්ම ඇවිල්ලා මගේ අතින් අල්ල ගත්තා. එය මගේ අත අල්ලගත්තේ හරියටම මම එයාගේ වගේ.
මම ටික වෙලාවක් අත දිහා බලාගෙන හිටියා.

“කාවින්ද ඇයි අත දිහා බලාගෙන?”

“ඔයා දැන් අහන්නෙවත් නෑ නේද...”

“ඇයි මම එදා ඇහුවේ... ඔයා කිව්වේ මට ඔයාගේ අත අල්ලන්න අහන්න ඕනේ නැහැ කියලා.”

“ඒ කියන්නේ ඩ්‍රැකියුලා වගේ.”

“මොකක්?”

“ඔව්, ඩ්‍රැකියුලාට කාමරේකට එන්න බෑ හිතුමනාපෙට. කව්රු හරි අවසර දෙන්න ඕනේ. හැබැයි පලවෙනි පාර විතරයි. ඊට පස්සේ අහන්නේ නැතුව දිගටම එනවා. එපා කිව්වත් වැඩක් නෑ.”

“අයියෝ ඔයා‍ට දැන් මාව පේන්නේ ඩ්‍රැකියුලා කෙනෙක් වගේද? හරිම නරකයි අනේ.”

“මම එහෙම කිව්වද?”

“ඔය නොකියා කිව්වේ ඒකනේ.”

“නෑ මම ඇහුවේ මගේ අත ඇල්ලුවට කමක් නෑ කියලා මම කිව්වද?”

“ඔව් අනේ... අනිත් එක නාහ ඇල්ලුවත් ඔය තරම් ගණන් උස්සන්න එපා... හරියට අත ඇල්ලුවම ගෙවෙනවා වගේ....”

“ඒ වුනාට....”

“හරි හරි.... ඔන්න අතඇරියා.... ඉන්නවකෝ ආයෙත් අල්ලන්න කිව්වත් අල්ලන්නේ නැහැ..... මහ ලොකු මිනිහා...”

 “දිලිනි කොහේ යන්නද එන්න කිව්වේ?”‍

“මං දන්නෑ... මට එපා වෙලා තියෙන්නේ... ඔයා ආපු ගමන් මගේ හිත රිද්දුවා. මට හරි දුකයි....”

ඔය ටික වෙලාවට දිලිනිගේ ඇස්වල කඳුලු.

අනේ අම්මපා මේ කෙල්ලොන්ට මූඩ් චේන්ජ් කරන්න පුළුවන්නේ පට් පට් ගාලා. පුදුම හැකියාවක්. තප්පර ගාණකදි හැපී ටූ ඇන්ග්‍රි දෙන් සෑඩ්.

“හරි හරි... ඕකට අඬන්න ඕනේ නැහැ...”‍

“අ‌‌ඬන්න නෙවෙයි කාවින්ද.... මට මැරෙන තරමට දුකයි..... ඔයා හරි නරකයි. මගේ හිත රිදෙව්වා...”

“සොරි දිලිනි. වෙරි සොරි..... ඉට් වොස් එ ජෝක්...”

“නෝ ඉට් වොසන්ට් එ ජෝක්.... යූ පර්පස්ලි බ්‍රෝක් මයි හාට්...”

“දිලිනි... ඔයා මට එන්න කිව්වේ රණ්ඩු වෙන්නද?”

“නෑ...... ඒ වුනාට මතක තියා ගන්න කාවින්ද කවදාවත් මට දුක හිතෙන කතා කියන්න එපා... වෙන කව්රු කිව්වත් ප්‍රශ්ණයක් නැහැ. ඒත් ඔයා පොඩි දෙයක් කිව්වත් මට ගොඩක් දුක හිතෙනවා.”

“හරි..... නව් අයි ඇපොලජයිස්ඩ්...”

“කාවින්ද.... මට ෂොපින් යන්න ඕනේ... ඔයා එනවද?”

“ෂොපින්... කොහේද?”

“අපි යමුද....... ධනසිරි එකට....”

“අම්මෝ.... ඊට වඩා හොඳයි..... අපි දෙන්නා අත් අල්ලගෙන ඉන්න ෆොටෝ එකක් පත්තරේ දානවා...”‍

“එහෙනම් අපි එම් සී එකට යමු.”

“මොකට?”

“එම් සී එකට අනේ.”

“මේ කොළඹ තියෙන එකට?”

“ඔව් ඔව්...”

“පිස්සුද නැත්නම් හැටිද. මේ දැන් කොළඹ යන්න. එන්න වෙන්නේ හෙට තමයි.”

“එහෙනම් අපි කොහෙද යන්නේ... මෙතන හිටගෙන ඉන්න බෑ කාවින්ද... තාත්තා ටවුමට ගිහිල්ලා දැන් මෙතනින් එයි.”

“එහෙනම් නගින්න.”

මම ඉක්මනට දිලිනිව බයික් එකට දාගත්තා.

“කාවින්ද, එනි අයිඩියා වෙයාර් ආ වී ගොයින්?”

“නෝ.... අයිඩියා.... ඔළුව හැරුණු අතේ යමුද?”

“යමු...”

“කොහේද?”

“දැන් ඔයාමනේ ඇහුවේ ඔළුව හැරුණු අතේ යමුද කියලා පිස්සා. ඊට පස්සේ මගෙන් ආයෙත් අහනවා කොහේද කියලා.

“හරි ඉතින් ඔළුව හැරුණේ කොහේටද?”

“මන් දන්නෑ අනේ.... දැන් තව විනාඩියක් මෙතන හිටියොත් මම යනවා යන්න.”

මම දිලිනිවත් දාගෙන නුවර ටවුන් එක පැත්තට බයික් එක හැරෙව්වත් කොහේ යන්නද කියල අදහසක් තිබුණේ නැහැ.

“කාවින්ද..... මාව කෙහේද ගෙනියන්නේ?”

දිලිනි පිටට තට්ටුවක් දාලා ඇහුවා.

“ඔළුව හැරුනේ මේ පැත්තට.”

“හරි හරි... යංකෝ”

“ඇයි බයද?”

“නෑ... ඔයා එක්ක කොහේ ගියත් මම බය නෑ කාවින්ද?”

“ඔයා කැමති කවුරුවත් නැති තැනකට යන්නද, නැත්නම් සෙනග ගැවසෙන පාක් එකකට වගේ යන්නද?”

“පණ ඇති කවුරුවත්ම නැති කට්ට පාලු තැනකට යමු කාවින්ද....”

“ෂුවර්ද?”

“ඔව් අනේ... පණ තියෙන දේකට අපි දෙන්නා විතරක් හිටියම හොඳටම ඇති‍.”

දිලිනි ඒක කිව්වේ අත්දෙක මගේ බඩ වටේට දාලා අල්ලගන්න අතරේ.

“කාවින්ද, මේ හෙල්මට් එක මම ගලවන්නද?”

“ඇයි පිස්සුද? පොලිසියෙන් අල්ල ගනියි බෙල්ලෙන්ම.”

“මට මේ හෙල්මට් එක දාගෙන ඔයාට ලං වෙන්න බැහැනේ....”

මෙයාට පිස්සුද මන්දා....

“දිලිනි මේ වඳින්නම් හෙල්මට් එකනම් ගලවන්න එපා.”

