Thursday, July 05, 2012

ප්‍රථම ප්‍රේමය 18



එදා ගණන් හදන එක කෙසේ වෙතත් අපි දෙන්නා ටීචර් ගැන වත ගොත නම් ටිකක් හොයා ගත්තා. මේ වගේ සිද්ධීන් කිපයක් නිසා අපි දෙන්නා හිතා ගත්තා ටිකකට හරි අනිත් වැඩ නවත්තලා යන්තම් විභාගේ පාස්වෙන ගාණටවත් එන්න ටිකක් පාඩම් කරන්න. කැම්පස් යන්න නම් ලොකු අදහසක් තිබුණෙ නැතත් විභාගේ නම් අනිවාර්්‍යෙයන්ම ගොඩ දාගන්න ඕන කම අපිට තිබ්බා. සතියකට පැය කීපයක් හරි පාඩම් කරන්නත් පන්ති ගිහිල්ලා පිස්සු කෙලින්නේ නැතුව මොනවා හරි දෙයක් ඔළුවට දාගන්නත් හිතුවා
 දිනිත්, ලයාංගිත් තාවකාලිකව හරි මගේ ජීවිතෙන් ටිකකට අයින් වුනා වගේ මට දැනුනා.

මාස දෙක තුනක් මේ විදිහට ගලාගෙන ගියා. ඒත් හදිසියේම මගේ ජීවිතේ තවත් විශේෂ වෙනසක් සිදුවෙන්න ඔන්න මෙන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ.

-------------------------------------------------------------------

මම ගිය එක ක්ලාස් එකක් තිබුණේ නුවර බහිරව කන්දට යන පාරේ ගෙදරක.
ඒක ගෘප් ක්ලාස් එකක්. ඇත්තටම හිටියේ හතර දෙනෙක් විතරයි. ඒ කාලෙ වෙනකොට මම බයික් එකේ යන ගමන් අතැහැරලා දාලා හිටියේ ආර්ථිකය හොඳ නැති නිසා.

මම හැමදාම නුවර මාකට් එක ළඟ බස් එකෙන් බැහැලා ඔරලෝසු කණුව ළඟින් කන්ද නැගලා කිලෝමීටර් දෙකක් විතර පයින්ම තමයි පන්තියට යන්නේ.

මේ විදිහට ඉරිදාවක මම පන්ති යන්න කියලා නුවරට ආවා. කරුමෙට සචියා ආවෙත් නැහැ. මම බහිරව කන්ද පාරට හැරෙනකොටම දැක්කා මට ටිකක් ඉස්සරහින් ලස්සන කෙල්ලෙක් යනවා. ලස්සනයි කිව්වට දැක්කේ පිටි පස්සෙන් විතරයි. ලස්සන ඇඟක්, හරියම නිකං කොකා කෝලා බෝතලේම තමයි. අපේ භාෂාවෙන් කියනවනම් පට්ටම ඇඟක්. ඩෙනිම ජීන්ස් ඇඳලා, ටයිට් ටී එක්ක දාලා හිටිය කෙල්ල දිහා බලන්න මට හිතුනා. ඉතින් මමත් ටිකක් වේගෙ වැඩි කළා. ඉස්සරහට ගිහිල්ලා බලන්න හිතාගෙන.

මම යන්තම් එයාව පාස් කර ගත්ත. බැලුවා හැරිලා.

හත්තිලව්වයි කිව්වලු.

දිලිනි ටීචර්

දැන් මොකද කරන්නේ.

ෂිහ් සචියාවත් නෑනේ මේ වෙලාවේ.

හිටියානම් නෝන්ඩිය ඌට පාස් කරලා ෂේප් වෙන්න තිබ්බා. කෑවයින් කෑවේ නැහැ මේ වගේ පරිප්පුවක්.
මගේ කටට වචන එන්නේ නෑ. මොනවා කියන්නද? එයා නැවතිලා හිනා වේගන බලාගෙන් ඉන්නවා. මොනවා කියලා කියන්නද කියලවත් හිතා ගන්න බැරි වුනා.

මම යන්තම් මිස් කියලා කියා ගත්තා

"ආ කොහෙද කාවින්ද මේ යන්නේ."

"මම මේ මිස් ක්ලාස් එකකට යනවා."

