Tuesday, June 29, 2010

~ ප්‍රථම ආදරය ~ (14)

love[2] ඔය අතරෙ මම මොන තරම් මගහරින්න හැදුවත් දිනිව මගහරින්න නොහැකි වෙන අවස්ථාවක් ආවා. ඒ තමයි පළාත් මළල ක්‍රීඩා තරගාවලිය. මම කණ්ඩායම් නායක නිසා අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මම කොයිතරම් පුහුණුවීම් වුනත් හිතේ තිබුන නොසන්සුන් කම නිසා මේ වෙලාවෙ මට මගේ ඉවෙන්ට් එක ගැන තිබුණේ සැකයක්.

එදා උදේම අපි ඉස්කෝලෙදි එකතුවෙලා ආවා. තරගාවලිය තිබුණේ ගම්පොළ මීගුලවත්ත ක්‍රීඩා පිටියේ. මම ගිය ගමන් කල්පනා කළේ දිනිට කතා කරනවනද කියලා. එයා ඒ අයගේ ඉස්කෝලෙ ළමයිනුත් එක්ක ඉන්නවා මම දැක්කා. මාව දැකලා හිනා වුනා, ඒත් කතා කළේ නැහැ.

මම තියෙන වැඩ වලින් හතරෙන් තුනක් ම සචිත්‍රගේ පිටට දාලා පැත්තකට වෙලා හිටියා. මට ඕනෙ වුනේ මගේ ඉවෙන්ට් එක හොඳට කරලා පැත්තකට වෙලා ඉන්න.

ඒත් වැඩිවෙලාවක් ගියේ නැහැ. සර් ආවා.

“මොකද කාවින්ද වෙලා තියෙන්නේ. මම ඇන ඇන කියල දෙන්නද මොකද කරන්න ඕනෙ කියල. බලනවා සමීරගේ ඉවෙන්ට් එකට ෆයිනල් කෝල් එකත් කරලා. මිනිහා කොහෙද කියල නැහැ. යනවා ගිහින් හොයාගෙන එනවා”

මම ජීවිතේ පළමු වතාවට ක්‍රීඩා සම්බන්ධයෙන් මගේ වගකීමක් පැහැර හැරලා. මටම මා ගැන දුක හිතුනා.

සමීර කියන්නේ අපිට ෂුවර්ම පළමුවෙනි තැන තියෙන කෙනෙක්. එත් මිනිහට හැකියාව තිබුනට කිසිම උනන්දුවක් නැහැ

මම ගියා පිට්ටනිය වටේ රවුමක්. කොහොම හරි මිනිහව හොයාගෙන වැඩ ටික ඉවර කළා.

මම දිනි ඉන්න පැත්තට ගියේ අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් ඒ කිට්ටුව තිබුන තරගයකට සහභාගි වෙමින් සිටි නිසා.

ඒත් එක්කම එරන්දිකා ආවා මගේ ළගට. දිනි පේන්න හිටියේ නැහැ.

“මොකක්ද අයියේ මේකෙ තේරුම, ඔයයි දිනියි හරියට තරහ කාරයෝ වගේ රවාගෙන ඉන්නවා. කෙල්ලට හොඳටම දුක හිතිලා. පිස්සුවෙන් වගේ ඉන්නේ. ඔය දෙන්නා අතරෙ සිද්ධ වුනේ මොකක්ද කියල නම් මම දන්නේ නැහැ, ඒත් ඇයි මේ තරහකාරයෝ වගේ”

“මම කා එක්කවත් තරහ නැහැ එරන්දි, දිනි තමයි මාව මග හරින්නේ.”

“අනේ මම දන්නේ නැහැ අයියේ, මොනව වුනත් කෙල්ලට මේ වගේ දුකක් දෙන්න එපා.”

“කෝ දැන් දිනි?”

“අන්න අර පැත්තේ ඇති”

මම දිනිව හොයාගෙන ගියා.

“නංගි දිනි, මට ඔයාට කතා කරන්න ඕනෙ”

“දැන්”

“ඔව්, අපි පොඩ්ඩක් පැත්තකට යමු”

එයා කතාවක් නැතිව ආවා. මමත් ටිකක් සෙනග නොගැවසෙන තැනකට ගියා. දිනි කිසිම කතාවක් නැතුව බිම බලාගෙන ඉන්නවා.

“ඇයි දිනි කතා නැත්තේ”

“ආ”

“ඇයි කතා නැත්තේ”

“මොනවද මම කියන්න ඕනේ”

“වෙනදත් අපි හම්බවුනාම මගෙන් අහලද කතා කරන්නේ”

“ඒක නෙවෙයි, ඔයා ට මාව නොදැක ඉන්න එක හොඳ ඇතිනේ. නැත්නම් ලයාංගි වුනත් මොනව හිතයිද”

“ලයාංගි මොනව හිතන්නද, මම ඔයාව අඳුනගත්තේ එයාට ගොඩක් කළින් නේ”

“අයියේ මම දන්නෑ මොනව කියන්නද කියලා. මම හිතුවා ඔයා මට ආදරේ නැතත් කළින් විදිහටම යාළුකමෙන් ඉන්න පුළුවන්නම් ඒකවත් ලොකු දෙයක් කියල. ඒත් මට දැන් ඔයාව දකින දකිනි වෙලාවට මහා දුකක් දැනෙනවා. ඔයාගෙ ආදරේ මට නොලැබෙන බව හිතෙනකොට මට මාවම එපා වෙනවා. මම මෙහෙම කියනවට සමාවෙන්න අයියේ, මට හිතෙනවා ඔයාගේ ආදරේ නැතුව මට ඉන්න බැහැ කියලා. විශේෂයෙන් ඔයාව දැක දැක එහෙම ඉන්න අමාරුයි.”

“කව්ද ඔයාට කිව්වේ මම ඔයාට ආදරේ නැහැ කියල?”

“කව්රුවත් කිව්වේ නැහැ, ඒත් මට හිතෙනවා”

“ඕව ගැන දැන්ම හිතන්න එපා දිනි. ඒව කාලය ආවහම හරියයි. ඔයා මට ආදරේ කරනවනම් කවදාහරි ඔයාට මාව ලැබෙයි.”

“එහෙම හිතාගෙන විතරක් මම කොහොමද අයියේ ඉන්නේ, මාගේ ජීවිතේ පළමු වතාවට ආදරය කළේ ඔයාට, ඒ හැගීම හිතට දැනුනේ ඔයා නිසා, ජීවිතේ පළවෙනි වතාවට මාව කිස් කළේ ඔයා. ඒ මොහොත මොන තරම් ලස්සනද කියලා මට තාමත් විශ්වාස කරන්න අමාරුයි”

“දිනි”

“පොඩ්ඩක් ඉන්න මම කතා කරල ඉවර නැහැ.”

දිනි මට කිව්වා

“ඔයාට තේරෙනවද දන්නේ නැහැ අයියේ, මම මේ නිසා මොන තරම් දුක් විඳිනවද කියල. ඒත් මට බැහැ ඔයාට කියන්න මට ආදරේ කරන්න කියලා, මට ඒ තරම් ආත්මාර්ථකාමී වෙන්න බැහැ. අනිත් එක මම කියන නිසාම ඔයා මට ආදරේ කරන්නත් එපා. මම ඒකට කැමති නැහැ. ඔයා හෝ වෙන කව්රු හෝ මට ආදරේ කරනවනම් එයා සීයයට සීයයක්ම මගේ වෙන්නම ඕනේ. වෙනත් කෙනෙක් ගැන හිතේ කොනකවත් තියෙන්න බැහැ. ඒ නිසා ඒ විදිහට මම දුක් විඳිනවා කියල හිතලනම් මට ආදරේ කරන්න හිතන්නවත් එපා”

දිනි හිතේ තියෙන දුක සම්පූර්ණයෙන්ම මට කියනවා

“ජීවිතේ පළවෙනියටම හිතට එන ආදරේ ලේසියෙන් අමතක කරලා දාන්න බැහැ අයියේ. ඒක හරියට තමන්ගේ අම්මා තාත්තා අමතක කරනවා වගේ වැඩක්. මෙච්චර කාළෙකට ආදරේ නිසා ජීවිතේ නැති කරගන්න මිනිස්සුන්ට මම හිනාවුනා. ඒත් ජීවිතේ පළවෙනි වතාවට මට තේරුණා ඒ මැරුණ අය මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා. ඒ අය සාධාරණයි කියලා දැන් මට හිතෙනවා”

“පිස්සුද දිනි, මොනවද ඔයා මේ කියන්නේ”

“මට පිස්සු නැහැ අයියේ, මට හිතුන දේවල් තමයි මම කි‍යන්නේ. මේ දේවල් මම ඔයාට කියලවත් හිත සැහැල්ලු කරගන්න ඕනේ. නැත්නම් මාව පුපුරලා මැරෙයි මේ තියෙන ප්‍රෙෂර් එකට”

“දිනි මේ වගේ දේවල් කතා කරන්න මේ වෙලාව නෙවෙයි, අනිත් එක මම කිව්වනේ ඉරනම් කාරයා කවදාහරි කොහේ හරි ඉඳලා හම්බවෙනවා කියල. ඒ මමනම් ඒක එහෙම වෙයි”

“ඔයා වගේ ලේසියෙන් එහෙම හිතලා ඒක අමතක කරන්න පුළුවන් නම් කොයිතරම් හොඳද අයියේ, ඒත් මගේ හිත මටම පාලනය කරගන්න බැහැ.”

“නංගි ප්ලීස්, අපි දැන් මේ කතාව නවත්තමු. මම ඔයාට ආදරේ නැහැ කියලා හිතන්න එපා. මොකද මම තාම ජීවිතේ කිසිම කෙනෙකුට ආදරේ කරන්න හිතල නැහැ. මම එහෙම හිතපු දවසට ඒ ඔයා වෙන්න බැරි කමක් නැහැ.”

“අනේ අයියේ, ඔයා ඔය ටිකද මට කියන්නේ”

“මම කියන දේ අහන්න. තාම ඔයා ඕ ලෙවල් කරලා විතරයි. තව මොන තරම් ඉගෙනගන්න තියෙනවද, දැන්ම ඔය වගේ දේවල් හිතලා ඒවා කඩාකප්පල් කර ගන්න ද හදන්නේ?”

“මට එහෙම කියන්න එපා, මම දන්නවා මම ඉස්සරහට මොනවද කරන්න ඕනෙ කියල.”

“හරි, ඔයාට හොඳ දෙයක් කරන්න, ඒත් මේ වගේ දෙයක් නිසා හැම දෙයක්ම නැතිකරගන්න එපා”

එදා දිනිගේ හමුවීමෙන් පස්සේ මගේ තරගය තිබුනා. අවසාන වටයට සුදුසුකම් ලැබුනා. දෙවෙනි දවසේ අවසාන තරගයෙන් මම ප්‍රථම ස්ථානය ගත්තා, නව වාර්ථාවකුත් එක්ක.

මගේ ජිවිතයේ විශේෂිතම සිදුවීමක් වුනේ පහුවෙනිදා ඉස්කෝලෙදි. මේක ඉස්කෝලෙදි වුන දෙයක් වුනාම කොහොමද ඒක මගේ ප්‍රථම ආදරයට සම්බන්ධ වෙන්නේ කියල කියවන්නන්ට ප්‍රශ්ණයක් ඇති. ඒත් කතාව පස්සට යනකොට ඒක පැහැදිළි වෙයි.

උදේ විවේකය ඉවර වුනාම මට ප්‍රින්සිපල්ගෙන් කැඳවීමක් ලැබුනා. මේ පාර මොන ගිනි ගෙඩියක් පාත් වෙන්න යනවද කියලා හිතා ගන්න බැරිව මම ගියා ඔෆිස් එකට

“Excuse me sir, can I come in”

ඒ දවස්වල අපේ ප්‍රින්සිපල්ගේ නීතියක් තමයි සිංහලෙන් කතා කිරීම තහනම්. ඉංග්‍රීසි බැරිනම් කැඩුන ඉංග්‍රීසියෙන් හෝ කතා කරන්න ඕනේ.

“Ah, yes come”

මම ගිහිල්ලා ඉස්සරහින් හිට ගත්තා. විදුහල්පතිතුමා අපේ මළල ක්‍රීඩා බාර සර්ට එන්න කියල පනිවිඩයක් යැව්වා. මමත් කිසිම දෙයක් හිතා ගන්න බැරිව හිටියා.

සර් ආවා. තනියම නෙමෙයි, විදුහලේ ක්‍රීඩා භාර සර් ත් එක්ක.

ඉතුරු ටික ඉංග්‍රිසියෙන් කතා කළත් මම සිංහලෙන් කියන්නම්

විදුහල්පතිතුමා කතා කළා.

“මම කාවින්දගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තමා කතා කළේ’

“සර්”

“මම කාවින්දගේ තාත්තටත් කතා කළා. එයානම් කිව්වේ ඒක ඔයාගේ තීරණයක් වෙන්න ඕනෙ කියලා”

මම කතාවක් නැතුව අහගෙන හිටියා.

“ඔයා මේ සැරේ 400 මීටර්ස් වලින් දින්නට පස්සේ මට රග්බි කෝච්ගෙන් ඉල්ලීමක් ආවා ඔයාව ආයෙත් ටීම් එකට දාල දෙන්න කියල, ඒත් තාත්තා කිව්වා ඒ ලෙවල් කරන නිසා ඒ වගේ ස්පෝර්ට් එකක් කරන්න අමාරුයි කියලා, ඒත් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ, දෙවෙනි පාරටත් මට අහන්න වෙනවා”

ක්‍රීඩා භාර සර් මගේ දිහාවට හැරුනා

“කාවින්ද මොකද කියන්නේ, කැමතිද ෆස්ට් ෆි‍ෆ්ටීන් සෙල්ලම් කරන්න”

“අපි ටීම් එකේ හැමෝටම විශේෂයෙන් සයන්ස් සහ මැත්ස් කරන අයට ඉරිදා දවස් වල ප්‍රැක්ටිස් සෙෂන් එක අඩු කරලා ස්පෙෂල් ක්ලාසස් වගයක් කරන්න යනවා, මම හිතන්නේ ඔයාගේ දෙමව්පියන්ගේ වොරි එක නැති වෙයි මේ නිසා.”

“සර් ඒත් මම රගර් සෙල්ලම් කරලා තියෙන්නේ පොඩි කාළයක් විතරයි ඒකත් අන්ඩර් සෙවන්ටීන්”

“ඔයාට මූලික දැනීම තියෙනවනේ, අනික අපිට තියෙන ප්‍රශ්නෙ තමයි සචින්ත ඕ ලෙවල් ෆේල් වුන එක. මිනිහා තමයි වින්ත්‍රී ප්ලේස් එකට හොදම ඒත් පහුගිය අවුරුද්දෙම අපිට ඒ වෙනුවට රිප්ලේස්මන්ට් එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසයි කොච් මට කිව්වේ ඔයාට කතා කරන්න කියලා”

විදුහල්පතිතුමා මළල ක්‍රීඩා සර්ට කතා කළා

“මොකද සර් කියන්නේ, මෙයාගේ රනින් කැපැසිටි එක අඩුවෙයිද මේ නිසා”

“මෙහෙමයි සර්, ඇත්තම කියනවනම් පොසිබිලිටි එකක් තියෙනවා එහෙම වෙන්න රග්බි වල තියෙන හාඩ් ට්‍රේනින් නිසා මෙයාගේ රනින් වලට යුස් වෙන මසල්ස් ටයිට් වෙන්න බලයි. මතක නේද දීපාල් ට වුන දේ. 400 මීටර්ස් අයිලන්ඩ් චෑම්ප්, රග්බි වලින් පස්සේ දිස්ත්‍රික් වත් ප්ලේස් නැතුව ගියා.”