මම මොනවා කිව්වත් එයා හෙල්මට් එක ගලවලා මගේ පිටට එයාගේ ඔළුව තියා ගත්තා. මේ කෙල්ල මොනවා කරනවද මන්දා.”

“කාවින්ද....”

“ඇයි....?

“අපි කොහේද යන්නේ කියන්නකෝ”

“ලයික් අයි සෙඩ් එර්ලියර්..... අයි හැව් නෝ අයිඩියා...”

“යූ ආර් සච් එ ලව්ලි ගයි කාවින්ද..... අයි රියලි ලයික් යුවර් ඇටිටියුඩ්...”

“වට්?”

“ද වේ යු බිහේව්.... ද වේ යූ ටේක් තින්ග්ස් ඊසි... එව්රිතින්ග් ඉස් සෝ ස්වීට්.... නෝ ගර්ල් කැන් ලූස් යූ වන්ස් ගෙට් ක්ලෝස් ටු යූ.”

“දිලිනි.... පිස්සු කියවන්නේ නැතුව ඉන්නවද? ඔයා මොනවා කියනවද කියල මට තේරෙන්නේ නැහැ....”

මම බයික් එක නුවර ක්ලොක් ටවර් එක ළඟින් උඩට හැරෙව්වා... ආයෙත් අස්ගිරිය පැත්තට.... ඊට පස්සේ මහයියාව පැත්තට.

“කාවින්ද... කොහේද මේ යන්නේ? ආයෙත් ආපු පැත්තට යන්නේ ඇයි.”

“ඔයා යන්න ඕනේ කිව්වේ පණ තියෙන කව්රුවත් නැති පාළු තැනකටනේ... දැන් සද්ද නැතුව ඉන්න.”

මම බයික් එක මහයියාව පාරට දාලා දකුණට හරවලා මහයියාව සෙමට්‍රි එක ළඟ නැවැත්තුවා.

දිලිනි බය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා.

“කාවින්ද.... කොහේද මේ යන්නේ...”

“ඇයි ඔයා කිව්වේ පණ ඇති දෙන්නෙකුට අපි දෙන්නා විතරක් ඉන්න කට්ට පාළු තැනකට යමු කියලා. ඉතින් මෙතන තමා තැන. මුරකාරයට හොරෙන් පැනගමු... ඊට පස්සේ අපිට කරදර කරන්න කවුරුවත් නෑ... පණ නැති අය විතරයි ඉන්නේ .... ඒ අයගෙන් කිසි කරදරයක් නෑ..... ප්‍රශ්ණ අහන්නෑ, කේලම් කියන්නෑ.... නෝ නතිං.”

“අනේ ඒ වුනාට සොහොනක ඉන්න බෑ ළමයෝ... ඔයා හරි නරකයි...”

“පිස්සුද හලෝ... මම ඔයාව බයිට් කරන්නයි මේ එක්කගෙන ආවේ. ඇයි ඉතින් ඔයා කියපු ඩිස්ක්‍රිප්ෂන් එකට හරියන එකම තැන මෙතන තමා.”

“හරි නරකයි... දැන් මාව කොහේ හරි ලස්සන තැනකට එක්ක යන්න...”

මම කරපු වැඩේට දිලිනිට නොනවත්වාම හිනා. මම බයික් එක කටුගස්තොට පැත්තට දැම්මා.

කිසිම අරමුනක් නැතුව  බයිසිකලේ දිගන පැත්තට දැම්මා. දිගටම කිලෝමීටර් ගාණක් යනකම් දිලිනි කතා කළේ නැහැ. දිලිනිගේ සල්ලි වලින්ම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා නිසා ප්‍රශ්ණයක් නැහැ.

අන්තිමට මම බයිසිකලේ දිගන පැත්තට හරවනකොට දිලිනි කතා කළා‍.

“කාවින්ද තාම අයිඩියා එකක් නැද්ද යනදිහා.”

“ම්හ්”

මම දිගන පහුකරලා තවත් ගියා.

දිගටම කිලෝමීටර් තිහක් විතර ගියාම මම නැවැත්තුවා‍‍.

“කාවින්ද මේ කොහේද?”

“මේ දිගට තව ටිකක් ගියාම ලස්සනම දෙයක් බලන්න පුළුවන්. ඒත් හතරට කලින් යන්න වෙනවා. ඒ නිසා යමු.”

“කියන්‍න කොහේද කියලා.”

“වික්ටෝරියා...”

“ඔයාට පිස්සුද කාවින්ද... තව කිලෝමීටර් තිහක් විතර තියෙනවා.‍ එච්චර දුර යන්න පුළුවන්ද?”

“දැන් ඔයා කිව්ව නේද මම එක්ක යන ඕනෙම තැනකට යනවා කියලා.”

“හරි හරි.... යමු.”

දිලිනි කතාවක් නැතුව පිටිපස්සෙන් නැගලා මාව අල්ලගත්තා.


මම ආයෙත් නවත්තන්න හිතන්නෙවත් නැතුව කෙලින්ම කිලෝමීටර් විස්සක් ඉවර කරලා වික්ටෝරියා වලට ආවා.

Wednesday, May 24, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 29


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


29.

මම එදා දිලිනිව හම්බ වෙන්න වෙලා ඉතුරු වෙලා තිබ්බ නිසා මම කොල්ලෝ සෙට් එකත් එක්කම නුවර ටවුන් එකට ගියා.

අපි ලේක් ෆ්‍රන්ට් එකට වෙලා තේකක් ඕඩර් කළා. සිගරට් ගේන්න මම පහල තියෙන කඩේකට ගියා. මම පඩිපෙල බහිනවත් එක්කම නොහිතපු විදිහට කොල්ලෝ පස් දෙනෙක් මාව වට කළා.

“උඹ චන්ඩියෙක් වෙලා කියලා ආරන්චියි. ඒත් එක්කම ඇඹලයෙකුත් වෙලා. අනුන්ගේ ගෑණුන්ට පැණි හලලා හොම්බ තලා ගන්න එපා යකෝ.”

“කව්ද යකෝ අනුන්ගේ ගෑණුන්ට පැණි හැලුවේ. අනිත් එක අයිතිකාරයෙක් ඉන්නවනම් ඌට ගෑණිව තියාගන්න බැරි එකට මම පළිද?”

“උඹේ කට වැඩී හරී.... උඹ දන්නවද අපි කව්ද කියලා?”

“උඹලා කව්රු වුනත් මට වැඩක් නෑ.. මම  බයත් නෑ. ඒක මතක තියා ගනින්.”

“අපි උඹට ආයේ කියන්නෑ, අර දිලිනි කියන කෙල්ල එක්ක තියෙන සම්බන්දේ අදම නවත්තපං. එක දවසක් හරි උඹල දෙන්න එකට ඉන්නවා දැක්කොත් අපි නරකයි කියන්න එපා.”

“මට කරන්න ඕනේ දේවල් කියන්න උඹ මගේ තාත්තද? මම කරන දේවල් නවත්තන උඹට බෑ. දැන් මට වද නොදී පලයං.”