"මේ පැත්තේ?"

"ඔව් මිස් ශලනිගේ ගෙදර"

"ඒක හොඳයි මටත් පාලු නැතුව යන්න පුළුවන්."

"ම්ස් කොහෙද ඒ පැත්තේ යන්නේ?"

"ඇයි ළමයෝ මම ඉන්නෙත් ඒ කිට්ටුවනේ."

මල කෙලියයි. මම ඒක දන්නවනම් මේ පැත්ත පලාතක එන්නේ නැහැ. මෙයත් එක්ක මේ මහ දවාලේ පාරේ කතා කර කර ඉන්නවා අපේ සෙට් එකේ එකෙක් දැක්කොත් ඉඳලා ඉවරයි. දැන් ඉතින් මොකද කරන්නේ. මෙයත් ගාණක් නැතුව මගේ ළඟින් එනවා.

"ඔයා කොහෙද මිස් මේ වෙලාවේ ගියේ"

මම මොනවා හරි කතා කරන්න ඕන නිසා ඇහුවා

"මම ඉරිදට බියුටි කල්චර් ක්ලාස් එකකට යනවා YMCA එකේ."

'මිස් හැමදාමත් පයින්ද යන්නේ?"

"ඇයි කාවින්ද හිතුවද මම ඔයා හිටපු නිසා ඔයත් එක්ක යන්න ඕන නිසා පයින් යනවා කියල."

මෙන්න යකෝ ඒ පාර මේකි මාව කන්ඩෙම්න් කරනවා. 

මොන මගුලකටද මම මේ කතා අහන්නේ.

"නෑ මිස් මම හිතුවේ මිස් මෙච්චර දුර පයින් යන එකක් නෑ කියලා හිතලා. අනික මාත් එක්ක යන්න ඕන නම් වුනත් කිව්වනම් මම ටුක් ටුක් එකක් අරගෙන ඔයත් එක්ක යනවා. පව් මං නිසා අව්වේ කරවෙනවා."

මමත් ඇදලා ඇරියා.

"මම හිතුවා කාවින්ද මාත් එක්ක යන්න කැමති ඇති කියලා.  ලස්සන කෙල්ලෙක් එක්ක අනිත් අයට පේන්න පාරේ යන්න කව්ද අකමැති."

යකෝ මේකි එන්නේ ඇඟටමනේ.

"මිස් මටනම් කෙල්ලෝ ඇලජික්"

"අනේ මම දන්නේ නැහැනේ ඒක. මොකක්ද හේතුව ඔයා ගේ ද?"

අම්ම ගහයි කිව්වලු, මේකිත් යකෝ අහන ඒවා.

"එහෙම එකක් නම් නැහැ මිස්, ඒත් මම කැමති නැහැ තව කෙනෙක් නිසා මගේ ජීවිතේ අවුල් කර ගන්න."

"ඒ කියන්නේ ඔයාට කව්රු හරි කෙල්ලෙක් හොඳ බූට් එකක් තියලාද?"

"බූට් එකක් තියන්න මට කෙල්ලෙක් ඉඳල තියෙන්න ඕනෙනේ. මම කලිනුත් කිව්වා වගේ මට කෙල්ලෝ ඇලජික් නිසා ඒ වගේ දෙයක් වෙලා නැහැ."

 "අනේ පව්"

ඒ සැරේ මෙයා මට පව් කියනවා.

"පව් කියන්නේ ඇයි. කෙල්ලෙක් නැති එක කොච්චර හොඳද? මම දැකලා තියෙනවනේ කෙල්ලො යාළු වෙලා ඉන්න කොල්ලො කන කට්ට."

"ඔයා එක්ක ඕව කතා කරන මමයි මෝඩයා. අපි මේ කතාව නවත්තමුද කාවින්ද?"

"ඒක හොඳයි මිස්"

මම කොහොමහරි එයාට දිනන්න දුනේනේ නැහැ

කතාවෙන් කතාවෙන් අපි ශලනි මිස්ලගේ ගෙදරටත් ආවා.

"මිස් මම එහෙනම් යන්නම්"

"හොඳයි, වෙලාවක් තිබුනොත් අපේ ගෙදරත් එන්න, වෙන කෙල්ලෝ නැහැ මම විතරයි ඉන්නේ."