මලල ක්‍රීඩා සර් කොහොමටත් විරුද්ධයි රග්බි වලට

“අපි සර් ‍මෙයාව මේ අවුරුද්දට විතරක් ගමු. ප්ලීස් රිලීස් හිම් ඔන්ලි ෆො දිස් සීසන්”

සර් ට කියන්න දෙයක් නැති කමට ඕකේ කිව්වා.

ඇත්තටම අපේ පළමුපෙළ රග්බි ටීම් එකේ හිටපු හොඳටම දුවන්න පුළුවන් සහ බෝලෙ දුන්නොත් අනිවාර්යයෙන්ම ගෝල් එකක් අරගෙන දෙන මිනිහා තමයි සචින්ත, ඒත් මිනිහා අමු මැට්ටා. ඕ ලෙවල් දෙපාරක් කරලත් පාස් වුනේ නැහැ.

මගේ තිබුන එකම විශේෂත්වය තමයි හොඳට දුවන්න පුළුවන් වීම සහ දරාගැනීමේ ශක්තිය. මීටර් සීය වගේ කරන අයට මේ ක්‍රීඩාව අමාරුයි. හොඳම තමා මීටර් 400 හෝ 800 වගේ දුවන්න පුළුවන් වීම. මොකද ඒ අයට වැඩි දරාගැනීමේ ශක්තියක් තියෙනවා.

නැත්නම් මම රග්බි ක්‍රීඩාවේ අතිශය මූලික නීති හැර වෙන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මට ඇතුතටම ආසාවක් තිබුණා මොකද නුවර ඒ කාළේ රග්බි වලට හොද ජනප්‍රියතාවයක් තිබුණා. විශේෂයෙන්ම මහනුවර ක්‍රීඩා සමාජය එක දිගමට තරග වලින් ජය ලබන්න පටන් ගත්තේ ඒ කාළේ නිසා.

කොහොමහරි විදුහල්පති තුමාගේ මැදිහත්වීම නිසා මගේ අම්මත් අකමැත්තෙන් හරි කැමති වුනා මට තව එක සීසන් එකක් විතරක් සෙල්ලම් කරන්න දෙන්න.

ඔන්න ඔය විදිහට මම නොසිතූ විදිහට මට ඉස්කෝලෙ පළමු පෙළ රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුනා.

.................................

මේ අතරේ දවසක ලයාංගි මට කතා කළත් මම කෝල් එක ගත්තේ නැහැ. අම්මා කිව්වා මම නැහැ කියල. මට හිතුනා මම ගත්ත ඒ තීරණේ හරි කියල. ‍නැත්නම් එයා මං ගැන බලාපොරොත්තු තියාගෙන බැරිවෙලාවත් ලංකාවට ආවොත් ආයෙත් මම දෙලොවක් අතර හිරවෙනවා.

ඒත් මගේ රග්බි පුහුණුවීම් නිසා මට තිබුණ විවේක කාලය බොහොම අඩුවුණා. සඳුදා පටන් ගත්තහම සිකුරාදා වෙනකං හැම සතියේ දවසකම උදේ 6.30 ශාරීරික ව්‍යායාම, 8.30 ට පන්තියේ වැඩ, හවස 2.30 ට ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ආයෙත් 3.00 වෙනකොට එන්න ඕනේ පුහුණුවීම් වලට. සෙනසුරාදා උදේ වරුව ටියුෂන් පන්ති යනවා, හවස් වරුව විතරයි නිදහස් වෙන්නේ. ඉරිදා දවසම අපේ ඉස්කෝ‍ලෙම ගුරුවරු මගින් ටීම් එකේ අයට මගහැරෙන පාඩම් වලට පන්ති දාලා. අනිත් එක ඉරිදා හවස් වරුව මම යොදා ගත්තා මලල ක්‍රීඩා පුහුණුවීම් වලට. මොකද මට ඒක අතාරින්න හිතුනෙත් නැහැ.

අම්ම නම් කොහොමවත් කැමතිවුනේ නැහැ මේ කාල සටහනට. හේතුව තමයි පුහුණුවීම් වලින් පස්සේ ගෙදර ගියාම ආයෙත් පාඩම් කරන්නනම් කොහොමවත් බැහැ. ඉරිදත් ඒ වගේමයි. සෙනසුරාදා තමයි මම පොඩ්ඩක් වලක් බහින්න වගේ තියාගෙන ඉන්නේ. ඒ නිසා එදාටත් මම ගෙදර නැහැ.

මේ අතරේ ඉස්කෝලෙ වාර විභාගෙත් ආවා.

මොන අතිරේක පන්ති, ටියුෂන් තිබුණත් විභාගේ කිට්ටු වෙනකොට තේරුණා ඔලුවේ කිසිම දෙයක් නැහැ කියල.

එදා වාර විභාගේ පළවෙනි දවස උදේ...................

මම උදේම පන්තියට ආවා, ඉස්කෝලෙ ප‍ටන් ගන්නෙ 8.30 ට වුනත් අදනම් හැමෝම කළින් ඇවිත්. මාස ගාණක් පාඩම් කරපු නැතිවා අද උදේම පාඩම් කරගන්න වගේ සමහරු පොත් පෙරළගෙන.

සචිත්‍ර ලොකු පොතක් පෙරළගෙන කියවනවා.

මම කතා කළා

“යකෝ, තුන්සිය හැ‍ටපස් දවසම වල බැහැලා, විභාගේ දවසේ උදේ පාඩම් කළාට පාස් වෙන්න බෑ, වරෙන් යන්න ඉස්කෝලෙ පටන් ගන්න කළින් ෆැග් එකක් වත් ගහල එන්න.”

“යකෝ අදවත් උදේ පාන්දර ඔය සිගරට් එක නැතුව හිටපං”

“ආ.. උඹ එහෙමද, මම යනවා චූටි අයියගෙ කඩේට, උඹ ඕනෙනම් වරෙන්”

මම එහෙම කියල ගේට්ටුව පැත්තට ඇවිදගෙන ගියා.

සචිත මොනවා කිව්වත් එන බව මම දන්නවා. අපි දෙන්නා කඩේට යනකොට අපේ ඉස්කෝලෙම උන් පිරිලා. අපි දෙන්නා එක සිගරට් එකක් පත්තු කරගත්තා.

“මචං කාවා, පිස්සු කෙළියා වගේ නෙවෙයි බං, ටර්ම් ටෙස්ට් එක වුනත් ‍ගොඩ දාගත්තේ නැත්නම් අනාථයි”

සචිත්‍ර කියන එකත් ඇත්ත. අපේ ඉස්කෝලෙ වාර විභාගයට ලකුණු අඩු වුනොත් දෙමව්පියන් ගෙන්නලා ඒ අයත් එක්ක කතා කරනවා. ලකුණු අඩු වෙන්න හේතු හොයනවා. විශේෂයෙන්ම මේ වතාවේ මට ප්‍රශ්නයක් තිබුනා, මම හොඳ ලකුණු ගත්තේ නැත්නම් විදුහල්පතිතුමා එකග වෙලා තිබුණා මගේ රග්බි ආයෙත් නවත්තන්න.

ඒත් මොනව කරන්නද, යන්තම් භෞතික විද්‍යෘව විතරයි මට අල්ලලා ගිය විෂය වුනේ. ඒකටනම් මම හැමදාම ලකුණු 60 එහා ගත්තා. සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව නම් තනිකරම පාඩම් කරන්න නිසා, එපාම වෙලා තිබුණේ, රසායන විද්‍යාව නම් තනිකරම ග්‍රීක් වගේ. මට කවදාවත් ලකුණු 15 වඩා තිබිලා නැහැ.

විභාගේ තනිකරම පිස්සුවක් වුනා. පළවෙනි වාරය නිසා, ඉස්කෝලේ අතිරේක වැඩ වැඩිම වාරය, ක්‍රීඩා උත්සවය, බිග් මැච් එක, මලල ක්‍රීඩා තරග සහ මෙකී නොකී දේවල් හැම දෙයක්ම තිබුණේ මේ වාරෙ නිසා කිසිම කෙනෙක් පාඩම් කරලා තිබුණේ නැහැ. පාඩමටම හිත යොදවන කීප දෙනෙක් නම් හැමදාම වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලිව්වා. ඒත් මම සහ මගේ කාණ්ඩෙට වැටෙන් ගොඩක් එවුන් සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. ප්‍රශ්න පත්තර හදපු සර්ල, ටිචර්ස්ලා වුනත් කිසිම අනුකම්පාවක් කරල නැහැ වගේ. අඩුම ගාණේ පොතක් පෙරලලා ලියන්නවත් ඒ පාඩම ඉගෙන ගත්තදවත් කියල මතක නැහැ.

ඒත් අපේ පන්තියේ නම් අර ගෑණු ළමයින්ගේ වගේ ආත්මාර්ථකාමී ළමයි හිටියේ නැහැ. පාඩම් කරල තිබුණ කීප දෙනා කිසිම ලෝබ කමක් නැතුව උන් ලියල එවපුවහම උත්තර පත්තර අපිට පාස් කරල එව්වා.

සචිත්‍ර හිටියේ මට දෙන්නෙකුට ඉස්සරහ. මට කෙලින්ම පිටිපස්සේ හිටියේ අපේ රග්බි කණ්ඩායමේ අංක 8 ක්‍රීඩා කරන අමියා. වම් පැත්තේ ජෙරා. ජෙරා අනිත් වුනට වඩා හොදින් පාඩම් කරපු ටිකක් බ්‍රයිට් කේස් එකක්. හැබැයි කිසිම ආඩම්බරකමක් නැහැ. අපිට විභාග වල වැඩියෙන්ම උදව් කළේ මිනිහා තමයි.

අමියා තකා කරනවා මට ඇහුනා.

“මචං ජෙරා, මේ ටිකට උත්තර කියපං බං”

ජෙරා උත්තර පත්තරයක් අමියා දිහාවට දික් කළා

අමියා ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.

“මචං ජෙරා, මට මේ මගුල තේරෙන්නේ නැහැ බං, අඩේ හොඳ කොල්ල වගේ ලියලම දීපං”

මට ඒකට හොදටම හිනා ගියා. මූ උත්තරේ අහනවා මදිවට ලියලා දෙන්නත් කියනවා.

කොහොම හරි දන්න සෙල්ලම් ඔක්කොම දාලා යන්තං හිතට සැනසීමක් ලැබෙන විදිහට විභාගෙ කරගත්තා. පාඩම් කරපු උන් හොඳට වැඩේ කරල තිබ්බොත් අපිත් ගොඩ.

විභාගේ අන්තිම දවසේ ප්‍රශ්න පත්තරේ ඉවර වෙලා අපි ඔක්කොම සෙට් වුනා. අමියා, ජෙරා, කන්නා, විජේ, සචියා, චතුර, දිලීප්, චානා, මදාවියා, මලා, සම්මා, මාපිලා, ඇන්ඩි, කිරියා, බඩුපියා, තඩියා කුලා, හේමන්ත සහ මම තමයි අපේ බයෝ, මැත්ස්, කොමර්ස් සහ ආට්ස් පන්ති හතරේ අතිජාත සෙට් එක.

අපි ටික දෙනා ගිය ගිය තැන මොකක් හරි ලෙඩක් දාල තමයි එන්නේ. ඒත් ඉස්කෝලෙ හිටපු හොඳම හැකියාවන් තිබුන උන්. ඉස්කෝල ක්‍රිකට් නායක තඩියා, රග්බි නායක කුලා, මලල ක්‍රීඩා නායක මම, ඒ වගේම බෞද්ධ සංගමයේ සභාපති දිලීප්, ලේකම් මදාවියා, විද්‍යා සංගමයේ සභාපති කන්නා, ලේකම් මම සහ මෙවැනි මෙකී නොකී හැම එකකම ක්‍රියාකාරී සාමාජිකයෝ වුනේ අපි. එක්කෝ අනිත් එවුන්ට අපිත් එක්ක ඒ ගැම්මට වැඩ කරන්න බැරිවුනා, නැත්නම් අපි ඒ කාටවත් වැඩ කරන්න දුන්නේ නැහැ.

විභාගේ අන්තිම ප්‍රශ්න පත්තරේ ඉවර වුනා විතරයි චතුරගෙන් ආවා අදහසක්

“මචංලා හිතේ තියෙන ප්‍රශ්න යන්නත් එක්ක ‍අද සෙට් වෙමුද. යන්තං විභාගේ ගොඩ වගේ පේනවානේ”

“යකෝ, මේක මේ වාර විභාගේ”

“හරි හරි, වාර විභාගෙට ලකුණු 35 ගාණේ ගත්තත් ඒ‍ ලෙවල් උඩින්ම ගොඩ. අපේ සර්ලා හදන පේපර් වලට වඩා ඒවා ලේසියි බං”

ඒකනම් ඇත්ත. අපේ ඉස්කෝලේ ගුරුවරු හදන ප්‍රශ්න පත්තර තරම් අමාරු ඒවා මම කවදාවත් දැකලා නැහැ. අපි ටියුෂන් වල එහෙම පාස්ට් පේපර්ස් කරනකොට ඒවට ලකුණු තියෙනවා මීට වඩා

“යකෝ මේකෙත් 35 ගන්නේ කොපි කරලනේ, උඹ ඒ ලෙවල් ගිහිනුත් කොපි කරන්නද යන්නේ”

“ඒක ඒ වෙලාවට බලාගමු බං, දැන් මේ මගුල් කතා නොකර පොඩි ආතල් එකක් දාමු”

අපි අන්තිමට ගෙවල් වලට යන්න කල්පනා කරනකොට වෙලාව හවස 5 විතර ඇති.

සචිත්‍ර මට කතා කළා

“කාවා උඹ ගෙදර යනවද නැත්තං ...... අපි පොඩ්ඩක් හවසට සෙට් වෙමුද”

“දැන් හවස තමයි බං”

“එහෙම නෙවෙයි කිව්වේ. අපි අයියගේ ප්ලේස් එකේ සෙට් වෙමුද”

“අද?”

“ඔව් බං, චතුරත් එන්නම් කිව්වා, මම අයියවත් අදට ෂේප් කරගත්තා”

“බලමු, ගෙදර ගිහිල්ලා අයෙත් එළියට එන එක තමයි කෝස් එක”

“අද විභාගේ අන්තිම දවසනේ, අපි ෆිල්ම් එකක් බලනවා කියපං”

“රෑ?”

“ඇයි බං 7.30 ද කොහෙද තියෙන්නේ”

“සල්ලි”

“ඒව මගේ ගාණේ”

“අම්මා, සචියා උඹනම් දෙයියා”

“එනවද”

“නිකං දෙනවනං දෙමළ පත්තරෙත් ගන්නවනේ බං, අනිවා එනවා”

“එහෙනං 7.00 ට ජෝයි බෝට් එක ළග, මටත් එක්ක හෙල්මට් එකක් ගෙනෙං”

Saturday, June 26, 2010

~ ප්‍රථම ආදරය ~ (13)

මම සෑහෙන වෙලාවක් ලියුම දිහා බලාගෙන හිටියා. මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නැහැ. හිත නිකං අතරමං වෙලා වගේ.

“මොකද බං, හොල්මනක් දැක්කා වගේ”

මම කතාවක් නැතුව සචිත්‍රට ලියුම දික් කළා.