“අපි ආවේ නිකං යන්න නෙවෙයි මෙන්න මෙහෙම කරලා යන්න”

ඒක කියනවත් එක්කම එකෙක් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. වට පිටාවේ මිනිස්සු ඉන්න නිසා මම ටිකක් ඉවසුවා.

එතකොටම අපේ සෙට් එක දුවගෙන ආවා.

“අඩෝ මේ මේ.. කව්ද ඩෝ මේ නුවර අපේ එකෙක්ට පාට් දාන්නේ.”

අමිල ඉස්සරහින්ම.

අපේ අනිත් එවුනුත් අට දෙනෙක් විතර උන්ව වට කරගත්තා.

“දැක්කනේ අපේ කට්ටිය වැඩී. නිකං ඉල්ලං කන්නේ නැතුව යන දේවාලෙක යනවා. දන්නවනේ...”

අමිලයා උගේ අත මිට මොලවලා පෙන්නුවා.

අපේ සෙට් එකේ අට දෙනෙක් ඉන්නවා දැක්කහම උන් ටිකක් පස්සට වුනා.

මගේ කොලර් එකෙන් අල්ලගෙන හිටපු එකාව මම තල්ලු කළා.

එතකොටම අමිල ඌට කණ පුරවලා එකක් දුන්නා.

“යකෝ ගහගන්න එපා.”

මම එහෙම කිව්වත් වැඩක් වුනේ නැහැ. අපේ එවුන් කරාටේ පන්තිය පටන් අරන් තිබුණා. මොන කරාටේද තනිකරම පොල් අඩි!

ඒත් එක්කම අපේ සපෝට් එකට එතන හිටපු තව කොල්ලෝ පස් දෙනෙකුත් ගේමට බැස්ස. මම හිතන්නේ උන් අජාගේ සෙට් එක.

උන් පස් දෙනෙක් තනි මට ගහන්න ආවට අන්තිමට උන්ට වුනේ දහතුන් දෙනෙකුගෙන් ගුටිකන්න.

මේ හිතපු නැති ඇටෑක් එක නිසා උන් පණ එපා කියලා දිව්වා.

ඒත් එක්කම සචියා අජාගේ සෙට් එකේ එකෙක්ගේ බෙල්ලෙන් අල්ලගෙන.

“සචියා අතෑරපං බං. උන් ආවේ අපේ ‍ෆිට් එකට.”

“නෑ කාවා. උන්ට අපිි එන්න කිව්වේ නෑනේ. උන් මොකද මෙතන කරන්නේ?”

“හරි හරි අතෑරපං බං.”

එත් එක්කම අජා දුවගෙන ආවා.

“අඩෝ අජා. අපි ඇග්‍රිමන්ට එකකට ආවා නේද උඹගේ සෙට් එක මේ ඒරියා එකේ බහින්නේ නෑ කියලා.”

සචියා වලියටම යනවා. ඌව නවත්තන්න බෑ.

“යකෝ සචියා. පොඩ්ඩක් පැත්තකට වෙයං බං.”

“උඹ පනින්නැතුව හිටපං කාවා. උඹේ ධර්මේ නිසා තමයි ගිය සැරෙත් නෝන්ඩි වුනේ.”

යකෝ මූව නවත්තන්න බෑනේ.

“මේ සචියා කියන එක අහපංකෝ, පොඩ්ඩක් කූල් වෙයං.”.

මම සචියව අල්ල ගත්තා. ඊට පස්සේ අපි අයෙත් උඩට ආවා.

“මොකක්ද බං සචියා කරන්නේ අජාගේ සෙට් එක ආවේ මගේ උදව්වට. මේ වෙලාවේ හතුරගෙන් හරි උදව් ඕනේ වෙලාවක් යකෝ මේක.”

“එහෙම වුනා කියලා බෑ බං. උන්ට කරේ නගින්න දුන්නොත් අපි පීචං වෙනවා. දන්නවනේ අජාගේ සෙට් එකේ හැටි.”

අමිලයත් කතාව පටන් ගත්තා.

“නෑ සචියා, කාවා කියන එක හරි. මේ වෙලාවේ පානි‍ව ෂේප් එකේ තියාගෙන මේ අළුත් ගේම් කාරයෝ මොක්කුද කියලා හොයන එක තමයි වෙන්න ඕනේ.”

“කව්ද කාවා උන්?”

“මං දන්නෑ බං. දිලිනි එකක් තියෙන සම්බන්දේ නවත්තන්නලු.”

“මම උඹට කිව්වා. ඔය පටන් ගත්තා විතරයි කාවා. දැන් දිගටම ආරක්ෂක පියවර ගන්න වෙනවා.”

ඒත් එක්කම අජා මගේ ළඟට ආවා.

“සොරි අජා. දන්නැද්ද අපේ උන්.”

“නෑ අවුලක් නෑ බං. ඒක නෙවෙයි උඹට අවුලක්ද?”

අජා කොහොමත් එදා ඉඳලම අපේ සෙට් එකත් එක්ක වලි දාගත්ත එකෙක්. නුවර මේ ඒරියා එකේ කොන්ට්‍රෝල් එක ගන්න උන් සෙට් එකයි අපියි සදාකාලිකවම හැප්පුනා.

“නෑ අජා. පරණ දේවල් මොනව වුනත් තෑන්ක්ස් හෙල්ප් එකට.”

“පරණ දෙවල් අමතක කරපං බං. මොනව වුනත් තරහකාරයෙක් වුනත් දන්න කියන කොල්ලෙකුට පිට එකෙක් ඇවිත් වලි දානකොට ඒ තරහා අපි අතෑරලා දානවා.”

“ඒක හොඳයි. එහෙමවත් උඹලගේ සෙට් එක ඔය මෙලෝ රහක් නැති වලි නවත්තගත්තොත් ලොකු දෙයක්.”
“ඒක හරි කාවා. උඹට මේ වගේ උදව්වක් ආයේ ඕනේ වුනත් කියපං. අපේ උන් ඇති එතන.”

“ඕකේ අජා.”

ඒකෙන් අන්තිමට වුනේ සදාකාලික තරහකාරයෝ සහ තරඟකාරයෝ වුන අපි දෙගොල්ල එකතු වුන එක.
“කාවා. අජා මොකද කියන්නේ.”

“මොකුත් නෑ බං.... මොනව වුනත් හොඳ එකා. ආයෙ අපිත් එක්ක වලියට එන්නේ නෑ කිව්වා. උදව්වක් ඕනේ නම් කියපං කිව්වා.”

“ඒකත් එහෙනම් ජය සිරි මංගලම් කිව්වලු.”

“මොකක්ද බං.”

“නෑ වෙනදා මාසෙකට සැරයක් දාගන්න සුපුරුදු වලිය නැතුව ඉන්න පුළුවන්.”

“ඒකෙන් වැඩක් නෑ බං. හොයන්න වෙනවා මුන් කව්ද කියලා. ගිහාන්ගේ යාළුවෝද නැත්නම් සල්ලි වලට ගත්ත උන්ද කියලා.”

“මම නම් හිතන්නේ කාවා උන් අරූගේ යාළුවෝ. මොකද කුලියට ගේම දෙන උන් ඔයිට වඩා ලෑස්ති වෙලා එන්නේ.”

“මටත් හිතෙනවා. කොහොම උනත් මුන් දැන් ගුටි කාගෙන ගිහානයා ළඟට ගියාම ආතල් තියෙයි.”

