Wednesday, August 17, 2011

ප්‍රථම ප්‍රේමය 17

heartfelt_love_letter

 

මම එදා දිනිව දැක්කේ ආයෙත් සෑහෙන කාළෙකට නොදකින්න කියල මම හිතුවේ නැහැ.

 

මම දවස් කීපයකින් හිත හදා ගත්තා ඉස්කෝලෙ ගිහිල්ල පාඩම් ගැන හිත යොදවන්න. මොකද වාර විභාගේ ලකුණු දැක්ක දැක්ක සැරේට අම්මයි තාත්තයි කෑ ගහනවා. යන්තම් ලකුණු 50 ට වැඩියෙන් තිබු‍ණේ ෆිසික්ස් වලට විතරයි. ඒක හැමදාමත් මගේ කැමතිම විෂය. සචිත්‍රත් සුපුරුදු විදිහටම ඉස්කෝලෙ ආවා.

 

සෑහෙන කාලෙකට පස්සේ තමයි ෆිසික්ස් වලට ලැබ් එකට ගියේ. මම කොහොමත් ඉගෙනගත්තත් නැතත් ඉඳගත්තේ ඉස්සරහම පේලියේ නිසා එදත් පුරුදු විදිහට වාඩි වුනා.

 

“ආ………. කාවින්දට සෑහෙන කාලෙකින් ඉගෙනගන්න මතක් වෙලා තියෙන්නේ.“

කෙමිස්ට්‍රි කරන සර් පොඩි කින්ඩියකුත් දාගෙන ලැබ් එක ඇතුලට ගියා.

 

ෆිසික්ස් සර් පන්තියට ආවා. වාර විභාගයට පන්තියේ වැඩිම ලකුණු තියෙන අය කව්ද කියල ඇහුවා. මූණේ පොඩි නෝන්ඩි හිනාවකුත් එක්ක. මොකද සර් හදන ප්‍රශ්ණ පත්තර වලට ලකුණු පණහක් ගන්නේ සෑහෙන කට්ටක් කාලා තමයි, බොහොම කලාතුරකින්.

 

“කාටද මේ සැරේ පණහට වැඩිය තියෙන්නේ“

 

මම ඉක්මණට අත ඉස්සුවා. අනිත් එකෙක්වත් නෑ. යකෝ මුන්ට එකෙකුටවත් ලකුණු නැද්ද?

 

සර් මා දිහා බලලා නොදැක්කා වගේ කතා කළා.

 

“මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මම උගන්වන දේවල් එකෙකුටවත් තේරෙන්නේ නැද්ද? උඹල රට හරක් වගේ මොනවද යකෝ අහගෙන ඉන්නේ. මම කොහොමද රෙද්දක් ඇඳගෙන ප්‍රින්සිපල් ලඟට යන්නේ මේ ලකුණු අරගෙන?“

 

මම තවමත් අත උස්සගෙන.

 

“යකෝ අත පාත දාපන්“ සචියා කිව්වා.

 

“පිස්සුද යකෝ ඉතිහාසයේ පළවෙනි වතාවට පන්තියේ අනිත් එවුන්ට වඩා මට ලකූණු තියෙන්නෙ“

 

“කාවින්ද මොකද අත උස්සගෙන“

 

සර් ඇහුවා

 

“සර් මම මේ ලකුණු…….“

 

“ලකුණු ඇයි පිනට ඉල්ලගන්නද?“

 

“නෑ සර් ….. මම කිව්වේ මට ලකුණු 61 යි.“

 

“ඉතින් ඕක මහ ලොකු ලකුණු ගානක් කියලද හිතන් ඉන්නේ.“

 

“නෑ සර්, සර් කිව්වේ අත උස්සන්න කියලා.“

 

සචියා මට හැම පැත්තෙන්ම අනිනවා. “කට වහගනින් බං ඉල්ලන් කන්නේ නැතුව“

 