“මම බැලිවට කමක් නැද්ද?”

“හු....... කතා කරනවා, උඹනේ වැඩේ සෙට් කළේ.... දැන් අහනවා කියවන්නද කියලා. බලපිය මොකද වෙලා තියෙන්නේ කියල”

සචිත්‍ර විනාඩි පහක් විතරම ලියුම කියෙව්වා.

“යකෝ..... මේක මළ කෙළියක්නේ. ගිය මාසෙ වෙනකම් උඹ කෙල්ලෙක් දිහා බැලුවෙවත් නැහැ. උන් උඹ දිහා බැලුවෙත් නැහැ. මේ දවස් දෙක තුනට මුන්ට පිස්සු වැහිලද, නැත්තං ලංකාවේ වෙන කොල්ලෝ නෑ කියල හිතලද උඹට පැනි හලන්නේ”

“මේ උඹ පිස්සු කියවන්න එපා. මම මේ කරකවල අතෑරියා වගේ ඉන්නවා. උඹ බයිල කියනවා”

“බයිල නෙවෙයි බං, උඹේ කෙන්දරේ බලවගනිං”

“කුණුහරප කියන්න එපා, මගුල් කේන්දර”

“හරි කාවා, කියපං උඹ මොකද කරන්නේ”

“මචං සචියා, උඹ තමා මං ගැන හොඳටම දන්නේ. උඹ දන්නවනේ මම කවදාවත් කෙල්ලන්ගේ පස්සේ ගිය නැති බව, මට දැන් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. වෙලාවකට හිතෙනවා මේ දෙකම අතහැරලා දාලා ඉස්සර හිටියා වගේ ඉන්න, ඒත් දැන් ඒ වගේ හිත කොන්ට්‍රෝල් කරගන්න අමාරුයි බං”

“කෙල්ලෙක්ගේ ආදරේ කියන එක එහෙම තමයි බං, නොදැනම ඉන්න කොට කිසි අවුලක් නෑ, ඒත් එක සැරයක් හරි ඒක දැනුනොත් ආයේ අම්ම මුත්ත කිව්වත් ඒක නැතුව ඉන්න බෑ”

“යකෝ උඹ දන්න දේවල්”

“මම කිව්වට විශ්වාස කරන්න එපා, මෙතනට අත තියල අහපං මොකද කරන්න ඕනේ කියලා”

සචිත්‍ර මගේ ඔළුවට අත තියලා කිව්වා

“නෑ බං. මේ වගේ වෙලාවට කරන්න ඕනේ මෙතන කියන දේ නෙවෙයි, මෙතන කියන දේ”

මම මගේ හදවතට අත තියල කිව්වා

“ඒකත් ඇත්ත, මේ වගේ වෙලාවට මොලේ කියන දේ කරන්න ගියොත් වෙන්නේ අනාත සාගරේ, අපි හදවත කියන දේ කරමු”

“ඒකම නෙවෙයි සචියා, මට හැම වෙලාවෙම, හැම වැඩකදිම මාව විශ්වාස වුනා. ඒ නිසා තමයි මම කිසිම දවසක ආගමක්වත් අදහන්න හිතුවේ නැත්තේ. තිසිම දේවාලයකින් පිහිට ඉල්ලුවේ නැත්තේ. උඹ දන්නවනේ මගේ කේන්දරෙත් මම ඉරල විසි කළ බව, ඒත් බං ජීවිතේ පළවෙනි වතාවට මට මාව විශ්වාස නැති වුනේ මේ ප්‍රශ්නෙදි”

“මට උඹව තේරෙනවා බං”

“මම සාමාන්‍යයෙන් මොලෙන් කල්පනා කරලා තීරණ ගන්න බැරි වෙලාවට කරන්නේ හිත කියන දේ, එහෙම කරලත් මට කවදාවත් වැරදිලා නැහැ”

“හරි කියපංකෝ එහෙනම් උඹේ හිත මොනවද කියන්නේ කියලා දැන්”

“දැන් නම් හිත කියන්නේ ඉවසපන් කියලා, හදිස්සි වෙන්න එපා කියලා, මගේ ඉරනම්කාරි තාම හරියටම අඳුරගත්තේ නැහැ කියලා”

“ඒ මොන කුණුහරපයක්ද බං, කෙල්ලෝ දෙන්නෙක් ගෙඩි පිටින් උඹට ලව් කරනවා කියලා කිව්වා, ලස්සන, ගතිගුණ, බර මේ හැම අතින්ම උන් එකෙකුට එකෙක් දෙවෙනි නෑ, උඹ කියනවා ඉරනම් කාරියෙක් ගැන, පුතේ උඹ ඔය කරගන්න හදන්නේ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනකොට ඒකට පයින් ගහල ඌව ඔරොප්පු කරගන්න”

“නෑ බං මම හැමදාම කළේ මගේ හිත කියන දේ, වැරදිලා නැහැ කවදාවත්.”

“උඹට ඕනෙ මගුලක් කර ගනින්,ඒත් කෙල්ලො නිසා මූඩ් ගහල, පිස්සු කෙළල අනාගතේ අනාත කරගන්න එපා, උඹගේ අම්මයි තාත්තයි හිතාගෙන ඉන්නේ උඹ කවදහරි හොඳ තැනකට එයි කියල”

“මං දන්නවා බං, ඒ දෙන්නා මට කවදාවත් ෆෝස් කරල නෑ අරක කරන්න මේක කරන්න කියලා. පාඩම් කරන එක වුනත් නොකරම හිටියොත් විතරයි ටිකක් කෑ ගහන්නේ. කවදාවත් කිව්වේ නැහැ අනිත් එකාට වඩා ලකුණු ගනින් කියලා. ඔයා හොඳට හිටියොත් ඒ අපිට ඇති කියල තමා කිව්වේ. ඉතිං උඹ හිතනවද කවදාවත් මම ඒ නිදහස නරක විදිහට ප්‍රයෝජනයට ගනී කියලා.”

“උඹ බණ මට තේරෙන්නේ නැහැ. ඒත් උඹගේ අම්ම නම් මාරම ෆෙලෙක්සිබල් කියල මම දන්නවා”

“මටත් තියෙන බය ඒකම තමයි බං, අම්ම කවදාවත් හිතන්නේ නැහැ මම මේ කාලෙදි කෙල්ලෙක් එක්ක යාළු වෙයි කියල. ඒ නිසා තමයි කවදාවත් මම යන තැන් පන්නන්නේ නැත්තේ, මේ සීන් ආරංචි වුනොත් මට මාර නෝන්ඩිය වෙන්නේ”

“කාවා, මට දැන් ඇත්ත කියපං. උඹ මොකක්ද කරන්න යන්නේ. දෙන්නගෙන් කාත් එක්ක හරි එෆෙයාර් එකක් පටන් ගන්නවද?”

“නේ අයිඩියා මචං, සිරාවටම හිත කියනවා ‘නෝ හරී’ කියලා”

“ඒකත් එහෙමද?”

“මම හිතාගත්තා මේ සීන් එක නිසා ඔලුව අවුල් නොකරගෙන ඉස්සරහට එන මීට් එකට ලෑස්ති වෙන්න, විභාගෙ ෆේල් වුනොත් අඩු ගානේ ඉස්කෝලෙ ගිහිල්ල ඒකවත් හරියට කළා කියලා කියන්න පුළුවන්නේ”

“ඒකත් එළ අයිඩියා එක තමයි, කෙල්ලං වහ කඳුරං කියල අපි ඉමු අපේ පාඩුවේ”

“මේ සචියා මට ඇත්ත කියපං, උඹට ඉරිසියයි නේද?”

“‍නෑ යකෝ, මම සිරාවටම නෑ, එකට ඉන්න උඹට හරියනවා කියන්නේ මට හරිගියා වගේ තමයි, ඒත් මට උඹව තේරුම් ගන්න බෑ බං”

“උත්සහ කරන්නත් එපා, අපේ ෆිට් එක ඒ විදිහටම තිබුනොත් ඒ ඇති”

“මොනව කියනවද, ඒක නැතිවෙන්නේ නැහැ බං, උඹට ඕනේ දෙයක් කියපං මම හෙල්ප් කරන්නම් බෙල්ල කඩාගෙන හරි”

“අන්න එහෙම වරෙන්, ෆිට් තමා”

මටම හිතාගන්න බැරි වුනා මම කොහොමද ඒ විදිහට ඉක්මනට වෙනස් වුනේ කියලා. සමහර විට මගේ තියෙන මේ හැකියාව නිසා මම අමාරුවේ වැටිලත් තියෙනවා. ඒත් ඒ ‍වෙලාවේ මම කල්පනා කළේ ඔලුව අවුල් කරගන්නේ නැතුව මේ ප්‍රශ්නෙ විසඳගන්න විදිහක්.

මම තීරණය කළා ටික දවසකට දිනිව මගහරින්නත්, ලයාංගි කෝල කළොත් ඒකත් මග හරින්න. දෙවෙනි තීරණය හරිද කියල සැකයක් මට ඇති වුනත් ඒක ඔප්පු වුනේ ටික කාලයක් ගිහිල්ල

ඊළග දවස් දෙකත් මම ඉස්කෝලෙ ගියේ නැහැ. කොළඹ අයියගේ ගෙදර ගිහිල්ල හිටියා.

ඊළග සදුදා මෙඩිකල් එකකුත් අරගෙන අම්මවත් එක්කගෙන ඉස්කෝලෙට ගියා. මොකද අපේ ඉස්කෝලෙ එක දිගට දවස් දෙකක් එන්නේ නැතුව හිටියොත් දෙමව්පියන් ඇවිල්ලා කරණු කිව්වේ නැත්නම් ගෙදර තමයි.

ප්‍රින්සිපල් ලගට ගිහිල්ලා අම්ම ගියාට පස්සේ පන්තියට යනකොට 9.00 විතර ඇති.

මම පන්තියට ඇතුල් වෙනකොටම චතුර දොර හරස් කළා.

“පොඩ්ඩක් හිටපං”

ඊට පස්සේ ඌ කොහෙන්ද මන් දන්නේ නැහැ බුලත් කොලයක් අරන් මගේ ඉස්සරහ දන ගැහුවා.

“වඩින්න දෙවියනි, ඔබ ශ්‍රේෂ්ඨයි”

අනිත් එවුන් බඩ අල්ලගෙන හිනා වෙනවා.

“උඹට මඤ්ඤංද?”

“නෑ දෙවියනි. මා මඤඤං වී නැත. අති සුන්දර බාලිකාවියන් දෙදෙනෙකුගේ ආදරය ලැබීයෙන් පසුවත් ඒ සියල්ල අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත ලා ඉගෙන ගැනීමට ගත් තීරණය නිසා ඔබ ශ්‍රේෂ්ඨයි.”

සචියා මේ ටිකට ගින්දර දීල වගේ

“දෙවියනි, ඔබ ගේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව මේ ............ කොලෙජ් එකේ රන් අකුරින් ලියවෙනු ඇත”

“යකෝ බුල් නැතුව යන්න දීපං”

“දෙවියනි තව එකම ප්‍රශ්ණයක් ඉතිරි වී ඇත. ඔබ මේ තීරණය ගත්තේ ඔබගේ ශ්‍රේෂ්ඨත්වය අවුරුදු ගණනක් පෙරීමෙන් පසුවත් කෙල්ලෙක් අල්ලාගත නොහැකි වූ අප වැනි නර පණුවන්ට පෙන්වීමටද නැතහොත් ඔබ ‘ගේ’ නිසාද”

මටත් හිනාව නවත්ත ගන්න බැරි වුනා. චතුර තමයි අපේ පන්තිවල හිටපු හොඳම නළුවා. ඉස්කෝලෙ මොනම නාට්‍යයක් තිබ්බත් ඌ තමයි ප්‍රධාන නළුවා. ඌ ඒක ඕනෙම තැනකදි ලස්සනට ප්‍රයෝජනයට ගන්නවා

පන්තියේ උන් තාම බඩ අල්ලගෙන හිනාවෙනවා. චතුර තාම දණ ගහගෙන

එකපාරටම පන්තියේ කොරිඩෝ එකට තියෙන ජනේලය ලගින් සද්දයක් ආවා.

“කව්ද යකෝ හූ තියන්නේ, අනිත් පන්තිවල උන් ඉගෙනගන්නව කියල දන්නේ නැද්ද”

අපේ ඉස්කෝලෙ උසස් පෙළ සිංහල කරන සර්, මිස්ටර් ගලා.

මම හිටපු තැනම ගල් වුනා. චතුර බිම මොනවදෝ හොයනවා වගේ ඉන්නවා.

“තෝ මොකද නැගිටලා පරයා, පන්තියේ කව්රුත් නැත්නම් ඉඳගෙන ඉන්න දන්නේ නැද්ද?”

කවදාවත් වචන නැති නොවෙන මගේ කටට වචන ආවෙ නැහැ.

“තෝ මොකද දනගහගෙන, මුගේ අරක හොයනවද?”

මීයට පිම්බා වගේ තිබුණ පන්තියම එක පාරටම හයියෙන් හිනා වෙන්න ගත්තා. එහා පන්තියේ එවුනුත් එළියට ඇවිල්ලා. මට නිකං ඔක්කොම ඉස්සරහ කලිසම ගැලෙව්වා වගේ දැනුනා.

“නවත්ත ගනින් පරයෝ සද්දේ, තොපේ කන පලනවා තව වචනයක් හරි කිව්වොත්. කාවින්ද, චතුර වරෙන් මාත් එක්ක යන්න.”

“ඇයි සර් අරක හොයල දෙන්නද?”

චතුරගේ කට තමා කට

චටාස්

මම දැක්කේ චතුර නිකං කපා දාපු ගහක් වගේ වැනෙනවා. තත්පරයක් ඇතුලත ඌ බිම.

“වරෙව් යන්න”

සර් අපි දෙන්නව ඇදගෙන ගියා එළීයට

ආ මට කියන්න අමතක වුනා මගේ තාත්තත් ගුරුවරයෙක්. අපේ ඉස්කෝලෙම තමා උගන්වන්නේ. ඉතින් මේ වගේ වෙලාවක මගේ තත්වේ කියන්න ඔනේ නැහැනේ. අනික ගලා සර් මගේ තාත්තගේ හොඳම යාළුවෙක්. ඒ අස්සේ දවස් ගාණක් ඉස්කෝලෙ එන්නේ නැතුව අම්මත් එක්ක ඇවිල්ලා ප්‍රින්සිපල් හම්බවෙලා පන්තියට යන්න අවසර ගත්තා විතරයි. අදනම් තාත්තාගෙන් කනවා කෑමක් කියල මට හිතුනා.

පන්තියේ අනිත් එවුන් හොල්මන් වෙලා වගේ ඉන්නවා මම දැක්කා.

අපි දෙන්නා බලු පැටව් දෙන්නා වගේ සර්ගේ පස්සෙන් ගියා. චතුර තාම කම්මුල අතගානවා.

“උඹට රිදුනද?”

“නෑ ෆුල් ආතල්, පුදුම සනීපයක් තියෙන්නේ”

මට හිනා ගියා

“කාවින්ද තමුසෙට මෙච්චර දෙයක් කියලත් සද්ද නැතුව ඉන්න බැහැ‍ නේද?”

සර් ඇහුවා

මම කට තදකරගත්තා.

සර් කෙළින්ම අපි දෙන්නව එක්කරගෙන ගියේ ස්ටාෆ් රෑම් එකට. සර්ගේ මේසේ ඉස්සරහ අපිට හිටගන්න කිව්වා.