“කාවා දැන් වෙලාව දෙක හමාරයි. උඹ යනවද දිලිනි එන්න කියපු එකට.”

“නැතුව. දැන් වලි දාගෙන දූවිලි පෙරාගෙන මෙහෙම යන්න බෑ. මම ඉක්මනට ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇදුමකුත් දාගෙන යනවා.”


“ඕකනේ කිව්වේ බං. උඹ හරකා වගේ හිතුන එකම කරනවා. කොච්චර කිව්වත් අඩු ගාණේ ගුටි කෑවත් උඹව නවත්තන්න බෑ. පලයං ඕනේ මලදානෙක පලයං හැබැයි පරෙස්සමෙන් පුතෝ.”

Tuesday, May 23, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 28


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


28.

පහුවෙනිදා උදේ මම ගෙදර ඇවිත් කාමරේටම වෙලා හිටියා.

කොහෙවත් යන්න හිතක් නැහැ... මගේ මුළු හිතම පිරිලා... දිලිනිගේ සුවඳ තාමත් මට දැනෙනවා වගේ.

මම පැ‍ය දෙක තුනක් නිදා ගත්තා... ඇහැරිලා කල්පනා කළේම ඒ ගැන.

ඊයේ රෑ වුන දේ හිතාගන්නවත්  බැහැ. අපි දෙන්නා‍ ෂෝ එකට ගිය එක... ඊට පස්සේ රෑ වෙනකම් අර කැලේකට වෙලා හිටපු එක... ඊට පස්සේ දිලිනිව ඇරලවන්න ගිය එක... දිලිනි මාව එයාගේ කාමරේට අරන් ගිය විදිහ.... අනිතිමට දෙන්නා එකම ඇ‍ඳේ එකට ළං වෙලා නිදාගත්ත විදිහ... මේ හැම දෙයක්ම හීනයක් වගේ.....

මම කවදාවත් හිතපු නැති විදිහට, හිතපු නැති කෙනෙක් එක්ක ගත කරපු ඒ පැය කීපය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

එදා දිලිනි මට කෝල් කළා. මට එයාව බලන්න යන්න ආසාවක් ආවත් මම ඒක නොකිව්වේ අදත් එලියට ගිහින් පරක්කු වුනොත් අම්මගෙන් අනිවාර්යයෙන් බැනුම් අහන්න වෙන නිසා.

කම්මැලි කමෙන් දවස ගතවෙලා ගියා. මම වැඩිහරියක් කළේ නිදාගන්න එක.

ඊළඟ දවසේ උදේ මම නැගිට්ටේ ගෙදර හැමෝම ගියාට පස්සේ. උදේ කෑම කාල ඉවර වුනාම ආයෙත් හිතුනා දිලිනි ව බලන්න යන්න. මම ඒ ගැන හිත හිත ඉන්නකොටම ගෙදර බෙල් එක වැදුනා.

“දීප නැන්දේ බලන්න කව්ද කියලා.”

“බබාගේ යාළුවෙක් වෙන්න ඇති”

එතකොටම අපේ එවුන්ගේ සද්දේ මට ඇහුනා. ෂික් අම්මපා මුන් ටික මට එක දවසක්වත් නිදහසේ හීනයක් බලන්න ඉඩ දෙන්නෑනේ.

“අඩෝ කාවා... උඹ මොකද බං කරන්නේ ගෙදරට වෙලා..? එදා රෑ ගියා ගියාමයි උඹ ඉන්නවද මැරිලද කියලවත් නෑ”

සචියා කතාව පටන් ගත්තා.‍‍

“ඒකද උඹල අපත සෙට් එක වගේ උදේ පාන්දර මෙහෙට පාත් වුනේ.”

“නැතුව බං.... උඹ කෙල්ලෙකුත් එක්ක ආවා.. ඊට පස්සේ හොයාගන්නවත් නෑ. අපි හිතුවා බැඳලා හනිමුන් ගියා ගියලා...”

අමිලයත් පටන් ගත්තා.

ෂිහ් අම්මපා... මුන්ට තේරෙන්නේ නැති හැටි මම මොන තරම් සුන්දර ලෝකෙකද හිටියේ කියල උන් එන්න කලින්... මුන් එක්ක නම් අපායට ගියත් නිදහසේ ඉන්න බැරි වෙයි.

“ඇත්තද‍‍‍....  ඉතින් මොන මගුලටද උඹල මෙහේ ආවේ... බැදල කියල හිතුවනම් මට පාඩුවේ ඉන්න දීපංකෝ.”
“කාවා මේ උඹට ඇත්තටම මොකද බං වුනේ...?”

“මොකුත් නෑ අමිල. මේ දවස් ටිකේ අම්මගෙන් ලෙඩේ ගෙදර ඇත්තෙම නෑ කියලා. ඉතින් මම දවස් දෙක තුනක් ගෙදරට වෙලා හිටියා.”

දීප නැන්දා කට්ටියටම තේ ගෙනාවා. අනිත් උන් බිස්කට් කකා තේ බොද්දි සචියා මාව පැත්තකට කරගත්තා.‍
“කාවා... උඹ ඔය කරන වැඩේ නම් ලේසි පාසු වැඩක් නෙවෙයි.. පරිස්සම් නොවුනොත් උඹගේ විතරක් නෙවෙයි තව කී දෙනෙකුගේ කාඩ් කුඩු වෙයිද දන්නෑ.”

“මොකක්ද බං කියන්නේ... මොන වැඩේද?”

“යකෝ උඹ අර කෙල්ලෙක් අල්ලගෙන නඩන නාඩඟම.”

“මොන කෙල්ලෙක්ද බං... මං කරපු මගුලක් නෑ.”

“කාවා උඹ කාට බොරු කරත් මට බොරු කරන්න බෑ කියල මතක තියාගනින්. උඹ මිස් දිලිනි එක්ක රවුම් ගහනවා කියලා මම දැනගෙන හිටියා... එදා රෑ උඹ ෂෝ එකට ආවෙත් එයා එක්ක කියලා මම දන්නවා. උඹල දෙන්නා රෑ දොලහට විතර ටවුන් එකේ චාටර් වුනා... බොරුනම් කියපං.”

බලාගෙන යනකොට මූ ඔක්කොම දන්නවා වගේනේ. කව්රුහරි අපිව ෆලෝ කරනවාවත්ද.

“මොකද බං උගුඩුවා වගේ බලං ඉන්නේ... මම මේව දැනගත්තේ කොහොමද කියලද කල්පනා කරන්නේ?”
“සිරාවටම ඔව් බං..... මට සමාවෙයං සචියා.. මම මේක උඹට කිව්වේ නැත්තේ මගේ උවමනාවට නෙවෙයි. දිලිනිගේ උවමනාවට.”

“යකෝ උඹ දැන් නිකම්ම දිලිනි කියන තරමට වැඩේ දුර ගිහිල්ලා වගේ.”

මමත් කට වරද්ද ගත්තාද මන්දා.

“නෑ සචියා.. සිරාවටම මම කියන්නේ.”

“හරි... උඹල දෙන්නා දැන් සෙට් වෙලාද?”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ යකෝ උඹල ජෝඩු දාලා රෑ තිස්සේ රවුම් ගහන්නේ උඹල දැන් ලව් කරනවද?”