“ආ එහෙමද ලකුණු 61 ද? ඇවිල්ල මේ ගාන බෝඩ් එකේ හදනවකෝ“

 

සර් මට දූස්රා එකක් දැම්මා

 

“මං කිව්වේ තොට ඉල්ලන් කනවා කියලා, දැන් ඉතින් හදපන්කෝ“ සචියා කියනවා

 

“ඔය ලඟ ඉන්න එකා මොකද කුටු කුටු ගාන්නේ, තමුසෙත් ඇවිල්ලා උදව් කරනවකෝ යාළුවට“

 

සර් සචියාටත් දුන්නා. ඊට පස්සේ මාකර් එක අතට දීලා එලියට ගියා. දැන් සර් ආපහු එනකොට ගාණ හදල තියෙන්න ඕනේ. නැත්තං දෙවියන් සිහිකර ගන්න වෙනවා.

 

මූ මට රව රව ආවා බෝඩ් එක ළඟට

 

මට මැරෙන්න හිනා.

 

අපේ ෆිසික්ස් සර් සිරාවටම මාර මරුමුස්. ගාණක් හදන්න දීල බැරි වුනොත් සාමාන්‍යෙයන් කනේ පාරක් ෂුවර්. නැත්තං දවසක් විතර හවස හය වෙනකං ඉඳලා ගාණ තනියම හදල දීල යන්න ඕනේ.

 

මටනම් මේ දඬුවම් හොඳට පුරුදුයි, ඇරත් මම කිසිම සර් කෙනෙක්ගෙන් දඬුවම් ලැබෙනවට බය නැහැ. ඒත් සචිය නම් සර්ලට අම්බානක බයයි. ඒ ඇයි කියල මට තාම හිතාගන්න බැහැ.

 

මමත් පොර වගේ බෝඩ් එක ලඟට ගියාට ගාණ මොකක්ද කියල වත් හදන්නේ කොහොමද කියලවත් හිතා ගන්න බැහැ. මම පන්ති කට් කරපු දවස් වල උගන්නපු පාඩමකින් තමයි ගාණ දීල තිබ්බේ.

 

“හදපං“

 

සචියා කිව්වා.

 

“ඇයි යකෝ උඹ නේ පන්ති ආපු එකා, උඹ හදපං, සර් කිව්වනේ මට උදව් කරන්න කියලා“

 

“යකෝ මමද උඹට කිව්වේ ඉස්කෝලෙ නෑවිත් වල්කමේ යන්න කියලා.“

 

“හරි හරි සචියා දැන් ඔය සීන් නැතුව සහයෝගෙන් උඹ කොහොමහරි මේක හදපන්කෝ මටත් එක්ක.“

 

“ඇයි උඹ නේද වැඩිම ලකුණු ගත්තේ, උඹ හදපං“

 

“අනේ කොල්ලෝ මම මෙලෝ දෙයක් දන්නේ නැහැ බං.“

 

“ඒයි උඹල දෙන්න ඔතන ලව් කරනවද?“

 

අපේ එකෙකුට කට තියන් ඉන්න බැහැ වගේ.

 

මම දන්නවා වගේ ගාණ හදන්න පටන් ගත්තා, ආලෝකය තමයි මට පේන්නම බැරි විෂය. මොන මගුලකට මේ ගණන් හදනවද මන්දා?

 

“මේ සමීකරණය ලියපංකෝ උඩින්ම, අඩුගාණේ සර් එනකොට බෝඩ් එකේ මොනවහරි ලියල තියෙන්නවත් ඕනෙ බං“

 

සචියා පොතක් පෙරලගෙන මොනවදෝ පෙන්නනවා.

 

දැන් කොහොමහරි එක පීරියඩ් එකක් ඉවරවෙන බෙල් එකත් වැදුනා.

 

සර් ආවා පන්තියට.

 

“හරිද ගාණ?“

 

“හරි සර්“

 

“බලමු“

 

මම ගිහින් ඉඳ ගත්තා.

