Thursday, December 07, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 109



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි





109.

දවස් කීපයක් මම ගෙදරට වෙලා අම්මා හදලා දෙන දේවල් කකා හිටියා. නෑදෑ ගෙවල් කීපයක ගියා.

අපි ලංකාවට ඇවිල්ලා දෙවෙනි දවසේ දිලිනි තාත්තත් එක්ක මැලේසියාවට ගියා බිස්නස් වැඩ වගයකට. මේ වෙනකනුත් එයා ආපහු ඇවිල්ලා තිබුණේ නැහැ.

ඒ අතරේ මමයි සචියයි ආයෙත් ගරාජ් ඇඳුම දාගෙන, පැත්තකට දාලා තිබුණ මගේ ජීප් එකට පොඩි අළුත්වැඩියාවක් කරලා ගත්තා.

“නියමයි කාවා. මේක දැන් කළින් වගේම තියෙනවා. ඒත් වැඩක් නෑ බං... උඹ ආපහු ගියාම මේක අයෙත් දිරනවා.”

“නෑ... මේ සැරේ මම මේක උඹට තියාගන්නම දීලා යනවා. පරිස්සමින් පාවිච්චි කරපං මම එනකං...”

“උඹට පිස්සුද යකෝ... මෙච්චර වටින එකක් නිකංම මට දෙන්නේ...?”

“ඇයි බං... උඹ මගේ යාළුවා නෙවෙයිද....? එක් නෙවෙයි බං... අද හවස යමුද ටවුන් එක පැත්තේ... පරණ පුරුදු පොට් එකේ ටිකක් සෙට් වෙලා.... දන්නැද්ද.... මොනව හරි කරලා, අපර් ලේක් පැත්තේ ගිහින්... රෑ වෙලා එමු.”

“අන්න අදහස.... හිටපං... මම අනිත් උන්ටත් කියන්නම්......” සචියා ෆෝන් එකත් අරන් පැත්තකට ගියා.

දිලිනි නම් මට ආපහු ටවුන් එකේ ගැවසෙන එක තහනම් කරලා තිබුණේ... ඒත් මම ඒක එච්චර හිතුවේ නැහැ. අනිත් එක ගිහාන් මෙච්චර කාලයක් ගිහින් මාගේ පස්සේ එන එකක් නෑ.

හවස හතරට විතර මමයි සචියයි නුවරට ගිහින් අපේ පුරුදු තැනට ආවා. අපි යනකොට අමිල අනිත් උන් ඔක්කොම එක්ක ඇවිත්.

“යකෝ... තාම උඹලා මෙතන වල බහිනවද?” මම ඇහුවා.

“දැන් ඉස්සර වගේ නෑ බං... හැම එකාම මොනව හරි වැඩක්.... සතියකට දවසක් නම් සෙට් වෙනවා.” අමිල කිව්වා.

“ඒක නෙවෙයි කාවා... පහුගිය දවස් වල ගිහානයා මෙහේ කැරකුනා. මටත් පොඩි පාට් එකක් දැම්මා. උඹ ගියේ ඌට බයේලු.. අපිටත් පරෙස්සම් වෙලා ඉන්නලු.” අමිල කිව්වා.

“ඉතින් උඹ මොකද කිව්වේ?”

“මම ඌට කිව්වා........ අපි ගැරඬි මරලා පව් පුරවගන්නේ නෑ කියලා.”

“නෑ... උඹ සිරාවටම එහෙම කිව්වද?”

“ඕව් බං... මට මල පැන්නා. කොහොමත් ඌට අම්බානක මල ඇති... ඇයි උඹ කෙල්ලවත් අරන් පැන්නා කියලා ඌ දන්නවනේ... අනික ඌ පොඩි කාලේ ඉඳලා බලාපොරොත්තු තියාගෙන හිටපු කෙල්ලව උඹ අවුරුදු දෙකක් ඇතුලත අරන් පැන්නාම අප්සෙට් නැද්ද?”