“පිස්සුද යකෝ....”‍

“එහෙනම් මොන මගුලක්ද බං උඹල කරන්නේ?”

“මෙහෙමයි බං. එයා කිව්වා එයාට ෂෝ එකට යන්න ඕනේ... යන්න කෙනෙක් නැති නිසා එක්ක යන්න පුළුවන්ද කියලා... ඉතින් මට බෑ කියන්න බෑනේ බං.”

“ඒක මාර කතාවක්නේ බං. කෙල්ලෙක් නිකං දන්න කොල්ලෙකුට ඔය වගේ දේකට කතා කරන්නේ නැහැනේ.”‍

“සිරාවටම කියන්නේ සචියා අපි අතර කිසිම ලව් එකක් තාම නැහැ.”

“හරි ඊට පස්සේ මොකද වුනේ.”

මම අමිලයයි, චතුරයි දිහා බැලුවා. උන් දෙන්නා මොලෝ චාරයක් නැතුව ටීවී එක දාගෙන හින්දු සින්දු අහනවා.

මට තවදුරටත් සචිත්‍රට කිසි දෙයක් හංගන්න ඕනේ වුනේ නැහැ. ඌ තමයි එකේ පන්තියේ ඉඳලම මගේ හොඳම යාළුවා. ඉස්කෝලේ හරි පිටදි හරි හොඳ වැඩක් කළත්.... මොකක් හරි මගෝඩි වැඩක් කලත් අපි දෙන්නා එකටම තමයි හිටියේ.. ඕනෙම ප්‍රශ්නෙකදි ඌ මාව බලාගත්තා මම ඌව බලාගත්තා‍‍. ඒ නිසා එදා රෑ වුන හැම දෙයක්ම මම සචියට කිව්වා.‍

කතාව අන්තිම හරියෙදි උගේ කට ඇරුණා. කතාව ඉවර වෙනකොටත් උගේ කට වැහිලා තිබුනේ නැහැ.

“මොකද යකෝ කට ඇරගෙන... බ්‍රේක් නැති මැස්සෙක්වත් ආවොත් බඩේ තමයි නතර වෙන්නේ.”

“නෑ කාවා මම කල්පනා කළේ බ්‍රේක් නැතිවෙලා තියෙන්නේ මැස්සට නෙවෙයි උඹට.”

“මොකක්ද බං ඒ හතර බීරි කතාව.”

“ඒක නෙවෙයි කාවා...  අපි දකින කෙල්ල මෙච්චර ලස්සනනම් උඹ දැක්ක කෙල්ල අම්බානක ලස්සන ඇති නේද?

“මොකක්ද යකෝ කියන්නේ....”

“කෙල්ල ඇඳුම් නැතුව අම්බානක ලස්සන ඇති නේද?”

“සචියා මම උඹට කියන්නෑ.... වලත්තයා... තොට මං ගහනවා ඊළඟ පාර නම්...”

මූ මුළු කතාවම අහගෙන ඉඳලා මේ ටික විතරද කොහෙද මතක තියෙන්නේ...

“මචං කාවා.‍‍‍‍‍.... තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට... උඹනම් අමු ගොනෙක්.. ඒකි උඹව ලස්සනට පාවිච්චි කරනවා... උඹත් රට හරකා වගේ මාට්ටු වෙනවා.”

“මොකක්?”

“ඇත්ත කියපං කාවා මට‍‍‍... එදා රෑ උඹල දෙන්න නිදාගත්තා විතරද? වෙන මොනවත් වුනේම නැද්ද?”
“නෑ බං... මම සිරාවටමයි කියන්නේ.”

“පුදුමයි... ඒකි උඹව අරන් ගිය තැන්වල හැටියට ඒක නොවුන එක ලොකු දෙයක්. නැත්නම් උඹට වෙන්නේ ඒක කරගහන්න.”

“පිස්සුද බං... දිලිනි ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි බං‍‍‍”

“උඹට විශ්වාසද?”

“ඔව් සචියා... මට එයාව විශ්වාසයි.”

“හරි මට එකක් කියපං... උඹ දිලිනිට ලව්ද?”

“මං හරියට දන්නෑ සචියා.‍ ඒත් මට මොකක්දෝ අමුතු හැඟිමක් දැනෙනවා. එයා ළඟ නැතිකොට පාළුවක් දැනෙනවා.”

“ඕක නම් ලෙඩක් බං... ඕකට කියන්නේ ආදරේ කියලා. පරෙස්සමෙන් පුතේ.... උඹ යන්න හදන්නේ සම්මතේට පයින් ගහලා ගමනක්... හරිගියොත් අවුලක් නෑ ඒත් වැරදුනොත් නම් උඹල දෙන්නගෙම කෑලිවත් හොයන්න වෙන්නෑ... එනිවේ උඹ ඒකිට ලව් නම් කෙලින්ම කියපං. උඹව ඒකිගේ ගෙදර  එක්ක ගිහිල්ලා එක ඇ‍ඳේ එකට නිදාගන්න තරම් පුළුවන් වුන කෙල්ල උඹට ලව් නෑ කියන ගොන් බූරු කතාවනම් කියන්න එපා.”

“සිරාවමට අපි අතරේ ලව් එකක් නෑ බං..”

“ඒ උඹනේ එහෙම කියන්නේ.. මම ඔට්ටු තියල කියන්නම් දිලිනි උඹට පපුව කඩාගෙන ලව්. කෙල්ලෙක් මචං, නිකං දන්න කියන කොල්ලෙක්ව තමන්ගේ ගෙදර තමන්ගේ කාමරයට අරන් ගිහිල්ලා එකට ලංවෙලා නිදාගන්නේ නැහැ. උන් එහෙම කරන්නේ තමන් සිරාවටම ලව් කරන කොල්ලට විතරයි. අන්ලෙස් ෂී ඉස් එ බිච්‍‍... ඉතින් දිලිනි කියන්නේ එහෙම කෙනෙක් නොවන නිසා මම කියන්නේ ඒකි උඹට ලව්.”

“උඹ සිරාවටම හිතනවද සචියා..”

“හිතන්න දෙයක් නෑ බං.. උඹට නොපෙනුනාට ඕන පොට්ටයෙකුට පේනවා ඒක.”

ඒත් එක්කම ෆෝන් එක රින්ග් වුනා.

“හෙලෝ....”‍

“කාවින්ද... එයාට කරදරයක් නැත්නම් මට උදව්වක් කරනවද?”

දිලිනිගේ කටහඬ එහා පැත්තෙන් ගලාගෙන ආවා.

“මොක්කද දිලිනි උදව්ව.”

“කාවින්ද දැන් ඔයා හරි හොඳයි... දැන් මට මිස් කියන්නේ නැහැ..”

“ඒකද උදව්ව..?”

 “නෑ අනේ.... මට පාළුයි... බැරිද මාව බලන්න එන්න...”

“ගෙදරටද?”

“නෑ අද මම එන්නම් කොහෙට හරි. ඔයාට එන්න පුළුවන්ද කියන්නකෝ? අනේ කරදරයක් නැත්නම් විතරයි”

“මම එන්නම් දිලිනි, බය වෙන්න එපා මට කරදරයක් නෑ.... අනිත් ඒක මේ දවස් වල ඒ ලෙවල් ඉවර වෙලා කරන්න දෙයක් නැතුව ගෙදර ඉන්න කාලෙනේ.”