මම වටපිට බැලුවා. හොඳ වෙලාවට තාත්තා නැහැ. පන්තියකට යන්න ඇති.

සර් ඉඳගෙන මොනවදෝ ෆයිල් වගයක් පෙරළනවා. අපි ඉන්නවද කියලවත් ගාණක් නැහැ.

චතුරයා හෙමීට ඇහෙන් මට සර්ගේ මේසේ එක කොනක් පෙන්නුවා. සිගරට් බාග දෙකක් තියෙනවා මේසෙ උඩ.

මම හෙමීට ඒ පැත්තට ළං වුනා. සර්ගේ මේසෙ උඩ තිබුණ රූල සර්ට නොපෙනෙන්න ගත්තා.

සර් මෙලෝ සිහියක් නැතුව ෆයිල් එක පෙරලනවා.

මම රූලෙන් හෙමිහිට තල්ලු කරලා අර සිගරට් කොට දෙක මගේ පැත්තට ගත්තා. ඒක බිම දානවත් එක්කම චතුර නැමිලා අහුල ගත්තා.

“දාගනින් යකෝ කලිසම් සාක්කුවට.”

“ඌ ඉක්මනට වැඩේ කළා”

මට හිතෙන විදිහට අපි පැය බාගයක් විතර ඉන්න ඇති. පීරියඩ් එකකුත් ඉවර වුනා. තාත්තා ආවා ස්ටාෆ් රූම් එකට

“මොකද ඔතන, ඇයි”

තාත්තා මට කතා කළා

මම හෙමිහිට ඒ පැත්තට හැරුණා.

“සර්, තාත්තා කතා තරනවා”

“යනවා, සර් ෆයිල් එකෙන් ඔලුව නොඋස්සාම කිව්වා”

මම චතුරවත් ඇදගෙන තාත්තා ළගට ගියා

“ඇයි මොකද මෙහේ?”

“අර ඉස්කෝලෙ ආවෙ නැතුවට ලියාගෙන ආපු ලියුම සීල් කරලා නැහැ. ප්‍රින්සිපල් කිව්වා ගලා සර්ට කියල සීල් කරගන්න කියල”

මම ඇහෙන නෑහෙන ගානට කිව්වා.

“තමුසේ”

තාත්තා චතුරගෙන් ඇහුවා

“මාත්එමමයි” ඌ කිව්වා.

“ගලා උඹ වැඩනම් මම මේ වැඩේ බලන්නද?”

තාත්තා ඇහුවා

“හරි හරි ඕකුන් දෙන්නා මොනව කරයි ද දන්නෑ”

දෙයියෝ දුන්නා වගේ. තාත්තා අපි දෙන්නවත් අරගෙන අනිත් පැත්තේ තිබුණ එයාගේ මේසෙට ගියා.

“කෝ ලියුම් දෙක”

“සර්, ඒක පන්තියේ”

“එහෙනම් යකෝ ආවේ මගුලටද, දුවපං, ඉක්මණට අරගෙන වරෙන්”

මම චතුරගේ මූණ බැලුවා

“වරෙන් යකෝ, කකුල් දෙකට පින් දීල දුවපං”

චතුරයා කිව්වා

අපි දෙන්නා කෙළින්ම ගිහිල්ලා නැවතුනේ පන්තියේ.

“මොකද යකෝ හති දාන්නේ ගලා උඹලව පන්නනවද ගහන්න”

“නෑ බං ඌට මඤඤං කොහෙදෝ, අපි දෙන්නා පැන ගත්තා”

“මොකද වුනේ”

“මොකුත් නෑ බං, ඌ අපිව ස්ටාෆ් රූම් එක්කගෙන ගිහිල්ලා හිටගෙන ඉන්න කියල උගේ වැඩ පටන් ගත්තා, අපි දෙන්නා මුගේ තාත්තට පින්සිද්ද වෙන්න පැන ගත්තා”

අපි දෙන්නටම හිනා වුන දේ ගැන.

වැඩි වෙලාවක් ගියේ නැහැ ගලා සර් ආවා අපේ පන්තියට.

“තොපි දෙන්නගෙන් කව්ද මගේ මේසේ උඩ තිබුණ දේවල් හොරකං කළේ”

සර් කෙළින්ම අපි දෙන්නගෙන් ඇහුවා

“මොනවද සර්?”

මම කිසිම දෙයක් දන්නෑ වගේ ඇහුවා

මොනවද වරෙන්කෝ කියල දෙන්න.

සර් චතුරව අල්ල ගත්තා. මගේ ඇගම බයෙන් ගැහෙනවා. දැන් සර් සාක්කු බැලුවොත් නම් අපි දෙන්නට සෑහෙන දඩුවමක් හම්බවෙනවා.

මූත් කිසි ගානක් නෑ වගේ සර් ළගට ගියා. පන්තියේ අනිත් එවුන් ආයෙත් උඩ බිම බලනවා.

“යකෝ අරක විසි කරපන්”

මම ඇහෙන නෑහෙන ගානට කිව්වා.

“සාක්කු එළියට දාපං දෙන්නම”

මම සාක්කු දෙක දැම්මා එළියට. චතුර ටිකක් අදිමදි කළා. මගේ ඇට දාඩියත් දාලා.

ඌ එකපාරටම සාක්කු දෙක එළියට ඇද්දා

සාක්කු දෙකම හිස්. මම හෙමිහිට උඩ සාක්කුව බැලුවා. ඒකත් හිස්. ගලවපං සපත්තු මේස්.

අපි ඒවත් ගැලෙව්වා. ම්හ්..... මොකුත් නැහැ. අනිත් එවුනුත් පෙන්නපං සාක්කු.

පන්තියේ අනිත් උන් හොල්මන් වෙලා. එක එකා සාක්කු එළීයට අදින්න පටන් ගත්තා. මොකුත් නැහැ

ඩෙස්ක් වල ලාච්චු බිමට හරවපං.

අපි ඒකත් කළා. ඒත් මොනවත් නැහැ.

“අදට බේරුණා කියල හිතා ගනින්”

සර් යන්න ගියා.

“මොකද යකෝ වුනේ”

“නෑ බං අපි දෙන්නා උගේ මේසෙ උඩ තිබුණ සිගරට් ඉස්සුවා”

“යකෝ තොපිනම් අපිත් ගස් යන් වැඩ කරන්නේ” අමිල කියනවා

“ඒක නෙවෙයි බං කෝ  බඩු”

මම ඇහුවා

“බඩු තිබේ.” ඌ හෙමිහිට පන්තියේ ගුරු මේසෙ ලාච්චුව ඇරියා

මූ මේ ටිකට අර සිගරට් දෙක මේක ඇතුලට දාලා.

අපේ ඉස්කෝලෙ පන්ති‍වල සෑහෙන ඉඩක් තියෙනවා. ළමයි 35 විතර හිටියත් ඉන්නේ සෑහෙන ඉඩක් තියාගෙන. අනිත් එක පන්තියේ අන්තිම ඩෙස්ක් පේලියෙන් පස්සෙත් අඩි 20 විතර කොටසක් හිස්. මුළු පන්තියම ගත්තොත් අඩි 20 පළල 35 ව්තර දිග වෙනවා.

ඒ නිසා පන්තියේ පිටිපස්සේ ඉන්න කෙනෙක්ව ඉස්සරහ දොර ළගදි පේන්නෙම නැහැ.

අපි පන්තියේ පිටි පස්සට ගිහිල්ලා අර සිගරට් දෙකත් ගහල ඊළග පීරියඩ් එකට සත්තව විද්‍යාව ටීචර් එනකොට හොඳම හොඳ ළමයි වගේ ඉඳගෙන හිටියා.

මෙන්න මේ වගේ තමයි අගේ ඉස්කෝලෙ ජීවිතේ ගතවුනේ. ඉගෙන ගන්නව කියන එක තමා අඩුවෙන්ම කළ දේ. පිස්සු නැටීම උපරිමයි.

මේ සිදුවීම්වලින් පස්සේ සාමාන්‍ය විදිහට ගෙවුණ පළමු දවස තමයි එදා. පන්තියේ උන්ගේ පිස්සු නිසා මට ප්‍රශ්ණ ටික අමතක කරලා ඉන්න පුළුවන් වුනා.

කොහොම වුනත් සචිත්‍රයි චතුරයි පන්තියේ හිටපු හැමෝටම මගේ ආදර කතාව කියලා තිබුණා. ඒ හැබැයි තරහකටනම් නෙවෙයි. ඒ අපේ හැමොගෙම හැටි. අපි අතර රහස් නැහැ.

ඔය විදිහට දවස් කීපයක්ම ගතවෙලා ගියා. සිකුරාදා හවස් වෙනකොට සචිත්‍ර මට කතා කළා. “මොකද හෙට ක්ලාස් එනවද.”

“නෑ බං, මම ක්ලාස් යන එක නවත්තන්න හිතුවා.”

“යකෝ එතකොට?”

“මම ටික දවසක් ක්ලාස් නොයා ඉන්නවා බං, කොහොමත් ඇන ගන්න එකේ ක්ලාස් ගියා කියල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.”

“පිස්සු නැතුව වරෙන්. කෙල්ලෙක් නිසා ජිවිතේම අවුල් කරගන්න එපා බං. ඕව මොනවද නගුට පිටින් අලි මැරෙනකොට”

මූට හැම එකක්ම පිස්සු විකාරයක්. මමනේ දන්නේ මම හිතෙන් මොන තරම් අමාරුවෙන්ද මේ දේවල් අමතක කරල ඉන්නේ කියල.

“නෑ බං, දැන් ක්ලාස් ගියොක් දිනි හම්බවෙනවා. ඊට පස්සේ ඒකිට කතා කරන්න වෙනවා. ඊට පස්සේ ඉතින් උඹ දන්නවනේ.”

“මමනම් දන්නේ නැහැ, උඹට ඕනෙ දෙයක්”

මම ඒ සතියේ ක්ලාස් ගියේ නැහැ. මම හිතන්නේ අවුරුදු ගාණකින් තමයි මම සෙනසුරාදා දවසක දිනිව හිතලම නොදැක හිටියේ. අනිත් හැම දාකම මම ක්ලාස් ගියොත් දිනි මම එනකම්ම ඉන්නවා. එයාගේ ක්ලාස් එක පරක්කු වෙනවා නම් මම ඉඳල කතා කරලම කමා යන්නේ. ඒත් එදා මම හිතලම එයාව මගහැරියා.

මම ඒත් ක්ලාස් ඉවර වෙන වෙලාවට ඒ ළගට ගියා. ඒ සචිත්‍ර හම්බවෙන්න. මොනව වුනත් යාළුවෝ ටික හම්බවෙලා සිගරට් එකක් ඇදලා ගියේ නැත්නම් හිතට හොඳ නැහැනේ.

මම ක්ලාස් එකට ටිකක් ඈතින් තමා හිටියේ. මොකද දිනිගෙ ක්ලාස් එකත් ඉවර වෙන්නේ අපේ ක්ලාස් ඉවර වෙන වෙලාවටම තමයි.

මම හොඳට බලාගෙන හිටියේ දිනි එළියට ආවොත් නෙපෙනෙන්න ඉන්න.

ඒත් එයා ආවෙ නැහැ. සචිත්‍රයි අනිත් අයයි එළියට ආවා. උන් මාව දැකලා ළගට එන්න පටන් ගත්තා. ඒත් එක්කම මගේ පිටිපස්සෙන් කෙනෙක් කතා කළා.

“අයියේ”

මම උඩ ගිහිල්ලා බිම වැටුනා වගේ

එරන්දිකා

දිනිගේ හොඳම යාළුවා.

“ආ එරන්දි, ඔයා මොකද මෙහේ?”

“මම හිටියේ ඔයාව පොඩ්ඩක් හම්බවෙන්න”

මට පේනවා මගේ යාළුවෝ ටික ගල් ගිලලා වගේ බලාගෙන එහෙමම නැවතුනා.

“ඇයි නංගි?”

“තරහ වෙන්න එපා මම මෙහෙම කියනවට, ඒත් දිනි කිව්වා ඔයාව හම්බවෙලා පනිවිඩයක් කියන්න කියලා”

මොන හෙන ගෙඩියක් පාත්වෙන්න යනවද කියලා නොදැන මම

“මොකක්ද?”

කියලා ඇහුවා.

“දිනි අද ක්ලාස් ආවෙ නැහැ. ඒත් එයා කිව්වා ඔයාට ක්ලාස් යන එක නවත්තන්න එපා කියලා. එයා ආයෙත් මේ ක්ලාස් එකට එන්නේ නැහැ කිව්වා”

“ඇයි ඒ?”

“ඒකනම් මම දන්නේ නැහැ අයියේ”

“හරි තෑන්ක්ස් නංගි”

එරන්දිකා යන්න ගියා.

ඒත් එක්කම මගේ යාළුවෝ ටික දුවගෙන ආවා. එරන්දිකාව දන්නේ සදිත්‍රයි, අමිලයි, චතුරයි විතරක් නිසා අනිත් උන් හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා.

“කව්ද බං ඒ පට්ට පාර, ඒ පාර තව එකක්ද, උඹට නම් මහ ඹඹා මාර ලව් එකක් තියෙන්නේ බං”

“පිස්සුද යකෝ ඒ මගේ යාළුවෙක්”

“උඹේ කෑල්ල නෙවෙයිද?”

“විකාර”

“මචෝ, එහෙනම් මට සෙට් කරල දියන්කෝ, මම උඹව මැරෙනකම්ම අමතක කරන්නේ නැහැ.”

මුන් ටික වටවෙලා විකාර කියවනවා. මගේ හිත ගිනි අරගෙන.

දිනි ඇයි මේ වගේ තීරණයක් ගත්තේ. එයාට ආදරේ නොකළත් එයාව ආශ්‍රය කරන එක නවත්තන්න එපා කියපු දිනි ඇයි එකපාරටම මාව මග අරින්න හිතුවේ.

වෙනද වගේම අනිත් එවුන් එක්ක සිගරට් එකක් ගහලා ටිකකින් එකා එකා යන්න ගියා. සුපුරුදු විදිහට සචිත්‍රයි, චතුරයි ඉතුරු වුනා.

“දැන් කියපං ඒ පාර මොකද කියල?”

“මම දන්නෑ බං”

“මොනවද අරකි කියන්නේ?”

“දිනි ආයෙ ක්ලාස් එන්නෑලු. මට ඒ නිසා බය නැතුව එන්නලු”

“ඒ මොකද?”

“ඒක තමා සීන් එක බං, මාව නොබල ඉන්න බෑ කියපු කෙල්ල මොකද එකපාරටම මේ මාව මගහරින්නේ”

“ඒකෙන් කමක් නැහැ, උඹට ඕනෙ වුනෙත් ඒකනේ, දැන් හරිනේ”

“ඒ වුනාට මට මේ ඇයි කියලා දැනගන්න ඕනේ”

“ඔන්න ඕක තමයි තියන්නේ නානවා කියලා. උඹට ඕන ඒකිව නොදැක ඉන්නනේ. දැන් හරිනේ. ආයෙත් උඹ මේ ඇයි කියල හොයන්න ගියොත් වෙන්නේ නාන්න”

“ඒ වුනාට”

“යකෝ තෝ වගේ රට හරක් හදන්න බැහැ”

ඒ මොනවා වුනත් මම හිතාගත්තා ආයෙත් සැරයක් දිනිව ගිහිල්ලා බලනවා කියල......

Thursday, June 24, 2010

~ ප්‍රථම ආදරය ~ (12)

romantic_love-1 මම ලයාංග යන දිහා බලාගෙන හිටියා.

