Wednesday, August 04, 2010

~ ප්‍රථම ආදරය ~ (15)

කතාව ලියන්න කලින් පමාවට හේතුව කියන්න හිතුනා.

මාසයකටත් වැඩි කාලයක් මේ කතාව ලියන්න මග හැරුනා. ඇත්තටම මගේ ජීවිතේ ට බලපාන වැදගත් තීරණයක් ගත්ත නිසා මට ගොඩක් වැඩ තිබුණා කරගන්න. මගේ රැකියාව වෙනස් වුනා. සේල්ස් ටාගට් වැඩි වුනා. මාසයක ටාගට් එක 3000000 වුනා. මුළු මාසයක්ම වගේ දින 27 එක දිගට උදේ 8 ඉඳල රාත්‍රී 8 වෙනකම්ම වැඩ. තවත් හේතුවක් තමයි බිරිඳ පළමුවන දරු ප්‍රසූතියට සූදානම් වීම.

ඉතින් කරුණාවෙන් මට සමාව දෙන්න. අද ඉඳලා මම සතියකට වරක් හෝ දෙවරක් ලියනවා.

 

 

දැන් කතාවට……….

මම වෙනද වගේම ක්ලාස් වලට ගියා, ප්‍රැක්ටිස් වලට ගියා, කොල්ලොත් එක්ක පිස්සු නැටුවා, ඒත් මගේ ඒ දවස් වල ජීවිතේ ‍ලොකු අඩුවක් දැනුනා.

ඒ තමයි වෙනද වගේ දිනි ව දකින්න, කතා කරන්න නැතිවීම. මම සෑහෙන කාලෙක ඉඳල පුරුදු වෙලා තිබුණේ හැම සෙනසුරාදා සහ ඉරිද දවසකම දිනිව හම්බloveවෙලා කතා කරන එක. එයා‍ මොනම හේතුවක් නිසා හරි ආවෙ නැත්නම් මම යනවා එයාව බලන්න, මම ගියේ නැත්නම් එයා එනවා මාව බලන්න. ඉතින් අපි කවදාවත්ම මේ තරම් කාලයක් නොදැක ඉඳලා නැහැ. ඒත් මම මේ තරම් කාලයක් ගිහිල්ලත් එයාව බලන්න නොගිය නිසා මට හිතුනා මොන  දෙයක් වුනත් අදනම් එයාව බලන්න යනවා කියල.

එදා ඉරිද දවසක්,මම තීරණය කළා ක්ලාස් නොගිහින් දිනිව බලන්න යන්න. මම සචිත්‍රව හම්බවුනේ උදේ 10 ට විතර.

“අද මොකද උඹ කරන්නේ, ක්ලාස් යන්නෙත් නැතුව ඇයි මට එන්න කිව්වේ”

“පොඩි සීන් එකක් තියෙනවා බං”

“ඒ මොකක්ද?”

“උඹ අද මාත් එක්ක දිනි ව බලන්න යන්න එන්න ඕනෙ”

“මොකක්, උඹට පිස්සුද?”

“පිස්සු නෑ බං, මට එයාව බලන්න ඕනෙ”

“ආයෙත් කූල් වෙලා තියෙන එක අවුල් කරන්න ද යන්නේ, ඒ කෙල්ලට ඉන්න දීපං”

“මම යන්නේ බලන්න විතරයි”

“බලන්න යනවා කියන්නේ ආයෙත් ඒ කෙල්ලගේ හිත පෑරෙන එකයි, පැත්තකට වෙලා හිටපං බං කෙල්ලව අවුල් කරන්නේ නැතුව, ඒකි හිත හදාගනියි”

“උඹ මේ මගුලක් කතා කරනවා, මම යන්නේ ලව් කරන්‍න නෙවෙයි, වෙනද හැමදාම මාව බලන්න එන කෙල්ල මාසයක් විතර නොඇවිත් හිටියහම මට තවත් ඉන්න බැරි නිසා”

“උඹ පලයං, මටනම් බෑ නිකං ටිංකිරි කන්න”

“අන්න අන්න උඹ මගේ හොඳම යාළුවා නේද, මම කවදාවත් උඹේ වැඩ වලට බෑ කියල තියෙනවද?”

“මගේ වැඩ උඹේ වගේ නාගන්න ඒව නෙවෙයිනේ”

“උඹ එනවද කියපං”

“එන්නං ඉතින්. උඹ වගේ පාප මිත්‍රයෝ යාළුවෝ වුනාම වෙන මොනව කරන්නද?”

අපි දෙන්නා දිනි‍ව බලන්න යන්න හිතුවත් මගේ හිතේ පොඩි බයක් තිබුනා මොනව වෙයිද කියල, දිනිට මම ආදරේ නැහැ කිව්ව නිසා එයා මොනව හිතාගෙන ඉන්නවද කියල මට සැකයි. සමහර විට මට කතා නොකර ඉන්නත් ඉඩ තියෙනව. ඒත් මොනව වුනත් ගිහිල්ලම බලනවා කියලා හිතාගත්තා. මොනව හරි වුනොත් සචියා ඉන්නවනේ. කන පරිප්පුවක් බෙදාගෙන කන්න පුළුවන් නිසා ටිකක් බය අඩුවුනා.

අපි යනකොට දිනිගේ අම්මා මිදුලේ හිටියා

“ආ මේ දෙන්නට සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ”

ආන්ටිට මොනවත් දැනගන්න ලැබිලා නැහැ වගේ

“අනේ නැහැ ආන්ටි, පහුගිය ටිකේම ප්‍රැක්ටිස් නිසා හැරෙන්නවත් වෙලාවක් තිබුනේ නැහැ”

“ඒකට කමක් නැහැ අදවත් ආවනේ”

“කෝ ආන්ටි දිනි, ක්ල්ස් ගියාද?”