“ඒක  තමයි කාවින්ද, මමත් මේ අහන්න හිටියේ... ඔයා මොනවත් කරන්නේ නැද්ද මේ කාලේ... කැම්පස් යන්න රිසල්ට් ඇවිල්ලා, ලකුණු ඇවිල්ලා.. තව සෑහෙන කාලයක් යයි. ඒ කාලේ නාස්ති කරන්න එපා කාවින්ද.”

“මොනවද දිලිනි කරන්නේ.... මට හිතාගන්න බැහැ..... අනිත් එක කැම්පස් සිලෙක්ට් වෙයි කියලනම් මට ෂුවර් නෑ... ආවත් මෙඩිසින් නම් යන්න එන්නේ නැහැ... ඒක ෂුවර්...”

“ඒක අමතක කරන්නකෝ... ඔයා හොඳට ලිව්වනම් එයි....  ඒ අතරේ මොකක් හරි කෝස් එකක් කරන්න... දැන් කාලේ ඩිග්රි තිබුණත්, අමතර එක සුදුසුකමක් හරි තියෙන එක වටිනවා.”

“දිලිනි.. මම ආසයි මැනේජ්මන්ට් පැත්ත හරි අයි ටී පැත්ත හරි කරන්න...”‍

“එහෙමනම් දැනට  ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් මාස හයක විතර අයි ටී කෝස් එකක්... ඒක කරලා දෙවෙනියට මැනේජ්මන්ට් එකක් කරන්න... මම ඔයාට එන්අයිබීඑම් සෙට් කරන්නම්... ඒ කාලෙ වෙනකොට.”

“දිලිනි, ක්ලාස් එකක් තියෙන්නේ.. අයිඩීඑම් එකේ තමයි.... මට තනියම යන්න කම්මැලියි... ‍ඔයත් එන්නකෝ...”

“කාවින්ද ඔයා යන්නේ ෆුල් ටයිම් එකකටනේ, වීක් ඩේස් වල... මම එන්නේ කොහොමද?”

“එහෙනම් මම වීක් එන්ඩ් එකක් තෝර ගන්නම්...”

“පිස්සුද ළමයෝ... වීක් එන්ඩ් ඒවා සෑහෙන කාලයක් යනවා ඉවර වෙන්න...”

“ඒකත් ඇත්ත...”

“ඉතින් ඔයා සචිත්‍ර එක්ක යන්න...”

“බලමු.”

දිලිනි කිව්ව දේ ඇත්ත තමයි. දැන් තියෙන විදිහට කැම්පස් යන්න තියෙන හැකියාව වැඩ උඩ. නිකම්ම ඉඳලා ඒකත් නැති වුනොත් අනාථ වෙනවා. ඊට වඩා හොඳයි කෝස් එකක් කරලා ටෙම්පරි හරි ජොබ් එකක් සෙට් කර ගන්න එක.

අනිත් එක මගේ අම්මයි තාත්තයි දෙන්නා ලොකු සල්ලි කාරයෝ නෙවෙයි. මාස් පඩි ගන්න දෙන්නෙක්... සාමාන්‍ය විදිහට කාල ඇඳල ඉන්න සල්ලි අපිට තිබුණට මොනවත්ම නොකර ඉඳලා කන්න බොන්න වියදම් කරන්න සල්ලි අපිට නෑ.

“කාවින්ද, ඔයා ඉස්කෝලේ ගිහිල්ල ඉවර වුනාට මල්ලි තාම යනවා. එයාටත් සෑහෙන වියදම් තියෙනවා. ඒ නිසා ඔයා හිතාගන්න මොනවා හරි කෝස් එකක් කරලා මාස හයකින් පොඩි ජොබ් එකක් හොයා ගන්න. ඒ අතරේ කැම්පස් සෙට් වුනොත් යන්න, නැත්නම් හොයාගත්ත ජොබ් එකම කරන ගමන් තව දුරටත් ඉගෙන ගන්න. එතකොට ඔයාගේ කාලේ නාස්ති නොවී පොඩි වයසින්ම කරන ෆිල්ඩ් එකේ හොඳට උඩට එන්න පුළුවන්..... නැත්නම් වෙන්නේ ඔයා ජොබ් එකක් කරලා ආයෙත් ඉගෙන ‍ගෙන තත්වෙකට එනකොට අවුරුදු තිහක්, තිස් පහක් විතර ගිහිල්ලා.. එතකොට පරක්කු වැඩී‍‍...”

දිලිනි කියන දේ මොනතරම් ඇත්තද...? ජීවිතේ සාර්ථක වෙන්නනම් පුළුවන් තරම් කාලය අඩුවෙන් නාස්ති කරලා වැඩියෙන් වැඩ කරන්න ඕනේ.

“තෑන්ක්ස් දිලිනි... ඔයාගේ ඇඩ්වයිස් වලින් මගේ මොලේ පෑදුනා... මම ලබන සතියෙම ඒක පටන් ගන්නවා.”

“ඒක හොඳයි කාවින්ද... ඔයා පුළුවන් තරම් දැන් අම්මගෙයි තාත්තගෙයි බර අඩු කරන්න... එතකොට ඒ දෙන්න මල්ලිට උගන්වන්න වියදම වැඩි කරයි. එතකොට එයාටත් හොඳ තැනකට එන්න පුළුවන්.”

බලාගෙන ගියාම කෙල්ල පුදුම විදිහට ජීවිතේ ප්ලෑන් කරන්න දන්නවා. ලයාංගි, දිනිති වගේ ජීවිතේ සැහැල්ලුවෙන් අරගෙන ඉන්න කෙල්ලෙකුට වඩා දිලිනි වගේ කෙනෙකුගේ වටිනාකම වැඩී.

“එහෙනම් දිලිනි මම කීයටද එන්න ඕනේ?”

“දැන්ම ආවත් මම කැමතියි...”

“උදේම නම් බෑ.. එකට විතර එන්නම්”

“හරි එහෙනම් නුවරට එන්න....”

“දිලිනි ඔයා ටවුන් එකට එන්න එපා. පොලිස් ග්‍රවුන්ඩ් එක ළග ඉන්න. මම එන්නම්.”

කෝල් එක ඉවර වෙනවත් එක්කම සචියා කතා කළා.‍

“මම කිව්වේ‍‍... දිලිනි නේද?”

“ඔව් බං... හවස හම්බවෙන්න එන්නලු‍‍.”

“උඹ යනවද?”

“නැතුව බෑ‍ බං. කෙල්ල මේ දවස් වල ලොකු ප්‍රශ්නෙක ඉන්නේ... මම ගියේ නැත්තං තවත් අප්සෙට් ගහයි.”

“උඹට නම් කොහොම උපදෙස් දුන්නත් වැඩක් නෑ බං... කොහෙද මද කිපිච්ච අලිය වගේ උඹ අපි කියන කිසිම දෙයක් අහන්නේ නෑනේ..... අපි කට කැඩෙනකම් කිව්වත් උඹ කරන්නේ උඹට ඕනේ දේ විතරනේ.”