මෙන්න යකෝ මේකි මට ගෙදර එන්න කියනවා.

මාව සම්පූර්ණයෙන්ම බයිට් කරලා දාන්න වගේ ලෑස්තිය. බලමුකෝ මේ කාවින්දට ඒවා ඔට්ටු නැහැ කියලා මෙයා දන්නේ නැහැ. ලස්සනම ලස්සන කෙල්ලෝ දෙන්නෙක්ම මට ගෙඩි පිටින් ආදරේ කරලත් වට්ටන්න බැරි වුන කාවින්ද මේ වගේ ඉස්කෝල ටීචර් කෙනෙකුට යටවෙයි හීනෙන්.

"හොඳයි මිස්. වෙලාවක් තිබුනොත් බලමුකෝ."

පස්සේ බලා ගමුකෝ. මම හිත යටින් කිව්වා.

තව ටිකක් වෙලා මම එයා යන දිහා බලාගෙන හිටියා. ඩෙනිම ඇන්දම ඇඟේ ෂේප් එක නියමෙට කැපිලා පේනවා. ඇත්තටම කෙල්ල ලස්සනයි.

සෙක්සි නම්බර් එකක්.

මට කියවුනා. මෙයා මේ මොකටද එන්න හදන්නේ. ඉස්කෝලෙ මගේ ගුරුවරියෙක් වෙලා මේ වගේ කතා කරන්න පුළුවන්ද?

පහුවෙනිදා මේ ප්‍රශ්ණ වලට උත්තර කෙසේ වෙතත් මට කාඩ් එකක් නම් වැදිලා තිබුණා.

මම ඉස්කෝලෙට යනකොටම කොල්ලෝ ටික කෑ ගහන්න පටන් ගත්තා.

"උඹට කෙල්ලෝ කීයක් ඉන්නවද දැන්..... ඇඹලයා, අඩෝ....."

අමියා කෑ ගහන්න පටන් ගත්තා.

"මොන මගුලක් ගැනද බං කියවන්නේ."

"ඔහොම යනකොට මගුලක් නොවුනත් ඒ කෙල්ලෙක්ගේ තාත්තෙකුට අහුවුනොත් මගුලක් නම් කරලා දෙයි."

"ජීවිතේ ගොඩනේ. කමක් නෑ බං ලොකු දෑවැද්දක් එක්කනේ."

මම වැඩේ විහිලුවෙන්ම ෂේප් කරගන්න බැලුවා.

"උඹ අද කිව්වේ නැත්තං එයත් නැතුව මෙයත් නොවෙන ඒ තර්ඩ් පාටි එක කව්ද කියලා මම මුළු සීන් එකම මුන්ට නෝන්ඩි කරනවා."

ඒ පාර මේ බූරු සචියත් පටන් අරන්

මම ඉක්මනට ඌව පැත්තකට කර ගත්තා

"මචං සිරාවටම කියපං මොකක් ගැනද මේ කියන්නේ කියලා"

"කව්ද ඒ? යකෝ උඹ ඊයෙ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන බහිරව කන්දට බඩගානවා අමියා දැකලා."

යකෝ මුන්ට ගහන්න රොයිටර් එකටවත් බැහැනේ.

"ඇත්ත කියපං"

"මොකුත් නෑ බං මුන්ට පිස්සු."

මම ෂේප් වෙලා ගියා.

---------------------------------------

ඔය විදිහට ඒ පාසල් වාරයත් ගෙවිල යන්න කිට්ටු වුනා.

එදත් වෙනද වගේම අපේ එවුන් ටික වලකට සෙට් වෙලා.

"අඩෝ කාවා නිවාඩු දෙන දවසේ සෙට් වෙමුද?"

ඔන්න ඉතින් නිවාඩුව ආවා විතරයි මූ වල බහින්න හදනවා.

"බෑ බං සචියා, මීට් එකත් ළඟයි, ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ, ක්ලාස් යන්නත් ඕනේ, ජිම් එකට ටිකක් යන්නත් ඕනේ. මේ දවස් ටිකට ඇඟත් ජොල් වෙලා බං."

"අඩෝ බලු කතා කියන්න එපා බං, පොඩි ෂොට් එකක් දාමු."