 

“උඹල වගේ උන් හින්ද යකෝ අපිටත් දන්න දේවල් අමතක වෙනවා. මේ සමීකරනේ ලියලා මොකක්ද කරන්න යන්නේ කියනවද කරුණාකරලා?“

 

සර් ඇහුවා

 

“සර් අර සමීකරණයට ආදේශ කරලා ගාණ හදන්න තමා ගියේ, වෙලාව ගියා“

 

“දන්නේ නැත්තං දන්නෙ නෑ කියනවා, යකෝ යාන්ත්‍රික විද්‍යාවේ සමීකරණයකට තොගේ අරක ආදේශ කරලද ආලෝකය ගණන් හදන්නේ?“

 

මුළු පන්තියම දෙදරන්න හිනාවෙන්න ගත්තා. මට නම් අවුලක් නෑ වගේ මොකද කොල්ලෝ විතරනේ ඉන්නේ. බැරි වෙලා හරි මිශ්‍ර ඉස්කෝලයක් වුනානම් තමයි කාල ඉන්න බැරි වෙන්නේ. අනිත් එක ඔය හිනාවුනාට අනිත් එවුනුත් ගාණ හදන්න දුන්නනම් ඔය ටිකම තමයි.

 

කොහොමින් කොහොම හරි එදා හවස කීය වෙනකම් හරි ඉඳලා ගාණ හදලා යන්න එපොයින්මන්ට් එකකුත් දාගෙන තමයි පීරියඩ් එක ඉවර වුනේ.

 

------------------------------------------------------------------------

 

හවස ඉස්කෝලෙ අන්තිම පීරියඩ් දෙකේ අපි ගියා ඉස්කෝලෙ පුස්තකාලයට, පොතක් හරි පෙරලලා බලලා ගාණ හදන්න හිතලා. එතන එකම එක සීට් එකක් වත් නැහැ.

 

“යකෝ මෙතන එවුන්ට පිස්සුද බං, කවදාවත් ලයිබ්‍රි ආවේ නැති උන් වැහි වැහැලා. මොකක්ද බං සීන් එක“

 

“ඇයි බං අර අලුත් ටීච දාලා තියෙන්නේ මෙතන ඉන්චාජ් කරලනේ.“

 

“කව්ද සචියා?“

 

“ඇයි බං අර කෑල්ල“

 

“මට මතක නෑ බං, වරෙන්කෝ බලන්න“

 

මම ගියා ඇතුලට. කවදාවත් පොතක් කියවපු නැති කොල්ලෝ ඔක්කොම එතන, ඒ විතරක්ද තරුණ පහේ සර්ලත් ෆුල් සීරියස් පොත් කියවනවා.

 

මම වටපිට බැලුවා. අලුතින් කැඩේටින් වලට ආපු සර් පත්තරේ කියවනවා හැබැයි ඇස් දෙක තියෙන්නේ වෙන තැනක. මමත් ඒ පැත්ත ෆලෝ කලා.

 

දැක්ක දේ නිසා මගේ හිත නැවතුනා. පට්ටම ලස්සන කෙල්ලෙක් කවුන්ටර් එකේ ඉන්නවා. සචියා දැකලා හිනාවක් දැම්මා, මාව නිකං කරකවලා අතෑරියා වගේ වුනා.

 

“මචං, මහදවල් හොල්මන් වගේ, කව්ද බං මේ කෑල්ල?“

 

“කෑල්ලක් නෙවේ බං, ඔය අලුතින් ආපු ටීචර් කෙනෙක් විද්‍යා පීඨ වලින්“

 

මට මතක් වුනා සීන් එක. ඒ දවස්වල විද්‍යාපීඨ වලින් එන ගුරුවරු ඉස්කෝල වලට දානවා. මෙයත් ඒ වගේ ආපු කෙනෙක්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ වගේ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝල වලට මේ අය දාපුවහම තමයි.