“උඹ දැන් මට මොකක්ද කරන්න කියන්නේ?”

“යකෝ, දිලිනි කියන්නේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්, උඹට වඩා වයසින් වැඩියි... අනිත් එක ඒකි බඳින්න කොල්ලෙක් ඉන්නවා...”

“ඉතින් මට මොකෝ බං... ඔය එකක්වත් මට අදාල නැහැ... අපි දෙන්නා අතරේ ඒ වගේ සම්බන්ධයක් නෑ...”

“මචං කාවා.. මට නම් බෑ පුතේ උඹත් එක්ක කතා කරන්න... යකෝ.... බත් කන හරකෝ.... ඒ කෙල්ල තොට ලව්.... ඒකේ දෙකක් නෑ.. උඹ අමු පොට්ටයෙක් වගේ හැසිරුණාට මම බෙට් කරල කියන්නම්, දිලිනි උඹට අම්බානක ලව්... තෝ ගස් ගෙම්බා වගේ.... මෝඩ හරකා.... මේ කරන දෙයින් එක්කෝ උඹ ගුටිකනවා, නැත්නම් ඒකි වහ බොනවා....”

“ මගුලක් කියන්න එපා බං...”

“කාවා... අපි යාළුවෝ විදිහට උඹ මොනවා කළත් උඹත් එක්ක ඉන්නවා... ඒකෙ ප්‍රශ්ණයක් නෑ... ඒත් හොඳට හිතල බලල වැඩ කරපං... සමහර විට උඹේ හිතේ ලව් එකක් නැති වෙන්න ඇති. ඒත් මම කියන්නේ ඒකි උඹට සිරාවටම ලව්.... ඒක මචං අහන්න දෙයක් නෑ... උඹලා දෙන්නා අතරේ එදා සිද්ධ ‍වුන දේවල් බලපුවහම මම ඒක බය නැතුව කියනවා. මචං මම ඉස්සෙල්ල කිව්ව වගේ කෙල්ලෙක්  , නිකං තමන් අඳුරන කොල්ලෙක් එක්ක ඔය තරම් ලං වෙන්නේ නැහැ.... අනිත් එක රෑ තිස්සේ බය නැතුව, ඒ කෙල්ලගෙම රූම් එකට එක්කගෙන ගිහිල්ලා රෑ එලිවෙනකම් ගතකරන්නේ නැහැ. මචං කෙල්ලෙක් එහෙම කරන්නේ සිරාවටම බොක්කට වැදුන කොල්ලෙකුට විතරයි... ඒ නිසයි මම කියන්නේ දිලිනි උඹට ආදරේ කරනවා කියලා. කෙල්ලෙක් ලව් කරන්න පටන් ගත්තහම වෙන කිසිම දෙයක් බාධාවක් කරගන්නෑ. වයස, සමාජ තත්වේ, දෙමව්පියන්ගේ කැමැත්ත, ඔය කිසිම දෙයක් උන්ට වැඩක් නැහැ. උඹ බලපං තව ටික දවසකින් දිලිනි උඹට ආදරේ කියල කියයි. එන්න එදාට දෙන්න උත්තරයක් දැන්ම ලෑස්ති කරගනෙ හිටපං‍.”

“මට තේරෙන්නෑ සචියා, මට වෙලාවකට හිතෙනවා මට දිලිනි වගේ කෙල්ලෙක් හිටියනම් හොඳයි කියලා. හැම දෙයක් ගැනම හොඳට හිතනවා, ඉන්ටෙලිජන්ට්, ලස්සනයි.... කොල්ලෙකුට හිතාගන්න බැරි තරම් ලස්සනයි... ඒ වගේ කෙල්ලෙක් ජීවිතේට ලං කරගන්න තියෙනවනම් ඇත්තටම හොඳයි කියලා වෙලාවකට හිතෙනවා..... ඒත් අපි දෙන්නගේ වයස, සොසයිටි එක ගැන හිතුවහම ලොකු නොගැලපීමක් තියෙනවා.”

“කාවා.... මම උඹට එකක් කියන්නම්, දිලිනි ලස්සනයි, හොඳයි, ඒත් උඹට හොඳටම ගැලපෙනවා කියන්න බෑ. එකක් වයස, අනිත් එක එයාගැන උඹගේ අම්ම තාත්තා දන්නවා.... එයාව බඳින්න කොල්ලෙකුත් ඉන්නවා... ඒ නිසා නොගැලපීම් වැඩී... උඹට ලයාංගි හරි දිනි හරි ඉන්නවා... උඹට උන් දෙන්නම ගෙඩි පිටින් ලව්... උඹට ලව් කරන්නම ඕනේ නම් ඒ දෙන්නගෙන් කෙනෙක් තෝරගනින්. මේ අහක යන කුණු ගොඩක් කරේ දාගෙන දුක් විඳින්න හදන්නේ නැතුව.”

“දිලිනි කියන්නේ මට අහක යන කුණු ගොඩක් නෙවෙයි බං. අනික කෙල්ලෙක් ප්‍රශ්ණයකදි උදව්වක් ඉල්ලුවහම බෑ කියන්න තරම් මම සෙල්ෆිෂ් නෑ.... මට එහෙම බලාගෙන ඉන්න බෑ... ඒ නිසා බෙල්ල කඩල ගියත් මගෙන් උදව් ඉල්ලපු කෙනෙකුට මම උදව් කරනවා.”

“උඹ කැමති දෙයක් කරපං කාවා... ඒත් පරෙස්සමෙන්.... දිලිනි කියන්නේ දිනි හරි ලයාංගි වගේ කෙල්ලෙක් නෙවෙයි.... උන් ගෙදර වැඩිහිටියෝ දකියි, දැනගනියි කියලා බයක් තියෙනවා. ඒත් දිලිනි මිස්ට එහෙම ප්‍රශ්ණ නෑ. උඹලා දෙන්නා ඔය විදිහට තැන තැන ගිහිල්ලා මොනව වෙයිද කියල කව්රුත් දන්නෑ. අන්තිමට උඹට ඒකිව අතාරින්න බැරි විදිහේ දෙයක් වුනාට පස්සේ උඹට චොයිස් එකක් නැති වෙනවා. ඊට කලින් තීරණයක් ගනිං.”

“උඹ කියන්නේ අපි දෙන්නා සීමාවෙන් පිට යයි කියලද?”

“මචං, කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකතු වුනාම වෙන්න පුළුවන් දේවල් උඹ දන්නවනේ... එදා රෑත් උඹ මොනතරම් කිසිදෙයක් වුනේ නෑ කිව්වත් මට ෂුවර් නෑ. එයා උඹේ කෙල්ල නොවෙන එකවත්, උඹට වඩා වයසින් වැඩි වුන එකවත් ඒ වෙලාවට අදාල වෙන්නේ නැහැ. ඒ නිසා පරෙස්සමින්... මොකද මේක උඹල දෙන්නගෙම ජීවිතේ...”

“සචියා... මට ඇත්ත කියපං... අපි දෙන්නා ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තොත් මොනව වෙයිද?”

“මොනව වෙන්නද බං... මම ගෙඩි පිටින්ම කියන්නද?”

“කියපංකෝ.”