යකෝ හැදෙන එකෙකුට ඇදෙන්නවත් දෙන්නේ නැහැනේ මුං.

"සල්ලිත් නැහැනේ බලමු බං"

"උඹ සෙට් වුනොත් නම් අපේ අයියා ස්පොන්සර් කරයි."

"ඇයි යකෝ උඹනේ මල්ලි."

"මල්ලි වුනාට ඌට මට වඩා උඹව ෂුවර් බං"

"ආ එහෙනම් ඒකයි මේ සත්ව කරුණාව. නැත්තං යාළු කමටවත් ආදරේටවත් නෙවෙයි."

"ආදරේට බොන්න කතා කරනවද බං"

"හරි එන්නම් හැබැයි ගිය සැරේ වගේ මම පිස්සු කෙලිනවට කැමතිද?"

"උඹ තාම සික් එකේද ඉන්නේ?
මගේ අම්මේ එහෙමනම් ඕන නැහැ. ඒ කාපු කට්ට මතක් වෙනකොටත් ඇඟ සීතල වෙනවා දැන්."

එදා බීම කෙසේ වෙතත් වෙන දෙයක් නම් වුනා.

එරන්දිකා මාව හොයාගෙන ආවා,  අපි නුවර ඉන්නවනම් ඉන්නේ කොහෙද කියලා දිනිගේ යාළුවෝ හොඳට දන්නාව.

"යකෝ අන්න ආයෙත් ලෙඩක් වගේ."

සචියා කිව්වා

එරන්දිකා මාව දැකලා හිනා වුනා. මමත් හෙමිහිට ඒ පැත්තට ගියා.

"ඇයි එරන්දිකා?"

"අයියේ ඔයාට දිනිගෙන් ලියුමක් තියෙනවා."

"තව දෙයක් අයියේ....'

"ඔව් නංගි මොකක්ද?"

"දිනි ඔයාගෙන් ඈත් වෙන්න හැදුවට එයා ඒක කරන්නේ හිතට එකඟව නෙවෙයි. එයා මගේ හොඳම යාළුවා නිසා මම දන්නවා එයාට ඒක කොහෙත්ම කරන්න බැහැ. ඉතින් අයියේ ඔයා ඇත්තටම වෙන කෙනෙකුට ආදරේ කරන්නේ නැත්නම් ඔය දෙන්නගෙම ජීවිත වාසනාවන්ත කරන්න පුළුවන් ඔය දෙන්නම එකතු වුන දවසට තමයි."

"මම දන්නවා එරන්දි...."

"එහෙනම් ඇයි ඔයා නොදන්නවා වගේ ඉඳලා ඒ කෙල්ලට දුක් දෙන්නේ. ඒ කෙල්ල නොමැරී මැරෙනවා ඔයාව අමතක කරන්න ට්‍රයි කරලා."

"ඒකත් මම දන්නවා."

"ඇයි එහෙනම් ඔයා එහෙම කරන්නේ, හැම එකම දන්නවානම්?"

"ඒකනම් මමවත් දන්නේ නැහැ නංගි"

"ඒකත් එහෙමද, මම එහෙනම් යනවා අයියේ, ඒත් එක දෙයක් මතක තියා ගන්න දිනි කියන්නේ ලක්ෂ ගාණකින් හොයා ගන්න බැරි කෙල්ලෙක්."

"තෑන්ක්ස් නංගා"

"වෙල්කම්"

මම ලියුම අරගෙන ආවා. සචියා මාව කන්න වගේ බලාගෙන ඉන්නවා.

"ඇයි යකෝ මගේ මූනේ පෙරහැර යනවද?"


"නෑ පෙරහර යනවනම් ෂේප්. ඒත් උඹ කරන වැඩ වලින් උඹ විතරක් නෙවෙයි අපි සෙට් එකම කෙල්ලන්ගෙන් ගුටි කනවා."

"මොකක්ද බං ඒ කුණු හරපේ තේරුම"

"නෑ මොකුත් නෑ ගුටි කෑවට පස්සේ ම කියන්නම්."

මට ලියුම කියලා කියවන්න පොඩි බයක් දැනුනා.

ඒත් මොනවා වුනත් මූණ දෙනවා කියලා හිතලා කියවන්න පටන් ගත්තා.