ලයාංගි ඇත්තටම ලස්සනයි.

වෙන කෙල්ලොත් එක්ක බලනකොට නම් අමුතුම වෙනසක් තියෙනවා. එකක් එයාගේ උස, ස්පෝර්ට්ස් කරන නිසාද වෙන්න ඇති එයා අනිත් අයට වඩා උසයි වගේම ලස්සන ෂේප් ඇඟක් තියෙනවා. ඇදුම් අදින්නේ වුනත් ටිකක් වෙනස් විදිහට. ටිකක් පොෂ් ලුක් එකක් තියෙන විදිහට තමයි ඇදුම් පැලඳුම් කරන්නේ.

මම දැනුවත්ව ම කීප දෙනෙක්ම ලයාංගිගේ කැමැත්ත ගන්න උත්සහ කරනවා. ඒත් මම දන්න විදිහට එයා කිසම කෙනෙක් එක්ක කතා කරන්නෙවත් නැහැ.

මේ මොන දේ තිබුනත් මම ලයාංගි දිහා පළමුවෙන්ම බැලුවේ සචිත්‍රගේ උවමනාවට, කතා කළෙත් ඒ නිසා. ඒත් කීප දවසක් ගියාට පස්සෙ නම් මගේ හිතෙත් පොඩි හැඟීමක් ඇතිවුනා.

ඒත් දැන් මේ වෙන්න යන්නේ මොකක්ද?

මම මුලින්ම කෙල්ලෙක් දිහා ආදරය සම්බන්ධ කරලා බැලුවේ ලයාංගි දිහා, ඒත් මගේ ජීවිතේ පළමු වතාවට ආදරෙයි කියලා කිව්වේ දිනි. මේ හැම දෙයක්ම වුනේ බොහොම කෙටි කාලයකදි.

ලයාංගි මාව මුණගැහිලා කතා කරලා ගියත් එයාගේ මේ ගමනේ අරමුණ මොකක්ද කියන එක මට සම්පූර්ණ ප්‍රෙහේලිකාවක්.

ඇයි එයාට ඕනෙ වුනේ මං ගැන විස්තර හොයන්න මේ හදිස්සියේ. ඇයි මට කතා කරලා කියන්න පුලුවන් වෙලාවේ එහෙම නොකර ලියුමක් ලියල එයා ලංකාවෙන් ගියාට පස්සේ මගේ අතට ලැබෙන්න සලස්වලා තියෙන්නේ? මේ කිසිම දෙයක් මට උත්තර නැති ප්‍රශ්ණ.

මම බයික් එකේ නැගල ටවුමට ගියා. ගෙදර යන්න හිතකුත් නැහැ. ඉස්කෝලෙ ඇරෙන්නත් තව පැය තුනක් විතර තියෙනවා. සචියා එහෙම ඉස්කෝලෙ ඇරිලා නුවරට එනකොට කොහොමත් තුන හමාරවත් වෙනවා. එතකං මම මොනව කරන්නද?

මම කරන්න දෙයක් නැති කමට පැලස් එකට ගියා. හයිලන්ඩ් කිරි එකකුයි සිගරට් එකකුයි අරගෙන වාඩිවුනා මේසයක් ළඟ.

සිගරට් එක පත්තු කරන්න හදනකොටම……

“අඩෝ, සිගරට් බිව්වහම ප්‍රශ්ණ වලින් ගොඩ එන්න බැහැ

මම බලනකොට සචිත්‍ර, අමිල, චතුර තවත් ඉස්කෝලෙක අපේ යාළුවෝ වෙන එවුන් සෙට් එකක් එක්ක සිගරට් කීපයකුත් පත්තු කරගෙන ඉන්නවා

“යකෝ, යුනිෆෝම් එක චාටර් කරන්න එපා”

මම කිව්වා

“යුනිෆෝම් චාටර් වෙන්න අපි බබ්බුද, නිකං පලයං ඩෝ උඹල ගේ පැනි හැලිල්ල නිසා තමයි ඉස්කෝලෙ නෝන්ඩි වෙන්නේ. උඹව අනිත් ඉස්කෝල වල හැම එකාම දන්නවා, කෙල්ලොත් දන්නවා, මහ ලොකුවට ……… කොලෙජ් එකේ කියලා… ඒ වුනාට උඹ රෑ තිස්සේ ගෙදර යන්නේ නැතුව කෙල්ලන්ගේ රෙද්ද අස්සෙයි, බාර් වලයි……………….”

චතුරගේ කටට මොනව වෙලාද දන්නේ නැහැ. වටපිට ඉන්න මිනිස්සුත් බලනවා.

සචිත්‍ර හෙමිහිට මගේ ළඟට ආවා.

“බූරුවා… මොකද යකෝ කරන්නේ, ඉස්කෝලෙ එන්නෙත් නැහැ, ක්ලාස් එකකටවත් යන්නෙත් නැහැ, ප්‍රැක්ටිස් වලට යන්නෙත් නැහැ. මොකක්ද බං උඹ කරන්න හදන්නේ.”

මම කතාවක් නැතුව හිටියා

“එක අතකට මගෙයි වැරැද්ද, අපරාදෙ මම උඹට ලයාංගි ගැන වුනත් කිව්වේ”

“නැහැ සචියා, මම පිස්සු කෙලින්නේ නැහැ.”

“නැත්තේ මොකද බං, උඹ මොනවද මේ කරන්නේ, උඹ ක්‍රිකට් රගර් දෙකම නැවැත්තුවේ ඉගෙන ගන්න නේද, ඒත් දැන් මොනවද කරන්නේ, කැම්පස් යන්න තියා පාස්වෙන්නවත් පුළුවන් වෙයිද ඔය විදිහට”

මූ මේ බයිල කතා කරනවා. අපිට කැම්පම් යන්න නම් ඉතින් අපිම තමයි ප්‍රශ්න පත්තර බලන්න ඕනෙත්.

“නෑ බං, කැම්පස් යන එකනම් මම බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි, මට ඕනේ ටිකක් හරි හොදට පාස්වෙලා ස්පෝර්ට්ස් මොනවහරිත් කරලා මාකටින් සයිඩ් එකේ යන්න”

“යකෝ මොන මගුල කරන්නත් දැන් විභාගේ පාස් වෙන්න බලපං”

“පිස්සු නැතිව හිටපං බං, තව අවුරුදු එක හමාරක්ම තියෙනවනේ, මම දාගන්නම් ගේමක් නැතුව”

“එහෙනම් හොදයි. යකෝ උඹ තමා කොලෙජ් එකෙන් 4 වෙනියට හොදටම ඕ ලෙවල් පාස් වුනේ, මී හරකෙක් වෙන්න එපා. නැත්තං අර අබේ අයිය වගේ ඕ ලෙවල් ඩී අටයි, ඒ ලෙවල් කනු හතරයි තමා”

අපේ කතාව අහගෙන හිටපු බොනී, කතා කළා.

“මචෝ කාවා, අපිට කැම්පස් යන්න ස්පෝර්ට්ස් වලින් ලකුණු දෙනවා නේද?”

“ඔව්”

“කීයක් විතර දෙනවද”

“දන්නෑ බං, ඒත් මං හිතන්නේ අඩුම ගානේ නැෂනල් කලර්ස් වත් තියෙන්න ඕනේ“

“ඉතින් බං මට හය පාරක් තියෙනවා, උඹට මං හිතන්නේ අනිත් ස්පෝර්ට්ස් දෙකත් එකතු කළොත් ඊටත් වැඩී, නිකම්ම කැම්පස් යන්න පුලුවන්”

මූ හිතන් ඉන්නේ විභාගෙට ලකුණු 100 විතර අරගෙන ඉතුරු ඔක්කොම මේවයින් ගන්නද දන්නෑ

“අනේ ගොනෝ, එහෙම ලකුණු දෙන්නෑ, උඹ දහපාරක් නැෂනල් ගියා කියල ලකුණු සීයක් දෙන්නේ නැහැ. යන්තං ලකුණු පහක් හයක් අඩුවුනොත් ඒක දෙනවා”

“ඒක හරි අසාධාරණයිනේ බං,අපි මැරිල මැරිල ඉස්කෝලේ නම දිනවලා දෙනවා මුං දෙන්නේ ලකුණු දෙකයි”

“නැත්තං යකෝ උඹ වගේ මැටි අල කැම්පස් ගියොත් ඒවත් වහන්න වෙනවනේ”

මම ආයෙත් කල්පනාවට වැටුනා

මූ කියනව වගේ විභාගෙ පාස් වෙන්නත් ඕනේ.

ඒත් කැම්පස් යන්න නම් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ.

පොඩි කාලෙ ඉදලම මම ඉගනෙගන්න දක්ෂයි හැබැයි හොදටම කම්මැලියි. පන්තියේ 7 වෙනියගෙන් පහළ ගියේ නෑ කවදාවත්. ඒත් වැඩිපුරම හිත තිබුණේ ක්‍රීඩා වලට තමා. ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමට සහ බාස්කට්බෝල් කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒක ඇති වුණාම රග්බ් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒ ලෙවල් නිසා ඒ ඔක්කොම අතහැරලා 11 පහළ ඉදළම මට හොදටම පුළුවන් මළල ක්‍රීඩා වලට කාලය වෙන්කළා. තවම වුනත් මැච් එකක් තියෙනවා නම් මොන වැඩේ තිබුනත් දාලා ඒක බලන්න යනවා. ඒ කාළෙත් එහෙමම තමා.

“ඒක නෙවේ කාවා, ලබන සතියේ බිග් මැච් එක, අපරාදේ බලපං උඹ මේ මගුල් නැතුව ඒක කරගනෙ හිටියනම් උඹ මැච් එක ගේමක් නැතුව ගහනවනේ. අපිටත් උඹ ගාණේ බීලා පොඩි චියර් පාරක් දෙන්න තිබ්බා”

“ඒකෙන් කමක් නැහැ අපි මේ සැරේ මොකද බං කරන්නේ”

චතුර අහනවා

“මොනව කරන්නද, උදේම මැච් එක බලමු. දවල්ට ගිහිල්ලා කොහෙන් හරි නන්න වෙන්න ගහල මොනවා හරි කාලා වැටුන තැන නින්දකුත් දාලා, සවසට ස්කෝර් එක කාගෙන් හරි අහගෙන ගෙදර යමු”

බොනී උගේ දින චරියාව අවංකවම දිගෑරියා.

බොනීත් අනිත් යාළුවෝ දෙන්නත් ඉන්න ඉස්කෝලෙ එක්ක තමා අපි බිග් මැච් එක ගහන්නේ.

“හරක් කතා කියන්න එපා යකෝ. ගිය පාර බීල මාට්ටු වුනා. හොද වෙලාවට අපි ප්‍රථිපල එනකං ගෙදර හිටපු කාලෙ නිසා ෂේප් වුනා, මේ සැරේ නම් මාට්ටු වුනොත් ඇරියසුත් එක්ක කාලා සදහටම ඉස්කෝලෙ ගමන නතර කරන්න වෙනව”

“අවුලකුත් නැහැ ඉතින් මොකද උඹ ඉස්කෝලෙ ගියා කියල මළපොතේ අකුරක් දන්නවයැ. ඕ ලෙවල් කරෙත් වෙන එකෙක් නේ. අඩු ගාණේ බස් ගාස්තුවවත් ඉතුරුවෙයිනේ සිගරට් එකක්වත් ගහන්න”

“අඩෝ කැත කතා කියන්න එපා හරිද, මම පාස් වෙන විදිහ උඹ බලාගෙන හිටපං, ඇඩ්‍ර්ස් නැති වෙන්න”

“කාටද උඹටද?”

මුන්ගේ කතාව පටන් ගත්තොත් අර කොටි වලිගේ වගේ තමා ඉවරයක් නැහැ.

වෙනදනම් මම මේ කතාවට සෙට් වුනොත් අනිත් උන්ට කට වහගන්නම දෙනවා. ඒත් අද මට ඒ ගැන හැඟීමක් නැහැ. මම නොදැනුවත්වම මම ආයෙත් කල්පනාවට වැටිල. බොනී කතා තරනකොට තමයි මගේ දැහැන බිදුනේ.

“කාවාට නම් මොකක් හරි නන්නත්තාර වෙන ප්‍රශ්ණයක් තියෙනවා බං, එක ඉස්කෝලෙ ඉඳල උඹලවත් දන්නේ නැද්ද”

“අපි කොහොම දැනගන්නද බං, ඌ ගල් ගිලපු හොතඹුවා වගේ උඩ බලාගෙන ඉන්නකොට”

සචිත්‍ර ආයෙත් මට ඇනල කතා කළා.

“යකෝ දැන් මෙතන ඉඳලා කාඩ් එකක් හදා ගන්නේ නැතුව යමං”

අපි දෙන්නා අනිත් වුන්ටත් කියලා එළියට ආවා.

“කාවා උඹ ඊයෙ කොහෙද හිටියේ?”

“කොහෙවත් නෑ බං ගෙදර”

“බොරු කියන්න එපා යකෝ, උඹ ගෙදර නෑ කියල මම දන්නවා”

“ආයෙත් අරකිව බලන්න ගියාද රෑ තිස්සේ”

“කාවද?”

“කාවද? දන්නෑ වගේ අහන විදිහ, දිනිව”

“පිස්සුද යකෝ”

“මේ මචෝ, උඹ මොනව කරනවද කියල මමනම් දන්නේ නැහැ. ලව් කරනවනම් ලව් කරපං නැත්තං අතෑරලා දාලා පාඩුවේ වෙන වැඩක් බලා ගනින්. උඹට දැන් ප්‍රශ්නයක් නෑනේ.”

“ඇයි ප්‍රශ්නයක් නෑ කියන්නේ”

“ඇයි බං, දැන් උඹට දිනි ආදරෙයි, උඹ ඒකිට ආදරෙනම් වැඩේ පටන් ගනින්, නැත්නම් උඹ ලයාංගිට නම් කැමති ඒක දාගන්න බලපං, නැත්නතං දෙකම අතහැරලා හිටිය වගේ හිටපං”

“ඕව කියන්න ලේසි වුනාට කරන්න ආමාරුයි බං”

“අනේ මං දන්නේ නැහැ, උඹට ඹ්නේ දෙයක් කරපං”

මම ගෙදර යන්න කම්මැලි නිසා සචිත්‍රටත් යන්න නොදී හවස් වෙනකම්ම ඉදල තමයි ගෙදර ගියේ.

යනකොට අම්මට හොදටම  තරහ ඇවිල්ලා. නවත්තන්නේ නැතුව බනිනවා. බොහොම අමාරුවෙන් අම්මට විහිලුවක් කරලා බෙල්ල බදාගෙන කිස් එකක් එහෙම දීල ෂේප් කරගන්න පුලුවන් වුනා.

තරහනම් අඩුවෙලා, ඒත් බැනිල්ලනම් අඩුවුනේ නැහැ.

මට ගෙදර ගියත් කිසිම හිතේ සැනසීමක් තිබුණේ නැහැ. හෙට වෙනකම් ඉන්න වෙනවා ලයාංගිගේ ලියුම ගන්න. කොහොම නිදා ගන්නද?

මම හිතන්නේ පාන්දර එකට විතර ඇති මට නින්ද යනකොට.

උදේම ඇහැරුනා අම්මා කතා කරපු නිසා.

“අදවත් ඉස්කෝලෙ යන්නේ නැද්ද?”

මම හෙමිහිට ලෑස්ති වුනා. ඒත් එක්කම ගෙදරට කෝල් එකක් ආවා. මට

එහා පැත්තේ හිටියේ මම දන්නේ නැති කෙල්ලෙක්.