“මුලින්ම දිලිනිගේ අම්මා, තාත්තා උඹට ගේම ඉල්ලයි... ඊලඟට අර එයාව බඳින්න එන එකා... උගෙන් නම් ගැලවීමක් නැතිවෙයි උඹට මේ සම්මජ්ජාතියට.... ඊට පස්සේ උඹලෑ අම්මයි තාත්තයි මුලින්ම කරන්නේ අපේ වීසා කැන්සල් කරන එක උඹලෑ ගෙදර එන්න. ඊට පස්සේ උඹට‍ දෙයි පෝරියල් එකක් ඇඩ්‍රස් නැති වෙන්න. මොන අම්මද බං කැමති තමන්ගේ පුතා, එයාට වඩා වැඩිමල් කෙල්ලෙක්ව බඳිනවට? ඊට පස්සේ දිලිනිටත් හම්බවෙයි කෙලින්ම හිරේ දැම්ම වගේ ඉන්න... උඹල දෙන්නට ලව් කරන්න වෙන්නේ හීනෙන් තමයි. ඔය වෝනින් ඔක්කොම උඹ අහක දැම්මොත්.‍‍.. මම දන්නවා උඹ එහෙම කරන බව මොකද උඹට යමක් කියල තේරුම් කරන්න බෑනේ.... හරකෙක් වගේ තමන් හිතා ගත්ත එකම ෆලෝ කරනවනේ..... එහෙම වුනොත් උන්ගේ ගෙදර උන් උඹව නැති කරලම දාන්න ට්‍රයි කරයි.”

“අන්න එහෙම වුනොත් තමයි මචං තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගන්නේ. මොකද ඔතනදි උඹගේ තාත්තා ඕකට ගෑවෙනවා. දිලිනිගේ තාත්තට සල්ලි වලින් හයිය තියෙනවා. ඕනෙම අන්ඩ වර්ල්ඩ් ගේම් එකක් දෙන්න උන්ට සල්ලි තියෙනවා. සමහර විට උඹව සීන් එකෙන් අයින් කරලා දාන්නම ට්‍රයි කරයි. අන්න එතනදි ගහට ගහක් සෙට් වෙයි. මොකද උඹේ තාත්තා ට සල්ලි නැති වුනාට ඩැනී අංකල් වගේ පණ දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මෑන් සීන් එකට එන්ටර් වුනාම කී දෙනෙකුට සුදු කොඩි ‍දාන්න වෙයිද කියලා නම් කියන්න අමාරුයි. මතක තියාගනින් කාවා... උඹ හැප්පෙන්නේ උඹට වඩා ගොඩක් බර තියෙන එවුන් එක්ක.. මේක මිලියන ගාණක ඩීල් එකක්... උඹ හිතන්න එපා උන් ඒ වගේ දෙයක් නිකම්ම උඹට යන්න ඇරලා බලාගෙන ඉඳි කියලා.”

“යකෝ. ලව් කරන එක ඔච්චර සීන් එකක්ද?”

“නෑ ලව් කරන එක එච්චඑ සීන් එකක් නෙවෙයි, ඒත් උඹයි දිලිනියි ලව් කරන එක එහෙම තමයි. මොකද ඔය කෙල්ලව බඳින්න එන එකා නිකං එන්නේ නැහැ. ඌ දන්නවා කෙල්ලට මිලියන ගාණක දේපල තියෙනවා කියලා. කෙල්ලගේ තාත්තගේ තියෙන බිස්නස් වල වටිනාකම මිනී දෙක තුනක් වුනත් මරලා ගන්න තරම් වටිනවා. දෙමව්පියන් අකමැත්තෙන් උඹල දෙන්නා බැන්දත් දිලිනි එකම දරුවා නිසා ඌ දන්නවා කවදාහරි ඔය දේපල උඹට අයිති වෙනවා කියලා... උඹ හිතනවද ඌ ඔය වගේ දෙයක් නිකං යන්න දෙයි කියලා.”

“සල්ලි තියෙන බව ඇත්ත. ඒත් ඔය කියන තරම් බිස්නස් මොනවද බං?”

“උඹ බබා. උඹ දන්නෑ. දිලිනි උඹට කියලවත් නැද්ද?”

“නෑ බං. අනිත් එක උඹ කොහොමද දන්නේ?”

“මචං මම උඹ ගැන කියනකොට එරංග අයියා දවසක් මට ඔය ගැන කිව්වා.

“මං ඌට නම් බය නෑ බං. උඹල මගේ ළඟ ඉන්නකම් මම බය නෑ. අනිත් එක මේ පැත්තේ ඕනේ එකෙක් මට ෆිට්.”

“ඕව සුරංගනා කතා කාවා. අපි මොනවා වුනත් උඹව දාලා යන්නේ නැති බව ඇත්ත. ඒත් මචං අපි මෙච්චර කාලෙකට සෙට් වෙලා තියෙන්නේ නිකං සූටිං වලි වල‍ට. මේක එහෙම වෙන එකක් නෑ.... ඌ මචං නිකං බස් හෝල්ට් ගාණේ ගහගන්න යන එකක් නැහැ. අනිවා කුලියට සෙට් එකක් බස්සයි... උඹ හිතනවද මේක ලේසි වෙයි කියල.”

“මම බය නෑ බං ඔය එකෙකුටවත්. උඹ දන්නවනේ මම සද්ද බද්ද නැති පොරක් හැබැයි කවුරු හරි සද්ද දාගෙන එනවනම් ඒක අන්ඩවර්ල්ඩ් ද කියන එක මට අදාල නෑ. සද්දේ නවත්තන විදිහ මම දන්නවා.”

“ඔන්න ඕකනේ කියන්නේ උඹට යමක් කිව්වට තේරෙන්නේ නැහැ කියලා.”

“හරි හරි මොනව වෙන්නත් අපි දෙන්න යාළු වෙන්න එපැයි. එහෙම නොවුනොත් ප්‍රශ්ණයක් නෑනේ”

“මටත් මචං බෝධි පූජාවක්වත් තියන්න හිතෙනවා මේක හරියන්න එපා කියලා... සිරාවටම යකෝ...”

“උඹට ඕනේ මගුලක් කර ගනින්...”

“කාවා...... පරිස්සමින්...”

 උන් යන්න පිටත් වෙද්දි සචියා කිව්වා.

“සචියා... මුන් ගියාට පස්සේ වරෙන් ආපහු....”

“උඹ දැන් යනවා නේද?”

“ඔව් බං... උඹයි අමිලයි අද රෑ මෙහේ ඉන්න වරෙන්..”

“හරි”

උන්ටික ගියා. මොනවා වුනත් උන් ඉන්න නිසා බයක් නෑ.. මොන කුණු වලියට සෙට් වුනත් ඇයි කියල අහන්නේ නැතුව උනුත් සෙට්වෙන එක ලොකු හයියක්. ඒත් සචියා කිව්ව විදිහට මේ සම්භන්දේ ගැන තවත් හිතන්න ඕනේ. අදම දිලිනි ට කතා කරලා දෙකෙන් එකක් ඉවර කරගන්න ඕනේ. නැත්නම් මේක තේරුමක් නැති වෙනවා.


සචියා කිව්ව එක මේ තරම් ඉක්මනට ඇත්ත වෙයි කියලා මම හිතුවේ නැහැ.