ආදරණිය කාවින්ද අයියේ

වෙලාවකට මට හිතෙනව ඇත්තටම මට පිස්සුද කියලා. මම ඔයාට පොරොන්දු වුනා තව දුරටත් ඔයාට කරදර නොකර ඉන්නවා කියලා. ඒත් මට ඒක කරන්න අමාරුයිද මන්දා.

කරුණාකරලා මේ ලියුමට පිළිතුරු ලියන්න කරදර ඔයාගේ කාලය නාස්ති කර ගන්න එපා. මම ඒක ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒත් කාත් කවුරුවත් නැතිව තනියම ඉන්න වෙලාවක හිතේ තියෙන දුක කියාගන්න ඉතුරුවෙලා ඉන්නෙත් පොඩි කාලෙ ඉඳලම මගේ තනියම මගේ ළඟින් හිටපු කාවින්ද අයියම විතරයි මට.  මම ඔයාගෙන් දෙන්න බැරි කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ ඔයාගෙන්, ඒත් අයියේ මේ ලියුම විතරක් කියවන්න ඉවර වෙනකම්.

ඇත්තම කියනවනම් දැන් මට හිටපු කිසිම යාළුවෙක් මගේ ළඟ නැහැ එරන්දිකා ඇරෙන්න. මට ඒ අයව ආශ්‍රය කරන්න තරම් හිතේ නිස්කලංකයකුත් නැහැ. එරන්දිකා විතරයි පුළුවන් හැම වෙලාවෙම මාව බලන්න එන්නේ. ඒත් ඒ කෙල්ලටත් මගේ දුක අහගෙන ඉන්නවට වඩා වැඩ තියෙනවා.
මම දැන් හොඳටම තනිවෙලා වගේ දැනෙනවා මට. අම්මා හිතන්නෙත් මේ විදිහට මාව හැම දෙයින්ම ඈත් කරලා තිබ්බහම මගේ හිත හදන්න පුළුවන් වෙයි තියලා. ඒත් ඒ හැමෝටම වඩා ඔයා මාව දන්න නිසා මම හිතනවා ඔයාට මාව හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා.

දැන් අහන්නකෝ මගේ කතාව.

මම මේ දවස් ටිකේදි මගේ අනාගතය ප්ලෑන් කරලා තියෙන්නේ. මම දවස් ගාණක් කල්පනා කරලා බලලා තමයි මේ තීරණ අරගත්තේ. ඒ නිසා කිසිම දේකින් ඒක වෙනස් වෙන්නේ නම් නැහැ.
මම ඒ ලෙවල් ඉවර වෙනකම් කොහොමහරි ලංකාවේ ඉන්නවා. ඊට පස්සේ මම තාත්තිට කියලා ස්කොල් එකක් හදා ගන්නවා රෂියා වලට. ලෝකෙ කොනේම තියන රටකට මම යන්න තීරණේ කළේ ආයෙත් ලේසියෙන් ලංකාවට නොඑන්න හිතාගෙනයි. බොහෝ දුරට මම ආයෙත් නොඑන්නම ඉඩ තියෙනවා.

 ඔව් අයියේ ඉස්සර කිසිම දවසක පැරදෙන්න අකමැති වුණ දිනි මේ වතාවේ නම් කලින්ම පරාජය බාර අරගෙන ඉවරයි. මම මේ හැම දේකින්ම පැනලා දුවනවා.

ඒත් කවදාහරි මගේ ආදරණිය කාවින්ද අයියට මාව උවමනා වුනොත් මම ඕනම වෙලාවක ළඟින් ඉන්නවා. ලෝකෙ මොන කොනක හිටියත් මම ඔයා ගාවට එනවා.

මම තවත් දෙයක් කියන්නම්. කරුණාකරලා අම්මා කියනවා වගේ ටික කාලයක් ගිහිල්ලා වෙන කෙනෙක් බඳින්න වගේ මෝඩ කතා නම් කියන්න හිතන්න එපා. මම ජීවිතේටම කිසිම පිරිමියෙකුට ඔයාට තරම් ආදරේ කරන්නේ නැහැ. එහෙම වෙද්දි මට තවත් කෙනෙක් බඳින්න බැහැ. මගේ හස්බන්ඩ් වඩා මම ආදරේ කරන පිරිමියෙක් මේ ලෝකෙ ඉද්දි මම කොහොමද පවුල් ජීවිතයක් ගත කරන්නේ.