“එක අතකට ඌ පව් බං.... ඒත් මොනව කරන්නද කෙල්ල ඌට කැමති නැත්නම්...” අමිල කිව්වා.

“හොඳ කෙල්ලෙක් ඌට කැමති වෙයිද බං... ඌ ගොනා වගේ හිතන්නේ සල්ලි තිබුණොත් ලෝකේ ඕනෙම කෙල්ලෙක් කැමති වෙනවා කියලා. හරකා වගේ කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.” මම කිව්වා.

****************************

දවස් දෙකකට පස්සේ දිලිනි ලංකාවට ආවා....

එයා මුලින්ම කළේ මට කෝල් කරන එක.

“කොහොමද කාවින්ද.... අනේ සොරි මම කෝල් නොකරට.... හොඳටම වැඩ වැඩි වුනා.”

“ප්‍රශ්ණයක් නෑ සුදූ... ඔයා හොඳන් නේ... ඒ ඇති.”

“ඔයා කාවදද මාව බලන්න එන්නේ කාවින්ද?”

“අද...”

අපි දෙන්නා නුවරදි හම්බ නොවී, පේරාදෙනියේ මල් වත්තේ හම්බවෙන්න කල්පනා කළා. එතනදි අඳුරන කෙනෙක් දකින්න තියෙන ඉඩ අඩුයි.

ඒත් සචියා නම් කැමති වුනේ නෑ මම උන් කවුරුත් නැතුව යනවට.

“උඹ තනියම යන්න එපා කාවා. ගිහානයා දන්නවා උඹ ඇවිල්ලා ඉන්නේ කියලා.”

“ඌ දන්නෑ බං අපි පේරාදෙනියේ යනවා කියලා.“

“කියන්න බෑ බං..... නේද අමිලයා....”

“ඔව් කාවා... අපිත් එන්නම් උඹත් එක්ක....”

“යකෝ, මම යන්නේ ටිකක් ඒ කෙල්ල එක්ක නිදහසේ ඉන්න... ලව් කරන්න... උඹලා ඇවිත් මොනව කරන්නද?”

“අපි උඹට කරදර නොකර පැත්තකට වලා හොරෙන් උඹලා දිහා බලාගෙන ඉන්නම්.”

“මොකක්... අපි දිහා හොරෙන් බලා ගෙන ඉන්න.. යකෝ තොට ලැජ්ජා නැද්ද.... ලව් කරන දිහා හොරෙන් බලාගෙන ඉන්න...”

“ඒ වුනාට අපි අහක බලාගෙන ඉඳලා අරූගේ මොකෙක් හරි ඇවිත් උඹට නෙළුවොත්...”

“මගුල් කතා කරන්න එපා බං.... ඌ එන්නෑ.....”

එදා අපි දෙන්නා පැය දෙක තුනක් හිටියා... ඒත් කිසිම කෙනෙක් ආවේ නෑ කරදර කරන්න. ඒත් අමිලයි සචියයි දෙන්නත් ඇතුලට ඇවිත් ඇතුල්වෙන හරියේ හිටියා මගේ ආරක්ෂාවට.

දන්නෙම නැති විදිහට ලංකාවේ සති දෙකක් ගතවුනා.

ඊළඟ ඉරිදා උදේ මම දිලිනිව හම්බවුනා....අපර් ලේක් වලදි....

එදත් පුරුදු විදිහට සචියා, අමිල, දිලිප්, පැණියා හතර දෙනාම වැව රවුමේ බංකුවකට වෙලා හිටියා.

අපි දෙන්නා කතා කර කර ඉන්නකොට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට ආපු වාහනේකින් ගිහාන් බැස්සා. තවත් තුන් දෙනෙක් එක්ක....

“අනේ කාවින්ද... මෙයා අපිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනේ..... මෙයා කොහොමද දැනගත්තේ අපි මෙතන ඉන්නවා කියලා.”

“බය වෙන්න එපා  සුදූ... මම බලාගන්නම්.....”