“ආ එයා මේ ටිකේ ගෙදර නැහැ, පාඩම් කරන්න කියලා යාළුවෙකුගේ ගෙදර නැවතිලා ඉන්නවා. අදනම් මම හිතන්නේ දෙන්නම ක්ලාස් යන දවසනේ‍. ඇයි කාවින්ද පුතාට කිව්වේ නැද්ද?”

“මම කොහොම දැනගන්නද ආන්ටි, ප්‍රැක්ටිස් නිසා ක්ලාස් යන්නවත් බැරිවුනානේ”

මම යන්තම් වචන එකතු කරගත්තත් මගේ හිත කලබල වෙලා. මේ කෙල්ල ක්ලාස් නොයන එක අම්මගෙන් හංගන්න යාළුවෙකුගේ ගෙදර නැවතිලා, අම්ම හිතාගෙන ඉන්නේ ක්ලාස් ගිහිල්ල කියල. මොනව කරන්න යනවද දන්නේ නැහැ

“ආන්ටි අපි ආවෙ දිනිව බලන්නත් එක්ක, එයා ඉන්නේ කොහේද? අපිට යන ගමන් බලාගෙන ම යන්න පුළුවන්”

සචින්ත මාව හිරවුන බව දැනිල වෙන්න ඇති පොඩි තල්ලුවක් දුන්නා.

“එයා ඉන්නෙනම් යාළුවෙකුගේ ගෙදර ඒත් ඔයාල යන එකනම් මම හිතන්නේ හොඳ මඳි වගේ පුතේ. මම දන්නවා වුනාට ඔය දෙන්නා ගැන ඒ අය මොනවා හිතයිද දන්නේ නැහැ නේ”

වැඩේ හරියන්නේ නැහැ වගේ, දිනි ආන්ටිට එයා ඉන්න තැන කියන්න එපා කියල වගේ, නැත්නම් ආන්ටි විස්තර දැනගෙන එයාව පිට තැනක නවත්තලද? ඒත් අපිට කතා කරන විදිහෙන්නම් එහෙම දෙයක් පේන්නේ නැහැ.

අපි දෙන්නා‍ දැන් ආව නිසා ආන්ටි එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳල පැය බාගෙකින් විතර එන්න පිටත් වුනා.

ටවුන් එකට ඇවිල්ලා සුපුරුදු තැන බයික් එක නවත්තලා සිගරට් එකකුත් පත්තු කරගත්තා

“මචං සචියා, කෙල්ල කොහෙද යන්න ඇත්තේ?”

“මටනම් නෝ අයිඩියා, කෙල්ල සීන් එක සිරාවටම අරගෙන වගේ බං”

“හ්ම්, මටනම් හෙන අප්සෙට් බං, මේ කෙල්ල මෙච්චර සිරාවටම ලව් කරනවා කියල මම හිතුවේ නැහැ බං”

“කාවා මට ඇත්ත කියපං, උඹ දිනිට ආදරේ නැද්ද?”

“මම ඒ කෙල්ලට ආදරෛයි කියලා තේරුණේ මේ දවස් කීපයේදී තමයි බං, ඒත් මොකක් හරි හිතාගන්න බැරි හේතුවක් නිසා ඒ ආදරේ නොකියා ඉන්න මට හිතෙනවා. දැන් ඒකට කාලය නෙවෙයි කියල මට වෙලාවකට හිතෙනවා”

“උඹේ මේ වල්බූත අදහස් නිසා තමයි හැම මගුලක්ම, ඒ‍ කෙල්ල උඹට ආදරේ නම් උඹත් ආදරේ නම්, මොන මගුලකටද තවත් ඉන්නේ, ටිකක් කල් ගියාම උඹලගේ දෙමව්පියෝ වුනත් අකමැති වෙන එකක් නැහැ බං”

“ඒකනම් ඇත්ත. අකමැති වුනත් කැමති තරගන්න විදිහ මං දන්නවා, ඒත් දැන්ම ඉඳලා ලව් කරන එක නම් අම්මා දැනගත්තොත් මේ තියෙන නිදහසට සොරිම තමයි”

“මං දන්නේ නෑ උඹට ඕනෙ එකක් කරපං. උදව්වක් තියේනම් කරන්නම්”

මම එදා ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න කියල පොත් අරගත්තත් කල්පනා වුනේ දිනි ගැන. කෙල්ලෙක් නිසා මුළු රෑයක්ම නිදි නැතුව හිටිය ජීවිතේ පලවෙනි දවස එදා තමයි.

පහුවෙනිදා මම ඉස්කෝලෙ ගියත් ප්‍රැක්ටිස් වලට ගියේ නැහැ. කිසිම දෙයක් කරන්න හිතක් නැහැ.

මුළු සතියම ගතවුනේ ඒ විදිහට. ඉස්කෝලෙ ප්‍රැක්ටිස් එන්නේ නැහැ කියල මට ප්‍රින්සිපල් කතා කරල ඇහුවා ඇයි කියල. ඒත් මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ. මගේ ඇගට හොඳ නැහැ කියල මම ෂේප් වුනා

ඊළග සතියේ ඉරිදා උදේ මම කෙලින්ම ගියේ සචිත්‍රගේ ගෙදර.

“මචං අද උඹ ක්ලාස් යනවද?”

“ඔව් ඇයි?”

“නෑ මම අද දිනිව හොයාගන්න යනවා”

“කොහේ යන්නද?”

“මොනව හරි කරල එයා ඉන්න තැන දැනගන්න ඕනේ”

“ ඊට පස්සේ”

“මං තීරණයක් ගත්තා සචියා”