අවසාන ඉල්ලීමක් විතරක් කරන්නම්. මම ලංකාවේ ඉන්නකම් පුළුවන් විදිහට මාව බලන්න එන්න. මම කවදාවත් මගේ ආදරේ ගැන කියලා අයියට කරදර කරන්නේ නැහැ.

එහෙනම් මම නවතින්නම්.

මේ ආදරණිය දිනි

ඒකත් එහෙනම් එහෙම වුනා. උඹනම් මහ මෝඩයෙක් කියලා මට වෙලාවකට හිතෙනවා බං

මටම කියවුනා

"මොකක්ද බං තනියම කියවන්නේ පිස්සු වගේ? මම හිතුවා හරිද?"

"මොකක්ද උඹ හිතුවේ ගොනෝ?"

"හිතුවේ ලොකු ටෝක් දැම්මට උඹ කෙල්ලෝ දෙන්නෙක් නිසා පිස්සෙක් වෙයිද කියලා. වැඩේ හරි වගේ නේද?"

"අනේ පලයං බං යන්න. තාම කෙල්ලෙක් යාළු කරගන්න බැරිවුනාට උඹලට ඉරිසියාව"

"ඒක තමයි."

ආයෙත් විහිළුවෙන් හිටියට මට නම් දැන් මේක පිස්සුවක් වගේ වෙලා තිබුණේ. මම දිනිට ආදරේ බව දැනෙනවා තමයි ඒත් තාමත් කෙල්ලෙකුට ආදරේ කරලා එක විදිහකට කොටු වෙන්න මට ආසාවක් තිබුණේ නැහැ. මගේ ජීවිතේ ආදර්ශය තමයි හුළඟ වගේ නිදහස් කියන එක.

"කොහොම වුනත් ආයෙත් වතාවක් දිනිව බලන්න යන්න වෙනවා සචියා"

"ඒ මොකද බං?"

"කෙල්ල මට එන්න කියලා"

"කාවා, මම සිරාවටම එකක් කියන්නම්. උඹ දිනිව පොඩි කාලේ ඉඳලම සහෝදරියක් හරි හොඳම යාළුවෙක් විදිහට හරි ආශ්‍රය කරපු එක ඇත්ත. ඒත් තේරුම් ගනින් දැන් සිටුවේෂන් එක වෙනස් කියලා. ඒ කෙල්ල උඹට ආදරේ කරනවා. සහෝදරකම් දැන් ඉවරයි. උඹ ඒ කෙල්ලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. කෙල්ලෝ ආදරේදි අපි හිතනවට වඩා සීරියස් බං"

සචියා කියන එකෙත් ඇත්තක් තියෙනවා. දිනියි මමයි කොයි තරම් සැහැල්ලුවෙන් හිටියත් ආදරේ ගැන කතාවෙදි දිනි කොයි තරම් වෙනස් වුනාද. මාත් එක්ක කොල්ලෙක් වගේ එකට පිස්සු නටපු කෙල්ල මොන තරම් වෙනස් වෙලාද.

"කාවා උඹ ඇත්තම කියපං මොකද උඹ කරන්න යන්නේ?"

"බලමු."

 දැන් දිනි ඉන්න තැන මම දන්නවා වුනත් කොහොමද බලන්න යන්නේ. ආයෙත් වතාවක් වැටවල් වලිනුයි ජනේල වලිනුයි පනින්න හිත ෆිට් මදි වගේ. අහු වුනොත් ජීවිතේටම නැගිටින්න බැරි වෙන්න නෝන්ඩි වෙනවා. දැන් මොකද කරන්නේ.

එකම දෙයයි කරන්න තියෙන්නේ. ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුට ලියුමක් ලියන්න වෙනවා. ඒත් කොහොමද ලියන්නේ. මට ලියුම් ලියලා පුරුදුම නැහැනේ.