“අනේ කාවින්ද රණ්වුවට යන්න එපා....”  දිලිනි එහෙම කියනකොටම ගිහාන් ආවා.

“තාරුකා..... නැගපං වාහනේට...”

“දිලිනි මගේ අත අල්ලගෙන හෙල්ලෙන්නෙවත් නැතුව හිටියා.”

“මම එක පාරක් කිව්වා... උඹ තාත්තට පොරොන්දු වුනා නේද මූත් එක්ක තියෙන සම්බන්දේ නතර කරනවා කියලා... එනවා යන්න...”

ගිහාන් අවිත් දිලිනිගේ අතින් ඇල්ලන්න හැදුවා.

ඒත් එක්කම මම ගිහාන් ගේ අතට ගැහුවා.

“කාවින්ද මේක උඹේ වැඩක් නෙවෙයි... කන්නේ නැතුව පැත්තකට වෙලා හිටපං... මම දවස් ගාණක් බලාගෙන හිටියේ මේකි යන එන තැන්.”

“ගිහාන් මේ... උඹට මෙයාව ගෙනියන්න තියෙන අයිතිය මොකක්ද? උඹ එයාගේ තාත්තද, නැත්නම් මිනිහද?”

“තාම නෑ... ඒත් මෙයාගේ තාත්තා මට පොරොන්දු වෙලා තියෙන්නේ.....”

“ගිහාන්....” දිලිනි පලවෙනි වතාවට කතා කළා.

“මම එදත් කිව්වා, අදත් කියනවා... ඔයාට මාව අයිති නෑ... කවදාවත් වෙන්නෙත් නෑ.... මාව අයිති කාවින්දට... ඒ නිසා කරුණාකරලා යන්න..”

ඒක ඇහුන ගමන් ගිහාන් ටිකක් පස්සට වුනා.

“මූට උඹව අයිති කරගන්න මම දෙන්නෑ.... උඹ අයිති මට.... මම මරාගෙන මැරෙනවා....”

“පුළුවන් දෙයක් කරන්න ගිහාන්... මම එන්නෑ...... අනික පුළුවන් නම් තාත්තිට ගිහාන් කියන්න... මම බය නෑ..”

“මෙහේ වරෙන් කට වහගෙන...” ගිහාන් දිලිනිගේ අතින් ඇද්දා.

මගේ ඉවසීමේ රතු කට්ට පැන්නේ ඒත් එක්කම.

මම කෙලින්ම ගිහාන්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තා ඌට හුස්ම ගන්න බැරි වෙන්නම. එතකොටම ඌත් එක්ක ආපු අනිත් තුන් දෙනා අපිව වට කළා.

මේ වෙලාවට තමයි වැස්සට වගේ වුනත් කරාටේ ක්ලාස් ගිහින් ඉගෙනගත්ත දේවල් ඕනේ වෙන්නේ.... තුන් දෙනෙකුට තනියම ගහනවා කියන්නේ ලේසි නෑ.. වටපිටාවේ යන වාහනයක් ඇරෙන්න කිසිම කෙනෙක් නෑ... අර යාළුවෝ කියන පිස්සෝ ටික වැව පැත්තේ මාළු අල්ලනවද දන්නෑ මගේ ආරක්ෂාවට ඇවිත්.

තත්පරයකටත් අඩු කාලයකදී ගිහාන් එක්ක ආපු උන් අපිව වට කළා. මම ගිහාන් ගේ බෙල්ල තවත් තද කරලා ඌව කාණුවට තල්ලු කළා. ඒත් එක්කම වට කරපු එකෙකුට තවත් හොඳ පාරක් දුන්නා...

තවත් තත්පර ගාණකදි මම දැක්කා ගිහාන් ආයෙත් නැගිටලා එනවා. ඒ පාර ඌ ආවේ පොල්ලකුත් අතින් අරගෙන.

එතකොටම අපේ උන් සෙට් එක දුවගෙන ඇවිත් අරුන් තුන් දෙනාට වට කරගෙන ගහන්න පටන් ගත්තා.