“කාවින්ද, මගේ නම වින්ද්‍යා, ලයාංගිගේ යාළුවෙක්”

“ඔව් කියන්න”

“ලයාංගි ඔයාට විස්තර කියන්න ඇතිනේ, අද ඉස්කෝලෙ ඇරිල හතරට ලේක් ෆ්‍රරන්ට් එකේදි මාව මුණගැහෙන්න, එයා ඔයාට දෙන්න කියලා ලියුමක් දුන්නා”

“හරි. මම ඉන්නම්”

පහුවෙනිදත් ඉස්කෝලෙ ඇරෙනකම් මට ඉවසුමක් තිබ්බේ නැහැ. හරියටම 2.30 ට ඉස්කෝලේ ඇරුණ ගමන් මම සචිත්‍රවත් ඇදගෙන ගියා නුවර.

මම යනකොට එතන ඉස්කෝල යුනිෆෝම් එක ඇඳලා හිටියේ එකම එක කෙල්ලෙක් විතරයි. මම කෙලින්ම ගියා එයා ළඟට.

එයා හිනා වෙලා කතා කළා.

මම ලියුමත් අරගෙන ආවා වැවරවුමට, අපි දෙන්නම ඉදගත්තා බංකුවක් උඩ. යුනිෆෝම් එකෙන් මෙහෙම ඉන්න එකනම් හොඳම නැහැ. ඇරත් ඉස්කෝලෙ බැඩ්ජ් එකත් ගහගෙන. ඒත් මොනව කරන්නද තනිකරම වයසේ වැරැද්ද.

මම ලියුම කැඩුවා. ඒක ලියලා තිබුණේ සිංහලෙන්

“හොඳ වෙලාවට, මම හිතුවේ බඩු ඉංග්‍රිසියෙන් තියෙයි කියලා”

එහෙම කියපු සචිත්‍ර නැගිට්ටා.

“ඇයි උඹට බලන්න ඕන නැද්ද”

“උඹට පර්සනලි දුන්න දෙයක්නේ”

“අනේ මේ හු… නැතුව වරෙන්, උඹයි මායි ආයෙ මොන රහස්ද, බොක්ක කියන්නේ ඒකනේ”

“ඒක හරි නෑ බං, උඹ කියවලා පස්සේ මට පෙන්නපං”

මම කියවන්න පටන් ගත්තා

අකුරු නම් ලස්සනම ලස්සනයි

ආදරණිය කාවින්ද

මම ඹයාට මේ විදිහට ආදරණිය කාවින්ද කියනවට මුලින්ම මට සමාවෙන්න.

දවස් කීපයක් විතරක් දැකලා, දවස් දෙකක් විතරක් කතා කරපු කෙල්ලෙක් ඔයාට ආදරණිය කියල කතා කරනකොට තරහ යන එක සාධාරණයි. ඒත් මම හිතුවා මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම විස්තර කරන්න තියෙන හොඳම වචනය මේකයි කියල.

මම කියන්න යන දේ සාමාන්‍යෙයන් සම්ප්‍රදායක් විදිහට කෙල්ලෙක් කොල්ලෙකුට කියන දෙයක් නෙවෙයි. ඒත් මම දන්නවා මට වැඩි කාලයක් ඉතුරුවෙන එකක් නැහැ මේක ඔයාට කියන්න. ඒ නිසා මම හිතුවා සම්ප්‍රදාය බිඳලා දාලා මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න.

මම ඔයාට ආදරය කරනවා කාවින්ද!

විශ්වාස කරන්න අමාරු වුනත් ඒක ඇත්තක්.

මම ඔයාට ජීවිතේ කවදාවත්ම නොකරපු විදිහට ආදරය කරනවා.

ඔයා මාව දන්නේ බොහොම ටික කාළෙක ඉඳල වුනත් මම ඔයාව අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ දන්නවා. මම ඔයාව මුලින්ම දැක්කේ ගිය අවුරුද්දේ අගෝස්තු වල තිබුණ මීට් එකේදි.

මම ඔයා දිහා බැලුවේ අනිත් අය දිහා බලනවට වඩා කිසිම විශේෂ විදිහකට නෙවෙයි. ඒත් මම දන්නේ නැහැ ඒ දවස් දෙක ඇතුලත මටම නොදැනී මම සිය වාරයක් ඔයා දිහා බලන්න ඇති.

පස්සේ විස්තර හොයල බලනකොට මගේ යාළුවෝ කිව්වා ඔයා මහ ආඩම්බර කාරයෙක්, කිසිම කෙල්ලෙක් දිහා බලන්නේ නැහැ වලව්වක මැණිකේ කෙනෙක් නම් ඔන්න යන්තම් බලයි කියලා. මටත් ඕන වුනේ ඔය තරම් ආඩම්බරයි කියපු ඔයාව මගේ ඉස්සරහ නම්මගන්න.

ඒත් මම කීප වතාවක්ම ඔයාට කතා කරන්න හැදුවත් කවදාවක් ඔයා මං දිහා බැලුවේ නැහැ. ඒකෙන් මගේ හිත රිදෙනවා වෙනුවට වුනේ හිතේ සන්තෝෂය වැඩිවෙන එක. මටත් ඕන වුනේ ඔයා වගේ කෙනෙක්. කිසිම දේකට නැමෙන්නේ නැති, තමන්ගේ වැඩ ගැන විතරක් වශ්වාසය තියල ඉන්න ඔයා ට මගේ හිත තව තවත් ඇදිලා ගියා.

ඔයා මගේ දිහා නිකමටවත් හැරිලා නොබලනකොට, වචනයක් වත් කතා කරයි කියලා හිතා ගන්න බැරි වෙනකොට, මම ඒ ගැන හිතලා බලාපොරොත්තු අතහැරගන්න ඕනෙ අවස්ථාවකදී වුනත් දවසින්  දවස මගේ හිත ඔයාට ඇදිලා ගියා. හීනෙන් මම කී වතාවක් ඔයාට කතා කරන්න ඇද්ද. ඔයාට ආදරෙයි කියන්න ඇද්ද. ඒත් සැබෑ ලෝකෙදි මට එහෙම කරන්න බැහැ. කෙල්ලෙක් කොල්ලෙකුට එහෙම කිව්වොත් හැමෝම කියයි ඒ කෙල්ල වල් කෙල්ලෙක් කියලා.

ඔයාට විශ්වාස කරන්න බැරි වුනත් මතක තියා ගන්න බැරි තරම් වාර ගාණක් ඹයා නුවර එන වෙලාවලදි මමත් ඇවිල්ලා ඔයා එනකම් බලාගෙන ඉඳලා තියෙනවා. ඔයා මාව දැක්කත් මාව දන්නේ නැති නිසා දැන් මතක නැතුව ඇති. ඒ හැම වෙලාවකදිම මගේ හිත මට කිව්වා ඔයාට කතා කරන්න කියලා. ඒත් මම මොකද කළේ, ඹයා දිහා බලාගෙන ඉඳලා හීන මවන එකයි.

ටික කාළෙකදි මම දැනගත්තා ඹයා දිනි ව බලන්න නිතර යන එන බව. ඒ වගේම ඉස්කෝලෙදි වුනත් ඔයා එයාව බලන්න එනබව. ඔයාට හිතාගන්න පුළුවන් නේද මගේ හිත කඩා වැටුන තරම. දිනි ට මම කොලේජ් එක ඇතුළෙදි කරන්න පුළුවන් හැම වෙනස් කමක්ම කළා. මට එයාව දැක්කොත් පුදුම තරහක් ආවා. ඒත් මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුනා. ඒත් පස්සේ දැනගත්තා ඔය දෙන්නා කසීන් ලා බව.

අන්තිමට මීට මාසයකට විතර කළින් දවසක මම තීරණය කළා මේක තවදුරටත් හිතේ තියාගෙන ඉන්න බැරි නිසා මොන මාර්ගයෙන් හරි ඔයාට කියන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ගිය මාසේ මීට් එක වෙලාවේ ඔයාගේ යාළුවාට කතා කළා. එයාට මම කිව්වා ඔයාව හම්බවෙන්න ආසයි කියලා.

ඒත් එදා ඹයා මට කතා කරන වෙලාවේ මගේ යාළුවෝ හිටපු නිසා මම මගහැරල ගියා. මම දහස් වාරයක් අඬන්න ඇති ඒ නිසා.

ඒත් දැන් සචිත්‍ර මාව දන්න නිසා මට ආයෙත් අවස්ථාවක් එන බව හිතලා මම ඉවසගෙන හිටියා. ඒත් ගිය සතියේ අපේ තාත්තිට පෝස්ටින් එකක් ලැබුනා. එයා කැමතිවුනේ නැහැ අම්මවත් මාවත් දාලා තනියම යන්න. මටත් හොද ඉස්කෝලයක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ කියල අපි දෙන්නටත් එන්න කිව්වා.

ඔයා ට හිතාගන්න පුළුවන්ද මට ඇතිවුණ හැඟීම. මගේ ජීවිතේ ට මුලින්ම ආදරෙ කියන එක දැනෙන්න පටන් ගත්තේ ඔයා නිසා. මගේ හිත කුළුදුලේම ආදරය කළේ ඔයාට. ඒ ආදරෙ ඔයාට කියාගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඒ අවස්ථාව මට ජීවිත කාලයටම අහිමිවෙන්න යනවා. ඉතින් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ. ‍ඒ නිසා සඳුදා රැ මම තීරණය කළා මොන විදිහකින් හරි ඔයාට කතා කරනවා කියලා. මගේ උත්සහය හරි ගියා. මම රෑ එළිවෙනකම් නින්දක් නැතුව කල්පනා කළේ මම මොනවද ඔයාට කියන්නේ කියලා. ඒත් ඔයාගේ මූණ බලාගෙන මේ ටික කියන්න බැරි බව මට දැනුන නිසා මම තීරණය කළා මේ විදිහට ඔයාට ලියන්න.

මම හිතන්නේ ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් ඇති.

සම්මතය බිඳල ඔයාට ආදරෙයි කියල කිව්වට මම වල් කෙල්ලෙක් නෙවෙයි කාවින්ද. ඔයාට ආදරේ නිසා ඒ ආදරේ නොලැබී ජීවත් වෙන්න බැහැ කියල හිතන කෙල්ලෙක් විතරයි. ඒ ආදරේ තව දුරටත් මගේ හිතේ විතරක් හිරකරලා තියාගෙන ඉන්න බැරි තරමට බර වැඩිවෙලා තියෙන නිසයි මම මේක ඔයාට කිව්වේ.

මගේ ආදරේ නිකම්ම ප්‍රතික්ෂේප කරන්න එපා කාවින්ද. ඔයා මට ආදරේ නැතත් එක දවසක් හරි මා දිහා ආදරෙන් බලලා හිනාවෙලා කතා කරන්න. ඔයා මට ආදරේ නැතත් ඒ ටික මට ජීවිත කාලයටම ඇති මගේ හිත හදාගන්න.

මම අද ගියාට පස්සේ ආයෙත් කවදා එන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒත් මම හිතනවා ඔයා මට ආදරේනම් මම අනිවාර්්‍යෙයන්ම ලංකාවට එන බව.

මම ඔයාට තව සතියකින් ඔයාට කෝල එකක් දෙන්නම්. අනේ මට ආදරෙයි නොකිව්වත් මේ ලියුම කියෙව්වට පස්සේ වුනත් ආදරෙන් එක වචනයක් කතා කරන්න.

මේ ඔයාගේම වෙන්න පෙරුම් පුරණ

ලයාංගි

Wednesday, June 23, 2010

උපකාරයක් අවශ්‍ය වී ඇත.

මේ කතාව සංස්කරණය කර පොතක් වශයෙන් පළ කිරීම මගේ අරමුණකි. මේ ආකාරයට බ්ලොග් මගින් පලකරන්නේ ප්‍රතිවාර දැන ගැනීමටයි.

නමුත් ඇති වී ඇති ප්‍රශ්නය වන්නේ මා අවශ්‍ය තරම් සිංහල නවකතා වැනි පොත් කියවා නැති නිසා එම රචනා ශෙලිය ගැන නොදැනීමයි. ඉංග්‍රීසි නවකතා ඕනෑ තරම් කියවා ඇති මුත් එහි ආකාරයට සාමාන්‍ය ශෙලියෙන්ම සිංහල රචනා නොකරන නිසා ඒ ගැන දැනුමක් ලබා ගැනීමට මා හට අවශ්‍ය වී ඇත.

කව්රුන් හෝ මේ සිංහල ලිවීමේ රටාව නිවැරදිව දන්නේ නම් කරුණාකර මා හට දන්වන්න.

ස්තුතියි

~ ප්‍රථම ආදරය ~ (11)

love මම ආයෙත් මොහොතකට ගොළු වුනා, කව්ද මේ කියල හිතා ගන්න බැරිව.
හෙලෝ කාවින්ද අයියද කතා කරන්නේ”
ඔව්, කව්ද මේ”

මහ රෑ 12.00 විතර කව්ද කෙල්ලෙක් මට කතා කරනවා. මම නිකං හොල්මන් වෙලා ගියා.

අයියේ, සමාවෙන්න මේ වෙලාවේ කතා කළාට, මම ලයාංගි, 
ඹයාට මතක ඇති නේද මාව”

මට නිකං උතුර දකුණ මාරු වුනා වගේ වුනා. ලයාංගි මොකද මේ වෙලාවේ මට කතා කරන්නේ. එයා මාව දන්නේ දවස් කීයද, අනිත් එක මම මෙතන ඉන්න බව අම්මවත් නොදන්නකොට කොහොමද එයා දන්නේ? මේ වගේ දාහක් ප්‍රශ්න මගේ ඔලුවට ආවා

“අයියේ, මම මේ වෙලාවේ කතා කළාට තරහ වෙන්න එපා, මට ඔයාට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා”

නෑහ්  ලයාංගි මම මොකටද තරහ වෙන්නේ, කියන්න මොනවද මම කරන්න ඕනේ”

අයියේ ඒක මෙහෙම කියන්න බැහැ. මම හෙට රෑ ලංකාවෙන් යනවා ටික කාලෙකට, ඊට කළින් මට ඔයාව මුණ ගැහිලා කතා කරන්න ඕනේ.”

හරි, ඒත් ඇයි මේ හදිස්සියේ”

හදිස්සියක් නැහැ අයියේ, ඒත් මම ඹයාට කතා කරන්නම ඕනේ යන්න කලින්, මම උදේ ඉදලා හොයලා හොයලා බැරිම තැන දිනි නංගිට කතා කරලා තමයි ඔයාගේ නම්බර් එක හොයා ගත්තේ. ඒත් එයා හොයලා කිව්වා ඔයා ගෙදර නැහැ ඉන්නේ මෙතන කියලා. ඉතින් මම රෑ කියල බලන්නෙත් නැතුව ඔයාට කෝල් කළේ ඒ නිසා”

හොදයි ලයාංගි, මම හෙට එන්නම්”

ඔයා ඉස්කෝලෙ යනවා නේද, කොහොමද උදේ එන්නේ?”

නෑ මම යන්නේ නෑ හෙට, කියන්න කොහෙටද එන්න ඕනේ”

මම ඕකිඩ් (Orchid) එකේ ඉන්නම්. එතනට උදේ 10.00 එන්න”

ඕකිඩ් එක?”