මම හිත හදාගෙන ලියන්න පටන් ගත්තා. කොල විස්සක් විතර ලියලා විසි කරලා අන්තිමට ටිකක් හොඳයි වගේ හිතෙන එකක් ලියා ගත්තා

ආදරණිය දිනි

මුලින්ම මට සමාවෙන්න මම කරපු වැරදි වලට. මම හැම වෙලාවකම දැනුවත්ව හරි නොදැන්වත්ව හරි ඔයාගේ හිත රිදවනවා. මොනවා කරත් ඔයාව අමතක වෙනවා. එහෙම වුනත් ඔයාට කවමදාකවත් මාව අමතක වුනේ නැහැ.

මට මතකයි ඉස්සර අපි අවුරුදු හය හතක් වගේ වයසේදි අම්මා මට රුපියලක් හරි දුන්න ගමන් මම ගිහිල්ලා කඩෙන් ටොෆි අරගෙන කනවා. ඔයා හැමදාම අඬනවා ඔයාට නැහැ කියලා. ඒත් ඔයාට සල්ලි හම්බ වුන හැම වෙලාවකම අරගන්න දේවල් වලින් බාගයක් මට දෙනවා. ඒ වෙලාවේ මම හිටියේ නැතත් අරන් තියලා හරි දෙනවා. ඒ වැරදි ගතිගුණ අදටත් මගේ තියෙනවා වගේම ඒ හොඳ ගතිගුණ අදත් ඔයාගේ තියෙනවා. කාලයත් එක්ක අපි වෙනස් වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ.

දැන් අපි වයසින් වැඩිලා, සිතුවිලි වෙනස් වෙලා. පොඩි කාලේ තිබුණ දේවල් දැන් නැහැ කිව්වට මම පිළිගන්නේ නැහැ. ඒ කාලෙ වුනත් මම පාරේ යනකොට ඔයාගේ අතින් අල්ලගෙන ගියේ හරිම ආඩම්බරෙන්. මට ඔයා වගේ ලස්සන කෙල්ලෙක් යාළුවෙක් විදිහට ඉන්නවා කියලා මම ආඩම්බර වුනා. මතකද වතාවක් අපි සිරීපාදේ යද්දි මම දිගටම ඔයාගේ අතින් අල්ලගෙන ගියා කියලා අපේ නැන්දලා එහෙම විහිළු කරලා අපිත් එක්ක හිටපු දිලේෂ මට හිනා වෙලා මම මිනිහගේ දතක් ගැලවෙන්න ගැහුවා. ඒ මට අවුරුදු 10ක් වයසෙදි. ඒ තරම් මට ඔයාව වටිනවා.  ඉතින් මම අදත් එහෙමයි. ඔයා මගේ ළඟින් ඉන්න එකට, මං ගැන හොයලා බලන එකට මම අදත් ආඩම්බර වෙනවා. ඒත් ආදරය කියන හැඟීම නිසා ඒ සම්බන්ධකම් වෙනස් වෙන්න යනවා. ඇත්තටම වෙනස් වෙලා තියෙනවා.

වෙලාවකට මට ඒ හැඟීම දරාගන්න අමාරුයි. මගේ ළඟ හිටපු ඒ ලස්සන කෙල්ල මගේ ආදරවන්තිය, අනාගත බිරිඳ කියලා හිතන්න මට තාම හිත හදා ගන්න බැහැ. ඒ සුන්දර කාලේ තිබුණ ආදරේ වෙනස් වෙනවා වගේ මට හැගෙනවා. ඒ කාලේ තිබුණ බැදීමට මේ අලුතින් එක්වුණ පෙම්වතියකගේ ආදරේ කියන එකට වඩා මම තාමත් ආදරෙයි.

ඉතින් දිනි, මම කොහොමද ඔයාට පෙම්වතියකට වගේ ආදරේ කරන්නේ කියලා මට තාම හිතා ගන්න බැහැ. ඔයාට මගේ තියෙන ආදරේ ඒ ආදරේට වඩා උසස් කියලා මට හිතෙනවා. මාත් එක්ක තරහ වෙන්න එපා මම විකාර කියවනවා කියලා, මොකද මම දන්නවා මගේ හිත. ඒ වගේම මම විශ්වාස කරනවා මම හිතන දේ හරි කියලා.