මගේ දිහාවට ආපු ගිහාන් පොල්ලක් අරන් මට ගැහුවා. නැමිලා ඒ පාර වලක්වන ගමන් මම ගිහාන්ගේ අතට තද පාරක් දුන්නා. පාරේ සැර කමට පොල්ල පැත්තකට විසිවුනා. මට ඕනේ වුනේ එච්චරයි... තව දුරටත් මම ඉවසන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ... ගිහාන්ගේ මූණ පුරවලා මගේ අතින් දෙකකුයි, අන්තිමට රවුන්ඩ් කික් එකකුයි වදිනකොට ඌ නහයෙන් කටින් ලේ දාගෙන ආයෙත් කාණුවටම වැටුනා.

මම බලනකොට අපේ උන් අරුන් දුන් දෙනාට දුවන්නවත් බරි වෙන්න වට කරගෙන ගහනවා. උන්ගේ අත්වල තිබුණ කිතුල් පොළු වලින් උන්ටම වැදුනා. තුන් දෙනාගෙම ලේ ගලනවා...

“කාවා... දිලිනි නගින්න....” ජීප් එක ස්ටාට් කරගත්ත සචියා කෑ ගැහුවා. අරුන් ඔළුව උස්සන්නත් කළින් අපි හය දෙනා ජීප් එකට නැගලා එතනින් පැන ගත්තා.

අපි කෙළීන්ම ආවේ එරංග අයියගේ ගෙස්ට් හවුස් එකට.

මේ වෙනකම්ම දිලිනි වචනයක්වත් කතා කළේ නෑ.

අනිත් උන් වාහනෙන් බැස්සත් අපි දෙන්නා බැස්සේ නෑ.

ඒත් එක්කම දිලිනි මාව බදා ගත්තා.

“මට සමා වෙන්න කාවින්ද.....”

“ඇයි...?”

“වෙනද වගේ මම රණ්ඩුව නැවැත්තුවේ නෑ.... මට ඕනේ වුනේ ගිහාන් අදවත් පාඩමක් ඉගෙන ගන්න... ඒ නිසයි ඔයාටයි යාළුවන්ටයි ගහන්න දීලා මම බලාගෙන හිටියේ......  ඒත් මම එහෙම කරන්න හොඳ නෑ..”

“ඒක ලොකු දෙයක්... හැමදාම ඌ නැටුවේ අපි දෙන්නම ඉවසපු නිසා.. අදින් පස්සේ ඌ දැනගනී මම කව්ද කියලා. හැබැයි එකක්... අපේ රහස ආයෙත් එළි වෙනවා.. ඔයාගේ තාත්තා දැන ගනී අපි ගැන.”

“ඒක මම බලාගන්නම් කාවින්ද.... හැමදාම අපිට මෙහෙම හැංගෙන්න බෑ... බැරිම වුනොත් මමත් එන්නම් ඔයත් එක්ක මොන්ටානා යන්න... අපි මැරි කරමු...”

“හෝව් හෝව් මැඩම්.... ඔය පොඩි රණ්ඩුවට ඔච්චර බය වුනාද... දැන් ඔයාම නේද කිය කිය හිටියේ ඔයා මාව මැරි කරන්නේ හැමෝගෙම කැමැත්ත ඇතුව කියලා.”

“හොඳ පොඩි රණ්ඩුව.... අර කවුරුහරි මැරුණද දන්නෙත් නෑ... ඔයාලත් ගහන්න ගියාම පුදුම විදිහටනේ ගහන්නේ...”

එතකොටම සචියා ඇතුලට එබුනා.

“එහෙම තමයි මැඩම් ... අපි වැඩක් කරොත් තව දවසකට ඉතුරු කරන්නේ නෑ.... මෙච්චර කාලයක් ඉවසුවේ මැඩම් නිසා... කාවා ට නැගිටගන්න බැරුව හොස්පිට්ල් ඉන්නකොට, අපේ අත් වෙවුලුවා මූට නෙලන්න... ඒත් මැඩම් නිසා ඉවසුවා... අදනම් රිටර්න් එක දුන්නා ආයෙත් මදි නොකියන්න... ඇත්තම කියනවනම් ඌ රිටර්න් එක ඉල්ලගෙන කෑවා.” සචියා කිව්වා.