ඔව්, බය වෙන්න එපා ඕකිඩ් එක මගේ රිලේෂන් කෙනෙකුගේ, ඔයා ඇතුලට ඇවිල්ල මාව අහන්න”

ඕකේ, මම එන්නම්”

මම තියන්නම් කාවින්ද අයියේ, ගුඩ් නයිට්”

ගුඩ් නයිට්”

මොකක්ද මේ වෙන්නේ? ලයාංගි මම ඉන්න තැන දැනගෙන තියෙන්නේ දිනිගෙන්. එයාට මොනවා හිතෙන්න ඇද්ද?

අනිත් එක දිනි කොහොමද දන්නේ මම මෙතන ඉන්න බව?

දිනිට නම් පුදුම ඉවක් තමා තියෙන්නේ. එයාට මම හිතන දේවල් දැනෙනවද කියලා මට සැකයි.
මේ වෙන දේවල් වලින් මගේ ඔලුව හොදටම අවුල් වෙනවා.

ලයාංගිට තියෙන උවමනාව මොකක්ද මාව හම්බවෙන්න, නැතත් ඇයි එයා මේ හදිස්සියේම ලංකාවෙන් පිටවෙන්නේ. ඊට කලින් ඇයි මාව හම්බවෙන්න උත්සහ කරන්නේ? මේ කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.

හොදම දේ තමයි හෙට වෙනකම් ඉදලා ලයාංගිගෙන්ම ඒක දැනගන්න එක. මට එහෙම හිතුනා.

ඒත් දිනි මොනවා හිතනවා ඇද්ද? පුදුම කෙල්ලෙක්, මේ තරම් මට ආදරේ කරලත් ලයාංගි අහපුවාම කොහොම හරි මම ඉන්න තැන එයාට හොයල දීල.

මේකට වෙන්න ඇති නියම ආදරේ කියන්නේ, මට එහෙම හිතුනා.

අර කතාවකට කියන්නේ හිත යකාගෙ කම්මල වගේ කියල, මගේ හිතත් අන්න ඒ වගේ කියල මට දැනුනා.

නිදාගන්න ගියත් නින්ද අහලකටවත් එන්නේ නැහැ. බැරිම තැන එරංග අයියට කියල තව බියර් දෙකක් ‍ගෙන්නගෙන බීල නිදා ගත්තා.

උදේ මම නැගිටිනකොට 9 ත් පහුවෙලා, ඉක්මනට නාලා, ඇදගත්තා, එරංග අයියගේ මෝටර් බයිසිකලයත් ඉල්ලගෙන ඉගිලුනා ලයාංගි එන්න කියපු තැනට.

මම යනකොට ලයාංගි බලාගෙන හිටියා.

සොරි, ටිකක් පරක්කු වුනා නේද?”

නැහැ, මමත් දැන් ආවෙ”

මේ ප්ලේස් එක ඔයාගෙ කාගෙද?”

ආ…….. මගේ අයිය කෙනෙකුගේ. පුංචි අම්මගේ පුතාගේ”

ඇත්තද? මම අදයි දන්නේ”

ඔයා මීට කලින් මෙහේ ඇවිල්ල තියෙනවද?”

මොනවා කියන්නද, අපි බොන්න සෙට් වෙන එක තැනක් තමයි මේක

ආ, මේ….. ඔව්, කාගේ හරි යාළුවෙකුගේ බර්ත් ඩේ එකක් වගේ සෙලිබ්‍රෙට් කරන්න වගේ වුනාම එන්නේ මෙහෙට තමා.”

බොන්න නේද?”

බොන්න විතරක්ම නෙවෙයි, මං කිව්වේ අපි බියර් එකක් විතරනේ බොන්නේ.”

මම හිතුවා”

ඔයා දැන් ආවා කිව්වනේ, ඉන්න මම බොන්න මොනවහරි ඕඩර් කරන්න”

මම එහෙම කිව්වට මගේ අතේ තිබුණේ රුපියල් 100, ඊයෙ පුහුණුවීම් වලින් පස්සේ ආපු ගමන් තාම ගෙදර ගියේ නැහැනේ.

“ඒක හරියන්නේ නැහැනේ, මමයි ඔයාට එන්න කිව්වේ, මම ඕඩර් කරන්නම්”

යන්තම් ඒකෙනුත් බේරුණා

ලයාංගි මගේ දිහාම බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒත් මට නොඉවසිල්ලක් තිබුණේ එයා මට එන්න කිව්ව  හේතුව දැන ගන්න.

ඒත් මම ඉස්සරවෙන්න හොද නෑ කියලා හිතල මමත් අහන්නේ නැතුව හිටියා.

ටිකකින් ලයාංගි කතා කළා

“You must be wondering why i asked you to meet me!”

මේ කෙල්ලට මොනවා වෙලාද මන් දන්නේ නැහැ. අමාරුවේ වැටෙන වැඩක් තමා මට කරන්න වෙලා තියෙන්නේ.

අපේ කොලේජ් එකේ ටිකක් හොදින් ඉංග්‍රීසි ඉගැන්වුව නිසා ප්‍රශ්නයක් නොවුනත් ඒ කාලෙ අපි මේ භාෂාව භාවිතයට ගත්තෙම නැති තරම්. මේ නිසා කතා කරන එක ටිකක් නුපුරුදු දෙයක්.

ඒත් මොනව කරන්නද?

On one hand yes, I’m totally surpriced, but on the other hand it’s ok, because I can see you like that no”

what do you mean?”

ඔය විදිහට කතාව ඇදිල ගියා.

මම කතාව සිංහලෙන් ම කියන්නම්

“ලයාංගි, මම ඇත්තම කියන්නම්. මම ඔයාව දන්නේ බොහොම ළගදි ඉදලා, දවස් දෙක තුනකට වඩා කතා කරලත් නැහැ. අනිත් එක අපි දෙන්නා එකිනෙකා ගැන දන්නේ බොහොම අඩුවෙන්, ඉතින් ඔයා මේ විදිහට මට එන්න කියපු එක ඇත්තටම පුදුමයක්.”

මම දන්නවා, සාමාන්‍යයෙන් ග්ර්ල් කෙනෙක් බෝයි කෙනෙකුට මේ වගේ එන්න කියන්නේ නැහැ, ඒත් මම අනිත් අයට වඩා වෙනස් කාවින්ද අයියේ.”

ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.”

මම ඔයාට එන්න කිව්වේ, මම සෑහෙන කාලෙක ඉදලා ඔයාට කතා කරන්න හිතා ගෙන හිටපු නිසා.”

ඔව්, ඉතින්”

අද මගේ තාත්ති පෝස්ටින් එකකට රෝම් වලට යනවා. තාත්ති වැඩ කරන්නේ ෆොරින් මිනිස්ට්‍රි එකේ. ඉතින් ලබන මාසේ ඉස්කෝල නිවාඩු නිසා අපිත් ඒ එක්ක යනවා.”

ලයාංගිගේ තාත්තා රස්සාව කරන්නේ විදේශ අමාත්‍යාංශයේ බව මම දන්නේ දැන්.

ඉතින් ඔයා ආපහු එනවනේ?”

එන්න තමයි හිතාගෙන ඉන්නේ, ඒත් මට එහේ හොද ඉස්කෝලයක් හම්බවුනොත් එන්න වෙයිද කියන්න අමාරුයි”

ඒකත් එහෙමද?”

ඔව් අයියේ. ඒත් මම එන්න කිව්වේ මේක කියන්න නෙවෙයි”

එහෙනම්”

මතකද මම ඔයාට මීට් එකක් දවසක සචිත්‍ර කියන ඔයාගේ යාළුවා අතේ පනිවිඩයක් එව්වා මම ඔයාට කතා කරන්න කැමතියි කියලා”

ඔව්”

ඒත් ඔයා මට කතා කළාම මම ගණන් ගත්තේ නැහැ”

ආ… ඒක සිම්පල්”

ඒක ඇත්ත, ඔයා හිතන්න ඇති මම ඔයාව සවුත්තු කරන්න බොරු පනිවිඩයක් එව්වා කියල”

ඉතින්”

ඇත්තටම මම සෑහෙන කාලෙක ඉදලා ඔයාව දැකල තිබුනා. මීට් වලදි ඔයා ඉන්න විදිහ දැකලා තිබුනා, අනිත් එක ඔයා අනිත් පිරිමි ළමයින්ට වඩා ටිකක් වෙනස් විදිහට ඉන්න බව මම දැක්කා. මගේ යාළුවෝ නම් කිව්වේ ඔයා මහ ආඩම්බරකාරයෙක් කියලා, පරම්පරා, කුල මල ඔළුවේ ති‍යාගෙන ඉන්න පරණ තාලේ කොල්ලෙක් කියලා, ඒත් මම ඔයාව දැක්කේ වෙනස් විදිහකට”

ඉතින්”

ඉතින් අයියේ මමත් නොදැනීම, මම ඔයාට වචනයක්වත් කතා කරල නොතිබ්බත් මම ඔයා ගැන හිතනවා කියලා මට දැනුනා. වරදවා හිතන්න එපා මට ඕනෙ වුනා හැමෝම ආඩම්බරයි කියල කියපු කාවින්දව මගේ යාළුවෙක් කරගන්න”

හ්ම්”

ඒ නිසා තමයි මම ඔයාට කතා කරන්න ඕනෙ කියලා ඔයාගෙ යාළුවට කිව්වේ.”

ඉතින් මම කතා කළානේ”

ඔව්, ඒත් මම ඔයාව මග හැරියා. එදා ගෙදර ගිහිල්ලා මම සෑහෙන්න දුක් වුනා මම කරපු වැඩේ ගැන”

මට ඕන වුනා ඔයාගෙන් සමාව ගන්න”

අයියෝ ඒක සුලු දෙයක් ලයාංගි”

ඔයාට සුළු දෙයක් වුනාට ඒක මගේ හිත නොසන්සුන් කළා, ඉතින් මම ට්‍රයි කළා ඔයාව හම්බවෙන්න. දවසක් අහම්බෙන් ටෙන්ඩ්‍රිල්ස් එකේදි ඔයාව හම්බවුනා, ඒත් මගේ යාලුවෝ ඉද්දි මම කොහොම කතා කරන්නද”

ඔයාගේ යාළුවෝ එදා මම දැක්කේ නැහැනේ”

හිටියා, ඔයාව දැකලා මමයි ඒ අයව මගහැරලා‍ ඔයා ළගට ආවේ, ඒත් එතන මේ වගේ කතාවකට සුදුසු නැහැනේ”

හොදයි, දැන් මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ”

මම ආයෙත් අන්ධයෙක් වගේ වෙලාද කියල මට හිතුනා. මේ කෙල්ල මේ කියන්න හදන්නේ එයා මට කැමතියි කියලද? ඒත් තවම මට එයාව පැහැදිලි නැහැ. ඒ නිසා හොදම දේ එයාගෙම කටින් ඒක දැනගන්න එක

ලයාංගි, ඇත්තටම එදා සචිත්‍ර කිව්ව නිසා තමයි මම ඔයාට කතා කළේ, එහෙම නැතුව වෙන කිසිම අදහසකින් නෙවෙයි. ඒත් සචිත්‍ර හිතාගෙන හිටියේ ඔයා මට කැමැත්තෙන් කතා කරන්න හදනවා කියලා. ඒත් එදායින් පස්සේ, ඒ කියන්නේ ඔයා මාව ඉග්නෝ කළාම මම හිතුවා ඇයි මම මේ කෙල්ලෙක් පස්සේ ගිහින් සවුත්තු වෙන්නේ කියල. ඒ නිසයි මම පැත්තකට වෙලා හිටි‍යේ”

මට ඔයාට ලංවෙන්න හිතෙන්නෙත් ඔයාගෙ ඒ ගතිගුණ නිසාම තමයි”

දැන් ඔයා හදිසියේම මට කියන්න තියෙනව කිව්වේ මොනවද”

කාවින්ද”

ලයාංගි පළමු සැරේට මට නම විතරක් කියල කතා කළා

ඇයි”

මම ඔයාගෙන් එක දෙයක් අහන්නම්, මාව වරදවා තේරුම් ගන්නේ නැතුව මට අවංකව උත්තරයක් දෙනවද?”

මම බොරු කියන්නේ මොකටද, අහන්න”

ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද ආදරේ කරන, නැත්නම් ඔයා කාට හරි දැන් ආදරේ කරනවද?”

ඒ ප්‍රශ්නෙන් මම ගැස්සිලා ගියා. මම බලාපොරොත්තු වුනේ නැහැ මේ විදිහේ කෙලින් ප්‍රශ්නයක්
මොනවද මම කියන්නේ. නැහැ කියනවද? ඒත් දිනි. එයා මට ආදරේ කරන බව ඇත්ත ඒත් මම එයාට ආදරේද. උත්තරයක් දෙන්න බැරුව මම හිරවුනා

ඇයි කල්පනා කරන්නේ, මගේ බය සාධාරනද”

මොන බයද”

ඔයා වෙන කෙනෙකුට ආදරේ කරනවද?”

ඇයි ඒක ඔයාට බයක් වෙන්නේ”

හලෝ මිස්ටර් කාවින්ද තාම ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ.”

හ්ම් මොනවද මම කියන්නේ ලයාංගි. මම මේ වෙනකම් කිසිම කෙනෙකුට ආදරේ කරල නැහැ. ඒත් එක ගර්ල් කෙනෙක් මට ආදරේ කරනවා.”

ඔයා එයාට ආදරේද?”

මම දන්නේ නැහැ”

කවදාහරි ඔයා එයාට කැමති වෙයිද?”

ඒකත් දන්නේ නැහැ”

ඔයා හරි අවංකයි අයියේ. මම දැනගෙන හිටියා ඔය බව. ඒත් මම හිතුවා ඔයා මට මොනවා කියයිද කියලා”

මොනවද ඔයා දැනගෙන හිටියේ”

දිනි නංගි ඔයාට ආදරේ කරනවා කියලා අපේ කොලෙජ් එකේ ගොඩක් අය දන්නවා. ඔයා ගොඩක් දවස්වලට එයාව හම්බවෙනවා කියලත් දන්නවා”

අනේ ලයාංගි ඒක නම් බොරුවක් අපි දෙන්නා‍ අතර එෆෙයාර් එකක් නැහැ. එයා මගේ කසීන් කෙනෙක් ඒ නිසයි මම එයාව හම්බවුනේ. පොඩි කාලෙ ඉදලා අපි හොදම යාළුවෝ”

ඒත් දිනි ඔයාට ආදරෙයිනේ”

ඔව්, ඒක මම දන්නේ ළගදි”

එතකොට ඔයා?”

මම දන්නෑ ලයාංගි, මම කවදාවත් දිනි ගැන එහෙම හිතලා නැහැ”

මට දැනගන්න ඕන වුනේ එච්චරයි කාවින්ද, මම දැන් යන්න ඕනේ”

ඉන්න ඇයි ඔයා මේව ඇහුවේ කියල මට කිව්වේ නැහැනේ”

ඔයාට මම ලියුමක් තියල ඇති මගේ යාළුවෙක් ගාව, හෙට ඔයාට ඒක ලැබෙයි. ඒක කියෙව්වහම ඔයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයි”

ඒත් ඇයි ලියුම්, අපි හම්බවුන එකේ ඒකත් කියන්න ලයාංගි”

මට සමාවෙන්න කාවින්ද, මගේ හිත එච්චර හයිය නැහැ”

එහෙම කියපු ලයාංගි යන්න නැගිට්ටා.

“ඕල් ද බෙස්ට්, හැව් එ නයිස් ජර්නි”

මම කිව්වා

එයා නැගිටලා මම හොල්මන් වෙලා බලාගෙන ඉදිද්දි මට හග් (hug) එකක් දුන්නා.