 

“මෙයා පොඩි කෙල්ලෙක්නේ බං“

 

“ඔව් යකෝ, අවුරුදු විසි දෙකක් විතර ඇති“

 

“ආ….. උඹ එහෙනම් ජාතකේ හොයාගෙන වගේ, ඇයි සීන් කරන්නවත් හිතුනද?“

 

“ඇයි උඹලට විතරද කෙල්ලෝ වැටෙන්නේ?“

 

“පව් වැඩ කරන්න එපා බං, ගුරුවරියකට සීන් කරන්න උඹට ලැජ්ජා නැද්ද?“

 

“අනේ පලයං යන්න උඹ නිකම්ම ඉඳී සෙට් වුනොත්“

 

අපි දෙන්නා ෆිසික්ස් පොත් තියෙන පැත්තට ගිහිල්ලා ආලෝකය ගැන තියෙන පොත් හොයන්න පටන් ගත්තා

 

“ඔය දෙන්නා ඕන කරන පොත් කැට්ලොග් එකෙන් බලා ගන්න, ඒක ලේසියි“

 

මම නිකම්ම හොල්මන් වුනා ඒ කටහඬට, “ස්වීට් වොයිස්“ මට නිකම්ම කියවුනා.

 

මොකක්ද ඔය ළමයා කිව්වේ.

 

මෙන්න යකෝ මේකි ඒ පාර මට ළමයා කියනවා.

 

සචියා කට වහගෙන හිනාවෙනවා, ඌ පුපුරන්න ලඟයි හිනාවෙන්

 

“ආ …. නෑ මම මේ කිව්වේ……. හොයන පොත මොක්කද කියලා මමවත් දන්නේ නෑ“

 

“මොකක්ද ඒ කතාවේ තේරුම නිකං කාලෙ නාස්ති කරන්නද මෙහේ ආවේ“

 

මෙන්න යකෝ මේ ගෑණි මට නීති දාන්නත් පටන් අරං, තාම ඉස්කෝලෙට ඇවිල්ලා මාසයක් නෑ අවුරුදු 12 ක් හිටපු අපිට පාට් දානවා.

 

“නෑ ටීචර් මම කිව්වේ වෙන සීන් එකක්, ඇත්තටම මට ඕනේ ෆීසික්ස් වල ආලෝක පරාවර්ථනය කියන සබ්ජෙක්ට් එක තියෙන පොතක්, නම හරියට දන්නේ නෑ“

 

“ආ එහෙම කියන්න, නිකම්ම ආලෝක පරාවර්ථනය කිව්වට පොත් හොයන්න අමාරුයි, හරියටම මොන කැටගරි එකද, එහෙම නැත්තං මොන පාඩම සම්බන්ධයෙන්ද“

 

මෙයා මේ මගුලක් කතා කරනවා, ඔය තරම් දේවල් දන්නවනම් මේ වගේ චාටර් වෙනවද

 

“හ්ම්….. එහෙමනම් ෂුවර් නෑ, මේකයි වෙන්න ඕනේ ටීච“

 

“මොකක්ද?“

 

“මෙන්න මේ ගාණ හදන්න ඕනේ. ඒත් සපෝර්ටින් වලට මොනවත් නැහැ. පුළුවන්ද පොඩි සපෝර්ට් එකක් දෙන්න.“

 

මෙයා මෙතන හිටියට ෆිසික්ස් දන්නවද දන්නේ නැහැ නේ. බැරි වෙලා හරි දන්නවනම් මම ගොඩ. කොහොමහරි බටර් ගාලා වැඩේ කරවගන්න පුළුවන්………

Monday, August 15, 2011

කූල් ටෙම්පෝ ගේ ආදර කතාව ආයෙත් ආවා!

කූල් ටෙම්පෝ ගේ ආදර කතාව ආයෙත් ආවා.

බලාපොරොත්තු වන්න හෙට සිට……..