“දැන් අපි මොකද කරන්නේ කාවින්ද?” ඒ දිලිනි.

“මොනවත් කරන්න ඕනේ නෑ... අපි මෙතන ටිකක් ඉඳලා ගෙවල් වලට යමු... ඔයාට ගෙදර යන්න බයද?”

“නෑ කාවින්ද... මම යන්නම්...”

“ඔයා මොකුත් දන්නෑ වගේ ඉන්න... එච්චරයි...”

එතකොටම එරංග අයියා දුවගෙන ආවා.

“මොකද කාවින්ද මල්ලි... ආයෙත් වලියක්ද... අපේ එකා අවේ මූන ඉදිමිලා...”

“වලියක්නම් තමයි අයියේ... ගිහාන් ආයෙත් අපිට ගහන්න සෙට් වුනානේ... අපේ උන් දුන්නා ඇති වෙන්න.”

“මම නම් දන්නෑ උඹලා කරන දේවල්.... අන්න අර රූම් එකකට ගිහින් වොෂ් එකක් දාගනින්.. බලපං හැටි... මිණි මරලා වගේ....”

මම බලනකොට අපේ උන් කාමරයකට ගිහින්.

මම දිලිනිවත් ඇදගෙන උඩ තට්ටුවේ කාමරයකට ආවා.

“මට ලැජ්ජයි කාවින්ද... ඔයාගේ යාළුවොත් ඉන්නවා.....”

“හරි හරි..... අපි වොෂ් එකක් දාගන්නනේ ආවේ.... අනික උන් දන්නවා අපි සිංගප්පූරුවේ පොල් ගෑවෙ නෑ කියලා.”

“අයියෝ... ඔයා ඒකත් කිව්වද... මට නම් ලැජ්ජාවේ බෑ....”

“මම කියන්න ඕනේ නෑ... උන් දන්නවා.. ඒක නෙවෙයි... අපි......” මම එහෙම කියලා දිලිනිව මගේ ළඟට ඇදලා ගත්තා.

“යනවා යන්න..... ඔය බැල්ම නම් මට දිරවන්නේ නෑ.... මහ වල් පෙනුමක් තියෙන්නේ මූණේ.”

“ඇයි මොකද.... ළඟට එන්න බැරිද...” මම දිලිනිව තවත් ලං කර ගත්තා.

“එපා... මම කෑගහනවා ඔන්න...... අපෝ මෙයා නම් හරිම වල් වෙලා.... යනවා යන්න.... අපි බඳිනකම්ම ආයෙත් නම් බෑ....”

“එහෙනම් අපි අදම බඳිමු සුදූ... මට දැන් ඉඳලා ඇතිවෙලා....”

“මොකද ඔච්චර හදිස්සිය.... කොල්ලට ඉවසන්නම බැරිද?”

“බෑ සුදූ... ඔයා ළඟ ඉන්නකොට මට අරක කරන්නමයි හිතෙන්නේ...”

“මොකක්ද...?”

“එන්නකෝ ළඟට කියන්න... හයියෙන් කියන්න බෑ...” මම කිව්වා.

දිලිනි කන ලං කළා.

මම එයාගේ කනට කරලා කතා කළා.

“ඊයා...... මෙයා නම්....” මම කියපු එක අහලා දිලිනි කාමරේ අනිත් කොනට දිව්වා.

“මොකද ඔච්චර ලැජ්ජා... ඒ වෙලාවටනම් හොඳයි.... දැන්....”

“ඒ වුනාට ඒවා ඔහොම කියන්නේ නෑ අනේ.... ලැජ්ජාවේ පන යනවා....”

දිලිනි ඇත්තටම ලැජ්ජාවෙන් රතු වෙලා.

0 comments:

Post a Comment