ඊට පස්සේ යන්න ගියා.

මේ මොකක්ද වුනේ. මම නිකං කරකවලා අතහැරියා වගේ.

Tuesday, June 22, 2010

~ ප්‍රථම ආදරය ~ (10)

romantic_love-1 ජීවිතේ පළමු වතාවට මා අතරමං වී ඇත.

කොහේ යන්නද, කුමක් කරන්නද යන්න නොදැන මා සම්පූර්ණයෙන්ම අතරමං වී ඇත!

ඉතින් අද කතාව………!

මම මහනුවර නගරයට එන විට වෙලාව සවස 7.30 බව නගරය මැද තියෙන ඔරලෝසු කනුව අනුව දැන ගත්තත්, මේ වෙනකොටත් මට වෙලාව ගැන හැගීමක් තිබුණේ නැහැ.

මම බස‍් එකෙන් බැහැලා, පාර දිහා කිසිම හැගීමක් නැතිව බලාගෙන හිටියා. කිසිම දෙයක් කරන්න හිතට හයියක් නැහැ. ගෙදර යන්න වුනත් කම්මැලි බව මට දැනුනා. ගෙදර ගියත් මොනවා කරන්නද? ඔලුව සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ පහුගිය දවස් කීපයේ වුන දෙවල් වලින්. දිනි, ලයාංගි, සචිත්‍ර, මේ හැම කෙනෙක්ම මගේ සිතුවිලි වල පිරිලා.

මම ආදරේ කරන්නේ කාටද, දිනි ට ද, නැත්නම් ලයාංගිටද?

දිනි නම් මට ආදරේ කරන බව කිව්වා. ඒත් ලයාංගි, මම තවම එයාට හරියට කතා කරලවත් නැහැ. එයා මොන වගේද, මං ගැන මොනවද හිතන්නේ, මේ කිසිම දෙයක් මම හරියට දන්නේ නැහැ. ඒත් දිනි මගේ හිතේ නොමැකෙන විදිහට පසුගිය දවස් වලදී තැන්පත් වුනා.

“මොකද අද නුවර ආවේ, මම සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා ඔයා කල්පනාවෙන්ම ඉන්නවා, මාව දැක්කේ නෑ නේද?”

මම දන්නෙම නැතුව දිලිනි ආන්ටි මාගේ ළගට ඇවිල්ලා

දිලිනි ආන්ටි කියන්නේ දිනිගේ අම්මා…..!

මම ගොළු වුනා.

මම නටපු පිස්සු ආරංචි වෙලාද, මාව හොයාගෙනම ඇවිල්ලද? මගේ හිතේ දාහක් ප්‍රශ්න

“ආ….. නෑ…… ආන්ටි, මම මේ…… යාළුවෙක් එනකම් ඉන්නේ…”

යන්තම් වචන කීපයක් ගලපගන්න පුලුවන් වුනා.

“ආ මම හිතුවා පුතා ගෙදර යන්න කියලා, මමත් අද යන්නේ කටුගස්තොට පැත්තෙන්, ඒ නිසා ඕනෙනම් මාත් එක්ක යන්න පුලුවනි.”

මම වටපිට බලනකොටයි දැක්කේ ආන්ටි ඇවිල්ලා‍ තියෙන්නේ කාර් එකේ, මාව දැකලා තමයි බැහැල ඇවිල්ල කතා කරල තියෙන්නේ.

“නෑ ආන්ටි මම ටිකක් ඉදලා එන්නම්”

එහෙම කියන ගමන් මම ආන්ටිත් එක්කම කාර් එක ලගට ගියා

ඒත් එක්කම පිටිපස්සේ ආසනයේ හිටපු කෙනා දැක්කහම මම ගැස්සිලා ගියා

දිනි………!

මට හිතාගන්න බැරි වුනා මොනවද මම කරන්නේ කියලා. හිනා වුනත් මටම තේරුනා ඒක හිනාවක් නොවන බව

“අපි යන්නම් පුතා”

“හොදයි ආන්ටි”

මම දිනි ගේ පැත්ත බැලුවා. එයා කෙලින්ම මගේ  ඇස්දෙක දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස්වලින් මොනවද කියන්න හදනවා, මට හිතාගන්න බැරිවුනා මොනවද කරන්න ඕන කියලා.

මම පිටිපස්සේ ෂටර් එකට ළංවෙලා

“මට ඔයාව හම්බවෙන්න ඕන” කියලා කිව්වා.

දිනි හිනා වුනා, ඊට පස්සේ තොල් දෙකට ඇගිල්ල තියලා නිශ්ශබ්ද වෙන්න කියල කිව්වා.

ඊටත් පස්සේ හිනා වුනා.

“යන්නම් අයියේ”

ඒ වෙලාවෙ මම මොනව කිව්වද කියල මට අදටත් මතක නැහැ

කාර් එක යන්න ගියා. මගේ හිත හිස් වෙලා.

ඇයි මම දිනිව හම්බවෙන්න ඕනෙ කිව්වේ. හම්බවුනත් මොනවද මම කියන්නේ.

හැමදාමත් මේ වගේ වෙලාවට පිහිටට ඉන්නේ එරංග අයියා තමයි. මම දෙපාරක් හිතන්නේ නැතුව ගියා එරංග අයියාගේ තැනට. එතනින්ම අම්මට කෝල එකක් දීල කිව්වා මම අද එන්නේ නැහැ කියලා. හේතුව කිව්වේ මොකක්ද කියලනම් දැන් මතක නැහැ.

එරංග අයියා මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ. එයාටත් තේරෙන්න ඇති මම මේ දවස් ටිකේ ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඒ නිසා කිසිම දෙයක් ඇහුවේ නැහැ. මට කාමරයක් ලෑස්ති කරල දීල සැන්ඩ්විච් වගයක් එව්වා.

මමත් ප්‍රශ්ණ ඔක්කොම යන්න වගේ පැයක් විතර හොදට නාලා, එලියට ආවා. බාර් එක පැත්තෙනම් අද කිසිම කෙනෙක් නැහැ, පෝය නිසා.

මම ඒ පැත්තේ කැරකෙනවා දැකලා එරංග අයියා ආවා.

“මොකද උඹ බාර් එක පැත්තේ, දැන් ඔරිජිනල් බේබද්දෙක් වෙලා වගේ නේද?”

“නෑ අයියේ එහෙම සීන් එකක් නැහැ, මම මේ ඇතුලේ ඉන්න කම්මැලිකමට ආවා.”

“මොකද මේ දවස්වල උඹ නිකං ආතක් පාතක් නෑ වගේ පාවෙන්නේ. උඹ කවදාවත් ඔය විදිහට ඉන්නවා මම දැකල නැහැ”

“පොඩි සීන් එකක් අයියේ, ඔයාට මේක කියන්න ගියොත් අද වෙන වැඩක් ඔයාට කර ගන්න බැරිවෙයි. මම පස්සෙ වෙලාවක මුල ඉදලම කියන්නම්”

“මොකද උඹ ගෙදරින් ආවෙ, තරහවෙලාද නැත්නම් එලවලාද?”

“පිස්සුද අයියේ, එහෙම සීන් එකක් නැහැ. ඒකනේ මම අම්මට කෝල් කරේ, ආපු ගමන්ම”

“මට උඹව තේරෙනවා, උඹට කවදාහරි කියන්න හිතුන දවසට කියපං, ඒත් මතක තියා ගනින් කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා ජීවිතේ පාර වරද්ද ගන්න එපා. උඹලට තාම මොන වයසක්ද?”

“මම දන්නවා අයියේ”

“ඒක හොදයි, මම පොඩ්ඩක් ඇතුලට ගිහිල්ලා එන්නම්, බියර් එකක් එවන්නද?”

“එපා අයියේ, මම පස්සේ එන්නම් ඩයිනින් පැත්තේ”

“හරි, මට තව පැයකින් වැඩ අඩුයි.”

එරංග අයියා ඇත්තටම මගේම අයියා වගෙයි. එයා සචිත්‍රගේ අයියා වුනත් මට පුදුම විදිහට සමීපයි.

අද අම්මගෙන් පාඩම් කරන්න කියලා කරදරයකුත් නැති නිසා මම හිතුවා මුළු රෑ තිස්සේම හොදට හිතලා තීරණයක් ගන්නවා කියලා. මේ වැඩේ මේ විදිහට දිගටම අරගෙන යන්න බැරි තරමට හිතට බරක්.

මම සෑහෙන වෙලාවක් කාමරේට වෙලා කල්පනා කළා මොනවද කරන්න ඕනේ කියලා.

ජීවිතේ පළමු වතාවට හිත ඇදිල ගිය කෙල්ල වුනේ ලයාංගි.

ඒත් ඒක ලොකු ආකර්ෂණයක් නෙවෙයි. මම ලයාංගි දිහා බලන්න පෙළඹුනේ සචිත්‍ර කියපු නිසා. මම මොනවද ලයාංගි ගැන දන්නේ, අඩුගානේ එයාගේ හිතේ මාව මතක තියෙන්න තරම් කාලයක් මම එයාව ආශ්‍රය කළේවත් නැහැ. අනිත් එක මම එයාව ආශ්‍රය කළා වුනත් එයා මට ආදරය කරයිද? එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවද? මේ කිසිම දෙයක් නොදැන මම තවදුරටත් ලයාංගි ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්න එක හොද දෙයක්ද?

ඒත් දිනි, එයා මට පොඩි කාළෙ ඉදලම සමීපයි. මම එයාගේ ගතිගුණ, හොද නරක, සිතුවිලි යම් තරමකට දන්නවා. එයා ඉන්න විදිහ, එයාගේ යාළුවෝ, දෙමව්පියෝ, ඒ හැම දෙයක්ම මම දන්නවා. අනිත් වැදගත්ම දේ තමයි දිනි මට ආදරේ කරන බව මම දැන් දන්නවා. ඉතින් තරාදියේ මේ දෙන්නගෙන් බර වැඩි දිනිගේ පැත්තට

ඒත්………

මම දිනිගේ හැම දෙයක්ම දන්නවද. අඩුම තරමින් මම එයා මං ගැන හිතුව විදිහවත් දැනගෙන හිටියද, උත්තරේ නැහැ කියන එකයි. එයා මට මේ තරම් ආදරය කරද්දිත් මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම එයාගේ හිත කවදාවත් අදුරගත්තේ නැහැ. අනිත් එක දිනි දන්නවා මම ලයාංගි ට කැමැත්තෙන් හිටි බව.

මේ විදිහට කල්පනා කරල බලනකොට නම් තරාදියේ දෙපැත්තම එක සමානයි!

තුන්වන කාරණය තමයි මේ දෙකෙන්ම ඈත් වෙලා හිටපු විදිහට ම ඉන්න එක. ස්පෝර්ට්ස් කරගෙන, ඉගෙන ගන්න එකත් හොදට කරගෙන, කොලු කාලෙ කරන්න පුලුවන් පිස්සු වැඩ කරගෙන ආදරය කියන දේ ඔලුවට ගන්නේ නැතුව ඉන්න එක.

ඒත් දැන් මම කොහොමද එහෙම කරන්නේ. ආදරය මොන තරම් ලස්සනද, ගැහැණු ළමයෙකුගේ ස්පර්ශය, ඒ හැගීම් මොන තරම් සුන්දරද කියන එක මට දැනිලා තිබුන නිසා, ඒ සුන්දරතාවයෙන් ගැලවෙන්න කැමැත්තක් මගේ තිබුණේ නැහැ.

පැය දෙකක් විතර ගතවුනාට පස්සේ එරංග අයියා මගේ කාමරේට කෝල් එකක් දුන්නා. ඒ වෙනකොට වෙලාව 10.00 විතර ඇති

“මල්ලි, වරෙන් මගේ රූම් එක පැත්තේ, පොඩි ඩ්‍රින්ක් එකක් තියෙනවා.”

මම හිතාගෙන හිටියේ නම් අද බොන්නේ නැහැ කියලා, ඒත් මේ දේවල් වල පැටලම වැඩිවෙන්න වැඩිවෙන්න මට හිතුනා හොදට දෙකක් දාලා නිදා ගත්තා නම් අද ඉවරයි කියලා.

දිනිගේ ප්‍රශ්ණයට මොකද කරන්නේ කියල තීරණයක් නැතුවම මම එරංග අයියාගේ කාමරයට ගියා.

එතන බැල්කනි එකේ හැම දෙයක්ම සූදානම් කරලා.

එරංග අයියා පොඩි ඩ්‍රින්ක් එකක් කිව්වට අද නැතිවෙන්නම ගහන්න වගේ යන්නේ. මට හිතුනා.

Jhony Walker බෝතලයයි, Soda බෝතලයයි, Coke එකයි, ice cubes පුරවපු කන්ටේනර් එකයි, තව බයිට් එකට පීරිසි දෙකකුයි එතන තිබුනා.

“එරංග අයියා,මොකද අද විශේෂ”

“විශේෂයක් නෑ බං, මම උඹ එක්ක අවුරුද්දකින් විතර සෙට් වුනෙත් නැහැනේ”

“ඊයෙත් ගහලා අදත් මේක ගැහුවොත් නම් දවස් දෙක තුනක් නැගිටගන්න බැරි වෙයි වගේ”

“ටිකක් බීපං”

මම වැඩියි වගේ කිව්වත් හිතේ තිබුණ නොසන්සුන් කමටද දන්නේ නැහැ පැයක් විතර යනකොට බෝතලෙන් බාගයක් විතර ඉවරයි, ඒකෙනුත් 3/4 ම ගත්තේ මම

“මොකද මල්ලි උඹට වෙලා තියෙන්නේ, ඔහොම බොන්න එපා යකෝ. ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරමු. කතා කරල විසදමු. ඇල්කොහොල් වලින් ප්‍රශ්න දියකරල දාන්න බැහැ”

ඒත් මට ඕන වුනේ හොදටම බොන්න, එරංග අයියා මට ඒක කරන්න දුන්නේ නැහැ.

“මල්ලි යං අපි කමු, අර ඩයිනින් එකේ වැඩ කරන වුන් අපි එනකං යන්න විදිහක් නැතුව ඉන්නවා”

එහෙම කියල එරංග අයියා මාත් එක්ක යන්න පිටත් වුනා. කලින් දවසෙත් බීපු නිසාද කොහෙදෝ මට හොදටම වැඩියි වගේ. කොහොමහරි අපි පැයක් විතර එතනත් ගත කරලා, නැගිටින්න හදනකොටම වේටර් කෙනෙක් දුවගෙන ආවා.

“සර්ට කෝල් එකක්”

“මට”

මම පුදුමෙනුත් පුදුම උනා

මම අද මෙතන ඉන්න බව කව්රුවත් දන්නේ නැහැ

“මට කව්ද කතා කරන්නේ”

“නම කිව්වේ නැහැ සර්, ගැහැණූ කටහඩක්”

මට හිතාගන්න බැරිවුනා. කෝල් එකට උත්තර දෙන්න ගියොත් කවුරු නමුත් මම මෙතන බව දැනගන්නවා. සමහර විට අම්මා හිතේ සැකේට කතා කරනවද දන්නේ නැහැ.

ඒත් මම ගිහිල්ල බලන්න හිතා ගත්තා

මම රිසීවර් එක කනට තියලා කටහඩ ටිකක් වෙනස් විදිහට “හලෝ” කිව්වා.

එහා පැත්තේ ඉදලා ලස්සන කටහඩක් කතා කළා.

“කාවින්ද අයියේ”