කොහොම වුනත් ජීවිතේ බලාපොරොත්තු නැති කරගන්න එපා නංගි. ජීවිතේ හරියට අර බොක්සින් හරි කරාටේ මැච් එකක් වගේ. අපි පරදින්නේ ගුටි කාලා බිම වැටුන වෙලාවේ නෙවෙයි. ආයෙත් නැගිටින්න ප්‍රතික්ෂේප කරපු වෙලාවේ. ඒ නිසා වැටෙන හැම වෙලාවකම නැගිටින්න බලන්න. තමන් ගැන විශ්වාස කරන්න. කිසිම දේකට වෙනත් කෙනෙකුගේ උදව් ඉල්ලන්නවත්, බලාපොරොත්තු වෙන්නවත් එපා. තමන් ගැන විශ්වාසය නැතිවුනොත් හැම දෙයක්ම ඉවර වෙනවා.

බය වෙන්න එපා, මේ කලබල ටිකක් අඩු වුන ගමන්ම මම ඔයාව බලන්න අනිවාර්්‍යෙයන්ම එනවා. එදා වගේ රෑට හොරෙන් ආයෙත් එන්න නම් අමාරුයි. මොකද අහුවුනොත් ඔයාගේ නම කැත වෙනවා. ඒත් මම කොහොමහරි ඔයාව බලන්න එනවා.

අනිත් එක තමයි ඔයා ප්‍රශ්ණ වලින් පැනලා ලංකාවත් දාලා දුවන්න ඕන් කරන්නේ නැහැ. ඔයා හිටියා කියලා මගේ හිත රිදෙන්නේ නැහැ. ඔයා නැතිවුනොත් තමයි මට මාවත් නැති වෙනනේ. තවත් එකක්, මම ලයාංගිට ආදරේ කරනවා කියලා හිතන එක බොරුවක්. මම තාම එහෙම දෙයක් හිතලා නැහැ. ප්ලීස් මාව දාලා යන්න හිතන්න එපා. මට මොනවා නැතිවුනත් පොඩි කාලේ ඉඳලා අපි දෙන්නගේ තිබුණ බැඳීම වටිනවා. ඒක නැති කරන්න එපා.

මීට කාවින්ද.


ඔන්න ඔය වගේ විකාර තමයි මම ලිව්වේ.

කොහොමහරි ටිකක් හිතට හොඳයි වගේ දැනුන නිසා මම මේක ගිහිල්ලා දුන්නා එරන්දිකාට.

“මේ කරන වැඩෙන් මමත් පවු පුරවගන්නවා අයියේ.“
“ඒ ඇයි නංගි?“

“ඔයා දිනිට ආදරේ නැතිලු, දිනිත් ආයේ ඔයාට කරදර කරන්නේ නැතිලු. ඒත් දෙන්නා දෙපැත්තේ ඉඳලා ලියුම් යවා ගන්නවා. ආදරේ නැත්නම් මොකටද ලියුම්. මට හිතාගන්න බැහැ මටද පිස්සු නැත්නම් ඔය දෙන්නටද කියලා.“

“ගණන් ගන්න එපා නංගි, ඔයාට පිස්සු නැහැ.

කෙල්ල හිනා වෙලා ගියා

දැන් ඉතින් බලමු මොකක්ද රිප්ලයි එක කියලා



6 ප්‍රතිචාර:

අභීත said...

අම්මට සිරි උඹ දැක්ක කල්..

පිණිබිඳු... said...

කතාව අමතකත් වෙලා තිබ්බෙ. පරණ පෝස්ට් කියවලා එන්න උනා. දැන්වත් කතාව දිගටම ලියමු. අවුරුද්දට එක පෝස්ට් එකක් නොදා.

Kool Tempo said...

සමාවෙන්න පරක්කු වුනාට. මම සෑහෙන්න කාර්්‍ය බහුල වුනා. අද ඉඳලා හැම සතියකටම එක පෝස්ට් එකක් දානවා

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

මම හිතුවේ බ්ලෝග් කේරැවාව අත ඇරලා කියලා.. සිරාවට දැන්වත් දිගටම ලියමු..

Meeya said...

ඇති යාන්තං!! ඇඟිලි ගැන ගැන හිටියේ!!

Balal hamine said...

ලස්සන කතාවක්.... ඉතිරි ටිකත් ලියන්න.. අපි බලන් ඉන්නවා කතාවේ අවසානය දකින්න...

Post a Comment